Question
ඔබ ගැන කෙටි හැඳින්වීමක් කළොත් ?
Answer
මගෙ නම 'අකාශ් තාරුක පෙරේරා'. කලා ක්ෂේත්රය තුළ මම විචාරකයෙක්, ගීත රචකයෙක් සහ නිර්මාණ අධ්යක්ෂවරයෙක් විදිහට මේ වනවිට ඉඩක් නිර්මාණය කරගනිමින් ඉන්නවා. නමුත් සරලවම කිව්වොත් 'අකාශ්' කියන්නෙ තවම අවුරුදු 21ක තරුණ කොල්ලෙක්.
Question
ඔබ කලාවට සම්බන්ධවන්නේ කොයි විදියට ද?
Answer
කලාව කියන දේ මතක ඇති කුඩාම කාලයේ ඉඳලා මාත් එක්ක හෙවණැල්ල වගේ ළඟ රැඳුණා. මම අවුරුදු තුනක හතරක වගේ ගොඩක්ම පුංචි කාලේ ඉඳලම ලියන්න, චිත්‍ර අඳින්න දක්ෂයි. පසුව මම කඩවත බැප්ටිස්ට් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබන කාලයේම තමා තුන ශ්‍රේණියේ දී පමණ මුලින්ම කෙටි නාට්‍යයක් නිර්මාණය කරන්නෙ. එවකට නාට්‍ය නිර්මාණය පිළිබඳ විශාල අදහසක් නැතත් අපි අද කරන දේවල්වලම මුල් අදියරේ මූලික දේවල්වලට එදා යොමුවුණා. 'සුනාමි' මම එහෙම හදපු මුල්ම පාසැල් නාට්‍ය.
පසුව මම කැළණිය ගුරුකුල විද්‍යාලයට ඇතුළත් වුණා. ගුරුකුලය කියන කලාගාරය තමා ජීවිතයේ හැරවුම්ලක්ෂය. නාට්‍ය වගේම රචනය සහ නිර්මාණශීලී පරිකල්පනය වැඩුණේ එහිදී කියලා කිව්වොත් වඩාත් හරි. ගුරුකුලයේ මම ඉගෙනුම ලබන කාලයෙත් විවිධ දේ කළා. සාමාන්‍ය පෙළ කාලය වන විට අසීමිතව සිනමාවට තිබුණ මගේ ඇල්ම වැඩෙන්න ගත්තා. ඒ ඇල්මත් සමග මම හොයන, රස විඳින දේ මම ඉගෙන ගන්න පටන් ගත්තා. එහෙම තමයි 2015 දී පමණ සිනමාව ගැන කෙටි සටහන් තියන අකාශ් බිහිවෙන්නෙ. සමාජ මාධ්‍ය තමයි මට තිබුණ එකම මාධ්‍යය. මාව විචාරකයෙක් කළා නම් එහි පාදමත් සමාජ මාධ්‍යය. 2015 න් පටන් ගත්ත ගමන අද වෙද්දි බොහොම සතුටු පැසසුම් මැද ටික දුරක් මම සාර්ථකව ඇවිත් කියන හැඟීම තියෙනවා. නමුත් මගේ අදහස තවම මම 'විචාරකයා' කියන තැන ගැනත් හදාරනවා කියන එක.
Question
විචාරකයෙක් වෙන්න හිතුනේ ඇයි ?
