MAD MAX : Fury Road

MAD MAX : Fury Road

MAD MAX : Fury Road 

සියවසේ විශිෂ්ඨතම සිනමාපට තේරීමේදී "The Empire" සඟරාව විසින් පසුගිය වසරේ (2020) දී "MAD MAX : Fury Road" සිනමාපටය සියවසේ විශිෂ්ඨතම සිනමාපටය ලෙස හඳුන්වා දුන් අතර අනෙකුත් සිනමාපට වලට අභියෝග කරමින් එය ප්‍රථම ස්ථානයට පැමිණීම ම සිනමාපටයේ විශිෂ්ඨත්වය ගැන තව තවත් සනාථ කරවන්නකි. "MAD MAX : Fury Road" සමඟ උරෙන් උර ගැටුණු සිනමාපට ලෙසින් පිළිවෙලින්

2. The Lord Of The Rings: The Fellowship Of The Ring
3. The Dark Knight
4. Inception
5. Moonlight
ස්ථාන ගැනීමට සමත්වී තිබීමද එම සිනමාපටද කොතරම් හරවත්ද යන්න නැරඹු ඕනෑම කෙනෙක් දන්නා දෙයකි.

අද කලා වීදීය හරහා බයිස්කෝප් හංදියෙන් රැගෙන එන්නේ "Action" සිනමාපට අතර "Action ශාරණයේ"ඉහළින්ම වැජඹෙන සිනමාපටය "MAD MAX : Fury Road" සිනමාපටය ගැනයි.සැබවින්ම "MAD MAX : Fury Road" සිනමාපටය "Action Pack" එකක් කියා කිවහොත් නිවැරදිය.සිනමාපටයේ IMDb අගය 8.1 අගයක් ගන්නා අතර අනෙකුත් "Action" සිනමාපට හා බලන කල නැවුම් වූ සිනමාපටයක් ලෙස හඳුන්වාදිය හැක.

"George Miller" විසින් අධ්‍යක්ෂණය කරන ලද "MAD MAX" සිනමාපට පෙළෙහි හතරවන කතාංගය "MAD MAX : Fury Road" ලෙසින් 2015 වසරේදී නිකුත් කරනු ලැබීය.නමුත් ප්‍රථම සිනමාපට තුන නොබැලු අයෙකුට වුවද "MAD MAX : Fury Road" එකලෙස උපරිම කෘතුහලය ආශ්වාදය සමඟ නැරඹීමට හැකිය.ප්‍රථම "MAD MAX" සිනමාපටය නිර්මාණය වනුයේ 1979 වසරේදීය. ඉන් පසුව Mad Max 2 - 1981 වසරේදීත් Mad Max: Beyond Thunderdome -1985 වසරේදීත් නිකුත් වූ අතරම එම සිනමාපට ත්‍රිත්වයේම "MAX" ලෙසින් රංගනයට එකතු වුයේ සම්මානනීය නළුවෙකු වන Mel Gibsonය.

වසර 36කට පසුව "George Miller" විසින් පරිපුර්ණ අධිතාක්ෂණික මෙවලම් ද සමඟ අපුරු කතා තේමාවක් එකතු කරගනිමින් "MAD MAX : Fury Road" සිනමාපටය 2015 වසරේදී අතිසාර්ථකව ප්‍රදර්ශනය කරලීය.නමුත් ඔහුගේ ප්‍රථම සිනමාපට ත්‍රිත්වය සේම මෙම සිනමාපටයත් ඔහු විශාල පිරිවැයක් යොදමින් වසර 36කට පසුව රැගෙන එන්නේ සිනමාශාලාව තුල සිටින පිරිස් මවිතයට පත් කරවමිනි.මේ නිසාම ලොව පුරා මෙම සිනමාපටය "BOXOFFICE" වාර්තා සමඟින් විශාල ආදායමක් ගෙනෙමින් ප්‍රදර්ශනය වුවකි.සිනමාපටයේ පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 154.6–185.1 වන අතර සිනමාපටය ප්‍රදර්ශනයෙන් පසුව එහි ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 375.4 ."MAD MAX : Fury Road" සිනමාපටය ලොව පුරා සිනමාහල් 3000ක ප්‍රදර්ශනය වීමද මෙහි විශේෂත්වයකි.

