"ලැන්ටි" සහ "බන්ටි" ගේ නිවසට පැමිණෙන "ටිකිරි" නම් සුරූපී යක්ෂණිය වටා ගෙතුණු "බහුබුතයෝ" ප්‍රදර්ශනය වී වසර 20ක් ගත වී හමාරයි. ලාංකේය සිනමා ප්‍රේක්ෂකයන් හට නැවුම් වූ කතාන්දරයක් සමඟ හාස්‍ය මුසුකරමින් ඒ හරහා මිනිස් වෙසින් සිටින දෙවියන්ද, යක්ෂයන්ද බහුබුතයෝ තුළට කැන්දගෙන පැමිණියේ දක්ෂ සම්මානනීය අධ්‍යක්ෂකවරයෙකු වන "උදයකාන්ත වර්ණසුරිය" විසිනි. එතෙක් ඔහු විසින් නිර්මාණය කරන ලද ගිණි අවි සහ ගිණි කෙළි, බහුභාර්යා, රාජ්‍ය සේවය පිණිසයි, රෝස වසන්තේ වැනි සිනමාපට වලට වඩා හාත්පසින්ම වෙනස්ම වූ පවුලේ සැමට විනෝද විය හැකි විනෝදාත්මක සිනමාපටයක් ලෙසින් බහුබුතයෝ නිර්මාණය විය. ඒ අතර බහුබුතයෝ 2002 වසරේ අති සාර්ථක දින 100 පසුකරමින් වානිජමය වශයෙන් සාර්ථකත්වයට පතවු නිර්මාණයක් ලෙසට එක්වීම රහසක් නොවෙයි. එමෙන්ම "ටිකිරි" ලෙසින් චරිතයට ආරූඪ වූ "පබෝධා සංදීපනී" එම වසරේ නැගී එන නිළිය ලෙසින් සම්මානනීය වීමත් සුවිශේෂී විය. තවත් එක් සුවිශේෂී බවක් සිනමාපටයට එක්ව තිබුණේ බහුබුතයෝ වැනි හාස්‍ය සිනමාපටයක් තුළට විශාරද "නන්දා මාලනිය"න් ගේ හඬින් ගීතවත් වූ "කොන්ක්‍රීට් වනන්තරේ" වැනි ගීයක් එක්ව තිබීමයි. එය සැබවින්ම ප්‍රේක්ෂකයන්ට මෙන්ම සිනමාපටයට ද නැවුම් බවක් සහ තව තවත් සිනමාපටය ජනප්‍රියත්වයට පත් වන්නට හේතුවක් විය.
බහුබුතයෝ සිනමාපටයේ තිබු සාර්ථකත්වය හේතුවෙන්ම උදයකාන්ත "ගින්දරි" ලෙසින් බහුබුතයෝ සිනමාපටයේ දෙවැන්නක් ප්‍රේක්ෂකයන් වෙතට 2015 වසරේ දී තිළිණ කළාය. ඒ වන විටත් උදයකාන්ත වර්ණසුරිය සිය 18 වන සිනමාපටයත් ප්‍රදර්ශනය කරමින් සිනමා අධ්‍යක්ෂණයේ අධ්‍යක්ෂකවරයෙකු, තිර රචකයෙකු ලෙසින් ලබා ගත හැකි දැනුමෙන් සන්නද්ධ වෙමින් ලාංකේය වාණිජ සිනමා ක්ෂේත්‍රයේ ස්ථාවරත්වයක් ගොඩ නඟා ගනිමින් ප්‍රේක්ෂක අවධානය තමා කෙරේ අල්වා තබා ගන්නට සමත් වූ බව විශ්වාස කල හැකිය. එම විශ්වාසය ප්‍රේක්ෂකයන් තුළ ගොඩනංවාලීමට ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද බහුබුතයෝට අමතරව , යකඩ පිහාටු, , හිරි පොද වැස්ස, රන්කෙවිට 1, ආසයි මං පියාබන්න, චැලෙන්ජර්ස් වැනි සිනමාපට සාක්ෂි දරයි.
