තුෂාර විදානගමගේ සමඟ
Question
Answer
ඔබ ගැන කෙටියෙන් පැවසුවොත් ?
මගේ සම්පුර්ණ නම කුමුදු තුෂාර විදානගමගේ. නමුත් ක්ෂේත්‍රයේ පාවිච්චි වෙන්නේ තුෂාර විදානගමගේ නමින්. හෝමාගම, කිරිවත්තුඩුව තමයි මම පදිංචි වෙලා ඉන්නේ. මම සිනමා, ටෙලි, වේදිකා නිර්මාණයන් වල කොණ්ඩා සැලසුම් ශිල්පියෙක් ලෙස සම්බන්ධව වැඩකටයුතු කරන කෙනෙක්. මගේ පවුලේ අම්මා, තාත්තා, සහෝදරයන් දෙදෙනෙක් හා සහෝදරියන් දෙදෙනෙක් ගේ බාලයා වෙන්නේ මම. හෝමාගම මහා විද්‍යාලයෙන් ඉගැනුම ලැබූ මම අ. පො. ස සාමාන්‍ය පෙළ දක්වාම නර්තන විෂය හැදෑරුවා වගේම නැටුම් වලින් හැමදේටම ඉදිරිපත් වුණා, සමස්ථ ලංකා, පළාත් තරඟ වලින් ජයග්‍රහණය කරලත්ති යෙනවා. තව දුරටත් මම ගැන කිව්වොත් මම කියන්නේ සංවේදී අසාධාරණ වලට අකමැති බොරු කියන්න බොරුවක් කරන්න කැමති නැති වැඩේ උපරිමයෙන්ම කරන්න කැමති කෙනෙක් කිව්වොත් නිවැරදි.
Question
ලාංකීය සිනමාවේ කොණ්ඩ සැළසුම් ශිල්පින් සිටින්නේ බොහොම සුළු පිරිසක්. ඔබ මේ ක්ෂේත්‍රයට පැමිණ කොපමණ කාලයක්ද සහ ඔබේ මේ දක්වා පැමිණි ගමන් මඟ ගැන සඳහන් කලොත්?
Answer
ඔව්... ඇත්තටම මේ ක්ෂේත්‍රයේ සුළු පිරිසක් තමයි කොණ්ඩ සැකසුම් නිර්මාණය කරන ශිල්පීන් විදියට කටයුතු කරන්නේ. හරියට අතේ ඇඟිලි ගානටත් අඩු ප්‍රමාණයක්, අපේ ප්‍රවීණයන් තමයි සෑම් පෙරේරා, ලලිත් ධර්මවර්ධන, සරත් රණවීර කියන්නේ. ඔවුන්ගේ අංකුර අය කිව්වොත් මම, ඉන්දික උදාර, රුචිර කහඳ, මෑතකදී ලෙස්ලි සේරම් වගේ සුළු පිරිසක් තමයි කලා ක්ෂේත්‍රය තුල මේ අංශයෙන් සිටින්නේ.ඒ අතරම සිනමාවේ. එතනින් පිට ඕනෑතරම් අය ඉන්නවා. මම ක්ෂේත්‍රයට එන්නේ 2003 මාර්තු මාසේ, දැනට අවුරුදු 18 ගතවෙලා. විශේෂයෙන්ම කියන්න ඕනා අනුෂා දමයන්ති මගේ පාසල් මිතුරිය. ඇය තමයි සරත් රණවීර මගේ ගුරුතුමාට මා හඳුන්වල දෙන්නේ. ඔහුගෙන් ගොඩක් දේවල් ඉගෙනගනිමින් ඔහුගේ සහයකයෙක් විදියට ඔහු සමඟ වැඩ කලා. මට කලින් ඉන්දික උදාර ඒ වනවිට ඔහු සමග වැඩ කරමින් සිටියේ පසු කාලීනව තනිවම මේ දක්වා ගොඩක් අත්දැකීම් ලබමින් ඇවිත් ඉන්නවා
Question
ජාත්‍යන්තර සිනමාව ගත්තම සිනමාවේ සම්මාන දෙන අංශ බොහොමයක් තියනවා. එයින් හොඳම වේෂ නිරූපණය, හොඳම වස්ත්‍ර නිර්මාණය සහ ඊටත් අමතරව හොඳම කොණ්ඩ සැළසුම් සඳහා ද සම්මාන ලබා දෙනවා... ලංකාවේ හොඳම කොණ්ඩ අලංකරණය සහ සැළසුම් ශිල්පියාට සම්මාන දීමක් සිදුවන්නේ නැහැ.. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?
