සිහිනයෙන් දුටු අභිරහස් මරණයේ ඝාතකයා සොයා
"Last Night in Soho"
18+
කෘතුහලය පිරුණු වෙනස් විදියේ රසයක් ලබන්න කැමති වැඩිහිටි උදවියට සීමා වූ Psychological horror වර්ගයේ සිනමාපටයක් ලෙසට මෙම වසරේ ඔක්තෝම්බර් 29 වන දින ප්‍රදර්ශනය ආරම්භ කළා වූ "Last Night in Soho" හඳුන්වා දීමට හැක.Scott Pilgrim vs. the World,Baby Driver වැනි සිනමාපට අධ්‍යක්ෂණය කළා වූ Edgar Wright විසින් "Last Night in Soho" සිනමාපටයේ කතාව සහ අධ්‍යක්ෂණය සිදුකර තිබෙයි.එමෙන්ම මෙහි සහය තිර රචනයෙන් Krysty Wilson-Cairns ගේ දායකත්වය ලැබී තිබෙනවා.සිනමාපටයේ බෙදා හැරීම් Universal Pictures සමාගම විසින් සිදුකර තිබෙයි.
"Ellie" යනු නගරයෙන් ඈත පිටිසර ගමක ජිවත් වන තරුණියක්. ඈ ජිවත් වන්නේ තම මිත්තණිය සමඟයි. ඇයගේ මව ඇය කුඩා කාලයේදීම මිය යන්නේ සියදිවි හානී කරගෙනයි. තම මව වගේම Ellie ද ඇඳුම් මෝස්තරකරණයට දක්ෂ තැනැත්තියකි. ඇයගේ ඇඳුම් පවා සකස් කරගන්නේ ඇය විසින්මයි. පැරණි සංගීතයට බෙහෙවින් ඇළුම් කරන ඇය නිතරම පැරැණි ගීත අසන්නට ප්‍රිය කලාය. මෝස්තරකරණයට ඇළුම් කරන නිසාම ලන්ඩනයේ පිහිටි මෝස්තරකරණය උගන්වනු ලබන ආයතනයකට සම්බන්ධ වීමට Ellie හට කැමැත්ත තිබුනද ඇයගේ මිත්තණිය එයට කැමැත්තක් දැක්වුයේ නැත. එයට හේතුව වුයේ ලන්ඩන් නගරයේ ජීවත් වීම නගරය නුහුරු අයෙකුට අපහසු බැවින්ය. ඒ වගේම නගරයේ ජීවත් වන පිරිස් ගැන මිත්තණිය ගේ සිතේ තිබුණේ අප්‍රසන්න හැඟීමකි. තම දියණියගේ ජීවිතය අකාළයේ නැති වී යාමටද ලන්ඩනය එක හේතුවක් වූ බව ඈ දනී.තම මිණිපිරියට ද එවැන්නකට මුහුණ දීමට සිදුවේවී යන්න ඈ බිය වුවාය.නමුත් මේ සියල්ල වෙනස් වන්නේ ලන්ඩනයේ සිට එන කැඳවීම් ලිපිය නිසාය. Ellie හට ඇඳුම් මෝස්තරකරණය උගන්වනු ලබන පාසලෙන් ලැබෙන කැඳවුම සමඟ Ellie ලන්ඩනය බලා පිටත්ව යන්නේ දහසකුත් බලාපොරොත්තු පොදි බැඳගෙනයි.
ග්‍රාමීය බවත් සමඟ ලන්ඩනයට එන Ellie හට හැමදෙයක්ම අළුත්ය. ඈ දෙස පාසලේ ශිෂ්‍යාවන් බලන්නේද නුහුරටයි. ඒ ඇයගේ ඇඳුම් ආයිත්තම් හේතුවෙනි. ඇයට නවාතැන් ලබා ගන්න හැකි වුයේ කාන්තා නේවාසිකාගාරයකයි. විවිධ වර්ගයේ හොඳ සහ නරක ශිෂ්‍යාවන් බොහොමයක් එහි පදිංචිව සිටියාය. ඔවුන් ගේ ක්‍රියාකලාප වලට ඇල්මක් නොදැක්වූ Ellie තමා හට තනිව ජිවත් වීම උදෙසා සුදුසු තැනක් සොයන්නට විය. ඔය අතර තුරේ ලන්ඩනයේ තිබෙන පැරණි නිවසක කුළි පදනම යටතේ සුවපහසු කාමරයක් ඇයට සොයාගන්නට හැකි විය.නිවසේ අයිතිකාරීය වයස්ගත ගැහැනියක් වූ අතර නිවසේ උඩුමහලේ වූ කාමරයක Ellieහට නවාතැන් ගැනීමට සැලැස්වීය.