ටිකිරි ගෙන් ගැලවුණු ලැන්ටි සහ බන්ටි සුපුරුදු පරිදි නිවසේ සිටින අතර නැවත වරක් ඔවුන්ගේ නිවසට ටිකිරි ගේ පැමිණීමත් සමඟ බහුබුතයෝ "ගින්දරි 2" සිනමාපටය රිදී තිරයේ දිගහැරිනි. දේශපාලනික වියුහයක් තුළ හාස්‍ය ජනිත වන පරිදි තිර රචනය සිදුව තිබු අතර, ප්‍රථම බහුබුතයෝ සිනමාපටයේ ආකෘතිය හා කතාව සමඟ ගලපවා ගනිමින් එය අධ්‍යක්ෂණය කිරීමට උදයකාන්ත සමත්ව තිබෙයි. ප්‍රථම සිනමාපටයේ ටිකිරි දෙවැන්නේ දී ගින්දරි බවට පත් වන්නේ ඇය සතුව ඇති බලයක් හේතුවෙනුයි. ඒ ඇගේ මුවින් ඇයට අවශ්‍ය විටකදී මකරෙකු මෙන් ගින්දර පිට කිරීමට ඇති හැකියාවයි. ලෝක සිනමාවේ අපට බල සහිත මනක්කල්පිත වීරවරයන්, වීරවරියන් සිනමා තිරයේදී හමුවෙද්දී ලාංකේය සිනමාවේ ප්‍රථම වරට බලයක් සහිත මෙවැනි චරිතයක් අපට හමුවන්නේ ගින්දරි හරහායි. එය ලාංකේය ප්‍රථම බල සහිත සිනමා චරිතය ලෙසට හඳුන්වා දීම උචිත වෙයි. නමුත් අපට ලෝක සිනමාවේ විරචරිතයන් (Super Hero ) ගේ සිනමාව හා හැප්පෙන්නට කොතරම් වූ කාලයක් බලා සිටින්නට වේද යන්න ඇතිවන පැනයකි සහ දුකකි. නමුත් ගින්දරි හරහා උදයකාන්ත උත්සහ කරනුයේ සමාජය වටපිටාව තුළ වීරත්වයක් සහිත කාන්තා චරිතයක් ගොඩනැගීම සහ අප දේශය යක්ඛයින් විසු දේශයක් බව අමතකව යන පරපුරකට නැවත මතක් කරවා දීමට ගත් පියවරක් ලෙසට සිතිය හැක.
වසර ගණනාවකට පසුව ගින්දරි 3 මෙරට ප්‍රදර්ශනය ඇරඹෙන්නේ 2022 උඳුවප් මස 01 වන දා සිටයි. මෙරට තිරගත වීමට ප්‍රථමව විදෙස් රටවල් කිහිපයකම ගින්දරි 3 තිරගත වීම සිදුවිය. මේ වන විට සාර්ථක දින 50 කඩයිම පසු කරමින් තිරගත වන උදයකාන්තගේ ගින්දරි 3 ගැන විවිධ වූ අදහස් මතයන් ප්‍රේක්ෂකයන් වෙතින් ගලා ගෙන එයි. එමෙන්ම බොහෝ පිරිසක් පවුල් පිටින්ම ගින්දරි බැලීම සඳහා තවමත් සිනමා ශාලා වලට ගොඩවෙයි. මෙවර ගින්දරි හරහා උදයකාන්ත උත්සහ දරා තිබෙන්නේ බන්ටි සහ ටිකිරි ගේ පවුල් කුටුම්බය තුළ සිදුවන සිදුවීමක් කේන්ද්‍ර කරගනිමින් ගින්දරි තම පවුල රැක ගැනීමට දරන්නා වූ උත්සහය තිරයට රැගෙන ඒමටයි. සිනමාපට දිත්වයෙදීම ප්‍රධාන චරිත තුන වූ ලැන්ටි (මහේන්ද්‍ර පෙරේරා) , බන්ටි (රොඩ්නි වර්ණකුල) සහ ටිකිරි (පබෝධා) චරිතයන්ට අමතරව බහුබුතයෝ හි අපට හමුවූ චරිත කිහිපයක් නැවත නැවතත් අපට ගින්දරි 3හි දකින්නට ලැබෙයි. චමින්ද (රිචඩ් මානමුදලි) වගේම , පාරේ දකින ටිකිරිට දපනේ වැටුණු අලියා ඇතුළුව තව නැවුම් වූ චරිත කිහිපයක්ම අපට උදයකාන්ත ගේ සිනමාපටය තුළ දැකගන්නට පුළුවනි.
