"සිහින විමනේ" සමඟ ඔබ හමුවට එන නළුවෙක් වගේ කඩවසම් ගායකයෙක්

 හේමාල් වාහලතන්ත්‍රී සමඟ ඇර්ට් Sට්‍රීට් - කලා වීදීය

හේමාල් වාහලතන්ත්‍රී සමඟ

Art Street - කලා වීදිය

අපි


හේමාල් වාහලතන්ත්‍රී සමඟ Art Street - කලා වීදීය


Question

හේමාල් කියන්නේ කවුද ? ඔබ ගැන හැඳින්වීමක් කලොත් ?

Answer

මම හේමාල් වාහලතන්ත්‍රී.  මම සීදුවේ තමයි පදිංචි වෙලා ඉන්නේ. ඒ වගේම මම දැනට සංස්කෘතික දෙපාර්තුමේන්තුවේ රාජ්‍ය සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායකයෙක් ලෙස සේවය කරනවා. ඒ වගේම අචාර්ය රෝහණ විරසිංහයන්ගේ කලා භූමි කලා ආයතනයේ මම ගුරුවරයෙක් විදියටත් කටයුතු කරනවා.


Question 

හේමාල්, ඔබේ පාසල සහ ඔබේ පවුල ගැනත්  සඳහනක් කරමූ ?

Answer

මගේ ප්‍රථම පාසල රද්දොළුගම කනිෂ්ඨ විද්‍යාලයයි. එයින් පසුව මට තවත් පාසල් දෙකක ඉගෙනුම ලබන්න හැකි වුනා. ඒ බොරැල්ල සුසුමයවර්ධන සහ  බොරැල්ල සී.ඩබ්.ඩබ්. කන්නන්ගර විද්‍යාලයන්  දෙකයි. මගේ පවුලේ ඉන්නේ  අම්මයි තාත්තයි අක්කයි මමයි. අපි හතර දෙනා තමයි ඉන්නේ.


Question
 
සංගීත ක්ෂෙත්‍රයට ඔබේ ආගමනය සිදුවීම මතක් කළොත් ?

Answer

මම පාසල් යන අවදියේ රුපවාහිනී සංස්ථාවේ අතුරු මිතුරු කණ්ඩායමේ ඉඳලා තියනවා.පසුව උසස් පෙළින් පස්සේ මට සෞන්දර්ය විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙන්න හැකියාව ලැබෙනවා. නමුත් මට එහි මාස තුන හතරක් වගේ කාලයක් තමයි ඉගෙනුම ලබන්න ලැබෙන්නේ. ඒ අතරේදී මට ශිෂ්‍යත්වයක් ලැබෙනවා ඉන්දියාවේ භාත්කණ්ඩ විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙන්න. එහිදී මම ප්‍රාසාංගික කලාවේදී උපාධිය වගේම ශාස්ත්‍රපති උපාධියත් හදාරනවා. ඒ අතරේදී මම සංගීත නිපුන් විභාගයටත් පෙනී සිටින්න ලැබෙනවා. මේ ආකාරයෙන් තමයි  මගේ සංගීත ක්ෂේත්‍රයේ ආධ්‍යාපන පසුබිම ගොඩනැඟෙන්නේ. අධ්‍යාපනය ලබාගෙන මම ලංකාවට පැමිණීමෙන් අනතරුව සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙක් විදියට සේවය කරන්න ලැබෙනවා වගේම කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලී මණ්ඩපයේ වසරක පමණ කාලයක් බාහිර කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කළා. ඒ අතර තුර " මාගේ ලෝකේ " නමින් මාගේ පළවෙනි ගීතය එළිදක්වනු ලබනවා. එහි සංගීතය වෙනුවෙන් රොමේෂ් සුගතපාලත් පද රචනය වෙනුවෙන් සජිත් අක්මීමණත් එකතු වුනා. එයින් පසුව මගේ දෙවන ගීතය විදියට " හද විමන් " එළි දැක්වුනා. මේ ගීතය හින්දි තනුවක් ආරයෙන් නිර්මාණය වූ ගීයක්. හින්දි ජනප්‍රිය ගීතයක් වන "Piyu Bole" ගීතයේ තනුව තමයි මේ සඳහා මම තෝරාගත්තේ. මේ ගීතය පද රචනය වගේම යුග ගායනාවෙන් දේශානි විතානගේ එකතු වුනා. " මාගේ ලෝකේ " ගීතයට වඩා බොහොම පිරිසක් ආදරයෙන් වැළඳ ගත්ත ගීතයක් තමයි " හද විමන් " . ඉන් පසුව දේශානි විතානගේ පද රචනයෙන් සහ භාෂි දේවාන්ගි සංගීත අධ්‍යක්ෂණය කල "පාවී හිත පාවී" කියන ගීතයත් ජානක ෆොන්සේකාගේ සංගීත අධ්‍යක්ෂණයෙන් සහ පද රචනය වරුණ එස් ලියනගේ බිහි වුන  "නෙතු මානේ" ගීතය තමයි මම දායකත්වය ලබා දුන් අවසාන ගීතය වෙන්නේ. දැනට මේ ගීත හතර තමයි මම කරලා තියෙන්නේ.ඒ වගේම කියන්න ඕනේ 2015 වසරේ සංස්කෘතික දෙපාර්තුමේන්තුව මඟින් සංවිධානය කරපු රාජ්‍ය සංගීත සම්මාන උලෙළේ ප්‍රශස්තම ශාස්ත්‍රීය ගායනයට සම්මානයට මම පාත්‍ර වුනා.


