ක්‍රිස්ටෝපර් නෝලන් ගේ Oppenheimer දැන් තිරගත වේ.
බටහිර සිනමාපට නැරඹීමට කැමති සිනමාලෝලීන් හට නම් ක්‍රිස්ටෝපර් නෝලන් යනු අලුත් නමක් නොවෙයි. නෝලන් යනු විශිෂ්ට ඝනයේ මෙන්ම සිනමාපට දර්ශකයන් වල ඉහළින්ම තිබෙන සිනමාපට නිර්මාණය කරන ලද අධ්‍යක්ෂකවරයෙකි. Following (1998), Memento (2000), Insomnia (2002) , Batman Begins (2005), The Prestige (2006), The Dark Knight (2008), Inception (2010), The Dark Knight Rises (2012), Interstellar (2014), Dunkirk (2017), Tenet (2020) වැනි සිනමාපට හරහා තම ප්‍රේක්ෂකාගාරය අල්වා තබාගනිමින් උසස් නිර්මාණ දායාද කරමින් නෝලන් වසර තුනක නිහඬතාවයකින් අනතුරුව Oppenheimer නමින් ඔහුගේ නවතම සිනමාපටය 2023 වසරේ ජුලි මස 21වන දින ලොව පුරා ප්‍රදර්ශනයට මුදාහරින ලදී.
සත්‍ය කතාවක් පාදක කරගනිමින් නිර්මාණය වූ Oppenheimer සිනමාපටය, "පරමාණු බෝම්බයේ පියා" ලෙසින් කිරිත්යට පාත්‍ර වූ විද්‍යාඥ J. Robert Oppenheimer ගේ චරිතය හා බැඳුනු චර්තප්‍රධානයක් ලෙසින් නිර්මාණය වී තිබෙයි. මෙය දෙවන මහා ලෝක යුධ සංග්‍රාමය තුළ සිදුවූ සිද්ධින් වටා ගොඩනැඟෙන කතාවකි. සිනමාපටයේ Oppenheimer ලෙසින් Cillian Murphy ප්‍රධාන චරිතය හා එක්වෙයි. මීට ප්‍රථමයෙන් ක්‍රිස්ටෝපර් නෝලන් අධ්‍යක්ෂණය කළ Dunkirk , Inception, Batman Begins යන චිත්‍රපට වලට ද ඔහු රංගනයෙන් දායකවී තිබෙයි. එමෙන්ම අයන් මෑන් (Iron Man) චරිතයට පණපොවමින් ලොව පුරා ජනාදරයට පත් Robert Downey ද Oppenheimer වෙනුවෙන් තම දායකත්වය ලබා දී ඇත. Edge OF Tomorrow, Sikario වැනි ජනප්‍රිය සිනමාපට වල රංගනයෙන් දායක වූ Emily Blunt විසින් Katherine Oppenheimer ගේ චරිතයට එක් වෙයි. ඊට අමතරව Florence Pugh, Josh Hartnett, Casey Affleck ඇතුළු තවත් බොහෝ පිරිසක් මේ හා රංගනයෙන් එක්ව තිබෙයි. තවද සිනමාපටයේ ප්‍රධාන චරිතවලට අමතරව සිනමාපටය පුරා දැක ගැනීමට හැකි සාමාන්‍ය වැසියන්, හමුදා සොල්දාදුවන් වැනි කුඩා චරිත රඟදැක්වීමට සැන්ටා ෆේ සහ ලොස් අල්මෝස් හීදි තිර පරීක්ෂණ කිහිපයක් කරමින් තෝරාගත් අය විසින් සිදුකරනු ලැබෙයි.