"MAD MAX : Fury Road" සඳහා වසර 36 කට පසුව නැවත "MAX" ගේ චරිතය උදෙසා "Mel Gibson" වෙනුවට ඔහු නළුවන් තෝරන මොහොතේදී එවක සිටි දක්ෂ නළුවෙකු වන "Heath Ledger" තෝරාපත් කර ගත්තද ඔහුගේ අකාලයේ මියයාම (2008) හේතුවෙන්ම "MAX" ගේ චරිතය සඳහා "Tom Hardy" තෝරාගනු ලබනවා.ඒ ඔහුගේ තිබු ජව සම්පන්න රංගන හැකියාව නිසාමය."Tom Hardy" බොහෝ සිනමාපට සඳහා දායකවූ අයෙක් වගේම ඒ සිනමාපට අදටත් බොහොමයක්ම ජනප්‍රියත්වයේ තිබෙන සිනමාපට වෙයි.ඒ අතර Inception,Warrior,This Means War,The Revenant වැනි සිනමාපට වෙයි.නමුත් ප්‍රේක්ෂකයන් අතර වැඩි කතා බහකට ලක් වූ චරිතයක් ලෙස තව තවත් කාගේත් අවධානය යොමු වුයේ "Venom" සිනමාපටය නිසාවෙනි.

"MAD MAX : Fury Road" සිනමාපටයේ අනෙකුත් චරිත සඳහා Charlize Theron, Nicholas Hoult, Hugh Keays-Byrne, Rosie Huntington-Whiteley, Riley Keough, Zoë Kravitz, Abbey Lee, සහ Courtney Eaton එකතු වී තිබේ.

"MAD MAX : Fury Road" සිනමාපටය රූගත කිරීම් සිදුකර ඇත්තේ "දකුණු අප්‍රිකාවේ" සැබෑ කාන්තාරයන් පිහිටි "නැම්බියාවේ" දීය .Roadshow Entertainment සහ Warner Bros. Pictures සමාගම් මඟින් සිනමාපටය නිකුත් කරන අතරම සිනමාපටයේ නිෂ්පාදනය Doug Mitchell,George Miller සහ PJ Voeten විසින් සිදුකර ඇත.

"MAD MAX : Fury Road" සිනමාපටය ඔස්කාර් සම්මාන උළෙලේදී සම්මාන 6 කින් පිඳුම් ලැබූ අතර ඒ හොඳම වේශ නිරුපණය හොඳම නිෂ්පාදනය හොඳම ඇදුම් නිර්මාණය හොඳම චිත්‍රපට සංස්කරණය හොඳම ශබ්ද පරිපාලනය හොඳම ශබ්ද සංඛලනය වෙනුවෙනි.

MAD MAX : Fury Road


......................"MAD MAX : Fury Road" .........................

සිනමාපටයේ අනුගතය

"Max" යනු පොලිස් නිලධාරියෙක්ව සිටි අයෙකි.ඔහුට සුන්දර පවුලක් තිබු අතරම න්‍යෂ්ටික යුද්ධය නිසා ඔහුට ඒ සුන්දර ජීවිතය ට සමුදෙන්න සිදුවිය.බිරිදත් දියණියත් ඔහුට අහිමි වන අතරම ඔහුද ජීවිත අරගලයක ට මුහුණ දෙන්නට සිදුව තිබේ.මේ ඔහුගේ ජිවිතයේ එක පරිච්චේදයක්ම වෙයි.

අප ජිවත් වන පෘතුවියේ හටගත් න්‍යෂ්ටික යුද්ධයක් හේතුවෙන් අවසාන ප්‍රථිඵලය වශයෙන් පෘතුවි භුමිය මුඩු බිමක් වී ඇති අතරම මිනිසුන් බොහොමයක් මරණයට පත්ව ගියේය.ඉතුරු වූ ජනයා කොටස් වලට බෙදෙමින් ඔවුන් ඔවුන්ගේ බලය උදෙසා සටන් කළෝය.ජිවත් වීමට අවශ්‍ය ආහාර ,ජලය පවා ඔවුනට ලැබුණේ අහම්බයෙනි.ස්වභාවධර්මයාගෙන් ලැබුන ඔක්සිජන් පමණක් ඔවුන් සැවොම ජිවත් කරවන්නට හුස්මක් දෙන්නට නැඟී සිටියේය.නමුදු බලයට ඇති ගිජු කම හේතුවෙන්ම ඔවුන් මැරී මැරී සටන් වැදුනේය.

