දේශීය සිනමාවේ ප්‍රථම කතා නාද සිනමාපටය "කඩවුණු පොරොන්දුව"

පිංතුරය උපුටා ගැනීම ශ්‍රී ලාංකේය සිනමා වංශය පොතෙනි (රචනය - ආචාර්‍ය නුවන් නයනජිත් කුමාර)

_Giza Bee_

කඩවුණු පොරොන්දුව

දේශීය සිනමාවේ ප්‍රථම කතා නාද සිනමාපටය


කඩවුණු පොරොන්දුව Colour  Poster (Lakshan)
" කඩවුණු පොරොන්දුව " නව පෝස්ටර නිර්මාණය ලක්ෂාන් පෙරේරා


ලාංකේය සිනමා වංශකතාවේ ආරම්භය මීට වසර 74 කට පෙරදී සිදු විය. 1947 වසරේ ජනවාරි මස 21 වන දින ලංකාවේ ප්‍රදර්ශනය වූ "කඩවුණු පොරොන්දුව" සිනමාපටය සමඟ ලාංකේය සිංහල සිනමාවට විවිධ වූ තේමාවන් ඔස්සේ සිංහල රිදී තිරය සරසන්නට විවිධ වූ සිනමාපට බිහිවුවා සේම එය මතුවටත් එලෙසින්ම බිහිවෙිවි.

ලාංකේය සිනමා වංශ කතාවේ සිනමා නාමාවලිය හා බැඳුනු සිනමාපට ගැන විස්තරාත්මක මතකාවර්ජනයක ආරම්භය ලාංකේය සිනමාවේ ප්‍රථම කතානාද සිනමාපටය වූ "කඩවුණු පොරොන්දුව" සිනමාපටයෙන්ම වියමන සනිටුහන් කරන්නට අප අදහස් කළෙමු.


කඩවුණු පොරොන්දුව සිනමාපටයේ බිහිවීම


ලාංකේය සිනමා නිර්මාණයක් බිහිවීමට ප්‍රථමව ඉංග්‍රීසින් විසින් මෙරටතුළ ප්‍රථම සිනමාශාලාව ස්ථාපනය කරන්නේ 1903 වසරේදීය. එවකට බොහෝ ශ්‍රී ලාංකිකයන් සිනමාපට වලට "බයිස්කෝප්" යන වචනය පාවිච්චි කළ අතර සිනමා ශාලා තුළ ඉංග්‍රීසි, ඉන්දියානු සිනමාපට ප්‍රදර්ශනය වූ හෙයින් බොහෝ පිරිසක් මේ බයිස්කෝප් බැලීමට පෙළඹුන බව පෙනේ. පසුව ටිකෙන් ටික ලංකාව තුළ සිනමා ශාලා ව්‍යාප්ත වන්නට පටන් ගත් බව පෙනේ.

ශ්‍රී ලංකාවට නිදහස ලැබෙන්නත් ප්‍රථම, එනම් 1940 වකවානුවේ "එස්. එම් නායගම්" නමින් දකුණු ඉන්දියානු ව්‍යාපාරිකයෙක් ලංකාවේ කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යන ලදී. ඔහු ඉන්දියාවේ වගේම ලංකාවේද සබන් හා සුවඳ විලවුන් නිෂ්පාදනය සහ බෙදාහැරිම කළ අයෙක් වෙි. ඉන්දියාවේ පවා එවකට සිනමා කර්මාන්තය ජනප්‍රිය වෙමින් තිබෙන යුගයකි. ඔහුගේ ආසාව වුයේ ලංකාවේද එවැන්නක් බිහිකිරිමටයි. නමුත් ඔහු ශ්‍රී ලාංකිකයෙක් නොවීම හේතුවෙන් ඉන්දියාවේ මධුරෙයි වල "ශ්‍රී මුරුගන් නව කලා ලිමිටඩ්" යන නමින් සිනමාපට නිෂ්පාදන සමාගමක් සමග " චිත්‍රකලා මුවිටෝන්" යන නමින් චිත්‍රාගාරයක් ආරම්භ කරන ලදී.

එහි මුලික පරමාර්ථය වුයේ ද්‍රවිඩ සහ සිංහල සිනමාපට නිෂ්පාදනය කිරීමයි. එම සමාගමේ පළමු වන සිනමාපටය වුයේ "කුමර ගුරු" යන සිනමාපටයයි. මෙම සිනමාපටයෙන් පසුව එහි විසු සිංහල මිතුරන් සිනමාපටය නැරඹීමෙන් අනතුරුව ඉල්ලා සිටියේ තමන්ගේම මව් බසින් සිනමාපටයක් බලන්න බොහෝ කැමැති බවයි. ඉන් පසුව "එස්. එම් නායගම්" නැවත ලංකාවට පැමිණියේ ඒ අදහස ඇතිවයි.


