පුසෝ කියන්නේ ඉතින් නිවෙස් වල ඇති කරන සුරතල සතුන් අතර ඉන්න ප්‍රධානතම කොටසක්. පුරු පුරු කියාගෙන ලඟට වෙලා දැවටෙනවා වගේම එයාලා හරිම ආදරණියයි කිව්වොත් නිවැරදියි. සමීක්ෂණයන්ට අනුව නම් හැබැයි පුසෝ දෙවෙනි වෙන්නේ නම් බලු රාළලාට තමා. නිවෙස් වල ඇති කරන වගේම නිවෙස් නැති පුස් රාළලා හාමිනේලා වගේම පුස් පැංචන් , පැංචියන් අපට දකින්න හම්බෙනවා. ඉතින් ඔවුන්ට අපට වගේ බඩගින්න දැනුනත් ඉල්ලන්න කතා කරන්න බැහැ. එහෙමයි කිව්වට එයාලා ගොළුවෝ නෙමේ. එයාලා කතා කරනවා. එයාලාගේ හිතේ තියෙන දේවල් අපි එක්ක කියනවා. එත් ඒවා තේරෙන්නේ නැති එකනේ ප්‍රශ්නේ. ඒ උනාට හැමවෙලේම ආදරෙන් රැකබලා ගන්නවා වගේම ඕනෑම සතෙක්ට ලං වුණාම එයාලට අපිව දැනෙනවා වගේම අපිටත් එයාලාව දැනෙන්න ගන්නවා. එතකොට එයාලා ඉඟිකරන දේ අපිට දැනෙන්න ගන්නවා. කිය කිය හිටිය කතාව පිට පැන්නද මංදා.. කියන්න ගියේ අපිට වගේම පුසන්ට බඩගිනි වෙනවා කියලානේ. එහෙම බඩගිනි වෙලා කියලා දැක්කොත් ගෙදරට ආවොත් ගහලා එලවන්න එපා.. ගෙදරින් එළියේ හරි පොඩ්ඩක් ඈතට වෙන්න ගිහින් එයාට කන්න ටිකක් දෙන්න. එතකොට එයාලා ගේ ඇතුලට එන්නේ නැහැ. අනික ඔයාලා මේ ආත්මේ නැතත් මතු ආත්මයක් වෙනුවෙන් කරගන්න ලොකු පිනක් වේවි ඒ පුංචි දේත්..
අගෝස්තු 08 වෙනිදා කියන්නේ තවත් විශේෂ දවසක්. ඒ ලෝක බළලුන්ගේ දිනය විදියට නම් කරලා තියෙන්නේ. ඒ දවස නිසාම බළලෙක් නිසා අපාගත ජිවිතයක් වෙනස් වූ හැටි කියවෙන සත්‍ය කතාවක් පසුබිම් කරගෙන නිර්මාණය වූ චිත්‍රපටයක් වෙනුවෙන් මේ සටහන තබන්නේ ඔබටත් මේ සිනමාපටය නැරඹීමට ආරාධනා කරමිනුයි.
A Street Cat Named Bob
James Bowen විසින් රචිත A Street Cat Named Bob යන කෘතිය ආශ්‍රය කරගෙන එම නමින්ම 2016 වසරේදී නිර්මාණය වූ Biography සිනමාපටයකි A Street Cat Named Bob. එය කෘති දෙකක් ආකාරයෙන් එකවර එළි දැක්වූවකි. මෙහි ප්‍රධානතම විශේෂත්වය වනුයේ කෘතියේ රචකයාගේම ජිවිත කතාවේ සිදුවූ එක්තරා සුවිශේෂී වෙනස් කමක් මත ලියැවුණු කෘතියක් වීමයි. ඇමරිකාවේ පමණක් එම කෘති දිත්වය මිලියනයකට අධික ප්‍රමාණයකින් අලවි වීම සහ ලොව පුරා මෙය ජනප්‍රියත්වයට පත්වීමට සාදකයක් වුයේ මේ සත්‍ය කතාව සහිත කෘතියේ එන, Bob නමැති වීදියේ ජිවත් වන තැඹිලි පැහැ බළලායි. A Street Cat Named Bob කෘතිය භාෂා 30කින් පරිවර්තනය වී තිබෙයි.
