ලාංකේය ඉතිහාසයේ මුද්‍රා නාට්‍ය සවරූපයෙන් මැවෙන "The Black Swan" ප්‍රථම ගොතික් කෙටි සිනමාපටය නුදුරේදීම

ලාංකේය ඉතිහාසයේ මුද්‍රා නාට්‍ය සවරූපයෙන් මැවෙන "The Black Swan" ප්‍රථම ගොතික් කෙටි සිනමාපටය නුදුරේදීම


පසුගිය සහ මෙම වසර තුළ ලාංකේය කෙටි සිනමාපට නිර්මාණය කරන්නාවූ දක්ෂතා පරිපුර්ණ තරුණ කැලක් බිහිවීම සහ තව තවත් බිහි වීම දැකගන්නට ලැබීම කලාවට ආදරය කරන සැමට සතුටු දනවන්නකි. හර්ෂණ එරංග ගුණසිංහ තරුණයා ද එවැනිම දක්ෂතාවයන් ගෙන් හෙබි අයෙකි. බණ්ඩාරවෙල උපද ලද ඔහු බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයෙන් සිප්සතර හදාරමින් මේවන විට කැලණිය විශ්ව විද්‍යාලයේ සිනමා හා රූපවාහිනී අධ්‍යනය විශේෂවේදී උපාධිය හදාරමින් සිටින ශිෂ්‍යයෙකි. එමෙන්ම ඇඳුම් නිර්මාණය (Costume Designing ) කිරීමට සහජ දක්ෂතාවයක් හෙබි හර්ෂණ, විවිධ වූ කලා නිර්මාණයන් උදෙසා ඇඳුම් නිර්මාණය හරහා එම නිර්මාණයට තවත් එළියක් ගෙන ඒමට නොමසුළුව කැප වූ අයෙකි. "ස්නැප්" ටෙලි නිර්මාණයට සහ "ස්නේහ" කෙටි සිනමාපටය වෙනුවෙන් දායකත්වය ලබා දුන් හර්ෂණ තම නිර්මාණ හැකියාව තව තවත් ඔපමට්ටම් කරගනිමින් අඩියක් ඉදිරියට තබන්නේ ඔහුගේම ස්වකීය තිර රචනාවකට අධ්‍යක්ෂණය දෙමින් නැවුම් කෙටි සිනමාපටයක් බිහි කරමිනුයි.

හර්ෂණ විසින් ඔහුගේ කුළුඳුල් කෙටි සිනමාපටය නම් කර තිබෙන්නේ The Black Swan නමිනි. මෙහි ඇති ප්‍රධානම විශේෂත්වය නම් මෙම තිර කතාව සඳහා උපයෝගී කරගෙන තිබෙන්නේ රුසියානු ජාතිකයෙකු වූ පී. අයි. චයිකොව්ස්කි ගේ ගී ස්වරයෙන් බිහි වූ විශිෂ්ඨ ඔපෙරාවකින් නිර්මාණය වූ The Sawan Lake නම් විශිෂ්ඨ බැලේ මුද්‍රා නාට්‍යයේ කතා පුවතයි. නමුත් එම කතාව තුළම ජීවත් නොවෙමින් හර්ෂණ ඔහුගේම ෆැන්ටසියක් නිර්මාණය කරනුයේ මුද්‍රා නාට්‍යයේ අපට හමු වූ කළු හංසයා නොහොත් Black Swan ගේ චරිතය පාදක කරගනිමුනුයි. මුද්‍රා නාට්‍යයේ අප අවසානයේ නොදුටු එම කළු හංසයාගේ ඉරණම The Black Swan නමින් හර්ෂණ මුද්‍රා නාට්‍ය අභාෂයෙන්ම ඉදිරිපත් කරනු ලබයි. එමෙන්ම මෙය ලාංකේය කෙටි සිනමා කතාවේ ස්වර්ණයමය අකුරෙන් ලියවෙනුයේ ලාංකේය ඉතිහාසයේ ගොතික් සහ මුද්‍රා නාට්‍ය ආභාෂයෙන් නිර්මාණය වූ ප්‍රථම කෙටි සිනමාපටය ලෙසිනුයි. එමෙන්ම බෝඹුරු ඇල්ල ආශ්‍රිතව The Black Swan හි රූගත කිරීම් සිදුකර තිබීමද ප්‍රේක්ෂකයන්ට නැවුම් වින්දනයක් ලබා ගත හැකි වේවී යන්න සිතෙයි. එමෙන්ම අනෙකුත් විශේෂය නම් මෙහි එකඳු දෙබසක්වත් නොමැති වීමයි. මේ සියල්ලම හර්ෂණ විසින් මවන්නා වූ වෙනස්ම ෆැන්ටසියකි.