බන්ටි සහ ටිකිරි හට පිරිමි දරුවෙකු උපදී. ඔහු අර්ධ මනුෂ්‍ය අර්ධ රාක්ෂ ලෙස ඉපදුනු අයෙකි. ඔහු නමින් "සුපිරි" වෙයි. සුපිරි හට ටිකිරිට මෙන්ම යම් යම් බලයන් සහ හැකියාවන් පිහිටයි. එම මායා බලයෙන් ඔහු විවිධ දේවල් කරනු ලබයි. බන්ටි සුපුරුදු ලෙස පුවත්පත් ජයාරූප ශිල්පියෙක් ලෙස කටයුතු කරමින් සිටින අතර එක් දිනක් මැර කල්ලියක් විසින් සිදු කරන අපරාධයක් බන්ටි සිය කැමරාවේ ජයාරූප ගත කරගනු ලබයි. එය පුවත් පතේ පළවීමත් සමඟ එම මැර කල්ලි නායකයා ඒ ගැන කෝපාවිෂ්ට වෙයි. තමා ගේ රහසිගත වැඩ කටයුතු වලට එරෙහිව ඒවා හෙලිකිරීම සම්බන්ධයෙන් බන්ටි සොයා ඔහුගෙන් පළිගැනීමට මැර නායකයා තම කණ්ඩායමට අනුබල දෙයි. ඒ හේතුවෙන් බන්ටි පසුපස ඔවුන් ලුහු බඳින්න පටන් ගනී. දිනක් බන්ටි සහ සුපිරි, මෝටර් බයිසිකලයේ ගමන් ගද්දි ඔවුන් පසු පස එන මැර කණ්ඩායමෙන් තම පියාව බේරා ගැනීමට සුපිරිට හැකියාව ලැබෙයි. ඒ ප්‍රශ්න වලට මුහුණ දෙමින් සිටියදී තවත් ප්‍රශ්නයක් බන්ටිගේ හිස මතට කඩා වැටෙන්නේ නොසිතු විලසිනුයි. ඒ තම දරුවා වන සුපිරි රැගෙන යාමට යක්ෂ ලොවෙන් යක්ෂණියන් ඔවුන් සොයා පැමිණීමත් සමඟයි. මේ ප්‍රශ්නයට විසඳුමක් සොයා යන ගමනේ බන්ටි නතර වන්නේ තම අතිජාත මිත්‍රයා වන ලැන්ටි ලඟයි. එක අන්තයකින් මැර තර්ජන සහ අනෙක් අන්තයෙන් තම දරුවාව රැගෙන යන්න පැමිණි නර පිරිස සමඟ ටිකිරි සහ බන්ටි මවක් පියෙක් ලෙසත් ලැන්ටි මිතුරෙකු විලසිනුත් මුහුණ දෙන සිද්ධිදාමය වටා ගින්දරි 3වන සිනමාපටය උදයකාන්ත ප්‍රේක්ෂකයන්ට සමීප කරයි.
බහුබුතයෝ පළමුවෙනි සිනමාපටයේ (2002) දී මෙරටට තවුතිසාවෙන් වැඩි දෙවිවරුන් සේම ගින්දරි 3 හරහා නැවත ඔවුන් ගේ ආගමනය පෙන්වන අතර මෙරට වත්මන් ජීවන අර්බුදය, දේශපාලනික සහ රටේ සංවර්ධනය ගැන සිනමාපටය හරහා ගෙන හැර පෑමට දෙවිවරුන් උපයෝගී කරගෙන තිබෙයි. එයට හොද සාධාරණයක් ශ්‍රීනාත් මද්ධුමගේ සමඟ සමන් හේමන්ත ලබා දී තිබෙයි. වෙනදාට ලැන්ටි සහ බන්ටි තුළින් දක්නට ලැබූ හාස්‍ය රංගන උද්දිපනයන්ට වඩා ශ්‍රීනාත් ගේ සහ සමන්ගේ චරිතයන් තුලින් සිනමාපටයට ලැබුණු රංගනය සහ දෙබසින් ප්‍රේක්ෂකාගාරය සිනහවෙන් පිරී යයි. එමෙන්ම ඒ අතර නිරායාසයෙන් අපට විජය නන්දසිරි නම් කලාකරුවාව මතකයට නැඟෙයි. ඔහුත් සිටියා නම් මෙය තවත් රසවත් වේවී යන හැඟීම සහ එතුමා අද අප අතර නැති වග සිතට තදින්ම දැනෙයි.
