අඳුන් ගිර ටෙලි සිත්තමට සංගීතයෙන් ජීවය ලබා දෙන සතිෂ් සුරේන්ද්‍ර ඒකනායකන්

Art Street


සතිෂ් සුරේන්ද්‍ර සමඟ

Art Street - කලා වීදිය

අපි

Art Street




Question
ඔබ ගැන කෙටියෙන් හැඳින්වීමක් කලොත්?

Answer
මම සතිෂ් සුරේන්ද්‍ර ඒකනායක. වෘත්තියෙන් සංගීත ගුරුවරයෙක් වශයෙන් තඹුත්තේගම ජාතික පාසලේ සේවය කරනවා. මගේ උපන් ගම වෙන්නේ එප්පාවල. ඒ වගේම මම මගේ අධ්‍යාපනය හදාරන්නෙ එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලෙන්.




Question
සිනමාපටයක්, ටෙලිනාට්‍යක් තුළ පසුබිම් සංගීතය ලබා දීම විශාල භාරදූර කාර්යයක්. "ගිරිදේවි" කියන්නේ ඔබ සංගීතය වෙනුවෙන් දායක වූ බොහෝ ප්‍රෙක්ශකයන්ගේ කතා බහකට ලක් වූ ටෙලිනාට්‍යක්. ඒ හා සම්බන්ධ වීම සහ ඒ ගැන ඔබට කියන්න තියෙන්නේ මොකක්ද?

Answer
සංගීතය කියන්නෙ විශ්ව භාෂාවක්. ඒකට වචන, ඒ වචන අයිති භාෂාවට වඩා මට හිතෙන විදියට රිද්මය, තනුව, නාද රටා වලින් මිනිසුන්ගේ හදවත් වලට කතා කරන්න පුළුවන්. ටෙලි නාට්‍ය, චිත්‍රපට කියන්නේ ඊට හාත්පසින් වෙනස් කලාවක්. ඒ ඇතුලේ චරිත, රූප, චලන, පසුතල ඇතුළු තවත් අංග ගණනාවක සංකලනයක අවසාන ඵලය ඇසට විඳින්න ඉඩ සලස්සවනවා. එතකොට ඒ දෙක හරියටම එකට එකතු කරගන්න එක තමයි මම දකින විදියට ටෙලි නාට්‍ය හරි චිත්‍රපට හෝ වෙනත් නාට්‍ය වලට සංගීතය සැපයීම කියන්නේ. ඒක තුළින් නාට්‍ය රසය ඉස්මතු වෙලා වැඩි දියුණු වෙන එක මිස නාට්‍ය රසය හීන වීම සිදුනොවිය යුතුයි. ඉතින් මට හිතෙන දේ තමා රංගන කාර්යයකට සංගීතය සපයනවා කියන්නෙ ටිකක් වගකීම් සහගත දෙයක් කියලා. ඒකට නාට්‍ය කලාව පිළිබද දැනුම අවබෝධය තිබීම අවශ්‍යයි. ගිරිදේවි කියන්නේ අන්න ඒ විදියට මට ගලපගන්න පුළුවන් උන මගේ පළවෙනි ටෙලිනාට්‍ය. ඉතින් මට ඒ ගැන තියෙන්නේ අවංක සතුටක් සහ නිහතමානී ආඩම්බරයක්.




Question
මේ දිනවල ස්වාධීන රූපවාහිනී නාළිකාවේ විකාශය වන "අඳුන්ගිර" ටෙලිනාට්‍ය හා සම්බන්ධ වෙලා ඔබ කටයුතු කරනවා. එහි තේමා ගීතය වගේම පසුබිම් සංගීතය ප්‍රේක්ශකයන්ගේ හිත් වලට ඉක්මනින්ම ගමන් කලා. ඒ මැජික් එක ගැන කතා කලොත්?

Answer
ගිරිදේවි සංගීත නිර්මාණයෙන් පස්සේ තමා මම අඳුන්ගිර ටෙලිනාට්‍යට සංගීත නිර්මාණය කලේ. එතකොට මට ගිරිදේවි තුළින් ලබපු අත්දැකීම් ප්‍රතිචාර ලොකු උදව්වක් උනා. මම හිතන්නෙ නිර්මාණයක් කියන්නේම මැජික් එකක්. ඒක ඇතුලේ ජීවත් වෙනවනම්, ඒ වෙනුවෙන් වැඩ කරනවනම් හැම නිර්මාණයක්ම සාර්ථකයි. මගේ මැජික් එක විදියට මම දකින්නෙ නිර්මාණය තුළ ජීවත් වීම සහ ඒ වෙනුවෙන් වැඩ කිරීම කියන එකයි.