The Black Swan


The Black Swan සඳහා රංගනයෙන් එකතුව සිටින්නේද දක්ෂයෝ පිරිසකි. මෙහිදී Black Swan ලෙසින් යෝෂි පෙරේරා එකතු වී තිබෙන අතර ඇය රංගන සහ නාට්‍ය පාඨමාලාවක් හදාරා ඇති අයෙක් වන අතර සෝමලතා සුභසිංහයන්ගේ වේදිකා නාට්‍ය නිර්මාණයන් වූ "පුංචි අපට දැන් තේරෙයි". "තොප්පි වෙළෙන්දා" සහ "විකෘති" යන නාට්‍යන් සඳහා සම්බන්ධ වී සිටින අතර අකිල සපුමල් ගේ වේදිකා නාට්‍ය නිර්මාණයන් දිත්වයකම ඈ රංගනයෙන් දායකත්වය ලබා දී තිබෙයි.

දිනුෂ ගයාන් මංජුල විසින් Dark wizard චරිතයට රංගනයෙන් දායක වන ඔහු 2018 වසරේ සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගාවලියේ හොඳම නළුවාට නිර්දේශිත ජූරියේ විශේෂ සම්මානයට පාත්‍රවී ඇත. ඉන් පසුව 2019 වසරේදී යෞවන නාට්‍ය පාසලට (Youth Drama School ) ඇතුළත් වන දිනුෂ එම වසරේ යෞවන සම්මාන තරගාවලියේ දිස්ත්‍රික් ප්‍රථම සහ පළාත් ප්‍රථම වශයෙනුත් පසුව ජාතික තරඟාවලියේ දෙවනියා ලෙසටත් සම්මානයට පාත්‍ර වනු ලබනවා. එමෙන්ම "වේදිකාවෙන් මහපොළවට "නාට්‍ය උළලේ විශිෂ්ඨ රංගාලෝකය වෙනුවෙන් ජූරියේ විශේෂ සම්මනයෙන් දිනුෂ සම්මානීය වී තිබේ. 2020 යෞවන සම්මාන උළෙලේ තරඟාවලියේ තෙවරක් පිට පිටම පළාත් ප්‍රථමයා ලෙසින් ජාතික මට්ටමට සුදුසුකම් ලද දක්ෂ රංගන ශිල්පියෙකි. මේ වන විට කැලණිය විශ්ව විද්‍යාලයේ ප්‍රතිබිම්බ කාලාව පිළිබඳ විශේෂවේදී ගෞරව උපාධිය හදාරමින් සිටින දිනුෂ Dark wizard චරිතය තුළින් නපුරේ බිහිවීම The Black Swan කෙටි සිනමාපටය තුළින් චරිතවත් කරනු ලබයි.

The Black Swan


Princess Odet ලෙසින් The Black Swan කෙටි සිනමාපටය හරහා අපට හමුවන ශෙහානි මදුමාලි කැලණි විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියෙක් වන අතර විශ්ව විද්‍යාලයේ දී රංග කලාව විෂයක් ලෙසින් හැදෑරු අයෙකි.

චිරන්ත පියුමාල් මෙහි Prince Sidfrid චරිතයට රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර මේ වන විට නිරූපණ ක්ෂේත්‍රය තුළ ස්ථාවරත්වයක් ගොඩනඟාගනිමින් සිටින තරුණයෙකි. එමෙන්ම ඇදුම් නිර්මාණ ශිල්පියෙකු වන ඔහු ඊට අමතරව රංගන ශිල්පියෙකු ලෙසද චිරන්ත තම දක්ෂතාවයන් පෙන්වන තරුණයෙකි. මින් ප්‍රථම ඔහු ප්‍රියන්ත සමරකෝන් ගේ කෙටි සිනමාපටයකට සහ Music Video කිහිපයකටත් රංගනයෙන් දායකත්වය ලබා දී තිබෙයි.

