ප්‍රේමණීය ආත්මයක ත්‍රාසයේ දෝංකාරය " ස්පන්දන"



මළවුන්ගේ මාසය වෙනුවෙන් Art Street - කලා වීදියේ අප රැගෙන එන Horror සිනමා පෙළේ පස්වන සිනමාපටය ලෙසින් අද දින රැගෙන එන්නේ  ලාංකේය සිනමාවේ බිහිවූ අදටත් ජනප්‍රිය ගීත රැසකින් සමන්විත වූ Horror ඛාණ්ඩයට ඇතුළත් වන සිනමාපටයකි.

2015 වසරේදී තිරගත වූ "ස්පන්දන" සිනමාපටයේ අධ්‍යක්ෂණය සුනෙත් මාලිංග ලොකුහේවා විසිනි.මෙය ඔහුගේ තුන්වැනි සිනමාපටයයි.ශ්‍රී ලංකාවේ අත්භූත ශාණරයේ  හෝ Horror වර්ගයේ සිනමාපට ඇත්තේ බොහොම අතලොස්සයි.ඒ අතරින් මෙයද ප්‍රේක්ෂක අවධානය දිනා ගත් සිනමාපටයකි.එහි සාර්ථකත්වය වුයේ සිනමාපටයේ ඇතුලත් වූ  ගීත සහ රංගනයෙන් දායක වුවන් නිසාවෙනි.



සිනමාපටයේ රංගනයෙන් රොෂාන් රණවන ශලිනි තාරකා,දිල්හානි ඒකනායක,මහේන්ද්‍ර පෙරේරා,දර්ශන් ධර්මරාජ් ප්‍රධාන චරිත වලින් ප්‍රේක්ෂකයන් වෙත පැමිණි අතර ඔවුන්ගේ රංගනයෙන් සැමවිටම සිනමාපටය තුල කෘතුහලය  රඳවා ගෙන සිටීමම විශේෂයි.ඉන් අනතුරුව සෙසු චරිත වලින්ද සිනමාපටයට හොද සාධාරණයක් ලබා දී තිබීම ද සිනමාපටයේ සාර්ථකත්වයට බලපා තිබෙයි.නමුත් ස්පන්දන සිනමාපටය සිනමා ශාලා වලට පැමිණෙන ප්‍රේක්ෂකයන්ගේ අඩුවක් නොතිබුණද මසකටත් අඩු කාලයකදී සිනමාපටය ඉවත් කිරීම නම් අසාධාරණයකි.YouTube අවකාශයට සිනමාපටය මුදා හැර තිබු අතරම බොහොම පිරිසක් මේ සිනමාපටය නරඹා තිබීමද ලාංකේය ප්‍රේක්ෂකයන් තවම සිනමාහල් වලට නොගියත් තවම  සිංහල  සිනමාපට නරඹන බවට හොඳ සාක්ෂියකි.

"සෙල්වම්" සිනමාපටයෙන් රිදී තිරයට එකතු වූ ශලනි තාරකා ස්පන්දන සිනමාපටය හරහා ප්‍රේක්ෂකයන් වෙතට පැමිණියේ  දඟකාර ආදරණිය තරුණියක ලෙසෙනි. ඈ සිනමාපටයේ "මයුමි" වුවාය.සිනමාපටය අවසන් වන විට මුලින් අප සිනමාපටයේ දුටු මයුමි වෙනස්ම අයුරෙන් එම චරිතයට ජීවයක් එකතු කලේ ඇයගේ කලා ගමන් මඟේ චරිතවත් රංගන ශිල්පිණියක් සහ සම්මානයට පාත්‍ර වීමට පෙරුම් පුරණ දක්ෂතා පරිපුර්ණ නිළියක් ඈ තුළ සිටින බවට ඉඟි පළ කරමිනුයි.

