2021 දෙසැම්බර් 24 වන දා සිට Netflix හරහා ප්‍රදර්ශනය වීම් ඇරඹි "Minnal Murali" සිනමාපටය මේ වන විටත් සමාජ මාධ්‍ය ජළා තුළ බොහෝ විට කතා කරන සිනමාපටයක් වී හමාරයි. එමෙන්ම "Minnal Murali" සිනමාපටය මලයාලම් සිනමාවේ වැඩිම ආධායමක් ලද දෙවැනි සිනමාපටය ලෙසින් එකතු වී ඇත. "Minnal Murali" මේ වන විට ගෝලීය ආන්දෝලනයක් බවට පත්ව තිබෙන්නේ ඉංග්‍රීසී භාෂිත නොවූ වැඩිම පිරිසක් නැරඹු සිනමාපටයක් ලෙසින් Global Top 10 අතරට පැමිණීම හේතුවෙනුයි. මෙය මලයාලම් සිනමාවේ විශාල ජයග්‍රහණයක් සහ සුවිශේෂී අවස්ථාවකි.
සම්මානනීය නළුවෙක් සේම කෙටි සිනමාපට නිර්මාණය කරමින් ප්‍රේක්ෂකයන් අතරට පැමිණි Basil Josephගේ කුළුඳුල් සිනමාපටය "Minnal Murali" හි ප්‍රධාන චරිතය සඳහා මොළිවුඩ් හී ජනප්‍රිය රංඟන ශිල්පී Tovino Thomas එකතු වී තිබෙන අතර අනෙක් ප්‍රධාන චරිතය සඳහා Guru Somasundaram එක්ව තිබෙයි.
ලෝක සිනමාවේ සුපිරී වීරයන් බිහි වෙද්දී ඉන්දියානු සිනමාව තුළද විටෙන් විට සුපිරී වීරයන් අපට දැකගත හැකිව තිබෙනවා. Krrish (හින්දි) , Ra.One (හින්දි), Hero (දෙමළ), Enthiran (දෙමළ), A Flying Jatt (හින්දි) මේ ඉන් කිහිපයක් පමණි. මලයාලම් සිනමාවේ ප්‍රථම සුපිරි වීර චරිතය බිහි වන්නේ නැවත වරක් ඉන්දියානු වීර කරළියට වෙනස්ම ආරේ වීරයෙකුගේ ප්‍රවේශයෙනි. විශාල තාක්ෂණයක් සහ විශාල ප්‍රමාණයේ පිරිවැයකින් තොරවම "Minnal Murali" 2019 වසරේදී නිෂ්පාදන කටයුතු ආරම්භ කරන ලදී. 2021 සැප්තැම්බර් මස රිදී තිරයේ දිග හැරීමට තිබුණ මෙම සිනමාපටය සීතල දෙසැම්බරයේදී Netflix හරහා ප්‍රදර්ශනය ඇරඹුණේ පවතින කොවිඩ් වසංගතය හේතුවෙනි. සිනමාපටය මලයාලම්, දෙමළ , හින්දි, තෙලිඟු, කන්නඩා සහ ඉංග්‍රීසි බසින් නැරඹීමේ හැකියාව ද Netflix හරහා ලබා දී තිබෙයි.
" මාමේ ඔයා ස්පයිඩර් මෑන් , බැට් මෑන්, සුපර් මෑන් ලා ගැන අහලා තියනවාද ? " මේ ප්‍රශ්නේ දවසක් ජේසන් මාමාගෙන් අහන්නේ එයාගේ අක්කගේ පුතා.
ජේසන් මාමා අන්දමන්ද වෙලා " නෑ .. කවුද ඒ කට්ටිය " කියලා පොඩි එකාගෙන් අහන්නේ DC , Marvel කියන කිසිම දෙයක් ගැන නොදන්නා ගමේ ජිවත් වන සාම්ප්‍රදායික ගැමියෙක් විදියටයි.
" ඒවා දැනගන්න ටිකක් මොළේ ඕනේ " පොඩි එකා මහා ලොකු කතාවක් කියන්නයි ලැහැස්තිය.
" එකට චිත්‍ර කතා පොත් කියවන්න ඕනේ " පොඩි එකාගෙන් මාමාට ලැබෙන ඔවදන්.
" සුපිරි බලයක් තියන අයට ඉංග්‍රීසියෙන් සුපර් හීරෝ කියලා කියන්නේ.මළයාලම් වලින් sūppar hīṟēā කියලා තමා කියන්නේ. "
පොඩි එකාගේ පණ්ඩිත වදන් ජේසන් මාමා ට නම් වෙනම ලෝකයක්.
" මකුළුවෙක් කාපු නිසා ස්පයිඩර් මෑන් හදුනානේ.."
