හොලිවුඩයට අද (ජුලී 21) දිනය තවත් සුවිශේෂී දිනයකි. එයට හේතුව නම් ප්‍රේක්ෂකයන් මහත් පිපාසයකින් යුතුව බලා සිටි සිනමාපට දෙකක් එකම දිනයේදී තිරගත වීම් ආරම්භ වීමයි. එනම් Barbie සමඟ ක්‍රිස්ටෝපර් නොලන් ගේ Oppenheimer සිනමාපට දිත්වයයි. මේ සිනමාපට දිවයේ තරඟය කෙසේ වේද යන්න ප්‍රේක්ෂකයන් සේම සිනමාපට විචාරකයන්ද නොඉවසිල්ලෙන් පසුවෙති.
Barbie බෝනික්කන් ලොව පුරා සිටින තරුණ සහ ළමා දැරියන් විශේෂයෙන්ම ප්‍රිය කරන බෝනික්කන් විශේෂයකි. Barbie බෝනික්කන් පළමු වරට නිර්මාණය වන්නේ 1952 වසරේ දිය. එනම් අදින් වසර 71කට ඉහත දීය. එකල ඔවුන් Fashion Dolls එහෙමත් නොමැතිනම් විලාසිතා නිරූපණය කරන බෝනික්කන් ලෙසින් වෙළඳ පොළට නිකුත් විය. විලාසිතා නිරුපිණියක ගේ සිරුර මෙන් සිහින් ඇඟ, සමේ වර්ණය , උස සහ කොණ්ඩය මෙන්ම, ප්‍රමුඛව ඔවුන්ට ලබා දුන් ඇඳුම් විලාසිතා ද එකිනෙකට වෙනස් සහ උසස් මට්ටමේ ඒවා විය. එවකට වෙළඳ පොළේ සිටි සාමාන්‍ය බෝනික්කන් පරයා යමින් Barbie බෝනික්කන් වෙළඳපොළ ඉතාමත් සීග්‍රයෙන් අල්ලා ගනු ලැබිය. Ruth Handler විසින් හඳුන්වා දෙන ලද Barbie ගේ සැබෑ නම Barbara Millicent Roberts වෙයි. එමෙන්ම Barbie බෝනික්කන් ඇසුරු කරගෙන කතා පොත්, ඇඳුම් , ආභරණ, රුපවාහිනි කතාමාලා, පරිගණක ක්‍රීඩා, දුරකථන ක්‍රීඩා, පරිඝනක ආශ්‍රයෙන් නිර්මාණය වූ සිනමාපට වැනි දෑ දැරියන් සහ තරුණියන් අතර අතිශය ජනප්‍රිය වෙයි. එමෙන්ම Aqua සංගීත කණ්ඩායමේ "Im a Barbie Girl" ගීතය දශක ගණනක් පැරණි වුවද ලොව පුරා ඉමහත් ප්‍රතිචාර ලබා ගත් අදටත් ජනප්‍රිය බටහිර ගීතයකි.
2023 වසරේ මුල් කාර්තුව අවසානයේදී සයිබර් අවකාශය පුරා Barbie හි පුරව ප්‍රචාරකපටය සැරිසරන්නට පටන් ගැන්මත් සමඟ Barbie ලෝලීන් ගේ ඒ උන්මාදය තව තවත් වැඩිවිය. මෙතෙක් කල් අජීවී බෝනික්කෙක් ලෙස තමා සමඟ සෙල්ලම් කල හෝ එකතු කල බෝනික්කාට සීමා නොවී සැබෑ ජීවයක් ලබා දෙමින් සජීවී දසුනෙන් Barbie ලෝකයට පිවිසීමට සිනමා අත්දැකීමක් හරහා ප්‍රේක්ෂකයන්ට අවස්ථාව උදාවී ඇත. ඒ Greta Gerwig අධ්‍යක්ෂවරිය විසින් සිනමාවට ගෙනෙන Barbie බෝනික්කියකගේ සැබෑ ජීවිතය අලලා තැනුණු "Barbie" සිනමාපටය හරහායි. සිනමාපටය Warner Bros. Pictures සමාගම හරහා බෙදා හැරීම සිදුවෙයි.