සිංහල සිනමාවේ නැවුම් සිහින කුමාරයා නොහොත් රොෂාන් රණවන සුපුරුදු ආදරණීය කඩවසම් පෙම්වතාගේ චරිතයට එකතු වූ අතරම මහේන්ද්‍ර පෙරේරා නොහොත් ලොකු අයියා වෙනස්ම චරිතයකින් සිනමාපටය තුළින් දැකගන්න ලැබීම තවත් විශේෂයකි. දිල්හානි අශෝකමාලා යනු ලාංකේය සිනමාවේ වාණිජ සිනමා රැල්ල තුළ ජනාදරයට පාත්‍ර වූ අයෙක් සේම ඇයද අපට සිටින චරිතාංග සම්මානනීය නිළියකි. මයුමිගේ නැන්දණිය වූ පියුමි ලෙසින් ඈ රංගනය කළා වූ ඒ චරිතයට දිල්හානී හොඳ සාධාරණයක් ඉටු කර තිබෙයි.

සිනමාපටයේ  "ඔය මුවේ හසරැල් සොයා" , "මේ රෑ දිළෙන","මං වින්දා","තව දවසක් හමුවී" වැනි අපුරු ගීත කිහිපයකින් යුතු වූ අතර එම ගීත සඳහා උමාරියා සිංහවංශ, උදය ශ්‍රී, කිර්ති පැස්කුවල් සමඟ අනුපමා ගුණසේකර විසින් ගායනා කරන ලදී. සිනමාපටයේ සංගීතය උදය ශ්‍රී වික්‍රමසිංහ විසිනි.


ස්පන්දන සිනමාපටයේ සාරාංශය




පියුමි ඉරුගල්බණ්ඩාර යනු මයුමි ගේ නැන්දණියයි. මයුමිගේ පියාගේ සහෝදරිය වන පියුමි ජිවත් වුයේ බණ්ඩාරවෙල පිහිටි සුන්දර පරිසරයකින් වටපිටාව වෙළා ගත් කන්දක් මුදුනේ තිබෙන ලස්සන බංගලාවකයි. ඇය අවිවාහක මැදිවියේ පසු වූ අයෙක් වූ අතර දිනක් හදිස්සියේම ඈ මිය යන්නේ නිවස තුළදීමයි.

ඔය අතර මයුමි රෝගාතුරව රෝහල් ගත කරනුයේ කලක සිට තිබු හදවතේ ප්‍රශ්නයක් හේතුවෙනුයි. ජීවිතයත් මරණයත් අතර සටනක සිටි මයුමි නැවත ජිවත් වන්න පටන් ගන්නේ ඇයගේ නැන්දනිය වූ පියුමිගේ හදවත ඇයට බද්ධ කිරීමෙන් අනතුරුවයි. දැන් ඇය සිතන්න පතන්න සියල්ලම කරනුයේ තම නැන්දනිය ලබා දුන් නැන්දාගේ හදවතින්මයි.

සිය නැන්දණියගේ මතකය මයුමිගේ හදවතට පිවිසෙත්ම සිහින් රිදුමකින් සැමවිටම සිත සසල වෙයි. නැන්දණියගේ සුන්දර රූපය  ඇගේ සිතේ සැමවිටම ඇඳෙයි. ඈ තමාට කොපමණ ආදරය කළාදැයි සිහිපත් වන විට හදවතේ කොණක ඉපැදුණු දුක ශෝඛය මුළු සිරුරේම ගලාගෙන යනු මයුමිට දැනෙයි. නැන්දණියට  හිටි හැටියේම සිදු වූයේ කුමක්දැයි මයුමි නිතරම කල්පනා කල එකකි.



මයුමිට ප්‍රේමවන්තයෙක් විය.ඔහු නමින් සිතුම්ය. නැන්දණියගේ අවසන් කටයුතු හරි ආකාරව සිදු කරගැනීමට නොහැකි වූ නිසාම නන්දා ජිවත් වූ බංගලාවට ගොස් දානයක් දීමට මයුමි සිතන අතර මේ සඳහා සිතුම් ඇතුළු ඔහුගේ මිතුරන් දෙදෙනෙක් වූ විහඟ සහ කැළුම් සහභාගී කරගන්නා අතරම මයුමිගේ හොඳම මිතුරියන් දෙන්දෙනා වූ අචිනි සහ ශාක්‍යාව බණ්ඩාරවෙල යාම සඳහා එකතු කරගනී.