A Street Cat Named Bob සිනමාවට නැඟෙන්නේ 2016 වසරේදීයි. සිනමාපටය අධ්‍යක්ෂණය සිදුවන්නේ Roger Spottiswoode විසිනි. James Bowen ගේ චරිතය සඳහා රංගනයෙන් Luke Treadaway දායක වන අතර සැබෑ Bowen ගේ ජිවිතයට පැමිණි Bob නැතහොත් විදී බළලා, A Street Cat Named Bob සිනමාපටයේ රංගනයෙන් දායක වීම සුවිශේෂී වෙයි. සෝනි සමාගම හරහා සිනමාපටයේ බෙදාහැරීම් සිදුවූ අතර සිනමාපටය සඳහා වියදම් කල මුදල ඇමරිකානු ඩොලර් මිලියන 8ක් වන අතර ප්‍රදර්ශනයෙන් අනතුරුව ලැබූ ආධායම ඇමරිකානු ඩොලර් මිලියන 19.7කි.
සිනමාපටයේ කතාව දිවයන්නේ James Bowen නම් තරුණයා වටායි. ඔහු තනිව ජිවත් වූ පුදගලයෙක් වූ අතර අතිශය මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිව සිටි අයෙකි. ඔහු ගේ රැකියාව ලෙසින් වීදියේ ගායකයෙක් ලෙසින් ජිවත් වන්නට උත්සහ දැරුවත් එයින් ඔහුට ජීවත් වීම සඳහා ඇති ප්‍රමාණයක මුදලක් හමුනොවිය. රාත්‍රිය ඔහු පහන් කළේ විදියේය. ඔහුට හිසට වහළක් වුයේ නගරයේ විදී වල දෙපස තිබු ගොඩනැගිළි වල පදික වේදිකාවයි. නැතහොත් නගරයේ මුල්ලේ ඇති කළුවර ස්ථානයි. සමහර දින වලට කුසගින්න නිවුණේ නගර වීදිවල තිබු කුණු කුඩ වල ඉතිරිව තිබු හෝ කුණු වෙමින් තිබු කෑමයි. මත්ද්‍රව්‍ය නිසා James ගේ ජීවිතය අගාදයකට පත්වෙමින් තිබියදී ඔහුව ඉන් මුදා ගැනීමට Val නම් තරුණිය උදව් කරනු ලබයි. එයට පිළියමක් වශයෙන් ඔහුව කවුන්සිලයෙන් ලබා දෙන නිවාසයක පදිංචි කරයි. James හට ලැබුණු නිවස සුවපහසු එකකි. මහ පාරේ මුල්ලක නිදාගන්නවාට වඩා වැස්සෙන් හිරිකිඩෙන් තෙමි තෙමි ඉන්නවාට වඩා එය ඉස්තරම්ම තැනක් විය.
දිනක් රාත්‍රියේ James තම නිවස තුළ කිසිවෙක් සිටින බවට දැනෙන්නට පටන් ගන්නේ ඇසෙන අමුතු ශබ්ධ සමඟයි. නිවස පිරිස්සන ඔහුට හොරෙන් නිවසට ඇතුළු වූ තැඹිලි පැහැති තරමක් ලොකු බළලෙක් දැකගන්න ලැබෙනවා. තමාගේ නිවස තුලට පැමිණ ඇත්තේ බඩගින්නට ආහාර ගැනීමට බව ඔහුට වැටහෙනවා.
"ඒයී පුංචි හොරා.. ඔයා හොරෙක් නේද?"
"මගේ corn flakes ටික හොරකම් කරලා නේද? "
හෙමින් සීරුවේ අඩිය තබමින් James බළලා ගෙන් විමසයි.