න්‍යෂ්ටික යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස කාන්තාර ලෙසත් මුඩුබිම් ලෙසත් සැදුනු පෘතුවි තලයේ "Max" තවත් එක් මනුෂ්‍යයෙක් විය.ඔහු ඔහුගේ ජීවිතය පරදුවට තබමින් ජීවිතය සොයාගෙන යන අතර තුරේදී ඔහු කාන්තාරයේ රජ කරන "Joe" ගේ මැර කල්ලියට හසුවන්නේ ඔවුන්ගෙන් පැනයාමට උත්සහයේදීය.කාන්තාරයේ ධාවනය වන අමුතු මාදිලියේ වාහන විශාල ප්‍රමාණයක් "Max" ගමන් ගත් කාරය ලුහුබැඳ ඔහුව ඔවුන්ගේ සිරයට රැගෙන යන්නේය.ඒ Max" ගෙන් නිපදවෙන පිරිසිඳු රුධිරය නිසාය.

කාන්තාරය රජකළ ප්‍රධාන මැර නායකයා "Joe" නම් වෙයි.ඔහු සතුව විශාල යුධ සේනාංකයක් වූ අතරම ඒ සියල්ලෝම න්‍යෂ්ටික යුද්ධයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස රුධිර පාරවිලය රෝගයෙන් පෙලෙන්නන්ය.ඔවුන්ගේ ස්වරුපය සුදුමැළි පැහැයක් ගන්නා අතර ඔවුන් බැලු බැල්මට මියයමින් සිටින මළකඳන් හා සමානය .ඒ සමඟම "Max" ව සිරභාරයට ගත්තා වූ "Joe" ගේ සේනාංකයේ සිටින "Nux" විසින් "Max" ගේ රුධිරය රැගෙන ඔහු ගේ රුධිර බෑගයක් ලෙස අමු අමුවේම භාවිතා කරන්නට පටන් ගනී."Max" ගේ සිරුරට යවන්නාවූ කුඩා බටයක් මාර්ගයෙන් "Max" ගේ රුධිරය "Nux" ගේ සිරුර තුළට අද්දවා ගනිමින් ඔහු තව තවත් සරු පුද්ගලයෙක් ලෙස ජිවත් වන්නට කටයුතු කරයි."Max" ගේ කටට යකඩ මුඛවාඩමක් පළඳන අතර දම්වැල් යොදමින් සිර කර තබාගන්නට "Nux" සියල්ල සංවිධානය කරගනී.