Question 

මේ වන විට ඔබේ නවතම ගීතයක් එළිදැක්වීමට සූදානම් වෙමින් තිබෙනවා.. ඒ ගැනත් අපි කතා කරමූ ?

Answer

ඔව්.. අලුතෙන්ම ගීතයක් මට ආදරය කරන අය වෙනුවෙන් එළිදැක්වීමට මේ දවස් වල ලැහැස්තිවෙමින් තමයි ඉන්නේ. "සිහින විමනේ" නමින් තමයි මේ ගීතය නම් කරලා තියෙන්නේ. මේ ගීතය ඇත්තටම මම පටිගත කරලා දැනට අවුරුද්දක් පමණ වෙනවා. නමුත් ගීතය සඳහා රූප රචනාවන් වල  වැඩ කටයුතු ඉවර උනේ මෑතකදී. ඉතින් ළඟදීම ඔයාලා හැමෝටම "සිහින විමනේ"  රස විඳින්න හැකියාව ලැබෙනවා.



Question 

සිහින විමනේ.. හා එකතු වූ පිරිස කවුද සහ ගීතය ගැනත් අපි ටිකක් කතා කරමු ?

Answer

"සිහින විමනේ"  ගීතයේ පද රචනය  ඖචිත්‍යා රණතුංග. ඒ වගේම සංගීත අධ්‍යක්ෂණය ජානක ෆොන්සේකා මහත්මයා විසින්. ඔහු තමයි රාජ්‍ය සංගීත කණ්ඩායමේ උපදේශක වශයෙන් කටයුතු කරන්නවා. "සිහින විමනේ" ගීතයේ රූප රචනාව සඳහා එච්.ඇන්ඩ්.ඊ .ප්‍රේමරත්න ප්‍රඩක්ෂන් ආයතනය සහ පිරිස. ඒ වගේම අමාරුම දේ උනේ මේ ගීතය සඳහා ගැළපෙන රංගන ශිල්පිණියක් තෝරාගන්න එක. කිහිප දෙනෙක්ම තෝරාගෙන සිටියත් විවිධ හේතුන් මත සහ දැනට පවතින Covid වසංගතය හේතුවෙන් ඒ කිහිප දෙනාටම "සිහින විමනේ"  සමඟ එකතු වෙන්නට බැරි වුනා. කලින් සිටම දින යොදාගෙන තිබුන නිසා දින වෙනස් කිරීමක් කරන්න නොහැකි වීම නිසාත් පසුව එච්.ඇන්ඩ් .ඊ .ප්‍රේමරත්න ප්‍රඩක්ෂන් ආයතනය මඟින්  දේවින්දි නයනමිණි ඒ සඳහා සුදුසු යැයි මට යෝජනා කරනවා. ඇය චීනයේ ඉගෙනුම ලබන වෛද්‍ය ශිෂ්‍යාවක්. ඉතින් දේවින්දි නංගි "සිහින විමනේ"  වෙනුවෙන් ලොකු සහයෝගයක් ලබා දුන්නා. ගීතය රූපගත කිරීම් සිදු වුනේ අනුරාධපුරයේ. දවසකටත් වඩා අඩු කාලයකින් මට මේ ගීතයේ රූගත කිරීම් ඉවර කරන්න පුළුවන් වුනා. ඒ වගේම "සිහින විමනේ" වෙනුවෙන් දායක වූ හැමෝගෙන්ම ලොකු සහයෝගයක් ලැබුණා සාර්ථකව සියල්ලම ඉවර කරගන්න. නැවත වරක් දේවින්දි වගේම හසිත් තාරක යන දෙන්නවත් මතක් කල යුතුයි. මේ නිර්මාණය සාර්ථක කරගන්න ඔවුන් ලබා දුන් සහයෝගය නිසාම. ඉතින් මම විශ්වාස කරනවා  මගේ කලින් නිර්මාණ වලට වඩා ලොකු වෙනසක් මේ ගීතයේ හරහා දැකගන්න ලැබෙයි කියලා.