Ellie ගේ කාමරය දවල් මෙන්ම රාත්‍රී කාලයට ද අඳුරක් නැත. ජනේලයෙන් වැටෙන නිල් රතු නිවී නිවී දැල්වෙන නාම පුවරුවේ ආලෝකය රෑ එළි වන තුරාවට කාමරය එළිය කළාය. සුවපහසු නින්දක් කාලයකට පසුව ලබා ගැනීම උදෙසා Ellie තම අළුත් කාමරයේ නිදන ඇඳ මතට වැටි මොහොතක් සිටියාය. නමුත් ඒ මොහොතකට පමණි.
ඇය සිහිනයක් හරහා Café de Paris නම් වූ ලන්ඩනයේ තිබෙන රාත්‍රී සමාජ ශාලාවක් ඉදිරියේ සිටගෙන ඉන්නට විය.එම වර්ෂය 1960 දක්වා වූ අතීතයකි. මහ මාර්ගයේ ධාවනය වුයේ පැරණි රථ වාහනයි. විදී දිගේ ඇවිද ගිය පිරිසද එම දශකයේ ඇඳුමෙන් පැළඳුමෙන් සැරසී සිටියෝය. ඈ හට තවත් අරුම පුදුම දෙයක් දැකගන්නට ලැබෙන්නේ රාත්‍රී සමාජ ශාලාව තුළට ගිය පසුයි. බෝනික්කියක් මෙන් ලස්සන ලා ක්‍රීම් පැහැයට හුරු කොණ්ඩයකින් සැරසුණු තරුණියක් Ellie හට දැකගන්නට ලැබීය. ඇය නමින් Sandie විය.අපූරු රෝස පැහැති ගවුමකින් සැරසී සිටි ඇය සමාජ ශාලාව තුල සිටි පිරිසගේ නෙත් වලට ක්ෂණයෙන් හසුවිය. ඈ සැබවින්ම ලස්සන තරුණියකි.
Sandie ගේ කැමැත්ත ගායිකාවක් වීම සහ නර්ථන ශිල්පිණියක් වීමයි. ඉතින් ඇය මෙළෙස පැමිණෙන්නේ ඒ දේ වෙනුවෙනුයි. ශාලාව කොණක වී සිටි කළමණාකරු වන teddy boy ව හමුවන ඇය ඉතාමත් ඉක්මණින් ම කුළුපගු වෙමින් ප්‍රේමවන්තයන් බවට පත්වෙනු ලබයි. මේ හමුවීමත් සමඟම නැවත නින්දෙන් අවදිවන Ellie ඇය සිහිනෙන් දුටු කතාවට වගේම Sandie ගැන කැමැත්තක් ද ඇතිවෙනවා. Ellie මෙවැනි සිහිනයක් තුළින් සැබෑ ලොවකට ගිය පළමු අවස්ථාවද මෙයයි. ඒ සිහිනය Ellie ට දැනුණේ සැබවින්ම සිදුවූවක් ලෙසයි.
