පළමු සතියෙම රුපියල් ලක්ෂ 150ක ආදායමක් සමඟ "කදිර දිව්‍යරාජ" නැවතත් සිනමාහල් ප්‍රේක්ෂකයන්ගෙන් පුරවති
2023 වසර ලාංකේය සිනමාවේ ප්‍රීතිමත් වසරක් ලෙසින් එකතු වනවාට සැකයක් නැත. එයට හේතුව සිංහල සිනමාපට සිනමාශාලාවට පැමිණ නැරඹීමෙන් දුරස්ථව සිටි ප්‍රේක්ෂකයන් නැවත වරක් මෙරට සිනමාශාලා වලට ගෙන ඒමට හැකියාවක් ලත් වසරක් ලෙස සැළකිල්ලට ගත හැකි වසරකි. ගජමෑන්, වෙඩි නොවඳින ළමයි, ගාඩි, මිඳුණු විශ්වය, ගුත්තිල වැනි සිනමාපට එයට හොඳම උදාහරණ කිහිපයකි. මෑත කාලිනව අපට සිටින සිනමා අධ්‍යක්ෂකවරුන්ගෙන් එකම වසරක ඔව්න්ගේ සිනමාපට දිත්වයක් ප්‍රදර්ශනය වුයේ ඉතා අල්ප දෙනෙකුගේ පමණි. එයින් උදයකාන්ත වර්ණසුරිය සහ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ප්‍රමුඛ වෙයි. 2023 මෙම වසරේ දී සුනිල් ආරියරත්නයන් විසින් අධ්‍යක්ෂණය කරන ලද සිනමාපට දෙකක් ප්‍රදර්ශනය වන අතර එය ප්‍රදර්ශනය ඇරඹියේ ළඟ ළඟය. එනම් ක්ෂිර සාගරය කැළඹීණ මැයි මසදී ප්‍රදර්ශනය ඇරඹි අතර ඔහුගේ නවතවම සිනමාපටය ලෙසින් අගෝස්තුවේ දී "කදිර දිව්‍යරාජ" ප්‍රදර්ශනය ආරම්භ විය. විවිධ වූ භාෂාවන් ගෙන් සැදී විදේශීය සිනමාපට මෙරට සිනමාශාලා වල ප්‍රදර්ශනය සමඟම මෙරට ප්‍රේක්ෂකයන් ඒ වෙත ඇදෙනවා සේම "කදිර දිව්‍යරාජ" නැරඹීම උදෙසා වයස් බේදයකින් තොරව මෙරට සිනමාශාලා වලට ප්‍රේක්ෂකයන් පැමිණෙමින් සමහර සිනමාශාලා House Full වෙමින් පවතිනු දැකිය හැක.
"කදිර දිව්‍යරාජ" නැරඹීමට මෙතරම් සෙනඟක් ?
ඉතිහාස කතා සහ ජාතක පොත ඇසුරෙන් නිර්මිත බොහෝමයක් සිංහල සිනමාපට හේතුවෙන් මෙරට සිටින යම් ප්‍රේක්ෂකයන් කොටසක් සිනමාපට ගැන දරන්නේ වෙනස් මතයකි. රජ කතා සහ ජාතක පොතින් ඔබ්බට සිනමාපට තැනිය නොහැකිද යන්න ඇත්තේ විශාල පැනයකි. නමුත් බොහෝ අධ්‍යක්ෂකවරුන් ඒ මතය බිඳ දමමින් මෙරට කර්මාන්තයේ අභිවෘදිය උදෙසා සිනමාපට බිහි කළත් ඔවුන්ට ප්‍රේක්ෂකයන් තෘප්තිමත් කිරීමට නොහැකිව ඇත. නමුත් "දෙවැනි යුද්ධය" වැනි සිනමාපට මෙම වසරේ දී තිරගත වුවත්, එවැනි සිනමාපට ප්‍රේක්ෂකයන්ගෙන් ගිළිහී ගියේ නිසි ආකාර ප්‍රචාරණයක් නොලැබුණු නිසාය. ප්‍රදර්ශනය වූ බොහෝ සිනමාපට සීමිත දින ගණනකින් ප්‍රදර්ශනයෙන් ගැලවී යාමට එය හේතුවක් විය. සුනිල් ආරියරත්නයන් ගේ "ක්ෂිර සාගරය කැළඹීණ" සිනමාපටයටද සිදුවුයේ එවැන්නකි. නමුත් ඒ හා සමඟම එතුමාගේම නිර්මාණයක් වූ "කදිර දිව්‍යරාජ" වෙනුවෙන් ජාති ආගම් වලින් බැහැරව සිනමාශාලා වල නැවත වරක් නැඟී සිටිමින් ප්‍රදර්ශනයෙන් පළමු සතියේදී රුපියල් ලක්ෂ 150ක ආදායමක් ලබන්නට සිනමාපටයට හැකිවීම සුවිශේෂී වෙයි.
