මිදුණු විශ්වය දින 50 සම්පුර්ණ කරයි.
"චිත්‍රපටියක් මොන තරම් නිර්මාණාත්මකව සාර්ථක වුණත් වාණිජමය ලෙස සාර්ථක කරගන්නත් අවශ්‍යයි. ඒක නිසා චිත්‍රපටිය මීට වඩා මිනිස්සු අතරට යවන්න වෙළඳ උපක්‍රම භාවිතා කරන්න තිබුණා කියලා පෞද්ගලිකව හිතෙනවා. චිත්‍රපටියට සෙනග අද්දන්න ඒක ජයන්ත චන්ද්‍රසිරි නිර්මාණයක් පමණක් වීම ප්‍රමාණවත් නැහැ."
සිනමා නිර්මාණයක් බලන්න ගියාම සමහර ඒවාට අපි කැමතියි . සමහර ඒවාට අකමැතියි. කැමැත්ත අකමැත්ත කියන්න සිනමා විචාරකයෙක් වෙන්න ඕනෙම නැහැ. ඒත් කැමති වෙන්නේ ඇයි කියන එකට වගේම අකැමති වෙන්නේ ඇයි කියන එකට හේතු පහදලා දෙන්න පුළුවන්නම් හොඳයි. එතකොට අපේ කැමැත්ත අකමැත්තට නිශ්චිත පදනමක් තියෙනවා.
සමහර නළු නිළියන්ගේ රංගන ප්‍රතිභාව විශිෂ්ටයි. ඔවුන්ට හරි අපූරු හැකියාවක් තියෙනවා. ඒ අය මුලින්ම චරිතයට ආවේශ වෙනවා. ඊට පස්සේ ඔවුන් ඒ චරිතයට පණ පිහිටවලා රඟපානවා. ඒ රඟපෑම රඟපෑමක් කියලා හිතෙන්නේ නැතිව අපිට ඒක ඇත්තක් කියලා හිතෙන්න ගන්නවා. එතකොට ඒ චරිතවල දුක, සතුට, බය, එඩිතරකම වගේ භාවයන් ඔක්කොම අපිට ඒ විදිහටම දැනෙන්න ගන්නවා. ඒකයි සමහර වෙලාවට අපිත් ඒ චරිත එක්කම අඬන්නේ. හිනාවෙන්නේ. දේව්දාස්, බෝඩර් වගේ ෆිල්ම්ස් බලද්දී අපි අඬන්නේ ඒකයි. සිකුරු හතේ බලද්දී උඩ පැන පැන හිනාවෙන්නේ ඒකයි . ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙක් කියන්නෙම සිනමා නිර්මාණයකට මැණිකක්. මේ නළු නිළියන් මොන තරම් දක්ෂ වුණත් ඔවුන්ට රඟපාන්න ලැබෙන තිර පිටපත වැඩක් නැත්නම් වැඩක් නැහැ. ප්‍රබල තිරපිටපතක් සහ දෙබස් කියන්නේ නළු නිළියන්ට තමන්ගේ දක්ෂතාවය ප්‍රේක්ෂකයාට ඔප්පු කරන්න ලැබෙන අනර්ඝ අවස්ථාවක්. ඉන්සෙප්ෂන් , ඇවටාර් , ගෝඩ් ෆාදර් චිත්‍රපටිවල තිරපිටපත් උදාහරණවලට ගන්න පුළුවන්. නළු නිලියන්ගේ දක්ෂතාවය උපරිමයට පෙන්වන්න පුළුවන් විදිහට ඔවුන් හසුරුවා ගැනීමේ දක්ෂතාවය දක්ෂ අධ්‍යක්ෂකවරයාගේ කාර්යභාරය. අදාළ අවස්ථාවට ගැලපෙන භාවයන් ඔවුන්ගෙන් උකහාගන්න එක ඔහුගේ හෝ ඇයගේ කාර්යභාරයක්. කැමරාකරණය, සංගීතය , වේශ නිරූපණය , සංස්කරණය කියන මේ කාරණාවල දායකත්වයත් ඉහළම මට්ටමක තිබුණොත් , ඉතාම මැනවින් සංකලනය වුණොත් අපි ඒකට කියනවා විශිෂ්ට චිත්‍රපටියක් කියලා.
මේ කාරණා ගැන කිසිම අවබෝධයක් නැතත් කෙනෙක්ට චිත්‍රපටයක හොඳ නරක කියන්න පුළුවන්. ඒ විවිධ චිත්‍රපට නැරඹීම ඇතුළේ ලැබිලා තියෙන පුහුණුව නිසා.
මිදුණු විශ්වය ලංකාවේ බිහිවුණු සිනමා නිර්මාණ අතර ඉතාම ඉහළින් තියෙන නිර්මාණයක් කියලා නිර්ලෝභීව කියන්න පුළුවන්.
