ලාංකේය කතා නාද සිනමාවේ පළමු සිනමාපටය ලෙසට එක් වීමට නොහැකි වූ "අශෝකමාලා"

 


මෙම ලිපිය සඳහා Art Street -කලා වීදිය හරහා ප්‍රථමව පළ කරන ලද "දේශීය සිනමාවේ ප්‍රථම කතානාද සිනමාපටය ප්‍රදර්ශනයට තියුණු තරඟයක්" යන ලිපියේ සඳහන් වූ කරුණු නැවත වරක් ගෙන හැර දක්වමින් දේශීය කතා නාද සිනමාවේ දෙවැනි කතා නාද සිනමාපටය වූ  "අශෝකමාලා" සිනමාපටය ගැන අප කතා කරමු.

දේශීය සිනමාවේ වංශකතාව පටන් ගැන්ම සමාරම්භ කිරීමට නිර්මාණය වූ "රාජකීය වික්‍රමය" ගිණිබත් වී අහිමී වීමෙන් අනතුරුව ප්‍රථම කතානාද සිනමාපටය නිර්මාණය කිරීමට වසර ගණන්නවක් ගත විය.නිහඬ සිනමාවෙන් මිදී කතානාද සිනමාව එවකට සිටි ප්‍රේක්ශකයන් බොහෝ සේ ප්‍රිය කළහ.ඉංග්‍රීසී,හිංදී,ද්‍රවිඩ සිනමාපට කතානාද සිනමාපට ලෙසින් ප්‍රදර්ශනය වෙද්දී දේශීය කතානාද සිනමාවේ පුරප්පාඩුව ලාංකික ප්‍රේක්ශකයන් ගේ හිත් තුළ ජනිත වන්නට විය.එම වකවානූව තුළ සිනමාපට සේම වේදිකා නාට්‍යද එක සේ ජනප්‍රිය යුගයක් විය.

1936 වසරේ නිර්මාණය වූ "පළිගැනීම" දේශීය සිනමාවේ ප්‍රථම නිහඬ කෙටි සිනමාපටය ලෙසට පත් වීමෙන් අනතුරුව 1940 දශකයේ අවසන් භාගයේ දී කතානාද සිනමාපටයක් නිෂ්පාදනය කිරීම සඳහා එවකට ලංකාවේ සිටි ව්‍යාපාරිකයින් අතර තරඟයක් හට ගත්තේය.ඒ හේතුවෙන්ම කතානාද සිනමාපටයක් නිර්මාණය කිරීමට ලංකාවෙන් ප්‍රථමව දකුණු ඉන්දියාවට "එන්.තුරෙයිසිංහම්" හ "කොලින් විජේසූරීය" ප්‍රමුඛ කණ්ඩායමක් පිටව ගියේය.ඔවුන් විසින් පිහිටුවා ගත් "ෂන්මුග" සමාගම යටතේ නිෂ්පාදනය කරමින් ආදරණීය කතා පුවතකින් සමන්විත  වූ  "ලයිලා මජ්නූ" නම් තෙළිඟු සිනමාපටය ආශ්‍රයෙන් "දිව්‍ය ප්‍රේමය" නමින් සිනමාපටයක් නිර්මාණය කිරීම ඔවුන්ගේ පරමාර්ථය විය.ඔවුන්ගේ "දිව්‍ය ප්‍රේමය" ෂන්මුග චිත්‍රාගාරයෙත් පසුව මදුරාසියේ නැප්චූන් චිත්‍රාගාරයේ දීත් නිෂ්පාදන කටයුතු සිදුවිය.

මේ කාලයේ දීම "චිත්‍රකලා මූවීටෝන්" සමාගම පිහිටවූ එවකට ලංකාවේ ව්‍යාපාර කල "එස්.එන්.නායගම්" එම සමාගමේ සිනමාපට අධ්‍යක්ෂක වූ "ශාන්තිකුමාර් සෙනෙවිරත්න" හා එකතුව "ශ්‍රී වික්‍රම රාජසිංහ" රජුගේ චරිතය ඇසුරෙන් සිනමාපටයක් නිර්මාණය කිරීමට සුදානම් විය.නමුත් ඒ සඳහා යෙදිය යුතු වූ විශාලා ප්‍රාග්ධනය හේතුවෙන්ම ඒ සැලසුම ඔව්න් අත්හැරියේය.පසුව "අශෝකමාලා" කතාපුවත සිනමාවට නඟන්නට සැළසුම් කල අතරම "නායගම්" ගේ අදහස වූයේ සිනමාපටයේ කතා පිටපත සඳහා තරඟයක් තබා හොඳම පිටපත තෝරා එමඟින් සිනමාපටය නිර්මාණය කිරීමටයි.එවක පළවූ පුවත් පත හරහා තරඟය පැවැත් වූ අතර ජයග්‍රහකයා සඳහා රු. 500ක් ලබා දෙන බවටද ප්‍රචාරය කරලීය.නමුත් තරඟය අවසානයේ හොඳම පිටපත රචනා කර තිබුනේද "ශාන්තිකුමාර් සෙනෙවිරත්න" විසින්මය.


