රාම් දුලීප්ර සමඟ
Art Street - කලා වීදිය
අපි
Question
ආයුබෝවන් රාම්. ඔබ ගැන කෙටියෙන් හැඳින්වීමක් කළොත්? ඇත්තටම ඔබ කවුද කියල.
Answer
ආයුබෝවන්. මම රන්දොඹගේ දුලීප් චාමර මදුශංක. නමුත් මාව ක්ෂේත්රයේ දී රාම් දුලීප් විදියට තමයි ප්‍රසිද්ධ. මම ඇතුළුව මගේ පවුලේ අම්මා තාත්තා සහ මට වැඩිමල් සහෝදරියන් දෙදෙනෙක් ඉන්නවා. මම ජිවත් වෙන්නේ කඩවත සහ මගේ පාසල සපුගස්කන්ද මධ්‍යමහා විද්‍යාලය. මම LGBTIQ ප්‍රජාව ගැන කතා කරනව වගේම මමත් එයින් කොටසක් කිව්වොත් නිවැරදියි. මාව මගේ පවුලේ පිරිස තේරුම් අරගෙන තියෙනවා වගේම මගේ හීන සැබෑ කරගැනීම වෙනුවෙන් එයාලගේ ද ශක්තිය ඇතුව ගමනක් යමින් සිටින පොළොවේ පය ගහලා ජිවත් වෙන තරුණයෙක්. මේ වන විට මම පෞද්ගලික අංශයේ සේවය කරන ගමන්ම නර්තනය ශිල්පියෙක් විදියටත්, මෝස්තර නිරූපණ ශිල්පියෙක් ලෙසත් රංගනයත් කියන දේවල් එක්ක කටයුතු කරමින් ඉන්නවා.
Question
ඔබ 2018 වසරේ Mr Sri Lanka for Mr Earth International තරඟාවලියේ දී Mister Earth International හා එකතුවෙනවා.ඒ අතීතය ගැන මතක් කළොත්?
Answer
මම මුලින්ම නිරූපණ ක්ෂේත්රයට පය තියන්නේ 2012 වසරේදී. පසුව මම 2017 වසරේ හිරු නාලිකාව විසින් පැවැත්වූ හිරු අවුරුදු කුමාරයා තරඟයට එකතු වී එයින් හිරු අවුරුදු කුමාරයා විදියට අභිෂේක ලබනවා. එයින් පසු ඔවුන්ගේ ඉල්ලීමක් පරිදිම තමයි මම Mr Sri Lanka for Mr Earth International තරඟය සඳහා එකතු වීමට ආරාධනා ලැබෙන්නේ.
Question
ඔබ නිරූපණ ශිල්පියෙක් වගේම දක්ෂ නර්තන ශිල්පියෙක්. ඒ වගේම Music Video ගණනාවක් සඳහා රංගනයෙන් ඔබ දායක වෙලා තියෙනවා. ඒ අතරින් "රතු තොල්" බොහොම ආන්දෝලනයකට ලක් වූ Music video වක්. එවැනි ආන්දෝලනයට ලක් විය හැකි නිර්මාණයකට ඔබට සම්බන්ධ වෙන්න සිතුවේ ඇයි?