Answer
ඒ ගැන නම් කියන්න කණගාටුයි. චිත්‍රපටියකට හෝ ටෙලි නාට්‍යක වේශ නිරූපණය හා සමානවම කොණ්ඩ සකසුමත් ගොඩක් වැදගත් සහ එය සාර්ථක කරගන්න අපෙන් ලොකු දායකත්වයක් ලැබෙනවා. හොඳම වේශ නිරූපණය සඳහා සම්මාන ගත්ත බොහොමයක් නිර්මාණ වලට මම කොණ්ඩා සැකසුම් ශිල්පියෙක් ලෙස දායක වෙලා තියෙනවා. එත් වේශ නිරූපණය උදෙසා ලබා දෙන සම්මාන රැගෙන අපි ගැන අඩුම ගානේ ස්තුතියක් වත් කරන්න ඔවුන්ට මතක නැහැ. හැමවිටම අපට අඩු තක්සේරුවක් තමයි ලැබෙන්නේ. එත් වෙන්නේ පිටරට වල එවැනි දේ වෙනුවෙන් අගයනවා වනේගේම සම්මාන ලැබෙනවා. නමුත් අපේ රටේ සිනමා ටෙලි නාට්‍ය සම්මාන උළෙලකදී සම්මානයක් තියා ඇගයීමක් වත් ලැබෙන්නේ නැහැ, OCIC සම්මාන උළෙලේ සෑම් පෙරේරා හට ඔහුගේ හැකියාව වෙනුවෙන් පළමු වරට ඇගයීමක් ලැබුනා. ඒ ගැන නම් සතුටක්. එත් ඉදිරියේදී වත් සම්මාන සදහා මේ අංශය ඇතුලත් වුනොත් හොඳයි කියන එක තමයි මගේ අදහස.
Question
ඔබ බොහෝ සිනමාපට, ටෙලි සහ වේදිකා නාට්‍ය හා එක්ව වැඩ කටයුතු කල අයෙක්. ඔබ දායකවූ සිනමාපට ගැන මතක් කලොත්?
Answer
ඔව් චිත්‍රපට 35 කට පමණ දායක වෙලා තිබෙනවා ඒ අතරින් පිට සක්වල කුමාරයයි පැංචෝ හතයි, ටිකිරි සුවඳ, ගාමණී, සරා, සෙල්වම්, මායා, පීටර් වන්, ජුලි හතයි, ධර්ම යුද්ධය, ස්වරූප, කන්දක් සේමා, ගාඩි වැනි චිත්‍රපට සහ වරා, sola eclipse, man, දීපා මෙහ්තාගේ funny boy ජාත්‍යන්තර නිර්මාණ වලටත් දායකත්වය ලබාදෙන්න හැකිවුණා. ඒ වගේම ටෙලි නාට්‍ය 50කට එහායින් තියනවා. ඒ අතරින් චාතුර්යා, ඕලු, ඉඳි කඩුල්ල, මොනරවිල, පෙම්බරයණනි, මහතලා හටන, සද්ගුණාකාරය, නැනලා, ඔබ නිසා, තණමල්විල කොල්ලෙක් වගේ බොහෝ දෙනෙක් කතා බහට ලක් වූ ටෙලි නිර්මාණ හා සම්බන්ධවෙලා වැඩකටයුතු කරලා තියනවා.
ඊට අමතරව වේදිකා නාට්‍ය 15 ක් පමණ කටයුතු කරලා තියනවා. තටු, චෙරියෝ සාජන්ට්, හරි අපූරු දවසක්, දෙබිඩ්ඩෝ, දිරිය මව, හඳ එළියට වෙඩි තියන්න එයින් කිහිපයක් විතරයි. ලංකාවේ පමණක් නොව විදෙස් වෙළඳ දැන්වීම් සහ Music Video රාශියක් සඳහා ද මම කොණ්ඩා සැකසුම් ශිල්පියෙක් ලෙසින් දායකවී තියෙනවා
Question
ඔබට ලාංකීය සිනමාවේ තවත් අග්‍රගණ්‍ය සිනමාපටයක් වන "ගාඩි" සිනමාපටයට සඳහා දායකත්වය සපයන්න ලැබුනා. ඔබට ඒ ගැනත් කියන්න යමක් ඇති?
