ටොම් කෲස්ට මේ වසරේදීත් වාර්තාවක් තැබිය හැකිද?

 

Mission: Impossible - Dead Reckoning: Part One

2022 වසර හොලිවුඩය  සාර්ථකත්වයට ගෙන ගිය තරුව ලෙසට Tom Cruise හඳුන්වාදීම සුදුසුය. ඒ "Top Gun: Maverick" සිනමාපටය හා එක්ව රංගනයෙන් නියැලුන අතර ලොව පුරා ප්‍රේක්ෂකයන් සිනමාපටයට වසඟ වුවා පමණක් නොව එය ඇමරිකානු ඩොලර් බිලියන $1.4ක ආදායමක් සොයමින් එවකට හිනිපෙත්තේ තිබු සිනමාපට අභිභවමින් ඉදිරියට පැමිණීම සුවිශේෂී විය. වසරකට අනතුරුව නැවත වරක් Tom Cruise ඔහුගේ සුපුරුදු ජවසම්පන්න රංගනය සමඟ ජනප්‍රිය "Mission: Impossible" සිනමාපට මාලාවේ නවතම සිනමාපටය වන "Dead Reckoning: Part One" හරහා ප්‍රේක්ෂකයන් අතරට පැමිණ තිබෙයි. ජුලි මස 12 වන දින තිරගත කිරීම ඇරඹි එය නැවතත් Tom Cruise රංගන ශිල්පියාගේ ආදරණිය ප්‍රේක්ෂක ජනතාව සේම "Mission: Impossible" සිනමාපට වලට ඇලුම් කල ප්‍රේක්ෂකයින් ගෙන් සිනමාශාලා පිරෙන්නට පටන් ගෙන තිබෙයි. එමෙන්ම "The Flash" සමඟ "Indiana Jones and the Dial of Destiny" සිනමාපට දිත්වයද Mission: Impossible - Dead Reckoning: Part One සමඟ තරඟ කරමින් තිබෙයි. 

Mission: Impossible හි ඉතිහාසය පිරික්සීමේදී 1966 වසර දක්වා එය දිවයන්නකි. Bruce Geller ගේ රචනයෙන් නිර්මාණය වූ Mission: Impossible ටෙලි කතා මාලාව පළමුවරට CBS රුපවාහිනී නාළිකාව හරහා විකාශය විය. එය ටෙලිකතා මාලා හතකින් යුක්ත වූ අතර කතාංග 171කින් සමන්විත වී ඇත. පසු කලෙක Mission: Impossible vs. the Mob ලෙසින් 1967 වසරේ දී සිනමාපටයක් ද ප්‍රදර්ශනය වී තිබෙයි. ඒ සඳහා ද යොදාගෙන තිබෙන්නේ Bruce Geller විසින් නිර්මාණය කරන ලද Mission: Impossible හි රහස්පරීක්ෂක තේමාවයි.

Tom Cruise රංගනයෙන් දායක වූ  Ethan Hunt චරිතය රැගත් සිනමාපට ගණන හතකි. එනම් Mission: Impossible (1996), Mission: Impossible 2 (2000), Mission: Impossible III (2006), Mission: Impossible – Ghost Protocol (2011), Mission: Impossible – Rogue Nation (2015), Mission: Impossible – Fallout (2018), සහ නවතම සිනමාපටය වන Mission: Impossible – Dead Reckoning Part One (2023) වෙයි. නවතම සිනමාපටයේ අධ්‍යක්ෂණය Christopher McQuarrie විසින් සිදුකර ඇති අතර තිර රචනය සඳහා McQuarrie සමඟ Erik Jendresen එක්ව තිබෙයි. ඉන් ප්‍රථම McQuarrie විසින්  Mission: Impossible – Rogue Nation (2015), Mission: Impossible – Fallout (2018) යන සිනමාදිත්වය අධ්‍යක්ෂණය කර ඇත. නවතම සිනමාපටයේ නිෂ්පාදනය Tom Cruise සමඟ McQuarrie එකතුවෙන් සහ සිනමාපටයේ බෙදාහැරීම් Paramount Pictures හරහා සිදුව තිබෙයි.


