The Old Guard 2020

The Old Guard 2020 Art Street

සිනමාපට බොහොමයක් නරඹන ප්‍රේක්ෂකයින් Super Hero සිනමාපට නැරඹිමට විශාල කැමැත්තක් දක්වනවා.එත් බොහෝ දෙනෙකුට මඟ හැරුණු Super Hero වර්ගයේ සිනමාපටයක් තමයි අද කලා විදියේ "බයිස්කෝප් හංදියෙන්" අරගෙන එන්නේ.2020 වසරේ ජුලී 10 වන දින Netflix හරහා නිකුත් කරන ලද මෙම සිනමාපටයේ නම "The Old Guard"

"The Old Guard" සිනමාපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ "Gina Maria Prince-Bythewood" යන අධ්‍යක්ෂිකාවයි.ඈ විසින් නිර්මාණය කරන ලද පස්වන සිනමා නිර්මාණය මෙය වෙනවා.ඈ ඊට ප්‍රථම අධ්‍යක්ෂණය කරන ලද සිනමාපට වලට වඩා මේ සිනමාපටය සුවිශේෂී බවකින් හෙබියි.ඇමරිකානු ඩොලර් මිලියන 70ක් යොදා නිර්මාණය කරන ලද මෙම සිනමාපටය IMDb අගය 6.7 වනවා.නමුත් මාගේ දැක්ම අනුව මේ සිනමාපටයට මීට වඩා අගයක් හිමිවිය යුතු සිනමාපටයක් වනවා.

"The Old Guard" සිනමාපටයට පාදක වී තිබෙන්නේ 2017 වසරේ Greg Rucka විසින් රචිත The Old Guard නමින් නිර්මාණය වූ comic කතා පොත අනුසාරයෙන්ය.Netflix හරහා නිකුත් කරනු ලැබූ "The Old Guard" සිනමාපටය පළමු සති හතර තුල මිලියන 78ක ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් නරඹා තිබීමද මෙහි තවත් විශේෂයකි.

මෙම සිනමාපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ සම්මානනීය නිළියක් වන "Charlize Theron" විසිනි..සිනමාපටයේ ඈ "Andy" ලෙසින් එකතු වනවා.තවද ඇයගේ විශේෂත්වය සිනමා ලෝකයේ වැඩිම මුදලක් ගෙවන නිලියන් අතර ඈ සිටින්නියක් වීම.ඔබ කුඩා අවදියේ දී "Mighty Joe Young" සිනමාපටය නැරඹු අයෙක් නම් ඔබට ඇයව හොඳාකාරව මතක ඇති. තවද "The Italian Job", "Hancock", "Snow White and the Huntsman", "Mad Max: Fury Road", "The Fate of the Furious", "Atomic Blonde" වැනි සාර්ථක සිනමාපට වලට ඈ රංගනයෙන් දායකත්වය ලබා දී තිබේ.

"The Old Guard" සිනමාපටය හා එකතු වූ අනෙක් පිරිසද ප්‍රසිද්ධ රංගන ශිල්පින් පිරිසකි. ඒ අතර "KiKi Layne", "Matthias Schoenaerts", "Marwan Kenzari, Luca Marinelli", "Harry Melling, Van Veronica Ngo", සමඟ "Chiwetel Ejiofor" මෙම සිනමාපටය සාර්ථක කරගැනීම උදෙසා දායකත්වය සපයා තිබෙනවා.

The Old Guard 2020

.........."The Old Guard" ...........

සිනමාපටයේ කතා අනුගතය

ලෝකයේ අමරණිය වූ මිනිසුන් ඉන්නවාද කියලා ඔබෙන් ඇහුවොත් ඔබ දෙන පිළිතුර විය හැක්කේ..... ඔව් යන්නයි .. ඔව් ඉන්නවා කියාවි.. ලංකාවේ නම් අමරණීය ජොති ,අමරණීය විජේ වගේ ප්‍රතාපයින් ඔයාලගේ මතකයට ඒවී.ඔවු.... ඔවුන් අමරණීයයි තමයි.නමුත් ඔවුන් දැන් අප අතර අමරණීය මතකයන් පමණයි.නමුත් "The Old Guard" සිනමාපටය හරහා කතා කරන්නේ ජීවමානව සිටින අමරණීය පිරිසක් ගැනයි.