Answer
චාමු ශ්‍රී එක්ක මට වැඩ කරන්න අවස්ථාව ලැබෙන්නෙත් හිරු අවුරුදු කුමාරයා තරඟයෙන් පසුවයි. එත් එක Music Video එකක් ඔහුත් සමඟ කළායින් පසුව තමයි මට චාමු ශ්‍රී කියන්නේ "රතු තොල්" Music Videoව ගැන. නමුත් ඒ වන විටත් ඔහු මගේ ඇත්තම තත්වය දැනගෙන නෙමෙයි මට ආරාධනා කරන්නේ. චමු ශ්‍රී ට ඕන වුණේ අලුත් මුහුණක් එක්ක සමාජයේ කතා නොකරන සංකල්පයක් මිනිස්සු අතරට රැගෙන යන්න. ඉතින් මටත් කාලයක තිස්සේ හිතේ තිබුන දෙයක් තමයි LGBTIQ සමාජය වෙනුවෙන් දෙයක් කරන්න කියන එක. මේ දේවල් එක්ක තමයි මම "රතු තොල්" හා එකතු වෙන්නේ. ඒ වගේම තමයි "රතු තොල්" කියන Music Videoව ලංකාව තුළ කතා නොකරපු සමරිසි ආදර කතාවක් ඒ හරහා නිර්මාණය වුනා වගේම එය ධනාත්මක ලෙසින් සාර්ථක නිර්මාණයක් බවට පත් වුනා. ඉතින් "රතු තොල්" Music Videoව නිසා තමයි සමාජය මම කවුද කොහොම කෙනෙක්ද කියන එක තේරුම් ගත්තා වගේම, මටත් විවෘතව LGBTIQ ගැන කතා කරන්න මේ හරහා අවස්ථාව උදා උනා කිව්වොත් මම නිවැරදියි.
Question
සමාජ මාධ්‍ය තුල රාම් කියන පුද්ගලය ටිකක් වෙනස් විදියට කතාකරන චරිතයක් වෙලා. ඒ වගේම ඔබ LGBTIQ ප්‍රජාව පිළිබදව නිතර කතා කිරීම හේතු වෙලා තියෙනව. LGBTIQ කියලා අදහස් කරන්නේ මොකක්ද?
Answer
LGBTIQ සමාජය කිව්වම මේ අයත් සමාජයේ ජිවත්වන සාමාන්‍ය පුරවැසියන් කිව්වොත් නිවැරදි. LGBTIQ කියන්නේ Lesbian, gay, bisexual, transgender, queer සහ intersex කියන එක. මේ එකින් එක ගැන හඳුන්වලා දෙන්න ඕන වෙයි කියලා මම හිතන්නේ නැහැ. මොකද සමාජීය වශයෙන් බොහොම දෙනෙක් මේ ගැන මේ වන විටත් දැනුවත්. නමුත් මම සරළව මෙහෙම කියන්නම්.
Lesbian කියන්නේ සමරිදි කාන්තාවක් ලෙසින් ඉපිද තවත් කාන්තාවකට ආකර්ෂණය වීම.
Gay කියන්නේ සමරිසි පිරිමියෙක් ලෙසින් ඉපිද තවත් පිරිමියෙක්ට ආකර්ෂණය වීම.
Bisexual නැත්නම් ද්වී ලිංගික කියන්නේ කාන්තාවන් සහ පිරිමි කියන දෙපාර්ශවයටම වෙනුවෙන්ම ආකර්ෂණය ඇති වීම.
Transgender එහෙමත් නැතිනම් සංක්රාන්තිකයන් කියන්නේ පිරිමියෙක් ලෙසින් ඉපිද ගැහැණියක් ලෙසින් සිතීම සහ එවැනි දේවල් සඳහා ඇති කැමැත්ත ඇතිවීම. ඒ වගේම තමයි කාන්තාවක් ලෙසින් ඉපිද පිරිමියෙක් ලෙසින් සිතීම සහ ඒ තුළ ජිවත් වීම.
Queer කියලා හඳුන්වන්නේ තමන් මොන ඛණ්ඩයට අයත් ද කියලා සිතමින් සිටින පිරිසට.
Intersex කියලා කියන්නේ සමහර පිරිස් ඉන්නවා ලිංගික අවයව දෙකම ඇතුව ඉපදෙන අය. මෙන්න මේ කියන අවයව සමඟ ඉපදුන අයෙක්ට ජිවත් විය යුත්තේ කාන්තාවක් ලෙසද පිරිමියෙක් ලෙසද කියන එක දෙමවුපියන් විසින් තීරණය කරන්න බැහැ, මෙවැනි දරුවෙක් ඉපදුන ගමන් බොහොම දෙමවුපියන් සිදුකරන්නේ තමන් කැමති ලෙසින් අනවශ්‍ය ලිංගය ඉවත් කිරීම. ඇත්තෙන්ම එය වැරදි දෙයක් සහ එවැනි දරුවෙක් වැඩෙන විටයි ඔහු හෝ ඇය කුමන ලිංගිකයන් වෙනුවෙන්ද ආකර්ෂණය වන්නේ කියන එක දැනගන්න ලැබෙන්නේ.
