අපි අහසින් යද්දි ⁣කොහොමද පොළොවෙන් නවත්තන්නෙ අත් දාලා .................. !




                          තාරුණ්‍යයේ නිර්මාණකරණය දිනෙන් දින විවිධාකර ඉසව් ස්පර්ශ කරමින් පුළුල් පරාසයක් පුරාවට විතරණය වන බව සත්‍යයකි. එහිලා හරසුන් නිර්මාණ මෙන්ම, යම් වින්දනාස්වාදයක් හෝ යම් නිර්මාණ අගයක් හෝ සමාජගත කරන නිර්මාණ ද යන දෙවර්ගයම සමතුලිතව දක්නට හැක. කෙසේ නමුදු මේ සටහනට උක්ත කරන නිර්මාණ කල්ලිය මින් පෙරත් මා විසින් හුවාදක්වා ඇති අතර, මා ඔවුන්ගේ නිර්මාණ වෙනුවෙන් ආශක්ත වීමට ඇති ප්‍රමුඛ සාධකය වන්නේ ද ඔවුන් තුළ වූ යෞවනයේ සරල බව සහ ප්‍රකාශනයේ ඇති නිදහස් බව ය. 


                          'Spade Squad' නමින් ඇරඹෙන යෞවනයන් සප්තකයක මෙකී නිර්මාණශීලි සුසංයෝග වීම හේතුකොට ගත් තෙවැනි ගීතමය ආමන්ත්‍රණය අද සවස් යාමයේ ජනගත විය. පෙර නිර්මාණ වූ 'බොක්ක' සහ 'සැපක් ගමුත' මෙන්ම විසේකාර තාරුණ්‍යයේ කටවහරට වඩා සමීප ඉලන්දාරි අමාන්ත්‍රණයක් ඔස්සේ මෙවර ද ඔවුන් ස්වකීය ගීත නිර්මාණය 'ආතල් නේ' යනුවෙන් නම් කර තිබේ. ඕනෑම නිර්මාණ පාර්ශවයක් ස්වකීය නිර්මාණ ඔස්සේ රසවින්දනයක් ජනගත කිරීම සමගින්ම ඔවුන්ගේ කාර්‍යසාඵල්‍යය ද වටහාගෙන එහිලා තම දක්ෂතාවන් පොදුවේ හෝ වෙන් වෙන් වශයෙන් සංවර්ධනය කරගැනීම අනාගත සුබවාදය වෙනුවෙන් අද දවසේ තැබිය හැකි වටිනා පියවරකි. මුල් නිර්මාණයේ සිට සීරුමාරුවට නිරීක්ෂණය කරන කල්හි 'ආතල් නේ' යනු මේ ස්කෝප්ප කල්ලියේ වැඩීම පිළිබඳ සඵත කරවන අපුරු නිදර්ශනයකි. එයට හේතු සාධක කිහිපයක් වන අතර ඒවා ද එකින් එක මෙසේ ප්‍රමාණ කිරීම වටී.

                        'බොක්ක' ගීතය සේම 'සැපක් ගමුත' ගීතයත් ඔවුන්ව මිලියනාධික ජනාදරයක් වෙනුවෙන් ඉතා කෙටි කලක් තුළ ඔසවා තැබූ බව නොරහසක් වන අතර, එලෙසින්ම 'ආතල් නේ' ගීතය ද මිලියන, බිලියනාධික වුව ජනාදරයක් උපයත්වායි බලාපොරොත්තු තබා මෙසේ ඔවුන් පිළිබඳ ගුණදොස් පසසනුයේ ඔවුන්ගේ හැසිරීම, භාවිතාව සහ දායකත්වය වාණිජමය වශයෙන් කර්මාන්තීය පිබිදීමක් ලබන අනාගත සිනමාවට වුව ද විශිෂ්ට උත්ප්‍රේරණයක් විය හැකි බව සිතමිණි. පෙර ගීත දෙකටම වඩා මෙහිලා ඔවුන්ගේ මා දක්නා සංවර්ධනයට එක් හේතුවක් වන්නේ මෙවර 'ආතල්නේ' ගීතයේ පද රචනයට ද ඔවුන් දායක වී ඇති සේම, සමස්ත රූප රචනාව සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ අධ්‍යක්ෂණයක් වීම ද අගය කළ යුතු වැඩීමක් ප්‍රකට කළ බැවිනි. කණ්ඩායමක තිබිය යුතු මනා අවබෝධය සේම සමනාත්මතාව ද නිරන්තරයෙන් ඔවුන්ගෙන් දක්නට හැකිවන අතර, අදාළ කොටස වෙනුවෙන් නිසි දක්ෂතාව ඇති චරිතය ඉදිරියට ගෙන්වා අනෙක් පිරිස අඩියක් පසුපසට වෙමින් හෝ සමතුලිතව සත් දෙනාම ඒ ඒ අවස්ථාවන්හි ප්‍රමුඛත්වය ඉසිලීම ආදර්ශමත් ලෙස ඔවුන්ගෙන් ඉස්මතුව පෙනීම සතුටට කරුණකි. එමෙන්ම එය ඔවුන්ගේ තිරසාර පැවැත්මට ද බල රුකුලකි. 


