කෙල්ලෙක් වගේ කොල්ලෙක් ද ? කොල්ලෙක් වගේ කෙල්ලෙක් ද ? "Rashmi Rocket"



"Rashmi Rocket" සිනමාපටයට වක්‍රාකාරව මෙහි කතාව සඳහා යොදාගෙන තිබෙන්නේ ඉන්දියානු කෙටි ධාවන ශුරියක වන Dutee Chand ගේ ජිවිතයේ සිදුවූ සිදුවීමක් කේන්ද්‍ර කරගනිමිනුයි. ඉන්දියාවේ ප්‍රථම වරට 2019 දී LGBTQ+ ප්‍රජාවේ සාමාජිකයෙකු ලෙස විවෘතව එළියට පැමිණි ඈ මේ සිනමාපටය නරඹන්නන් හට විටෙන් විට සිහිපත් වීම විශේෂ වෙයි.සිනමාපටය අධ්‍යක්ෂණය කරන ලද Akarsh Khurana "Rashmi Rocket" හරහා මළල ක්‍රීඩිකාවන් හට මුහුණ දීමට සිදුවන සිද්ධියක් වටා කතාව ගොනුකර තිබෙන අතර "Rashmi Rocket" ලෙසින් Taapsee Pannu ඇයගේ රංගනයෙන් ඉතා හොඳ සාධාරණයක් සහ ප්‍රේක්ෂක අවධානය මෙහි රඳවා ගැනීමට ගත්තා වූ ප්‍රයත්නය සාර්ථකව තිබෙයි.

Rashmi කියන්නේ ග්‍රාමයක ඉපදුන දරුවෙක්.ආදරණිය පවුලක දියණිය වූ ඇය කුඩා කල සිටම දිවීමට දක්ෂ අයෙකි. Rashmi කෙල්ලෙන් කරන වැඩ වලට වඩා හැමවිටම උත්සහ කලේ කෙල්ලන්ට කරන්නට බැරි කොල්ලන්ට කරන්න පුළුවන් දේවල් කිරීමටයි. ඇය කෙල්ලෙක්ට වඩා කොල්ලෙක් ලෙස ජිවත් වීමට කැමැත්තක් ඇත්තියකි. දිනක් උත්සවයක් සඳහා ඇයගේ මව ඇයට ගවුමකින් හැඩ ව පැමිණෙන්න කියූ විට Rashmi ගවුම හැඳ එයට යටින් දිග කළිසමකින් සැරසී පැමිණෙන්නේ ඇයගේ කැමැත්ත පරිදියි. නමුත් කිසිම විටෙක ඇයගේ දෙමව්පියන් එය වැලැක්වුයේ ද නැත. ආදරය සෙනහස පුරෝගෙන Rashmi ව ලොකු මහත් කරන්නට ඔවුන් වෙර දැරීය .ගමේ සිටින සම වයසේ කොල්ලන්ට වඩා Rashmi දිවිල්ලෙන් හැමවිටම ඉස්සරහින් සිටියාය. ඒ නිසාම ඇයගේ නම අගට Rocket යනුවෙන් සුරතල් නාමයක් පට බැඳුනේ ඈ රොකට් එකකටත් වඩා වේගවත් නිසාය.



Rashmi ගේ දක්ෂතාවයන් නිසාම කුඩා කල සිට විවිධ වූ මළල ක්‍රීඩා වලට සම්බන්ධ වී ජයග්‍රහණ ගන්නා අතර ග්‍රාමය තුළ ඈ බොහෝ සෙයින් ජනප්‍රියත්වයට පත්වූ අයෙක් වෙයි. නමුත් තම පියා අනතුරක් හේතුවෙන් මිය යාම නිසාම ඈ දිවීම නතර කරන්නේ සිතට දැනෙන්නා වූ දැඩි ශෝඛය සහ කම්පනය මුල්කොට ගනිමිනුයි. නමුත් ඇයගේ පියාගේ එකම කැමැත්තද වුයේ දිනෙක ඈ ධාවන ශුරියක් වනු දැකීමයි. පසුව කාලයත් සමඟ තරුණ වියට පත් වූ Rashmi සංචාරකයන් හට මඟ පෙන්වන්නියක් ලෙස රැකියාවේ නිරත විය. ඒ Rashmi Rocket ලෙස නොව ගමේ සාමාන්‍ය ජිවිතයක් ගත කරන Rashmi ලෙසයි.