Oppenheimer යන නාමය ලෝකය දැනගැන්ම සිදුවීමට ප්‍රභලවම බලපෑවේ යුද්ධයයි. ඒ ගැන පිරිස්සිමේදී සිනමාපටය නැරඹීමට ප්‍රථම දෙවන මහා ලෝක යුද්ධය ගැන යම්තාක් හෝ දුරකට දැනුමක් ලබා තිබීමම ප්‍රේක්ෂකයෙක් ලෙස වැදගත් වනු ඇත. දෙවන ලෝක මහා යුද්ධය 1939 සැප්තැම්බර් 1 දා ආරම්භ වි එය 1945 වසරේදී එය නිමාවට පත්වි ඇත. ජර්මනියේ ආඥාදායක ඇඩෝල්ෆ් හිට්ලර්ගේ නාසි ජර්මන් හමුදාව යුරෝපයේ රටවල් බොහෝ ගණනක් තම ග‍්‍රහණයට ගත් අතර ක‍්‍රම ක‍්‍රමයෙන් එය ආසියාව, අප‍්‍රිකාව දක්වා ව්‍යාප්ත වීමට පටන් ගත් අතර ජර්මනියේ හිට්ලර්ගේ නාසි හමුදාව සමඟ යුද කිරීමට බි‍්‍රතාන්‍ය, සෝවියට් දේශය, ඇමෙරිකාව ප‍්‍රමුඛ මිත‍්‍ර හමුදාව පෙරමුණ ගත් අතර මිත‍්‍ර හමුදාවට තවත් රටවල් 24 කට වැඩි ප‍්‍රමාණයක සහයෝගය හිමි වී ඇත.
යුරෝපයේ යුද සටන් පැවති අතරතුරදී ජපානය විසින් ඉතා ඉක්මණින් ම පැසිෆිකත් සාගරයේ බොහෝ ප‍්‍රදේශ අත්පත් කර ගැනීමට යුධ වැදීය. 1944 සහ 1945 කාලය තුළදී ජපානය ආසියාවේ ප‍්‍රධාන ප‍්‍රදේශ වන සිංගප්පූරුව, බෝනියෝ දූපත, තායිලන්තය, බුරුමය යන රටවල් ද ආක‍්‍රමනය කළ අතර ආසියාවේ තවත් සමහර ප‍්‍රදේශ ඔවුන් අත්පත් කරගනු ලැබීය.
ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් හවායි දූපතේ පිහිටි පර්ල් වරායට සහ එහි තිබෙන ඇමෙරිකානු නාවික හමුදා කඳවුරට ජපානය යුද ගුවන් යානා 360 ක් යොදවා 1941 දෙසැම්බර් 7 වැනිදා උදෑසන 7.55 ට දරුණු ප්‍රහාරයක් එක්ක කෙරීය. එහි දී ඇමෙරිකානු යුද ගුවන් යානා 200 කට වැඩි ගණනක්, යුද නැව් හතක් විනාශයට පත් වූ අතර ඇමෙරිකානු ජාතිකයන් 2400 ක් ඝාතනය විය. 1200 කට තුවාල සිදුවූ බව සඳහන් වෙයි. එයින් මහත් සේ කිපුණු ඇමරිකා රජය ජපානයට නැවත ප්‍රති ප්‍රහාරයක් එල්ල කිරීමට සැරසිණි.
1939 අග භාගයේදී ඇමෙරිකාව පරමාණු බෝම්බ නිපදවීම සඳහා වන මූලික පරීක්‍ෂණ සඳහා නැඹුරු වී සිටියේය. ජපානය මට්ටු කිරීම සඳහා පරමාණු බෝම්බ සහාය කර ගැනීමට සිතූ ඇමෙරිකාව මේ සඳහා 1944 දී මෑන්හැටන් ව්‍යාපෘතිය ආරම්භ කළේය. ජපානය පර්ල් වරායට පහරදීම නිසා ජපානයට පාඩමක් ඉගැන්වීම සඳහා 1944 දෙසැම්බර් මස 17 වැනිදා පරමාණු බෝම්බ ව්‍යාපෘතිය ඇමෙරිකාව විසින් සක‍්‍රීය කළේය.
1945 අප්‍රේල් මස 27 වන දින ඉලක්ක කමිටුව වොෂිංටන් හිදී රැස්විය. එහිදී පරමාණු බෝම්ම දැමිය යුතු ඉලක්ක කිහිපයක් තෝරා ගන්නා ලදී. ඉන් ජපානයේ විශාලතම ආයුධ කම්හල්වලින් එකක් පිහිටා ඇති ‘කොකුරා’ (දැන් කිටකියුෂු), ප‍්‍රධාන හමුදා මූලස්ථානයක් වූ එම්බාර්කේෂන් වරාය සහ කාර්මික මධ්‍යස්ථානයක් වු ‘හිරෝෂිමා’, ගුවන් යානා නිෂ්පාදන, යන්ත‍්‍ර උපකරණ, නැව් තටාක, විදුලි උපකරණ සහ තෙල් පිරිපහදු සහ නාගරික මධ්‍යස්ථානයක් වු ‘නයිගාටා’ වානේ සහ ඇලූමිනියම් කම්හල් තෙල් පිරිපහදු ඇතුළු නාගසාකි නගරයන් තෝරාගන්නා ලදී. එයින් පළමු පරමාණු බෝම්බය හෙළීමේ මූලික ඉලක්කය ‘හිරෝෂිමා’ වූ අතර විකල්ප ඉලක්ක ලෙස කොකුරා සහ නාගසාකි නම් කළේය.