The Black Swan කෙටි සිනමා නිර්මාණයේ රංග වස්ත්‍ර ගැන කතා කල යුතුම දෙයකි. මේ සඳහාම විශේෂිත වූ වස්ත්‍ර නිර්මාණය කිරීම හර්ෂණ එරංග සහ චිරන්ත පියුමාල් එක්ව කරන ලද අතර The Black Swan ලෙසින් කෙටි සිනමාපටයක් බිහි වීමද මේ හා සිදුවූ එකකි. ඔවුන් විසින් නිර්මාණය කළා වූ Black Swan ඇඳුම් නිර්මාණය පළමුව Photo Shoot එකක් කිරීමට සිතුවද එයින් එහාට සිතමින් ඔවුන් සිනමාත්මක නිර්මාණයක් උදෙසා සිත යොමුවන්නේ ද මේ අයුරෙනි.

The Black Swan



කෙටි සිනමාපටයක් වුවද මෙය එදිනෙදා දකින සිනමාපටයකට එහා ගිය විශේෂිත නිර්මාණයක් වනු නිසාම මෙහි චරිතයන් වලට අවශ්‍ය වේශ නිරුපණය වැදගත්ම වන අංගයකි. මේ වෙනුවෙන් ශනු රංගේ එකතු වී ඇති අතර ඔහු වේශ නිරුපනය පිළිබඳව විශේෂ ඉගෙනුමක් ජපානයේදී ලබා ගත් අයෙකි. ශනු ඔහුගේ පළමුවන සිනමා දායකත්වය The Black Swan වෙනුවෙන් ලබා දෙමින් සිනමාත්මක රූපණයට නැවුම් බවක් එක් කර තිබෙයි.

The Black Swan හි කැමරාකරණය, සංස්කරණය සහ වර්ණ සංයෝජනය සියල්ලම ලක්ෂාන් දිස්සර විසින් සිදුකර ඇති අතර ස්ව අභ්‍යාස හරහා හැදෑරීම තුළින් නවකයෙකු ලෙසින් ලාංකේය කලා කෙතට තවත් තාරුණ්‍ය නියෝජනයක් එකතු වෙයි. එමෙන්ම මෙහි පසුබිම් සංගීතය සඳහා බිබිලන්දෙනියේ මහානාම ස්වාමින්ද්‍රයන් එකතුවිමද තවත් විශේෂයකි.

මෙම නිර්මාණ වෑයමේ නිෂ්පාදන දායකත්වය සඳහා හර්ෂණ එරංගගේ ආදරණිය මව වන නෙළුම් දමයන්ති විතාණගේ මහත්මිය එකතුව ඇති නිෂ්පාදන කළමනාකරණය සඳහා හෂාන්ත රුවන් දායකත්වය ලබා දී තිබෙයි.

The Black Swan කෙටි සිනමා නිර්මාණය සාර්ථක කර ගැනීම පසු පස හර්ෂණ එරංගගේ දෙමව්පියෝ ,ඔහුගේ වැඩිමල් සොහොයුරිය වගේම ප්‍රභාත් අගම්පොඩි, නිෂාදි කාංචනා, ඔෂාන් යාපා අමරසේකර ඇතුළු කැළණි විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය මණ්ඩලය සහ දසුන් නාලක ඩයස්, චලින්දි දයාරත්ත ඇතුළු විශ්ව විද්‍යාලයීය ජේෂ්ඨ සහෝදරයන් සියළු දෙනා වගේම මෙම සිනමාපටය හා දායක වූ සියලුම අයගේ ආශිර්වාදය මත The Black Swan කෙටි සිනමාපටය නිර්මාණය වුවක් බව අධ්‍යක්ෂක හර්ෂණ එරංග අවසාන වශයෙන් ප්‍රකාශ කර සිටියා.

The Black Swan


The Black Swan කෙටි සිනමා නිර්මාණය මේ වන විට සංස්කරණ අවදියේ පසුවන අතර නොබෝ දිනකින් You tube අවකාශයට මුදා හැරීමට නියමිතව තිබෙයි. ඒ ගැනත් අප නුදුරේදීම රැගෙන එන්නම්. මේ හා එකතු වූ සියල්ලන්ටම Art Street කලා විදියේ අපේ සුභ පැතුම්.

හර්ෂණ එරංග, තව තවත් මෙවැනි වෙනසක් දකින නිර්මාණ බිහි කිරීමට ඔබට මෙය ශක්තියක්ම වේවා..!


 Giza bee


The Black Swan


The Black Swan

Post a Comment

0 Comments