"නායගම්" විසින් "ශාන්තිකුමාර්"ගේ ජයග්‍රහණය වෙනුවෙන් ලබා දෙන රු.500 යේ ත්‍යාග්‍ය ලබා දී එම කතා පිටපත ඔහු ලබා ගන්න ගියද "ශාන්තිකුමාර්" එයට අකමැත්තක් පළ කර ඇත.තවද ඔවුන් අතර යම් ගැටලු මතුවීමත් සමඟම "ශාන්තිකුමාර්" ඔහු ලියන ලද  "අශෝකමාලා" සිනමා පිටපතත් රැගෙන "චිත්‍රකලා මුවිටෝන්" සමාගමෙන් සමුගෙන සිලෝන් තියටර්ස් අධිපති වූ "චිත්තප්පලම් ඒ.ගාඩිනර්" හමුවිය.ඒ හමුවීමත් සමඟ  "අශෝකමාලා" සිනමාපටය සිලෝන් තියටර්ස්" හරහා නිෂ්පාදනයටත් "ශාන්ත්කුමාර්" එම සිනමාපටයේ අධ්‍යක්ෂක වශයෙනුත් ගෙන සිනමාපටයේ ඉදිරි කටයුතු ආරම්භ කරන ලදී.

1946 නොවැම්බර් මස දී  "අශෝකමාලා" සිනමාපටය "ශාන්තිකුමාර්"ගේ අධ්‍යක්ශනයෙන් සහ "චිත්තප්පලම්" ගේ නිෂ්පාදනයෙන් මදුරාසියේ සෙන්ට්‍රල් චිත්‍රාගාරයේදී නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීය.
"දිව්‍ය ප්‍රේමය" ,"කඩවුණු පොරොන්දුව"  සහ "අශෝකමාලා" සිනමාපට කණ්ඩායම් ත්‍රිත්වය අතරේ ඇති වූයේ තරඟයකි.කෙසේ හෝ මෙයින් පළමුව පරාජයට පත් වූයේ "දිව්‍ය ප්‍රේමය" සිනමාපටයයි.එයට ප්‍රධානම හේතුව "දිව්‍ය ප්‍රේමය" සිනමාපටයේ රූගත කිරීම් අතරතුරේ එහි ප්‍රධාන චරිතයට රංගනය සැපයූ "ඊ.සී.බී.විජේසිංහ" (ප්‍රකට වේදීකා නළු) සිනමාපටයෙන් ඉවත්ව යාමයී.

ඉන් අනතුරුව ප්‍රථම දේශීය කතානාද සිනමාපටය බවට පත් වීමට "කඩවුණු පොරොන්දුව" හා  "අශෝකමාලා" සිනමාපට අතර ඇති වුයේ තවත් තියුණු තරඟයකි.කෙසේ හෝ මේ තරඟයෙන් ජයග්‍රහණය ලැබුවේ "බී.ඒ.ඩබ්ලිව්.ජයමාන්නගේ "කඩවුණු පොරොන්දුව" යි.එය 1947 ජනවාරී 21 දින දී 'කිංග්ස්ලී සිනමාශාලාවේ"දී දේශීය කතානාද සිනමා වංශයේ සමාරම්භක දිනය ලෙස සණිටුහන් කරමින් එය තිරගත විය.එමෙන්ම පරාජයට පත් වූ  "අශෝකමාලා" සිනමාපටය කතා නාද සිනමාවේ දෙවනි සිනමාපටය ලෙසින් 1947 අප්‍රේල් 09 වන දින දී තිරගත විය.


"අශෝකමාලා" සිනමාපටයේ බිහි වීම.

ලාංකේය සිනමා වංශ කතාවේ දෙවැනි කතා නාද සිනමාපටය ලෙසින් එකතු වූ  "අශෝකමාලා" සිනමාපටය සඳහා අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙක් විය.ලාංකේය සිනමා ඉතිහාසයේ ප්‍රථම සම අධ්‍යක්ෂණය කරන ලද ප්‍රථම ලාංකිකයා ලෙසින් ශාන්තිකුමාර් සෙනෙවිරත්නයන් ගේ නම ඉතිහාසයට එකතු වන්නේය.ඔහු සමඟ මෙම සිනමාපටය අධ්‍යක්ෂණය වෙනුවෙන් ටී.ආර්.ගෝපු එකතු විය.ටී.ආර්.ගෝපු යනු සෙන්ට්‍රල් චිත්‍රාගාරයේ සංස්කරණ ශිල්පියා වෙයි.

ශාන්තිකුමාර් සෙනෙවිරත්නයන් යනු මුල් යුගයේ සිනමා ක්ෂේත්‍රයට පැමිණි ලාංකියකින් අතර දේශීය කළා සම්ප්‍රදායන් පිළිබඳව මනා දැනුමක් අවබෝධයක් තිබු අයෙකි.ඔහු මහනුවර ට්‍රිනිටි විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරු අයෙක් වන අතර දේශීය නර්තනය ප්‍රගුණ කල අයෙක් ද විය.ප්‍රථම නර්තන ආචාර්යවරුන් අතරට එකතු වන ඔහු පසු කලෙක ශාන්ති කළා නිකේතනය ආරම්භ කරමින් ඒ හරහා නර්තනය සහ සංගීතය ගැන බොහෝ ශිල්පීන්ට ගුරුහරුකම් ලබා දුනි.තවද එතුමා භාරතයේදී ගෝපිනාත් නම් විශිෂ්ට නාට්‍යවේදියාගෙන් ශිල්ප හැදෑරූ අයෙක් වන අතර හින්දි, දෙමළ, ගුජරාටි, මරාටි, පන්ජාබ්, උර්දු, මලයාලම්, තෙළිඟු, බෙංගාලි භාෂා කතා කිරීමේ දක්‍ෂයකු විය.