ඡායාරූප අන්තර්ජාලයෙන්


ශ්‍රි ලංකාවේ හලාවත ප්‍රදේශයේ "මිනර්වා" යන කලා ආයතනය මගින් 800 වාරයකට ආසන්න වාර ප්‍රමාණයක් රඟ දැක්වූ හා වාණිජමය වටිනාකමක් එක් කළ වේදිකා නට්‍යක් ලෙස "කඩවුණු පොරොන්දුව" ප්‍රසිද්ධ්යක් උසුලා සිටි මොහොතකි. "බී. ඒ. ඩබ්ලිව් ජයමාන්න" විසින් රඟදැක්වුවා වූ "කඩවුණු පොරොන්දුව" වේදිකා නාට්‍ය නැරඹීමෙන් අනතුරුව "එස්. එම් නායගම්" හට අදහසක් පහළ වන්නේ මේ කතා තේමාවම ගෙන සිංහල සිනමාපටයක් නිපදවීමටයි. එම අදහසෙන් පමණක් නොනැවතුණු ඔහු, තම සිංහල මිතුරන් වෙනුවෙන්ම නැවත ඉන්දියාවට යන්නේ මේ සිනමාපටය නිර්මාණය කොට ලංකාවේ ප්‍රේක්ෂකයන්ට බලන්න සළස්වනවා යයි අධිෂ්ඨානය ඇතිවයි.

ඉන්දියාවේ නිෂ්පාදිත "කඩවුණු පොරොන්දුව" චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ බෙංගාලි ජාතික "ජේ. සිංහා" විසිනි. සහාය අධ්‍යක්ෂවරයා ඉන්දියානු ද්‍රවිඩ ජාතික "එස්. සවුන්දරරාජා" වන අතර සංගීතය රචනා කර ඇත්තේ "නාරායන අයියර්" විසිනි. සහය සංගීත අධ්‍යක්ෂ "ආර්. මුතුසාමි" විසිනි. මේ සිනමාපටයට තාක්ෂණික ශිල්පින් ලෙස වැඩ කටයුතු කළේ ඉන්දියානුවන් වූ අතර රංගන ශිල්පීන් ලංකාවෙන් ඉන්දියාවට රැගෙන යන ලදී.



කඩවුණු පොරොන්දුව සිනමාපටයේ කතා අන්තර්ගතය

ඡායාරූප අන්තර්ජාලයෙන්


"ජයසේන" සහ "සුමනා" විවාහපත් යුවළකි.ඔවුන් දාව උපන් දියණියක වන "රංජනී" මේ වන විට මනරම් රුවකින් යුත් තරුණියකි. ඈ ආලයෙන් වෙලී සිටියේ "සැම්සන්" සමඟය."ජයසේන" විසින් "සෙට්ටියාර්" නම් අයෙකුගෙන් ණය මුදලක් ලබා ගෙන ඇති අතරම දිනක් "ජයසේන" මිය යන්නේ "සුමනා" සහ ඔහුගේ දියණියවත් ගැටළු ගොන්නක අසරණ කරමින්ය. "ජයසේනගේ" සිරුර භූමිදානය කිරීම වැළක්වීමටත් තමාගෙන් ගත් ණය පියවා දෙන ලෙසත් "සෙට්ටියාර්" ඔහුගේ සහචර නඩය සමඟ "සුමනා" ගෙන් සහ "රංජනී" ගෙන් ඉල්ලා සිටියදී මේ ණය මුදල ගෙවා දැමීමට ඉදිරිපත් වන්නේ "රංජනී" හට ආදරය කළ "සැම්සන්" විසිනි.

තමා සතු වූ දේපළ විකුණා දමා "සැම්සන්" විසින් "සෙට්ටියාර්" හට ණය මුදල පියවා දමන අතරම තම පියාගේ (ජයසේන) සොහොන ඉදිරියේ "රංජනී" දිවුරා පොරොන්දුවක් ලබා දෙන්නේ සදහටම තමන් "සැම්සන්" වෙනුවෙන් ආදරය කරමින් තම ජීවිතය කැප කරන බවය. ඔය අතර තුරේ රැකියාවක් සොයන "සැම්සන්" සිංගප්පුරුව වෙත යන්නේ මිල මුදල් හම්බකර ගෙන ඒමේ පරමාර්ථයෙනි.