"Joe" යනු රූපයෙන් විකෘති වුද රුධිර පාරවිලය රෝගයෙන් පෙළුණු තවත් අයෙකි.ඔහු ඔහුටම වෙන් වූ රාජධානියක් ගොඩනඟා ගෙන ජිවත් වූ අතරම ඔහු විසින් ජනිත කරවන දරුවන්ද ඔහු මෙන්ම එම රෝගයෙන් පිඩා විඳි අයම විය."Joe" හට බිරින්දෑවරුන් පස්දෙනෙක් වූ අතර ඔහු ඔවුන්ව තම දරුවන් බිහි කිරීම උදෙසා භාවිතා කල සේවිකාවන් වැනිය.නමුත් ඔහු ඔවුන්ට අවශ්‍ය සියළු ආරක්ෂාව සහ අත්‍යවශ්‍ය දේවල් ඔහු විසින් සැපයුවේ කුස තුළ වැඩෙන ඔහුගේම දරුවන් ගැන සිතමින්ය.එමෙන්ම ඔහු පාලනය කළාවූ රාජධානියේ ඔහුගේ බලයට යටත්ව ජිවත් වන පිරිසක්ද වෙයි.ඔවුන් එහි රැඳී සිටින්නේ ජලය වෙනුවෙනි.කුසට අහරක් නොමැති ඔවුන්ට "Joe" ලබා දෙන වතුර බිඳුව වුවද ඔවුන්ව මොහොතක් හෝ ජිවත් කරවන්නකි."Joe" ගේ රාජධානියේ ඔහු ජිවත් වූ කුළුනේ ජල උල්පතක් විය.ඒ හේතුවෙන්ම ඔහු වතුර ගබඩා කොට දිනකට එක වරක් ඔහු යටතේ සිටින යටහත් පහත් වැසියන්ට ලබා දුන්නේය.නමුත් ඒ මොහොතකට පමණි.කිසිවක් කර කියා ගත නොහැකි ඒ පිරිස ඒ ලැබෙන දිය පොද වෙනුවෙන්ද ඔවුන් ඔවුන් අතර සටන් කලේ හාමතේ මැරෙනවාට වඩා වතුර උගුරක් බී තව දිනක් හෝ ජිවත් වන්නට ඇති ආසාව නිසාය.කුළුණේ උඩ සිට වැටෙන විශාලා ජල දහරාව දෙසට මිනිසුන් 10000ක් පමණ දිව ආවද බොහෝ පිරිසකට දිය පොදක්වත් තොලගා ගන්නට බැරිව හෙට දිනය ගැන බලාපොරොත්තවෙන් ජිවත් වන අසරණ පිරිසකුත් සිටී.ඒ හෙට දිනයේ දී හෝ තම පිපාසය නිවාලන්නට දිය පොදක් ලැබේවි යන පරම අටියෙනි.

"Furiosa" යනු "Joe" ගේ යුධ සේනාංකයේ සිටින ප්‍රධාන සෙබළියයි.ඈ සෙබළියක් වීමට ප්‍රථම "Joe" ගේ බිරිඳක් ව සිටිය අතරම ඇයට දරුවන් ලැබීමට පිණක් නොමැති කම හේතුවෙන්ම ඔහුගේ යුධ සේනාංකය උදෙසා ඔහු ඇයව තෝරාගෙන තිබුනේය,යුද්ධයේදී ඇයට අතක් අහිමි වන අතරම ඒ සඳහා ඈ යකඩයෙන් නිර්මාණය කර ගත්තා වූ අතක් සවි කරගෙන සිටියාය.පිරිමියෙකු මෙන් ජවසම්පන්න ඇයගේ කොණ්ඩය පිරිමියෙකු ලෙසින්ම කොට වන්නට කපා තිබු අතරම සෙබළියක් සේම ඈ ඕනෑම අභියෝගයකට සුදානම් වූ ගැහැනියකි.

"Joe" කුරීරු පාළනයට එරෙහිව කිසිවෙකුටත් සටන් කිරීමට නොහැක්කකි .එයට හේතුව ඔහු සතුව සිටි ප්‍රභල යුධ සේනාංකයයි."Joe" ගේ රාජධානියට එපිට තවත් ජනපද දෙකක් තිබු අතරම ඔවුන් එකී නෙකා ගණුදෙනු කරගත්තේ භාණ්ඩ හුවමාරු ලෙසටය."Joe" විසින් තෙල් විකුණු අතර ඒ සඳහා තවත් කුඩා ජනපයක් ඔවුන් වෙනුවෙන් යුධ උපකරණ සහ බෝම්බ වැනි දෑ සැපයුම් කෙරුවේය.තවත් කුඩා ජනපදයක් ඔවුන්ට ගෑස් සැපයුවේය.මේ රාජධානි හැඳින්වුයේ "බුලට් ෆාර්ම්" සහ "ගෑස් ටවුන්" ලෙසටය.