ශාන්තිකුමාර් හට සිනමාපටයක් නිර්මාණය කිරීමෙහිලා අවශ්‍යතාවයක් ඇති වන අතරම ඔහු විසින්  "අශෝකමාලා"නමින් ඉංග්‍රීසියෙන්  කතා තිර රචනය කොට 1946 වසරේ ජුලී එක්තරා දිනකදී ඔහු  සිලෝන් තියටර්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වශයෙන් සේවය කල සර් චිත්තම්පලම් ගාඩිනර් (චිත්‍රපට රාජා) මුණ ගැසෙමින් ඔහුට සිදුවූ සියල්ල පවසමින් තමා විසින් රචිත  "අසෝකමාලා" පුවත ඉංග්‍රීසි බසින් ඔහු ඉදිරියේ රඟදක්වන ලදී.එයින් අතිශය සතුටට සහ පැහැදීමට පත් වූ සර් චිත්තම්පලම් ගාඩිනර් විසින් "අසෝකමාලා" සිනමාපටය නිෂ්පාදනය කිරීමට කැමැත්ත පළ කොට තිබේ.

ඒ වන විටත් "කඩවුණු පොරොන්දුව" සිනමාපටය ඉන්දියාවේ මදුරෙයි චිත්‍ර කලා (ජෙමිනි) චිත්‍රාගාරයේ රූගත කිරීම් ආරම්භ කර තිබු අතර සර් චිත්තම්පලම් ගාඩිනර් විසින් දකුණු ඉන්දියාවේ කොයිම්බතූර් සෙන්ට්‍රල් චිත්‍රාගාරය තෝරාගනු ලබන්නේ "අශෝකමාලා" හී රූගත කිරීම් සඳහායි.මෙහි ප්‍රධාන චරිතය වන සාලිය කුමරුගේ චරිතය ශාන්තිකුමාර්  විසින් රඟදැක්වූ අතර ප්‍රධාන නිළිය වශයෙන් තෝරා ගෙන සිටියේ ඔහුගේ නර්තන කණ්ඩායමේ සිටි රංගන ශිල්පිණියක් වූ එවක ටයිම්ස් ඔෆ් සිලෝන් පුවත්පතේ උපකතුවරියක් වූ සීතා ජයවර්ධනයි.පසුව ඇයගේ දෙමව්පියන්ගෙන් පැමිණි විරෝධය නිසාම ඇයට අසෝකමාලා වීමට වරම් නොලැබුණි.පසුව අසෝකමාලා චරිතය සඳහා එක් වීමට එමලින් දිඹුලාන හට අවස්ථාව උදාවිය.

චිත්‍රපටයේ ගීත නිර්මාණය වී ඇත්තේ කොළඹ බම්බලපිටියේ ශාන්ති කලා නිකේතනයේදීය. මේ කලා නිකේතනයේදී ශාන්ති කුමාර් විසින් මෙරට පැවැත්වූ නැටුම් සංදර්ශනවල සංගීතය මෙහෙයවා තිබුණේ මොහොමඩ් ගවුස්  විසිනි.මේ හේතුව නිසාම ගවුස් හට ශාන්තිකුමාර්ගේ සිනමාපටයේ සංගීත අධ්‍යක්ෂණය භාරකරන ලදී.ඔහු බැංගලෝරයේ උපත ලැබූ පසුව ශ්‍රී ලාංකීක පුරවැසි බව ලැබූ අයෙකි. "අශෝකමාලා" වෙනුවෙන් ඔහු ස්වතන්ත්‍ර ගී නිර්මාණය කරන ලද අතර සිනමාපටයේ සහාය සංගීත අධ්‍යක්‍ෂවරයා වූයේ ඩබ්ලිව්.ඩී. ඇල්බට් පෙරේරා නොහොත් අප කවුරුත් දන්නා පණ්ඩිත් අමරදේව මහතායි.එතුමා විසින් ."අශෝකමාලා" වෙනුවෙන් ගීත දෙකක් ගායනා කොට තිබෙන අතර සිනමාපටයේ රංගනයෙන් ද දායකවී තිබෙයි.එතුමා සිනමාපටයක් සඳහා ගී ගැයූමෙන්  සහ සහය සංගීත අධ්‍යක්ෂකනයෙන් සම්බන්ධ වූ ප්‍රථම අවස්ථාව මෙයයි.එමෙන්ම මොහිදීන් බෙග් මාස්ටර් ද සිනමාපටයක් වෙනුවෙන් දායක වූ ප්‍රථම අවස්ථාව මෙය වීමද විශේෂයි.ඔහු සිනමාපටයේ ගීත ගායනයට එකතු වූ අතර තාපසය චරිතයකින්ද රංගනයට එකතු වී තිබෙයි.තවද ඉන්දියානු ගායකයින් ප්‍රථම වරට සිංහල සිනමාපටයක් හා එක්ව ගායනාවන් කළ සිනමාපටයද "අශෝකමාලා" වෙයි.

"අශෝකමාලා" චිත්‍රපටයේ සියලු ගීත රචනා කළේ විදුහල්පතිවරයකු වූ ඩී.ටී. ප්‍රනාන්දු විසිනි. චිත්‍රපටයේ රන්කිරා නොහොත් අශෝක මාලා ගේ පියා ලෙස රඟපෑ ඩබ්ලිව්. දොන් එඩ්වඩ් මෙරට තිරගත වූ ප්‍රථම ලාංකේය නිහඬ චිත්‍රපටය වූ ‘පළිගැනීම’ (1936) කෙටි සිනමාපටයේ කැමරාව මෙහෙයවා අධ්‍යක්‍ෂණය කළේද මෙතුමා විසිනි.