"වික්ටර්" යනු විවාහ පත් වූ දරුවෙකු සිටින මැදිවියේ අයෙකි.ඔහුට යහමින් මුදල් තිබු අයෙක් වූ අතරම "හේමපාල" විසින් "සුමනා"ටත් "රංජනී" ටත් ඔහුව හඳුන්වා දෙයි. නමුදු "වික්ටර්" යනු විවාහපත් වූ සහ දියණියක් සිටින පියෙක් යන වග මව සහ "රංජනී" කිසිවක් දැන සිටියේ නැත. මේ සියල්ලම "හේමපාල" විසින් ඇත්ත වසන් කිරීමට ගත උත්සාහයකි. "වික්ටර්" සතු වූ ධනවත් බව නිසාම "සුමනා" ගේ කැමැත්ත නිසාවෙන් ම "රංජනී" හට "වික්ටර්" සමඟ විවාහපත් වන්නට සිදුවෙන්නේ "සැම්සන්" ටත් නොදන්වාය.

විවාහයෙන් අනතුරුව "රංජනී" "වික්ටර්" ගේ නිවසට යන අතරම ඉන් පසුව ඈ රැවටීමකට ලක් වී ඇති බව වටහා ගනී. ඒ "වික්ටර්" කලින් විවාහපත් වූ අයෙක් බවත් ඔහුට "හිල්ඩා" නමින් දියණියක් සිටින බවත්ය. තමාත් මවත් "වික්ටර්" ගේ ධනය නිසා අන්ධ වුවා දෝ "රංජනී" තමා හටම දොස් නගාගන්නට විය. "වික්ටර්" ගේ දියණිය වූ "හිල්ඩා" හට වැළඳී තිබු රෝගය නිසාම "රංජනී" ඇයට සාත්තු සේවිකාවක් ලෙස කටයුතු කරන්නට පටන් ගන්නේ තමා "සැම්සන්" ට දුන් පොරොන්දුව කඩා දැමීමෙන් මේ ලද විපාක කෙසේ හෝ ගෙවා දැමිය යුතුයි සිතමිනුයි. ඒ අතරම "රංජනී" ජිවත් වූ නිවසේ මෙහෙකාරයන් ලෙස "මනප්පු" සහ "ජෝසි බබා" ජිවත් විය.

සිංගප්පුරුවේ සිට නැවත ලංකාවට පැමිණෙන "සැම්සන්" බොහෝ සතුටෙන් පැමිණෙන්නේ "රංජනී" ව විවාහපත් කරගෙන සතුටෙන් ජිවත් වනු සිතමිනුයි. නමුත් ඒ වන විටත් "රංජනී" විවාහපත් වී තිබීම ඔහුට දරාගත නොහැකි විය. ඒ හේතුවෙන්ම ඔහු උම්මත්තකයෙකු වන්නේ ආදරය නිසාවෙනි. මේ අතර තුරේදී "සැම්සන්" හට වෛද්‍යවරයෙකු ගේ පිහිටක් ලැබෙන්නේ "රංජනී" ගේ ජීවිතය මෙවැන්නක් යයි පසක් කර දෙමින්ය. පසුව වෛද්‍යවරයා නිසා "සැම්සන්" සහ "රංජනී" නැවත එකතු වන්නේ ආදරවන්තයන් ලෙසින්මය.එහෙත් "වික්ටර්" ගේ ජීවිතය නැවත වරක් අඳුරු ලෝකයකට ඇතුළු වන්නේ "හිල්ඩා" මිය යෑමත් සමඟයි. කෙසේ හෝ ධනයට වඩා පරම ආදරය සැමවිටම ජිවිතයට ආලෝකයක් ගෙන දෙයි කියමින් "කඩවුණු පොරොන්දුව" සිනමාපටය සමාප්තිය සනිටුහන් කරයි.



කඩවුණු පොරොන්දුව සිනමාපටය සහ වේදිකාවෙන් ලද ආභාෂය


කඩවුණු පොරොන්දුව සිනමාපටය නරඹන ඕනෑම අයෙකුට එහි ඇති දෙබස් වල නුහුරක් දකින්නට ලැබෙන්නේ වේදිකාව තුළ රඟ දැක්වූ කතා පිටපත ට අනුකුලව සිනමාපටයේද දෙබස් පැවතීමයි. සිනමාපටයේ ගීත වලද තිබුනේ ද එවැන්නකි.තම පියාගේ සොහොන මත හඬමින් ප්‍රථම සිනමා ශෝකී ගායනාවක් අසන්නට දකින්නටද ලැබෙන්නේ "කඩවුණු පොරොන්දුව" සිනමාපටය හරහාම වීම ද විශේෂයි. මනප්පුවා සහ ජෝසි හරහාද සිනමාපටය තුළ රැගෙන ආවේ ප්‍රහසනයයි. මේ සියලු චරිත හරහා එදා තිබු සමාජීය වට පිටාව මැනවින් රඟ දක්වන්නට සමත්කම් කිවේය. සිනමාපටය තුල ප්‍රේමය, දුක, හාස්‍ය යන විවිධ වූ වර්ගයේ ගීත ඔබවා තිබීම ද වේදිකාවෙන් ලද ආභාෂයම විය හැක. බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නයන් ගේ කතා සංකල්පයට ගොඩනැඟූ "කඩවුණු පොරොන්දුව" ඉන්දියානු ආභාෂයත් සමඟ රිදී තිරයට එදා පායන්නේ ලාංකීය සිනමාවේ ප්‍රථම කතා නාද සිනමාපටය ලෙසයි.