සමනල සංධ්වනියයි ඝර සරපයි ඒ තරම් මගේ හිත ගත්තේ නැහැ. ඒ නිසා මිදුණු විශ්වය ගැන මගේ දෙගිඩියාවක් තිබුණා .ඒ අස්සේ විසංගමනය බලලා බලාපොරොත්තු කඩවෙලා තිබුණා . ( ඒක ජයන්ත චන්ද්‍රසිරිගේ නොවේ. ) හැබැයි මිදුණු විශ්වය හොඳයි කියලා චරකයි උපෙකලයි දෙන්නම කියලා තිබුණු නිසා ගිහිල්ලම බලන්න තීරණය කළා . අන්තිමට මහරගම ඇමිටි ලයිට් එකේ උදේ 10 දර්ශනය බලන්න ලැබුණා . කාලෙකට පස්සේ සිංහල චිත්‍රපටියක් බලනකොට මගේ ඇස්වලින් කඳුළු ගලාගෙන ගියා. මං හිතන්නේ ඒ සතුටට කියලා . මම කැමති සංකල්පයන් ගැන, මමත් ලියලා තියෙන සංකල්පයන් ගැන චිත්‍රපටි බලන හැමවෙලාවෙම ඒක සාමාන්‍යයෙන් සිද්දවෙන දෙයක්.
චිත්‍රපටිය ආරම්භ වෙන්නේ ලියුමකින්. අතීතයෙන් අනාගතයට රාජිනි (උදාරි වර්ණකුලසූරිය) කියන පණිවිඩයකින්.
රාජිනි කියන්නේ වෘත්තීය නිළියක් . තමන්ගේ වෘත්තීය භාරදූර්ය රාජකාරියක් කියලා හිතන වෘත්තීය ගැන හැබෑ උවමනාවක් පැෂන් එකක් තියෙන නිළියක් . රාජිනි පිළිබඳ ඒ නිගමනවලට එන්න චිත්‍රපටිය ප්‍රමාණවත් තරම් සාක්ෂි සපයනවා. ඇය ෂූටින්වලට යන්න අවශ්‍ය නිසා සිය සැමියා සමග රාත්‍රී සාදයකට යන්න ප්‍රතික්ෂේප කරනවා. ඇයට අවශ්‍ය ගස් වටේ නටනවට වඩා ඇත්තටම රඟපාන්න කියන කාරණාව ඇය මහාචාර්ය අධ්‍යක්ෂකවරයාට කියනවා. ඒ වගේම ඇයත් එක්ක වැඩ කරන අනිත් අධ්‍යක්ෂකවරු සහ පිරිසගේ ඇය කෙරෙහි තියෙන ප්‍රසාදය ඇගේ රූමත් කමට කරන සැලකිල්ලට වඩා වැඩි එකක් වග පේනවා. ඒ කරුණු ඇය වෘත්තීමයභාවයකින් යුතු තැනැත්තියක් කියන එක ප්‍රේක්ෂකයාට අවබෝධ කරගන්න ප්‍රමාණවත් .
රාජිනීගේ සැමියා ඩන්කන් (බුද්ධික ජයරත්න) . චිත්‍රපටියේ ඉන්න ඩයිනමික්ම චරිතය කියලා හඳුන්වන්න පුළුවන්. පොලිටිකලි කරෙක්ට් ස්වාමි පුරුෂයෙක් විදිහට ආදරේ කරන්න දන්නේ නැහැ. හැබැයි එයා එයාටම ආවේණික විදිහකට රාජිණිට ආදරය කරනවා. තමන්ට පුළුවන් ආකාරයට ඇයගේ වෘත්තීය ජීවිතයට සහයෝගය දෙනවා. ඒක හැමවෙලාවෙම එහෙම නොවෙයි. කාලෙකට පස්සේ සිංහල චිත්‍රපටියක ඒ තරම් විචිත්‍ර චරිතයක් දැක්කමද මන්දා.
වරෙන්‍ය (උද්දික ප්‍රේමරත්න ) රඟපෑම පුහුණුකරවන්නෙක්. ඔහු දක්ෂ ප්‍රතිපත්තිගරුක ආචාරධාර්මිකත්වය ගැන සැලකිලිමත් ගුරුවරයෙක්. චිත්‍රපටිය ඒ කාරණාව ප්‍රත්‍යක්ෂ කරන්න ප්‍රමාණවත් තරම් සාක්ෂි සපයනවා. ඔහු තමන්ගේ පාඨමාලාවලට ළමයින්ව ඇතුලත් කරගන්නේ සීමා සහිතව. ඔහු හැම ශිෂ්‍ය ශිෂ්‍යාවකටම සමානව සලකන්න උත්සහ කරනවා. ඔහු උනන්දුවෙන් උවමනාවෙන් උගන්වනවා. තමන්ගේ ශිෂ්‍යාවන්ට සමීප වෙන්න උත්සහ කරන්නේ නැහැ.ගුරු ගෞරවය රැකෙන ලෙස කටයුතු කරන්න ඔහු උත්සහ කරනවා.