දිනක්  ‘ස්ත්‍රිය - නිරය ද? ස්වර්ගය ද?’ යන වේදිකා නාට්‍යය බැලීමට ගිය ශාන්ති කුමාර් හා මොහොමඩ් ගවුස් එහි නිෂ්පාදනය කළා වූ මයිකල් සන්නස් ලියන​ගේ හමුව ඔහුගේ නාට්‍ය ගැන ප්‍රශංසා කල අතරම ශාන්ති කුමාර් ගේ ආරාධනයෙන් ශාන්ති කුමාර් ඉංග්‍රීසි බසින් ලියන ලද දෙබස් සිංහල බසට හරවා දීමට සන්නස් ලියන​ගේ හට භාර කරලීය.එපමණක් නොව "අශෝකමාලා" සිනමාපටයේ දුෂ්ට සෙනෙවියා වූ විපුලගේ  චරිතයටද එතුමා දායක විය.පසුව සිනමාපටය හා සම්බන්ධ කණ්ඩායම සමඟ 1946 ඔක්තෝබර් 09 වෙනිදා ඉන්දියාව බලා පිටත්ව යන ලදී.

"අශෝකමාලා" සිනමාපටයේ කතා අන්තර්ගතය 

ලාංකේය ඉතිහාසය පිරික්සන කල් හි ලක්දිව ප්‍රථම රාජධානිය ලෙස සැලකෙන අනුරාධපුර රාජධානියේ එකළ රජකම් කළ ශ්‍රේෂ්ඨ රජකෙනෙකු වූ දුටුගැමුණු රජු දවස සිදුවූ සිදුවීමක් මුලික කරගෙන මෙහි කතාව ගලාගෙන යයි.

දුටුගැමුණු රජු එකළ හට ගනු ඇතැයි සිතන ද්‍රවිඩ සිංහල කැරැල්ල මැඩපවත්වමින් ඔවුන් තුළ සංහිඳියාව පවත්වාගෙන යාමට උත්සහ දැරුවද එවකට ඔහු ගේ වයස හේතුවෙන් ම මේ සඳහා තම පුතු වූ සාලිය කුමරු හට එය භාර කරන ලදී.මේ අතර රාජධානිය තුළ මහත් ආන්දෝලනයකට තුඩු දුන් සිදුවීමක් සිදුවන්නේ ද්‍රවිඩයන් හතර දෙනෙකු මරා දැමීමේ සිදුවීමක් සම්බන්ධවයි.දිගාවැව දිසාව භාරව සිටි අභය විසින් මෙය සිදුකර තිබෙන බව දැනගන්නා රජතුමා සාලිය කුමරු ඇතුළු පිරිස ඒ සඳහා පිටත් කර යවනු ලබයි.නමුත් මෙහි සත්‍ය සොයා බලන කල අභය යටතේ සේවය කරන විපුල සෙනෙවියාගේ කීමට මෙය සිදුවූ බව දැනගන්නට ලැබෙයි.විපුල සෙනෙවියන් ගේ අභිප්‍රාය වුයේ සිංහල ද්‍රවිඩ ජනතාව අතර අසමඟිය ඇති කිරිමටයි.නමුත් මෙහි නඩු විභාගයේදී අභය සෙනෙවි සිර භාරයට ගැනීමට කටයුතු කරන මහ රජ විපුල සෙනෙවි දිගාවැව නව ඈපා සෙනෙවි ලෙසින් පත්කරන ලදී.

මාලා යනු චණ්ඩාල කුළයේ තරුණියකි.ඈ අසෝක මල් ගෙන මාල ගොතන නිසා ඈ හට අශෝක මාලා නමින් කවුරුත් කතා කළාය.ඈ රූපයෙන් අනෙකුත් තරුණියන්ට වඩා ලස්සනය.වශිවන සුළු රුවක් තිබු තරුණියකි.දිනක් සාලිය කුමරු සහ පිරිස දිගාවැව සංචාරයකදී අශෝක මාලා නම් වූ මෙම තරුණිය ඇස ගැටෙනු ලබයි.ඇයගේ රූපයට වශිවන කුමරු නිතර නිතර ඈ දැකීමට යාමට ද කතා බහේ දීමටද ප්‍රිය කළේය.සාලිය කුමරුගේ සිතෙහි මෙන්ම අශෝක මාලාගේ ද සිතේ ප්‍රේමයක් උපදින්නේ ඔය අතරෙදිය.නමුත් කිසිම විටෙක සාලිය විසින් තමන් රාජ්‍යයේ ඔටුන්න හිමි කුමරුන් යන වග අශෝක මාලා හට පැවසුවේ ද නැත.සාලිය යනු උසස් ප්‍රභූවරයෙක් පමණක් යන්න දන්නා අශෝක මාලා ඔහුට එකසිතින්ම ආදරය කළාය.

සාලිය සහ අශෝක මාලා ගේ ප්‍රේමය ගැන දැනගන්නා විපුල සෙනෙවි විසින් අසෝකමාලා සහ ඔහුගේ පියා හට මෙහි බරපතල කම පහදා දෙනු ලබයි.නමුත් විපුල සෙනෙවි අශෝක මාලාගේ රූපයට වශිව ඈ කෙරේ කාමුක ආසාවක් සිතට පැමිණෙන අතර ඇයව බලෙන් පැහැරගෙන ගොස් ඔහුගේ මාළිගාවේ සිරකර තබයි.විපුල සෙනෙවිගේ භාර්යාව වූ චිත්‍රාගේ උදව් ඇතිව අශෝක මාලා මාළිගාවෙන් පැන යන අතර මෙයින් කිපෙන විපුල සෙනෙවි අශෝක මාලා ගෙන් පළිගැනීම උදෙසා මුළු චණ්ඩාල  ග්‍රාමයම ගිනි තබනු ලබයි.