කඩවුණු පොරොන්දුව සිනමාපටයේ රංගන දායකත්වය


  • බී.ඒ.ඩබ්ලිව් ජයමාන්න - සැම්සන්

  • රුක්මණී දේවී - රංජනී

  • පීටර් පිරිස් - වික්ටර්

  • මිරියම් ජයමාන්න - හිල්ඩා

  • ඇස්ලින් බාලසුරිය - සුමනා

  • තිමොසියස් පෙරේරා - ජයසේන

  • සෙට්ටියාර් - හියුගෝ ප්‍රනාන්දු

  • මනප්පුවා - එඩී ජයමාන්න

  • ජෝසී බබා - ජෙමිණි කාන්තා

සෙසු චරිත - ජෝශප් පෙරේරා, ස්ටැන්ලි මල්ලවාරච්චි, ඩී.ටී.පෙරේරා, එස්.එස්.පොන්නිසේන, ජේ.බී.පෙරේරා, බෙට්‍රම් ප්‍රනාන්දු, ප්‍රභාකර්, ජෝයි ජයකොඩි, විසිඩොර් පෙරේරා, එස්.ඩී.එලිසබෙත්, විදා සොයිසා, සිනා පිෂ්පාණි, සුරියර්ණි පෙරේරා, රූපා දෙවි සහ මිනර්වා නාට්‍ය කණ්ඩායම.




කඩවුණු පොරොන්දුව සිනමාපටයේ ගී


1. ශ්‍රී ජය විජය සිරින් පිරි


අප සිරි ලංකා මාතා ලෝ කුසේ...//

සිංහල ජාතිය කිර්ති ධජා

නංවා දිනේවා නිතරා...//

සිරි ලංකා මිගමු දියණි

දරු පෙම් දුලා මිනර්වා කැළා ...//

එස් එම් නායගම් මැතිඳා

ගුණ කරුණා ධාරේනා...//

චිත්‍ර කළා කැළ ඒ

චිත්‍ර කළා මේ රඟේ

ලියලා තොසිනා රඟනා

දෝ සැම ඒ දුරලා

ප්‍රීතිය වේවා සැමා

දෝ සැම ඒ දුරලා

ප්‍රීතිය වේවා සැමා


ගායනය - ම්නර්වා කණ්ඩායම

පදරචනය - හියුගෝ ප්‍රනාන්දු

..............




2.ප්‍රේම දයා මාගේ පියාණෝ



අයියෝ ගියා අප දාලා ලෝකේ

ප්‍රේම දයා..

ඔබගේ තිබුණ ප්‍රේමේ

සිහි වෙනවා රෑ දවාලේ..//

වාමි කෝම සොකේ සොකේ

ප්‍රේම දයා..

සැප හිරු බැස ගියා

අඳුර මතුවී ලෝකේ සොකේ

කාගේ පාපේ මාගේ පියාට හිමි උනේ

දේවනේ

අයියෝ මගේ පියතුමා

ප්‍රේම දයා

මාගේ පියා



ගායනය - රුක්මණී දේවී

පදරචනය - හියුගෝ ප්‍රනාන්දු

සංගීතය: ආර්. නාරායන් අයියර්

..............





3.ළපටි රූපේ ඈගේ


ළපටි රූපේ ඈගේ දැක ගැහෙති මාගේ වේගේ...

ඒ රම්‍යා ජෝසි ශ්‍රියා කතේ...

ඒ රම්‍යා ජෝසි ශ්‍රියා කතේ

ඈ සේම අන් ලියන් ලොවේ නැතේ....//

ළපටි රූපේ ඈගේ...

මෙතනට විත් පැන්නා මා නිකම්ම ගල් ගැහුණා

සැරවී මට රැවුවා නමුත් එක්ක යන්ද හිතුණා

මට වඩා ගන්න හිතුණා

මටම ඔබින රූපේ

මට බැන්නා මම රැවුවා

මගේ තරමට උස හොඳා...

මටම ඔබින රූපේ

මාගේ තරමට උස හොඳා.. //

ආදරේ මගේ කෑදරේ..//

උඩ පැන පැන මාව දාලා පැනලා දිව්වා වේගේ..//

ළපටි රූපේ ඈගේ

පැනලා දිව්වා වේගේ

ළපටි රූපේ ඈගේ

ළපටි රූපේ ඈගේ දැක ගැහෙති මාගේ වේගේ...