Andy කියන්නේ අමරණීය කාන්තාවක්.පෙනුමෙන් සුන්දර වුවත් ඈ හා සටන් වැදීම ලෙහෙසි පහසු දෙයක් නොවෙයි.ඇය අමරණීය කෙනෙක් නිසාම ඇයට වයසක් කීමට නොහැකියි.ඒ නිසාම ඇය ශතවර්ෂ ගණනාවකට පෙර ඉපදුනු අයෙක් යන්න සිනමාපටය ගලාගෙන යන විට ඔබට දැනගන්නට ලැබේවි.ඒ ලෙසට අමරණීය වූ Booker,Joe සහ Nicky යන පිරිමින් තිදෙනෙකුත් මෑ සමඟ වර්ෂ ගණනාවක් පුරා එකට කල්ලියක් ලෙසින් රසසිගතව ජිවත් වෙමින් සිටියා.මේ හැමෝටම විවිධ වූ බලයන් ඔවුන් තුල පැවතියා.Joe සහ Nicky කියන්නේ ජීවිතය පුරාම ආදරෙන් සිටි දෙදෙනෙක් වගේම ඔවුන් සමලිංගිකයන් බවට පරිවර්තනය වූ දෙදෙනෙක්.ඔවුන් තුල සහෝදර බැඳීමකට එහා ගිය ආදරයක් එකිනෙකා වෙනුවෙන් ඇති කැක්කුම ඉහවහා ගිය දෙයක් (මේ බැඳීම චිත්‍ර කතා පොතේද ඇතුලත් වුවක්).

මේ පිරිස ශතවර්ෂ ගණනක් පුරාවට විවිධ වූ ජනවර්ග සමඟ ජිවත් වූ අතරම ඔවුන් වෙනුවෙන් ඔවුන්ගේ යහපත වෙනුවෙන් සටන් වැදුණු පිරිසකි.නමුත් මේ අය අමරණීය යන හේතුව වසන් කරගැනීමට ව්ශාල වෙහෙසක් දරා සිටිනවා.එයට හේතුව ඔවුන්ට වෙඩි වැදී බිම වැටුනත් ඉතාම සුළු මොහොතකින් ඔවුන් නැවත යතා තත්වයට පත් වීමයි.ජීවත්ව සිටින පිරිසට වඩා මේ සිදුවීම් නිසා ඔවුන් සැමවිටම සැඟවී ජිවත් වෙන්න උත්සහා දරනනේ මෙය රහසක්ව පැවතිය යුතුම නිසාය.

එක්තරා දිනයකදී ඔවුන්ට CIA හී රැකියාවේ සිට ඉවත්ව ගිය නිලධාරියෙක් වන James Copley විසින් ඔහුව මුණ ගැහෙන ලෙසට ආරාධනාවක් කරනවා.ඒ මෙහෙයුමක් සඳහා.ඒ හේතුව නිසාම මේ පිරිස හොර රහසේම මේ සඳහා එකතු වෙනවා.මේ මෙහෙයුම දියත් කරන්න ලැබෙන්නේ කුඩා දරුවන් පිරිසක් බේරා ගැනීම සඳහායි.බාල වයස් දරුවන් පිරිසක් සුඩාන කඳවුරක සිර කර තැබීම නිසා James Copley විසින් ඔවුන්ව බේරා ගැනීමට මේ පිරිසට උදව් දෙන ලෙසත් තමා ඒ සඳහා මුදල් ගෙවන ලෙසත් කියා සිටිනවා.නමුත් මුදලට වඩා ඔවුන්ට අවශ්‍ය වන්නේ මිනිසුන්ට පිහිටක් වීමම බැවින් එය ප්‍රතික්ෂේප කරමින් මේ අය මේ මෙහෙයුමට එකතු වෙනවා.

සුඩානය බලා යන ඔවුන් කඳවුරේ පිටත සිටින පිරිස් සමඟ සටන් කොට කඳවුරේ වූ කුඩා ගොඩනැඟිල්ලකට ගොඩ වෙනවා.නමුත් ඔවුන් නොසිතු අයුරෙන් එම ගොඩනැඟිල්ලේ සැඟවී සිටි පිරිසක් ඔවුන්ට වෙඩි වරුසාවක් තබන්නේ සියල්ලන්ම මැරී බිමට වැටෙන්නටයි. මොහොතකට හදවත නතර කරමින් බිම වැටෙන මේ පිරිස සැබවින්ම මිය ගියාක් මෙන් පෙනෙයි. වෙඩි තැබූ පිරිස මේ අය මිය ගොසින් කියා සිතමින් සිටියදී විනාඩි කිහිපයකින් පසුව බිමට වැටුණු Andy , Booker,Joe සහ Nicky කණ්ඩායම නැවත ජිවය ලබා ඔවුන් හට වෙඩි තැබූ සියල්ලන්ම මරා දමන්නේ දරුවන් බේරා ගෙන ඔව්න් සමඟ පලා යා යුතු මෙහෙයුම නිසායි.නමුත් ඔවුන්ට සියල්ල පසක්ව යන්නේ ඔව්න්ට එක එල්ලේ සවි කර තිබු කැමරා කිහිපය දැකිමෙනුයි.මේ සියල්ල මොවුන්ගේ අමරණීයත්වය සෙවීමට ගත් උත්සහයක් බව ඔවුන්ට වැටහෙනවා සේම මෙය උගුලක් ලෙස ඔවුන් දැනගන්නවා.මේ සිදුවීම සමඟ James Copley කෙරේ ඔවුන් වෙයිර බැඳගන්නවා.