යුද්ධයේදී භාවිතා වූ පළමු න්‍යෂ්ටික අවිය වූ Little Boy ලෙසින් හැඳින්වූ පරමාණු බෝම්බය ඉනෝලා යුධ ගුවන් යානයේ සිට ජනගහනය 350,000 ක් පමණ ජීවත් වූ ජපානයේ හිරෝෂිමා නගරයට ජපාන වේලාවෙන් උදෑසන 8.15 ට ගුවනේ සිට අතහැරිය අතර එම පරමාණු බෝම්බය තත්පර 44.4 ක කාලයකදී අඩි 31,000 ක් උඩ සිට බිමට වැටුනු අතර හිරෝෂිමා නගරයට අඩි 1900 ක් උඩදී පුපුරා ගියේය. පිපිරුමෙන් විශාල දුම් වලාවක් අහසට නැඟි ගිය අතර කම්පන තරංග සැතපුම් 11.5 ක් දුරට ගමන් කළේය. හිරෝෂිමා බෝම්බය අහසේදී පිපිරීම නිසා එහි පිපිරීම පැතිවලට වඩා පහළට යොමුවිය. හිරෝෂිමා පැතලි භූමියක පිහිටා ඇති නිසා එහි හානිය බෙහෙවින් වැඩිවිය. බෝම්බයේ පිපිරීම නිසා සැතපුම් 1 ක් ඇතුළත සියලූ දේ දැවී අළු දූවිලි බවට පත් විය. එහි ගිනි බෝලයේ විශ්කම්භය මීටර් 370 (අඩි 1200 ක්) වූ අතර, මතුපිට උෂ්ණත්වය සෙල්සියන් අංශක 6000 (F10,830) ක් විය. මෙයින් පුද්ගලයන් 66,000 කට වඩා මිය ගියේය. 20,000 ක් පමණ හමුදාභටයන් ය. තවත් 69,000 ක් මරණීය තුවාල ලබා ඇත.
දිනය 1945 අගෝස්තු මස 9 දා. ඇමෙරිකාව විසින් ජපානයට දෙවැනි පරමාණු බෝම්බය හෙළීම සඳහා "Fat man" නම් කේත නමින් හඳුන්වන ලද එම පරමාණු බෝම්බය රැගත් බොක්ස්කාර් නමින් යුත් බොයිං B – 29 සුපර්ෆොරස් ගුවන් යානය ගුවන්ගත විය. එදින බෝම්බය අතහැරීමේ ඉලක්කය වූයේ ජපානයේ කොකුරා නගරයයි. නමුත් නගරය ඉහළ අහසේ ඝන වළාකුළුවලින් වැසී තිබීම නිසා ඉලක්කයක් ගත නොහැක්කෙන් කොකුරා නගරයට නොව එම පරමාණු බෝම්බය හෙළීම සඳහා නාගසාකි නගරය තෝරා ගන්නා ලදී. ෆැට්මෑන් නම් ඒ පරමාණු බෝම්බය ජපාන වේලාවෙන් උදෑසන 11.02 ට ජපානයේ නාගසාකි නගරයට අඩි 1650 ක් උඩදී පුපුරා ගියේය. එය නගර මධ්‍යයේ සිට කි. මී. 3 – 2 දුරින් කඳුකර ප‍්‍රදේශයට ළංව පුපුරා ගිය අතර ඉන් ක්‍ෂණිකව මියගිය සංඛ්‍යාව 35,000 සිට 40,000 දක්වා විය. මාරාන්තික තුවාල ලැබුවෝ 60,000 ක් පමණ විය. ඔවුන්ගෙන් සෑහෙන ගණනක් පසුව මියගිය බව වාර්ථාවේ.