                    සැම විටම ඔවුන්ගේ ගීතයන්හි අන්තර්ගත භාෂා භාවිතාවට මා ප්‍රිය කරන්නෙමි. කටවහරට වඩා සමීප, මිශ්‍ර භාෂා ආකෘතියක් භාවිත කරමින් කාලීනව ප්‍රකට ප්‍රවණාවත් ඇති කරන වදන් සහ යෙදුම් ද මනා සේ උපයෝගි කරගත් ඔවුන්ගේ ගීත පද මාලාවන්ට වඩා මෙවර 'රෙගේ' ආකෘතික පසුබිමක් සහිත වූ 'ආතල්නේ' ගීතයේ පද රටාව ද ආකර්ෂණීය බව කිව යුතුම ය. 'බොක්ක' ගීතය ලියූ සුදේශ් අත්තනායක විසින්ම මෙහිද පද ඛණ්ඩ කිහිපයක් පමණක් රචනා කර ඇති අතර අනෙක් සියලු පද ගැළපුම මේ ස්කෝප්ප කල්ලියේ සහෘදයන් අතරින්ම සිදුවීම මෙහිලා විශේෂ කොට කැපීපෙනේ. 

පද මාලාව : 

ආතල් එකෙ අපි ඉන්නෙ මචං
හඳට යන්න ආසයි නේ හිටං 
ඉර ආවේ නෑ උදේ ඉදං
ත්‍රෛලෝක සැපය ගහන් ... 

රොකට් එකේ හඳ ළඟට ළඟා වෙනවා 
අපි ......  යනවා අපි ....
කොයි කාට බැරි උනත් හොඳට හිනා වෙනවා අපි ...........
ලොවෙත් අපි ....

(RAP) අපි අහසින් යද්දි ⁣කොහොමද පොළොවෙන් නවත්තන්නෙ අත් දාලා
පැට්ටෙක් තුනියට රෝලීන් ෆ්ලයිට් ගියර් එකදාපං අද්දාලා 
චන්ද්‍රකුමාරත් එක්ක සඳ ගමනක් යන්නේ පෆ් කාලා  
ගිලින්ඩ බැරි උන් වරෙල්ලා සැප කටක් කවන්ඩ අඹරලා මත්ගාලා  
හිස වටකරගෙන සඳ තරු මල් මහ දවලුත් පොලවට වඩිනා 
විසෙ වැඩි මැනිකෙලා මට්ටු කරනා අස්වබල හපනා 
පතිවත ඇති වග දැනගත හැක ඇගෙ තොලපට ළඟ ලප නෑ  
තනිකඩ ජීවිතේ ආතල් පැය 24 ම ඕපන් ඈ ...

කෙල්ලෝ ගියත් අපි නහයෙන් ඇඩුවේ නෑනේ තැවී .... 
බෙල්ලේ වැලදාන් ආතල් දුන්නේ නෑනේ අපී ...

කෙල්ලෝ නැත ආතල් ඇත
සෙට් උන තැන් ලස්සනට ඇත
අපේ ළඟ දැන් මුකුත් නැත
අනාගතේ ලියනවා හෙට ....