Margot Robbie නම ඇසු පමණින් බොලිවුඩ් සිනමා රසිකයින්ට මතකයට නැඟෙන චරිතය DC Extended Universe හරහා අපට හමුවන Harley Quinn චරිතයයි. Barbie සිනමාපටයේ ප්‍රධාන චරිතය වෙනුවෙන් අධ්‍යක්ෂකවරිය තෝරාගෙන ඇත්තේ Harley Quinn චරිතයට පණ දුන් සම්මානනීය සහ සම්මානයට නිර්දේශිත වූ Margot Robbie වය. Barbie පුර්ව ප්‍රචාරක පටය නැරඹීම හරහා ඈ කොතරම් දුරට Barbie ගේ රූපකාය වෙනුවෙන් චරිතවත් වී ඇතිද යන්න ඕනෑම අයෙක්ට පෙනෙයි. පළමු ප්‍රචාරක පටය සහ අන්තර්ජාලය හරහා හුවමාරු වූ ජයාරූ මෙන්ම සිනමාපටයේ විශේෂ අවස්ථා නිසාවෙන්ම Barbie ප්‍රදර්ශනය වන තුරු ප්‍රේක්ෂකයන් බලා සිටින්නේ මහත් උද්දීපනයෙන් සහ බලාපොරොත්තු සහිතවය.
Barbie පරිගණක සිනමාපට සහ රුපවාහිනි කතා මාලා පැමිණියද එය live-action එකක් ලෙසින් සිනමාපටයක් නිර්මාණය කිරීම විශාල වගකීමකි. අප නිතර දුටු Barbie බෝනික්කා ඇතුළු ඇයගේ වටපිටාව, ඇඳුම් පැළඳුම් සහ ඇයගේ මිතුරියන් සහ අනෙකුත් දෑ සැබවින්ම නිර්මාණය කිරීම සුළුපටු දෙයක් නොවෙයි. CGI සහ AI මෘදුකාංග වලින් තාක්ෂනය මේවන විට දියුණුව පැවතියද අධ්‍යක්ෂකවරිය ඇයට රුචි පරිද්දෙන්ම තම සිනමා නිර්මාණයට අවශ්‍ය අයුරෙන් ඒවා සැබෑ කලාගාර තුළ ස්ථාපනය කිරීමට කටයුතු යොදා තිබීම Barbieහි තවත් විශේෂත්වයකි. එයට හොඳම උදාහරණය Barbie ගේ රෝස පැහැති සිහින නිවසයි (Dream House). එහි සියල්ලක්ම නිර්මාණය කර ඇත්තේ Sarah Greenwood ඇතුළු පිරිසයි. ඈ සය වතාවක් ඇකඩමි සම්මානයන් සඳහා නිර්දේශිත වූ අයෙකි. සිනමාපටයේ බොහෝ විට රෝස පැහැය භාවිතා කර තිබෙන අයුරු දැකගන්නට ලැබෙන දෙයකි. Pantone 219 යන අංකය දරන පැහැය ඔවුන් වැඩි වශයෙන් භාවිතාකර ඇති අතර ජාත්‍යන්තරව මෙම පැහැයේ තොග අවසන් වීමකටද ලක් වූ බව සඳහන් වෙයි. එමෙන්ම ඔස්කාර් සම්මානලාභී Jacqueline Durran විසින් සිනමාපටයේ ඇඳුම් ආයිත්තම් නිර්මාණය කර තිබෙයි.
සිනමාපටයේ රූගත කිරීම් Warner Bros. Studios, Leavesden හි දී සිදුකර ඇති අතර රූගත කිරීම් 2022දී ආරම්භ කර ඇත. සිනමාපටයේ රංගනයෙන් විශාල පිරිසක් දායකත්වය ලබා දී තිබෙයි. ඒ අතර Barbieගේ ප්‍රේමවන්තයා ලෙසින් Ryan Gosling "ken" චරිතයට එක්ව තිබෙයි. එමෙන්ම America Ferrera, Simu Liu, Kate McKinnon, Issa Rae, Rhea Perlman, සමඟ Will Ferrell ඇතුළු තවත් බොහෝ පිරිසක් මේ හා සහය රංගන ශිල්පින් සිටියි. ඒ අතර ජනප්‍රිය නළු John Cena ද Kenmaid නම් දියකිඳුරු චරිතය සඳහා එක් ව තිබෙයි.
