කුඩා දරුවන් සේම වැඩිහිටියන් ද බෝනික්කන්ට ප්‍රියතාවයක් දක්වනු ලබයි. එය වයස් සීමාවකින් තොරවූ එකකි. නමුත් බෝනික්කන් ඇසුරෙන් නිර්මාණය වූ බොහොමයක් වූ සිනමාපට නිර්මාණයේදී සිනමාපට අධ්‍යක්ෂකවරුන් තෝරා ගනු ලද්දේ බෝනික්කන්ගේ තිබෙන ලස්සන හුරුබුහුටි විලාසයට වඩා ඒ හරහා ත්‍රාසය, භීතිය, කෘතුහලය උපද්දවමින් නිර්මාණ බිහි කිරීමටයි. එවැනි නිර්මාණය වූ සිනමාපට අතර ඉදිරියෙන්ම පවතින සිනමාපට ලෙස Don Mancini විසින් නිර්මාණය කරන ලද Child's Play සිනමාපට පෙළ අපට අමතක කල නොහැක්කකි. ප්‍රචණ්ඩත්වය මුලික කරගෙන මියගිය අයෙකුගේ ආත්මය බෝනික්කෙකුට (Chucky) ආරුඩ වීම තුළින් සිදුවන්නාවූ සිද්ධි දාමයන් වටා මෙම කතාව නිර්මාණය වී තිබෙයි.
1988 වසරේ දී ප්‍රථම වරට ප්‍රදර්ශනය ආරම්භ කරන ලද Child's Play සිනමාපටයේ තිබු සාර්ථකත්වය හේතුවෙන් සිනමාපට ත්‍රිත්වයක්ම එහි ප්‍රථම කතාව පාදක කරගනිමින් නිර්මාණය විය. Child's Play (1988) / Child's Play 2 (1990) / Child's Play 3 (1991) ලෙස පෙළ ගැසෙමින් පැමිණීමේදී ඉන් අනතුරුව Don Mancini විසින් Tiffany නම් තවත් කාන්තා බෝනික්කෙක් හඳුන්වා දෙමින් ප්‍රථම සිනමාපට පෙළට වඩා නැවුම් කතාවක් Bride of Chucky (1998) හරහා රැගෙන ආවේය. එහිදී Chucky නම් බෝනික්කා Tiffany නම් කාන්තා බෝනික්කා සමඟ පෙම්වතුන්ව විවාහපත් වන අයුරෙන් සිනමා නිර්මාණය හරහා වෙනස් අත්දැකීමක් ප්‍රේක්ෂකයන් වෙතට රැගෙන එන්නට සමත්විය.එයින් අනතුරුව 2004 වසරේදී Seed of Chucky නිර්මාණය ප්‍රදර්ශනයෙන් අනතුරුව VOD යටතේ තවත් සිනමාපටය දෙකක් ලෙසින් Curse of Chucky (2013) , Cult of Chucky (2017) දී Don Mancini විසින් නිර්මාණය කරන ලදී. 1988 වසරේ නිර්මාණය වූ Child's Play සිනමාපටය හැරෙන්නට ඉතිරි සිනමාපට සියල්ලෙහිම බෙදා හැරීම Universal Pictures සමාගම හරහා සිදුවිය. පසුව 2019 වසරේදී නැවත වරක් ප්‍රතිනිර්මාණයක් ලෙසින් Child's Play සිනමාපටයක් ලෙසින් නිර්මාණය වුවත් ප්‍රථම සිනමාපටය මෙන් ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණයට කතා බහට පාත්‍ර වුයේ නැත.
2021 නැවත වරක් මිනීමරු බෝනික්කා පැමිණෙයි.
Chucky නම් බෝනික්කාගේ චරිතය පාදක කරගනිමින් නිර්මාණය වූ සිනමාපට කිහිපයම බිහි වීමට අදාළ වන කතාව නිර්මාණය කරන ලද්දේ Don Mancini විසිනි. විවිධ වූ අධ්‍යක්ෂකවරුන් යටතේ Chucky බෝනික්කා ගේ චරිතය හරහා සිනමාපට නිර්මාණය වුවත් 2021 වසරේදී සාර්ථක රුපවාහිනී කතා මාලාවක් ලෙසින් Chucky පැමිණ තිබෙයි.
2021 වසරේ ඔක්තෝම්බර් මස 12 වන දින සිට ප්‍රදර්ශනය ඇරඹි Chucky රුපවාහිනී කතා මාලාව Child's Play film franchise හා සම්බන්ධ කරමින් Don Mancini විසින් නිර්මාණය කරන ලද්දකි. එමෙන්ම හත්වන සිනමාපටය වූ Cult of Chucky සිනමාපටයේ අනුප්‍රාප්තිකයක් ලෙසින් මෙය ප්‍රේක්ෂකයන් වෙත පැමිණි අතරම මේ වන විටත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයන් සමඟ USA Network නාළිකාව හරහා ප්‍රදර්ශනය වෙමින් තිබෙයි.