සුනිල් ආරියරත්නයන් විසින් මින් ප්‍රථම අධ්‍යක්ෂණය කරන ලද පත්තිනි දෙවියන් ගැන කියවෙන සිනමාපටය වූ "පත්තිනි" සිනමාපටයෙන් අනතුරුව දේව පුවතක් ඇසුරුකර ගනිමින් ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද දෙවැනි සිනමාපටය "කදිර දිව්‍යරාජ" වෙයි. මෙරට සිටින ජනතාව අනාදිමත් කාලයක සිට පුද පුජා පවත්වන ආගම්, කුල ගොත් වලින් තොරව ලාංකීය ජන හදවත්වල වැඩවසන කතරගම දෙවියන් නොහොත් කදිර දිව්‍යරාජයන් ගේ ජිවිත කතාවේ ජනප්‍රවාදයන් ගෙන් පැවතෙන එම පුවත සිනමා රුපීව හැඩගස්වා ඇසට සිතට සොම්නසක් ගෙනෙන අයුරෙන් "කදිර දිව්‍යරාජ" සිනමාපටය නිර්මාණය කිරීමට ආරියරත්නයන් ඇතුළු කණ්ඩායම සමත්ව තිබෙයි. සිනමාපටය සඳහා ප්‍රේක්ෂකයන් ඇදෙන්නට මේ කතා පුවතම හොඳම සාධකයකි.
දේශීය සිනමාවට විදෙස් රටවලින් නළු නිළියන් යොදා ගනිමින් සිනමාපට නිර්මාණය වුවත් මෑත කාලීනව සිනමාවෙන් වෙන්වී සිටියද, පුජා උමාශංකර් මෙරට ජනප්‍රියතම දක්ෂ නිළියක් ලෙසින් අදටත් ප්‍රේක්ෂක හදවත් තුල පැළපදියම්ව සිටියි. සුනිල් ආරියරත්නයන් විසින් ඔහුගේ නවතම සිනමාපටය උදෙසා ප්‍රධාන චරිතයන් දිත්වය වෙනුවෙන් නළු නිළියන් තෝරා ගනු ලබන්නේද භාරත දේශයෙනි. කදිර දෙවිඳු ලෙසින් "සමර් වර්මානි" සමඟ වල්ලී මාතා ලෙසින් "සොනාක්ෂි සිං රාවන්" මෙවර සුනිල් ආරියරත්නයක්න්ගේ තේරීම වෙයි. මෙරට රංගන ශිල්පින් ශිලපිණියන්ගෙන් ඔබ්බට යමින් මෙහි ප්‍රධාන චරිත දිත්වය සඳහා ඉන්දියානු ශිල්පින් දිත්වයක් තෝරා ගැනීමේ හේතු විමසන කළ අධ්‍යක්ෂකවරයාගෙන් අදහස වන්නේ වෙනස්ම එකකි. එය යම් දුරකට සිතුවහොත් සාධාරණත්වයක් තිබෙයි. මෙරට රංගන ශිල්පියෙක් කදිර දෙවිඳු ලෙසත් නිළියක් වල්ලී මාතා ලෙසින් තෝරා ගත හොත් ඔවුන්ට නැවත වරක් මෙරට රුපවාහිනියේ හෝ සිනමාවේ රංගනය යෙදෙන චරිත සමඟ විවිධ මැසිවිලි ප්‍රේක්ෂකාගාරයෙන් හා රසික ප්‍රජාවගෙන් අත්විඳීමට සිදුවේවි යන හේතුන් නිසාවෙන් මෙසේ තොරා ගැනීමට සිදුවූ බවයි.
පෙර පැවසු පරිද්දෙන් "කදිර දිව්‍යරාජ" නොහොත් කතරගම දෙවිඳු සම්බන්ධව විවිධ වූ ජනප්‍රවාද අප අසා ඇත්තෙමු. සිනමාපටයේ දී තිරය මත දිගහැරෙන කතා සාරාංශය මෙලෙසිනි.