Rashmi ගේ ගමට කිට්ටුව හමුදා මුලාස්තානයක් විය. එහි භාරව සිටින ජේෂ්ඨ හමුදා නිලධාරියා Rashmi හා ඇයගේ පවුල සමඟ බොහෝ කුළුපගු අයෙක් වන අතරම Rashmi හට තිබෙන සහජ දක්ෂතාවය ගැන හොඳින් දැන සිටි අයෙකි. දිනක් ඇයට ඔහු විසින් හමුදා නිලධාරින් තිදෙනෙක් හඳුන්වා දෙයි. සිරාජ්, බක්ෂි සහ ගගන් වන ඔවුන් හමුදා මළල ක්‍රීඩා කණ්ඩායමේ ධාවකයන් වන අතරම ඔවුන් ව පුහුණු කිරීම් ගගන් විසින් සිදුකරනු ලබයි. ජේෂ්ඨ හමුදා නිලධාරියාගේ ඉල්ලීම පරිදි Rashmi හට ඔවුන් තිදෙනාට ග්‍රාමය පෙන්වීමට අමතරව ධාවනය සුදුසු පථය පෙන්වීමට ඔහු භාර දෙනු ලබයි. පසුදා උදෑසන ගමන අරඹන ඔවුන් බොහෝ දුරක් ගමන් ගන්නේ ගමනාන්තය කෙළවරක් කිරීම උදෙසායි.



සිරාජ් නිතරම තම පෙම්වතිය එවන ලද ගීත වලට සවන් දෙමින් ගමන් කරන අතරම අනෙක් අය ගැන ඔහුට වගක් නැත. ඔය අතර තුරේදී ගගන් විසින් Rashmi හට රොකට් යනුවෙන් පවසන්නේ ඇයි යන්න ඇසුවත් එය පෞද්ගලික කාරණාවක් බවත් ඔහු ඇයගේ හොඳම මිතුරෙක් වුවොත් එය පවසන බවත් කියනු ලබයි. මොකද Rashmi ඒ වන විටත් රොකට්ටුවක් වැනි ධාවනියක නොවන නිසායි. ගීත වලට සවන් දෙමින් ඔහේ ගමන් කරමින් සිටින සිරාජ් නොදැනුවත්ම බිම් බෝම්බ තිබෙන දෙසට ගමන් කරනු දකින Rashmi ඇතුළු පිරිස ඔහු පසු පස එළවමින් යන්නේ එය නවතා ලීමටයි. නමුත් සිරාජ් ට සිංදු මිසක පිරිස ගැන අවධානයක් නැත. බක්ෂි සහ ගගන් වේගවත්ව දුවමින් ඔහුව නවතාලන්නට යද්දී ඔවුන් දෙදෙනාම පසු කරමින් Rashmi දිව ගොස් සිරාජ් ව බේරා ගැනීම ඔවුන් පුදුමයට පත් කල දෙයකි.මේ හේතුවත් සමඟ තමාටත් වඩා වේගයෙන් දුවන Rashmi ගැන ගගන් සිතන්නට විය.


නැවත වරක් Rashmi හට දිවීමට පෙරැත්ත ඇති කරලීමට ගගන් උත්සාහයක යෙදෙන අතර අවසානයේදී ඈ එයට කැමති වන්නේ තමාගේ පියාගේද තිබු ආසාව නිසාවෙනුයි. කැලේ පිපුණු මල් කැලේටම පරවෙන්න නොදී ගගන් ඒ මොහොතේම Rashmiව පුහුණු කිරීම් සඳහා කැපවෙයි. නමුත් Rashmi ගේ දිවීම වේගවත් වුවත් ජාත්‍යන්තර තරඟ වලදී තිබෙන්නාවූ තාක්ෂණික දැනුම නොමැති කමින් ඇයව නගරයේ පිහිටි පුහුණු ස්ථානයකට යොදවන්නේ ද මේ හේතු සමඟයි.