ජපානයේ හිරෝෂීමා – නාගසාකි නගරවලට පරමාණු බෝම්බ දැමූ ඇමෙරිකාව සන්නද්ධ යුද ගැටුමකදි න්‍යෂ්ටික අවියක් වු පරමාණු බෝම්බය පළමුවරට බාවිතා කළ රට බවට පත්විය. පරමාණු බෝම්බ පිපිරී හිරෝෂිමා – නාගසාකි නගර සහ ජනතාව විනාශ වූ පසු 1945 අගෝස්තු 12 වැනිදා ජපාන අධිරාජයා විසින් කොන්දේසි විරහිතව ජපානය යටත් වී යුද්ධයෙන් ඉවත් වන බවට ප‍්‍රකාශ කර සිටියේය. හිරෝෂිමා හා නාගසාකි නගරවලට හෙළුෑ පරමාණු බෝම්බ නිසා මෙම නගර දෙකේම මියගිය සංඛ්‍යාව 129,000 සිට 226,000 ක් අතර ගණනක් විය. නමුත් පිපිරීම හේතුකොට ගෙන අළු දූවිලි බවට පත්වූවන් ගණන තවමත් කිසිවෙක් නොදනී. බෝම්බවල විකරණවලට නිරාවරණය වීම නිසා පිළිකා තත්ත්වයන්ට සහ වෙනත් හඳුනා නොගත හැකි රෝගාබාධයන්ට වසර ගණනාවක් තිස්සේ එම ප‍්‍රදේශවල ජනතාව ගොදුරු විය. විකිරණ නිසා ඇතිවූ ගබ්සා තත්ත්වයන් වසර ගණනාවක් පැවති අතර එම ගණන ද අති විශාලය.
මෙවැනි දරුණු ඝනයේ පරමාණු බෝම්බයක් නිර්මාණය කිරීමෙහිලා ගෘවරය හිමිවන්නේ J. Robert Oppenheimer හටය. නමුත් රාජ්‍යන් අල්ලා ගැනීමේ බල තණ්හාව හේතුවෙන් ජිවිත වලින් වන්දි ගෙව්වෝ කොතරම් ද යන්න තවමත් සොයාගැනීමට අපොහොසත් කරුණකි. කොතරම් ගෘරවයක් හිමි වුනත් මිනිසුන් කි දහසක් යුද්ධයට ශාප කරනවා ඇත්ද? න්‍යෂ්ටික බෝම්බ නොපිපිරුණත් මේ වන විටත් යුද්දයේ කුරිරුකම් වලට කොටුවූ දුක් විඳින පිරිස් ලොව සිටිති.
Oppenheimer සිනමාපටය හරහා සිනමාවට ගොඩනැඟෙන්නේ J. Robert Oppenheimer ගේ ජිවිතයේ ශිෂ්‍ය අවදියේ සිට පසුව ඔහු න්‍යෂ්ටික බෝම්බය සැකසීම සඳහා ගන්නා වූ අසිමිතික මහන්සිය, සුත්රගත කරන්න හැකියාව Oppenheimer ගේ මානසිකත්වය සහ එවක තිබු දේශපාලනීක තත්වය මෙන්ම Manhattan ව්‍යාපෘතිය සම්බන්ධවයි . මෑන්හැටන් ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ලුතිනන් ජෙනරාල් Leslie Groves ජර්මානු විද්‍යාඥයන් විසින් න්‍යෂ්ටික විඛණ්ඩනය සොයාගෙන ඇති බවත් ඔවුන් පරමාණු බෝම්බයක් නිපදවීමේ අද්දර පැමිණ සිටින බවත් දැනගත් අතර Oppenheimer එහි ප්‍රධානියා ලෙසින් කටයුතු කිරීමට යොදා ගනී. Oppenheimer ප්‍රධාන වශයෙන් න්‍යායාත්මකව ක්‍රියා කළද ඔහු ඉන් පෙර මෙවැන්නක් සම්බන්ධව නායකත්වයක් දරා නොසිටි අයෙකි. පසුව මෙක්සිකෝවේ Los Alamos හි රසානාගාරයක් ගොඩනඟා එහිදී මිනිස් දෑසකට වත් හසු නොවන පරිද්දෙන් රහසිගතවම පරීක්ෂණ සිදුකිරීමට පටන් ගත් අතර Oppenheimer ඇතුළු පිරිසගේ ශ්‍රමය සමඟ අවසන් ඵලය ලෙසින් ඔවුන්ට සාර්ථක න්‍යෂ්ටික බෝම්බ නිර්මාණය කිරීමට හැකිවිය. මේ හා බැඳුනු කතාව තවත් පුළුල් කරමින් නොලන් ප්‍රේක්ෂකයන් ව අතීතයකට රැගෙන යයි.