කඳු ,දිය ඇලි ,තේ වතු මැදින් අපුරු චාරිකාවක් ලෙසින් ගමන් ගන්නා ඔවුන් පියුමි නැන්දාගේ බණ්ඩාරවෙල බංගලාවට පැමිණෙන්නේ දින කිහිපයක්ම එහි නතර විමටයි. මඟ එන විටදී නැන්දා ගේ අවසන් කැමති පත්‍රයේ වුයේ ද තම නිවස සහ අක්කර ගණනකින් යුතු වත්ත මයුමිගේ නමට හැරවීමය. ඈ කොතරම් හොඳ තැනැත්තියක් ද යන්න මයුමි සැමවිටම සිතුවාය. නමුත් මඟ එන විට තම පෙම්වතා වූ සිතුම් ගේ කකුලට වූ අනතුර නිසා මයුමි සිටියේ තරමක් කණස්සල්ලෙනි.



අක්කර ගණනක් විහිද ගිය තේ වතුයාය ආසන්නයේ පෙනෙන තෙක් මානයක කිසිවෙක් හෝ නොවීය. කිසිදු නිවෙසක් හෝ නොවීය. ඒ නිසාම මුළු පරිසරයේම ගැබ්ව තිබෙන සොඳුරු බව කාගේ වුව ද සිත පැහැර ගන්නේ එක්වරමය. එක් පැත්තකින් ඈතින් නැඟී විහිද යන්නේ නිල්වන් පැහැති කඳු පන්තියද  වරෙක දිස් වන්නේ අහස් වියනේම කොටසක් ලෙසිනි.

තැනින් තැන රැඳී ඇති මිහිදුම් කුමරියගේ සළුව මවා පාන්නේ අපූරු රටාවකි. නැන්දණිය මේ ලෝකෙට කොතරම් ආදරය කරන්න ඇතිද? ඇය තනිවම හෝ මෙහි ජිවත් වන්නට ඇත්තේ මේ සුන්දරත්වය නිසාම යන්න මයුමි සිතුවාය. දැන් මේ සියල්ලම මයුමිගේ වී හමාරය.



කොළඹ සිට බණ්ඩාරවෙලට එනතුරාවට විහඟ  විසින් කියන ලද විකාර සහ භය සිතෙන හොල්මන් කතා නිසාම අචිනි සහ ශාක්‍යා සිටියේ තවමත් බියෙන්. ඔවුන් කාමරයට වී කතා කරමින් සිටියේ ද මයුමි ගේ නන්දා ගේ මරණය සහ මේ බංගලාව තුළ ඈ හොල්මන් කරන බව විහඟ විසින් කියූ දේවල්ය. මේ දේවල් නිසාම පොඩි ශබ්ධයකට පවා මිතුරියන් දෙදෙනා සිටින්නේ බියෙනි. බියට පත්ව සිටින මිතුරියන් තවත් බියට පත් කොට සතුටක් ලැබීමට සිතන විහඟ නැවත වරක් ඔවුන්ව භය කරමින් කාමරයට පනින්නේ අචිනිගේ සහ ශාකයාගේ බයෙන් මර දෙන හඬ මුළු බංගලාව තුළම දෙදෙරා යන ලෙසයි. මෙයින් කෝපයට පත් වන අචිනි විහඟට බනින්නට වූ අතර ඔවුන්ගේ ශබ්ධය ඇසුණු මයුමි, සිතුම් ද ඔවුන් වෙතට පැමිණෙන්නේ සිදුවුයේ කුමක්ද යන්න බැලීමටයි. නමුත් එම විහිලුව කෙලවර වන්නේ අචිනි විසින් විහඟ ගේ මුහුණ හරහා දෙන කම්මුල් පහරෙනි.

මේ සිදුවීමත් සමඟ මිතුරියන් ගැන කළකිරෙන විහඟ බංගලාවෙන්  පිටත්ව පරිසරය විඳින්නට යන්නේ ඔහුගේ ගජ මිතුරා වූ කැළුම් ද මඟ හරිමිනුයි.රාත්‍රිය උදා වුවත් රාත්‍රී කෑම මේසයට විහඟ පැමිණියේ නැත. මෙය තවත් විහිළුවක් යයි සිතන මිතුරන් ඔහු පසුදා උදෑසන නිවසට නැවත පැමිණේවි යන්න සිතමින් නින්දට වැටෙයි.