පසුව සාලිය කුමරු අශෝක මාලාගේ කුළය ගැන නොසිතා ඇයව  විවාහපත් කරගනු ලබයි.ඉන් අනතුරුව තමා විවාහපත් වුයේ රටේ යුවරජු බව දැනගන්නා අශෝක මාලා දුකටත් බියටත් පත්වෙනු ලබයි.මෙම විවාහයෙන් රජ පවුලට කළා වූ නින්දාව හේතුවෙන්ම සාලිය කුමරු තම යුව රජ තනතුර තම සුළු පියාට භාර දෙන අතර අශෝක මාලා හා සතුටුව ජිවත් වෙයි.මෙය බලා සිටීමට අකමැති වූ විපුල සෙනෙවි තමාගේ යටි සිතේ තිබෙන කාමුක හැඟීම් ද හමුවේ රජු වෙතට ගොස් පවසනුයේ රටේ සිටින දෙමළ ජනයා සමඟ එක්ව සාලිය කුමරු කැරැල්ලක් සකසමින් තිබෙන බවත් රජුව මරා ඔහු රාජ්‍යයේ රජු වීමටත් සැරසෙන බවයි.එමෙන්ම මේ සියල්ලටම හේතුව අශෝක මාලා නම් වූ ඒ චණ්ඩාල තරුණිය බවත් විපුල විසින් පවසනු ලබනවා.එයින් බියට පත් වන රජු අශෝක මාලා හමුවට ගොස් බැගෑ පත්ව ඉල්ලා සිටින්නේ රටෙත්,රටේ ජිවත්වන ජනතාවත්,සාලිය කුමරු ගැනත් සිතා රජ මාළිගය හැරයන ලෙසයි.

මෙයින් දුකට පත් වන අශෝක මාලා තමා නිසා මෙවැන්නක් සිදුනොවිය යුතු නිසාත් පති භක්තිය නිසාත් මාළිඟය හැර යමින් නැවත ඇය ජිවත් වූ චණ්ඩාල ග්‍රාමයට යනු ලබයි.මේ ගැන කණ වැකුණු සාලිය කුමරු ඈ සොයා ග්‍රාමය වෙතට පිටත් වෙයි.මේ අතර තමාගේ යටපත් ව ගිය කාමුක ආසාව සංසිඳුවා ගැනීම පිණිස අශෝක මාලාව නැවත පැහැරගෙන ගොස් වනයට ඇතුළු වන විපුල සෙනෙවි සහ පිරිවර දකින සාලිය කුමරු ඒ වෙත ගොස් ඔවුන් සමඟ සටන් කොට අශෝක මාලා ව බේරාගනු ලබයි.එහිදී විපුල සෙනෙවි සාලිය කුමරු අතින් මිය යන අතර නැවත සාලිය අශෝක මාලා ආදරයෙන් එකතු වෙයි.සිංහල දෙමළ ජනතාවගේ ප්‍රීති ඝෝෂා මැද නැවත ඔවුන් රජමාළිගයට පැමිණෙනු ලබයි.

"අශෝකමාලා" සිනමාපටයේ රංගන දායකත්වය 

ශාන්ති කුමාර් (සාලිය)

එමලින් දිඹුලාන (අශෝකමාලා) 

මයිකල් සන්නස් ලියනගේ් (විපුල සෙනෙවි)

හර්බි සෙනෙවිරත්න (සේන)

දොන් එඩ්වඩ් (රන්කිරා)

ඔස්ටින් අබේසේකර (අබය ඈපා)

මයිකල් රුද්‍රිගෝ (දුටුගැමුණු රජ)

මෙහිදීන් බෙග් 

ඩබ්. ඩී. ඇල්බට් පෙරේරා

ශ්‍රීමතී කරුණාදේවි

සූරියමුත්තු

සුනිල් ප්‍රේමදාස

එන්. එම්. සාදුවර්ධන


"අශෝකමාලා" සිනමාපටයේ ගී.....

1. භවේ භීත හැර

භවේ භීත හැර දේශිත තිලොනා ධර්මේ රසේ//
තෘෂ්ණා ජාලේ මායා ලෝකේ//
රාගෙන් පැටලී මෝහ විකාරේ
තෘෂ්ණා ජාලේ මායා ලෝකේ
රාගෙන් පැටලී මෝහ විකාරේ

ගිලී කාම අඳුරේ භව ආලේ
දෝෂ සෙව්වෝ කාම මෙලෝකේ//
ආල වැඩුවෝ ධ්යා න මනාපේ
තිලොනා ධර්මේ රසේ
භවේ භීත හැර දේශිත තිලොනා ධර්මේ රසේ//

වනසා පාපේ මෝක්ෂේ මාර්ගේ
මෝක්ෂේ මාර්ගේ//
මෝක්ෂේ මාර්ගේ//
මෝක්ෂේ මාර්ගේ පරම ශාන්තවූ//
නිර්වාණේ නිර්වාණේ
තෘෂ්ණා ජාලේ මායා ලෝකේ//
මායා.. මායා… මායා….

