යෝහානි ගේ ගී හඬින් සැරසුණු SHIDDAT සිනමාපටය

ART STREET YOHANI


_Giza Bee_


වසරේ ප්‍රේමාන්විත බොලිවුඩ් සිනමා සිත්තම මෙයම විය...


SHIDDAT අපට බොහෝ සෙයින් කතා කරන්නට හැකි ප්‍රධානම දේ මැණිකේ මගේ හිතේ ගීය සමඟ මහත් ජනප්‍රියත්වයට පත්වූ මේ වනවිටත් අපේ ලංකාවට කීර්තියක් ගෙන දෙමින් සිටින වාසනාවන්ත පුංචි ගායිකාව යොහානි විසින් මෙම සිනමාපටයේ එක ගීතයක ගායිකාවක් විමයි. මේ මොහොතේ ඇයට "Art Street - කලා වීදියේ" අප උණුසුම් සුභ පැතුම් පළකරන්නෙමු...

කාලයෙන් කාලයට විවිධ වූ සිනමාපට බොලිවුඩ් පුරයෙන් බිහි වෙනවිට වෙනස්ම අයුරකින් ප්‍රේමාන්විත සිනමාපටයක් ඔක්තෝම්බර් පළමුවන දින Disney+Hotstar හරහා නිකුත්කරන ලදී. SHIDDAT මෙම වසරේ පැමිණි හොඳම ප්‍රේමාන්විත සිනමාපටයක් ලෙසට හඳුන්වාදිය හැක. සිනමාපටයේ රංගනයෙන් Radhika Madan, Sunny Kaushal, Mohith Raina, Diana Penty වැනි ප්‍රසිද්ධ ජනප්‍රිය තරු කිහිපයක්ම එකතු වී තිබෙයි. ඒ අතර Sunny Kausha ගේ අපුරුතම රංගනයක් ප්‍රේක්ෂකයන්ට දැකගන්න ලැබෙන අතරම නුදුරේදී ඔහුට සිනමා ක්ෂේත්‍රය තුළ හොඳ ගමනකට දොරටු විවර වුවා සේ සිතෙයි.

Yohani movie

කවියෝ ආදරය ගැන විවිධ අයුරෙන් අරුත් ගන්වමින් කවි ලියු අතරම ගායකයෝ ආදරය ගැන ප්‍රේමාන්විතව ගීත ගායනා කලෝය. චිත්‍ර ශිල්පින් ඔවුන්ගේ පින්සල් තුඩු වලින් ආදරණිය සිතුවම් ඇඳි අතර ඒ දකින්නෝ ආදරය ඒ හරහා විවිධ අයුරෙන් විඳ ගත්තෝය. ආදරය මෙයයි මෙලෙසයි කියා අපට නිර්වචනයක් දිය නොහැක. පුද්ගලයාගෙන් පුද්ගලයාට එය දැනෙන හැඟෙන විදිය වෙනස්ය. හරි ආදරයක් ගලපන්නේ කීයෙන් කීදෙනාද? අප දන්නා අසා තිබෙන අමරණිය ආදරකතා වල අවසානයම දුකක්. අපි ජිවත් වන්න සැරසෙන සහකරු හෝ සහකාරිය සමඟ ආදරයෙන් එකතු වුවත් ගැළපීම් නොගැළපීම් හමුවේ එන බාධක හමුවේ ජිවත් වීමද ඒකපාර්ශවිය ආදර කතා ද අප අසා දැක ඇත්තෙමු. සිනමාව හරහා විවිධ වූ ප්‍රේමාන්විත කතා බිහි වෙද්දී Kunal Deshmukh මෙවර ඔහුගේ සිනමාපටය හරහා ආදරය ගැන වෙනස්ම විදියකට කතාන්දරයක් දිගහැර තිබෙන්නේ මොහොතකටවත් SHIDDAT සිනමාපටයෙන් ප්‍රේක්ෂකයාට ඇසිපිය වත් ගසන්නට අමතක කරමින් කිවහොත් නිවරදියි. එකම සිනමාපටයක් තුළ ප්‍රේමාන්විත බැඳීම් දෙකක් වෙන වෙනම නමුදු එකිනෙකට යා කරමින් වසරේ ප්‍රේමාන්විතම සිනමාපටය අධ්‍යක්ෂණය කරන්න Kunal Deshmukh ට හැකි වෙනවා.