ගින්දරි ලෙසින් පබෝධා සංදීපනී සුපුරුදු පරිදි රංගනයෙන් එක්වෙයි. නමුත් එම චරිතය තව තවත් ඉස්මතු වීමට අධ්‍යක්ෂකවරයා සහ කතා රචකයා ඉඩක් නොදීම නිසා ඇය ඒකාකාරී තලයකට කොටුවුවාක් මෙන් දැනෙයි. බහුබුතයෝ 1 සහ ගින්දරි 2ක නිර්මාණයන් තුළ මීට වඩා රංගන පරාසයක පබෝධාට තම දක්ෂතා පෙන්වන්නට පුළුවන් කම තිබු බව නරඹන විටදී දැනෙයි. මෙම සිනමාපටයට අදාලව ටිකිරි ගෙන් පෙන්විය යුතු දරු සෙනහස මාතෘත්වය වැනි දෑ තව තවත් සිනමාපටයට ඇතුලත්ව තිබෙන්නට තිබුනා නම් අගනෙයි. තම දරුවා උදුරාගෙන යන්නට එන යක්ෂණියන් ගෙන් විපතක් වෙයි යන තැවුල, බිය කිසිවිටෙක ගින්දරි තුළ හටගත් බවක් දක්නට නොලැබෙයි. 2022 දී අප දුටු ටිකිරි වසර 20 කට පසුව වුවද එකම රූපකායෙන් දැකගන්නට ලැබෙන්නේ වයසට නොයන පබෝධා නිසාවෙන් බව කිව යුතුමයි. සිනමාපටය ඇදගෙන යාම එදා පටන් ඇයගේ රංගනය සේම ආකර්ෂණිය පෙනුම රුකුලක් වූ බව සත්‍යකි.
ගින්දරි 3හි රොඩ්නි වර්ණකුල, බන්ටි ලෙසින් සැලකිලිමත් රංගනයක නියැලෙන්නට අවස්තාව ලැබෙයි. එහෙත් මහේන්ද්‍ර පෙරේරා ගේ චරිතය වෙනදා මෙන් කතාවට විශාල දායකත්වයක් නොලබයි. එමෙන්ම බන්ටි සහ ලැන්ටි ගෙන් අප කලින් ලැබූ හාස්‍ය ගැබ් වූ රංගනය හා දෙබස් වලට වඩා මෙරව පරිනත වූ පවුල් ප්‍රශ්න වලට මුහුණ දෙන පියවරුන් දෙදෙනෙක් දැකගන්නට අධ්‍යක්ෂකවරයා සලස්වා දෙයි. ඒ පරිනත බව තුළ හුවමාරු වන දෙබස්, සිදුවීම් හරහා ඔව්න් දෙදෙනාම ප්‍රේක්ෂකයන් අල්ලා තබා ගන්නට උත්සහ දැරුවත් පෙර කි ලෙස ශ්‍රීනාත් සහ සමන්ත ගේ රංගනයන් තුළින් මුළු සිනමාපටයෙන් අඩකටත් වඩා ප්‍රමාණයක් ප්‍රේක්ෂක ග්‍රහණය කරගැනීමට දායක වේ. විටෙන් විට දකින්නට ලැබෙන චම්න්ද (රිචර්ඩ්) කෙටි කාලයක රංගනයෙන් වුවද ඔහුගෙන් ලබා ගත් දෙයක් නොමැති බව හැඟේ.
ගින්දරි ගේ සහ බන්ටිගේ දරුවා ලෙසින් සිනමාපටයට එක් වන චවින් විජේසිංහ (සුපිරි), ගැනද කතා කලයුතුම වෙයි. ගින්දරි 3හි කතාවට මුල් වන අනෙක් සහ නැවුම් චරිතයන් ගෙන් එකකි. ප්‍රථම සිනමාපටය වුවද චවීන් කැමරාවට හුරු පුරුදුකරුවෙක් මෙන් රංගනයේ යෙදෙයි. නමුත් රංගනයේ ආදුනික බවක් ඔහු තුල නැතුවාම නොවෙයි. ඒ ආධුනික බව සඟවා ප්‍රේක්ෂකයන්ට ඔහුගේ දෙබස් වලින් තොර වූ රංගනය තුළින් සිනමාපටය නරඹන කුඩා දරුවන් වැඩිහිටියන් ව අල්වා තබා ගන්න අධ්‍යක්ෂකවරයා චවීන් විජේසිංහ ව හසුරුවා තිබෙයි.
