මාලදිවයිනෙන් ලාංකේය සිනමාවට සිංහල සිනමාපටයක් - "කෞෂි"

 

ලාංකේය සිනමාව ආරම්භයේ සිටම මෙරට සිනමාව ගොඩනැංවීම උදෙසා විදේශීය නිෂ්පාදකවරුන් ගේ සහය නොඅඩුව ලැබුන බව නොරහසකි. එමෙන්ම මෙරට රංගන ශිල්පින් ශිල්පිනියන් විදේශීය සිනමාපට වල රංගනයේ යෙදුන අතර ඉන් සමහර සිනමාපට මෙරට සහ විදේශීයව නිපැයූ සම නිෂ්පාදිත ඒවා විය. මේ හැඳින්වීමත් සමඟම "කෞෂි" යනු තවත් සුවිශේෂී සිනමාපටයක් ලෙසට මතු දිනයක අපට රිදී තිරයේදී දැකගන්න ලැබෙන නිර්මාණයකි. සත්‍ය කතාවක් පදනම් කරගනිමින් නිෂ්පාදනය වූ සිනමාපටයේ අධ්‍යක්ෂණය මාලදිවයින් ජාතික Seaxan Ali  විසින් සිදුකර තිබෙයි. ඔහු එරට සම්මානනීය අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම රංගන ශිල්පියෙක් සහ නිෂ්පාදකවරයෙක් ලෙස ජනප්‍රිය අයෙකි. 

Thriller, Horror, ශානරයට අයත් "කෞෂි" සිනමාපටයේ ප්‍රධාන භූමිකාව සඳහා මෙරට ජනප්‍රිය නළු අමිල කරුණානායක එක්වන අතර සෙසු චරිත සඳහා  බියංක අමරසිංහ, රංගි රාජපක්ෂ සමඟ ඉසුරු සම්පත් ඇතුළු මෙරට රංගන ශිල්පින් ශිල්පිනියන් එක්ව තිබෙයි. එමෙන්ම සිංහල සිනමාපටයක් අධ්‍යක්ෂණය කරන ලද ප්‍රථම මාලදිවයින් ජාතිකයා ලෙසට Seaxan Ali "කෞෂි" හරහා ඉතිහාසගත වෙයි.

2023 ජුලී මස 15 වන දින  "කෞෂි" සිනමාපටය මාලදිවයිනේ සිනමාශාලා හී දී ප්‍රදර්ශනයට සියල්ල සුදානම්ව ඇති අතර සිංහල සිනමාපටයක් ප්‍රථම වරට ඔවුන්ගේ මව්  භාෂාවෙන් (මැලේ) හඬකවා එරට ප්‍රදර්ශනය වන පළමු අවස්ථාව ලෙසත් ලාංකේය සිනමාපටයක් මාලදිවයිනේ ප්‍රදර්ශනය වන ප්‍රථම අවස්ථාව ලෙසත් සුවිශේෂී වෙයි . එමෙන්ම මේ සඳහා සිනමාපටය වෙනුවෙන් දායක වූ රංගන ශිල්පීන් සිනමාපටයේ මංගල දර්ශනය සඳහා එක්වීමට ද නියමිතව තිබෙයි. 


"කෞෂි"  සිනමාපටයේ කතාව ගලාගෙන යන්නේ "කෞෂි" නම් තරුණිය වටායි. ඇයගේ පියා හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්වන අතර ඈ එය හදිසි අනතුරක් හේතුවෙන් පියා මිය නොගිය බව විශ්වාස කරයි. ඒ නිසාම කෞෂිගේ බාල සහෝදරිය වන දිනු සමඟ තම පියා හදිසි අනතුරට පත්වූ නගරයට පදිංචියට යයි. තම සැකයට තුඩු දුන් දේ ගැන පිළිතුරක් සොයමින් සිටින කෞෂි හට ඒ අතරේදී ඇගේ පැරණි පෙම්වතා වූ කෙවින්ව මුණ ගැසෙයි. පසුව ඔවුන් දෙදෙනාම කෞෂිගේ ප්‍රශ්නයට පිළිතුරක් සොයන්නට සැරසෙයි. නමුත් ඔවුන් මුහුණ දෙන්නට සැරසෙන්නේ එතෙක් ඔවුන්ගේ ජිවිතයේ මුහුණ නොදුන්  අති   භයානක පරිච්චේදයකයි. ඒ භයානක කතාව  ඔබ ඉදිරියේ දිග හැරෙන්නේ  "කෞෂි" සිනමාපටය හරහායි. 

Sproductions සමඟ  SATURN STUDIO එක්ව ඉදිරිපත් කිරීමක් ලෙසින් "කෞෂි" සිනමා සිත්තම නුදුරු දිනෙකදී ලාංකේය සිනමා ශාලා හි ද ප්‍රදර්ශනයට කටයුතු සුදානම් වෙමින් පවතී. 

"කෞෂි" සිනමාපටයේ නිෂ්පාදන දායකවුවෝ, 

සංගීත අධ්‍යක්ෂණය - Ayyuman Shareef 

සංස්කරණය - Seaxan Ali

සහය අධ්‍යක්ෂණය - Ihshan Iqbal 

කැමරා අධ්‍යක්ෂණය - Abdulla Shiwaz 

විධායක නිෂ්පානය - Seaxan Ali

තිර රචනය - ඉෂාරා දනසේකර (Ishara Danasekara)

නිෂ්පාදනය - Ali Shaneiz Mohamed 

අධ්‍යක්ෂණය - Seaxan Ali


සටහන - ගිහාන් තිලකරත්න (Giza Bee) 

Art Street - කලා වීදිය වෙනුවෙන් .





Post a Comment

0 Comments