තවත් මම මේ ගැන කතා කලොත් උපතින්ම විශේෂ අවශ්‍යතා තිබෙන පිරිස්, ආබාධිත පිරිස් ඉන්නවා. ඒ අයටත් සමාජයේ සම තැනක් ලැබිය යුතුයි සහ ලැබෙනවා වගේම LGBTIQ කියන සමාජයටත් එළෙසම සම තැනක් ලැබිය යුතුයි කියන සංකල්පය ගොඩනැඟෙනවා. මොකද උපතින්ම ලැබෙන ජාන සමඟ LGBTIQ පිරිස තම විරුද්ධ ලිංගිකයාට නොව තමාගේ ම වර්ගයේ ඒ කියන්නේ පිරිමි + පිරිමි, ගැහැණු + ගැහැණු ආදරය කරන්න ආකර්ෂණය වීමට පටන් ගන්නවා. ඒක තමයි සරලවම උත්තරය. එය බොහෝ රටවල පිළිගෙන තියෙන දෙයක් සහ ලංකාව වගේ රටක් තුළ වුණත් මෙවැනි පුද්ගලයන් ජීවත් වෙනවා.
Question
ලංකාව වගේ සංස්කෘතියට බර සමාජයක් සහිත ආසියානු රටක මේ පිළිබදව කතා කිරීම වැදගත් වන්නේ ඇයි?
Answer
ඔව් ඇත්තට ලංකාව වගේ අපේ රටක මේ පිළිබදව අනිවාරයෙන් අපි කතා කල යුතුයි. ඒකට හේතුව තමා අපේ සමාජය තුලත් LGBTIQ ප්‍රජාවට අයත් පිරිස් ජීවත් වෙනවා. ඔවුන් පිළිබදව තවම අපේ සමාජය නිවරදි ලෙසින් දැනුවත් වෙලා නැහ. ඒ නිසා සමාජය තුළ නිවරදි කතිකාවතක් ඇති කරන්නම් අපි අනිවාර්යෙන්ම මේ පිළිබදව කතා කල යුතුයි. වර්තමානය වන විට අපිට දකින්න පුලුවන් ගොඩක් රජයේ හෝ පෞද්ගලික අංශයේ උසස් අධ්‍යාපන ආයතන වල මේ පිලිබදව අවධානය යොමු වෙලා තියෙනනව. මම නම් හිතන්නේ එය ධනාත්මක දෙයක් කියල සමාජය පැත්තෙන් බලන විට. ඒ නිසා ලංකාව වගේ සංස්කෘතිය ගැන කතා කරන රටක් තුල වුවද LGBTIQ ප්‍රජාවට විරුද්ධව නැඟී නොසිට ඔවුන්ද ජිවත් විය යුතු පුරවැසියන් ලෙසින් ඔවුන්ටද ආදරය, සම තැන ලබා දෙමින් කටයුතු කිරීමට අවශ්‍ය දැවුවත් කිරීම කරන්න මටත් දායක වෙන්න ලැබීම ගැන තියෙන්නේ ලොකු සතුටක්.
Question
ඔබ ‘Me for My Self’ හා සම්බන්ධ වී කටයුතු කරන අයෙක් සහ උපදේශකවරයෙක්. ඒ ගැනත් අපි කතා කරමු?
Answer
මම සැමවිටම LGBTIQ ප්‍රජාව ගැන කතා කරන්න ගත්ත උත්සාහයේ තවත් ප්‍රතිඵලයක් විදියට තමයි 2021 පොදුරාජ්‍ය මණ්ඩලයීය යොවුන් සභා කමිටුවේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා මාව තේරී පත්වීම. ඉන් අනතුරුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ප්රජාවන්ගේ මානසික සෞඛ්‍යය හා යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා එහි නායකත්වය දැරීමට මට පැවරුණා. ඒ කියන්නේ ‘Me for My Self’ එහෙමත් නැතිනම් “මම මා වෙනුවෙන්ම” කියන සමාජ මෙහෙවර උදෙසා. තායිලන්තයේ තමයි මෙහි ආරම්භක ස්ථානය වන්නේ වගේම මම ආසියානු රටවල් කිහිපයක නායකත්වය දරමින් කටයුතු කරනවා.මේ හරහා සිදුවෙන්නේ තරුණ ප්‍රජාවගේ මානසිකත්ව සෞඛ්‍ය හා යහපැවැත්ම ගැන සොයා බලමින් කටයුතු කරන එක.
