The Others මහ මැදුරේ පිටස්තරයෝ



"The Others යනු භයානක ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර එය චිත්‍රපටයකට රිංගීමට මිල අධික විශේෂ ප්‍රයෝග අවශ්‍ය නොවන බව අපට මතක් කර දෙන සම්මානනීය Horror සිනමාපටයකි."

මළවුන්ගේ මාසය වෙනුවෙන් Art Street - කලා වීදියේ අප රැගෙන එන Horror සිනමා පෙළේ හතරවන සිනමාපටය අද මෙලෙස රැගෙන එන්නෙමු. හැමදාම අපට ශක්තියක් වෙමින් දිරි දෙමින් සිටින සැමටම මේ මොහොතේ අප ස්තුතිය පළ කරන්නෙමු.

Nicole Kidman කියන්නේ බොහෝ හොලිවුඩ් සිනමාපට නරඹන අය දන්නා සම්මානනීය නිළියක් සහ තාරකාවක්. අද ඔබ වෙතට අප සමීප කරන්නේ ඇය විසින් රංගනයෙන් දායකත්වය ලබා දුන් වෙනස්ම විදියේ කතාවක් රැගත් සිනමාපටයක් වෙතටයි. සිනමාපටයේ නම The Others. මෙම සිනමාපටයේ රංගනය වෙනුවෙන් ඈ සම්මානයටද පාත්‍ර වී තිබෙන අතරම සිනමාපටය මෙන්ම රංගනයෙන් දායක වූ පිරිස සමානයන්ට පාත්‍ර වී තිබීම විශේෂයි. එමෙන්ම ඉංග්‍රීසි බසින් නිර්මාණය වූ මෙම සිනමාපටය Spain's national film awards හි දී හොඳම Horror සිනමාපටය ලෙසට සම්මානයට පාත්‍ර වන්නේ ද කිසිඳු ස්පාඤ්ඤ බසක් හෝ වැකියක් වත් මෙම සිනමාපටයේ අන්තර්ගත නොවන විටදීයි. එය එලෙස ඉතිහාස ගත වනුයේ එකම හොලිවුඩ් සිනමාපටයක් ඒ වන විට එම සම්මාන උළෙලේ දී සම්මාන ගත නොවීම හේතුවෙන්මය. එමෙන්ම Goya සම්මාන උළෙලේ දී මෙම සිනමාපටය හොඳම සිනමාපටය සහ හොඳම අධ්‍යක්ෂකවරයා ඇතුළු සම්මාන හතකට පාත්‍ර වී තිබේ. ඉතින් අද මේ සම්මානනීය Horror සිනමාපටය ගැන තවත් කතා කරමු.




Alejandro Fernando යනු ස්පාඤ්ඤ ජාතිකයෙකු වන අතර ඔහු විසින් සිනමාපට කිහිපයක්ම නිර්මාණය කර ඇති නමුත් බොහෝ ලෙසින් කතා බහට ලක් වූ සිනමාපටයක් ලෙස 2001 වසරේ දී තිරගත වූ The Others සිනමාපටය නම් කල හැක. මෙහි අධ්‍යක්ෂණය සේම කතාව ද ඔහුගේම ස්වතන්ත්‍ර නිර්මාණයකි.එමෙන්ම පසුබිම් සංගීතය සඳහාද ඔහු දායකත්වය ලබා දෙයි. මෙහි රංගනයෙන් Nicole Kidman, Fionnula Flanagan, Christopher Eccleston, Elaine Cassidy, Eric Sykes, Alakina Mann සමඟ James Bentley දායකත්වය ලබා දී තිබෙනවා. මේ සිනමාපටය හොලිවුඩ් සිනමාපටයක් වුවත් මෙම සිනමාපටය සඳහා ස්පාඤ්ඤ ජාතික ශිල්පින් එකතු වෙන් නිර්මාණය වුවකි.