අද වන විට Chucky රුපවාහිනී කතා මාලාවේ කතාංග 6ක් විකාශය වී තිබෙන අතර තවත් කතාංග දෙකකින් පළමුවෙනි කතා මාලාව අවසන්වෙයි. එයින් පසුව 2022 වසරේ ජනවාරියේ සිට දෙවන කතා මාලාව ප්‍රදර්ශනය කිරීමට සමාගම විසින් සැළසුම් කරමින් තිබෙයි.
දැනට විකාශය වූ සහ විකාශය වීමට ඇති කතාංග
1. Death by Misadventure
2. Give Me Something Good to Eat
3. I Like to Be Hugged
4. Just Let Go
5. Little Little Lies
6. Cape Quee
7. Twice the Grieving, Double the Loss - November 23, 2021
8. An Affair to Dismember - November 30, 2021
1988 වසරේ සිට 2019 දක්වා තිරගත වූ සිනමාපට අතුරෙන් Chucky රුපවාහිනි කතා මාලාව සමඟ ප්‍රේක්ෂකයන් මේ වන විටත් රොඳ බැඳ ගන්නේ නව තාක්ෂනය සමඟ නැවුම් වූ කතාවක් හරහා පැරණි මිනීමරු බොන්නික්කා දෙඇස් මානයේ නැවත දැකගන්න ලැබෙන නිසාවෙනි.
Chucky රුපවාහිනි කතාමාලාවේ සාරාංශය
Jake Wheele යනු වයස 14ක කඩවසම් පෙනුමැති යෞවනයෙකි.ඔහු සමරිසි අයෙක් ලෙස ජිවත් වීමට කැමැත්තක් දක්වන්නෙකු වූ අතරම ඔහු පාසල් ශිෂ්‍යයෙකි. පාසලේ ව්‍යාපෘතියක් උදෙසා Jake විසින් බෝනික්කන් රැසකගේ එකතුවෙන් මුර්තියක් නිර්මාණය කරන අතර ඒ ගැන Jakeගේ පියාට ඇත්තේ තදබල තරහවකි.තම පුතා බෝනික්කන් සමඟ සෙල්ලම් කරන සමලිංගික තරුණයෙක්ය යන්න ඔහු සැමවිටම කොපවන්නට විය. දිනක් නිවසට යාබදව තිබු පැරණි බඩු විකුණන ස්ථානයකින් ඉතා අඩු මුදලකට Jake හට Good Guy නම් බෝනික්කෙක් මිලදී ගැනීමට හැකිවිය. ඔහුගේ බලාපොරොත්තුව වුයේ එම බෝනික්කාද තමා විසින් නිර්මාණය කරනු ලබන මුර්තිය වෙනුවෙන් එකතු කරගැනීමටයි. නමුත් මේ සියල්ලම ඉවසීමෙන් බලා සිට ඉවසීමේ රතු කට්ට පැන්න Jakeගේ පියා විසින් මුර්තිය සුනු විසුනු කරමින් නැවත වරක් බෝනික්කන් නිවසට රැගෙන ඒම Jakeට තහනම් කරනු ලැබීය.
Junior යනු Jake ගේ ඥාති සොහොයුරෙකි. සම වයසේ සිටින ඔහු ඉගෙනුමට මෙන්ම ක්‍රීඩාවටද දක්ෂ අයෙකි. ඔහුගේ පෙම්වතිය Lexy ය.පසුදා පාසලේදී Junior සහ Lexy එකතුව Jake හට අපහාස කරමින් කරදර කරන්න පටන් ගන්නේ ඔහු සමලිංගිකයෙක් ලෙස හංවඩු ගසමිනුයි. එදින තමා අලුතෙන් මිලදී ගත් බෝනික්කාද ඔහු අත විය. පාසලේ පවත්වනු ලබන Talent Show (දක්ෂතා එළිදක්වන) ප්‍රසංගයේ දී එදින නිවේදිකාවක් ලෙසින් Lexy කටයුතු කරන අතර ඇය විසින් Jake ව වේදිකාවට පැමිණෙන ලෙස ආරාධනා කරන්නේ ඔහුව නරඹන්නන් අතර විහිළුවකට ලක් කරමිනුයි. පසුව Jake වේදිකාවට පැමිණෙන අතර ඔහු අත පෙර දින මිලදී ගත් බෝනික්කා ද විය.පසුව වේදිකාව මත දී බෝනික්කා කතා කරන්නට පටන් ගන්නා අතර Lexy ඇතුළු බොහෝ දෙනෙකුව උපහාසයටත් බලා සිටින පිරිස පුදුමයටත් පත් කරවන්නට සමත් විය. නමුත් නරඹන්නන් ඇතුළු සියල්ලෝම මෙය Jake විසින් කරන ලද රූකඩ සංදර්ශනයක් යයි සිතුවද එය එළෙස නොවීය. ඉබේටම කතා කරන බෝනික්කෙක් Jake අත විය. එය Jake ට පුදුම සහගත දෙයකි. මේ සියල්ලෙන් අනතුරුව Jake හට පාසලෙන් දඬුවම් කාලයක් ද ලැබෙන්නේ නැවත දන්වන තුරු පාසලට නොඑන ලෙසයි. එහෙත් ඔහුට හමුවූ අලුත් බෝනික්කා වූ Chucky හට කතා කිරීමට මෙන්ම තවත් බොහෝ දේවල් කිරීමට හැකි අයෙක් ලෙස Jake දැනගනු ලබයි.