ඒ රම්‍යා ජෝසි ශ්‍රියා කතේ

ඈ සේම අන් ලියන් ලොවේ නැතේ...



ගායනය - එඩී ජයමාන්න

පදරචනය - හියුගෝ ප්‍රනාන්දු

සංගීතය: ආර්. නාරායන් අයියර්

..............





4. දේව ස්වාමි කරුණා වේවා


පවුලට මා ලැබේවා ශාන්ති

ආදර හිමි රජාණෝ

මෙලොව මාගේ දෙවියාණෝ

සාදර වූ සුරතල් දියණී

අප ප්‍රීතිය සාදන සුර දූතී



ගායනය: රූපා දේවි

ගී පද: හියුගෝ ප්‍රනාන්දු

සංගීතය: ආර්. නාරායන් අයියර්

..............





5. සන්ධ්‍යාවේ ශ්‍රීය රම්‍යා ලෙස පේනා…//


අද අහසෙ දිලිසෙ ස්වර්ණ වර්ණ පා

රශ්මි ධාරා

සන්ධ්‍යාවෙ ශ්‍රීය රම්‍යා ලෙස පේනා..

ඈත උසට කඳු පර්වත සැම අතින් පෙනෙන්නා

නෙත් පිනන්නා

අහසෙ දුවන සිනිඳු වලා කන්දේ හැපෙන්නා

වැළඳ ගන්නා..

සූර්යා ද අපට ඉඟි බිඟි පානා

හකුලා ධාරා…//

සන්ධ්‍යාවෙ ශ්‍රීය රම්‍යා ලෙස පේනා

පුෂ්ප කුසුම් මිශ්‍ර සුළං දසතින් හමන්නා

ගිම් නිවන්නා

දිනිඳු දුවයි සැඟවි ගන්ට සාගරේ වැදීලා

වෙහෙස වීලා

අද අහසෙ දිලිසෙ ස්වර්ණ වර්ණ පා

රශ්මි ධාරා

සන්ධ්‍යාවෙ ශ්‍රීය රම්‍යා ලෙස පේනා

ගංගා සැමා යයි ගලා සාගරේ වෙතා…//

එ ජල කඳා ගනි වැළඳා සමුදුරේ වැදා

පෙම් ජලේ ගැලීලා

නාමු ‍ප්‍රේම ධාරා

පෙම් ජලේ ගැලීලා

නාමු ‍ප්‍රේම ධාරා

ඒ ඉතා වේ ප්‍රියා



ගායනය - රුක්මණී දේවි සහ ස්ටැන්ලි මල්ලවාරච්චි

පද රචනය - හියුගෝ ප්‍රනාන්දු

සංගීතය- ආර්. නාරායන් අයියර්

..............





6. ඉස් ඉස්සරවෙලා උඹව මම


දැක්ක දිනේමයි ආදරෙ බැඳුණේ…//

දැක්ක දිනේමයි ආදරෙ බැඳුණේ

උඹත් ආදරෙ ද දැම්මම කියපන්

ඇයි මේ මාර්ගෙ කොලොප්පන්

ලැජ්ජා නැද්ද මනප්පු අයියේ…//

මට ලැජ්ජා හිතෙනව මනප්පු අයියේ

පාරේ මේ මිනිස්සු එනවා

මම දැන් යනවා මනප්පු අයියේ…//

ඉතින් උඹට බෑ තනි මග යන්නට

තනියට එනවා මනප්පුවා…//

කුලප්පු වෙන ඔය මනප්පු නැතිවට

පාරේ යාමට මට කිසි බය නෑ…//

මින්පසු දෙන්නගෙ කලබල හොඳ නෑ

පස්සට යන කල හිතා ගමු…//

පස්සට යන කල හිතා ගමු

අපි අවුල් නොවී ප්‍රේමෙන් වසමු…//


ගායනය - එඩී ජයමාන්න සහ ජෙමිනි කාන්තා

පදරචනය - හියුගෝ ප්‍රනාන්දු

සංගීතය- ආර්. නාරායන් අයියර්

..............






7. පාපේ ශාපේ දෝ මේ මාගේ


ප්‍රේමිය, නුඹගේ සුන්දර ඡායාව දකින විට,

ජීවිතේ නමැති කුරුසියේ බර,

මට ඉතා සැහැල්ලුය.

ලෝකයේ මගේ ආනන්ද රූපා…//

මා හද දිනූ යස ප්‍රේමී

කෝමල රූ ශ්‍රී දේ සුරංගී

සුගුණ ලලන මා සුහද පිනවනා…//

ආදර ප්‍රේමිය රූපාංගී

ප්‍රීතිය මා ප්‍රීතිය රංජනී

සෝක නොවන් මා ප්‍රේම සමින්දා…//

ප්‍රීති උදාවේ ශෝක මැකී…//

අප ප්‍රේමය මතු දේ ශාන්තී

සඳ ලප සේ මා දිනේ අප ප්‍රේමා…//

සුරනා රැක දේවා ශාන්තී



ගායනය - රුක්මණී දේවි සහ ස්ටැන්ලි මල්ලවාරච්චි

පදරචනය - හියුගෝ ප්‍රනාන්දු

සංගීතය - ආර්. නාරායන් අයියර්

..............