Warnerbro ආයතනය සහ StudioCanal ආයතනයන් එක්ව සිනමාපටය නිකුත් කරන අතර මෙම සිනමාපටය ඇමරිකාවේ 2001 වසරේ අගෝස්තු 2වන දින සිට ප්‍රදර්ශනය ආරම්භ වී ඇත. සිනමාපටය සඳහා එවකට ඇමරිකානු ඩොලර් මිලියන 17ක් වැය වී ඇති අතර සිනමාපටය ප්‍රදර්ශනයෙන් අනතුරුව ඇමරිකානු ඩොලර් මිලියන 210ක් උපයාගැනීමට The Others සිනමාපටයට හැකියාව ලැබී තිබෙනවා. එමෙන්ම මෙම සිනමාපටය ස්පාඤ්ඤ බසින් හඬ කවමින් ස්පාඤ්ඤයේ ප්‍රදර්ෂණය කර තිබෙන අතර එවකට වැඩිම අදායමක් ලද එකම හොලිවුඩ් සිනමාපටය ලෙසට The Others සිනමාපටය වාර්ථා ගත වෙනවා.


The Others සිනමාපටයේ කතා සාරාංශය


ග්‍රේස් කියන්නේ දෙවැනි ලෝක යුද්ධ සමයේ තමන්ගේ දරුවන් දෙදෙනා සමග ජිවත් වන කාන්තාවකි. ඇයගේ සැමියා යුද්ධයට යාම හේතුවෙන් මෙලෙස ඔවුන්ට ජිවත් වන්න සිදුව තිබෙයි. මේ පවුල ජිවත් වෙන්නේ චැනල් දුපත් වල මීදුමෙන් පිරුණු පරිසරයකයි. ඒ වගේම ඔවුන් ජීවත් වූ මන්දිරයද ගුප්ත බවින් පිරුණු එකකි. මේ විශාල නිවසේ සේවය සඳහා අයා අම්මා කෙනෙක් , උයන් පල්ලෙක් සහ කතා කරන්න බැරි තරුණ කාන්තාවක් ඔව්න් සමඟ ජිවත් විය. ඒ අයගෙත් පෙනුම මේ පරිසරයට ගැලපෙන විදියට ගුප්ත බවින් පිරිලා තිබුණේ.



ග්‍රේස් ගේ වැඩිමල් දරුවා ගැහැණු දරුවෙක් වූ අතර අනෙක් දරුවා පිරිමි ළමයෙකි. ගැහැණු දරුවා ඉතාමත් මුරණ්ඩු දරුවෙක් වූ අතර පිරිමි දරුවා සැමවිටම අහිංසක කෙනෙකි. මේ දරුවන් දෙදෙනාටම තියනවා එක්තරා රෝගයක්. ඔවුන්ට ඔවුන්ගේ හම හිරු එලියට නිරාවරණය කරන්න බැරි රෝගයකින් පෙළෙනවා. ඉතින් හැමවිටම ඔවුන්ට මේ නිවාස තුළටම වෙලා තමයි ජිවත් වෙන්නයි සිදුවෙන්නේ. මේ නිසාම සැමවිටම මන්දිරය තුළ ජනෙල් වලට ලොකු ගණකම තිර එල්ලා ආවරණය කර තබන්න ග්‍රේස් වගබලා ගත්තා. මේ හේතුව නිසාම මන්දිරය දහවල් කාලයේත් අඳුරු ස්වභාවයකින් යුක්ත එකක්ම විය. ඒ වගේම මේ නිවසේ ඉදිරි පිට වගෙම ඇතුළතත් දොරවල් සැමවිටම වසා තිබුනේය. එක දොරක් ඇර තව දොරක් විවෘත කරනවා නම් මුලින්ම විවෘත කළ දොර වසා දැමීම මෙහි නීතියක්. ඉතින් මේ ගෙදරට එන සේවිකාවට මේ හැමදෙයක් ගැනම ග්‍රේස් උපදෙස් දෙනවා. ඒ වගේම දරුවන් ගැනත් ලොකු උපදෙස් මාලාවක්ම ලබා දෙන්න කටයුතු කරනවා.

