ඔබේ ඇසින් මා දකින්න.... "මොනාලිසා" | Monalisa


ප්‍රවීණ ටෙලි, සිනමාපට අධ්‍යක්ෂක සහ තිර රචක එරංග සේනාරත්නයන් විසින් අධ්‍යක්ෂණය සහ තිර රචනය  කරන ලද ඔහුගේ නවතම සිනමාපටය "මොනාලිසා" ලෙසින් නුදුරේදීම ප්‍රදර්ශනයට සුදානම් වෙමින් තිබෙයි. මින් පෙර ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද  සහ බොහෝ දෙනාගේ කතා බහට ලක් වූ  සුර යහන ගිණි ගනී, ගිනි ගත් මධුසමය, රෝස පැටික්කි, සිනාසුනා ආදරෙන්, ස්වීට් ඒන්ජල් වැනි වාණිජමය සිනමාවෙන් ඔබ්බට යමින් මෙවර අත්හදා බැලීමක් ලෙසින් කලාත්මක සිනමාව වෙනුවෙන් වෙනස්ම අයුරේ නිර්මාණයක් බිහි කිරීමට ඔහු සමත්ව තිබෙයි. 

monalisa
Monalisa Movie Poster (Created by Lakshan Perera)


අසම්මත ඇතිරිල්ලෙන් හඬනා.....

           සුසුම් ඇතුළේ කටු වදුලේ මල පිපුණා .....

සමාජය තුළ නිතර අපට අසන්නට ලැබෙන දකින්නට ලැබෙන පුවත් මැවෙන සමාජය පිළිනොගන්නා අසම්මත ආදරයක් ගැන වෙනස් අයුරෙන් සිතමින් ආදරය සහ පවුල තුළ ගැහැණියටත්  පිරිමියාටත්  ඇති වගකීම් සමුදාය නැවත වරක් පසක් කර දීමට අධ්‍යක්ෂකවරයා සිනමාපටය හරහා සමාජීය වශයෙන් නැවත වරක් සිතීමට වැදගත් වූ පණිවිඩයක් විවෘත කර දෙයි.


කල්පනා මුතුමලී කුමාරී මැදවච්චියේ ඉපදුණු නර්ථනයට දක්ෂ සහ නර්ථනයට පෙම් බැඳී තරුණියකි. කුඩා කල දී මවගේ වියෝව සමඟ තනිවන ඈ රැකබලා ගන්නේ ඇයගේ කුඩම්මා විසිනි. නර්ථනය හේතුවෙන්ම කොළඹට පැමිණෙන්න කල්පනා හට හමුවන විවාහපත් වූ තරුණයෙක් වන නලීන් සමඟ හට ගන්නා අසම්මත ආදරයක් හේතුවෙන්ම දිනෙක ඇයට ජිවිතයෙන් පලා යාමට සිදුවන්නේ ඇයගේ කුළුඳුල් ආදරය වෙන්වෙන් ඈ විසින් සිදු කළා වූ අනපේක්ෂිත ඝාතනයක් හේතුවෙනි. 

මේ පැනයාම හමුවේ ඇයගේ ජිවිතයෙන් වන්දි ගෙවීමට සිතා සියදිවි හානී කරගැනීමට තැත් කිරීමේදී කල්පනාගේ ජීවිතය බේරා ගනු ලබනුයේ මදුවන්ත නම් අහම්බෙන් හමුවූ තරුණයා විසිනි. මදුවන්ත යනු කලා කාමී තරුණයෙකි. සිනමාපටයක් නිර්මාණය කිරීම ඔහුගේ ආසාව විය. ජීවිතයේ අරුත ගැන මනා අවබෝධයක් ඇති මදුවන්ත ජීවිතය නැති කරගැනීමට තැත් කළා වූ කල්පනාට පිහිටක් වීමට සුදානම් වනුයේ දෛවෝපගත බැඳීමක් ඉස්මතු වූ විලසිනි. 


නමුදු කල්පනා විසින් සිදු කළා වූ අපරාධයෙන් ඇයට බේරී යා හැකි වේද  යන්න සිනමාපටයේ මුල සිටම ප්‍රේක්ෂකයන්ගේ කෘතුහලයට නතු වන්නකි. සැබවින්ම කල්පනාට සිදුවන්නේ කුමක්ද යන්න සිනමාපටයේ අවසානය වන තුරුම අධ්‍යක්ෂකවරයා අපට රූප රාමුවෙන් රාමුවට චරිත බද්ධ කරමින් කෘතුහලය රැගෙන ඒමට සමත්කම් කියනු ලබයි.


