"මේ මධ්‍යපාන බීමේ ජොලිය ගෑණු නොදන්නේ" ගීතය පසුගිය දින වල තරුණ තරුණියන් අතර අතිශය ජනප්‍රිය වූ ගීතයකි. නමුත් මෙම ගීතය ඇතුළත් වුයේ 1948 වසරේ පෙබරවාරි 23 වන දින ප්‍රදර්ශනය කරන ලද "කපටි ආරක්ෂකයා" සිනමාපටයේ ය. ඒ අදින් වසර 75කට ප්‍රථමවය. ලාංකේය සිනමාවේ ප්‍රදර්ශනය වූ තෙවන සිංහල සිනමාපටය ලෙසින් "කපටි ආරක්ෂකයා" සිනමා නාමාවලියට එකතු වේ.
1947 වසරේ මෙරට කතා නාද සිනමාවේ ආරම්භය "කඩවුණු පොරොන්දුව" සමඟ සනිටුහන් වීමත් සමඟ එහි අධ්‍යක්ෂණය සිදුකරන ලද්දේ බෙංගාලි ජාතිකයෙකු වූ ජේ.සිං විසිනි. ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද දෙවැනි සිනමාපටය වුයේ "කපටි ආරක්ෂකයා" ය. 1948 වසරේ මෙරට නිදහස ලැබ දින කිහිපයකින් අනතුරව ප්‍රදර්ශනය කරන ලද ප්‍රථම සිනමාපටය මෙය වීම සුවිශේෂී වෙයි. සිලෝන් තියටර්ස් සමාගමේ නිපැයුමක් වූ "කපටි ආරක්ෂකයා" සිනමාපටය ප්‍රදර්ශනය වුයේ 1948 වසරේ පෙබරවාරී 23 වෙනිදාය.
සිලෝන් තියටර්ස් සිනමා සමාගමේ පළමු සිනමාපටය වුයේ "අසෝක මාලා" සිනමාපටයයි. එහි අධ්‍යක්ෂකවරයා වුයේ ශාන්ති කුමාර් ය. සිනමා වංශකතාවේ ප්‍රථම අධ්‍යක්ෂකවරයා වූ කඩවුණු පොරොන්දුව සිනමාපටයේ ජේ.සිං ඔවුන්ගේ දෙවැනි සිනමාපටයේ අධ්‍යක්ෂණය වෙනුවෙන් තෝරා ගනු ලද්දේ කඩවුණු පොරොන්දුව ලැබූ ජනප්‍රියත්වය සහ ආදායම හේතුවෙනි.
ජේ සිං මෙරට කඩවුණු පොරොන්දුව අධ්‍යක්ෂණයට ප්‍රථමව ශබ්ද පරිපාලකවරයෙක් ලෙසින් කටයුතු කල අයෙක් වන අතර එකල ප්‍රකට දමිළ සිනමාකරුවෙකු වූ කේ.සුබ්‍රමනියම් නම් වූ අධ්‍යක්ෂකවරයා ඔහුව ඉන්දියාවට ගෙන්වා ගෙන ඇති අතර එහිදී ජේ.සිං විසින් දමිළ, කන්නඩ, තෙලිඟු, සිනමාපට සඳහා තිර රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් දායක වූ අයෙකි. කඩවුණු පොරොන්දුව අධ්‍යක්ෂණය සමඟ සිංහල සිනමාපට නිර්මාණය ගැන දැනුමක් ලබා ගත සිං ඔහුගේ දෙවැනි සිනමා අධ්‍යක්ෂණය වන "කපටි ආරක්ෂකයා" උදෙසා කේ.සුබ්‍රමනියම් සම අධ්‍යක්ෂකවරයෙක් ලෙස තෝරාගනු ලබයි.
කපටි ආරක්ෂකයා සිනමාපටය හුදෙක් ප්‍රේමයට මුල්තැන ලබා දුන් සිනමාපටයක් නොව සමාජයට වටිනා පණිවිඩයක් සහිතව රැගෙන ඒමට කේ.සුබ්‍රමනියම් මුල්තැනක් දී තිබිණ.
කපටි ආරක්ෂකයා සිනමාපටයේ සංශිප්ත කතාව
කුලසේන යනු විවාහපත් වූ අයෙකි. ඔහුට මල්ලිකා නමින් තරුණ දියණියක් වෙයි. ඔහුට සහෝදරයෙක් සිටි අතර ඔහුද විවාහපත් දරුවන් දෙදෙනෙක් සිටින අයෙකි. කුලසේනගේ සහෝදරයා ගේ මරණයෙන් අනතුරුව ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා භාර වන්නේ ඔහුටය. නමුත් කුලසේන තුළ තිබු ධන තණ්හාව නිසාම තමාගේ සහෝදරයා සතු දේපළ තමා වෙතට ගැනීමට වෙර දරයි. තම සහෝදරයා විවාහපත් වූ අයෙක් නොවූ බව ඔහු තරයේම කියා සිටිමින් සහෝදරයා සතු දේපළ කොල්ලකෑමට මාන බලන කුලසේන සහෝදරයාගේ බිරිඳට සහ දරුවන්ට නිවසේ මෙහෙකරුවන්ට සළකන්නාක් මෙන් සලකන්නට විය.