සිනමාපටයේ දුෂ්ඨයින් දෙපිරිසකි. එක් කොටසක් බන්ටි පසුපස එන මැර කල්ලියයි , අනෙක සුපිරි පසුපස හඹා එන යක්ෂණියන් තිදෙනා සහ කුඩා යක්ෂ පැටියායි. යක්ෂණියන් වෙනුවෙන් තෝරාගෙන ඇත්තේද අපේම සුරූපී නිළියන් කිහිපදෙනෙකි. ටීනා ෂෙනාල්, චංචලා වර්ණසුරිය, තරින්ඳි ෆර්නෑන්ඩෝ සමඟ චුලක්ෂි රණතුංග එම යක්ෂණියන් වෙයි. මෙහි විශේෂය නම් යක්ෂණියන් වෙනුවෙන් ලබා දී ඇති වේෂ නිරුපනයයි. එය ඇගයිය යුතු එකකි. සිනමාපටයේ හැඩකාර විසේකාර පෙනුමෙන් සිටින ඔවුන්, එක් වනම යක්ෂණියන් ගේ වේෂයට පරිවර්තනය වෙයි. සිනමාපටයේ දී ඔවුන් සුපිරි ව රැගෙන යාමට පැමිණෙන්නේ ඔවුන්ගේ යක් කුලයේ එකෙක් නිසාවෙන් බව තැනකදී සඳහන් වෙයි. එම නිසා ඔවූන් ගේ පැමිණීමේ ප්‍රශ්නයක් නොමැත. ඒ නමුදු මේ සුරුපිනියන් ට කතා කිරීමට දෙබස් ද නැත. රූප රාමුවල කතා කරමින් සතුටෙන් සිටින බව පෙනුනත් ප්‍රේක්ෂකයන්ට ඒ කතා කරන්නේ මොනවාද යන්න ඇසෙන්නේද නැත. ඔවුන්ට උසුළු විසුළු හෝ නොහබිනා කම් සිදුකරන පුද්ගලයන්ට ඔවුන් ගේ ඇති බලයන් හරහා දඬුවම් ලබා දෙමින් සුපිරි සොයමින් ගමන් කරයි. ටීනා, චංචලා, තරින්දි ගේ රංගනයන් ට වඩා සිනමාපටයේ විසිතුරු ඇඳුමෙන් සහ කොටට හිරට හැදී මෝස්‌තර ඇඳුමෙන් සරසවා ප්‍රේක්ෂක ආකර්ෂණය ඔවුන් කෙරේ අල්වා තබා ගැනීමට අධ්‍යක්ෂකවරයා උත්සහ කර තිබෙයි. ඒ අතර යක්ෂණියන් ගේ ප්‍රධාන යක්ෂණිය (චෞද්‍ර ලෙස නම් කරයි) යයි සිතිය හැකි චරිතය චුලක්ෂි රණතුංග ඉදිරිපත් කලද ඇයගෙන් වුවද ගත යුත්තක් රැගෙන නොමැති බැව් කිවයුතුව ඇත. නවීන පන්න ඇඳුම් මෝස්‌තර වලින් නිරුපිකාවන් ලෙසින් තිරයේ දිස්වෙමින් එහා මෙහා ඇවිදීම, දිවීම්, කෙටි ක්‍රියාදාම හැරෙන්නට ඔවුන්ගෙන් නිසි ප්‍රයෝජනයක් අධ්‍යක්ෂකවරයා ලබාගෙන නොමැත. එසේ නොමැතිනම් තිරපිටපතේ අඩුපාඩු සහ ඒ තුළින් චරිත ගොඩනගා ගැනීමේ මදිකම කියා පායි.
