මේ දිනවල බොහොම දෙනෙක් කතා කරන සිනමාපටයක් තමයි Reminiscence (සිහි කැඳවීම) කියන්නේ. වෙනස්ම වූ ආදරණිය කතාවක් තුල බොහෝ දෙනෙකු ආදරය කරන සිනමා නළුවෙකු වන Hugh Jackman ගේ වෙනස්ම රංගනයක් දකින්නට ලැබෙන සිනමාපටයක් විදියට Reminiscence හඳුන්වා දෙන්න පුළුවන්.
Reminiscence සිනමාපටය Lisa Joy විසින් අධ්‍යක්ෂණය කරන ලද කුළුඳුල් සිනමාපටයයි. අප කවුරුත් දන්නා සම්මානනීය අධ්‍යක්ෂක Christopher Nolan ගේ සහෝදරයා වන Jonathan Nolan සමඟ විවාහපත් ව සිටින්නේ ඇයයි. ඒ නිසාම Reminiscence සිනමාපටය බොහෝ සෙයින් අප Nolan ගේ සිනමාපට තුල දුටු ඒ අභාෂය මේ සිනමාපටය තුළත් දක්නට හැකියාව ලැබෙනවා. එමෙන්ම මේ සිනමාපටය Lisa Joy ගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය වුවද එහි සිනමාපටය නරඹන කිසිම විටෙක මෙය නව නිර්මාණ කරුවෙකුගේ සිනමාපටයක් යයි කිසිවිටෙක අපට සිතන්නට ඉඩක් නොදෙයි.
Reminiscence රංඟනයෙන් Hugh Jackman, Rebecca Ferguson, Thandiwe Newton, Cliff Curtis, Marina de Tavira, සමඟ Daniel Wu රංගනයෙන් එකතු වී තිබෙනවා. මෙම සිනමාපටයේ ඇති ප්‍රධානම දේ මේ හැම චරිතයක් සඳහාම තෝරා ගෙන සිටින නළු නිළියන් ඒ චරිත සඳහා ලබා දෙන ජීවය අපව සිනමාපටය තුළම ගිල්වා තබා ගන්නවා. එමෙන්ම සිනමාපටයේ තිබෙන සුවිශේෂීම දේ වටපිටාව සහ පරිසරය. සිනමාපටය නරඹන්න ගන්න විනාඩි කිහිපයේදීම ඔබව වෙනම ලොවකට රැගෙන යන්නේ ඒ අතර අතරමං කරමිනුයි.
Reminiscence සිනමාපටයේ කතාව රචනා කර තිබෙන්නේ ද Lisa Joy වන අතර මෙම සිනමාපටය Romance, science fiction, thriller ශාරණයට තමයි එකතු වෙන්නේ. සිනමාපටය බෙදා හැරිම Warner Bros සමාගම හරහා සිදුවූ අතර අගෝස්තු 20 වන දින ප්‍රදර්ශනය තෝරාගත් සිනමාශාලා වලදී ප්‍රදර්ශනය ඇරඹිණි. එමෙන්ම HBO MAX හරහා ද එදිනම ලෝකයේ සිටින අනෙකුත් ප්‍රේක්ෂකයන්ට රස විඳීමේ හැකියාව අගෝස්තු 20 වන දින සිටම ලැබිණි. සිනමාපටයේ මේ වන විට IMDb අගය 5.9ක් රැගෙන තිබෙන අතරම සිනමාපටය බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක් වූ සිනමාපටයකි.
.........."Reminiscence" ...........
සිනමාපටයේ කතා අනුගතය
එහෙනම් අපි අනාගතේ දවසකට යමු.
අව්රශ්මිය වැඩි වීමත් සමඟ මිනිසුන්ට දහවලේ තිබෙන උණුසුම නිසාම රාත්‍රියේ දී රාජකාරි කරන්න පටන් ගත් යුගයකි. ඒ වගේම හිරුගේ ඇති ප්‍රභල උෂ්ණත්වය නිසාම හිම කඳු දියවෙමින් ගලාගෙන එමින් රටවල් නගර යට වෙමින් තිබුන කාලයකි. මේ හැමදේම එක්ක මිනිසුන් එයට හුරු වෙමින් ජීවිතය ජිවත් කරවන්න ගන්නා අනාගතයේ දිනයකි. වෙනදා වාහන මිනිසුන් ගමන් ගත් විදී වලට ඇත්තේ ජලය පිරුණු ඒ මතින් මඟින් ප්‍රවාහනය කරන හබල් ගහන බෝට්ටු හෝ මෝටර් බෝට්ටු සහ පොඩි නැවු පමණයි. නමුත් වතුරෙන් යට නොවන නගර හරහාද පහළ බිම් වලට ජල දහරා ගලාගෙන ගියේ කිසිදිනෙක නොසිඳෙන ලෙසයි. නගර මධ්‍යට වැඩි වූ මුහුදු ජලය පවා නොඑන්නට සමහර තැන් වල උස ප්‍රාකාර හැදුවත් සමහර තැන වලින් වතුර කාන්දූ වන්නේ දවසක මේ භූමියත් අපි අල්ල ගන්නවා යන කියමන ජීවත්ව සිටින මිනිසුන්ට පසක් කර දෙමින්.