Answer
ඇත්තටම ඒක මට ලැබුණු ලොකු අවස්ථාවක්. ධර්මසේන පතිරාජ මහතාගේ ස්වරූප ඔහුගේ අන්තිම නිර්මාණය වගේම ගාඩි මට ලැබුණු දෙවෙනි අවස්ථාව. ඒ වගේ දැවැන්ත නිර්මාණයකට දායකත්වය ලබා දෙන්න හැකිවීම ගැන මම ගොඩක් සතුටු වෙනවා වගේම දමයන්ති ෆොන්සේකාට සහ ප්‍රසන්න විතානගේ මහතාට ස්තුති වන්ත වෙනවා මාව මේ සඳහා විශ්වාස කරලා අවස්ථාව ලබා දුන් එකට, ගාඩි වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. ඒ අත්දැකීම මතක් වෙනකොට හරිම සතුටක් දැනෙන්නේ.
Question
ප්‍රවීණ සහ නවක රංගන ශිල්පින් ශිල්පිනියන්ගෙන් ඔබට ලැබෙන සහයෝගය ගැනත් සඳහන් කලොත්?
Answer
ප්‍රවීණ අයගෙන් තමයි වැඩිපුර සහයෝගය ලැබෙන්නේ. ඔවුන්ට ලැබෙන නිර්මාණ වලට මගේ දායකත්වය සඳහා ගොඩක් අවස්ථාව ලබාදෙනවා වගේම අපව අගය කරන්නෙත් හැමවිටම ඔවුන්. දැන් ඉන්න නවකයන් සමග වැඩ කරන්න ලැබෙන අවස්ථාව ගොඩක් අඩුයි. විශේෂයෙන් ම නීටා ප්‍රනාන්දු, දමයන්ති ෆොන්සේකා, යශෝධා විමලධර්ම, දිල්හානි ඒකනායක, සේමිණි ඉද්දමල්ගොඩ, මතක් කල යුතුයි ඊට අමතරව ප්‍රවීණ රංඟන ශිල්පීන් ද නිර්මාණ සඳහා මාව යෝජනා කරන අවස්ථා තියෙනවා.
Question
බොහෝ විට ඔබ වැනි පිරිස් තිරයෙන් පිටුපස සිට තමයි මේ කලාව පෝෂණය කරන්නට උරදෙන්නේ. ඔබ වැනි මේ ක්ෂේත්‍රයට පැමිණෙන්න බලා සිටින තවත් පිරිස් සිටිනවා. ඉතින් ඔබට ඔවුන්ට ලබා දෙන්න පුළුවන් පණිවිඩය කුමක්ද?
Answer
මම ක්ෂේත්‍රයට එනකොට ගොඩක් නිර්මාණ කෙරෙමින් තිබුනා.ඒ නිසාම ඒහා එකතු වෙලා මට වැඩ කරන්න ලැබුනා, තමන් සමබන්ධ මොන ක්ෂේත්‍රයක වුවත් නිසි ආකාරව ඒ ගැන ඉගෙනීම වැදගත් වගේම අත්දැකීම් වලින් ඉදිරියට එන්න හැකියාව ලැබෙනවා. මේ තරම් දුරක් එන්න බොහෝ දුක් විඳින්න සිද්ද වුණා. දැන්නම් අවස්ථාවන් වැඩියි.මේ සඳහා කැපවීම වගේම කරන දෙයට ආදරය තියෙන්නත් අවශ්‍යයි. ඕනෑම දෙයකට. විනය, ඉවසීම සහ ඇහුන්කන් දීම එකිනෙකාට ගෞරව කිරීම වැදගත්. දවසින් දවස මේ ක්ෂේත්‍රයට අලුතෙන් එන දේවල් ගැන update වෙන්නත් ඕනේ. කරන වැඩේ හරියට කලොත් ඉදිරියට යන්න පුළුවන්.
Question
ඔබ මේ ක්ෂේත්‍රය හරහා පැමිණි ගමන් මඟේ ඔබට අමතකම නොවෙන සිදුවීම් ඇති. එයින් කිහිපයක් මතක් කළොත් ?
Answer
අමතක නොවන දේවල් බොහොමයක් තියෙනවා. මේ දක්වාම විශේෂයෙන් යුද්ධයෙන් පස්සේ LTTE පුනුරුත්ථාපනය කරපු ද්‍රවිඩ සහෝදර සහෝදරියන් 57ක් විවාහ කර දුන්නා. මේ වෙනුවෙන් දෙමළ තරුණියන් හැඩ ගැන්වීමේ අවස්ථාව මට උදා වුණේ අනෝජා වීරසිංහ මහත්මිය නිසා. සාක්ෂි යට අත්සන් කරන්න ආවේ ඉන්දියාවේ සුපිරි නළුවෙක් වන විවෙක් ඔබ්රෝයි.
