රන්ජන් එක්ක THE GAME ජූනි 17 වෙනිදා රිදී තිරයට.

 

ලාංකේය සිනමා ප්‍රේක්ෂකයන් ගේ හදවතේ  SRI LANKAN SUPER STAR ලෙසින් ජනාදරයට පාත්‍රව සිටින සම්මානනීය රංගන ශිල්පී  රන්ජන් රාමනායකයන් සිරගත වීමට ප්‍රථම අවසන් වරට රංගනයෙන් දායක වූ THE GAME සිනමාපටය 2022 ජූනි මස 17 වන දින සිට දිවයින පුරා පිහිටි සිනමා ශාලා වලදී තිරගත වීමට නියමිතව ඇත. ප්‍රධාන නළු භූමිකාව හරහා අපට හමුවන රන්ජන් රාමනායකයන් මේ වන විටත් සිරගත කොට ඇත. මේ ලිපිය පළකරන මොහොතේ ද රන්ජන් රාමනායකයන් නිදහස් කරගැනීම වෙනුවෙන් කලා කරුවන් රැසක් කැම්බල් පිටියේදී සාමකාමී අරගලයක යෙදෙමින් සිටියි. 

"රජ හොරු" , "මයි නේම් ඉස් බංදු" සහ "හොරා පොලිස්" වැනි ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වයට පත් වූ වානිජමය සිනමාපට නිර්මාණය කිරීමෙහි සමත්කම් කියන තරුණ අධ්‍යක්ෂකවරයෙකු වන සුරංග ද අල්විස් ගේ නවතම සිනමා නිර්මාණය The Game  වෙයි. වෙනස් මුහුණුවරකින් නිර්මාණය වී  ඇති මෙම සිනමාපටය සිනමාශාලා වලට මුදා හරින්නේ රට තුළ  අරගලක්  සහ උද්ධමනයක් ඇතිව තිබෙන මොහොතකයයි. එය අධ්‍යක්ෂකවරයා සහ නිෂ්පාදකවරයා ගනු ලබන විශාල අවධානමක් සහ අභියෝගයකි.

'image.png' failed to upload.

The Game  සිනමාපටයේ කතාව කෘතුහලය , හාස්‍ය සහ ක්‍රියාදාම වලින් සමන්විතව නිර්මාණය වී තිබෙයි.  "විජේ" සහ "අජේ" යනු පොලිසියේ සේවයෙහි නියුතු ගජ මිතුරන් දෙදෙනෙකි. සමරදිවාකර යනු ඔවුන්ගේ සේවා ස්ථානයේ ස්ථානාධිපතිවරයා වෙයි. දිනක් ගංගා නමැති තරුණියක් පොලිස් ස්ථානාධිපතිවරයා  වෙත දුරකථන  ඇමතුමක් ලබා දෙන්නේ අභිරහස් මිනීමැරුමක් ගැන තොරතුරක් ලබා දීමටයි. නමුත් ඒ තොරතුර අජේ වෙතට පමණක් ලබා දීමට උවමනා බව ඈ පවසා සිටිද්දී අජේ පොලිස් ස්ථානයෙන් බැහැරව සිටීම හේතුවෙන් එම වැදගත් තොරතුර ලබා ගැනීමට ගංගා හමුවීමට යාමට විජේ හට සිදුවෙයි. ඒ විජේ ලෙසින් නොව අජේ ලෙසයි.


ගංගා මුණ ගැසීමත් සමඟ  නුදුරු දිනෙක  අන්තවාදී කල්ලියක් විසින් සැලසුම් කරන ප්‍රභූ ඝාතනයක් සම්බන්ධයෙන් තොරතුරු දැනගන්නා විජේ පසුව බුද්ධි අංශය  හා එක්ව එහි ප්‍රධාන සැකකරු අල්ලා ගැනීමට සමත්කම් කියනු ලබයි. පසුව විජේ සන ගංගා පෙම්වතුන් බවට පත් වෙයි. නමුත් මේ සියල්ල පසු පස තවත් රහසිගත කුමන්ත්‍රණයක් ගලාගෙන යනු බව තේරුම් ගැනීමට හැකි වෙන්නේ විජේ ඝාතනය වීමත් සමඟයි. මේ සියල්ලම සැලසුම් සහගතව කරනු ලබන GAME එකකි. සිනමාපටය පුරාවට කෘතුහලය සමඟ ප්‍රේක්ෂකයන් සිර කර තබන්නට The Game සැරසෙයි. මෙලෙස සිනමාපටයේ මුල් අවධිය ගලා යද්දී ප්‍රේක්ෂක ඔබට විජේව ඝාතනය කලේ කවුද ? ප්‍රභූ ඝාතනය සහ අන්තවාදී කල්ලිය ගැන වගේම The Game සිනමාපටය පුරා තිබෙන රහස් හෝඩුවාවන් සොයා යන්නට ඔබට හැකිවේවී.