8. මගේ සක බඹරේ දැන් කැරකේ මාව සිසාරා…//


කුසුම මමයි ඔබ මා වට කැරකෙන බඹරා

ඔබයි කැරකෙන බඹරා…//

කුසුම නොරිද්දා බඹරා රොන් උරයි අනේ…//

නිතර බඹර රොන් ඉරුවොත් පරවෙලා වැටේ

කුසුමා පරවෙලා වැටේ

ප්‍රේමය ඇති බඹර මලට නෑ රිද්දන්නේ

අනේ නෑ රිද්දන්නේ

නිතර බඹර රොන් ඉරුවොත් පරවෙලා වැටේ

කුසුමා පරවෙලා වැටේ

ප්‍රේමය ඇති බඹර මලට නෑ රිද්දන්නේ

අනේ නෑ රිද්දන්නේ

ප්‍රේමයෙන් වෙලී හිටියොත් දෝස නෑ අනේ…//

ප්‍රේම අපේ දිවි ඇති තෙක් නෑ මැකී යන්නේ…//

සක බඹරේ දැන් කැරකේ මාව සිසාරා

මගේ සක බඹරේ දැන් කැරකේ මාව සිසාරා

කුසුම මමයි ඔබ මා වට කැරකෙන බඹරා

ඔබයි කැරකෙන බඹරා



ගායනය - එඩී ජයමාන්න සහ ජෙමිනි කාන්තා

පදරචනය - හියුගෝ ප්‍රනාන්දු

සංගීතය - ආර්. නාරායන් අයියර්

..............







9. තක්කිට තරිකිට උඩ පැන නටන්ඩ හිතුණා


නුඹව කරේ තියන් ලෝකෙ වටේ දුවන්ට හිතුණා…//

කතාව නම් දෝලාවෙන් යන්න වෙන්නෙ කකුල් දෙකෙන්…//

ගෑණුන් රවටන්ඩ පිරිමි ඇයි ද නොදන්නේ…//

මී මැස්සා රොන් හොයනව…//

ජොසී ළඟට හෙමින් හෙමින්

මනප්පුවත් කිට්ටු වෙනව…//

නෝනගෙ ආලේ ගේ මැද සාලේ

අපි දෙන්නගෙ ආලේ මෙන්න කුස්සිය මුල්ලේ…//

වැස්සට පින්නට තෙමි තෙමි

රෑ දාවල් නින්ද නැතිව…//

කෙළ හළ හළ බැඳපු ආලෙ රත්තරන් වගේ…//

නෝනගෙ ආලේ ගේ මැද සාලේ

අපි දෙන්නගෙ ආලේ මෙන්න කුස්සිය මුල්ලේ

නෝනගෙ ආලේ ගේ මැද සාලේ

අපි දෙන්නගෙ ආලේ මෙන්න කුස්සිය මුල්ලේ



ගායනය - එඩී ජයමාන්න සහ ජෙමිනි කාන්තා

පදරචනය - හියුගෝ ප්‍රනාන්දු

සංගීතය - ආර්. නාරායන් අයියර්

..............






10. සුන්දරී රූපා රංජිනී


ප්‍රේමේ ජයා හිමි වුණා

මගේ ප්‍රමාණේ මේ නිසා තේරේ

ඉතා අගෙයි මා මිත්‍රයා

සන්තොෂා සේ මේ සිදු වුණා

ප්‍රේමයේ ජයා හිමි වුණා

වාසනාව මේ නුඹේ

මා හිනා සෑදියේ

ස්තුති ඒ ගැනා

අති අගනා

පෙම් සිරි පානා හදේ

ඒ වැඩි වේ මතු තිරයේ සන්තොෂා සේ

මේ සිදු වුණා ප්‍රේමයේ ජයා හිමි වුණා



ගායනය - ස්ටැන්ලි මල්ලවාරච්චි සහ පීටර් පීරිස්

පදරචනය - හියුගෝ ප්‍රනාන්දු

සංගීතය - ආර්. නාරායන් අයියර්

..............