ඒ වගේම තවත් නැවුම් ගීතයක් වෙනුවෙනුත් මේ දිනවල සුදානම් වෙමින් ඉන්නවා. ආචාර්ය රෝහණ වීරසිංහයන්  ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් සහ ඖචිත්‍යා රණතුංග පද රචනයෙන් නිර්මාණය වූ "සිහිනයක්" කියන ගීතය. මේ ගීතයේ පද රචනය වගේම වෙනස්ම වූ තනු නිර්මාණයක් තමයි එකතු කරලා නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින්  "සිහිනයක්" එළිදැක්වීමට ප්‍රථම ව  "සිහින විමනේ" ඉක්මණින්ම මගේ රසික ජනතාව වෙතට ගෙන එන්න සුදානම්.


Question 

ලාංකේය ගායන ක්ශේත්‍රය තුළ ප්‍රවීණයන් ගෙන් ලැබෙන සහයෝගය කොයි වගේද ?

Answer

ඔව්. මගේ සංගීත ජිවිතයේ බොහෝම ප්‍රවීණයින් ගෙන් සහයෝගය ලැබිලා තියනවා. චන්දන වික්‍රමසිංහයන් මුලින්ම මතක් කරන්න ඕනේ. සර් මට ගොඩක් අවස්ථා ලබා දීලා තියනවා. ඒ වගේම දමිතා අබේරත්න, අනුෂා දමයන්ති , චම්පා කල්හාරී, දයාන් විතාරණ, ලක්ෂ්මන් විජේසේකර, ආනන්ද වීරසිරි, නලීන් අල්විස්, සනත් අජන්ත, සංගීත් නිපුන් මංජුලා සෙනෙවිරත්න, ඉඳුනිල් නුගවෙල, අජිත් අලහකෝන්, චන්දන අයියා  ඇතුළු  ක්ෂේත්‍රයේ සිටින බොහෝ දැවැන්තයින් මට ගොඩක් වැඩ වලදී සහයෝගය දක්වලා තියනවා.  මේ මොහොතේ නම් වලින්  සඳහන් නොකරන්න බැරි වූ අය ඇති. ඒකට සියලුම දෙනාගෙන් සමාව ඉල්ලනවා. ඉතින් මගේ ගමනට අත්වැලක් සවියක් වූ නම් කියූ නොකියූ සියලු දෙනාටම මගේ ස්තුතිය මේ මොහොතේ  පුද කර සිටින්න කැමතියි.


Question 

පැරණී ගීත නැවත නවකයන් තුළින් ප්‍රතිනිර්මාණය වීම ගැන ඔබ සිතනුයේ කොයි ලෙසින්ද ?