දිනක් මේ ජනපද දෙක සඳහාම තම සේනාංකයේ කණ්ඩායම එවෙත යවා අවශ්‍ය දෑ රැගෙන එන්න "Joe" විධාන කළේය.මේ සඳහා "Furiosa" ප්‍රමුඛ සංවිධානය "Joe" ගේ රාජධානියෙන් පිටව යන්නේය.මේ පිටව යාමට "Nux" ද එකතු වූ අතර ඔහු විසින් අල්ලා ගත් අළුත් රුධිර බෑගය වූ "Max" ව ද එකතු කරගත්තේය."Nux" ගමන් ගත්තාවූ කාරය ඉදිරිපිට "Max" ව යකඩ දම්වැල් ආධාරයෙන් බැඳ ගත් අතරම ඔහුගෙන් ලබා ගන්නා රුධිරය තම සිරුර තුළට ගනිමින් "Nux" තම කාරය පදවාගෙන ගියේය."Furiosa" පදවාගෙන ගියේ විශාල තෙල් ටැංකියකි.ඒ පසු පස විවිධ වූ අයුරෙන් නිර්මාණය වූ වාහන රාශියක් සමඟම එයට ආරක්ෂාව සපයමින් ගමන් ගත්තේය.

"Furiosa" ගේ සිත වෙනදා මෙන් නොවීය.ඇය සතුව ඇයට ඉටුකළ යුතු යමක් අද ඇත්තේය.එදා ඈ "ගෑස් නගරය" ට හෝ "බුලට් නගරයට" යාම ප්‍රතික්ෂේප කරන අතරම ඈ නැගනහිර දෙසට වූ කාන්තාර ගමන් මාර්ගයක් තෝරාගනු ලබන්නේ ඇයගේ සිත යට සඟවා ගෙන තිබු දේ ප්‍රත්‍යක්ෂ කරගැනීමටය.ඇයගේ ගමන් මාර්ගයම අනුගමනය කළ අනෙකුත් සහචරයන් බොහෝ දුරක් තමන්ට නොයා යුතු මගක ගමන් කළේය.මේ සියල්ල "Joe" තම රාජධානියේ සිට බලාගෙන සිටියේ දුරදක්නයකිනි."Furiosa" එදින තෝරාගත්තේ වැරදි පාරක් බවත් තමන්ට ඈ එදින ද්‍රෝහී වූ බවත් ඔහු සිතු දෙයකි.ඒ නිසාම කේන්තියෙන් කිපෙණ ඔහුට තම බිරින්දෑවරුන් පස් දෙනාද රජධානියේ ඔවුන්ව සිර කර තිබු කාමරය තුළ නොමැති බව ඔහු දැනගැනී.මේ සියල්ල හේතුවෙන් "Furiosa" ගැන හටගන්නාවූ වෛරය නිසාම ඔහුගේ සිටින යුධ හමුධා සේනාංකය කැටුව නැවත බිරින්දෑවරුන් රැගෙන එන්නට රාජධානියෙන් පිටවයයි.

"Furiosa" කුඩා කල ජිවත් වූ "හරිත නිම්නය" ඇයට මතකය.ඈ පලා යන්නේ හරිත නිම්නය වෙතයි. ගස් කෝලන් ජීවයෙන් පිරුණු ඒ නිම්නය ජිවත් වීමට සරිලන එකක් බැවු ඈ දැනසිටියාය.නමුත් එහි යාම විශාල අභියෝගයක් බව ඈ දන්නේය.ගැබ්බර බිරිඳක් සමඟ තවත් බිරින්දෑවරුන් හතරක් ඈ පරිස්සමට එහි රැගෙන යා යුතුව ඇත.ඈත දුර සිට ධාවනය වෙමින් එන "Joe" ගේ යුධ සේනාංකය අහසට විදින රතු බෝම්බ හේතුවෙන් "Furiosa" හා ගමන් ගත් සේනාංකය මේ ගමන් මග නිවැරදි මගක් නොවන බවත් "Furiosa" ඔවුන්ව මුළාවට පත් කොට ඇති බවත් වටහා අතර මඟදී එල්ලල වන උකුසු රාජධානියේ ප්‍රහාරයන්ට ගොදුරුවන ඔවුන් විශාල සටනක් කොට දිවි බේරා ගන්නේය.නමුත් ඔවුන්ට "Joe" ගෙන් බේරී පලායාම ලෙහෙසි දෙයක් නොවන්නේය.