Question
ඔබ මේ වන විට ලංකාව නියෝජනය කරමින් Mr. Gay World තරඟාවලිය හා එකතු වී තිබෙනවා. මෙවැනි තරඟයක් සඳහා ලංකාව නියෝජනය වන ප්‍රථම අවස්ථාව මෙයයි. මෙය අපේ සමාජයට අලුත් දෙයක්. ඒ ගැනත් අපි මේ මොහොතේ සඳහන් කරමු.
Answer
Mr. Gay World කියන තරඟය මම ගොඩක් කල් ඉඳලා බලාගෙන හිටපු එකක්. 2019 වසරේදී තමයි මට මේ සඳහා එකතු වෙන්න ඕනේ කියන සිතුවිල්ල හිතට එන්නේ. නමුත් මට ඒ මොහොතේ ඒ සඳහා ඉදිරිපත් වෙන්න අවකාශයක් ලැබුනේ නැහැ. ඒ නිසාම මම මහන්සි වෙමින් ලංකාව තුළ මගේ නම වගේම මට තැනක් හදාගෙන ඉදිරිපත් වෙන්න කාලයක් ඒ වෙනුවෙන් ගත ගතකරන්න සිදුවුනේ. ඉතින් 2021 වසර වන විට මම හිතපු විදියටම මට මේ සඳහා එකතුවෙන්න අවස්ථාව ලැබුනා. නමුත් මේ සඳහා මට නියෝජනය කරන්න ලැබෙන්නේ dedicator කෙනෙක් විදියට. ඒකට හේතුව මේ වන විටත් මට ලංකාව තුල Producer කෙනෙක් ගේ නියෝජනයක් නොමැති වීමයි. ඒ ගැන පොඩි දුකක් තියනවා.
ඒ වගේම මේවගේ දෙකට මගේ හිත යොමුවෙන ප්‍රධානම කරුණ තමයි ලාංකීය LGBTIQ සමාජය ගැන තව තවත් කතා කරන්න වගේම ඔවුන් වෙනුවෙන් මට දෙයක් කරන්න ලැබේවී කියන පරමාර්ථය. ඒ වගේම පොඩි ආඩම්බරයක් දැනෙනවා මේ වගේ දෙයක් වෙනුවෙන් ලාංකිකයෙක් විදියට ප්‍රථම වරට ලංකාව නියෝජනය කරමින් Mr. Gay World හා සම්බන්ධවෙන්න ලැබුණ අවස්ථාව ගැන. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා ලබන වසරේ සිට Mr. Gay World තරඟාවලියේ ලාංකීය Producer තනතුර දරමින් සෑම වසරකම ලංකාව නියෝජනය කරමින් කෙනෙක් මේ වෙනුවෙන් ඉදිරිපත් කරන්න. ඒ වගේම මේ දිනවල Mr.Gay World 2021 තරඟාවලියේ අවසන් අදියරට කිට්ටු වෙමිනුයි තියෙන්නේ.
Question
මේ වෙලාවේ Mr.Gay World තරගය සදහා ඔබට අපේ රටෙන් මොනවගේ සහයෝගයක්ද අවශය්‍ය. ඒ ගැනත් ටිකක් සදහන් කලානම් හොදයි නේද?