ගායනය – ඩබ්. ඩී. ඇල්බට් පෙරේරා

2 . ප්‍රීති ප්‍රීති

ප්‍රීති ප්‍රීති //
චන්ද්‍රා  ලෝකේ නිසා ප්‍රියාවී ///

සංචල් වේ ජීවන මේ මනහාරී //

හර්දේ පීරා ප්‍රීති එයි
හා දුල් ශාන්තී දෙයි #//

හා හා දුල් ශාන්තී දෙයි
ප්‍රේමේ දුල් ශාන්තී දෙයි #//

ආලෝකේ මේ රම්‍ය ප්‍රේමයේ //

සංචල් වේ ජීවන මේ මනහාරී //

ප්‍රීති ප්‍රීති  //

හා ආ . . . .  . . . .

හා ආ . . . .  . . . .

චන්ද්‍ර කාන්ති සාගරේ ගිලී
මන්ද මාරුතේ #//
නාමූ අමා ජලේ ප්‍රේමේ කුසුම් පිපේ

නාමූ අමා ජලේ ප්‍රේමේ කුසුම් පිපේ

සංචල් වේ ජීවන මේ මනහාරී //
ප්‍රීති ප්‍රීති //

ගායනය – භාග්‍යරති



3 . හෝ ප්‍රේමේ බැබලේ

හෝ ප්‍රේමේ බැබලේ
මා ඔබේ
තී මගේ මාගෙ ශ්‍රියාවී මාගෙ ප්‍රියාවී #//

ආලේ පානා සිරි
දේවි මගේ
ආලේ සාදනා දැල්වෙ පෙම් රසේ #//
හා දැල්වෙ පෙම් රසේ
මා ප්‍රේම ශ්‍රියාවී
මා ඔබේ
තී මගේ මාගෙ ශ්‍රියාවී මාගෙ ප්‍රියාවී
හෝ ප්‍රේමේ බැබලේ මා ඔබේ
තී මගේ මාගෙ ශ්‍රියාවී මාගෙ ප්‍රියාවී

මා ප්‍රේමය වේ මා ජීවය වේ ආදර ප්‍රේමේ
ප්‍රේමි වාසනා හා හා
හෝ ශ්‍රීය සාදනා මා ප්‍රේමය වේ
මා ජීවය වේ ආදර ප්‍රේමේ
ප්‍රේමි වාසනා
ඕ ශ්‍රීය සාදනා
මා ප්‍රේම ශ්‍රියේ
මා ප්‍රේම ප්‍රියේ
ශ්‍රී සැපදේ මාගෙ ශ්‍රියාවි හා

ගායනය – මොහිදින් බෙග් සමග භාග්‍යරති



4 . ශාන්ත මේ රාත්‍රියේ

ශාන්ත මේ රාත්‍රියේ //
චන්ද්‍රා කාන්තී දේ ආලෝකේ
ආයේ ආයේ සිත ප්‍රබෝධ වේ #//

සිසිල ආවෙ ප්‍රීතිය මෝරා
යෞවන ප්‍රේමේ සදා #//

හා කුමුදිනී //
නැංග තරංග සිනා
ආයේ ආයේ සිත ප්‍රබෝධ වේ

පවන සමග නැළවී නැළවි
නින්දේ හිටිය ඕළු මලේ
සයනීන පිබිද ආ
ආයේ හා බඹරෝ
ඇයි බඹරෝ
හා බඹරෝ
ඇයි බඹරෝ
රාත්රී  ආයේ

හා ආ ආ කුමුදිනී //
නැංග තරංග සිනා
ආයේ ආයේ සිත ප්‍රබෝධ වේ

ශාන්ත මේ රාත්‍රියේ //
චන්ද්‍රා කාන්තී දේ ආලෝකේ
ආයේ ආයේ සිත ප්‍රබෝධ වේ
ශාන්ත මේ


ගායනය – භාග්‍යරති




5 . ඇයි කරේ යමෙකු ආලේ

ඇයි කරේ යමෙකු ආලේ // //
මේ ලෝකේ
මේ ලෝකේ මායාකාරී
ඇයි කරේ යමෙකු ආලේ //

වනේ පක්ෂී තෝරා විසදා
බලනු  නීරස භාවේ #//
කරත ආලේ යමෙක් මෙ ලෝකේ //
නොතිර සේ දෝෂා
ඇයි කරේ යමෙකු ආලේ //
තිරසර ආලේ අමරණීය වේ
පුදනු ජීවිතේ නෑ දුකා #//
කර්ම විපාකේ සේ ඒ ආලේ
ජන හටා පැතු සේ පලදේ //

සෑසි ධර්මේ දේශිත කර්මේ //
පහදා දුනි ලොවටා
ඇයි කරේ යමෙකු ආලේ //

ගායනය – ඩබ්. ඩී. ඇල්බට් පෙරේරා



6 .  නයනා වැනී  සුදෝ

නයනා වැනී  සුදෝ
හෝ ඔබෙ මා
නයනා වැනී සුදෝ
ශ්‍රී සැප සාදන මා හද ප්‍රීතිව //
හායේ හායේ
ප්‍රේමේ සිතු සැනසේ සම්පතා දේ //
කමණී මනෝහරී
නයනා වැනී සුදෝ
හෝ ඔබෙ මා
නයනා වැනී සුදෝ

ප්‍රේම ලෝකේ රාජභිෂේකේ
ඔබෙ ආලේ දෙව් ලෝ සැපතා වේ #//
මාලා
ඔබගේ
නාමූ සැමදා ගිලිලා ප්‍රේම සාගරේ

හායේ හායේ
ප්‍රේමේ සිතු සැනසේ සම්පතා දේ //
කමණී මනෝහරී
නයනා වැනී සුදෝ
හෝ ඔබෙ මා
නයනා වැනී සුදෝ