විවිධ වූ තාක්ෂණික මෙවලමින් සන්නද්ධ වූ යුධ රථ අප යුද්ධයක දකින යුද්ධ ටැංකි හා සමාන නොවීය.විවිධ වාහන කොටස් එකතු කර ගනිමින් ඔවුන් විසින් සකසන ලද අතිවිශේෂ යුධ රථ "Furiosa" ට එරහිව පසු පස ගමන් ගත්තේය."Max" ද "Nux" ගේ යුධ රථයේ ඉදිරියේ සිදුවන සියල්ල බයෙන් බලා සිටියේ තමාට ද තව ටික වෙලාවකින් මේ ලොවෙන් සමුගන්න ලැබේවි යන්න සිතමිනුයි.ඈතින් පෙනෙන දුහුවිලි කුණාටුව වාහන දෙසට ඇදෙමින් තිබුනත් "Furiosa" ට එම බාදකය ද ජයගත යුතුව ඇත.නැවත පසුබෑමක් සිදු උවහොත් තමාගේ ජිවිතයද අහිමිවන බව ඈ දැනසිටියාය.කටුක ගමනක දුහුවිලි කුණාටුව සමඟ "Furiosa" පසු පස පැමිණි යුධවාහන බොහොමයක් එකී නෙකට ගැටෙමින්ද කුණාටුවේ තිබු ප්‍රචණ්ඩත්වය නිසා ගිණි ගනිමින්ද විනාශයට පත් විය.

කුණාටුවට හසු වීමෙන් "Max" ගමන් ගත් යුධ රථයද විනාශයට පත් වූ අතරම ඔහුට නැවත සිහිය එද්දී ඔහු කුණාටුවේ වැලි වලින් වසාගෙන සිටියේය."Max" ගේ සිරුරෙන් වහනය වූ රුධිර නලය ගලවා දැමු ඔහු තම දම්වැල ගලවා එයින් නිදහස් වන්නට උවමනාවිය."Nux" ද සිහසුන්ව වැටි සිටි අතරම "Max" ගේ යකඩ දම්වැල සිරකරගෙන සිටියේ "Nux" විසිනි.නමුදු එය ඔහුගේ අතින් ගලවා ගන්නට පුළුවන් කමක් නැත."Nux" ව ඔසවාගන්නා "Max" ,කාන්තාරයේ ඈතින් පෙනන යුධ රථයක් වෙත ගමන් ගත්තේය.ඒ "Furiosa" ගමන් ගත් තෙල් ටැංකිය සහිත රථයයි."Furiosa" ඇතුළු බිරින්දෑ වරුන් ගිමන් නිවාලමින් සිටි අතර "Max" දුටු විට ඔවුන් කළබලයට පත් විය."Furiosa" සමඟ සටනට එළඹෙන "Max" අවසානයේදී ඔවුන් අතර මිත්‍රත්වයක් ගොඩනඟා ගන්නේය."Nux" ගෙන් ගැලවෙන "Max" නැවත "Furiosa" ගමන් ගත් රථයෙන් ගමන් ගත්තේය.

බොහෝ මාර්ග පසු කර යමින් දුර්ග මං මිටියාවත් හරහා වැටුණු දුෂ්කර මාර්ගය දිගේ සටන් කරමින් ගමන් ගත් ඔවුන් රාත්‍රී පසු කරමින් යන්නට විය.ඔවුන්ට නැවතීමක් නොමැත.ඔවුන් කෙසේ හෝ "හරිත නිම්නය" සොයා යා යුතුය. "Joe" ද ඔහුගේ සටන අත් නොහැර සිටි අතරම නැවත "Nux" ද ඔවුන් හා එකතු විය.