සිනමාපටයට  රංගනයෙන් දායකත්වය ලබා දීම සඳහා දක්ෂ නළු නිළි පෙළක් තෝරාගෙන තිබීම මොනාලිසා සිනමාපටයේ දැකගන්නට ලැබෙන සුවිශේෂී කරුණකි. මෙහි ප්‍රධාන කාන්තා භූමිකාව වන "කල්පනා" හරහා ලාංකේය රිදී තිරයට එක් වන ඈ මධුෂානි වික්‍රමසිංහයි. ජනප්‍රිය නිරුපිකාවක් ලෙසින්ද රංගන ශිල්පිණියක් ලෙසින්ද කලා ලොවට පිවිසෙන ඇය  ප්‍රධාන භූමිකාවක් හරහා ප්‍රේක්ෂකයන් වෙත ගෙන එන  කුළුඳුල් සිනමාපටය මොනාලිසායි. ඇය රිදී තිරයට ආධුනික වුවද අනෙකුත් ජනප්‍රිය සහ දක්ෂ නළු නිළියන් සමඟ ආධුනික බව පසෙකලා කල්පනා ලෙසින් රිදී තිරය තුළදී ජීවත් වීමට ගත්තා වූ උත්සාහය අගය කළ යුතු වෙයි. එමෙන්ම නිරූපණ ක්ෂේත්‍රයේ සේම වාණිජ සිනමාවේ සහ ටෙලි නාට්‍ය හරහා ප්‍රේක්ෂක ආදරය දිනා සිටින අමිල චින්තක කරුණානායක මොනාලිසා සිනමාපටයේ "මදුවන්ත" ලෙසින් අපට මුණ ගැසෙයි. කලාත්මක සිනමාව තුළ නවකයෙක් ලෙසින් ඔහුද මදුවන්ත චරිතය ආයාසයකින් තොරවම ඉදිරිපත් කර තිබෙයි. එමෙන්ම මෙම සිනමාපටයේ රංගනය තුළ වඩ වඩාත් ඉස්මතු වන නමුත් කෙටි ජවනිකා තුලදී හමුවන සුලෝචනා වීරසිංහ "අයෝමි" ලෙසින් ඇයගේ සුපුරුදු රංගන දක්ෂතාවය හරහා සිනමාපටය තුළ ප්‍රේක්ෂක අවධානය නොමඳව ලබා ගැනීමට සමත්කම් කියනු ලබයි. එමෙන්ම බුද්ධික ජයරත්නයන් ද "නලීන්" යන චරිතය හරහා කල්පනාගේ අසම්මත පෙම ප්‍රේක්ෂකයන් වෙතට රැගෙන ඒමට ඔහුගේ රංගන න්‍යායය අනුගමනය කරනු ලබයි. මෙම චරිත වලට අමතරව  සුසංග කහඳවලආරච්චි, කුසුම් පෙරේරා, රින්සිලි වීරරත්න ඇතුළු රංගන ශිල්පීන් මොනාලිසා හා එක්ව තිබෙයි. සිනමාපටයේ දකිනට ලැබෙන රංගනයේ ඇති සුවිශේෂී බව නම් ප්‍රධාන භූමිකාවන් සේම සුළු චරිතයන් වෙනුවෙන් දායක වන රංගන ශිල්පීන් මොනාලිසා සිනමාපටයේ එක හා සමානවම ඔවුන්ගේ රංගන කුසලතා මැනවින් එක්කාසු කරගෙන තිබිමමය.

"ගහ කොළ වලට දාහක් ඇස් ඇති හින්දා

               සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා

කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා

               මුනිවත හොඳයි දෙබසින් දුක වැඞි හින්දා."

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ පද බැඳුමට විශාරද නන්දා මාලනියන්ගේ මියුරු හඬින් ගැයුනාවූ "කඩමණ්ඩිය" ගීතය වරෙක මොනාලිසා සිනමාපටය හරහා ප්‍රේක්ෂකයන් ගේ දෙසවනට ඇසෙන්නට සලස්වන්නේ රූප ජවනිකාව සමඟ යහමින් සුසංයෝග කරමිනුයි. අධ්‍යක්ෂකවරයා එම ගීතය හරහා සිනමාපටයට අවශ්‍ය වූ අසම්මත ප්‍රේමණිය හැඟීම හදවතට ලං කිරීමට ගත් උත්සාහය සාර්ථක එකකි.