ගමෙන් නගරයට යන Rashmiට මුහුණ පෑමට සිදුවන්නේ ද අනේක වෙනස් ඇසුරන්ය. දක්ෂතාවය කොතරම් තිබුනද කැපවීම තිබුනද ඒ සඳහා තාක්ෂණයද අවශ්‍ය බව ඇයට වැටහෙන්නේ එහි ගියායින් පසුවය. තමන්ට මුණ ගැසෙන කණ්ඩායමේ පිරිස ඈ දෙස බලන විදිය සහ ඇයට සළකන විදියද වෙනස්ය. ඒ ඔවුන්ගේ හැටි යන්න ඇය සිතා ගත්තාය. ඔය අතරතුරේදී තරඟාවලියක් සඳහා Rashmi ඇතුළු කණ්ඩායම එකතු වන අතරම Rashmi හට කෙටි ධාවන ශුරියක් ලෙසින් රන් පදක්කම් තුනක් හිමි කරගැනීමට සමත්කම් කියන්නේ සියල්ලන්ම මවිත කරවමිනුයි. ඇයගේ ධාවන වේගය අනෙක් අයට වඩා බොහොම ඉදිරියෙන් තිබෙන අතර කෙටි කලකින් ඈ සියලුම ඉසව් නිමාවක් කරන්නේ ඇයගේ තිබෙන සහජ දක්ෂතාවය සහ කැපවිමම මතයි. නමුත් මේ සතුට හැමදෙයක්ම මොහොතකින් වෙනස් වන්නේ Rashmi හට පරීක්ෂණයක් සඳහා මුහුණ දීමට ක්‍රීඩා තරඟාවලියේ කමිටුව විසින් කරන්නාවූ ඉල්ලීමත් සමඟයි. ඒ ලිංග පරීක්ෂණයක් නොහොත් ‘Gender testing’ එකක් සඳහායි. මේ හේතුවත් සමඟම Rashmi ගේ ජීවිතය නොසිතු අයුරෙන් වෙනසකට පත් වෙයි. ඇයගේ ඉරණම කෙසේ නම් විසඳේවිද?

Rashmi යනු ගැහැණියක්ද?

Rashmi යනු පිරිමියෙක් ද?

Rashmi යනු පිරිමි වෙසින් සිටින ගැහැණියක් ද?

Rashmi යනු ගැහැණු වෙසින් සිටින පිරිමියෙක් ද?

Rashmi හට සිදුවුයේ කුමක්ද යන්න දැනගන්න නම් අනිවාර්යෙන් ඔබට "Rashmi Rocket" සිනමාපටය නරඹන්න කියා අප ආරාධනා කර සිටිනවා.

සැමවිටම අභියෝගාත්මක සිනමාත්මක චරිතයන්ට එකතු වීමට දැඩි උනන්දුවක් තිබෙන Taapsee Pannu "Rashmi" ලෙසින් ප්‍රධාන චරිතය ට එක්වන අතර Priyanshu Painyuli, Abhishek Banerjee, Shweta Tripathi, Supriya Pathak, Manoj Joshi ඇතුළු තවත් බොහෝ පිරිසක් සිනමාපටය හා එක්ව තිබෙයි. සිනමාපටයේ කතාව සැමවිටම කෘතුහලය තුළ රැගෙන යන අතර සිනමාපටය අවසානය ඉතා අපුරුවට අවසානයක් ලබා දීමට සිනමාපටයේ කතා තිර රචනයෙන් Kanika Dhillon, Akarsh Khurana, Aniruddha Guha සමඟ Lisha Bajaj සමත් වී තිබෙනවා. සිනමාපටයේ කතා සංකල්පය Nandha Periyasamy විසිනි.

සිනමාපටයේ සංගීතය Amit Trivedi විසින් සිදුකර තිබෙන අතර 2021 වසරේ ඔක්තෝම්බර් 15 වන දින සිට ZEE5 නාළිකාව හරහා ප්‍රදර්ශනය ආරම්භ විය. මේ වන විට IMDB අගය 7.7ක් ලබා ගෙන තිබෙන අතර ප්‍රේක්ෂක ප්‍රතිචාර සහ විචාරක ප්‍රතිචාර යහමින් ලැබෙමින් තිබෙන සිනමාපටයකි.



වෙනස් වූ කතා වලින් අනූන සිනමාපට නරඹන්න කැමති බොහොමයක් දෙනා හට "Rashmi Rocket" යන්න තවත් නවමු අත්දැකීමක් වේවි. සැමවිටම අළුත් නිර්මාණ ගැන කතා කරන Art Street කලා වීදියේ අපි ඔබට තව තවත් නැවුම් වූ නිර්මාණ, සිනමාපට ගැන බොහෝ දේ ඔබ සමඟ බෙදාගන්නට සිටින්නෙමු.

අපේ Art Street කලා වීදිය Blog පිටුව වගේම අපේ Face Book සමුහයටත් ඔබට එකතු වීමට ආරාධනා කරන්නෙමු.




Post a Comment

0 Comments