මේ සියල්ල පිටුපස James Copley ටද කතාවක් තිබේ. James ගේ බිරිඳ මිය යන්නේ එක්තරා සුව කළ නොහැකි රෝගයක් හේතුවෙන්.ඈ එයින් පිඩා විඳ මිය යන්නේ හරි බෙහෙතක් නොමැති කමින්.මේ විදියට මිනිසුන් දුක්වින්ද මිය යාම සැබවින්ම දුකක්.සමහර රෝග වලට තවම හරි හැටි බෙහෙතක් විසඳුමක් නැහැ.ඉතින් කාලයකට කලින් James ට මේ අමරණීය වූ පිරිස් ගැන දැනගන්න ලැබෙනවා.මෙවැනි රෝග වලට ගොදුරු වුවන්ට අමරණිය මිනිසුන්ගෙන් බෙහෙතක් නිපදවිය හැකි නම් කියන බලාපොරොත්තුවක් ඔහු තුළ ඇති වෙන්නේ ඒ හේතුවෙන් මේ දේවල් ගැන සොයා ගෙන යන විටදී මේ පිළිබඳව Steven Merrick කියන ඖෂධ නිපදවන ප්‍රධාන පෙළේ ආයතනයක ප්‍රධානියා හට පවසා සිටිනවා.නමුත් ඔහු මේ අමරණීය පුදගලයින් ගැන විශ්වාසයක් නොමැති නිසාම එය ඔප්පු කරළීමට James හට භාර දෙනවා.ඒ හේතුව නිසාම තමයි Andy , Booker, Joe සහ Nicky ට සුඩානයේ මෙහෙයුමක් ලෑස්ති කරන්නේ.ඔහු එදා පටිගත කරන ලද වීඩියෝව Steven Merrick හට පෙන්වනු ලබනවා.මෙයින් මවිතයට පත්වන Steven සහ ඔහුගේ විශේෂඥයන් මොවුන්ගේ රුධිර සාම්පල් හරහා නව ඖෂධ නිපදවීමට හැකියාවක් ලැබේවි යන්න කියා සිටිනවා.ඒ හේතුවෙන්ම මේ අයව කෙසේ හෝ අල්ලා ගත යුතු බව Steven කියනවා.නමුත් Steven තුල තිබෙන්නේ එකම පරමාර්ථය මෙයින් සල්ලි ඉපයීම.ඒ හේතුවෙන්ම මේ අයව කෙසේ හෝ මරා දමා හරි ඔවුන් තමා භාරයට ගැනීමට ඔහු එක හෙළා සිතා ගන්නවා.

සුඩානයේ සිට නැවත දුම්රියක ගොඩ වැදී පැමිණෙන Andy , Booker,Joe සහ Nicky සිටින්නේ තද නින්දක.ඔය අතර තුරේදී මොවුන් එකිනෙකා සිහිනයක් දකිනවා.ඒ ඔවුන් සේම තවත් අමරණිය වූ කෙනෙක් මිහිපිට සිටීමයි.වසර ගණනාවකට පසුව උපත ලද එම තරුණිය රැකියාව කරනුයේ ඇමරිකානු සෙබළියක් ලෙසයි.ඈ ඒ වන විටත් ඇෆ්ගනිස්තාන් ත්‍රස්තවාදීන්ට එරෙහිව යුධවදිමින් සිටියත් ඈ අමරණීය කෙනෙක් බව කිසිවිටෙක ඇයට දැනගන්නට ලැබී නැහැ.එහිදී වන එක් සිදුවීමක් නිසා ඇයගේ බෙල්ලට වන අනතුරකදී සුළු මොහොතකට ඈ මිය ගියත් නැවත ඈ යතා තත්වයට පත් වන්නේ සැවොම පුදුම කරමින්.බෙල්ලේ වූ කැපුම් පහරක් වත් පෙන්නේනට නොවූ නිසාම ඈ ද ඈ ගැන මවිතයට පත් වන්නට විය.ඇයගේ නම Nile Freeman. කළු ජාතික තරුණියක් වූ ඈ සොයා Andy තවත් මෙහෙයුමකට එකතු වන්නේ ඇෆ්ගනිස්තානය බලායි.