මොනාලිසා සිනමාපටයේ පසුබිම් සංගීත අධ්‍යක්ෂණය එන්.එම්.ජේ .සිල්වාන් ගෙනි. සිනමාපටය වෙනුවෙන් නිර්මාණය කර ඇති ගීත දිත්වය මෙන්ම සිනමාපටයේ ඇතුලත් වන පසුබිම් සංගීතය ද සිනමාපටයේ ගුණය වෙනස් නොවන්නා වූ අයුරෙන් සංයමය මුසු කර තිබෙයි. සිනමාපටයේ ගලා යාමට එය රුකුළක් ව තිබෙයි. සුර්යා දයාරුවන්, එන්. එම්. ජේ.වසයිලාවෝ සමඟ භාෂි මධුභාෂිණි සිනමාපටයේ ගීත සඳහා ගායනයෙන් එක් ව තිබෙන අතර පද රචනය ඩිනාලි රොශාන්ති සේනාරත්නයන් විසින් සිදුකර තිබෙයි.

මොනාලිසා සිනමාපටයේ ගීත සඳහා රංගන වින්‍යාසය ප්‍රවීණ නර්තන අධ්‍යක්ෂක සංඛ ප්‍රසාද් විසින් සිදුකර තිබෙන අතර එම ගීතවත් වූ දර්ශනයන් වෙනුවෙන් ලබා දී තිබෙන සත්කාරය කතා කල යුතුම තවත් අංගයකි. විවිධ වූ අර්ථ රසයන් දෙකකින් නිර්මාණයවී  තිබෙන්නා වූ ගීත දිත්වය සඳහා කලාත්මක සිනමාවේ අපට නොදකින්න ලැබෙන ගීතයන් හී චමත්කාරය ලබා දෙන්නට සංඛ ප්‍රමුඛ කණ්ඩායමට හැකියාව ලැබී තිබීම මොනාලිසා වෙනුවෙන් ලබා දුන් තවත් ආලෝකයක් වෙයි.

සිනමාපටයේ අංග රචනය සහ ඇඳුම් විලාසිතා වෙනුවෙන් දායකත්වය ලබා දුන් ජනාදර අළුත්ගම ගැනද සටහනක් කල යුතුම වෙයි. සිනමාපටයේ චරිතයන් වෙනුවෙන් ප්‍රභල අංග රචනාවක් සිදු කර නොතිබුණද එය උචිතම අයුරෙන් ඔහු චරිතය ඉස්මතු වන ආකාරයෙන්  යොදා ගෙන තිබීම ප්‍රශංසාවට ලක් කෙරිය යුතු කරුණකි. එමෙන්ම නුවන් බුද්ධික ලියනවඩු සමඟ චාපා පෙරේරා විසින් මොනාලිසා හී කළා අධ්‍යක්ෂණ සිදුකර තිබෙයි. මොනාලිසා සිනමාපටයේ කැමරාකරණය සහ ආලෝකකරණයෙන් උපුල් ප්‍රියාන් එක්ව තිබෙන අතර යායු එන්ටර්ටෙන්ට්මන්ට් වෙනුවෙන් නිශාන්ත ගල්හේන සමඟ චම්පික සිල්වා නිෂ්පාදනය සදහා දායකත්වය ලබා දී තිබෙයි.