11. ජීවිතයේ සාමේ


දේ මේ ගීතේ රම්‍යා ගීතේ සාරා

ජීවිතයේ සාමේ

දේ මේ ගීතේ රම්‍යා ගීතේ සාරා

ජීවිතයේ සාමේ

දනා ප්‍රියවෙනා ගීතේනා..//

සෑමා, දනා ප්‍රියවෙනා ගීතේනා

සෑමා දුක සින්දා ජීවිතයේ සාමේ

දේ මේ ගීතේ රම්‍යා ගීතේ සාරා

ජීවිතයේ සාමේ

ගීතේනා, සංගීතෙනා පිනවනා, නාදේ

නදන ගීතෙනා පිනවනා, නාදේ

දෙව් ලොව ශ්‍රී සුර සැමා ප්‍රීති සංගීතෙනා

පිනවනා නාදේ

පිනන සැම ලෝ දනා රන්ජනා

සතුරු ඒ මිතුරු වේ සැමා

මධුර වේ අමා ලෝකේ

ප්‍රේමයෙ ආහාරේ

වේ මේ ගීතේ රම්‍යා

ගීතේ සාරා ප්‍රේමයෙ ආහාරේ



ගායනය - රුක්මණී දේවි

පදරචනය - හියුගෝ ප්‍රනාන්දු

සංගීතය - ආර්. නාරායන් අයියර්

..............






12.යාමි ඉන්දියා – දෙසටා


යාමි ඉන්දියා – ආ…නන්ද වේ

දෙසටා – යාමි ඉන්දියා ආ…නන්ද වේ

සිත මා, ප්‍රේමාවන් දිනේ……//

යමුනා ගංතෙරා බැසා – ප්‍රේමා පානා ලෙසිනා……//

සිත මා ලල ලල්ලල ලල්ලල ලල්ලා ලාලා

ලා ලා ලා ලා හා හහා හා හහා

ප්‍රේමයෙ ලකුණකි ටාජ්මහල්, ලෝකේ….//

ප්‍රේමා – සැමදා අප පෙම් දාමා

සෝබා කාන්ති දේවා – දේවා

දෙසටා යාමි ඉන්දියා ආ…නන්ද වේ….//



ගායනය - රුක්මණී දේවි

පදරචනය - හියුගෝ ප්‍රනාන්දු

සංගීතය - ආර්. නාරායන් අයියර්

..............



කඩවුණු පොරොන්දුව සිනමාපටය ප්‍රදර්ශනය



ඡායාරූප Film. lk වෙතින්


"කඩවුණු පොරොන්දුව" 1947 වසරේ ජනවාරියේ 21 වන දින දී මංගල දර්ශනය පැවැත්වුයේ කොළඹ පිහිටි කිංස්ලි සිනමාශාලාවේදීය. එමෙන්ම සිනමාපටය ප්‍රදර්ශනය සඳහා නිකුත් කරන ලද්දේ පිටපත් පහක් පමණි. ඊට අමතර කිංස්ලි රඟහලේ පැවති මෙම මංගල උත්සවයට එවකට කෘෂිකර්ම අමාත්‍ය ඩී. එස්. සේනානායක මහතා සහභාගී වී තිබු අතරම දින 127ක් මෙම සිනමාපටය ප්‍රේක්ෂකයන්ගේ ඉමහත් ජන ආකර්ෂණය සමඟ ප්‍රදර්ශනය විය.

ශ්‍රී ලාංකීය රුපියල් 325,000 ක වැයකින් නිපදවූ "කඩවුණු පොරොන්දුව" සිනමාපටය පළමු දර්ශන වාරයේදී පමණක් රුපියල් ලක්ෂ 22ක ආදායමක් ඉපැයීමට සමත්කම් ලබා තිබෙයි. එමෙන්ම 1948 වසරේ දෙසැම්බර් මස 10 වන දින "කඩවුණු පොරොන්දුව" සිනමාපටය වර්ණ ගන්වා නැවත මරදානේ සෙන්ට්‍රල් සිනමාශාලාවේ ප්‍රදර්ශනය කළ බවට සඳහනක් තිබෙයි.


කඩවුණු පොරොන්දුව සිනමාපටයේ නිෂ්පාදන කණ්ඩායම

නිෂ්පාදනය – එස්. එම්. නායගම් (චිත්‍රකලා මුවිටෝන් සමාගම වෙනුවෙන්)

නිෂ්පාදක – එස්. එම්. නායගම්

අධ්‍යක්ෂණය – ජ්‍යෝතිශ් සිං (ජේ. සී. සිංහ)

සහය අධ්‍යක්ෂණය – ඇස්. සෞන්දර රාජන්

කතාව, දෙබස්, තිර නාටකය හා නළු නිළි පුහුණුව – බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න