සිනමාපටය කේන්ද්‍ර වන්නේ Barbie චරිතය වටායි. Barbie-land හී Barbie ඇතුළු පිරිවර ජිවත් වෙයි. ඔවුන්ටම වෙන් වූ වෙනස් වූ පරිසරයක් සහිතව ඔවුන්ගේ අනන්‍යතාවයන් සමඟ කෘතීම වූ ලෝකයක ජිවත් වීමම ඒකාකාරී එකකි. මෙහි ජිවත් වන බොහෝ Barbie බෝනික්කන් වෛද්‍යවරුන්, නීතිඥයින් සහ දේශපාලනඥයන් වැනි ශාස්ත්‍රීය රැකියා තනතුරු දරන අය වෙයි. එයින් Ken නම් කඩවසම් තරුණ බෝනික්කා ඇතුළු අනෙකුත් පිරිමි බෝනික්කන් පිරිස මුහුද අද්දරට වී කෙළි සෙල්ලමේ යෙදෙමින් දවස ගත කරයි.
සිනමාපටයේ කතා නායිකාව Stereotypical Barbie, දිනක් උත්සවයක් අතර තුරේදී ඇයට මරණය ගැන සිතන්නට වෙයි. එමෙන්ම ඇයගේ ඇඟිලි තුඩුවලින් ඉස්සි තිබු පාදයේ යටි පතුල් එතෙක් පොලොව ස්පර්ශ කරන්නට වුයේ ද නැත. නමුත් දිනක් ඈ නොසිතු විලස ඇයගේ යටිපතුල් පැතලි වෙමින් පොලොව ස්පර්ශ කරන්නට පටන් ගැන්මත් සමඟ Stereotypical Barbie, තව තවත් මේ දේවල් ගැන සිතන්නට විය. මේ අතර ඇයට Weird Barbie නම් තවත් බෝනික්කෙක් හමුවන අතර Stereotypical Barbieගේ ප්‍රශ්නයට හේතු කාරකය වන්නේ බෝනික්කන් සහ ඔවුන්ගේ අයිතිකරුවන් අතර යථාර්ථයේ කඳුළක ලක්ෂණ බවයි. මෙයින් මිදීමට නම් තමා ගේ සැබෑ අයිතිකරු සොයා යා යුතු බව Weird Barbie පවසනු ලබයි.
මෙයින් පසුව ඇයට සැබෑ ලෝකයට පලා යාමට සිදුවන්නේ තමාගේ සැබෑ උරුමක්කාරයා සොයා ගත යුතු හෙයිනි. Barbie, Los Angeles, වලට ගමන් ගන්නා අතර ඒ සඳහා Ken ද එක් වෙයි. ඒ Ken ඇය ගැන ප්‍රේමයක් සිතේ රඳවා ගෙන ඇති නිසාවෙනි. ඔවුන් දෙදෙනා Venice මුහුදට යන අතර එහිදී අකරතැබ්බ වලට මුහුණ දීමට සිදුවෙයි. නමුත් ඔවුන් ජිවත් වූ කෘතීම ලොවට වඩා සැබෑ ලෝකය වෙනස්ම එකක බව ඔවුන්ට වැටහෙයි.
Stereotypical Barbie ට සහ Stereotypical Ken හට ඔවුන් සොයන සැබෑ උරුමක්කාරයා සොයා ගන්නට හැකි වෙයිද?
සැබෑ උරුමක්කාරයා හමුවීමෙන් පසුව කුමක් සිදුවෙයිද?
ඔවුන් සැබෑ ලොවට පැමිණ ඔවුන්ගේ යතාර්ථය හඳුනා ගන්නට හැකිවෙයිද ?
යන්න දැනගැන්මට නම් ඔබට නවතම Barbie සිනමාපටය නරඹන්නට සිදු වේවි. ස්කෝප් සිනමා ඇතුළු සිනමා ශාලා කිහිපයකම අද සිට Barbie සිනමාපටය ප්‍රදර්ශනය ආරම්භ කර ඇති අතර මෙය වයස 13ට වඩා වැඩි අය වෙනුවෙන් නිර්මාණය වූ සිනමාපටයක් ලෙසත් දෙමවුපියන්ගේ අනුදැනුම සහ කැමැත්ත මත නැරඹීමට ලබා දිය යුතු සිනමාපටයක් ලෙසට හඳුන්වනු ලැබේ.