Answer
මට මේ වෙනුවෙන් උදව් කල සහ නොකළ දෙපිරිසම ඉන්නවා. නමුත් මම ඒ දෙපිරිසටම මේ මොහොතේ ස්තුතිය පුදකරනන් කැමතියි. අපි සමාජීය වශයෙන් යම් කිසි ප්‍රජාවක් නියෝජනය කරන්න යාමේදී අපිට ශක්තියක් දිරි ගැන්වීමක් වැනි දෙයක් සමාජය තුළින් සිදුවිය යුතුයි. නමුත් මම සහ මට හැඟෙන විදියට දුකෙන් හෝ කියන්න සිද්ධ වෙනවා ලංකාව වගේ රටක ඒ දේ ඇත්තෙන්ම සිද්ධ වෙන්නේ නැහැ. මට මේකට හරියට උත්තරයක් කියන්න තේරෙන්නේ නෑ. එක්කෝ ඒ අයගේ තියන අකමැත්තද? නැතිනම් තියෙන ඉරිසියාවද කුහකත්වයද කියන එක. මම හිතන්නේ නැහැ ප්‍රජාවක් විදියට කටයුතු කරනකොට ඉරිසියාව කුහකත්වය හිතේ තියාගෙන සමාජයක් වශයෙන් ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මම හිතන්නේ අපේ සමාජයේ අන්තර් සම්බන්ධතාවය ඉස්සෙල්ලා හදා නොගත්තොත් රටක ප්‍රජාවක් විදියට අපිට ඉස්සරහට යන්න බැරි වේවි.
සහයෝගය ගැන කතා කලොත් මේ වන විටත් තරඟයේ අවසාන අදියර කිහිපයේ තමයි මම ඉන්නේ. ගොඩක් දෙනෙක් මට සහයෝගය දක්වනවා වගේම වචනෙකින් හරි ශක්තියක් වෙන පිරිසක් මම වටේ ඉන්නවා. ඒ අය ආදරෙන් මතක් කරන්න ඕනේ. දැන්ම මට මෙහි ජයග්‍රහණය ගැන කියන්න දන්නේ නැහැ. එත් ඉල්ලන එකම ඉල්ලීම තමයි ලංකාව වගේ රටක දැනට නියෝජනය කරන Mr.World, Ms.World. Mrs.World තරඟාවලි වලට අමතරව 2022 සිට මා ආරම්භ කරන්න යන්නා වූ Mr.Gay World නියෝජනය වෙනුවෙන් ඔබේ උදව් සහ ශක්තිය හැමවිටම ආදරයෙන් ලබා දෙන්න කියලයි.
Question
ඔබ යන මේ ගමනට අපේ රටේ ඔබේ ප්‍රජාවෙන් සහ අනිත් අයගෙන් ලැබෙන සහයෝගය කොයි වගේද?
Answer
සහයෝගය සාපේකෙෂව මට ලැබෙනවා.මගේ ප්‍රජාවෙන් වගේම සමාජීය වශයෙන්. එය 50,50 වශයෙන්. නැවතත් මට මේ වෙනුවෙන් ශක්තියක් වුන සහ නොවුන හැමෝටම ස්තුතී කියන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන් අදික වික්‍රමසිංහ මතක් කරන්නම ඕනේ වගේම තව බොහොමයක් ඉන්නවා. නම් කියන්න අමාරුයි. එත් ඒ අයට මගේ හදවතින්ම ස්තුතිය මේ වෙලේ පළ කරනවා.
Question
ඔබගේ පෞද්ගලික ජීවිතේ පැත්තට අපි ටිකක් හැරුනොත්, ඔබේ අනාගත බලාපොරොත්තු මොනවද මේ වෙලාවේ තියෙන්නේ.
Answer
මගේ ලොකුම බලාපොරොත්තුව තමයි ලංකාවේ LGBT ප්‍රජාවට නිදහසේ ජිවත් වීමට පුළුවන් පරිසරයක් ලංකාව තුල ගොඩනැඟීම. ඒ වගේම කලාවට සම්බන්ධ වෙලා දවසක ලංකාවේ හොඳ නළුවෙක් වෙන්න ආසාවක් තියෙනවා. එත් සමහර වෙලාවට මට ලැබෙන අවස්ථා බොහෝ වෙලාවට නැතිවෙලා ගිහින් තියෙනවා LGBT ගැන කතා කිරීම සහ මගේ පුද්ගලික ජිවිතයේ මම සමලිංගිකයෙක් (Gay) ලෙස ජිවත් වීම. ඉතින් මම හිතන්නේ නැහැ කලාව කියන දේට ලිංගිකත්වය කියන දේ බලපානවා කියලා. දක්ෂතාවය මතයි සියල්ල සිදුවෙන්නේ. බලමු අනාගතේ දවසක අවස්ථාවක් ලැබුනොත් මගේ තියන දක්ෂතා එක්ක නළුවෙක් විදියට කටයුතු කරන්න කැමැත්තෙන් ඉන්නවා.