" ඔයා මිනිස්සු එක්ක එකතුයි ද? "
බළලා හෙමින් හැංගෙන්න හදද්දී James ඔහුව නැවත අරගෙන
"මේ corn flakes කළා කිරිත් බිව්වම තවත් රසයි" කියමින් බළලා හට කිරි ටිකක් දෙමින් ඌ සමඟ මිතුරු වෙයි. නිවසකින් අතුරුදහන් වූ බළලෙකු යයි සිතු James එදින රාත්‍රිය ඔහුගේ නවාතැනේ ළැඟුම් ගැනීමට බළලාට අවස්ථාව ලබා දෙයි. රාත්‍රියේ සතුටු සිතින් නිවසට පැමිණි අමුත්තාව ලං කරගෙන ගීයක් ගයා වයන්නට James අමතක කලේද නැත. පසුදා උදෑසන James බළලා ද අතැතිව තම අසල් වැසි නිවෙස් දොරකොඩට යන්නේ බළලා ගේ අයිතිකරු සොයන්නටයි. නමුත් බළලාගේ අයිතිකරුවෙක් සොයා ගන්නට අපොහොසත් වෙද්දී James ඔහුව මුදා හරින්නේ බළලා ගේ අයිතිකරු සොයා පැමිණේවි යන්න බලාපොරොත්තු ඇතිවයි. බළලා ද කිසිඳු වෙනසක් නොකරම James ගෙන් ඉවත්ව යයි.
දිනක් මහමඟ ගී කියමින් සිටියදී James හට හුරු පුරුදු මුහුණක් පාරේ ගමන් කරමින් සිටිනු දකී. ඒ ඔහුගේ පියායි. පියා දෙවෙනි කසාදයක් කරගෙන ඇති අතර James ව නිවසින් නෙරපා දැමීමට හේතුවද ඔහුගේ මත්ද්‍රව්‍ය වෙයි. නමුත් James පැමිණ තමන් බෙහෙත් ගෙන මත්ද්‍රව්‍ය පාලනය කරමින් තමාටම කියා නවාතැනක් තිබේ යයි පවසමින් තම පියාට ලං වෙන්න තැනුව ද ඔහු මඟ හැර යයි. කළකිරීමෙන් යුතුව නැවත නිවසට යන මඟදී පෙර දින නිවසට පැමිණි බළලා නගර ශාලාවක කොරිඩෝවේ හිඳගෙන සිටියදී හමුවෙයි. ඔහු තවම නිවස සොයාගෙන නොමැති බව James වටහා ගැනීමෙන් අනතුරුව නැවත බළලා ව රැගෙන නිවසට එයි. යාබද නිවසේ සිටින රුවැත්තිය බළලා දැකීමෙන් අනතුරුව ඌ ට නමකක් දමයි. ඒ Bob කියාය. ඇයගේ උපදේශය පිළිපදිමින් James විසින් Bob ව පශු වෛද්‍ය හමුවට රැගෙන යයි.
නිතර නිතර Val, James ගේ සුවදුක් විමසීමට පැමිණෙයි. ඒ අතරම James ගේ හිත ඔහුගේ යාබද නිවසේ ඇති තරුණිය ගැන සිතක් පැහැදී තිබෙයි. කාලය ගත වෙද්දී James සහ Bob දැඩි මිතුරන් බවට පත් වෙද්දී James යන හැම තැනකම තම සුරතල් බළලා රැගෙන යාමත් සමඟ නගරයේ ඔවුන් දෙදෙනාව ප්‍රසිද්ධියට පත් වෙයි. ඒ විශේෂයෙන්ම Bob නිසා. හුරුබුහුටි මහතා, නිලලට හුරු කොළ මිශ්‍ර ඇස් වගේම James ගේ සංගීතය වෙනුවෙන් විදී වල ගමන් ගත් අය බලා සිටියා. විදියේ සැමගේ සුරතලා වුයේ Bob ය. Bob නිසා James ගේ අතමිට යහමින් මුදල් ගැවසෙන්නට විය.