Barbie යනු හාස්‍ය, විනෝදජනක, සංගීතමය, නර්ථන සහ තවත් විටෙක දුක දනවන කතාවකින් සමන්විත සිනමාපටයකි. සිනමාපටය ආරම්භයේ දකින කුඩා දරුවන් තමන් නලවමින් සිටි බෝනික්කන් විනාස කරන දර්ශනයේ සිට අවසන් දර්ශනය දක්වාම, සිනමාපටය නරඹන්නන්ගේ දෙනෙත් සොරා ගන්නට Barbie සමත් වෙයි. සිනමාපටය නරඹන්නෙකුට මෙය Barbie බෝනික්කන් ගේ ප්‍රධාන නිෂ්පාදිත ආයතනය වෙනුවෙන් කරන ලද වෙළඳ දැන්වීමක් ද යන්න සිතෙන්නට නොදී තිර රචකයන් දෙපළ බෝනික්කන්ට පමණක් සිමා නොවී ජිවිතයේ යතාර්ථය ගැන වක්‍රාකාරව පෙන්නුම් කර දෙයි. ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ සිට ජිවත් වීමට ලැබෙන වැටුප, ධනවාදය සහ පුරුෂාධිපත්‍යය දක්වා සෑම දෙයක් ගැනම සිනමාපටය හරහා කතා කරනු ලබයි. Stereotypical Barbie කාන්තාව නියෝජනය කරන්නා සේම Stereotypical Ken පිරිමි පාර්ශවය නියෝජනය කරමින් ප්ලාස්ටික් ලෝකයට නොව ප්‍රේක්ෂක බුද්ධියට කතා කරමින් වැදගත් පණිවිඩයක් ලබා දෙන්න සමත් වෙයි.
Barbie සිනමාපටයට දායක වූ රංගන ශිල්පින් ශිල්පිණියන් බෝනික්කන් ලෙසින් ජිවත් වෙමින් කරන්නා වූ රංගනය සාමාන්‍ය රංගනයකට වඩා වෙනස්ම වූ අත්දැකීමකි. එමෙන්ම Margot Robbie අයගේ චරිතය විශිෂ්ට අයුරෙන් රංගනයේ යෙදෙයි. ප්ලාස්ටික් බෝනික්කෙක් මෙන් ඇවිදීම වගේම බිම වැතිරී සිටීමේ ඉරියව්වේ ඇයගේ අත් පා තබා හසුරුවා ගැනීමෙන් පවා චරිතයට කොතරම් ඈ සමවැදී ඇත්දැයි සිතට දැනෙයි. අප කුඩා කල සෙල්ලම් කළ බොන්නික්කියන් එක්කෙනෙක් දෙන්නෙක් නොව බෝනික්කන් රොත්තක්ම එකවර දැකගන්නට ලැබෙන විනොදවිය හැකි ලෙසින් Barbie සිනමාපටයම නිර්මාණය වී තිබෙයි.
දැනට තිරගත වන සිනමාපට හා සැසඳීමේදී Barbie යනු ඉවත දැමිය නොහැකි සිනමා ශාලාවක නැරඹිය යුතු ජිවිතයේ අමතක නොවන තරම් ආකර්ෂණයක් ගෙන එන සිනමාපටයක් ලෙස කිව හැක. එය එක වරක් නැරඹු පසුත් නැවත නැවතත් ඔබට එය නරඹන්න තරම් ආසාවක් දැනෙන්නට ගනීවි. විනෝදබර සහ හැඟීම්බර වූ කතාවක් සමඟ Barbie සිනමාපටය අද සිට මෙරට සිනමාශාලා හිදී ප්‍රදර්ශනය ආරම්භ විය.
සටහන - ගිහාන් තිලකරත්න (Giza Bee)
Art Street කලා වීදිය වෙනුවෙන්.
| Directed by | Greta Gerwig |
|---|---|
| Written by |
|
| Based on | Barbie by Mattel |
| Produced by | |
| Starring | |
| Cinematography | Rodrigo Prieto |
| Edited by | Nick Houy |
| Music by | |
Production companies |
|
| Distributed by | Warner Bros. Pictures |
Release dates |
|
Running time | 114 minutes[1] |
| Country | United States[1] |
| Language | English |
| Budget | $145 million |
0 Comments