අනිත් අවස්ථාවන් නම් ජාත්‍යන්තර නිෂ්පාදන සඳහා වැඩ කරන්න අවස්ථාව ලැබීම 'වරා ', Sola Eclipse, Funny Boy විශේෂයෙන් ලලිත් ධර්මවර්ධන අයියාට ස්තුති වෙනවා ස්ටෙෆන් ලන්ග්, බොබී ෆිලිප්ස්, ඕම් පුරි, නසාර්, ලූක් ඵසිලියෝ, රාජ්පාල් යාදෙව්, සරෝජ් ඛාන්, සීමා බිස්වාස් වැනි දැවැන්තයන් සමග වැඩ කිරීමේ අවස්ථාව ලබා දුන්නාට Hollywood, Bollywood නිර්මාණ හැදෙන විදිය අත්දැකීමෙන් ලැබුවා.තවද චාතුර්යා ටෙලිනාට්‍ය සඳහා ඉන්දියාවේ තමිල් නාඩු, කුම්බකොනම් වල දී ලැබුන අත්දැකීම් ද විශේෂයි.
Question
මේ දිනවල Covid 19 හේතුවෙන් බොහොම කලා නිර්මාණ තාවකාලිකව නැවතිලා. ඉතින් ඔබට මෙය බලපා තිබෙන්නේ කෙස්ද සහ එයට ඔබ මුහුණ දෙන්නේ කොයි අයුරෙන්ද?
Answer
ඔව් එකනම් ලොකු පාඩුවක් ආර්ථිකයට. දැනට අවුරුදු දෙකකට කිට්ටු කාලයක් වෙනවා වැඩ නැතිව/ මොකද මාස් පතා පඩි ලැබෙන රස්සාවක් නොවෙයි. කලා ක්ෂේත්‍රයේ හැමෝටම බලපාන ප්‍රශ්නයක් තමයි උදාවෙලා තියෙන්නේ. ඉතින් හැමදේම අමාරුවෙන් කළමනාකරණය කරගෙන යනවා
Question
ඉදිරියේදී ඔබ සම්බන්ධ වී කටයුතු කරන නිර්මාණ ගැනත් සඳහන් කලොත්?
Answer
අලුත් නිර්මාණ කීපයක්ම ලැබිලා තියෙනවා. Covid 19 නිසා තවම මේ දේවල් ආරම්භ කරන්න දිනයක් තවම තීරණය කරගෙන නැහැ. ඉතින් බලාපොරොත්තු වෙන් ඉන්නවා ඉක්මනින් ඒවාට දායක වෙන්න වගේම ප්‍රසන්න අයියාගේ තවත් නිර්මාණයයකුත් ඒ අතර තියෙනවා.
Question
අවසන් වශයෙන් ඔබට ආදරය කරන අයට ආදරණිය පණිවිඩයක් ඔබේ සිතේ ඇති. ඉතින් මේක ඒ අවස්තාව කරගන්න පුළුවන්.
Answer
මේ ක්ෂේත්‍රයේ මට ආදරය කරන අයට පෙරලා මමත් ආදරෙයි. විශ්වාසය මත මට ලබාදුන් හැම අවස්ථාවකටම ගොඩක් ස්තුතියි. ඉදිරියටත් ඒ විශ්වාසය මත මාත් එක්ක දිගටම ඉන්න කියලා කියන්න කැමතියි. ඒ වගේම මේ දිනවල පැතිරෙමින් තිබෙන Covid වසංගතය හමුවේ පරිස්සමට ඔබේ ආදරණියන් එක්ක දරු පැටවූ එක්ක කාලය ගත කරන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මා සමඟ මේ කල සුහද කතා බහට Art Street කණ්ඩායමටත් බෙහෙවින්ම ස්තුති කියනවා. මොකද කාලාවේ වැඩිය කතා නොකරන ක්ෂේත්‍රයක කෙනෙක් එක්ක මේ වගේ කතා බහා කරනවා අඩුයි. ඒ නිසා නැවතත් ඔබලාට ස්තුතිය.
Q & A සමඟ අපිත් එක්ක එකතු වූ තුෂාර විදානගමගේ, ඔබට ස්තුතිය පුදකරන ගමන්ම ලාංකීය සිනමාවේ දිගු ගමනක් යන්න ඔබට Art Street - කලා වීදිය අපි සුභ පැතුම් ගෙන එනවා.
0 Comments