Question
අවසාන වශයෙන් මම කැමතියි ඔබෙන් දැන ගන්න ඔබට අපේ සමාජයට කියන්න තියෙන්නේ මොනවගේ පණිවිඩයක්ද කියල.
Answer
මිනිස්සු දහදෙනෙක් ගත්තොත් ඒ දහ දෙනාම එක වගේ නැහැ. ඉතින් හැමෝටම එකම විදියට සමාජයක ජිවත් වන මිනිස්සු ලෙස එකම විදියට සලකන්න කියන එක මතක් කල යුතු වෙනවා. තව දෙයක් කියන්නම ඕනේ. Group එකක් හෝ කල්ලියක් ලෙස ඉන්නකොට කොයිම විදියකට වත් LGBT ප්‍රජාව විහිලුවකට හෑල්ලුවකට අපහාසයකට පත් කරන්න එපා. ගොඩක් අය මම දැකලා තියනවා එවැනි අයට කතා කරන විදිය. සමහර විට ඔයා නොදැනුවත් උනත් ඔයාගේ එහා පැත්තේ ඉන්න ඉයාගේ හොඳම යාලුවා LGBT සමාජයේ කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ වගේම හිතන්න ඔයාගේ පවුලේ අයෙක් මේ වගේ උනොත්. මේ වගේ ඉපදුනොත්. ඒ වෙලාවට ඔවුන්ගේ මානසිකත්වය ගැනත්. මොකද අපි ඉපදෙන විදිය අපි දන්නේ නැහැ. ඉපදෙනකොට තමාගේ දරුවා ලෝකෙම රජ කරාවිද? හොරෙක් වේවිද? නළුවෙක් වෙයිද? නිලියක් වෙයිද? දොස්තරවරයෙක් වෙයිද? මේ කිසිම දෙයක් කාටවත් කියන්න බැහැ .ඒ වගේම තමයි ඉපදුන ගමන් මේ ළමයා LGBT ප්‍රජාවේ කෙනෙක් වේවිද යන්න කාටවත් සිතන්න ලැබෙන්නේ නැහැ. අපි කව්රුත් මිනිස්සු. ලේ නහර ඇට මස් වලින් හැදුන වගේම රිදෙන සිතක් තියෙන තාවකාලික ජිවිතයක් රැගෙන පැමිණි පිරිසක්. ඉතින් මෙවැනි දේවල් හේතුවෙන්ම සමහර විට ඔයාට ආදරය කරන අයෙක් ඔයාට නැති වෙන්න තියන ඉඩකඩ බොහෝයි. හැමෝටම සම සේ ජිවත් වෙන්න දෙන්න. ආදරය කරන්න. කිසිම විටෙක කිසිම කෙනෙක්ව අපහාසයකට අපහසුතාවයකට පත් නොකර ටික කාලෙකට ලැබුන ජිවිතේ විඳින්න. හැමෝටම උදව් කරන්න. වචනෙකින් හරි ශක්තියක් වෙන්න
බොහොම ස්තූතී රාම් ඔබේ වටිනා කාලය අපි වෙනුවෙන් ලබා දීම ගැනත් ඔබේ මතු බලාපොරොත්තු වගේම Mr.Gay World තරඟාවලිය හරහා යන ගමන සාර්ථක එකක්ම වේවා කියා Art Street - කලා වීදීයේ අපි සුභ ප්‍රාර්ථනා ගෙනෙන්නෙමූ.
_Giza Bee_
0 Comments