ගායනය – මොහිදින් බෙග් සමග භාග්‍යරති




7 .  ආලෙ මාගේ

ආලෙ මාගේ හර්දේ පිරේ
චන්ද්‍රාලෝකේ ඇවිළේ ප්‍රේමේ #//

ප්‍රේමි මා දර්ශන වේ මා ප්‍රියේ //

සුන්දර වේ මිහිරි වේ
නන්දන වේ මිහිරි වේ #//
ආලෙ මාගේ හර්දේ පිරේ
චන්ද්‍රාලෝකේ ඇවිළේ ප්‍රේමේ

හා  මා හද පිනා යයි නයනා රසේ
නයනා රසේ
මා හද පිනා යයි නයනා රසේ
නයනා රසේ
රූපේ ඇගේ // //

චන්ද්‍රාලෝකේ

ආලෙ මාගේ හර්දේ පිරේ
චන්ද්‍රාලෝකේ ඇවිළේ ප්‍රේමේ
ආලෙ මාගේ හර්දේ පිරේ

ගායනය – මොහිදින් බෙග්



8.  ආලෝකේ දෙයි මා හර්දේ 

හා ආලෝකේ දෙයි මා හර්දේ
පෙම් ලෝකේ රසයේ 
හෝ පල දේ - අටලෝ දහම් සේ  
ගයන ගීතේ ජීවන රස දේ - හා..........
හර්දේ මන්දිරේ - මිහිරේ 

මෝරනා හැදෙ ප්‍රීති වේ 
ප්‍රීති ප්‍රීති ප්‍රීති සාගරයේ  
හෝ පල දේ - අටලෝ දහම් සේ  

විහිදේ ජිවන රශ්මි - ආලේ රසේ වැදිලා 
අමාර සපත ප්‍රේමේ - වේ ප්‍රේමේ 
අමාර සපත ප්‍රේමේ 
මෝරනා හැදෙ ප්‍රීති වේ 
ප්‍රීති ප්‍රීති ප්‍රීති සාගරයේ 

හෝ පල දේ - අටලෝ දහම් සේ  
හා ආලෝකේ දෙයි මා හර්දේ 
පෙම් ලෝකේ රසසේ 
හෝ පල දේ අට ලෝ දහම්සේ 


ගායනය – භාග්‍යරති


9. ජලේ මේ දැන් 


ජලේ මේ දැන් සීත 
ජලේ මේ දැන් සීත් ප්‍රබෝදේ 
පීනලා වැවේ - සන්තොසවේය දැන් - හා හා 
පරමා විනෝදේ බෝ වේ 

ආලෝකේ දේය ඔබගේ 
හෝ මා ප්‍රේම සනසාවී 

අපි ප්‍රීති ප්‍රීති වෙමු එක වී යස සේ 
හෝ මා ප්‍රේම සනසාවී
අපි ප්‍රීති ප්‍රීති වෙමු එක වී යස සේ 
නෑරා සන්තෝෂ වේය දැන් 

මන්ද මන්ද පවනේ රේණු සලා යයි 
සවන පිනා යයි ගී රස ධාරේ 
යෞවන ප්‍රේමේ මෝරා - මෝරා 
මෝරා හර්දේ පිරේවී ආලේ 
අපි ප්‍රීති ප්‍රීති වෙමු එක වී යස සේ 
නෑරා සන්තෝෂ වේය දැන් හා හා 


ගායනය – භාග්‍යරති


10. සදවූ ජය ශ්‍රී 

සදවූ ජය ශ්‍රී 
රමණි දුල් පිරි හෙළ දීපේ - සදවූ ජය ශ්‍රී 

සනසා ලක් මව වී සමගී 
ලෝකා ලෝකේ ඇතිකර සිරිබර ලංකා 

ප්‍රේමා දේශේ ජයකෙළි නගවු සැම 
දුරැර භේදා සව් ජනතා - නිදහස් කාමී බව ම පතා 
ජය කෙළි නගවු සමා 
සදවූ ජය ශ්‍රී 


ගායනය – මොහිදින් බෙග් ඇතුළු පිරිස 



"අශෝකමාලා" සිනමාපටයේ ප්‍රදර්ශනය 

1947 අප්‍රේල් 09 වැනිදා රීගල් සිනමා හලේ තිරගත වී ඇත්තේ ඩී.ඇස්. සේනානායක මහතාගේ සහ මැතිනියගේ ප්‍රධානත්වයෙනි.සිනමාපටය මාස 5 යි දින 19කින් රූපගත කොට තිරගත කළ "අශෝකමාලා" සිනමාපටය සඳහා එවකට  රුපියල් ලක්ෂ 3ක් වැය වී තිබු අතර ලාංකීය රුපියල් ලක්ෂ 15ක ආදායමක් ලැබ තිබේ.ඊට අමතරව ඇල්ෆින්ස්ටන්,මැජෙස්ටික්, කැපිටෝල් යන ශාලාවල දී සිනමාපටය තිරගත වී තිබෙයි.තවද සිනමාපටය මාස හයක් වැනි කාලයක් ප්‍රදර්ශනය කර ඇත.
 