කුලසේනගේ අපායේ තමන්ට සිදුවන දුක්ඛිත ජිවිතයට සමුදෙමින් සහෝදරයාගේ වැඩිමල් පුත්‍රයා වූ විපුලසේන නිවසින් පලා ගොස් ලිපිකරුවෙක් ලෙසින් රැකියාවක් සොයාගනු ලබයි. ඒ අතර කුලසේනගේ දියණිය සහ සහෝදරයාගේ බාල පුතු වූ ගුණපාල සමඟ තිබෙන්නාවූ සහෝදර ප්‍රේමය වරදවා වටහාගන්නා කුලසේන වෙඩි තබා ගුණපාලව මරා දමනු ලබයි. සහෝදරයාගේ බිරිඳ අසනීප තත්වයෙන් සිටින අතරම විපුලසේන හට ඒ ගැන දැනගන්නට ලැබීමෙන් තම මව බැලීම සඳහා ඔහු කුලසේනගේ නිවසට පැමිණෙයි. නමුත් ඔහුට දක්නට හැකි වන්නේ මියගොස් සිටින තම සහෝදරයා වූ ගුණපාලගේ මියගිය සිරුරයි. ගුණපාල සොහොනේ මිහිදන් කරන අතර එය දරා ගත නොහැකිවූ ද ඉමහත් ශෝකයෙන් සිටි මල්ලිකාගේ ළය පැළී මියයන්නිය. එයින් පසුව කුලසෙනද දිවි නසා ගනී.
ධනලෝභය හේතුවෙන් සිදුවන්නාවූ වියවසනයක් සිනමාවට රැගෙන ඒමට කේ.සුබ්‍රමනියම් හට හැකි විය. සිනමාපටයට මුල් වුයේ ජයමාන්න ගේ තවත් නාට්‍යයක් වූ "කපටි ආරක්ෂකයා"යි. එමෙන්ම මෙරට ප්‍රථම වරට එළිමහන් දර්ශන කිහිපයක්ම ඇතුලත් කරමින් "කපටි ආරක්ෂකයා" නිෂ්පාදනය වී තිබෙයි. ලාංකේය සිනමාවේ විරිඳු ගීතයක් ඇතුලත් වීමත් දුක්ඛිත අවසානයකින් නිමාවූ ප්‍රථම සිංහල සිනමාපටය වීමත් සහ සිනමාපටයක අනිවාර්ය අංගයක් වූ සිහින දර්ශනයක් ද එක්වන්නේ "කපටි ආරක්ෂකයා" හරහායි. එමෙන්ම සිනමාපටයට ඇතුලත් වූ ගීත ප්‍රමාණය 14කි. විරිඳු ගීතයට අමතරව අනෙකුත් ගීත සියල්ලම හිංදි තනු ඇසුරෙන් නිර්මාණය වී තිබිණ.
කපටි ආරක්ෂකයා - හෙළ සිනමාවේ තෙවැනි සිනමාපටය
තිරගත වුණ දිනය – 1948 පෙබරවාරි 23
නිෂ්පාදනය – සීමාසහිත සිලෝන් තියටර් සමාගම
(රොබට් පරාක්‍රම සේනානායක / සර් චිත්තම්පලම් ගාඩිනර්
අධ්‍යක්ෂණය – කේ. සුබ‍්‍රමනියම් / ජේ. සිංහ
කතාව තිර නාටකය දෙබස් – බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න
සංගීත අධ්‍යක්ෂණය – සී. එන්. පණ්ඩුරංගන් (ඉන්දීය)
ගීත නිබන්ධනය – පී. එල්. ජේ. නන්දනකීර්ති
ගීත සංඛ්‍යාව – 14
ගීත ගායන ශිල්පීන් –
දුක සැප නිති පෙරළේ – ක්‍රිස්ටි ද මෙල්
අඹරේ තඹ පැහැ – රුක්මණී දේවි / ක්‍රිස්ටි ද මෙල්
ශ්‍රිය දෙනා – රුක්මණී දේවි
දුක දේ සැප දේ – පී. ඩබ්ලිව්. පිල්ලේ
සුපිනගේ රූපේ – එඩී ජයමාන්න
මහ මුහුදේ සුළිය වගේ – එඩී ජයමාන්න / ජෙමිනි කාන්තා
බබලනා නුඹගේ මුහුණ – එඩී ජයමාන්න / ජෙමිනි කාන්තා
පින්සාර මාගේ සොයුරා – රුක්මණී දේවි
සෝඩා නොදා – ජෙමිනි කාන්තා
පාපේ සාදනා – රුක්මණී දේවි / ක්‍රිස්ටි ද මෙල්
උදය නැගිට – එඩී ජයමාන්න/
ජෙමිනි කාන්තා /බර්ට්‍රම් ප්‍රනාන්දු
පරණ කාලේ – එඩී ජයමාන්න / ජෙමිණි කාන්තා
දුප්පත් ගෝල අපිටා – එඩී ජයමාන්න
සුධවල සුන්දර – මිනර්වා නාට්‍ය කණ්ඩායම
චිත්‍රාගාරය – මදුරාසියේ සදර්න් සහ කොයිම්තූර්හි නැප්චූන්
වැඩ ආරම්භ කළ දිනය – 1947 ජූනි
රඟපෑම් – රුක්මණී දේවි (මල්ලිකා), ක්‍රිස්ටි ද මෙල් (පාල), එඩී ජයමාන්න (ජේකබ්), බර්ට්‍රම් ප්‍රනාන්දු (ජුන්ඩා), හර්බි සෙනෙවිර්තන (විපුලසේන), බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න (ලොකු තාත්තා), ජෙමිනි කාන්තා (සුපිනා), ජොසපින් ජයලත්
නැටුම් – ලලිතා සහ පද්මිණී – දකුණු ඉන්දියාව
නිෂ්පාදන කාලය – මාස 08
ප්‍රදර්ශනය – 1948 පෙබරවාරි 23 – එල්ෆින්ස්ටන්, 26 සිට මැජෙස්ටික්, 28 සිට මහනුවර එම්පයර්
0 Comments