සිනමාපටයේ සෙසු චරිත සඳහා ද උදයකාන්ත තෝරාගෙන තිබෙන්නේද ප්‍රවීණ සහ ජනප්‍රිය පිරිසකි. ඒ අතර සරත් කොතලාවල, නිල්මිණි කෝට්ටේගොඩ, සරත් චන්ද්‍රසිරි, ආනන්ද අතුකෝරළ, දිලිප් රෝහණ, කීර්ති රත්නායක, සජීව මල්මාලආරච්චි, උදේනි චන්ද්‍රසිරි, ටිශෝන් වැන්හොෆ්, මර්වින් විජේසිංහ, අනුර ශ්‍රීනාත්, චතුර පෙරේරා, වසන්ත විට්ටචිචි, සිසිර කුමාරතුංග සමඟ සරත් පීරිස් වෙති.
සිනමාපටය තුළට මෙවර අධ්‍යක්ෂකවරයා යුධ ටැංකි පවා යොදාගෙන තිබෙයි. ඒ ගින්දරි සහ යක්ෂණියන් ගේ ගින්දර යුද්ධය වෙනුවෙනුයි. එත් ඇත්තටම යුද්ධයක් නිර්මාණය වී තිබුනාද?
ගින්දරි - 3 හොලිවුඩය සහ බොලිවුඩය තුළ නිර්මාණය වූ සිනමාපට හා සැසඳීම ද විශාල මෝඩ කමකි. මෙය අප රටේ නිර්මාණය කරන ලද එකක් යයි සිතා මනස සකසා ගෙන බැලිය යුතු වෙයි. සිනමාපටයේ පරිගණක සජීවීකරණ භාවිතාව ගැන ලොකු පැහැදීමක් නැත සහ තවම අධ්‍යක්ෂකවරයා ඔහුගේ "රන්කෙවිට" සිනමාපටයේ ප්‍රයෝග නිර්මාණ කල කාලයේ දෘෂ්‍ය ප්‍රයෝගයන් උත්සහ කිරීමට යාම නිසා දෝ සජිවිකරයේ දුර්වලතා මතුවෙයි. වරෙක නෙලුම් කුලුනේ පොහොට්ටුව දිග හැරීම තුලින් ප්‍රේක්ෂකයන් ට සිනහවක් ගෙනෙන්නට දරපු උත්සාහය අගනෙයි. නමුත් වරෙක නෙලුම් කුලුන විනාශයට පත් වී නැවත සුපිරි එක් ක්ෂණයකින් එය යතා තත්වයට පත් කිරීම පෙන්වන්නට යාමෙන් එම දර්ශනය තුළ ප්‍රේක්ෂකයන් සිනහවන්නේ එම ක්‍රියාවට ද නැතිනම් අධ්‍යක්ෂකවරයාට ද යන්න සිතිය යුතුවෙයි. අද මෙරට පවතින දියුණුව සංවර්ධනය කෙසේ වේවා, නමුත් මෙරට හොද තාක්ෂණික සජිවිකරණයන් ගැන උනන්දුවක් ඇති ඉගෙනීමක්, පළපුරුද්දක් ඇති දක්ෂයින් ඇති තරම් සිටින බවත් මෙවැනි නිර්මාණයන් වලදී ඔවුන්ගේ සහය ලබා ගැනීමට හැකියාව තිබුනේ නම් මීට වඩා හොඳ පරිපුර්ණ සිනමාපටයක් ප්‍රේක්ෂකයන්ට දැකගන්නට ලැබේවි යන්න මගේ හැඟීමයි.
ආනන්ද පෙරේරා ගේ පසුබිම් සංගීතයෙන් ගින්දරි 3 සිනමාපටය සඳහා සාධාරණයක් ලැබී තිබෙයි. අවශ්‍ය පරිද්දෙන් අවශ්‍ය තැනට උචිත ගැලපෙන අයුරෙන් සංගීතය මුසු කර ඇත. එමෙන්ම සිනමාපටයේ වේෂ නිරුපණය සිදුකලා වූ නලින් ප්‍රේමතිකල ඇතුළු පිරිසට ඔවුන් සිදු කළා වූ බැරෑරුම් කටයුත්ත සාර්ථකව ඇත. අපේ සුකුමාල නිළියන් යක්ෂණියන් බවට පත් කිරීමට ඔබ දක්ෂ වී ඇත. සම්මානනීය කැමරා අධ්‍යක්ෂක කේ.ඩි .දයානන්දයන් විසින් සිනමාපටයේ කැමරා අධ්‍යක්ෂණය කර තිබෙයි. එමෙන්ම සිනමාපටයේ සංස්කරණය ප්‍රවීන් ජයරත්නයන්ගෙනි. කළා අධ්‍යක්ෂණය අරුණ ඩයස් විසින් සිදුකර තිබෙයි. සිනමාපටයේ දෙබස් උදයකාන්ත විසින් සිදුකර ඇති අතර සිනමාපටයට එයින් සාධාරණයක් කර ඇත. නමුත් සිනමාපටයේ සුපිරි ඇතුළු යක්ෂ පිරිසට දෙබස් නැති කම නම් දුටු අඩුවකි.