Question
ටෙලි නාට්‍ය වල එන බොහෝ තේමා ගීත ටෙලි නාට්‍යයේ ජනප්‍රියත්වයට බලපානවා. ඒ වගේම සමහර නාට්‍ය වල ගීත අදටත් ජනප්‍රියයි. ඔබ මෙය දකින්නේ කොයි අයුරෙන්ද?

Answer
ඔව්. ඒක ඇත්ත. මම හිතනවා ඒක ⁣සංගීතය හා නාට්‍ය එකට මුසුවීම පැත්තෙන් හොඳ ප්‍රවනතාවක් කියලා. ඒකට හොඳ හැදෑරීමක් අවශ්‍යයි. හොඳ රස වින්දනයක් අවශ්‍යයි. ඒ වගේම එතනදි අළුත් සොයා ගැනීම් අත්හදා බැලීම් වෙනත් ශෛලීන් වගේ දේවලුත් බලපානවා. අපිට අපි පුංචි කාලෙ බලපු සමහර ටෙලිනාට්‍ය වල ගීත අදටත් මතකයි. ඒකට මම අර කලින් කියපු නාට්‍ය සංගීතයේ ගූණාත්මක බව වගේම රසවින්දනයේ ගුණාත්මක බවකුත් තිබිය යුතුයි කියන එකයි මගේ අදහස.




Question
ඔබ ටෙලි නාට්‍යයක් වෙනුවෙන් සංගීතය සඳහා දායකත්වය ලබා දෙන විට ප්‍රධාන වශයෙන් සළකන කරුණු මොනවාද ?

Answer
මම හිතන්නේ සමස්ථයම. ඒකෙන් මම අදහස් කරේ හැම චරිතයක්ම. හැම දර්ශණ තලයක්ම. හැම වචනයක්ම. ඒ පිටපත ඇතුලෙ මට අතහරින්න කියලා කිසිම දෙයක් නෑ. හැබැයි පිටපතෙන් එහාට ගිහිල්ලා ඒ සඳහා අවශ්‍ය වටපිටාව සහ තොරතුරු විස්තර හොයා ගන්න එක මම අනිවාර්යෙන් ම කරන දෙයක්. මම කැමති මම කරන හැම නිර්මාණයකටම උපරිමය කියන තැන ඉඳන් දායකත්වය දෙමින් වැඩ කරන්න.ඒකෙන් මම ලබන්නෙ නිරාමිස තෘප්තියක්. සතුටටත් එහා ගිය අපූරු හැඟීමක්. මේ හැම දේකම අපි හැමෝම හැගීම් එක්ක ගනු දෙනු කරන්නෙ... ඉතින් මට හම්බ උණ හැම දේම තුල... හැම කෙනෙක් තුලම හැංගිලා තියෙන්නෙ හැගීම්... ඉතින් බොහෝ වෙලාවට මේ සංගීත තුල හැංගිලා තියෙන්නෙ අපි හැමෝගෙම එලියට නොඑන හැගීම්.




Question
ඔබ අනුරාධපුර තඹුත්තේගම ජාතික විදුහලේ සංගීතය ඉගැනිවීම් කරන ගුරුවරයෙක්. මේ මාස කිහිපය ඇතුළුව අවුරුද්දකටත් වැඩි කාලයක් තිස්සේ පාසල් වල ඉගෙනුම ලබන දරුවන්ට "කොවිඩ් 19" හේතුවෙන් හරි ආකාරව ඉගැනීම් කරන්න නොහැකි වෙලා තියනවා. ඔබ සංගීතය උගන්වන ආචාර්‍යවරයෙක් ලෙස ඔබෙන් ඉගෙනුම ලබන දරුවන්ට මේ කාලයේ අධ්‍යාපනය ලබා දෙන්නේ කොයි විදියටද?

Answer
මම තඹුත්තේගම ජාතික පාසලේ වර්තමානයේ සේවය කරන්නේ. කොවිඩ් වසංගත තත්ත්වය එක්ක මේක ලංකාව විතරක් නෙවෙයි ලෝකයම අභියෝග රැසකට මුහුණ දෙමින් ගමනක් යන කාලයක්. අනිත් ගුරුවරුන්ට වගේම මටත් මේ වසංගත තත්ත්වට මුහුණ දෙන්න වෙලා තියෙන්නෙ තාක්ෂණය කියන විකල්පය එක්ක.




Question
Zoom තාක්ශනය ඔස්සේ ඉගැන්වීම් කිරීම ගුරුවරයෙක් ලෙස ඔබ දකින්නේ මෙය සාර්ථක දෙයක් විදියටද ?