උදෑසනම පාසල වෙතට යන Ellie විසින් සිහිනෙන් දුටු Sandie හැඳ සිටි ගවුම චිත්‍රයට නඟන අතර එය නිර්මාණය කිරීමට Ellie උත්සහයක යෙදෙනවා. Ellie එදා රාත්‍රියේ දී ඉක්මණින්ම නින්දට වැටෙන්නේ පෙරදා දුටු සිහිනය නැවත දැකීමට හැකිවේවී දෝ සිතායි. ඒ තරමට ඇයට පෙර දින දුටු සිහිනය කෙරේ කැමැත්තක් ඇතිව තිබුණේය. පෙර දින වගේම ඈ එදා රාත්‍රියේදීත් Sandie ව සිහිනය තුළ දකින්නට විය. නමුත් මේ සිහිනය තුළ යන ගමනේදී Ellie ටත් නොතේරීම ඇය සිරවෙන්නට පටන් ගෙන තිබෙයි. එයින් මිදෙන්නට විදියක් නැති තරම්ය. හැමවිටම ඇයගේ මනස තුල Sandie සහ ඒ වටා සිටි පිරිස දැකගන්න ලැබෙනවා සේම Sandie ගේ ජිවිත කතාව තුළ Ellie හට ජීවත් වීමට සිදුවෙනවා. එය Ellie හට මානසිකව බලපාන අතරම Sandie ගේ ජීවිතය ලන්ඩනයේ අඳුරත් සමඟ ගිල ගන්නා බව ඇයට වැටහෙන්නට පටන් ගන්නවා. නමුත් සිහිනෙන් දකින Sandie ව ඒ දේවල් වලින් බේරා ගන්නට Ellie උත්සාහයක යෙදුණත් ඒ සියල්ලම නිෂ්ඵල එකක් බවට පත්ව යනවා.
තවත් දිනයක රාත්‍රියේ Ellie බිහිසුණු රූපයන් දකින්නේ Sandie ගේ මරණයයි. තම සයනය මත ඈ මරා දමනු ඇය දකිනවා.නමුත් ඇයව බේරාගැන්මට මඟක් නොමැති වෙන අතරම තමා මේ දකින සිහින ගැන Ellie බියට පත් වනු ලබනවා. නමුත් මේ සියල්ල සිහිනයන් නොවන වග තේරුම් යන්නේ කිසිදිනෙක තමන් පය නොතැබූ ලන්ඩනයේ තවමත් තිබෙන Café de Paris හි පැරණි ගොඩනැඟිල්ල සැබවින්ම දකින්නට ලැබෙන විටයි. එයින් තව තවත් බියට පත්වන Ellie සිතනුයේ තමන් සිහිනය තුළ දකින සියල්ලම 1960 වකවානුව තුල සිදුවූ සත්‍ය සිදුවීමක් ම විය හැකිය යන්න කියායි. මේ හේතුව නිසාම ඈ 1960 වසරේ ජිවත් වූ Sandie නම් තරුණිය ගැන සෙවීමටත් තමාගේ මනසට මෙතරම් බලපෑම් කරන අතීතයක් සොයා යන්නට පෙළඹෙන්නේ Sandie ගේ මිනීමරුවා තවමත් නිදැල්ලේ සිටින වග ඇයට සිතෙන නිසායි ...
Ellie දකින සිහින සැබෑවක්ද?
Sandie යනු සැබෑවටම ලන්ඩනයේ ජීවත් වූ තරුණියක් ද?
1960 වසරේ වූ මිනීමැරුමකට සිහිනයක් සාක්ෂි වූ කල ඒ තුළින් මිනීමරුවෙකු සොයා යා හැකිද?
මේ සියල්ල Ellie විසඳා ගන්නේ කෙසේද?
වෙනස්ම කතාවක් හරහා අපුරු සංගීතය මුසුව සැමවිටම ප්‍රේක්ෂකයන් ගේ සිතට කෘතුහලයක් එක් කරමින් නිර්මාණය වූ "Last Night in Soho" සිනමාපටය හරහා මේ සියල්ලටම පිළිතුරු ඔබට සොයාගන්නට හැකියාව ලැබෙනවා.එමෙන්ම විශේෂ කරුණ නම් මෙහි රංගනයෙන් දායක වන ශිල්පිණියන් දෙදෙනා ම විශිෂ්ඨ අයුරෙන් එම චරිත සඳහා ආරූඩ වීමයි. සංස්කරණය සහ කැමරාකරණය තුළද අපුරත්වයක් ගොඩ නැඟෙන සිනමාපටයක් සේම නැවුම් ආකාරයේ සිනමාපට නැරඹීමට කැමති වැඩිහිටි සැමටම "Last Night in Soho" අමුතුම රසයකි.
0 Comments