සංගීත අධ්‍යක්ෂණය - ආර්. නාරායන් අයියර්

සහය සංගීත අධ්‍යක්ෂණය - ආර්.මුත්තුසාමි

ගීත ප්‍රබන්ධය – කේ. හියුගෝ ප්‍රනාන්දු

ගීත පටිගත කිරීම – දකුණු ඉන්දියාවේ මදුරෙයි චිත්‍රකලා ශබ්දාගාරය

ග්‍රැමෆෝන් තැටි – මදුරාසියේ ‘හිස් මාස්ටර්ස් වොයිස්’ ශබ්දාගාරය

ගීත සංඛ්‍යාව – 12 (ගීත 10 ක් පමණක් තැටිගත කර ඇත)

කැමරාව – කේ. ප්‍රභාකර්

සංස්කරණය – පාකර් සාලි

චිත්‍රාගාරය –චිත්‍රකලා, මදුරාසිය



කඩවුණු පොරොන්දුව සිනමාපටය හා වත්මන් තොරතුරු


කළු ජූලියේදී "විජය කළාගාරය" ගිනි ගනිද්දී එයින් බොහෝ ලාංකීය සිනමාපට විනාශයට ලක් වී යාම ගැන බොහොම දෙනෙක් දන්නා දෙයකි. ලාංකීය සිනමා වංශකතාවේ ආරම්භය සණිටුහන් කළා වූ "කඩවුණු පොරොන්දුව" ද ඒ අතර විය. මෙවන් සිනමාපටයක් සේම එවකට තිබු බොහෝ සිංහල සිනමාපට වල දළ පටල විනාශ වී යාමට හේතුව අපේම එදා සිටි පිරිසමය.

නමුදු ලාංකීය සිනමාවට ආදරය කරන්නාවූ අප වාසනාවන්ත බව කිව යුතුය. ඒ කුරුණෑගල පදිංචි "ජේ.ආර්.රංජිත්" නමැති මහතෙකු ළඟ "කඩවුණු පොරොන්දුව" සිනමාපටයේ දළ පටල ආරක්ෂිතව තබා ගෙන තිබු අතරම එය නැවත ප්‍රතිසංස්කරණය සඳහා භාර දී තිබෙනවා. මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මෙටරදීම සිදු කිරීමට හැකියාව ලැබී තිබීම විශේෂයි. සිනමා තාක්ෂණවේදී "මහීල් ආර් පෙරේරා" සහ "තිලංක පෙරේරා" විසින් නැවත "කඩවුණු පොරොන්දුව" සිනමාපටය ඩිජිටල් කරණය හරහා ප්‍රතිසංස්කරණය කිරීමට මහත් සේ කැප කිරීමක් සිදුකරනු ලබයි. එය නැවතත් දිනයක රිදී තිරය හරහා නරඹන්න හැකියාව උදාවෙවී කියන විශ්වාසය සිනමාවට ආදරය කරන අප හදවත් වල තබාගත හැකි බලාපොරොත්තුවකි.

ලාංකේය සිනමා වංශකතාවේ සිනමා නාමාවලියේ ප්‍රථම කතා නාද සිනමාපටය ගැන සටහන මෙලෙස නිමා කරන්නෙමු.

මේ හා බැඳී ඔබත් දන්නා කරුණු වේ නම්, අප හා බෙදා ගන්නා ලෙස ආදරයෙන් ඉල්ලා සිටිමු.

ලාංකේය සිංහල සිනමාවට ආදරය කරන සහ සිනමාවේ දැනුම බෙදා ගැනීමට ආරම්භ කළා වූ මේ සිනමා වියමන ලාංකේය සිනමාවේ දෙවන සිනමා පටය වන "අශෝක මාලා" සිනමාපටය පිළිබඳවද ඔබේ දැනුම වෙනුවෙන් නුදුරේදීම සටහනක් ගෙන එන්නෙමු.

"කඩවුණු පොරොන්දුව" සිනමාපටයේ අදාළ කරුණු සිනමා පත පොත සහ අන්තර්ජාලය ඇසුරෙන් ලබා ගත් කරුණු බව සලකන්න.


කඩවුණු පොරොන්දුව
පැරණි ඡායාරූප අන්තර්ජාලයෙන්/ නව වර්ණ ඡායාරූප සංස්කරණය ලක්ෂාන් පෙරේරා

කඩවුණු පොරොන්දුව
පැරණි ඡායාරූප  ශ්‍රී ලාංකේය සිනමා වංශය පොතෙනි / නව වර්ණ ඡායාරූප සංස්කරණය ලක්ෂාන් පෙරේරා


කඩවුණු පොරොන්දුව
පැරණි ඡායාරූප  ශ්‍රී ලාංකේය සිනමා වංශය පොතෙනි / නව වර්ණ ඡායාරූප සංස්කරණය ලක්ෂාන් පෙරේරා

කඩවුණු පොරොන්දුව
පැරණි ඡායාරූප අන්තර්ජාලයෙන්/ නව වර්ණ ඡායාරූප සංස්කරණය ලක්ෂාන් පෙරේරා







Post a Comment

1 Comments