එදින රාත්‍රියේ නාන කාමරයේ උන් මයුමි එහි වූ මුහුණ බලන කැඩපත අසලට ළං වූයේ සිය මුහුණ බැලීමටය එක් වරම ඇයට පිටුපසෙන් පෙනුණු ප්‍රතිබිම්බය නිසා ඇති වූයේ මහත් බියකි.

'නැන්දා'

ඇගේ මුවඟෙන් පිට වූයේ ඒ වචනය පමණි. නැන්දණියගේ යක්ෂාවේෂ වූ රුව දෙසම මයුමි බලා සිටින්නට වුයේ නිරුත්තරවය.

'මම මැරුණේ නෑ. මාව මැරුවා'


යක්ෂාවේෂ වූ නැන්දණියගේ රුව තවත් මොනවාදෝ කියා නොපෙනී ගියාය. පියවි සිහියට පැමිණි මයුමිගේ දෙසවනේ රැව් දුන්නේ නැන්දණියගේ ස්වරයයි. ඇය නාන කාමරයෙන් එළියට දිවගියේ බියෙනි. සිදුවූ දේ සමඟ මයුමි සිටියේ බියෙන් වගේම මිතුරන් ඇතුළු තම පෙම්වතාද සිටින්නේ බියෙන් වග ඈ දනී.මේ හේතුවෙන්ම බංගලාවෙන් පිටව යා යුතු බව සියල්ලන්ගේම තීරණය විය.

නමුත් පසුදින ද විහඟ පැමිණියේ නැත.ඔහු අතුරුදහන් වූ සැටියෙකි. මේ හේතුවෙන්ම කැලුම් විසින් බණ්ඩාරවෙලට පැමිණි ජීප් රිය තනිවම පදවාගෙන විහඟ සොයා යන්නට පිටත් වෙයි.නමුත් විහඟ සේම එදා රාත්‍රියේ දී කැලුම් ද නැවත නිවසට පැමිණියේ ද නැත.ඔවුන්ට සිදුවුයේ කුමක්ද යන්න සැමවිටම මයුමි සහ මිතුරන් සිතන්නට විය.දැන්  ඔවුන් පැමිණි රථය හා කැලුම් අතුරුදන් වූයේ නොසිතූ ලෙසයි. මේ හේතුවෙන්ම මයුමි පත් වූයේ දැඩි ආරවුලකටය. කුමක් කළ යුතු ද යන්නට ඇය විසඳුම් සෙව්වාය. අතරමඟ දුටු දේවාලයේ මහේන්ද්‍ර සාමි මුණ ගැසීමට යන මයුමි සහ මිතුරියන්ට අසන්නට ලැබෙන්නේ භයානක පුවතකි.

ඒ තම නිවසේ මළ ස්ත්‍රියක් ප්‍රේත ආත්මයක්ව සිටින බවත් තවත් ජිවිත බිල්ලකට ඈ සැරසෙන බවත්ය.

මයුමිගේ නැන්දණිගේ ආත්මය මෙලෙස බිලි ගන්නේ ඇයි ?
පියුමි නැන්දා මැරුණා ද? මැරුවාද?

මේ සියල්ලම සිනමාපටයේ ඇමිණු දම්වැලක් සේ ප්‍රේක්ෂකයන් ඉදිරියේ මැවෙන්නේ භීතිය, කෘතුහලය තුළ හදවතේ ස්පන්දනය අඩු වැඩි කරමිනුයි. බොහොම දෙනෙක් මේ සිනමාපටය නරඹා ඇති. නොබැලු පිරිසත් ඇති. නැවතත් මේ සිනමාපටය නරඹන්න කැමැත්තකුත් ඇති. ඉතින් මේ ආරම්භ කිරීමට නියමිත මළවුන්ගේ මාසයේ දී නැරඹීමට මේ සිනමාපටයත් ඔබේ සිනමා පෙළට එකතු කරගන්න.

ඒ වගේම අපේ Art Street Blog එකට වගේම අපේ Facebook සමුහයටත් එකතු වෙන්න ඔයාලට ආරාධනා කරනවා. තවත් මෙවැනිම Horror සිනමාපටයක් සමඟ හමුවෙන්නම්.


Post a Comment

0 Comments