Answer

මම නම් මේ දේ හොඳ දෙයක් විදියට දකිනවා. සමහර ගීත තියනවා මමවත් අහලා නැති බොහෝ පිරිසක් අහලා නැති. ප්‍රතිනිර්මාණය තුළින් නැවත පරණ ගීත ආයෙත් ඉස්සරහට එනවා. නවකයෙක් ගායනා කලත් අපි පළවෙනි පාර නම් ඒ ගීතය ඇහුවේ ඔහුගේම ගීතයක්ද යන්න සොයා බලා ඒ ගීතය රස විඳිනවා වගේම ඔර්ජිනල් ගීතය සොයා ගෙන අහන තත්වයට අපිව පත් වෙනවා. ඇත්තෙන්ම මේ විදියට පරණ ගීත නැවත ප්‍රති නිර්මාණය වීම සතුටට කරුණක්. ඒ වගේම පැරණි සමහර ගීත නැවත ප්‍රති නිර්මාණයේදී පැරණි ගායකයාට වඩා ආලෝකයක් ලබා දෙන්න පුළුවන් වුනු ගීත වගේම පැරණි ගීතය ප්‍රති නිර්මාණයට වඩා ලස්සන වෙන්නත් ඉඩ කඩ තියනවා. ඉතින් විය යුත්තේ පැරණි ගීතයට හානියක් නොවී නැවත ප්‍රතිනිර්මාණයක් විදියට සමාජ ගත වීමයි. ඉතින් මේ දේ හොඳයි කියන එක මම විශ්වාස කරනවා.


Question 

සංගීත ක්ශේත්‍රයට බොහෝම තරුණ තරුණියන් පිරිසක් රියැලටි තරඟ හරහා එකතු වීම සිදුවෙනවා. රියැලටි ගැන ඔබේ අදහස කොයි වගේද ?

Answer

ඇත්තෙන්ම ඒක වරදක් දකින්නේ නැහැ. ඒත් මේ වන විට බහුතරයක් නාළිකා හරහා ගායන රියැලිටි  දකින්නට ලැබෙනවා. නමුත් ඒ තුළින් වාසි හෝ අවාසී වීම් තරඟකරුවාට වෙන්න පුළුවන්.ඒ කියන්නේ සාධාරණ සහ අසාධාරණ විනිශ්‍යයන් ලැබෙන්න පුළුවන්. SMS තරඟ හරහා මනාප පළකිරීමේදී හොඳටම ගායනා කරන කෙනාට මනාප අඩු වුණොත් එතනත් අසාධාරණයක් වෙන්න පුළුවන්. තරඟයක් තුළ බිහි වන්නේ එකම එක ජයග්‍රාහකයෙක් පමණයි.නමුත් ජය පරාජයන්ට වඩා මේ පුළුල් සංගීත ක්ෂේත්‍ර තුළ දිගු ගමනක් යන්නට රියැලිටි වේදිකාව පොඩි හෝ අස්වැසිල්ලක්. දක්ෂතාවය වාසනාව මත තමයි ඒ සියල්ලම සිදුවෙන්නේ. ඉතින් මම රියැලිටි ගැන මධ්‍යස්තව සිතන අයෙක්.


Question 

ඔබ රුවේ බොලිවුඩ් නළුවෙකු ගේ සේයාවක් තියනවා. ඔබේ පෙනුම සමඟ ඔබට රංඟනයට එකතු වීමට කැමැත්තක් තිබේද ?

Answer

මේක මම කියන දෙයක් නෙමෙයි. ඉන්දියාවේ මම විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා අතර තුරේදී එහි සිටින යහළුවන් පවා මට ඒ දේ කියලා තියනවා. සමහර පිරිස් මුහුණු පොත හරහා මගේ ජයා රූප වලට කමෙන්ට් කරනවා සයිෆ් අලි ඛාන් වගේ කියලා. මම ඉතින් ජිම් ගිහින් ඇඟ ලස්සනට හදාගෙන  අඳින්න ආස කෙනෙක්. මම හිතනවා එය එළෙස විය යුතු දෙයක් කියලා. ඉතින් කොහේ ගියත් පිරිසිදුව ලස්සනට ඉන්න ඕනේ.

රංගනය ගැන ... මම ඇත්තටම රඟපාන්න කැමති. අවස්ථාවක් ආවොත් ඉතින් මට කරන්න පුළුවන් චරිතයක් ආවොත් බලනවා කරන්න. එත් සංගීත ක්ෂේත්‍රයේ රැඳී ඉන්න තමයි ගොඩක්ම කැමති. ඉතින් හැමදේම සමබරව තියාගෙන මට ගැලපෙන චරිතයක් ලැබුණොත් මගේ  ආසාව එක්ක ලැබෙන චරිතයට සාධාරණයක් කරන්න මම කැමති. දැනට මම රුපවාහිනී වෙළඳ දැන්වීම් දෙකකට පෙනී ඉඳලා තියනවා. එකක් මැලිබන් සහ අනෙක් එක සෝය මීට් වෙළඳ දැන්වීම්. සෝයා මීට් වෙළඳ දැන්වීමේ මට රංගනය සඳහා විජය නන්දසිරියන් සමඟ ඔහුගේ බිරිඳ දේවිකා මිහිරාණි සමඟ එකතු වෙන්න ලැබුනා.බලමු ඉස්සරහට ඒ පැත්තෙන් මොන වගේ දෙයක් කරන්න පුළුවන් වෙයිද කියලා.