" බැට් මෑන් ගැන නම් මම හරියටම දන්නේ නෑ.. "
" සමහර විට ක්‍රිකට් ගහද්දි කවුරු හරි බැට් එකකින් ඔලුවට ගහන්න ඇති. එහෙම තමා වෙන්න ඇත්තේ.. " පොඩි එකාගේ අතොරක් නැති කතාව අවසන් වෙන්නේ මාමා ගේ ඔලුවට දහසකුත් ප්‍රශ්න එක්කයි.
" දැන් එතකොට ඔය කට්ටිය කොහෙද ඉන්නේ " හැමදේම අහං ඉඳලා ජේසන් මාමා පොඩි එකාගෙන් එහෙම අහනවා.
" මාමේ.. එයාලා ඉන්නේ ඇමරිකාවේ.. ඇමරිකාව බේරන්නේ ඒ කට්ටිය.." පොඩි එකා සියල්ල දත් වගේ මාමා අහපු දේට උත්තර දෙනවා.
" ඇත්තට..? " පොඩි එකාගේ උගත් කම ගැන පුදුම වෙමින් ජේසන් මාමා ආයේ තහවුරු කරගන්න අහනවා.මොකද ජේසන් මාමා ගේ හිතෙත් ඇමරිකාවේ යන්න ලොකු අදහසක් තියෙනවා. පොඩි එකාගේ තහවුරු කිරීමත් සමඟ ජේසන් මාමාගේ මුහුණට සිනහවක් එනවා.
" මම එහෙ ගියාම බලන්නම් " ඒ ජේසන් ගේ ඇමරිකා හීනයට එකතු වූ තවත් ආසාවකි.
" දැන් එහෙම අය ඇමරිකාවේ විතරක් නෙමෙයි ඉන්නේ. අපේ රටෙත් සුපිරි වීරයෙක් ඉන්නවා. " පොඩි එකා එහෙම කියද්දී ජේසන් මාමා පුදුමෙන් අහන්නේ " ඒ කවුද " කියලා ..
" ඒ ඔයානේ මාමේ.." පොඩි එකා එහෙම කියන්නේ හරි උජාරුවෙන්.
මේ කෙටි අපුරූ දෙබස් කිහිපය අපට අහන්න දකින්න ලැබෙන්නේ "Minnal Murali" සිනමාපටයේදීයි. ඇත්තටම ජේසන් මාමා කොහොමද සුපිරී වීරයෙක් වුණේ සහ ඔහුට කළ හැකි දේ මොනවාද යන්න මේ සිනමාපටයේ අපූරුවට ගොඩනඟා තිබෙනවා. සුපිරි වීරයා වගේම ප්‍රති විරුද්ධ චරිතය වන සතුරා තුළද අපි නැරඹු සුපිරී වීර (Super Hero) සිනමාපට වල මෙන්ම බලයන් (powers) ගොඩනංවා තිබෙනවා.
කුරක්කන්මෝල යනු කේරළයේ පිහිටි එක්තරා ගම්මානයකි . මේ ගම්මානයේ ජේසන් නමැති තරුණයෙක් ජිවත් වෙන අතර ඔහු ඇඳුම් මසන්නෙක් ලෙස කටයුතු කරන අයෙකි. ඔහුගේ එකම කැමැත්ත වුයේ ඇමරිකාවේ යාමටයි. ගමේ පොලිස් නිළධාරියෙකුගේ දියණියක සමග හාද කමක් පැවැත්තු ඔහු අවසානයේ දී ආදරයෙන් පරාජිත වන්නේ ප්‍රේමවන්තිය වෙනත් පුරුෂයෙක් සමඟ විවහා වීමත් සමඟයි.
එයින් කේන්තියට පත් වන ජේසන් තම පෙම්වතියගේ නිවසට පැන වදින්නේ ගහමරා ගෙන තමාට කළ වංචාවේ වාඩුව ලබා ගැනීමටයි. ඔය අතර තුරේදී අහසින් කඩා පහත් වූ අකුණු පහරක් ජේසන් ගේ ඇඟේ වැදී ඔහු සිහසුන් වෙන්නේ ක්ෂනයකිනුයි. ගමේ පිරිස ජේසන්ව ඉක්මණින් රෝහල් ගත කරන අතර වෛද්යවරුන් ගේ පරික්ෂාවට ලක් වීමෙන් අනතුරුව ඔහුට කිසිඳු ආභාධයක් නොමැති බව දැනගන්නට ලැබෙයි.එයින් පසු නැවත නිවසට පැමිණෙන ජේසන් හට වෙනදා නොඇසුණු කුඩා ශබ්ධ පවා ඇසෙන්නට ගනී. අකුණු සර වැදීමෙන් පසුව තමාට කුමක් හෝ වෙලා යන්න හිතට ආවත් ඔහුට විශාල ශක්තියක් ලැබී ඇති බව දැනගන්නේ තම සහෝදරියගේ ස්වාමි පුර්ෂයාට ලිඳ කඩාගෙන යන්න ගහපු පොඩි තල්ලු කිරීම සමඟයි. එයින් පසු නම් ජේසන්ට සිදුවන්නේ එක එක දේවල්. ජේසන් ගේ සුපිරි බල ගැන සොයන්න පෙළඹෙන්නේ සහෝදරියගේ පණ්ඩිත පුත්‍රයා. කොහොමෙන් කොහොම හරි ඒ දෙන්නා එක්ක එකතු වෙලා ජේසන් ට පියාඹන්න බෑ .. එක එක බඩු භාණ්ඩ මනසින් හොලවන්න , ඉලක්ක කරන්න එහෙම පුළුවන් කියලා හොයා ගන්නවා. ඔහොම ඉන්න අතර තුරේදී ගමේ එක එක සිද්දි සිද්ධ වෙන්න පටන් ගන්නවා.ඒ දේවල් නම් හොඳ විවිදයට සිද්ධ වුනේ නැහැ. හැබැයි මොනයම් හෝ අපරාධයක් වූ තැන "මින්නල් මුරලි" කියන නම කොහේ හෝ සටහන් වෙලා තියනවා.