අනාදිමත් කාලයක සිට දකුණු පළාතේ වනගතව ජිවත් වන වැදි පිරිසක් වටා කතාව ගෙතෙයි. ඔවුන් අතර සිටින සුද්දහාමි සහ උක්කු එතනි දරුවකු පිළිබඳ ආසාවෙන් කතරගම බෝධියට භාරහාර වෙමින් සිටින දෙදෙනෙකි. දිනෙක ඔවුන්ට හමුවන මුවත්තියෙකුගේ මඟ පෙන්වීම හරහා කතරගම වනය තුළදී බිළින්දියක හමුවෙයි. ඈ වනයේ හැදුනු නිසා බිළින්දියට "වල්ලී" යන නම තබයි. වල්ලියගේ ජිවිත ගමන (කතර) ආරම්භ වූ ගම හෙයින් කතරගම යන නම පටබැඳී ඇති බව පුරාවෘතවල එයි. දිනෙන් දින වැඩෙමින් වල්ලී රූමත් තරුණියක් වන්නිය.
තරුණ වල්ලී හට තම සිතේ ඇඳි තේජස් රුවක් හා බැඳී සිටියි. කිසි දිනෙක නොදැකපු ඒ රුවට ඈ එක සිතෙන් ආලය කළාය. ඒ ආදරය කොතරම් එකක්ද කිවහොත් සිතෙන් පමණක් දුටු තම ආදරය කරන පෙම්වතා ගේ පිළිරුවක් නිර්මාණය කර තම යෙහෙළියන් සමඟ ඒ පිළිරුවට පුජා පවත්වන්නට පටන් ගනී. දිනක් එම තැනට පැමිණෙන නාරද නම් ඍෂිවරයා පිළිරුව දැකීමෙන් වල්ලී හට පවසන්නේ ඈ ආදරය කරන්නේ මහා බලසම්පන්න දෙවි කෙනෙක්ට බවයි. ඒ ස්කන්ද නම් භාරතයේ උපන් දෙවිකෙනෙක් බව පවසන විට වල්ලී වඩාත් පුදුමයට පත්වන අතර ස්කන්ද කුමරු ගැන තව තවත් විස්තර අසන්නට පෙළඹෙයි.
අසුරයා නිසා දිව්‍යලෝකයේ සිටින දෙවිවරුන් පිඩා විඳින අතර ඔවුන් අසුරයාගේ අණසකට යටත් කරගෙන සිටින අවදියේ මහා භ්‍රහ්මයා පවසන්නේ අසුරයාගෙන් දිව්‍යලෝකයට සිදුව ඇති විපත්තියෙන් මුදවා ගත හැකි වන්නේ ශිව පාර්වතී දෙදෙනාට දාව උපදින දරුවෙක්ට බවයි. එයින් පසුව කාමදේව සහ ඔහුගේ බිරිඳ වූ රතී එක්ව ශිව සහ පාර්වතී දෙදෙනා අතර ප්‍රේමයක් ඇති කරවයි. ඔවුන්ගේ විවාහයෙන් අනතුරුව ඔවුන්ට උපන් දරුවා වුයේ ස්කන්ද කුමරුයි. වැඩිවියට පත් වූ ස්කන්ද විසින් අසුරයා වනසනු ලබයි. ඒ ජයග්‍රහණය හේතුවෙන් ඉන්ද්‍ර දෙවියන්ගේ සිය දියණිය වූ දේවයානි දෙව්දුව ස්කන්ද කුමරුන් හට සරණපාවා දෙයි. මේ අයුරෙන් ස්කන්ද ගැන වල්ලිට විස්තර දැනගැන්මට ලැබෙයි.