බොහෝ දුෂ්කර ගමනක අවසානයේදී "Furiosa" සහ "Max" ඇතුළු කණ්ඩායම කාන්තාරය මධ්‍යයේ උගුලකට හසු වන අතරම "Furiosa" තමාගේ නුවණ සහ තම වංශය "සැවඩල් ඩෝග්" ලෙස හඳුන්වා දෙමින් ඒ උගුළෙන් ගොඩ එන්නේය.වයස්ගත වූ කාන්තාවන් කිහිපදෙනෙක් ගෙන් සැදුම් ලත් මෝටර් බයිසිකල් වල යන එම පිරිස සහ මිතුරු වන ඔවුන් "හරිත නිම්නය" සඳහා පැනයන බව පවසද්දී ඔවුන් කියනුයේ "Furiosa" ඇතුළු කණ්ඩායම "හරිත නිම්නය" පසු කර පැමිණි ඇති බවය.නමුත් න්‍යෂ්ටික යුද්ධය නිසා "හරිත නිම්නයද" විනාශයට පත් ව ඇති අතරම නැවත එහි ජීවත් වීමට සුදුසු පරිසරයක් නොමැති බව කියන්නේය."Furiosa","Max" සහ අනෙක් බිරින්දෑවරුන්ට ද ඔවුන් ගේ සිතේ තිබු ඒ සිහිනය බොඳව යන්නක්ම විය.මෙලෙස තවත් මඟ රැඳී සිටියහොත් "Joe" අතින් ඔවුන්ට අවැඩක් වන බව ඔවුන් දැන උන්නාය.ඔවුන්ට දැන් කොහේට පලා යා යුතුද යන්න පිළිබඳව අවබෝධයක් නැත.

එදින මිතුරු වූ කාන්තාවන් සතුව විශාල බීජ ප්‍රමාණයක් විය.ඒ සියල්ලම විවිධ වූ ගස් වර්ග හා භෝග වර්ගයන්ය.නමුත් ඔවුන් ද දුෂ්කර ගමනක යෙදෙන්නේ මේ බීජ පැල කරමින් නැවත ජනපදයක් මේ මුඩු වූ පොළව මත ගොඩ නඟන්නටය.නමුදු එයට අවශ්‍ය පොළොවක් සහ ජලය ඔවුන් සතු නොවීය.මේ ගමන "හරිත නිම්නයක්" වෙනුවෙන් නැවත යුධ ආරම්භයකි."Furiosa" හට මතකයට නැඟෙන්නේ "Joe" ගේ රාජධානියේ ඇති ජල උල්පත ගැනය.ඔවුන් නැවත තවත් ඉදිරියට යන නොනවතින ගමන ට වඩා පසුපසින් එන "Joe" ඇතුළු යුධ සේනාංකය හා යුධ වැද රාජධානිය ඔවුන් සතු කරගන්නට සිතක් ඇති වන්නේය.නමුදු සතුරා හා මුහුණට මුහුණ නැවත ගැටීම එතරම් පහසු දෙයක් නොවන්නේය."Joe" සතු යුධ සේනාංකය එතරම් ප්‍රභල පිරිසකි. ඔවුන්ට සටන වෙනුවෙන් ජීවිතය පිදීම ඔවුන් සිතා සිටින්නේ වීරත්වයක් කියාය.ඒ නිසා "Furiosa" ඇතුළු ඈ සමඟ සිටින කුඩා පිරිසට විශාල සේනාංකයක් ඉදිරියේ යුධ වදින්නට සිදුවන්නේය.ගැබ්බර වූ බිරිඳව ද පරිස්සම් කර ගනිමින් අනෙකුත් සියල්ලන්ගේමද ජීවිත ආරක්ෂා කරගනිමින් "Furiosa" ,"Max",බයිසිකල් නඩේ සහ "Joe" ගේ බිරින්දෑවරුන්ට යුද්ධය අතනොහැර නොගොස් එයට මුහුණ දෙන්නට සිදුවී තිබේ."Joe" ගේ යුධ රථපෙළ ඔවුන්ගේ ඇස් මානයේ පෙනී පෙනී තිබේ.සටනට මුහුණ දෙන්නට ඇත්තේ දෙපිරිසටම තව සුළු මොහොතකි..........