Jake අතින් Lexy ට සිදුවූ අපහාසය හේතුවෙන්ම ඔහු හා තරහාවෙන් සිටි Junior අතර ඇති වූ උණුසුම් කතා බහෙන් Junior විසින් Jake ට පහරදෙනු ලබයි. එමෙන්ම මේ ගැන දැනගන්නා Jake ගේ පියාද ඔහුට පහරදෙනු ලබන්නේ පැරණි කේන්ති සියල්ලම සමඟයි. නමුත් අවසානයේදී Jake ගේ පියා මිය යන්නේ අහඹු ලෙසින්ය. ඒ විදුලි සැර වැදීමෙනුයි. මේ සියල්ල පිටුපස සිටින්නේ Good Guy නොහොත් Chucky ය. Jake ගේ පළාතේ වසර ගණනාවකට ප්‍රථම ජීවත් වූ ධාම ඝාතකයෙක් වූ Charles Lee Ray ගේ ආත්මය Chucky තුළ විය. ඔහුගේ එකම කැමැත්ත මිනිසුන්ව මරා දමා සතුටුවීම පමණකි. එමෙන්ම දිනක් Chucky විසින් Jake ගේ මනසට Lexy ව මරා දමන ලෙසට විවිධ වූ අයුරෙන් කැමැත්තක් ඇතිවන පරිදි යෝජනාවන් ගෙනෙනු ලබයි. නමුත් Jake යනු අහිංසක කොල්ලෙකි. නමුත් Chucky යනු අහිංසකයෙකු නොවෙයි.
Jake හට හිරිහැර කරන ලද Lexy හට කුමක් සිදුවෙයිද?
Chucky විසින් පැමිණෙන Charles Lee Ray ගේ ආත්මය විසින් ජිවිත කීයක් බිලි ගනීවිද ?
මේ සියල්ලේ වරද කුඩා Jake හට පැවරේවිද ?
Jake ට මේ සියල්ල හමුවේ මුහුණ දීමට සිදුවන්නේ කුමක්ද?
සහ Charles Lee Ray ගේ අප සිනමාපටයේ නොදුටු ජිවිත කතාවද Chucky රුපවාහිනි කතා මාලාව තුලින් ප්‍රේක්ෂක ඔබට සමීප වෙයි.
මෙහි ප්‍රධාන චරිතයන්ගෙන් Zackary Arthur, Björgvin Arnarson, Alyvia Alyn Lind, Teo Briones, Brad Dourif එකතුවන අතරම තවත් බොහොම රංගන ශිල්පීන් ශිල්පිණියන් ඉදිරියටත් එකතු වෙමින් සිටියි, PG 13 එහෙමත් නැතිනම් වයස 13න් ඉහළ අයට සුදුසු ටෙලි නිර්මාණයක් වන මෙය දෙමවුපියන්ගේ අනුමැතිය ඇතිව නැරඹිය යුතුවෙයි. කුඩා දෙයකත් භයට පත් වන අය Chucky රුපවාහිනි කතා මාලාව නැරඹීමෙන් වළකින ලෙස අප ඉල්ලා සිටින්නෙමු.
මේ වන විට IMDb අගය 7.5ක් ලබා ගැනීමට සමත්කම් ලබන Chucky රුපවාහිනි කතා මාලාව ලොව වටා සිටින ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනා ගනිමින් විකාශය වෙයි. Child's Play සිනමාපටයට ආදරය කල අයෙක් නම් ඔබත් , අනිවාර්යෙන් Chucky රුපවාහිනි කතා මාලාවද නැරඹිය යුතුම එකකි.
0 Comments