සුමාද්‍යා (චූලාක්ෂි රණතුංග) රඟපෑම් ඉගෙනගන්න එන ශිෂ්‍යාවක්. ඇය පිළිගැනීමේ නිලධාරිනියක්. ඇය වරෙන්යට ඉතාම කැමතියි. ඒක ගුරු ගෝල කැමැත්තකට එහා ගිය එකක්. ඒ වගේම ඇය දැඩිව සිය ගුරුවරයාව විශ්වාස කරනවා.
චිත්‍රපටිය මූලික වශයෙන් ගොඩනැගෙන්නේ මේ චරිත එක්ක.
මිනිස් චර්යා රටාවන් සහ චරිත ලක්ෂණ විවිධාකාරයි.. . මිනිස් සම්බන්ධතා සහ ඒවායේ ස්වභාවයන්ද විවිධ ස්වරූප ගන්නවා.මේ කොහොම වුණත් මිනිස් අවශ්‍යතාවයන් සමානයි. කාලය ,දීපය , දේශය, කුලය , මව මොකක් වුණත් හැඟීම් දැනීම්, බැඳීම් අවශ්‍යතා විශ්වීයයි. ඒකයි ලෝකේ කොහේ හැදුණත් සාහිත්‍ය සහ කලාව මිනිස්සුන්ට තමන්ගේ කරගන්න පුළුවන් වෙන්නේ.
අපිට ජීවිතයේ විවිධ චරිත මුණගැහෙනවා. සමහර අය දැඩිව සිය අරමුණුකරා යන්න කටයුතු කරනවා. රාජිනිව මම දකින්නේ එවැනි ගැහැනියක් විදිහට. ආරම්භයේදීම ඇය කියනවා ඇයගේ සිනමාගමනය සිදුවෙන ආකාරය. ගමක ජීවත් වුණු ඇය මුලින්ම අවුරුදු කුමාරි තරගයක් ජයග්‍රහණය කරනවා. ඩන්කන් ඇයව විවාහ කරගන්නේ ඊට පස්සේ. ඇයව ගමෙන් නගරයට ගේන්නේ ඔහු. තමන්ගේ රූපය ගැන ඇයට දැඩි විශ්වාසයක් ඇති බව එවැනි තරගයකට ඉදිරිපත් වීම තුලින් උපකල්පනය කරන්න පුළුවන්. එවැනි තරගයකට ඉදිරිපත් වෙන කෙනෙක්ගේ බලාපොරොත්තුව ජයග්‍රහණය තමයි. ඒ වගේම ඇයට නිකන්ම නිකන් නිළියක් වෙන්න නොවෙයි අවශ්‍ය. හොඳම නිළියක් වෙන්න. හැබැයි ඇය විශ්වාස කරනවා එය දක්ෂතාවය හරහා උදාකරගත යුතු බව. ඒ දක්ෂතාවය තමන් තුළ ඇතිකරගන්න හැටි ඇය දන්නේ නැහැ. නමුත් ඇගේ මේ අවශ්‍යතාවය ඉතාම තදබල එකක්. ඒ අවශ්‍යතාවය ඉෂ්ට කරලා දෙන්න පුලුවන් කෙනෙක් 1964දී ඇයට හමුවන්න්නේ නැහැ. අපගේ උපවිඥානයට අපගේ අවශ්‍යතා ඉෂ්ට කරදීමට හැකිබව පර්යේෂණාත්මකව හොයාගෙන තියෙනවා. මර්ෆිගේ The Power of Your Subconscious Mind එහෙමත් නැත්නම් ඒකෙ සිංහල පරිවර්තනය වන යටිසිත 1, 2 කියන පොත් කියෙව්වොත් මේ ගැන අදහසක් නැති කෙනෙක්ට වුණත් ඒ කාරණාව තේරුම් කරගන්න පුළුවන්.