"Joe" ගේ සේනාංකය හා යුධ වැද ජයගන්නට "Furiosa" ,"Max" සහ කණ්ඩායමට හැකි වේවිද?
ඔවුන්ට නැවත "හරිත නිම්නයක්" ගොඩ නඟාලන තිබෙන සිහිනය සැබෑවක් කරගන්න හැකිවේවිද?
සිනමාපටය නැරඹු බොහෝ දෙනෙක් මෙහි අවසානය කෙබදු ද යන්න දන්නා අතර නොබැලු පිරිසට මෙය වචනයේ පරිසමාර්ත අර්ථයෙන්ම විශිෂ්ට සිනමාපටයකි.ඒ හේතුවෙන්ම සිනමාපටයේ ගැබ් වූ කතාව බොහෝ සංශිප්තව රැගෙන ආවේ ඒ හේතුවෙන්මය.එමෙන්ම පැරැණි වුවත් මේ සිනමාපටය නැවත වරක් ඔබ වෙනුවෙන් තෝරා ගත්තේද ඒ කතාවෙහි සහ සිනමාපටයේ ඇති ප්‍රභල නව නළු රසාස්වාදනය නිසාවෙනි.

සිනමාපටය සේම MAD MAX : Fury Road සිනමාපටයේ කතාව තුල ගැඹුරෙන් තැන්පත්ව ඇති සහ අපට සිතිය යුතු වෙනම කතාවකුත් ඇත.එයත් මෙලෙස මගේ වචනයෙන් සඳහන් කළහොත්,
අප ජීවත් වන පෘතුවියේ විනාශය මිනිසා අතින්ම සිදුවේය යන්න අදටත් ඇස්පනා පිටම පෙනෙන්නකි.සමහර අවස්ථාවන් වලදී ස්වභාවධර්මයා විසින්ම පව්කාර මිනිසුන්ට පාඩම් කියා දුන් අයුරුද ඒ දේවල් අමතක කරමින් නැවත නැවතත් පවුකාරයෝ ස්වභාවධර්මයා සමඟ ගැටෙමින් විනාශයට පත් කරන අයුරුද දිනෙන් දින වැඩිවෙනවා මිසක අඩුවීමක් නැත.

තප්පර,මිනිත්තු,පැය,දින.සති,මාස,අවුරුදු කිහිපයකට සිමාන්විතව ලැබුණා වූ මේ මිනිසත්කම, අමුන්ස්සයන් වී, ලොවක් නසාලන්නට වෙර දරන්නේ ලැබූ ජීවිතය අමරණීය එකක් යයි සිතාය.රටවල් රාජ්‍ය අල්ලාගනට පොර වදින යුධ වදින එකී මිනිසුන් පෘතුවි තලයම විනාශ කරමින් මතු දිනෙක පිරිසිඳු වතුර කඳුලක් සඳහාද යුධවදිවී.ඔක්සිජන් නැතිව ජිවත් වන්න පුළුවන් යයි පැවසු අයම දිනෙක පිරිසිඳු වතුර අයදිමින් තමන්ගේම කඳුළු බොන්නට සිදුවේවි.මේ සියල්ලේම කෙළවර වීම පෘතුවියේ ජීවය මත නැඟී සිටින පෘතුවි වැසියන්ගේම අධම ක්‍රියා හේතුවෙන්ම හට ගනිවී.මිනිසුන් වන අපට සේම සතා සිවුපාවුන්ට වගේම ස්වාභාධර්මයාට ද ජිවත් වීමට අයිතියක් ඇත.සිතෙහි හටගන්නා වූ තෘෂ්ණාව නැතිව ගිය කල මේ සියල්ල යහපත්ව යටපත්ව පැවතේවී."දුක,දුක ඇති වීමට හේතුව" යයි කියමින් අප මහා ලොව්තුරු බුදුරාජාණන් වහන්සේ පමණක් නොව සියළු බුදුවරුන්ගේ අවසාන දේශනාව වුයේද සියල්ල අනිත්‍ය බව වටහාගෙන ලොවට වැඩදායි කෙනෙකු ලෙස කුසල් කර්මයේ යෙදෙමින් ජිවත් වීමයි.


හරවත් මෙන්ම ඔබට ආසාවෙන් නැරඹිය හැකි සිනමාපට ගැන තොරතුරු අපි බයිස්කෝප් හංදිය හරහා රැගෙන එනවා. ඒ වගේම Art Street අපේ blog එකට වගේම කලාවේ නව මුසු තැන් සොයා යන Art Street Youtube Channel යට එකතු වෙන්න අමතක කරන්න එපා.

MAD MAX : Fury Road Trailer 




Giza Bee

Post a Comment

0 Comments