Answer
ඇත්තටම ලංකාවේ ඉගනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ගැන කොවිඩ් එන්න පෙර සහ පසු කියන අවස්ථා දෙකේදිම මට නම් තියෙන්නෙ අපැහැදීමක්. මේ අධ්‍යාපන රටාව වෙනස් විය යුතු එකක්. ඒක අපේ වගේ රටක තාක්ෂණය එක්ක ගලපනවා කියන්නේම තවත් අර්බුදයක ආරම්භයක්. සෑම දරුවකුම zoom හරහා සම්බන්ධ කරගන්නම අපිට තව කොච්ර කාලයක් ගත වෙයිද. ඇත්තටම කිව්වොත් අධ්‍යාපන ප්‍රස්තාරය ඇතුලෙ අපේ රටේ තියෙන්නේ ඉහළ යන ඊතලයක් නෙවෙයි. පහළ එන රේඛාවක්. දරුවෙක් සම්පූර්ණ මිනිහෙක් කරලා පාසලෙන් එලියට යවන එක ලේසි පහසු කාර්යයක් නෙවෙයි. ඒකට දැනුම ආකල්ප වගේම කුසලතාවයත් වැදගත්. අවංකවම කියනවනම් zoom කියන වචනය ලඟ ලංකාවේ අධ්‍යාපනය හරි අසාර්ථකයි.




Question
අලුතෙන් සම්බන්ධ වෙලා තියන කලා කටයුතු ගැනත් කැමති දැනගන්න.

Answer
මේ දවස් වල අළුත් ටෙලිනාට්‍ය කිහිපයක වැඩ කරගෙන යනවා. බොහෝ විට තව මාස දෙකකින් විතර මම සංගීත නිර්මාණයෙන් දායක වුන තුන්වෙනි ටෙලිනාට්‍යත් ⁣විකාශය වේවි.




Question
කලා ක්ශේත්‍රය තුළ අනාගත බලාපොරොත්තු මොනවාද?

Answer
මගේ එකම බලාපොරොත්තුව අළුත් නිර්මාණ සහ අළුත් ශිල්පීන් මේ ක්ෂේත්‍රයට හඳුන්වා දෙන එක. අපි නොදන්න අපිට හිතාගන්න බැරි දක්ශයන් මේ ලංකාවේ ඕන තරම් ඉන්නවා. මට ඕන ඒ අයට දිරියක් වෙන්න. කෙනෙක්ගෙ කකුලෙන් අදින්න පහසුයි. හැබැයි අත දෙන්න අපහසුයි. ඒත් ඒක කරලා ඉවර උනාට පස්සේ කකුලෙන් ඇදපු කෙනාට විඳවගන්න අපහසුයි, අත දීපු කෙනාට විඳින්න හරි පහසුයි.




Question
ඔබ මේ පැමිණි ගමන් මඟේ ඔබට අමතක කරන්නට බැරි සහ ස්තුතිවන්ත විය යුතු පිරිසක් ඇති. ඒ අයත් මතක් කලොත්..

Answer
ඉස්සරලම මං මතක් කරන්න ඕනේ... හේසාර සෙනාල් මල්ලිව. ඒ වගේම දුමිදූ සම්පත්ව සහ ගිරිදේවි , අදුන්ගිර, රැහැයියෙක්, යාදින්නි, මේ ටෙලි නාට්‍ය සඳහා මාව සම්බන්ධ කරගත්ත ඉන්දික ධර්මතිලක අධ්‍යක්ශකතුමාට මගේ ගෞරවනීය සෙනෙහස පුදකරනවා. ඒ වගේම මගේ සංගීත අධ්‍යාපනයේ මුල සිට මා හට සංගීත අධ්‍යාපනය ලබාදුන් සියලුම ඟුරු මවු පියන් මං සිහිකරන්නේ ඉතාමත්ම ගෞරවයෙන්. ඒ වගේම මගේ ජීව්තේ මාව ගොඩ නගපු මගේ ආදරණීය පුංචි අම්මා.. බාප්පා ගෞරවයෙන් සිහිකරන්න කැමතියි...




Question
අවසාන වශයෙන් ඔබේ ආදරණීයන්ට කියන්න තියෙන්නේ මොනවාද?

Answer
පළවෙනියටම මම මේ මොහොත දක්වා ඔසවා තබපු හැම කෙනෙක්ටම මම මගේ ස්තූතිය සහ ගෞරවය පුද කරන්න කැමතියි. මම බලාපොරොත්තු වෙනවා මට පුළුවන් උපරිම විදියට නිර්මාණ සඳහා දායක වෙන්න. ඒ වගේම මට ඔබේ ආදරයට පෙරළා ලබා දෙන්න තියන ස්තූතිය සහ ගෞරවයත් ඒකයි.


බොහෝ වැඩ රාජකාරි මධ්‍යයේ අපිත් සමඟ මෙලෙස කතා බහක යෙදෙන්නට එකතු වූ ඔබට ස්තුතිය පල කරන අතර ඔබේ සියලු ප්‍රාර්ථනා සිහින සියල්ලක්ම සැබෑ වේවා කියා Art Street - කලා වීදියේ අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

_Giza Bee_












Post a Comment

0 Comments