"මින්නල් මුරලි" බිහිවෙන්නේ මෙන්න මේ වගේ කතාවක් එක්ක. මහා ලොකුවට තාක්ෂණය මුසු කරගනිමින් DC , Marvel , එහෙමත් නැතිනම් Ra.One වගේ නිර්මාණය නොවුනත් Basil Joseph විසින් අපුරු චරිත දෙකක් එක්ක සිනමාපටයට අවශ්‍ය පරිදි තාක්ෂනය ගොඩනංවා ගෙන තිබෙනවා. එයින් සිනමාපටයට කිසිඳු හානියක් නොවන තරම්. අපිට වුණත් මේ විදියට බලයක් ශක්තියක් ලැබුනොත් ඉස්සෙල්ලාම ලෝකේ බේරගන්න යනවාද? නැත්නම් අපි අපිට දෙයක් කරගෙන පසුව ගාම , රට, ලෝකය ගැන සිතනවාද? කාට හම්බුනත් ඉස්සෙල්ලාම කරන්නේ තමන්ගේ දේ කරගෙන අනිත් අය වෙනුවෙන් කරගන්න එකනේ..ඉතින් මේ සිනමාපටය හරහා අපුරුවට ඒ කතාව එක්ක මොලිවුඩයට ගැලපෙන පරිදි වීරයා ව බිහි කර තිබෙනවා.
කලිසම උඩින් ජංගි ඇඳපු වීරයෝ ඉද්දි "මින්නල් මුරලි" හරහා ග්‍රාමීය සුපිරි වීරයෙක් බිහි වන්නේ අකුණු සැරයක් හේතුවෙනුයි. එක හුස්මට නරඹන්න හැකි මෙම සිනමාපටය පවුලේ සියල්ලන්ම වෙනුවෙන් නිර්මාණය වුවකි. එමෙන්ම ගීත 8කින් සමන්විත වන මෙහි සංගීත අධ්‍යක්ෂණය Sushin Shyam විසිනි. ගීත සඳහා සංගීත දායකත්වය Shaan Rahman සමඟ Sushin Shyam එක්ව තිබෙයි. මෙහි පසුබිම් සංගීතය සිනමාපටයේ දර්ශනයෙන් දර්ශනයට ප්‍රේක්ෂකයන් ව උපරිමයෙන් සිනමාපටය හා බද්ධ කරලීමට Sushin සමත්ව තිබෙයි.Basil Joseph ගේ කුළුඳුල් සිනමාපටය වුවත් "Minnal Murali" හරහා ලොකු පියවරක් ඉදිරියට තබා තිබෙනු ප්‍රේක්ෂකයන්ට දැකගන්නට ලැබෙන දෙයකි. Weekend Blockbusters සහ Sophia Paul එක්ව නිෂ්පාදනය වූ මෙය පැය 2 කකට ආසන්න කාලයක් ඔබව කෘතුහලයේ තබනු නිසැකය.
Art Street - කලා වීදිය හරහා අද ඔබට සමීප කලේ පවුලේ සැමට එකට සිට නැරඹීමට හැකි මලයාලම් සිනමාවේ නිර්මාණය වූ ප්‍රථම සුපිරි වීර සිනමාපටය වූ "Minnal Murali" සිනමාපටයයි. ඉතින් සුපිරී වීරයන්ට ආදරය කරන්න ලොක්කන්ට පොඩ්ඩන්ට වෙනසක් එක්ක නරඹන්න පුළුවන් "Minnal Murali" මේ නත්තල් නිවාඩුවේ නරඹන්න හොඳ නිර්මාණයක් විදියට අපි ඔයාලට මේ සිනමාපටය Recommend කරන්න කැමතියි.

e








0 Comments