නීල වර්ණිත දෙනෙත් වලින් යුතු Cillian Murphy, Oppenheimer ගේ චරිතය හරහා සිනමාපටය පුරාවටම ආධිපත්‍ය තම සුරතට ගෙන ක්‍රියා කරන්නේය. ඔහුගේ රූපය පෙනුම හරහා ඔහු කොතරම් දුරට සැබෑ Oppenheimer රූපය හා සමීපද යන්න මෙන්ම නොලන්ගේ තෝරාගැන්ම ගැනද ප්‍රේක්ෂකයන්ට සතුටුවිය හැකිය. එමෙන්ම Kai Bird සහ Martin J Sherwin විසින් රචිත American Prometheus: The Triumph and Tragedy of J Robert Oppenheimer යන සම්මානනීය චරිතාපදානය මත නෝලන් ඔහුගේ චිත්‍රපටය සඳහා පැහැදිලි කතාවක් ගොඩනංවා ගෙන ඇත. මෙහි කෘතිය වෙනුවෙන් Prometheus යන යෙදුම Oppenheimerගේ සොයා ගැනීම සමඟ ඇති සම්බන්ධය ගැනද කතා කරනු ලබයි. නුතන ලෝකය ගොදුරක් බවට පත් වීමට සහ ඛේදජනක අතීතයක් මැවූ ඇමරිකානු වීරයෙක් ලෙසට නොලන් Oppenheimer තිරයට රැගෙන ඒමට සමත්වී තිබෙයි.
පැය තුනක් පුරා දිවෙන Oppenheimer සිනමාපටය තුළ ආදරය ගැනද නොලන් කතා කරනු ලබයි. Jean Tatlock නම් තරුණිය සමඟ ආදර සම්බන්ධයක් කැලිෆෝනියාවේ දී ආරම්භ කරන අතර ආදරයේ වෙනස් වන හැඟීම්, ශ්‍රුන්ගාරය, නිදහස, ලිංගිකත්වය මත සිනමාපටයේ දර්ශනයන් තුළින් මතුකරනු ලබයි. Jean, Bay Area කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකාවක්ද වෙයි. මෙහි සුවිශේෂී රුපරාමුවක් හමුවන අතර දිනක් Oppenheimer සමඟ Jean එකට හැසිරෙන මොහොතකදී ඇයට රාක්කයක තිබී භගවත් ගීතාව හමුවෙයි. එහිදී ඈ ඔහුගෙන් එය කියවීමට අවසර පතයි. එයින් පසු කලෙක රුපවාහිනි වැඩසටහනකදී Oppenheimer විසින් භගවත් ගිතාවෙහි එන පාඨයක් කියනු ලබයි.
"Now I am become Death, destroyer of worlds".
එහි සිංහල අරුත " මම දැන් මරණය කැන්දාගෙන ලෝකයම සුනුවිසුනු කරන්නා වෙමි." අවසානයේ ඔහු එයින් තමා විශ්ණු දෙවියන් වේ යන්න අර්ථවත් කිරීමට උපයෝගී කරගත්තකි.