Mission: Impossible – Dead Reckoning Part One (2023) හි සිනමාපටය දිව යන්නේ මහ මුහුද යට තිබෙන රුසියානු සබ්මරිනයකට එල්ල වන AIA මිසයිල ප්‍රහාරයක් සමඟයි. පසුව Ethan Hunt හට Impossible Missions Force (IMF) හරහා ඔහුට සුපුරුදු පරිදි මෙහෙයුමක් ලබා දෙයි. එහි දී ඔහුට යතුරක් සොයාගැනීමට සිදුවන අතර යතුරෙහි එක් කොටසක් ඔහුගේ මිතුරියක වන Ilsa Faus සතුව ඇති බව Ethan හට දැනගැන්මට ලැබෙයි. පසුව ඈ සොයා අරාභී කාන්තාරය දක්වාම යෑමට ඔහුට සිදුවෙයි. ඒ අතර Ilsa ව මරාදැමීම උදෙසා තවත් කල්ලියක් රහසේම සැරසෙන අතර ඉන් Ilsaව බේරා ගැනීමට Ethan හට පැවරෙන වගකීමයි. කාන්තාරය මැද තමා මරා දැමීමට පැමිණෙන කල්ලිය සමඟ සටන් කිරීමට Ilsa ට සිදුවන අතර ඒ සඳහා Ethan ද එකතු වෙයි. නමුත් අවසානයේ දී Ilsa මියගොස් වැටි සිටියදී Ethan හට හමුවෙයි. 

මේ අතර AIA නම් කෘතීම වයිරසය ලොව පුරා ඇති ජාලයන් තුලට රිංගමින් අත්‍යවශ්‍ය සහ එළි නොවිය යුතු රහස් මෙන්ම සමාගම් සහ රාජ්‍ය සතු සියලුම තොරතුරු එකතු කරගනිමින් තිබෙයි. එය සුළුපටු දෙයක් නොව රාජ්‍යක් විනාසකිරීමට පවා එම තොරතුරු අතිශය වැදගත් රහස් ඒවා වෙයි. මේ සියල්ල නවතාලීමට නම් AIA ක්‍රියාවලිය සහමුලින්ම විනාශ විය යුතුයි. නැතහොත් සිදුවන විනාශය මෙතකැයි නිෂ්චය කල නොහැක්කකි. Ethan සොයමින් සිටින යතුරු කොටසේ එක් කොටසක් විකිනීමට පැය 72ක් තුළ එක්තරා පුද්ගලයෙක් පැමිණෙන බවද ඔහුට දැනගන්නට ලැබෙයි. නමුත් ඒ යතුර බොරු යතුරක්ද නැතහොත් නිවැරදි යතුරද යන්න ඔවුන්ට ඇත්තේ සැකයකි. එය ලබා ගැනීම ඔහුට ලැබෙන ඊළඟ මෙහෙයුමයි.


Ethan ගේ මෙහෙයුමට  කණ්ඩායමක් වශයෙන් Benji  සහ Luther ගේ සහය අබුඩාබියේ දී ලැබෙයි. එහිදී යතුර රැගෙන එන පුද්ගලයා පසුපස හඹා ගොස් ඉතුරු යතුරු කොටස ගැනීම මෙහි සැලැස්මයි. නමුත් Ethan මරා දැමීමට තවත් කල්ලියක් ගුවන්තොටුපොළ තුල රැඳීයි. එමෙන්ම  Ethan ගේ බුද්ධියට වඩා පරයා යමින් ග්‍රේස් නම් තැනැත්තිය යතුර විකිනීමට එන තැනැත්තාගෙන් යතුර සොරකම් කිරීමට සමත් වෙයි. එය දැනගත් Ethan, ග්‍රේස් පසුපස ඇයව කොටුකර ගැනීමට සැරසෙයි. ඔය සියල්ල එසේ වෙද්දී ගුවන් තොටුපොල තුළ බෝම්බයක් සක්‍රිය වෙයි. සිදුවන දේවල් සියල්ල Benji  සහ Luther බලා සිටියි. Ethan විසින් ග්‍රේස් කොටුකර ගැනීමෙන් අනතුරුව යතුරේ කොටස ඔහු සතු කරගනී. ඉන් අනතුරුව එම යතුර අයිතිකරුට ලබා දිය යුතුය යන්න කියමින් ග්‍රේස් හට බොරු පවසා යතුර රැගෙන පැමිණි පුද්ගලා Ethan, ග්‍රේස් ද කැටුව සොයමින් යයි. එත් ඔහුව හමුවන විටත් නාදුනන මිනිසා මිය ගොසිනි. ඒ ගැන සෝදිසි කරන අතර ග්‍රේස් නැවතත් අතුරුදහන් වෙයි. 