Answer
ඇත්තටම මට ළාබාල අවදියේ ඉඳලා කවදාවත් අද ඉන්න තැනට එන්න හීනයක් තිබුණේ නෑ. කලාවට සිනමාවට ආස කළත් මගේ හීනය තිබුණේ පුරාවිද්‍යාව හදාරන්න. එහෙත් පාසැල් කාලයේ දී අසීමිතව වැඩුණු සිනමා ආශාව අනෙක් සියල්ල අභිඹවා පෙරට පැමිණියා. විචාරකයෙක් කියන්නෙ වගකීම් සහගත භූමිකාවක්. මොකද විචාරකයා අර්ධ වශයෙන් නිර්මාණකරුවෙක් වගේම අර්ධ වශයෙන් රසිකයෙකුත් වෙනවා. ඔහුගේ වගකීම වෙන්නෙ රසිකයාගේ අවශ්‍යතාව නිර්මාණකරුට දැන්වීමත්, නිර්මාණකරුගේ චින්තනය රසිකයා වෙත ගැළපීමත් කියලා මම හිතනවා. එහෙම බලන කොට විචාරකයෙක් කියන්නෙ අනාගතය වෙනුවෙන් සුබවාදයක් තියාගෙන, බොහෝ දෙනෙක් දිරිගන්වමින් ඔවුන්ගේ බුද්ධිමය දියුණුව වෙනුවෙන් කටයුතු කරන කෙනෙක් කියලා මට අදහසක් තිබුණා. ඒ නිසාමයි මටත් විචාරකයෙක් වෙන්න අවශ්‍ය වුණේ. මම අද තවත් ක්ෂේත්රයන්ට සමීප වෙමින් ඉන්නවා. ඒත් අදටත් මම වැඩියෙන් ආස මට විචාරකයෙක් කියලා කවුරුහරි කියනවා නම්. ඒ භූමිකාවේ ගෞරවය වෙනුවෙන් මම තව තවත් හදාරනවා වගේම ආරක්ෂාකාරී වෙනවා.
Question
ඔබ දැනට ශ්‍රී ලංකාවේ මා දකින ළාබාලතම විචාරකයෙක්. ලංකාවේ සිටින අනෙකුත් දක්ෂ විචාරකයන් සමඟ සසඳන කල ඔබේ ලිවීමේ ක්රමව්වේදය ඔබේ වයසට වඩා මුහුකුරා ගිය එකක්. ඒ ලිවීමේ ක්‍රමවේදය කුමක්ද?
Answer
බොහෝ දෙනෙක් මටත් ඒ පිළිබඳ කියා තියෙනවා. මට වඩා ගොඩක් ප්‍රවීණ විචාරකයන් ලංකාවේ ඉන්නවා. මම ඔවුන්වත් බොහොම සීරුමාරුවට හදාරනවා. ගාමිණී වේරගම, ජයන්ත චන්ද්‍රසිරි, ගුණසිරි සිල්වා, අජිත් ගලප්පත්ති, භූපති නලින්, ප්‍රියන්ත කොඩිප්පිලි වගේ තව බොහෝ පිරිසකගේ විචාර පිළිබඳ මම නිතර අදටත් උනන්දුයි. මගේ කෙටි සටහන්, විචාර වගේම ලියන කියන බොහෝ දේ අනෙක් අයට වඩා තරමක් වෙනස් වෙන්නෙ මගේ භාෂාව නිසා කියලා ගොඩක් අය මට කියනවා. සිංහල භාෂාවට ඇත්තටම මම හරි ආදරෙයි. මම කියවපු පොත්පත්, ඇසුරු කරපු චරිත වගේ දේවල් නිසා මගේ වාග් කෝෂය වැඩුණා. මගේ හිතට එන ගොඩක් දේ වචන කරන්න මට ඕනැම වෙලාවක වචන තියෙනවා. ඒ නිසා මගේ භාෂා භාවිතය අනෙක් අයට වඩා තරමක් වෙනස්. හැබැයි සමහරු ඉන්නවා විශේෂයෙන් මගේ සමකාලීනයෝ ඔවුන්ට මේ භාෂාව නුහුරුයි. එය අපේම මව්භාෂාව වුණත් ඔවුන්ට එය නුහුරු වීම දුකක්. මගේ වචන ලස්සනයි කියන අය මට කියලා මොනාහරි ලියාගන්න කතා කළොත් 'පුළුවන් තරම් බර නැතිව සරලව ලියන්න' කියනවා. එවිට මට හිතෙන්නෙ මෙච්චර අලංකාර භාෂාවක් තියාගෙනත් ඇයි අපි ඉංග්‍රීසි එක්ක ඒක කලවම් කරන් භුක්ති විඳින්නෙ කියන එක. ඒ තමා ප්‍රධානම වෙනස මගේ ක්‍රමවේදයේ.