දිනක් රාත්‍රියේ James ගේ පැරණි මිතුරෙකු ඔහුගේ නවාතැන තුළ වැටි සිට හමුවන අතර රෝහල් ගත කරයි. එහිදී ඔහු ඕනෑවට වඩා මත්ද්‍රව්‍ය පානය නිසා මිය යයි. එයින් James කම්පාවෙයි. නත්තල් සමයේ දිනෙක තම පියා James ට ඔවුන්ගේ නිවසට සාදයක් වෙනුවෙන් කතා කරන්නේ James ගැන පැහැදීම නිසායි . ඔහු යතා තත්වයට පත්වෙමින් තිබෙන සැටි ඔහුට පෙනී තිබුනේය. එදින සාදයට Bob කැටුව යෑමට James අමතක නොකාලය. නමුත් එදින Bob විසින් සිදුකළ ක්‍රියාවක් නිසාම James හට නිවසින් පිටව එන්නට වෙයි.
දිනක් James සහ නගර විදියේ සිටින අයෙක් සමඟ රණ්ඩුවක් ඇති වීමෙන් James පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලබයි. එයින් අනතුරුව James සහ Bob ගේ ජිවිත උඩුයටිකුරු වෙන්නට ආරම්භ වෙයි. ඔවුන් අසරණ වෙයි. නැවත ඔවුන් ජීවිතය ගොඩනඟා ගන්නා අයුරු සහ මුහුණ දෙන ප්‍රශ්ණ යහමින් අධ්‍යක්ෂකවරයා ඔබ වෙතට රැගෙන එයි. සත්තුන්ට ප්‍රිය කරන ආදරය කරන අයෙක් නම් මේ සිනමාපටය ඔබේ නෙතඟට කඳුලක් ගෙන ඒවි. ඒ දුක සහ සතුට කියන කඳුළු වර්ග දෙකෙන්ම. ආදරය, සංවේදීත්වය, ජීවිතයේ ප්‍රශ්න දරාගැනීම, වැරදි වලින් මිදීම වැනි දේවල් මේ චිත්‍රපටය තුළ අපුරුවට කතා කරයි.
ජිවිතය අපිට මොන තරම් පාඩම් කියා දෙනවාද? තනිවම අසරණව හිටි James හට ජිවිතේ නැවත නැඟිටින්න මඟ කියා දුන්නේ බළලෙක් . මෙවැනි සිනමාපට බොහොමයක් සුනඛයන් ඇසුරෙන් නිර්මාණය වුවත් බළලෙක් වෙනුවෙන් සහ නිර්මාණය වූ හොඳම සිනමාපට අතර ඉදිරියෙන්ම තැබිය හැකි සිනමාපටයක් ලෙසට A Street Cat Named Bob නම් කල හැක.
සිනමාපටයේ අධ්‍යක්ෂකවරයා වන Roger Spottiswoode සිනමා අධ්‍යක්ෂකවරයෙක් ලෙස සිනමාවට එක් වන්නේ 1980 වසරේදීයි. ඔහු අධ්‍යක්ෂකවරයෙක් ලෙස සම්මානයට පාත්‍ර වී ඇති අතර James Bond - Tomorrow Never Dies, The 6th Day , වැනි සිනමාපට ඔහු විසින් නිර්මාණය කරන ලද ජනප්‍රිය සිනමාපට වලින් දෙකකි. A Street Cat Named Bob සිනමාපටය 2017 වසරේ ඇමරිකානු ජාතික සිනමාපට උළෙලේ හොඳම සිනමාපටය අතරට නිර්දේශ වීමද සුවිශේෂී වෙයි.
අවසානෙට දුක හිතෙන කතාවකුත් කියන්නම්. ඒ ආදරණිය Bob බළලා ගැන. එයා 2020 වසරේදී James වත් තනි කරලා දිව්‍යලොකෙට ගිහිල්ලා. එතකොට BOBට වයස අවුරුදු 14ක්. ඉතින් BOB දිව්‍යලෝකේ හරි සතුටෙන් ඇති. ලිපිය අවසන් කරන්න මත්තෙන් සැබෑ ජිවිතයේ James ගෙයි Bob ගෙයි ජයාරුවකින්ම සමාප්ත කරන්නම් .
0 Comments