Nick සහ Watts යනු පැරණි මිතුරන්ය. ඔවුන් දෙදෙනා හමුදාවේ සේවයේ නියුතුව සිටි දෙදෙනෙකි. ලෝකයේ අයිස් කඳු දියවෙමින් ලෝකය වෙනස්ම තැනකට පරිවර්තනය වන විට ඔවුන්ද ඔවුන්ගේ ජීවිකාව උදෙසා වෙනස් වූ සේවයක් ලබා දෙන සේවා ස්ථානයක් ආරම්භ කර සිටියා. මෙම ස්ථානයට යන ඕනෑම කෙනෙකුට තමන්ගේ අතීතයට යාමට ඔවුන් සලස්වා දෙනවා වගේම ඒ සඳහා ඔවුන් මුදලක්ද ලබා ගන්නවා. වතුර පිරුණු ටැංකියක් තුළට සේවාව අදාළ පුද්ගලා නිදිකරවමින් හිසට සවිකරන උපකරණයක් හා Nick ගේ හඬ සමග අදාළ පුද්ගලයාව මෝහනය කරමින් ඔහුට අවශ්‍ය කාලයක අතීතයේ සිදුවීමක් සමඟ සම්බන්ධ වීමට හැකියාව ඔවුන් හට ලබා දෙනවා.නමුත් එහි විශේෂත්වය ඔහු දකින දෑ තිරයක් ඉදිරියේ සම්ප්‍රේෂණය වීමයි. ඔහුගේ ඒ අතීත මතකය වීඩියෝ දර්ශනයක් ලෙසින් Nick සහ Watts සුරක්ෂිතව භාගත කරගනු ලබනවා.
දිනක් රාත්‍රියේ සියලුම වැඩ නිම කරලන්නට කිට්ටුව තවත් අයෙකු එම ස්ථානයට පැමිණෙන්නේ සේවය ලබා ගැනීමටයි. නමුත් සේවා ස්ථානය වසා ඇති බව පවසන Watts අඳුරු සෙවණැල්ලක් තුළින් මතුව එන තරුණිය දෙස Nick බැලුම් හෙළමින් සිටියේ ඇයගේ සිහින් සිරුරත් රුසපුවත් සැබවින්ම වශී වන සුළු එකක් නිසාවෙනුයි. මොහොතකට Nick ගේ හිත ගල් වන්නේ ඉටිරුවක් වැනි මේ තරුණ Mae දෙස හෙලූ බැල්මෙන්මය. Mae සේවා ස්ථානයට පැමිණෙන්නේ ඇයගේ නැති වූ යතුරක් සොයා ගැනීමටයි. ඒ වෙනුවෙන් ඉදිරිපත් වන Nick ඔහුගේ යන්ත්‍රය හරහා Mae ගේ මනස තුළ අමතකව ගිය යතුර සොයමින් තිරය මත රූප පෙළක් සම්ප්‍රේෂණය වන්නට සලස්වමින් ඒ දෙස බලමින් සෝදිසියෙන් සිටියේ යතුර සොයා ගනිමටයි. ඒ තුළ Mae ගේ එදා දිනයේ වැඩකටයතු පිළිබඳව සුක්ෂමව නරඹන ඔහු නිතැතින්ම ඈ කෙරේ ආදරයක් හිත තුලින් ගලා ආවේය. Mae රාජකාරිය කලේ සමාජශාලාවක ගායිකාවක් හා පැමිණෙන්නන් ට සතුට ලබා දීමටයි.මේ හැමදේම නරඹන Watts අවසානයේදී ඇයගේ යතුර සොයා දීමට උපකාරී වෙයි. නමුත් Mae සේවාව ලබා ගෙන පිටව ගියත් ඈ විසින් ඇයගේ වටිනා වූ කරාබු කුට්ටම Nick ගේ සේවා ස්ථානයේ අමතකව දමා ගොස් තිබුනේය.