Ethan හට AIA කෘතීම වයිරසය  විනාශ කිරීමට හැකි වෙයිද?
ජීවිතයත්  මරණයත් සමඟ සටන් කරමින් යතුරක් සොයාගෙන යන ගමනේ කටුක අත්දැකීම් වලට  මුහුණ දෙන Ethan, ලොව බේරා ගැන්මට සැරසෙන්නේ කෙසේද යන්න ඒ උද්වේගකර, ක්‍රියාදාමයන් සපිරි Dead Reckoning: Part One  සිනමා ශාලාවකම නැරඹිය යුතු සිනමාත්මක අත්දැකීමකි. 


1996 වසරේ  Brian De Palma විසින් නිර්මාණය කරන ලද Mission: Impossible සිනමාපටයේ රිද්මයට කිසිසේත්ම පළුද්දක් එක් නොකර හත්වන නව සිනමාපටය නිර්මාණය වීම සතුටු විය හැක්කකි. එමෙන්ම Mission: Impossible සිනමාපට මාලාවේ  Ghost Protocol (2011),  Rogue Nation (2015),  Fallout (2018) සිනමාපට පෙළ නරඹා තිබීමම නව නිෂ්පාදිත Dead Reckoning: Part One නැරඹීමට යන ප්‍රේක්ෂකයාට සිනමාපටය ගැන සහ චරිත ගැන මනා අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

සිනමාපටය පුරාවට Tom Cruise ඔහුගේ ජවසම්පන්න රංගනය සමඟ ප්‍රේක්ෂකයන් ගේ නෙත් ඔහුගෙන් ඉවතට නොගන්නා අයුරෙන් Ethan ලෙසින් ජිවත් වෙයි. එමෙන්ම McQuarrie සිනමාපටය පුරා නව තාක්ෂනය උපයෝගී කරගනිමින් සිද්දි රුප මවන්නට සමත් වෙයි. එමෙන්ම මෙහි CIG උපයෝගී කරගෙන ඇත්තේ ඉතාම ස්වල්ප වශයෙන් වන අතර Tom Cruise සිනමාපටයේ ක්‍රියාදාම වලින් කිහිපයක් (Stunt) ඔහුම සිදුකර තිබීම සුවිශේෂී වෙයි. වයස   61ක් වූ Cruise මෙවැනි අවධානම් ගැනීමම ඔහු සිනමාවට කොතරම් ආදරය කරනවාද යන්න දැනෙයි. අධ්‍යක්ෂකවරයෙක් ලෙස McQuarrie විසින් සිනමාපටයට අවශ්‍ය ක්‍රියාදාම සුක්ෂමව යොදාගෙන ඇති අතර මෙම වසරේ Dead Reckoning: Part One හි ක්‍රියාදාමයන් හා සංසන්දනය කරමින් උරෙන් උර ගතිය හැකි  හැකි සිනමාපටයක් ලෙසින් 2023 වසරේ දැනට තිරගත වී ඇති ක්‍රියාදාම සිනමාපටයක් වන්නේ   “John Wick: Chapter 4” පමණකි.

බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද Mission: Impossible - Dead Reckoning: Part One තිරගත වෙමින් පවතින අතර Tom Cruise හට ඔහුගේ  BOX OFFICE  සිනමාපට පෙළ  අතරට  Dead Reckoning: Part One රැගෙන යාමට හැකි වේවිද යන්න නුදුරේදීම අපට දැනගන්නට ලැබේවි. 

සටහන - ගිහාන් තිලකරත්න (Giza Bee)
Art Street කලා වීදිය වෙනුවන්.

Directed byChristopher McQuarrie
Written by
Based onMission: Impossible
by Bruce Geller
Produced by
Starring
CinematographyFraser Taggart
Edited byEddie Hamilton
Music byLorne Balfe
Production
companies
Distributed byParamount Pictures
Release dates
  • June 19, 2023 (Rome)
  • July 12, 2023 (United States)
Running time
163 minutes
CountryUnited States
LanguageEnglish









Post a Comment

0 Comments