මළවුන්ගේ මාසයේ ලාංකේය රිදී තිරයට එන හොල්මන් සිනමාපටය
"නිහඬ සෙවණැලි"
ලාංකේය සිනමාවේ Horror එහෙමත් නැතිනම් හොල්මන් (අත්භූත) සිනමාපට බිහි වී ඇත්තේ ඉතාම අල්පයකි. ඒ අතරට එකතු වන නවතම සිංහල සිනමාපටය නිහඬ සෙවණැලි වෙයි. නොවැම්බර් මස 11වන දින සිට E .A .P සිනමාශාලා වල දී තිරගත කිරීම් ආරම්භ කරනාවූ මෙම සිනමාපටයේ අධ්‍යක්ෂණය සුනිල් ප්‍රේමරත්නයන් විසිනි. වැලි පවුරු, ටවුමේ ඉස්කෝලේ වැනි සමාජයට හරවත් පණිවිඩ රැගෙන ආ සිනමා නිර්මාණයන් ඔහු අතින් අධ්‍යක්ෂණය වූ ජනප්‍රිය සිනමාපට වෙයි. නිහඬ සෙවණැලි සිනමාපටයේ සම තිර රචනය සුනිල් ප්‍රේමරත්න සහ හරිත් වාසල විසිනි.
නිහඬ සෙවණැලි සිනමාපටයේ රංගනයෙන් ජනප්‍රිය තරු රාශියක් එකතු වී තිබෙයි.පුබුදු චතුරංග, රොෂාන් රණවන, තාරුකා වන්නිආරච්චි, මාෂි සිරිවර්ධන, හරිත් වාසල, ධනංජි තාරුකා, කුමාර තිරිමාදුර, අජිත් වීරසිංහ, කුමාර වඳුරැස්ස, මීනා කුමාරි, සරත් චන්ද්‍රසිරි, සඳුන් බණ්ඩාර සමඟ යොහානි හෙට්ටිආරච්චි ඇතුළු පිරිස මෙහි රංගනය සඳහා දායකත්වය ලබා දී තිබෙයි.
නිහඬ සෙවණැලි සිනමාපටයේ කතා සාරාංශය.
බොහෝ කාලයකට පසුව මුණගැසෙන මිතුරන් පිරිසක් චාරිකාවක් සඳහා එක් වෙති. දින කිහිපයක් නිදහසේ සිටීමට ඔවුන් තෝරා ගනු ලබන්නේ නගරයෙන් එපිට තිබෙන නිස්කලංක භූමියක පිහිටි ස්ථානයකි. මිතුරන් පිරිස සොබහව සෞන්දර්ය විඳිමින් විනෝදයෙන් ගත කරමින් ගමනාන්තය දක්වා යා යුතුව තිබුනත් අනපේක්ෂිත ලෙසින් ගමනාන්තයට ප්‍රථමව ඔවුන්ට මුහුණ පෑමට සිදුවන්නේ අත්භූත දේවල් රැසකටයි.ඝණ වනාන්තරයක් තුළ තනිවන ඔවුන්ට ඔවුන්ගේ ජීවිත බේරා ගැනීම උදෙසා සටන් කරන්නට සිදුවන්නේ ද වනයේම සැඟවෙලා ගිය අතීත රහසක් සමඟයි. මෙවැනි කතා පුවතකින් සමන්විත වන නිහඬ සෙවණැලි සිනමාපටය ත්‍රාසය, භීතිය සහ කෘතුහලය කැටිව නිර්මාණය වුවකි.
ලාංකේය සිනමාව තුළ එතෙක් මෙතෙක් බිහි වූ Horror සිනමාපට වලට වඩා නැවුම් වින්දනයක් ප්‍රේක්ෂකයන් වෙතට ලඟා වන සිනමාපටයක් ලෙස නිහඬ සෙවණැලි හඳුන්වාදීමට හැක. බොහෝ වෙහෙසක් සහ පිරිවැයක් යොදමින් නිර්මාණය වූ මෙම සිනමාපටය කොවිඩ් 19 හමුවේ මෙම වසරේදී සිනමාහල් වසා නැවත විවෘත කිරීමෙන් අනතුරුව ප්‍රදර්ශනය වන ප්‍රථම සිංහල සිනමාපටය ද වෙයි. එමෙන්ම මෙම සිනමාපටය Horror සිනමාපටයක් වුවද මෙහි අන්තර්ගතව තිබෙන කතාව හරහා සමාජයට අපුරු පණිවිඩයක් රැගෙන යන තේමාවකින් සමන්විතව තිබෙයි.
විශාරද එඩ්වඩ් ජයකොඩි සහ මිහිඳු ආරියරත්නගේ මියුරු හඬින් මුසුවූ ගීත දෙකක් ඇතුළත් වන මෙහි සංගීතය අධ්‍යක්ෂණය දර්ශන වික්‍රමතුංග ගෙනි.සිනමාපටයේ කේ. ඩී. දයානන්ද සහ මහේෂ් කරුණාරත්න කැමරා අධ්‍යක්ෂණයෙන් එක්ව තිබෙන අතර සංස්කරණය සඳහා අනුර බණ්ඩාර දායකත්වය ලබා දී තිබෙයි.
නිහඬ සෙවණැලි සිනමාපටයේ සහය අධ්‍යක්ෂණය සම්පත් රත්නායක විසිනි. එමෙන්ම කලා අධ්‍යක්ෂණයෙන් කුමාර රාහුබද්ද එකතු වී ඇති අතර අංග රචනයෙන් තරංග රුක්මල්වල සහ ප්‍රියන්ත දිසානායක දායකත්වය ලබා දී තිබෙයි.
නිශ්චල ඡායාරූපකරණය සහ මාධ්‍ය සම්බන්ධීකරණය උපුල් නිශාන්තගෙනි. වසන්ත තිතුල්ගහමුදුන විසින් මෙහි නිෂ්පාදන කළමනාකරණය සිදුකර ඇති අතරම සුසන්ත ධර්මප්‍රිය ශබ්ද පරිපාලනයෙන් සඳහා එක්ව තිබෙයි. සිනමාපටයේ වර්ණ සංයෝජනය ආනන්ද බණ්ඩාර විසිනි. ගීත සඳහා පද රචනය බණ්ඩාර ඇහැලියගොඩ සහ හරිත් වාසල විසින් සිදුකොට තිබේ. නිහඬ සෙවණැලි සිනමාපටයේ නිෂ්පාදනය ජානක රංචාගොඩ විසිනි. සිනමාපටයේ පෝස්ටර් නිර්මාණය ප්‍රදීප් ප්‍රේමලාල් විසින් සිදුකර තිබෙයි.
නිහඬ සෙවණැලි සිනමාපටය පන්නල,ගෝනපොළ,හොරගහ හේන, මතුගම ආශ්‍රිත ඝන වනාන්තර වල දී රූගත කර තිබෙන අතර සිනමාපටය සඳහා දායකවූ සියල්ලන්ම විශාල කැප කිරීමක් තුළින් නිර්මාණය කරන ලද්දකි, නිහඬ සෙවණැලි සිනමාපටය තව නොබෝ දිනකින්ම ප්‍රේක්ෂක ඔබට රිදී තිරයේදී දැකගන්නට හැකියාව ලැබේ. ලාංකේය සිනමාවට ආදරය කරන ප්‍රේක්ෂකයෙක් ලෙස නැවත වරක් සිනමා ශාලා වෙත ගොස් සිනමාපටය නරඹන ලෙස Art Street කලා වීදියේ අපි ආදරයෙන් ආරාධනා කරන්නෙමු.
0 Comments