The Game සිනමාපටයේ රංගනයෙන් දක්ෂ නළුනිළි කැලක් දායකත්වය ලබා දී තිබෙයි. රන්ජන් රාමනායක, තරින්දි ප‍්‍රනාන්දු, ශ‍්‍රියන්ත මෙන්ඩිස්, ජනිත් වික‍්‍රමගේ, බුද්ධික ජයරත්න, ධනංජය සිරිවර්ධන, චතූ රාජපක්ෂ, සැන්ඩෝ හැරිස් , නිල්මිණි කෝට්ටෙගොඩ සහ වසන්ත කුමරවිල ඇතුළු තවත් රංගන ශිල්පීන් ශිල්පිණියන් එක්ව තිබෙයි. 

The Game සිනමාපටයේ තවත් එක සුවිශේෂී දෙයක් ප්‍රේක්ෂකයන් වෙතට රැගෙන ඒමට අධ්‍යක්ෂකවරයා කටයුතු කර තිබෙයි. ඒ ලාංකේය සිනමා ඉතිහාසයේ ප්‍රථම වරට සිනමාපටයක් තුළ ITEM SONG එකක් එකතු කර තිබීම. පැරණි ජනප්‍රිය ගීතයක් වන "ජිවනමේ ගමන සංසාරේ" ගීතය මෙලෙස සිනමාපටයට වෙනස්ම අයුරෙන් ආලෝකයක් එකතු කරමින් ප්‍රති නිර්මාණයක් ලෙසින් එකතු වෙයි. 


THE GAME සිනමාපටයේ පිරිවර 

අධ්‍යක්ෂණය - සුරංග ද අල්විස් 

නිෂ්පාදනය - සංගීතා චිත්‍රපට සහ A4 චිත්‍රපට 

සහය නිෂ්පාදනය - අනුර සමරජීව 

පළමු සහය අධ්‍යක්ෂණය - නදීෂ සමිත් ඩයස් 

දෙවන සහය අධ්‍යක්ෂණය - නජිනි දික්ඕවිට 

තෙවැනි සහය අධ්‍යක්ෂණය - සමන් පද්මකුමාර 

The Game තිර රචනය - නිශාන්ත වීරසිංහ, අරුණ ශාන්ත, නදීෂ සමිත් ඩයස්

දෙබස් - දිරාන් විජේසිංහ  

කැමරා අධ්‍යක්ෂණය - ගාමිණී මොරගොල්ලාගම 

සංස්කරණය - SKY WALKAR 

සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස් 

ගීත ගායානා - සංඛ දිනෙත්, ශානිකා වනිගසේකර, බුද්ධික උෂාන්, උදයංග සුරේෂ්, රූනි 

ගීත පද රචනය - සමන් චන්ද්‍රනාත් වීරසිංහ, චන්ද්‍රදාස ප්‍රනාන්දු, ආනන්ද සමරකෝන්, දිල්හාරා ඉලංගකෝන් 

සංගීත සංයෝජනය - සුනෙත් කැළුම් 

නාද ශික්ෂණය - කාලිංග ගිහාන් පෙරේරා 

කලා අධ්‍යක්ෂණය - ඇහැලියගොඩ සෝමතිලක 

වේශ නිරූපණය - සදත් මන්දාරම්නුවර 

ඇඳුම් නිර්මාණය - ප්‍රියත් අරුණ ශ්‍රී 

කොණ්ඩා මෝස්‌තර - චතුරිකා සඳමාලි, කිරාන් ද සොයිසා 

නර්තන අධ්‍යක්ෂණය - සංඛ අබේසිංහ 

සටන් අධ්‍යක්ෂණය - සමන්ත රංග මායාදුන්න 

නිෂ්පාදන කළමනාකරු - ජයන්ත දර්ශන දිසානායක, සහය - මෝගන් යෝගප්‍රියා 

නිශ්චල ජයාරූප - අරුණ ශාන්ත 

තවත් නොබෝ දිනයකින් The Game සිංහල සිනමාපටය ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් රිදී තිරයේ සැරසෙද්දී  Art Street කලා විදියේ අපේ පැතුම The Game සිනමාපටය රිදී තිරයේදී සාර්ථක ගමනක් යාමට ලැබේවා යන්නත් ජනතා තරුව ලෙසින් අභිෂේක  ලැබූ ජනතා ආදරය නොඅඩුව ලබන රන්ජන් රාමනායකයන් හැකි ඉක්මනින් නිදහස් වනු දැකීමයි.The Game හා එක වූ සියල්ලන්ටම Art Street කලා විදියේ අපේ සුභ පැතුම්. 

ලාංකේය සිනමාවට වගේම රන්ජන් රාමනායක නම් වූ ඒ කලාකරුවාට ආදරය කරන සැමට ජූනි මස 17 වන දා සිට තිරගත වීමට සැරසෙන  THE GAME නරඹන්න ආරාධනා. 




Post a Comment

0 Comments