පැයයි විනාඩි හතළිස් පහකට ලංව දිව යන මොනාලිසා සිනමාපටයේ  තිර රචනය සහ අධ්‍යක්ෂණය සිදුකලා වූ එරංග සේනාරත්නයන් සිනමාපටයේ අවසානයට අපුරූ නිමාවක් ලබා දී තිබෙයි. බොහෝ කලාත්මක සිනමාපට වල  සිනමාපටයේ අවසානයේ සිදුවුයේ කුමක්ද යන්න ප්‍රේක්ෂකයන්ට නිවසට ගොසිනුත් සිතන්නට යමක් ඉතිරි කරන්නට ඇතැම් අධ්‍යක්ෂකවරුන් ගන්නා වූ උත්සාහය වෙනුවෙට අධ්‍යක්ෂකවරයා මොනාලිසා සිනමාපටය නරඹන ප්‍රේක්ෂකයන්ට සිතට සොම්නසක් ලබා දෙන අතර අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දෙසු ධර්මය තුල කර්ම ඵල විපාක සහ ආගමානුකුලව ජීවත් වීම ගැන ප්‍රේක්ෂකයන්ට සිතන්නට දෙයක් ඉතිරි කරයි. සිනමාපටය නරඹන විට යම් ජවනිකා කෙටි වූවා නම් හොඳයි කියා සිතුනත් සිනමාපටය නරඹන විට එකිනෙකට ගලපමින් සිතන්නට දෙයක් ඉතිරි නොකරමින් සිනමාපටය ගලාගෙන යන්නට ඉඩක් ඔහු නිර්මාණය කර තිබෙයි.  ලියනාඩෝ ඩාවින්චි ගේ අතිශය ජනප්‍රිය වූ මොනාලිසා සිතුවම දෙස බලන මොහොතක් පාසා කලා රසය වැඩි වනවා සේ එරංග සේනාරත්නයන්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ  මොනාලිසා සිනමා සිත්තම ද නරඹන සහ සිහියට නැඟෙන වාරයක් පාසා එහි ගැබ් වූ නව නළු රසයන් විවිධා කාරයෙන් සිහියට නැංවීමට තරම් ඔහු සිනමාපටය අව්‍යාජ ලෙස නිර්මාණය කර ඇත.

2022 ජනවාරි මස 26 වන දින දී මොනාලිසා සිනමාපටයේ විශේෂ මාධ්‍ය දර්ශනයක් වෙනුවෙන් සහභාගී වීමට භාග්‍ය උදා වූ නිසාවෙන්ම මෙම සිනමාපටය ගැන මෙලෙස සටහන් කල යුතුමයි සිතුනේ සිනමාපටය විකල්ප සිනමා බෙදාහැරීමක් ලෙසින් නුදුරේදී සිනමාශාලා වලදී ප්‍රදර්ශනයට එකතු වීමට සුදානම් වන නිසාවෙනි. එමෙන්ම මේ වන විටත් සිනමාපටයේ පූර්ව  ප්‍රචාරක පටය සයිබර් අවකාශයට එකතු කර තිබෙන අතරම කිව යුතු සහ අධ්‍යක්ෂකවරුන්ට මෙන්ම නිෂ්පාදකවරුනට ද අවධානය යොමු කල යුතු දෙයක් සටහන් කල යුතුය. ලාංකේය සිනමාවේ කොතරම් සිනමාපට බිහි වුවද එම සිනමාපට කෙරේ ප්‍රේක්ෂකයන් ගෙන්වා ගැනීමට අවශ්‍ය ප්‍රචාරණය තවමත් ඇත්තේ ළදරු අවදියක යන්නත් සිනමා ශාලා වෙතට නැවත සිනමා ප්‍රේක්ෂකයන් ගෙන්වා ගැනීමට හරි ආකාරව ප්‍රචාරණය කිරීමෙන් ප්‍රේක්ෂකයන් මෙන්ම සිනමාපටය වෙනුවෙන් දහඩිය මහන්සි වූ සියල්ලන්ටම එය අස්වැසිල්ලක් වනු නියතය. 

මොනාලිසා සිනමාපටය වෙනුවෙන් දායකත්වය ලබා දුන් සැමට ජය ප්‍රාර්ථනා ගෙනෙමින් මොනාලිසා සිනමාපටයේ කල්පනාගේ දෙබසකින්ම මේ සටහනින් සමුදෙන්නම්.

"ඔයා මට හිතවත් නම්, 

මං  වෙනුවෙන්  කරන්න ඕන එක දෙයක් තියනවා..

මං හිරේ ගියත්,මැරුණත්.. 

මගේ ආදරේ වෙනුවෙන් මගේ හෘද සාක්ෂිය ඔයාගේ කතාවකින් චිත්‍රපටියක් කරලා මට සාධාරණයක් කරන්න...

මට ඕනේ එච්චරයි...

ඒක මට අද සාප කරන ලෝකය දකී..."

මේ ඇගේ කතාවයි... "මොනාලිසා" GIZA BEE GIHAN THILAKARATHNE

Watch now

Monalisa (මොනාලිසා) Movie Trailer






 giza bee








Post a Comment

0 Comments