Question 

ඔබ ප්‍රේමවන්තයෙක් ද ? ආදරය ගැන ඔබේ අදහස කොයි වගේද ?

Answer

මම ආදරය කරලා තියනවා. ඒ වගේම විරහවත් විඳලා තියනවා. ආදරය ගැන මම හිතන හැටි ගැන කිව්වොත් ගොඩක් කැප කිරීමකින් කරන්න ඕන දෙයක්. මොකද සැකය සහ ඊරිසියාව කියන දේවල් එනවා.ආදරය කරන එක අමාරු වැඩක්. නමුත් කලින් කිව්වා වගේ දෙන්නට දෙන්නගේ තියන තේරුම් ගැනීම සහ විනිවිද බාවය තුළින් ආදරය කරන්න පුළුවන් නම් එය පහසු වෙනවා සහ නිදහසේ ආදරය කරන්න ලැබෙනවා.


Question 

නැවතත් Covid 19 හිස ඔසවමින් තිබෙන කාලයක ඔබට ආදරය කරන අය වෙනුවෙන් කියන්න දෙයක් ඇති..

Answer

ඔව්. නැවතත් Covid 19 හිස ඔසවමින් සිටිනවා.  covid රෝගීව ඉන්න අය හරි ආකාරව බෙහෙත් හේත් ලබාගෙන සහ අනෙකුත් අය පිරිසිදුව සහ අවශ්‍ය සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් පරිස්සමට ඉන්න කියලා තමයි මේ වෙලේ හැමෝටම කියන්න කැමති. ඒ වගේම ඉක්මණින්ම Covid 19 පාලනය කරමින් මේ මුළු ලෝකයෙන්ම එය තුරන් කිරීමට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.


Question 

හේමාල් . ඔබට අවසානයේ දී ස්තූතී කිරීමට බොහෝ දෙනෙක් ඇති.. ඔබේ ගමනට ශක්තිය වූ අයට ඔබේ ආදරය දැක්වීමට මෙය අවස්ථාවක් කරගන්න.

Answer

ඔව්.. බොහොම පිරිසක් ඉන්නවා ස්තුතී කරන්න. මුළින්ම අම්මා තාත්තා අක්කා තමයි මුළ ඉඳලාම මගේ පිටුපස ඉඳලා ලොකු සහයෝගයක් දක්වන්නේ. මම හිතන්නේ මගේ ගීත කිවිමේ හැකියාව ලැබෙන්නේ අම්මාගෙන් කියලා. ඈ විශාරද නන්දා මාලනිය යටතේ තමයි සංගීතය හැදෑරීම කරලා තියෙන්නේ. ඒ වගේම මගේ ගුරුවරු සහ මගේ ලොකු අම්මා මතක් කරන්නම ඕනේ. ඒ වගේම මගේ පළවෙනි ගීතය කරන්න මට උදව් කරපු ලසන්ත අල්විස් අංකල්වත් මේ මොහොතේ මතක් කරන්න ඕනේ. ඒ වගේම මේ අවස්ථාවට ආරාධනා කරපු Art Street ඔයාලටත් මේ වෙලේ මම නම කියූ නොකියූ සැමටම ස්තුතීවන්ත වෙනවා.

Q & A සමඟ අපිත් එක්ක එකතු වූ හේමාල් වාහලතන්ත්‍රී , ඔබට ස්තුතිය පුදකරන ගමන්ම ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ වගේම කලා ලෝකයේ  දිගු ගමනක් යන්න ඔබට Art Street - කලා වීදිය අපි සුභ පැතුම් ගෙන එනවා.

"හද විමන්" ගීතය මෙතැනින් 👇



giza gehan thilakarathne









ජයාරූප මුහුණු පොතෙනි....


Post a Comment

0 Comments