මේක තවත් ආදර කතාවක් නොවේ, මේ ආදරය ගැන කතාවක් "අශාවරී" Ashawari

Ashawari Sinhala Film

"අශාවරී"
මේක තවත් ආදර කතාවක් නොවේ. මේක ආදරය ගැන කතාවක්..

තේජා ඉද්දමල්ගොඩ මහතා ගේ කුළුදුල් අධ්‍යක්ෂණයෙන් උපදින "ආශාවරී" සිනමාපටය ප්‍රදර්ශනය වන තුරු සිනමාවට ආදරය කරන බොහොම පිරිසක් එය දැක බලා ගන්නට ආසාවෙන් සහ කෘතුහලයකින් යුතුව බලා සිටින්නකි.මේ වන විටත් සිනමාපටයේ වැඩ බොහොමයක් අවසන්ව ඇති අතරම සිනමාපටය අපට නුදුරු දිනයකදී දැකගන්නට අවස්ථාව උදා වේවි.

සිනමාපටයේ අන්තර්ගත කතාව මෙතෙක් ලාංකීය සිනමාවේ බිහි වූ ආදර කතා වලට ඔබ්බෙන් ගිය කතාවක් ලෙස හඳුන්වාදිය හැක.

කඳුකරයෙන් වටවූ සීතල පරිසරයක ජිවත් වන්නට තිබෙනවා නම් කොයි තරම් අපුරුද? උදේට හවසට එන මීදුම ඈත කඳු අතරින් ගලාගෙන යද්දී මේක තමයි ජීවිතය කියලා හුස්මක් ගන්න තියෙනවානම්.. අන්න එහෙම අපුරු පරිසරයක තමයි "ආශාවරී" ජිවත් වෙන්නේ.

කවුද මේ ආශාවරී?

අශාවරී බෙහෙවින් ප්‍රියමනාප සහ ලස්සන ද්‍රවිඩ තරුණියකි. ඇයගේ පියා "ඔහිය" දුමිරිය ස්ථානාධිපති ලෙස සේවය කළ අතරම ඈ තම පවුලේ බාල දියණියයි.ඈ ප්‍රේමවන්තියකි. හමුදා සේනාංකයේ පුහුණුව ලබන හමුදා සෙබලෙක් සමඟ ඈ ප්‍රේමයෙන් වෙලෙන්නේය.නමුත් ඈ ද්‍රවිඩය.පෙම්වතා සිංහල කන්ද උඩරට ඉපදුණු තරුණයෙකි. ජාති බේදය ඔවුන්ගේ ආදරය හමුවේ එකිනෙකට සටනට එකතු වෙන්නේ ඔවුන්ගේ ජාතිය ආගම සහ කුළය මුලික කරගෙනය.නමුත් අප සියල්ලන්ම මනුස්සයෝය. ආදරයට කුලය ජාතිය ආගම ඉවහල් නැත. ආදරය කාටත් පොදුය. ඉතින් මේ ආදරය කතාව ඔවුන් කෙසේනම් ජය ගනීවිද? දෙමවුපියන් ට අප ආදරය කරන්නා සේම ඔවුන්ට අපට විරුද්ධ විය නොහැක. මේ හැල හැප්පීම් මත යන ආදරයේ සෞන්දර්යාත්මක චාරිකාව "ආශාවරී" සිනමාපටයේ දී අපේ නෙත් මානයේ දිග හැරේවි.

සිනමාපටයේ රංගනයෙන් හේමාල් රණසිංහ, ඉෂාත්කා ජහන්වී, දිනිති වල්ගමගේ, ජයලත් මනෝරත්න, බිමල් ජයකොඩි,ජයනි සේනානායක, සේමිණී ඉද්දමල්ගොඩ,සාරංග දිසාසේකර, ප්‍රියංකර රත්නායක, රුවී ලක්මාලී, රොහාන් රණතුංග, ධනුෂ්ක ඔයස්, දයා වයිමන් සමඟ ලසන්ත උඩුකුඹුර එකතු වී සිටිති.


අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය තේජා ඉද්දමල්ගොඩගෙන් වන අතරම සහාය නිෂ්පාදනය හා සංජීවනී රූපසිංහ,ප්‍රියන්ත අමුණුගම එකතු වී තිබේ. මේ දිනවල ජනප්‍රිය ටෙලිනාට්‍යක් වන "නාඩගම්කාරයෝ" ටෙලිනාට්‍යයේ තිර රචක සද්ධාමංගල සුරියබණ්ඩාර විසින් "ආශාවරී" සිනමාපටයේ තිර රචනය සිදුකර තිබීමද විශේෂයි.

අපුරු දසුන් තම තෙවැනි ඇසට හසුකරගනිමින් කැමරාකරණයෙන් රුවන් කොස්තා එකතු වී තිබේ.එතුමා සම්මානනීය කැමරා අධ්‍යක්ෂකවරයෙක් වන අතරම මෑතකදී ඔහු "දඩඉම" සිනමාපටයේ කැමරාකරණය වෙනුවෙන් අන්තර්ජාතික සම්මනයකින්ද පිදුම් ලබා තිබේ.

බොහොමයක් ජනප්‍රිය සහ සම්මානයට පාත්‍ර වූ සිනමාපටයන්හී කලා අධ්‍යක්ෂණය සිදු කළා වූ සුනිල් ප්‍රේමරත්නද "අශාවරී" සිනමාපටයේ කලා අධ්‍යක්ෂණය ලෙස කටයතු කරනු ලබයි.

ප්‍රවීණ ඇඳුම් නිර්මාණය ශිල්පී ලසන්ත උඩුකුඹුර විසින් සිනමාපටයේ ඇඳුම් නිර්මාණය කර ඇති අතරම ඉන්දික උදාර වේශ නිරූපණය සඳහා එකතු වී තිබේ.එතුමාද බොහොමයක් සිනමාපට වලට දායක වූ අයෙකි.

සුරේෂ් මාලියැද්ද ගේ පසුබිම් සංගීතයෙන් පෝෂණය වන "ආශාවරී" හි ගී තනු සුරේෂ් මාලියැද්ද සහ තේජා ඉද්දමල්ගොඩ විසිනි.

එමෙන්ම ගී පදරචනය සඳහා බොහෝ සෙයින් කැපී පෙනෙන ගී පද රචකයෙකු වන කැලුම් ශ්‍රීමාල් ද තේජා ඉද්දමල්ගොඩ ද ඒ සඳහා දායකත්වය ලබා දී තිබී.

ගීත ගායනය සඳහා සම්මානනීය ගායිකා නිරෝෂා විරාජනී සමඟ සුරේන්ද්‍ර පෙරේරා, සංඛ දිනෙත් සහ උපේකා නිර්මාණී යන ජනප්‍රිය ගායක ගායිකා තරු එකතු වී තිබේ.

"ආශාවරී" සිනමාපටයේ සහය නිෂ්පාදනය සංජීවනී රූපසිංහ, ප්‍රියන්ත අමුණුගම වන අතර නිෂ්පාදන කළමනාකරණය සුගත් කුලතුංග විසිනි.එමෙන්ම නිෂ්පාදන කළමනාකරණ සහාය සචිනි ගයත්‍රි සහ සවිනි ප්‍රේමරත්න විසිනි.

තේජා ඉද්දමල්ගොඩ ගේ කුළුඳුල් සිනමාපටය මෙය වුවද මේ හා එකතුවී සිටින අති දක්ෂ සම්මානනීය පිරිස සමඟ "ආශාවරී" ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර සමඟ ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගනීවි යන්න දැන් සිටම බලාපොරොත්තු විය හැක.

ලාංකීය සිනමාවට වෙනසක් අතවශ්‍ය මොහොතක මෙවැනි සිනමා නිර්මාණ නැවතත් වැසි යන සිනමා ශාලා වලට ප්‍රේක්ෂකයන් ගෙන්වා ගැනීමට මාහැඟි අස්වැසිල්ලකි.

"ආශාවරී" හා එකතු වූ සියල්ලන්ටම මේ මොහොතේ ජය ප්‍රාර්ථනා කරන්නෙමු.




Giza bee

Post a Comment

0 Comments