සැපේ ඉන්න හේතුවක් අපිට මොකටද මල්ලී ....
අපේ හිනා හැමදාම අහිංසකයි සරලයි නංගී .....

රැඩිකල් ලව් වැඩිකල් යන්නෑ සිංගල් වෙනවා ....
බොරුවට සිම්පල් වගෙ වෙන උං මොංගල් වෙනවා ...

කෙල්ලෝ නැත ආතල් ඇත
සෙට් උන තැන් ලස්සනට ඇත
අපේ ලග දැන් මුකුත් නැත
අනාගතේ ලියනවා හෙට .....



               තනුවේ රිද්මය පමණක් ඇති, දෙසවනට නොව දෙපයට විඳින්නට හැකි ගීත ; හරසුන් ගීත භාවිතාව යැයි ප්‍රචලිත රැල්ලට සමීප බව සිතුණත් මෙහි පද පෙළෙහි වුවද ඇති සුබවාදි අදහස් සිත් ගනී. ප්‍රශ්න බාධක සහ තරුණ අවදියේ පැන නැගිය හැකි විවිධ සීමාවාසික පරිචයන් හමුවේ වුවත් ජීවිතය අත්හළ නොහැකි බවත් කුමන ප්‍රශ්න බාධක පැමිණිය ද ජීවිතේ විඳිය හැකි බවත් මෙවැනි තරුණ කල්ලියක් තරුණයන් හටම සම්ප්‍රේෂණය කිරීම ද කාලෝචිත ය. මතින් මත්ම වූ නිර්වින්දන තාරුණ්‍යය වෙනුවට ත්‍රෛලෝකයක ඔබ මොබ හැසිරෙන විසේකාරයන්ගේ ස්වාධීනත්වයට අගයක් දිය හැකි ද බව සිතේ. 
 
                  පෙර ගීත මෙන්ම මෙවර ද එහි තනුව සහ සංගීත සංයෝජනය ද සිදු කරනුයේ ශෙනාල් මද්දුමගේ විසිනි. ඔහු පිළිබඳව ද ප්‍රමාණ කිරීම වටින්නේ, මෑත කාලීනව ඇතිවූ නව ගීත ප්‍රවණතාවක ඔහු ද කැපීපෙනෙන චරිතයක් වන බැවිනි. විශේෂයෙන්ම Spade Squad වෙනුවෙන් වුවද ශෙනාල් නිර්මාණය කළ සංගීත ආකෘති එකට එකක් වෙනස් වුවත් පොදු තරුණ රසක් ඒ තුළ ජ්වනිත වීම නිර්මාණශීලි ය. මෙවර ගීතය තරමක් වෙනස් ආකෘතිකම ය ව්‍යුහයක් ගත්ත ද සමස්තයක් ලෙස එය ද වත්මන් තාරුණ්‍යයේ රස පදම පරිදි කළ නිර්මාණ වෑයමක් බව සිතේ. 

                සුපුරුදු ලෙස රවීන් බාලසූරියගේ රැප් ගැළපුම ද ගීතයට දෙන ආලෝකය ඉස්තරම් ය. මෙවර ගීතය ඔවුන්ගේම අධ්‍යක්ෂණය යටතේ රූ ගැන්වීම ඔස්සේ එයට ද වෙනස් වූ නවමු වර්ණයක් සහ වයනයක් එක්වී ඇති බවත් පැවසිය හැකි අතර අතිදක්ෂ තරුණ කැමරා අධ්‍යක්ෂවරයෙකු වන ඉරුෂ්ක බෝගොඩ විසින් මෙය රූගත කරන ලදුව, ඉරේෂ් එරංගගේ අංග රචනාවෙන් ද ලබාදී ඇති ආලෝකයත් අගය කළ යුතු ය. සමීර වීරසිංහගේ නිර්මාණනීය රංග වස්ත්‍ර ගැළපුමෙන් ද හැඩවන මෙම රූ ගැන්වීමට නන් අයුරින් සහයක් වූ සැමට සහ නිර්ලෝභී අර්ථ පතීත්වය දැක්වූවන්ට ද ස්තූතිවන්ත වියයුතු වන්නේ මෙවැනි අර්බුධකාරී යුගයක තාරුණ්‍ය වෙනුවෙන් කළ එම රුකුල අගය කරනු පිණිස ය. 