දෙවඟනක් බඳු රුපශ්‍රියෙන් සිටින වල්ලී, කඳ සුරිඳුන් වෙනුවෙන් පේ වූ දේව කන්‍යාවක බව නාරද සෘෂිවරයා වටහා ගනු ලබයි. ඒ වන විට ස්කන්ද දෙවියෝ තේවානි අම්මාන් දේව මෑණියන් හා විවාහ වී ඉන්දියාවේ ත්‍රිච්චන්දුර් නම් ප්‍රදේශයේ වාසය කරමින් සතුටෙන් ජීවත්වෙයි. ඒ අතරතුර දී ස්කන්ද ගේ ඊළඟ භාර්යාව වන්නට වල්ලි මාතාව සෙල්ල කතරගම (වල්ලී සෙල්ලම් කෙරු ස්ථානය නිසා මෙලෙස සෙල්ල කතරගම යන නම සැදී ඇති බව පුරාවෘත වල සඳහන් වේ) වාසය කරන බව සකන්ද දෙවියන්ට දන්වන්නේ මේ නාරද ඍෂිතුමා විසිනි. එයින් පසුව වල්ලි මාතාව දැකගැනීම වස් ස්කන්ද දෙවියන් නොහොත් කදිර දිව්‍යරාජ ලංකාද්වීපයට වැඩම කරනු ලබයි. ස්කන්ද දෙවියන් සහ වල්ලි මාතාව ගැන ජනප්‍රවාදයන් බොහොමයක් ඇති අතර පර්යේෂණාත්මක සිනමාපටයක් ලෙසින් ජනප්‍රවාදයන් ද එකතු කරගනිමින් අධ්‍යක්ෂකවරයා කදිර දිව්‍යරාජ සිනමාවට රැගෙන එයි. මේ ප්‍රේම කතාවට අමතරව දුටුගැමුණු සහ කඳ සුරිඳු මිත්‍රත්වය මෙන්ම කතරගම දෙවොලේ මූලාරම්භය හා ගණ දෙවියන්ගේ හමුව සිනමාපටය තුළ ප්‍රේක්ෂකයන්ට දැකගැන්මට හැකියාව ලැබෙයි.
සිනමාපටයේ සෙසු චරිත හරහා නදීපා රණසිංහ, ජගත් චමිල, රොෂාන් පිලපිටිය, නිල්මිණි තෙන්නකෝන්, ධනංජය සිරිවර්ධන, වීනූ සිරිවර්ධන, වසන්ත කුමාරවිල, සම්පත් තෙන්නකෝන්, චරිත් අබේසිංහ, අජිත් ශාන්ත, රංගී රාජපක්‍ෂ, සරත් කොතලාවල, හරිනි කාව්‍යාංජනී, වසන්ත විට්ටච්චි, ජයතිස්ස අතුලසිරි, සමිත හෙට්ටිගේ, සමූදි ජයසිංහ ඇතුළු තවත් ඇති විශාල රංගන ශිල්පින් ශිල්පිණියන් නර්තන ශිල්පින් ශිල්පිණියන් එක්ව තිබෙයි.
ආචාර්‍ය රෝහණ විරසිංහයන්ගේ සප්තස්වර නාද රටාවෙන් ගීතවත් වූ "කදිර දිව්‍යරාජ" සිනමාපටයේ හිරුට වඳිමි, දීපවාලී, රෑන ගිරවුනේ, කතරගම තව්තිසාවයි ගීත හතරට අමතරව හරෝ හරා නමින් සමුහ ගීතයක් ද ඇතුළත් වෙයි. සිනමාපටයේ ගීත සඳහා නර්ථන වින්‍යාසය සංඛ අබේසිංහ විසින් සිදුකර තිබෙයි. මෙහි එන හිරුට වඳිමි ගීතය සඳහා කාවඩි නර්ථනය යොදාගෙන තිබීම අතිශය දැකුම්කළුය. එමෙන්ම රවින් කනිෂ්ක සමඟ නිරෝෂා විරාජිනී ගායනා කරන්නාවූ කතරගම තව්තිසාවයි ගීතය මනරම්ය. සිත ශාන්තිමත් කරන්නට තරම් වූ එහි සංගීතය සහ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ගේ පදරචනය මෙන්ම ගායනාවද සිත් ගනී. ඒ හරහා ප්‍රේමනීය භාවාත්මක ස්වරුපයක් සේම කතරගම ගැන වර්ණනාවක් රැගත් මෙය කාව්‍යමය ගීතයකි.
කතරගම
ඔබ සිටින මේ කතරගම
තවුතිසාවයි...
සුරතුරුය මේ නුග තුරු...
නමුණු කුල කඳු පන්ති
හිමාලය කඳු වළල්ලයි...
රණ මයුරය.. රණ මයුරය...
ඔබේ සැලමුතු පිලෙන් බබළයි...
කතරගම පුජනියයි...
දකුණු දිග
වන්දනියයි.. රුහුණු රට...
කිරිසයුර..
කළඹන විට හමු නොවුණු
අප්සරාවයි..
අමා බිනු මේ වැසි බින්දු මනු ලොවෙහි පවතිනේ..
දිව්‍යමය වූ ප්‍රේමයයි...
0 Comments