Shiddat සිනමාපටයේ අපුරූ ගීත කිහිපයකින්ම අලංකෘතව ඇති අතර ඒ ගීතයන් ගේ තේරුම ඉතාමත් හිතට දැනෙන එකකි.Sachin-Jigar ගේ සංගීතයෙන් පෝෂණය වූ මෙම සිනමාපටයේ ගායනයෙන් Sachin-Jigar,Manan Bhardwaj,Gourov Dasgupta එකතු වී ඇත. එමෙන්ම සිනමාපටයේ අපුරු ප්‍රේමාන්විත කතාව රචනය සඳහා Dheeraj Rattan, Pooja Surti, Shridhar Raghavan විසින් දායකත්වය ලබා දී තිබෙයි.



Shiddat සිනමාපටයේ කතා සාරාංශය

Jaggi යනු කඩවසම් හොකි කණ්ඩායමක සිටින දඟකාර තරුණයෙකි. දිනක් ඔහු තම මිතුරන් සමඟ පිහිනුම් අංගනය වෙතට ගොස් තරුණියන් පිහිනණු බලමින් විනොදවෙමින් සිටින අතරේදී Jaggi ගේ නෙතට හමුවන්නේ Kartika නම් යුවතියයි. ඈ බෝනික්කියක් මෙන් ලස්සනය. ඒ වගේම කට කාරය. දඟකාරය. නමුත් Jaggi විසින් ඇයගේ ආකර්ෂණය ඔහු කෙරේ යොමු කරගැනීමට උත්සහ දැරුවද එය පලයක් නොවිය.නමුත් ඔහු උස්ත්සාහය අත් හරින්නේද නැත. Kartika පසුපස යන ඇඹලයෙකු මෙන් ගමන් ගද්දි කාර්තිකාගෙන් නොනවතින බැනුම් අහගන්නේය.


Kartika පිහිණුම් තරඟයක් උදෙසා සුදානම් වූ අතරම ඇයට එය නිමා කිරීමට ගත වන විනාඩි ගණන ගැන ඇයගේ පුහුණුකරු විසින් අවලාද නැඟුවද ඇය කෙසේ හෝ ජයග්‍රහණය උදෙසා පුරුදු විය. දිනක් ඔය අවස්ථාවේ Jaggi ඈ වෙත පැමිණෙන අතර Kartika ඔහුගෙන් ඉල්ලීමක් කරන්නේ තමා ගේ පිහිනීම් කාලය ගණන් කරන ලෙසයි. බොහොම ආසාවෙන් එය ඔහු භාරගනු ලබනවා. අවසානයේ මිතුරන් බවට පත් වන ඔවුන් Jaggi හේතුවෙන්ම Kartika වැඩි උවමනාවෙන් ඔහුගේ උපදෙස් අනුව පිහුණුම් වෙලාව සකසා ගනු ලබනවා.

තරඟාවලියට පෙර දින රාත්‍රියේදී සාදයක් පැවැත්වෙන අතරම බිමත්ව සිටි මිතුරන් දෙදෙනා මිත්‍රත්වයෙන් එහාට අඩියක් තබන්නේ Jaggi ගේ හිතේ Kartika ගැන තව තවත් ආදරය වැඩි කරමිනුයි. නමුදු උදෑසන අවදිවන Kartika තමා කර ඇති මෝඩකම පසක් වන අතරම මෙය අමතක කරන ලෙස Jaggi ගෙන් ඉල්ලනු ලබයි. නමුත් Jaggi සිය හදවතින්ම උම්මත්තකයෙක් ලෙසින් Kartika හට ආදරය කරනු ලබයි.

තරඟ දිනයේදී පිහිණුම් ඉසව්වෙන් Kartika ජයග්‍රහණය කරන අතරම එය දැකගන්න ඇයගේ දෙමවුපියන් ද පැමිණෙන අතර Jaggi විසින් Kartika ට සුභ පැතීමට යාමේදී ඔවුන්ව හමුවෙයි.Kartika විසින් තම දෙමවුපියන්ට Jaggiව තම මිතුරෙකු ලෙසට හඳුන්වා දෙන අතරම Jaggiට Kartika ගේ දෙමව්පියන් උත්සවයක් සඳහා ආරාධනා කර ආරාධනා පත්‍රයක් ලබා දෙයි.ඒ වෙන දෙයක් නොව තව මාස තුනකින් පසුව එන Kartikaගේ විවහා මංගල්‍යයේ ආරාධනා පත්‍රයයි.



ආදරය මේ මොකක්ද කලේ.....