             උවිඳු ගුණරත්න යනු තත්කාලීනව දක්නට ලැබෙන පැහැදිලි උච්චාරණයක් සේම, ස්වීය අනන්‍යතාව ද රැකගනිමින් රැප් ගායනයේ ක්‍රමික වැඩීමක් ස්ඵුට කරන තරුණ ශිල්පියෙකි. ඔවුන්ගේ මෙතෙක් පළ ගීත තුනම විඳි රසිකයෙකු ලෙස වඩා වැඩි ප්‍රියතාවක් සහිත රැප් කණ්ඩය 'සැපක් ගමුත' ගීතයේ රැප් කාණ්ඩය බව පුද්ගලිකව මගේ අදහස වන අතර ගීත පිළිබඳ සැලකීමේ දී තවමත් මා වඩා ප්‍රිය කරන ගීතය ද මේ ත්‍රිත්ත්වයෙන්ම ඔවුන්ගේ පළමු නිර්මාණය වූ 'බොක්ක' නිර්මාණය බව ද පැවසිය යුතු ය.  

                'Spade Squad' කණ්ඩායම පිළිබඳ ද මගේ අදහස් කිහිපයක් සැකවින් දැක්වීම උචිත බව සිතමි. අභිෂේක් ප්‍රමුදිත, උවිඳු ගුණරත්න, චෙනුක් ශෙලෝ, හර්ෂ ප්‍රභාත්, සෙහාන් ධනංජය, සචිර ගිම්හාන සහ ශේන් සේනානායක යන මේ ගැටවරයන් සත් දෙනා 'Spade Squad' නැමැති පොදු රූපයෙන් මෙන්ම ඒකල වශයෙන් වෙන් වෙන් වූ රසික පදනමක් තර කරගෙන සිටින චරිත සතකි. විශේෂයෙන් තත්කාලීනව සාකච්ඡාවට බඳුන්වන කවදත් මේ පුංචි දිවයිනේ ආන්දෝලනාත්මක භාවිතාවක් වූ Tiktok මාධ්‍යයේ දහස් ගණන් රසිකයන් පිරිසක් මේ කෙටි කලට උපයාගන්නට සමත් වූ ඔවුන් වැනි යම් සුබවාදී නියැදියක් එම භාවිතාව ඔස්සේ වුවද සරල සේම ගුණාත්මක වින්දනාස්වාදයක් සමාජගත කිරීමට උත්සහ දැරීම සතුටකි. 

                     අභිෂේක් ප්‍රමුදිත, උවිඳු ගුණරත්න, චෙනුක් ශෙලෝ, හර්ෂ ප්‍රභාත් සහ සෙහාන් ධනංජය යන මේ නියැදිය මෙකී කණ්ඩායමෙන් කැපීපෙනෙන රංගනයන් මේ වන විටත් රූප මාධ්‍යයන්ට තිළිණ කර ඇති අතර එක්තරා මෑත කාලීන කලාපයක ඔවුන් නොමැති රූප රචනාවක් දක්නට නොමැති තරම් ය.