එත් මේ සේවිකාවගේත් ග්‍රේස් ගේ වැඩිමල් දියණියගෙත් හැසිරීම් අමුතුයි. ඔය අතරේදී තමයි ග්‍රේස් ගේ දියණිය තමන් සමඟ කතා කරන වික්ටර් නම් කොල්ලෙක් ගැන නිතර කියවන්න පටන් ගන්නේ. අනික ඒ පිරිමි ළමයව පෙන්නේ ඇයට විතරමයි.ඒ කතා ගැන කියලා ඇයගේ මල්ලිවත් බය කරනවා.මේ කතා කිසිවක් විස්වාස නොකර ග්‍රේස් තමාගේ දියණියට දඬුවම් පවා දෙනවා.



දිනක් ග්‍රේස් ට පුදුම මුහුණ පාන්න සිදුවෙනවා.කිසිවක් ගැන විස්වාසයක් නොමැති ග්‍රේස් ට තමාගේ දියණිය වික්ටර් සමග කතා කරනවා ඇහෙනවා.එත් එක්කම එකපාරට අවකාශයෙන් අතක් මතුවෙලා ග්‍රේස් ගේ මුහුණ ස්පර්ශ කරනවා. එය හීනයක් ම නොවන බව ඇය දන්නවා. ඒ එක්කම ග්‍රේස් ගේ හදවත ගැහෙන්න ගන්නේ අනපේක්ෂිත මොහොතක සිදු වූ දේ නිසාවෙනුයි.ඉන්පසුව ඇයට මන්දිරය තුළදී විවිධ අත්භූත දේවල් වලට මුහුණ දෙන්න සිදුවෙන්නේ තම දියණිය කියන දේවල් සැබෑවක් යන්න හේත්තු ගන්වමිනුයි. එපමණක් නොව දියණිය ග්‍රේස් ට ඇය විසින් ඇදපු චිත්‍රයක් දිනෙක ලබා දෙනවා.එහි වික්ටර් සමග ඔහුගේ දෙමවුපියනුත් වයස කාන්තාවකුත් ඇඳ තිබෙනවා. මේ දේවල් එක්ක ග්‍රේස් ට වගේම ඇයගේ දරුවන්ටත් විවිද වූ දේවල් වලට මුහුණ දෙන්න සිදුවෙනවා. මන්දිරය තුළ ඔවුන්ට ඇරෙන්න තව පිරිසක් සිටින බව ග්‍රේස් ට දැනෙන්න ගන්නවා.නොපෙණෙන ඔවුන් සැබවින්ම හොල්මන් විය යුතුය යන්න ඇයට වැටහෙනවා. ඒ නිසාම මේ දේවල් එක්ක බියෙන් ඔවුන්ට ඒ මන්දිරය තුළ සිර වෙන්න සිදුවෙන්නේ අන්ධකාරයත් සමගයි.

ඔය අතර තුරේ යුද්ධය අවසන්ව ග්‍රේස් ගේ සැමියා මන්දිරය වෙතට පැමිණෙනවා. නමුත් මේ පැමිණීමත් සමඟම ඔහුට පුළුවන් වේවිද මේ මන්දිරයේ තිබෙන හොල්මන් ප්‍රශ්නය විසදන්න... ග්‍රේස් සහ තම දරුවන් බියට පත් කරවන මේ හොල්මන් භූත ආත්ම කවුරුන්ද යන්න දැනගන්න නම් The Others සිනමාපටය ඔබට නරඹන්නම වෙනවා.



භීතිය,කෘතුහලය එක ලෙසම පවත්වා ගෙන රංගනය හරහා දක්වන සියුම් රඟපෑම් වලින් අපව සැමවිටම සිනමාපටය තුළට රැගෙන යන මෙම සිනමාපටය ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලද මේ වන විටත් IMDB දර්ශකයේ 7.8 අයගක් රැගෙන තිබෙන විශිෂ්ඨ යයි කිව හැකි සිනමාපටයකි.

නිවාඩු වෙලාවක නිදහසේ The Others සිනමාපටය නරඹා ඒ ගැන ඔබේ අදහසුත් අපි එක්ක බෙදාගන්න. සිනමාපටය ගැන ඔයාගේ යාළුවන්ට කියන්න.

අපේ Art Street Blog එකට වගේම අපේ Facebook සමුහයටත් එකතු වෙන්න ඔයාලට ආරාධනා කරනවා.තවත් මෙවැනිම Horror සිනමාපටයක් සමඟ හමුවෙන්නම්.





Post a Comment

0 Comments