අනෙක් වෙනස තමයි ගොඩක් වෙලාවට මගේ ලිවීමේ අරමුණ දිරිගැන්වීම. මම කැමතියි අඩුවක් පාඩුවක් විවේචනය කරලා කෙනෙක්ට එය පහදා දෙන්න වගේම ඔහුගේ හෝ ඇයගේ දකින හොඳක් නිර්ලෝභීව පෙන්වාදීලා එය අගයන්නත්. එය අනාගතයට ගොඩක් වටින දෙයක්. අපි හැමෝටම වැරදි පෙන්නලා දෙන්න පසු රුකුලක් ඕනේ. ඒ නිසා රංගනය මාධ්‍යයේ ගොඩක් ආධුනික ශිල්පීන් ගැන මම සටහන් තබන්න කැමතියි. ඔවුන්ගේ බුද්ධිමය දියුණුවට තල්ලුවක් දෙන එක සතුටක් මට. එයත් තරමක මගේ ක්‍රමවේදයේ අනන්‍ය ගුණයක් බව ඇතැම් අය කියලා තියෙනවා.
Question
'තරුණ කලාකරුවන්ගේ සංසදය' සමඟ ඔබ එකතු වෙලා සිටිනවා. එමගින් සමාජයට සහ කලාවට සිදුකරන්නා වූ සත්කාරය ගැනත් කතා කරමු ?
Answer
ඔව්.. 2020 ජුනි 21 වැනිදා තමයි තරුණ කලාකරුවන්ගේ සංසදය ආරම්භ වෙන්නෙ. ලංකාවේ සෑම කලා ක්ෂේත්රයක්ම නියෝජනය වෙන යොවුන් කලා තරු එකිනෙකාට සම්මුඛ වන හවුලක් එය. මම එහි ප්‍රධාන ලේකම්වරයා ලෙස අධ්යක්ෂ මණ්ඩලය නියෝජනය කරනවා. දෙව්නක පෝරගේ සභාපතී ලෙසත්, විදුරවී කුඹුකගේ භාණ්ඩාගාරික ලෙසත් එහි අධ්යක්ෂ මණ්ඩලය මා සමග නියෝජනය කරනවා. සියයකට ආසන්න බොහෝ නූතන කලා තරු අපි සමග අත්වැල් බැඳ සිටිනවා. එහි ප්‍රධානතම අරමුණ වුණේ අනාගත කලාවේ පුනරුදයක් නිර්මාණය කිරීම. ඒ වෙනුවෙන් මේ වන විටත් අපි 'YCF Acedemy' නමින් අධ්‍යාපන ආයතනයක් ස්ථාපිත කරලා තියෙනවා. ඒ ඔස්සේ අනාගත කලාවට එක්වන අංකුරයන් වගේම සමකාලීන අපිත්, අපේ පරපුරත් දැනුමෙන්, අත්දැකීමෙන් දෙස් විදෙස් ප්‍රවීණයන්ගෙන් සුපෝෂණය වෙනවා.
ඒ වගේම Youtube වගේ මේ යුගයේ ජනාදර මාධ්‍යයක් ඔස්සෙත් අපි අපේ පුනරුද ව්‍යාපාරය කරගෙන යනවා. එහිදී 'රංගකාරිකයා' නමින් 'Youth Celebrity Forum' නිල Youtube ගිණුමේ මමත් වැඩසටහන් මාලාවක් කරගෙන යනවා. ප්‍රමිතිගත රංගනය පිළිබඳ ලංකාවේ රංගන ශිල්ප ශිල්පිණියන්ගේ රංග භාවිතාව ප්‍රමාණාත්මකව කියවන්න ගන්න උත්සහයක් එය. රංගනය සහ කලා ඉතිහාසය හදාරන ඕනෑම කෙනෙක්ට එය රුකුලක් වේවි තමන්ගේ කියැවීම හදාගන්න. ඒ වගේ ගොඩක් සරු දේ කරලා තියෙනවා වගේම කරමින් පවතිනවා 'YCF' හරහා. ආරාධනා කරනවා දැනට සියයක් ඉක්මවන අපේ සාමාජික නියැදියට අනෙකුත් තරුණ කලාකරුවන්ටත් එකතු වෙන ලෙස.