Lewis Strauss ලෙසින් රංගනය දක්වන Robert Downey Jr ගැනත් සඳහන් කරයුතු වෙයි. ඔපන්හයිමර්ගේ ආරක්ෂක නිෂ්කාශනය ඉවත් කිරීමට උද්ඝෝෂනය කළ පුද්ගලයා ඔහුය. චිත්‍රපටයේ Oppenheimerගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ Lewis පරමාණුක ශක්ති කොමිසමේ සභාපති වූ අතර Oppenheimerගේ ආරක්ෂක නිෂ්කාශනය ඉවත් කිරීමට වෙර දැරූ ප්‍රමුඛයෙකු විය.පසු කලෙක හයිඩ්‍රජන් බෝම්බය සැදීමට Lewis සමත්ව ඇත. සිනමාපටය තුළ Oppenheimerගේ සහ Lewis ගේ ඝට්ටනය තුල සිනමා ප්‍රේක්ෂකයාව විටෙක Lewis ගේ පැත්තටත් තවත් විටෙක Oppenheimerගේ පැත්තටත් සිතෙන් කණ්ඩායම් බෙදෙන්නට සමත්කම් කරයි. එය රංගනයන්ගේ මෙන්ම අධ්‍යක්ෂකවරයාගේ විශ්මයයි. එමෙන්ම සිනමාපටය පුරා විටෙක වර්ණ මෙන්ම කලුසුදු රූප රාමු දක්වා නොලන් රැගෙන යයි.
සැමවිටම පරිගණක ආශ්‍රය කරගනිමින් නිර්මාණය වන CGI, වැනි නව සජීවිකරණ තාක්ෂණයන්ට වැඩි කැමැත්තක් නොදක්වන නොලන්, ඔහුගේ බොහොමයක් සිනමාපට වලට යොදාගත්තේ සැබෑ සිදුවීම් එලෙසම ක්‍රියාවට නංවා කැමරාගත කිරීම් හරහායි. එයට උදාහරණයක් නම් ටෙනෙට් චිත්‍රපටයෙ හි එක් අවස්ථාවක ගුවන් යානයක් ගැටෙන දර්ශනයක් රූගත කිරීමට අවශ්‍ය වූ විට දී ඔහු එයට බෝයිං 747 ගුවන් යානයක් මිලට ගනිමින් එම අනතුර සත්‍ය වශයෙන් ම රූගත කිරීම් සිදුකර තිබෙයි. Oppenheimer සිනමාපටයේදී ද රූගත කිරීම්වලට පරිගණක ආශ්‍රිත ග්‍රැෆික්ස් භාවිතය අත්හරිමින් ත්‍රිත්ව න්‍යෂ්ටික අත්හදා බැලීම ප්‍රතිනිර්මාණය කිරීම සඳහා සැබෑ පුපුරණ ද්‍රව්‍ය භාවිත කිරීමට නොලන් උත්සහදරා තිබෙයි. සිනමාපටයේ සියල්ලම විශේෂ ප්‍රයෝග සහිත සිදුවීම් නව පරිඝනක තාක්ෂණයෙන් මිදෙමින් විශේෂ ප්‍රයෝග කණ්ඩායමක් සමඟ සිදුකර තිබෙන අතර සියල්ලම සැබෑවටම රූගත කිරීම් කරන ලද ඒවා වෙයි. එමෙන්ම කැමරාකරණය ද ඔහුගේ පෙර සිනමාපට වල දුටු ලෙසින්ම විශිෂ්ඨත්වය රඳවා තබා ගෙන ඇති බව පෙනෙයි. බොහෝ විට Oppenheimer ගේ සමීප මුහුණ රැගත් දසුන් ඔහුගේ භාව ප්‍රකාශන , චිත්ත භාවය මානසික වියවුල වැනි දෑ මනාවට තිරයට රැගෙන එන්නට ඔහු සමත්වී තිබෙයි. සිනමාපටයේ ඇඳුම් සහ පසුතල නිර්මාණයන් ද විශිෂ්ට බව සඳහන් කල යුතුවෙයි.
සිනමාපටයේ විශේෂ ප්‍රයෝග මෙන්ම සංගීත අධ්‍යක්ෂණයද මෙහි කැපී පෙනෙන්නකි. Ludwig Göransson විසින් පසුබිම් සංගීතය මුසුකර ඇති අතර ඔහු සම්මානනීය සංගීත අධ්‍යක්ෂකවරයෙක් සේම මින් ප්‍රථම Creed, Creed II, Venom, Tenet, Turning Red සහ Black Panther සිනමාපට සඳහා ද සංගීතයෙන් දායක වී තිබෙයි. සිනමාපටය පුරාවට ඇති සංගීතය නිසාම ප්‍රේක්ෂකයන්ව අලවා තබා ගැනීමට Ludwig විශාල දායකත්වයක් සපයා තිබෙයි.