ගින්දරි සිනමාපටයේ මුල් පැය සාර්ථකව රැගෙන යාමට අධ්‍යක්ෂකවරයා රස තිර පිටපතක් ලියා තිබුනද සිනමාපටය අවසානය වන විට එය දියාරු වී ගිය බවක් දැනෙයි. කතාව තව ශක්තිමත්ව ලියවුනා නම් මීට වඩා හොඳ අවසානයක් සහිතව ගින්දරි 4ක් ප්‍රේක්ෂකයන් සතුටු සිතින් ඉල්ලනවාට සැකයක් නොමැත. නමුත් අධ්‍යක්ෂකවරයා ඊළඟ ගින්දරි ගැන සිහින දකිනවා නම් මිට වඩා හොඳ සැලැස්මක් සහිතව කතා පුවතක් සමඟ නව තාක්ෂනය ද එකතු කරගෙන පැමිණීම අනිවාර්යයෙන් සිදුවිය යුතුවෙයි. දැන් නිර්මාණය වන නව සිංහල සිනමාපට තුළද පරිගණක තාක්ෂනය සහ 3D , VFX, වැනි දේවල් ඉහලින් තිබීම හේතුවෙන්ම අධ්‍යක්ෂකවරයාට තරඟයක් තිබෙයි. මැත කාලීනව නිර්මාණය වූ ඔහුගේ සිනමාපට බොහොමයක් ගැන ප්‍රේක්ෂකයන් ගේ සහ විචාරකයන්ගේ තිබුණු ආකල්පය සුභ දායක වුයේ නැත. එයට හේතුව මම දකින පරිදි සියල්ලෝම සොයනුයේ ගිනි අවි සහ ගිනි කෙළි , බහුභාර්යා, යකඩ පිහාටු, රෝස වසන්තේ, අසයි මං පියාබන්න වැනි සිනමාපට නිර්මාණය කල උදයකාන්තාවයි. නමුත් ඔහු කාලය හැටියට අවශ්‍ය පරිදි සිනමා නිර්මාණ ඉදිරිපත් කරන අධ්‍යක්ෂකවරයෙක් ලෙසට මට හැඟෙයි. තවද සිනමාපටයේ පුර්වප්‍රචාරක පටය සහ කෙටි ප්‍රචාරක පට තුළට සිනමාපටයේ බහුතරයක් හාස්‍යයෙන් පිරි ජවනිකා ඇතුලත් කිරීමට යාම නිසාම සිනමාපටය නරඹද්දී එම දර්ශනයන් වල නැවුම් බවක් දක්නට නොලැබීමද මා දුටු දුර්වලත්වයක්. සිනමාපටය මාර්කටිං කිරීමේදී තව තවත් සුක්ෂමව සිතිය යුතුය යන්න හැඟේ.
2002 දී සහ 2015 දී ලැන්ටි , බන්ටි වගේම ටිකිරි ව නරඹන්න ගිය ප්‍රේක්ෂකයන් 2022 දී ද ගින්දරි 3 ප්‍රේක්ෂකයන් ගේ අඩුවක් නැතිව ප්‍රදර්ශනය වීම සතුටට කරුණක්. ඒ තවමත් උදයකාන්ත වර්ණසුරිය යන අධ්‍යක්ෂකවරයාව ප්‍රේක්ෂකයන් විශ්වාස කරන බවයි. ඒ විශ්වාසය කඩ නොකර අනර්ඝ නිර්මාණ කිරීමට සිත් පහළ වේවා කියා මා උදයකාන්ත වර්ණසූරියන් හට ප්‍රාර්ථනා කරන්නෙමි.
සිනමාපටය මාතර ස්කයි ලයිට් සිනමාහලේ දී නරඹා මෙම අදහස් පලකළ බව සලකන්න .
දිනය දෙසැම්බර් 02 , 2022







0 Comments