Question
'පාදපාචාරිකා' ඔබ විසින් පද රචනය කරන ලද වෙනස්ම ගීතයක්.එහි බිහිවීම ගැන කතා කළොත් ?
Answer
ඔව්. මගේ රචනාවන් අතර ජනප්‍රිය මාධ්‍යයේ දිගහැරුණ පළමුවැන්න එය. ගීත ලියලා තිබුණත් බොහෝ දෙනෙක් එම නිර්මාණ එළිදක්වා නෑ තවම. වර්තමාන ක්‍රමවේදයේ රචකයාට හිමි තැන අවමයි. රචකයන් මුදල් ගෙවා ගායකයෙක් වෙන් කරවාගෙන ගීත නිර්මාණය කරන ක්‍රමවේදය මම හඹාගෙන යන්නෙ නෑ. මගෙන් කෙනෙක් ගීතයක් අපේක්ෂා කළොත් එයට කැපවී ලියා දෙනවා මිසක් ගීත රචනය ඔස්සේ වෘත්තිමය වශයෙන් පියවර තියන්න මට මෙතෙක් හිතිලා නෑ.
දෙව්නක අයියා කියන්නේ මගේ ජීවිතයේ තව හැරවුමක්. මගේ ලියැවිලි නිසාම මට හමුවුණ තිළිණයක්. ඔහු දවසක් ඔහුගේ හිතේ තිබුණ අදහසක් පවසනවා 'මට එවැනි ගීතයක් ගැයීමට ප්‍රිය බව' පවසමින්. එය ඔහුගේත් පළමුවැනි ගීතය. දෙව්නක අයියා දුන්න අදහසට සංසාරික ප්‍රේමය එකතු කරලයි මම ගීතය ලියන්නෙ. අපි හැමෝම හොයන නියම ආදරය ගැන මගේ අදහස මම ගීතයෙන් ජනගත කළා. පූජ්‍ය බිබිලාදෙණියේ මහානාම හිමියන් තමයි ගීතය සංගීතවත් කරන්නේ, රූප රචනය සංදේශ් බණ්ඩාර විසින් නිර්මාණය වුණා. ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් මේ වෙද්දි එය අසා නරඹා තියෙනවා. ක්ෂේත්රයේ ප්රවීණයන්ගේ සිට බොහෝ දෙනෙක්ගෙන් ලද ප්‍රතිචාරත් ඉහළයි. එනිසාම තවත් ගීත ආරාධනාත් මට ලැබුණා. නුදුරේම තවත් ගී එළිදකීවි මගෙන්.
Question
'සුලක්ෂාණා' නමින් සිනමාපටයක් නිර්මාණය කිරීමට සැළසුමක් තිබුණා නේද ?
Answer
'සුලක්ෂාණා' කියන්නෙ මගේ හිතේ උපන් ප්‍රේමය. මම එච්චරටම ඒ කතාවට ආදරෙයි. ඒ නිසාම තිර රචනය ගැන අදහසක් හැදෑරීමක් කරගෙන යන අතරේ මම සාමාන්‍ය පෙළ අවසන් වෙලා එය තිර නාටකයක් කළා. චිත්‍රපට නිර්මාණයකට එය වඩා සුදුසු බව හිතුණ නිසා එයට මම සූදානම් වුණා. චිත්‍රපටයේ 'සුලක්ෂාණා' කියන ප්‍රධාන චරිතයට මම තේරුවේ අනුරාධා එදිරිසිංහ කියන දක්ෂ යොවුන් නිළියව. දෙව්නක පෝරගේ, සචින් ලියනගේ, බිතුම් චබූ චානක්‍ය වගේ පිරිසක් එහි ප්‍රධාන චරිත වෙනුවෙන් තෝරලා තිබුණා. මගේ 20 වැනි උපන්දිනය දා එහි තිර රචනය එළිදක්වා රූගත කිරීම් සැලසුම් කරන කාලයේම තමා කොරෝන උවදුර පැනනැගුණේ. එනිසා ඇරඹුමෙන්ම චිත්‍රපටයේ පරිසමාප්තියට ළංවෙන්න ඉඩක් ලැබුණේ නෑ. මේ තත්ත්වය පහව යනතුරු මම එය නැවත අරඹන්නෙත් නෑ. තත්ත්වය හොඳ වුණාම මගේ ආදරය මම සිනමාවේ ලියන්නම්.