                නිර්මාණකරුවෙකු මැටි පිඬක් සේ විය යුතු බව පසිඳු කියමනක් වන්නා සේම උවිඳු මෙහිලා නිර්මාණයෙන් නිර්මාණයට එහි ජීව ගුණය රැකගන්නා චරිතය ලෙස දක්වන නම්‍යශීලීත්වය හුවාදැක්වීමට හැකිය. අභිෂේක්ගේ රූප මාත්‍රීය උත්‍ප්‍රේරණ ශක්‍යතාව සේම ගායන සහ රංගන දෙමාධ්‍යයෙහි දක්වන ශෝභිත කුසලතාව ද සමූහය තුළට ගෙන එන්නේ ආලෝකයකි. චෙනුක්ගේ සෞම්‍ය රූපීය වෘත්තිමය භාවිතාව, නිර්මාණ මාධ්‍යයේ ශික්ෂිත හැසිරීම සහ ආකර්ෂණීය ප්‍රාසාංගික ගුණය ද, සෙහාන්ගේ ජවසම්පන්න ජීව පෝෂණය සහ භාව පරාසයේ ගම්‍ය කෙරෙන රසිකාශක්ත හැකියාව ද සේම හර්ෂගේ ප්‍රේක්ෂක ගණුදෙණුව, අවබෝධය සහ බුද්ධිමය මෙන්ම නිර්මාණනීය දෙඅන්තයේ සමතුලිත ඉදිරිපත් කිරීමේ කෞෂල්‍යයත් spade squad නිර්මාණයන් හැඩගන්වන බව සිතේ. බටහිර ආඛ්‍යානයේ යෞවනත්ව ලංකාරය ශේන්ගෙන් සේම සරල සුන්දර තාරුණ්‍යයේ විසේකාරී බව සචිරගෙන් ද මෙකී නිර්මාණ භාවිතාවට ලුණු ඇඹුල් එක්කරන කල සමස්තයක් ලෙස සත් දෙනාම තම තමන්ගේ ප්‍රේක්ෂක නියැදීන් පොදු රූප සන්නාමය වෙත ආකර්ෂණය කරගැනීමේ ද ජගතුන් ය. 

                 එතරම් වඩ වඩාත් ජනාදරයට පත්වෙමින් අදටත් ඔවුන් සිය ජනප්‍රියත්වය ද උසුලාගනිමින් රූප රචනා මාධ්‍යයෙන් නුදුරේම ටෙලිවිෂනයට ද පිවිසීමට සූදානම් වීම සතුටට කරුණකි. අභිෂේක්, උවිඳු, හර්ෂ යන තිදෙනා ප්‍රමුඛව මේ වන විටත් ටෙලිවිෂනයට අවතීර්ණව සිටියත් චෙනුක්, සෙහාන්, ශේන් මෙන්ම සචිර ද ආසන්නතම ඉකුත් කාලයේ ටෙලිනාට්‍ය කලාවට ද අවතීර්ණ වන්නේ මෙරට මෑත ඉතිහාසයේ ගායක කණ්ඩායමක් එක්ව ටෙලිනාට්‍යයකට සම්බන්ධ වන පළමු අවස්ථාව ඉතිහාසයේ සනිටුහන් කරමින් වීම ද සුවිශේෂී වේ. 

                     එහිලා එක් යෝජනාවක් ඔවුන් වෙත ගෙන එමි. රංගනයේ දී ජනාදරය දිනාගැනීම මාහැඟි සම්පතක් වුවත් එහිලා නියත ආස්ථානයක වැජඹීමට මෙන්ම තවත් නවමු මානයන් වෙත පිවිසීමට රංගනය, ගායනය ඇතුළු ප්‍රාසාංගික කලා ක්ෂේත්‍රයන් පිළිබඳ ඔවුන් ප්‍රාමාණික දැනුමක් උපයාගැනීම උදෙසා විධිමත් හෝ අවිධිමත් ලෙස හැදෑරීම් කළ යුතු බවත් එහිලා අභ්‍යාසගතවිය යුතු බවත් මා සිතමි. එනිසා ඒ වෙනුවෙන් ද සිත් යොදමින් මතු ඉදිරියේ ඔවුන් සාර්ථක වනු ඇතැයි විශ්වාස තබමි. 

                    වෙනස් වෙනස් නිර්මාණ ඔස්සේ රසවින්දනය වෙත සමීප වීමටත් තාරුණ්‍යය දිරිමත් කරමින් අනාගත සිනමා කලා මාධ්‍යයන් වෙත ආයෝජන ප්‍රහර්ෂයක් තිළිණ කිරීමටත් උත්සුක ඇල්මැති පාර්ශවයන් වෙත පහත සබැඳියෙන් මෙකී ස්කෝප්ප ගැටවරයන්ගේ 'ආතල්නේ' නිර්මාණය දැක බලා විඳගන්නට සුහිත් ඇරයුම් ගෙනෙමි. 

සටහන - අකාශ් තාරුක පෙරේරා











Post a Comment

0 Comments