Nile රැකියාවෙහි නියුතු වූ කඳවුරට හොර රහසේම ඇතුල් වූ Andy ඇයව සිහිමුර්ජා කොට වාහනයක පටවාගෙන කඳවුරෙන් පැහැරගෙන යන්නේ හොර රහසේමය.මඟදී Nile හට සිහිය එන අතරම ඇය ගමන් ගත රථයෙන් පැන දුවන්නට තැත් කරද්දී Andy විසින් ඇයගේ හිසට වෙඩි තබා බිම හෙළනු ලබනවා .එත් සුළු මොහොතකින් යතාතත්වයට පැමිණෙන Nile මේ කිසිවක් සිතා ගත නොහැකිව Andy ට පිහියකින් පහර දෙනවා.පිහිය Andy ගේ අතක් පසාරු කරගෙන ගියද සුළු මොහොතකින් ඇයද යතා තත්වයටම පත් වනු දැකීම Nile ට පුදුමය ගෙන දෙන්නක් වනවා.මේ සියල්ලම තේරුම් ගත නොහැකිව ඈ අතරමන් වෙද්දී මේ සියල්ල ගැනම තේරුම් කිරීමට නම් තමා සමඟ පැමිණිය යුතු බව Andy පවසනවා.ඒ නිසාම Andy නැවත Nile සමඟ පැරිසිය බලා පිටත්ව යනවා.

පැරිසියට ගොස් තම සඟයින් මුණ ගැසීමට ඔවුන් සිටි පැරණි නිවසකට Andy, Nile ද කැටුව යනවා.රාත්‍රිය උදා වීමත් සමඟම ඔවුන් ව ලුහුබැඳි Steven ගේ පිරිස නිවසට පහර දී Joe සහ Nickyව පැහැරගෙන යනවා..නමුත් මේ සියල්ල සිදු වන විටදී Andy සහ Nile නිවසින් පිටව ගොස් තිබෙනු දකින්නට ලැබෙනවා.මෙලෙස පැහැරගෙන යාම පසු පස James Copley,Steven Merrick වගේම නොසිතපු තවත් අයෙක් සිටිනවා.

ඉතින් Andy, Nile සහ Booker ට Joe සහ Nicky ව බේරාගන්නට හැකි වෙයිද?
James Copley ගේ සහ Steven Merrick ගේ සිහිනය සැබෑවක් කරගන්න හැකි වෙයිද?
මේ හැමදේම ඔයාලට දැනගන්න ලැබෙන්නේ කෘතුහලය පිරුණු ක්‍රියාධාම වලින් සපිරි "The Old Guard" සිනමාපටය නැරඹුවොත් පමණයි.

Action, Thriller, Fantasy කියන ශානර වලට අයත් වන මෙම සිනමාපටය විනාඩි 125ක් පුරාවට ඔයාලට එක හුස්මටම නරඹන්න හැකිවෙන සිනමාපටයකි. "The Old Guard" සිනමාපටය තුළ අවශ්‍ය පරිදි ක්‍රියාදාම යොදා තිබෙන අතරම එය කතාවට හානියක් නොවන පරිදි සිදුකර තිබීම විශේෂයි.ඊට අමතරව සිනමාපටයට එකතු වූ රංගන ශිල්පින් ශිල්පිණියන් ඒ චරිත සඳහා ලබා දෙන දායකත්වය සැබවින්ම අගය කල යුතුයි.සිනමාපටයේ විශිෂ්ඨ කැමරාකරණය සංස්කරණය වගේම සිනමාරුපී පසුබිම් සංගීතය නොඅඩුව විඳින්න ලැබෙන සිනමාපටයක් වගේම සිනමාපටයේ ලබා දී තිබෙන රූපරාමු වල පැහැය වගේම සිනමා පටයේ නැවුම් වූ කතාවද සිනමාපටය නරඹා අවසන් වූ පසුවද සිතනුයේ මෙම සිනමාපටයේ දෙවැන්නක් නිර්මාණය වුවා නම් කියන ඒකමතික කැමැත්තයි.


අද Art Street හරහා බයිස්කෝප් හංදියෙන් ඔයාලා වෙනුවෙන්ම මේ දවස්වල ගෙදරටම වෙලා ඉන්න නිසාම ආසාවෙන් නරඹන්න පුළුවන් සිනමාපටයක තොරතුරු රැගෙන ආවා. සිනමාපටය නරඹලා ඔයාලට දැනුන දේ කමෙන්ට් එකකින්ම අපි එක්ක බෙදාගන්න. ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් අපි ගැන කියන්න.



Giza Bee

Post a Comment

0 Comments