Question
සිනමාපටය ගැන කතා කරනකොට මතක් උන දෙයක්.. ලංකාවේ දැනට ඇතිවෙලා තිබෙන සිනමා අර්බුධය ගැන විචාරකයෙක් විදියට ඔබ එය දකින්නේ කොහොමද සහ එයින් මිදීමට නම් කුමක් සිදුවිය යුතු ද ?
Answer
සිනමාව කියන්න ගොඩක් අසාධ්‍ය ලෙඩෙක් ගාණයි මට නම්. හැබැයි ලෙඩා සුව කරගන්නවා මිසක් අතෑරලා දාන එක නුවණට හුරු නැති වැඩක්. ඒ නිසා අපි ඉක්මණින් ප්‍රතිකාර ඇරඹිය යුතුයි. කොරෝනා ව්‍යසනය එක්ක චිත්‍රපට සියයකට අධික ප්‍රමාණයක් තිරගත වෙනතුරු පෝලිමක තියෙනවා. ගොඩක් අය චිත්‍රපටයක් කළාම ඒක තිරගත වෙන්නෙ කවද්ද අහන්නෙත් මේ පෝලිම් ගැන සමාජය එතරම් දැනුවත් නැති නිසා. නමුත් මගේ අදහස මේ සිනමාවට එතරම් හොඳ කාලයක් නෙවෙයි. එනිසා අපි හැමෝම එකතු වෙලා මේ එන්න තියෙන නිර්මාණවලට තැනක් දෙමින් නැවත ප්‍රේක්ෂකාගාරය ශක්තිමත් කරන්න අවශ්‍යයයි.
කොරෝනා එක්ක ලෝක සිනමාවත් අපිත් එක විරාම රේඛාවක රැඳුණා. එනිසා මෙය හොඳ වෙලාවක් හදාරමින් අලුත් අදහස් සිනමාවට ගෙන එන්න. මේ කාලය ප්‍රයෝජනයට ගෙන තිර රචකයන් සහ නිර්මාණකරුවන් අනුකාරක සිනමාවක් වෙනුවෙන් අපේම සභ්‍යත්වයක් සිනමාවේ හදන්න මහන්සි ගන්න ඕනෙ. එතකොට ලෝක සිනමා සිතියමේ ලංකාවට තියෙන තැන මීට වඩා විශාල කරන්න අපිට බැරි නෑ.
Question
ආරංචියක් තියනවා ටෙලිනාට්‍යක් අධ්‍යක්ෂණය කරන්න හදනවා කියලා.. ඒ ගැනත් දැනගන්න කැමති..
Answer
චිත්‍රපටයේ වැඩ අතරමග නැවතීමත් එක්ක කොරෝනා කාලයේ අලුත් දෙයක් කරන්න හිතුණා. ඒ එක්කම මම 'ජ්වලන' නමින් කෙටි මාලා නාට්‍යයක් (Mini Series) ලිව්වා. එයට සූදානම් වෙලා රූගත කිරීම් කරන්න ඉන්නකොට තමා දෙවැනි රැල්ල පැනනැගුණේ. විදුරවී කුඹුකගේ, දෙව්නක පෝරගේ සමග හර්ෂි රසාංගා එහි ප්‍රධාන චරිත රංගනය කරන්න හිටියේ. නමුත් දෙවැනි රැල්ලෙන් පසුව නිෂ්පාදකවරයා ඊට පසුගාමී වීම එක්ක එයත් තරමක නැවතීමක තියෙන්නෙ.