පසුදා රාත්‍රියේ Nick එම කරාබු කුට්ටම Mae වෙතට ලබා දීමට ඇය සේවය කල සමාජශාලාවට යන්නේ නැවත ඇයව දකින කැමැත්තෙන්. ඔහු එහි ගිය විට තව තවත් පුදුමයට පත් වන්නේ ඔහු කැමතිම ගීයක් වන "Where or When" ගීතය Mae විසින් ගායනා කිරීමයි. Mae ගේ සියළුම වැඩ අහවර වී Nick වෙත පැමිණෙන ඈ වෙත කරාබු කුට්ටම දෙන අතරම ඔවුන් ආදරවන්තයින් බවට පත්වන්නේ නිතැතින්මය. ආදරය රාගය අතර හිරවන ඔවුන් ප්‍රේමවන්තයින් ලෙස නව ජිවිතයක් පටන් ගන්නේ ඔය අවස්ථාවේදීය.
නමුත් ටික කාලයක් මෙලෙස පෙම්වතුන් ලෙසින් සිටින අතරම දිනක් Mae අතුරුදහන් වන්නේ කිසිම දෙයක් Nick වෙත නොපවසායි. නමුත් කෙටි දිනකට වුවද ඈ සමඟ ගතකල ආදරණිය කාලය Nick හට කෙසේ නම් අමතක කරන්නද? ඒ හේතුව නිසාම Nick, Mae හට සිදුවුයේ කුමක්ද යන්න සොයන්නට පටන් ගනී.ඈ සේවය කල ස්ථානයෙන් ද ඈ බැහැරව ගොස් සිටි අතරම Nick හට ඈ සොයා ගැනීම ලෙහෙසි පහසු දෙයක් නොවන බව වැටහෙන්න පටන් ගන්නේ ඈ ගැන කිසිම හෝඩුවාවක් ඔහු නොදන්නා නිසායි.
ඔය අතරතුර කාලයේ දී Nick සහ Watts හට තවත් රාජකාරියක් ලැබෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමේ සිටි සිරකරුවෙකු ගේ මතකය පිරික්සමින් එහි ප්‍රධානියා කවුරුන්ද යන්න සොයා බැලීමටයි. ඒ සඳහා සහභාගී වනඔවුන් හට එම සිරකාරුවාගේ අතීත මතක හරහා ගමන් කරද්දී එම මතක අතර Mae ද සිටින අයුරු දැකගන්න ලැබෙන්නේ අහම්බෙන්. ඒ මොහොතේ දකින දෙයින් විමතියට පත් වන Nick තමාගේ හිතේ මැරෙණ තුරාවටම ආදරය කරන්න සැරසුණ Mae සොයා යන්නට තීරණය කරන්නේ මුරණ්ඩු පෙම්වතෙක් ලෙසයි. නමුත් එය ලෙහෙසි පහසු ගමනක් නොවෙයි. ඒත් සැබවින්ම Mae මෙලෙසින් Nick අතහැර යාම තුළ ඇත්තේ ද අභිරහසකි.
මේ අභිරහස හරහා තම ආදරණීය Mae සොයා යන ප්‍රේමණිය පෙම්වතෙකුගේ කතාව Reminiscence සිනමාපටය හරහා ඔබට දැකගන්න ලැබේවී. විනාඩි 116කට ආසන්න කාලයක් පුරාවට ඔබට වෙනස්ම වූ සිනමාත්මක අත්දැකීමක් වගේම කෘතුහලය නොඅඩුව ලැබෙන සිනමාපටයක් ලෙස Reminiscence හඳුන්වාදිය හැක. Reminiscence සිනමාපටය නරබා ඔබේ කැමැත්ත සහ ඔබේ අදහස් බෙදා ගන්න අමතක කරන්න එපා. සිනමාපටය නරඹන්න කැමැත්තෙන් සිටින අයෙකුට ඒ අදහස් බොහෝ සෙයින් වටිවී.
















අද Art Street හරහා බයිස්කෝප් හංදියෙන් ඔයාලා වෙනුවෙන්ම මේ දවස්වල ගෙදරටම වෙලා ඉන්න නිසාම ආසාවෙන් නරඹන්න පුළුවන් සිනමාපටයක තොරතුරු රැගෙන ආවා. සිනමාපටය නරඹලා ඔයාලට දැනුන දේ කමෙන්ට් එකකින්ම අපි එක්ක බෙදාගන්න. ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් අපි ගැන කියන්න.
Giza Bee

0 Comments