කොවිඩ් වසංගතය සමඟ Warner Bro සමගාමට ඒ කාලයේ බලාපොරොත්තු වූ තරම් ආදායමක් උපයාගන්නට ඔවුන් සමත් වුයේ නැත. මේ නිසා ඔවුන් ඉදිරියේ දී නිර්මාණය කරන සිනමාපට අඩු කිරීමටත්, වියදම් කිරීමේ යම් වාරණ පැනවීමටත් කටයුතු කර තිබුන නිසාම 2000 වර්ෂයෙන් පසු ව පළමු වතාවට වෝනර් බ්‍රදර්ස් සමාගමෙන් ඉවත් ව Universal Pictures සමගින් එක් වී මෙම චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට නෝලන් කටයුතු කර ඇත. ඒ අයුරෙන් සිනමාපටයේ බෙදා හැරීම Universal Pictures හරහා සිදුවෙයි. එමෙන්ම IMDB සිනමාපට දර්ශකයේ ඉතිහාසයේ වැඩි ම ශ්‍රේණිගත කිරීම් ලැබූ නිර්මාණ 50 අතරට ක්‍රිස්ටෝපර් නෝලන් ගේ සිනමාපට ත්‍රිත්වයක් ඒ අතර වෙයි. එහි තෙවන ස්ථානයේ The Dark Knight, 14 වන ස්ථානයේ Inception, 26 වන ස්ථානයේ Interstellar වශයෙන් ස්ථාන දරා තිබෙයි. සමස්යතක් වශයෙන් මේ වන විට නෝලන් ගේ චිත්‍රපටි ලොව පුරා සම්මාන උළෙලවල නිර්දේශ වීම් 532 ක් සහ ජයග්‍රහණ 192 ක් ලබා ගැනීමම නෝලන්ගේ විශිෂ්ඨ හැකියාව ගැන අමුතුවෙන් සඳහනක් කල යුතු නොවෙයි. Oppenheimer සිනමාපටය අගෝස්තු 06 වන දින වන විට ඇමරිකාව තුල පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 228.5 ක් උපයා ඇති අතර ලොව පුරා ප්‍රදර්ශනය සමඟ එය ඇමරිකානු ඩොලර් මිලියන 552.9 ක් දක්වා ආදායමක් ලබා ගැනීමට සමත්වී තිබෙයි.
නොලන් ගේ අනෙකුත් සිනමාපට හා සැසඳීමේ දී Oppenheimerයනු වෙනස් රරසක් වෙනස් අත්දැකීමක් ලබා දෙන සිනමාපටයක් ලෙස හැඳින්වීමට හැක. සැබෑ ජිවිත කතාවක් සහ අඳුරු අතීතයක සිදුවූ සිද්ධීන් තුළ ප්‍රේක්ෂකයාගේ මනස සංත්රසයෙන් කොටුකර තැබීමට නොලන් උත්සහ ගෙන තිබෙයි. සිනමා ප්‍රේක්ෂකයන් ගේ සහ විචාරකයන්ගේ විවිධ වූ හොඳ නරක මත සහ විචාරයන් සමඟ Oppenheimer සිනමාපටය ලොව පුරා ප්‍රදර්ශනයට සමගාමිව මෙරට සිනමාශාලා කිහිපයකම ප්‍රදර්ශනය වෙයි. එමෙන්ම ලොව පුරා එකම දිනයේ ප්‍රදර්ශනයට ඇරඹි Oppenheimer සමඟ Barbie සිනමාපට දිත්වය අතර පවතී තරඟයෙන් Barbie සිනමාපටය ඉදිරියෙන් තිබීම විශේෂයක් වුවත් නෝලන්ගේ Oppenheimer යන්න 2023 වසරේ මෙතෙක් ප්‍රදර්ශනය වූ හොඳම Historical සහ Biography සිනමාපටය ලෙසට නම් කිරීමට හැක.
ඉතිහාසය අපට වෙනස් කල නොහැක..
නමුත් අපට වර්තමානය අනාගතය වෙනස් කල හැක..
සටහන - ගිහාන් තිලකරත්න
Art Street - කලා වීදිය වෙනුවෙනි.
0 Comments