බොහොම මෑතකදී මට ඇරයුමක් ලැබෙනවා වැඩි කොටස් ගණනකින් යුතු ටෙලිනාට්‍යයක් කරන්න. ඒ ඇරයුම ලැබෙන්නෙත් තාරුණ්‍යයේ අතිශය ජනාදරයට පත් සහෝදරයන් කණ්ඩායමකින්. මම ඒ ඇරයුම ගොඩක් ආසාවෙන් පිළිගත්තා. මේ දිනවල එහි පූර්ව නිෂ්පාදන කටයුතු සිදුවෙනවා. දෙසැම්බර් මාසයේ රූගත කිරීම් අරඹන්න හිතන් ඉන්න නිසා ඉකුත් වසර මුල ඔබට එය තිළිණ කරන්න හැකි වේවි. මම කලින් කිව්ව නිර්මාණශීලී කණ්ඩායම වගේම තවත් තාරුණ්‍යයේ හදවත් දිනාගත්ත පිරිසක් එහි චරිත මවනවා.
Question
'Legend' තවත් අලුත් වැඩක් නේද? ඒ මොකක්ද ?
Answer
ඔව්. අද වෙද්දි බහුතරයක් දෙනා කියැවීමට වඩා ඇස්දිසි මාධ්‍යයන්ට ප්‍රියයි. ඒ නිසා මගේ විචාරයන්, මතභේදයන් වගේ දේවල් රූප මාධ්‍යයට ගේන්න හිතාගෙනයි මම 'YCF' එකෙන් මට කරපු 'රංගකාරිකයා' වෙනුවෙන් ඇරයුම පිළිගත්තෙ. එයට ලැබුණ ප්‍රතිචාර අදටත් බොහොමයි.
ඒනිසාම මෑතකදී මට තව ඇරයුමක් ආවා. 'Akash Tharuka Perera' ලෙස මගේම Youtube නාලිකාවක් පටන් ගන්න. ඒ ඇරයුම ගෙනාවේ මගේ දුකට සැපට ළඟම සෙවණැල්ලක් වගේ ඉන්න මගේ හොඳම මිතුරෝ දෙන්නගෙන්. චංක දෙව්මිණ් සහ තාරුක දෙලංකාවල දෙන්නා එකතු වෙලයි මේ වැඩසටහන් මාලාව කරන්න හිතන් ඉන්නෙ. වැඩසටහන් සංගීතවත් කරන්නෙ වගේම සංස්කරණය කරන්නෙත් මගේම මල්ලි හිමේෂ් පෙරේරා. මල්ලිත් යාලුවෝ දෙන්නත් එකතු වෙලා කරන මේ වෑයමට කලා ලෝකයේ මම අඳුරගත්ත මට බොහෝ සෙයින් උපකාරී වෙන ජනප්‍රිය රංගන ශිල්පී දෙනුවන් ශ්‍රී බණ්ඩාර අයියත් ලොකු සහයක් දෙනවා. මේ සියලු දෙනා එක්ක 'Legend' නමින් සිදු කෙරෙන මේ වැඩසටහන් මාලාවත් එක්තරා ආකාරයක පර්යේෂණාත්මක පියවරක්. ලංකාවේ කලාව ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක පුරෝගාමීන් සමග දිගහැරෙන මෙම වැඩසටහන එළඹෙන කාලයේ ජනගත කිරීමට නියමිත යි.
Question
මේ ක්ෂේත්රයට පැමිණෙන්න ඔබට අත හිත දුන් බොහෝ දෙනෙක් ඇති.ඒ අය ගැනත් මතක් කළොත් ...