"අශෝකමාලා" සිනමාපටයේ නිෂ්පාදන කණ්ඩායම 

නිෂ්පාදනය – ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් (සීමාසහිත සිලෝන් තියටර්ස්)

සම අධ්‍යක්ෂණය – ශාන්ති කුමාර් සෙනෙවිරත්න / ටී. ආර්. ගෝපු

දෙබස් සහ උප අධ්‍යක්ෂණය – මයිකල් සන්නස් ලියනගේ

තිර රචනය / නැටුම් පුහුණුව – ශාන්ති කුමාර් සෙනෙවිරත්න

සංගීත අධ්‍යක්ෂණය – මොහොමඩ් ගවුස්

සංගීත අධ්‍යක්ෂණයට සහය සහ වයලින් වාදනය – ඩබ්. ඩී ඇල්බට් පෙරේරා (ඩබ්. ඩී. අමරදේව)

ගීත පටිගත කිරීම – දකුණු ඉන්දියාවේ කොයිම්බතූර්හි සෙන්ට්‍රල් ට්ත්‍රාගාරය

ගීත ප්‍රබන්ධය – ඩී. ටී. ප්‍රනාන්දු

සිනමාපටයට ඇතුලත් වූ ගීත ප්‍රමාණය 10කි 

කැමරාව – ඇම්. මස්තාන්

නැටුම් – ශාන්ති විරාජ් / මධුර එස්. සුභලක්ෂ්මි


දුටුගැමුණු  ඉතිහාසය විකෘති කල අසෝකමාලා

සිනමාපටයේ කතාව තුළ මැවුණු කතා රසයට වඩා සිනමාපටය හරහා ලාංකේය ඉතිහාසය විකෘති කළාය යන්න එවක සිටි බොහෝ විචාරකයන්ගේ මතය විය.නමුත් ලංකේය සිනමාවේ ප්‍රථම කතා නාද සිනමාපටයට වඩා "අශෝකමාලා" සිනමාපටය යම්කිසි මට්ටමකින් සිනමාරුපී බවක් මෙන්ම උසස් බවකින් හෙබි බව ද රංගනයන් ද පැසසුමට ලක් විය.

මෙරට විචාරක සහ සමාජ කණ්ඩායම් වල තදබල විරෝධයට පාත්‍ර වීමට මෙහි ප්‍රධානතම කරුණ වුයේ මෙහි ඇතුලත් වූ කතාවයි.ජාතියේ ශ්‍රේෂ්ඨ වීරයෙකු වශයෙන් සැලකෙන දුටුගැමුණු රජුට මෙයින් නින්දා වූ බව තව තවත් ඔවුන් කියා සිටියේය.ඓතිහාසික කතා පුවතක් තුළ ශාන්තිකුමාර් විසින් ස්ව පරිකල්පනාවක් මුලික කරගනිමින් මෙහි කතාව ලියන ලද්දක් බව පෙනෙයි.එමෙන්ම සිනමාපටයේ සිටින දුටුගැමුණු රජු කිසිම පණක් කොන්දක් නැති පාලකයෙක් ලෙසට පත් කරගෙන ඇති බවත් රංගනයෙන් දායක කරගෙන සිටි නළුවාගේ ශරීරය රජකෙනෙකු ට තිබුය යුතු අංග සහ පෙනුම නොමැති බවත් මෙම සිනමාපටයේ ඇඳුම් පැළඳුම්,මාළිගාවන් ඇතුළු පරිසර නිර්මාණයන් ද්‍රවිඩ හුරුවක් ගැනීම ගැන තවත් විචාරකයෝ දෝෂාරෝපණය කළේය.

එමෙන්ම බෞද්ධ දහමට ලැදි මෙන්ම බුදුදහමේ චිරස්ථිතිය උදෙසා කැප වූ දුටුගැමුණු රජ සමය ගැන පිළිඹිබු වන සිනමාපටයක බෞද්ධ වෙහෙර විහාරයක් හෝ භික්ෂුන් වහන්සේ නමක් හෝ නොසිටීමද තව තවත් විවේචනයට පාත්‍ර විය.එමෙන්ම "අශෝකමාලා" සිනමාපටය සෑම සිංහලයෙකු විසින්ම වර්ජනය කළ යුතු බව ද එවකට සඳරැස් කතුවැකියේ පලවී ඇත.

මෙලෙස දැඩි සමාජ විරෝධය හමුවේ "අශෝකමාලා" තිරගත වුවත් ශාන්තිකුමාර් ගේ ඉදිරි සිනමා ගමනට එය ඉතා අහිතකර ලෙස බලපෑවේය.එයින් නිහඬ වූ ශාන්තිකුමාර් වසර හයකට පසුව ඔහුගේ දෙවන සිනමාපටය "එදා රෑ" ලෙසින් නිර්මාණය කළද අසෝකමාලා හි දුටු ශාන්තිකුමාර් එහි දකින්නට නොසිටියාය.

ලාංකේය සිනමා වංශකතාවේ සිනමා නාමාවලියේ දෙවන කතා නාද සිනමාපටය ගැන සටහන මෙලෙස නිමා කරන්නෙමු.

මේ හා බැඳී ඔබත් දන්නා කරුණු වේ නම්, අප හා බෙදා ගන්නා ලෙස ආදරයෙන් ඉල්ලා සිටිමු.

ලාංකේය සිංහල සිනමාවට ආදරය කරන සහ සිනමාවේ දැනුම බෙදා ගැනීමට ආරම්භ කළා වූ මේ සිනමා වියමන ලාංකේය සිනමාවේ තෙවන සිනමාපටය වන "කපටි ආරක්ෂකයා"  පිළිබඳවද ඔබේ දැනුම වෙනුවෙන් නුදුරේදීම සටහනක් ගෙන එන්නෙමු.

"අශෝකමාලා" සිනමාපටයේ අදාළ කරුණු සිනමා පත පොත සහ අන්තර්ජාලය ඇසුරෙන් ලබා ගත් කරුණු බව සළකන්න.



Post a Comment

0 Comments