Jaggi ගේ හිත මොහොතකට කඩාගෙන වැටෙන්නේ Kartika වෙනුවෙන් ගොඩ නැඟුණු හදවතේ සැබෑ ආදරය නිසාවෙනි. අවසන් දිනයේදීත් Kartika හට පවසන්නේ විවාහය ප්‍රතික්ෂේප කොට තමා සමඟ ජිවිත් වන ලෙසයි.නමුත් Kartika ට එය කල නොහැක්කකි. ඇයට පසුදින නැවත ලන්ඩනය බලා පිටත්ව යන්න වෙන්නේ තමා වෙනුවෙන් ආදරය කරමින් පසු පස පැමිණි Jaggiව ඉන්දියාවේ තනිකර දමමිනුයි.

මාස කිහිපයක් Jaggi ආදරයේ උන්මත්තකයෙකු ලෙසින් සිට අතරම හොර රහසේම ලන්ඩනයට යාමට මඟක් සොයා ගන්නා අතරම තම සල්ලි සියල්ල එම තැරවූකරුව්වන්ට දෙමින් තම ජීවිතය ගැන නිසිතාම ආදරය වෙනුවෙන් Kartika සොයා යාමට පිටත් විය. ගිරි දුර්ග වන දුර්ග වගේම පළාත් මායිම් පනිමින් විශාල ගමනක යෙදෙන ඔහු අවසානයේදී පැරිසියේ දී ඔහු ඇතුළු ගමන් ගත් සියල්ලන්ම පොලිසිය විසින් හසුකර ගනී.

ආදරය වෙනුවෙන් මේ තරම් දුරක් පැමිණෙන්න Jaggi ගේ ආදරය මොන වගේ එකක් ද?

හිතාගන්න ආදරෙයේ පරමාදර්ශී ප්‍රේමවන්තයෙක් ඔහු....

රටවල් වලට මෙලෙස රහස් මාර්ගයන්ගෙන් රින්ගීම සහ සඟව සිටීම බරපතල වරදක් නිසාම Jaggi ඇතුළු පිරිස පැරිසියේ උසාවියට ඉදිරිපත් කිවීමට සැරසෙන එහි රජය Jaggi සහ අනෙක් පිරිස වෙනුවෙන් Gautam නම් ඉන්දියානු නීතිඥයෙකු යොදවන්නේ බස හැසිරිවීමේ ඇති පහසුව නිසාමය. Gautam ගේ පැමිණීමත් සමඟම ඔහුව දකින Jaggi හට අවරුදු 3කට ප්‍රථම සිදුවූ සිදුවීමක් මතකයට නැඟෙන්නේ ආදරය යනු මෙයයි කියා තමාගේ සිතට ආදරය ගැන පෙන්වා දුන් තරුණයා ඔහු ඉදිරියේ දකින්නට ලැබීමයි.

Gautam වසර තුනකට ප්‍රථම විවාහපත් වන්නේ Ira නම් පියකරු තරුණිය සමඟයි.ආදරය අවසානයේ විවාහයක් දක්වා ඔවුන්ගේ පවුල් වල ආශිර්වාදය සමඟ විවාහපත් වන ඔවුන් මේ අවරුදු තුන කාල සිමාව ඇතුළත ඔවුන්ගේ ජිවිතයද වෙනම ස්ථානයකට රැගෙන පැමිණ ඇත.


Jaggi ද ඒක පාර්ශවිය ආදරයක් නිසා සැතපුම් දහස් ගණනක් පසුකරමින් Kartika සොයා යන ගමනයි.Kartika, Jaggi වගේම Gautam,Ira ගේ ජිවිත වෙනස් කරපු ආදර කතාව ඇරඹෙන්නේ මේ අයුරෙනුයි.

Jaggi ට Kartika ගේ ආදරය ලැබේවිද?

අඩු ගානේ Kartikaව Jaggi ට හමුවෙයිද?

ආදරය, සිනහව, කඳුල, එකිනෙකා අතර ඇති අවබෝධය, බැඳීම ගැන සරළව ගොනු වෙන Shiddat සිනමාපටය ගැන තව තවත් ලියන්නට බොහෝ දෑ ඇත. කියනවාට වඩා දෙයක් ඔබට සිනමාපටය නැරඹීමෙන් අනතුරුව සිතීමට ඇත.

ආදරය ගැන ඔබට සිතන්නට දෙයක් ඉතිරි වේවි...

ඒ නිසාම Shiddat සිනමාපටය නරඹා මොහොතකට තිරය මත දැනෙන ආදරය විඳගන්න..

ඔබත් දිනයක ආදරය කරාවි...

අන්න එදාට තේරුම් ගත්ත ශ්‍රේෂ්ඨ ආදරවන්තයෙක් ආදරවන්තියක්ම වන්න..







Post a Comment

0 Comments