Answer
ගොඩක් ලොකු පිරිසක් ඉන්නවා. ක්ෂේත්රයට පැමිණෙන්න වුණත් මගේ අධ්‍යාපන වටපිටාව බලපානවා. මගේ පාසැල් දෙක වගේම, ගුරුවරු හැම කෙනෙක්මත් මේ පසුපස ඉන්නවා. ඒ වගේම තමා කලාවේ දී මුලින්ම මට විචාරකයෙක් ලෙස පෙරට එන්න අත දුන්නේ සිනමා සංරක්ෂකයෙක් වුණ කපිල සිරිමාන්න අයියා. ඔහුගේ දැනුම අදටත් මාව පෝෂණය කරනවා. ශාස්ත්‍රීය වුණ රස්තියාදුවක් එක්කම කලාවේ ගොඩක් දේවල් පිපාසයෙන් මම හොයන් යන අතරේ මගේ පොඩි කාලේ ඉඳලම වීරයා වුණු ජැක්සන් ඇන්තනීන් මගේ ගුරු තරුව වුණා. අදටත් සර් මගේ විශාලම සවිය. යමුනා මාලනී පෙරේරා, ප්‍රසන්නජිත් අබේසුරිය, අජිත් ගලප්පත්ති, සංජීව පුෂ්පකුමාර වගේ ප්‍රවීණයොත් මගේ ගමනට ලොකු සවියක් දුන්නා. ඒ වගේම තමා අද ජීවතුන් අතර නැති ප්රතාපයන් වගේම අදටත් මාව පිරිවරන් ඉන්න හැම කෙනෙක්ම, මගේ ලිපි කියවලා මා දිරිමත් කරන හැම කෙනෙක්ම මගේ ගමනේ හවුල්කරුවෝ තමා. ඒ හැමෝටම මම ආදරෙයි.
Question
අකාශ්, ඔයාගේ අනාගත බලාපොරොත්තු මොනවාද ?
Answer
එය තරමක් වෙනස්. මගේ ඉලක්ක වෙත ගොඩක් ඉක්මණින් මට ළඟාවෙන්න ගොඩක් අය උදව් වුණා. ඒ නිසා සිහින කියලා දැක්ක ගොඩක් දේ හිතන්නත් කලින් ඉටු වුණා. තවත් පොඩි පොඩි ආසාවන් කීපයක් තියෙනවා. ඒවා වෙනුවෙනුත් මහන්සි වෙනවා. නමුත් මගේ අවසාන බලාපොරොත්තුව වෙනත් එකක්. මම තවම මාව හොයනවා. ඒ කියන්නෙ 'අකාශ් තාරුක' කියන්නෙ කවුද කියලා හොයනවා. ඒක තමයි මගේ ජීවිතයේ තියෙන ලොකුම බලාපොරොත්තුව. ඉතින් මට හිතෙනවා ඒකත් සාමාන්‍යයෙන් මගේ සමකාලීනයෙක්ට කලින් මට මාව හමුවෙයි කියලා. එහෙම හිතද්දි සතුටක් සහ දුකක් එකවර මට ලැබෙන බව විශ්වාසයි. සතුට මට මාව හමුවීමෙන් ජීවිතය මගේ බලාපොරොත්තු සඵල වීම. තියෙන එකම දුක 'මට මාව හමුවුණොත් ඔබ කිසිවෙකුට මාව යළිත් හමුනොවෙන එක'. ඒ නිසා ඒ විමුක්තියට මම මහන්සි ගන්නවා.
Question
ලංකාවේ කලා ක්ෂේත්රයේ සිටින බොහොමයක් දෙනාගේ ආදරයට පාත්‍ර වන කෙනෙක් විදියට මොකද ඔයාට හිතෙන්නේ ?
Answer
මගේ පවුලේ ඉන්නෙ අම්මයි මමයි මල්ලියි විතරයි. එතනින් එහාට මගේ පවුල තමා කලා ලෝකයම. සිනමාවට හෝ කලාවට මගේ කිසිම ඥාතීත්වයක් නෑ. ඒත් දැන් සිනමාව මගේම ඥාතීන්ගෙන් පිරිලා. ඔවුන් හැමෝම මට ඔවුන්ගෙම කෙනෙක්ට වගේ ආදරෙයි. දයාන් විතාරණ කියන්නෙ මගේ මේ ජීවිතයේ මට තියෙන ලොකුම හිරු එළිය වගේ. 'දයාන් මාමා' කියලා මම කියන්නෙ ඒ ආදරය නිසාමයි. මේ ක්ෂේත්රයේ මට හොඳම අභ්යාසගතවීමට අවස්ථාව දුන්නෙත්, ගොඩක් පිරිස අඳුරගන්න අවකාශය සැලසුවෙත් දයාන් මාමා. ඒ වගේමයි මගේ පුංචි කාලයේ හිතේ හිටිය හැම වීරයෙක්ම, සිනමාවෙන් දැක්ක හැම තරුවක්ම වගේ අද මගේ ගොඩක් ළඟම සමීපතමයන්. ඉතින් එය මට විශාල භාග්‍යයක්. මට ඉකුත් කාලයේ කොරෝනා ආසාදිත වුණාම අන් කවරදාටත් වඩා ඒ ආදරේ දැණුනා. මට අම්මා, මල්ලි සහ මගේම එකකුස උපන් සහෝදරයෝ වගේ ළඟ රැඳුණ අය ඇරෙන්න බැඳීම් නෑ වෙන ජීවිතේ. ඉන්නෙ මේ කලාවෙන් මගේ වටේ එකතු වුණ ආදරණීයන් තමයි. ඒ තමයි මගේ පරම ශක්තිය.
Question
විචාරක ක්ෂේත්රයට පිවිසෙන්න කැමැත්තෙන් ඉන්න තරුණ පිරිස් බොහොමයක් ඉන්නවා. ඉතින් ඒ අය වෙනුවෙන් ඔබට මොනවද කියන්න තියෙන්නේ ?
Answer
එහෙම පිරිසක් හැදෙමින් ඉන්නවා නම් ඒක සතුටක්. මොකද රංගනය ගායනය වගේ මේ විචාරක ක්ෂේත්රයන්ට අලුත් අය පිවිසෙනවා අඩුයි. විචාරකයාට සමාජයේ තියෙන රූපය හරි පොඩියි. අද සමාජ මාධ්‍ය දියුණු නිසා ගොඩක් අය තමන්ගේ අදහස් ලියනවා. හැබැයි අදහසක (Comment) සහ විචාරයක ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා විචාර සිද්ධාන්ත, ප්‍රේක්ෂාව සහ නිර්මාණ වපසරිය ගැනත් හොඳින් හදාරලා, පතපොත කියවලා තමාගේම භාෂා රීතියක් හදාගෙන විචාර ක්ෂේත්රයට එන්න කියලා මම ඇරයුම් කරනවා. මොකද එය බොහොම තෘප්තිමත් සේවයක්. කලාවට වගේම ලංකාවටත්. ඔබ අද මා සමග මෙලෙසින් දොඩමලු වෙන්නෙත් ඒ විචාරකයා කියන රූපයට දක්වන ගරුත්වය නිසා කියලා හිතනවා. ස්තූතියි එයටත් !
අද අපත් සමඟ සුහද කතා බහට එකතු වූ අකාෂ් තාරුක, ඔබට අපේ ස්තුතිය සහ ඔබේ අනාගත බලාපොරොත්තු සියල්ලක්ම සාර්ථක වේවා යනුවෙන් ප්‍රාර්ථනා කරන්නෙමු.
චායාරූප මුහුණුපොතෙනි |
චායාරූප මුහුණුපොතෙනි |
චායාරූප මුහුණුපොතෙනි |
චායාරූප මුහුණුපොතෙනි |
චායාරූප මුහුණුපොතෙනි |
චායාරූප මුහුණුපොතෙනි |
චායාරූප මුහුණුපොතෙනි |
චායාරූප මුහුණුපොතෙනි |
3 Comments
GOOD Luck Aiye 🎉🎉
ReplyDeleteCongratulations aiyh❤️
ReplyDeleteඅකාශ්ට සුබ පතන අතරම මෙම ලිපියේ අකුරු ඇමුණුම මනාව සිදුකර ඇති බව කියන්න කැමතියි.ප්‍රධාන ධාරාවේ බොහෝ මුද්‍රිත මාධ්‍යයන්ට වඩා සුමටව නිවැරදිව වචන ගලපා තියෙනවා.ලිපියේ සංස්කාරකට/ රචකට සුබ පැතුම්!
ReplyDelete