රාජිනි 1964 ඉඳලා 2020ට ඇවිත් තමන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්නේ අන්න එහෙම. එයාගේ උපවිඥානයට ඒ අවස්ථාව උදා වෙන්නේ තමන්ගේ ගුරුවරයාව සම්පූර්ණයෙන්ම විශ්වාස කරන සුමාධ්‍යා නිසා. කෙනෙක් අනෙකෙකුව සම්පූර්ණයෙන්ම අන්ධ භක්තියෙන්යුතුව විශ්වාසකරනකොට වෙන දෙයක් තමයි උප විඥානය විසින් ක්‍රියාත්මක කරලා තියෙන අපේ ආරක්ෂක පද්ධතිය සම්පූර්ණයෙන් ක්‍රියාවිරහිත වීම. එහෙම වුණාම වෙනත් බලවත් විඥානයන්ට අනෙකාට බලපෑම්කරලා තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න පුළුවන්. ඒකෙ උච්චම තැනක් තමයි අපි මේ චිත්‍රපටිය ඇතුලේ දකින්නේ. ඔය ආවේශ වීම් කියලා සමහර වෙලාවට වෙන්නේ අන්න එහෙම දේවල්. විද්‍යාත්මකව මේ දේවල් විග්‍රහ කරලා තියෙන පොතපත ඕනෑ තරම් තියෙනවා.
තමන්ගේ අරමුණු ඉෂ්ටකරගන්න උදව්කරන මිනිස්සුන්ට සමහරු මානසිකව බැඳෙනවා.. බැඳීම්වල ශක්තිමත් භාවය රඳා පවතින්නේ අනෙකා කෙරෙහි කෙතරම් මානසික බැඳීමක් තියෙනවද එහෙම වෙන්න ප්‍රමාණවත් හේතු තියෙනවද කියන කාරණාව මත. අපි දකින්නේ රාජිනි වරෙන්යට ආදරය කරනවා කියලා. රාජිනිගේ චරිත ලක්ෂණ දිහා සමීපව බැලුවොත් රාජිනි කියන්නේ ග්‍රේට්ෆුල් කෙනෙක්. ඒ කියන්නේ කළගුණ මතක තියෙන කෙනෙක්. ඇය තමන්ගේ සැමියාගෙන් දික්කසාද වෙන්න අකමැති ඇගේ තියෙන ඒ චරිත ලක්ෂණය නිසා. තමුන් නිලියක් වෙන්නේ ඔහු නිසා කියන එක ඇය දැඩිව විශ්වාස කරනවා.රාජිනිට සැමියා ගැන විශේෂ මානසික බැඳීමක් නැහැ. සැමියා නිසා ඇයට සමාජය තුළ සුරක්ෂිත ජීවිතයක් ගතකරන්න පුළුවන් කියන එක ගැනත් ඇයට අවබෝධයක් තියෙනවා. තමුන්ට සම්මානය ලැබෙන්නේ මහාචාර්යවරයාගේ චිත්‍රපටිය තුළ රඟපාන්න ලැබුණු නිසා කියලා ඇය දන්නවා. ඒකට කළ ගුණ සැලකීමක් ලෙස තමයි ඇය තමන්ගේ සම්මානය සිය සැමියා අතට නොදී අධ්‍යක්ෂක මහාචාර්යවරයාට ලබා දීලා ඔහුට වඳින්නේ. රාජිනි වරෙන්යට ආශක්ත වෙන්නෙත් ඒ කාරණාව හරහාමයි. තමන්ගේ සිහිනයට නිවැරදි මාර්ගය පෙන්වලා තමන්ගේ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ටකරගන්න ඇයට ඉඩ ලැබෙන්නේ වරෙන්ය නිසා. වරෙන්යගේ සහයෝගය නිසා. ඇය මුළු ජීවිත කාලය පුරාවටම ඔහු වෙනුවෙන් ඒ මානසික ඉඩ වෙන් කරන්නේ ඒ අනුව.
වරෙන්යට මුණගැහෙන දක්ෂතම ශිෂ්‍යාව තමයි රාජිනි. කොටින්ම කියනවා නම් රාජිනි කියන්නේ වරෙන්යගේ නිර්මාණයක්. තමුන්ට තරගයක් නොවෙන තමන්ගේ විශිෂ්ටතම මනුෂ්‍ය නිර්මාණයන් කෙරෙහි දැඩි බැඳීමක් ඇතිකරගන්න එක සාමාන්‍යයෙන් මිනිස්සුන්ගේ ලක්ෂණයක්. ඒක මානසික බැඳීමක්. වරෙන්ය රාජිනිට ආශක්ත වෙන්න එක හේතුවක් ඒක . හැබැයි ඇත්තටම රාජිනි එක්ක ඇතිවෙන මේ බැඳීම ඇත්තක්ද කියන කාරණාව ගැන දෙගිඩියාවක් වරෙන්යට තියෙනවා. ඒ වගේම වරෙන්ය කියන චරිතය ප්‍රතිපත්තිගරුක චරිතයක් විදිහට තමයි ගොඩනැගෙන්නේ. තමුන්ගේ ශිෂ්‍යාව වුණු සුමධ්‍යාගේ අනු දැනුමකින් තොරව ඇගේ මනස සහ සිරුර කියන කාරණාවන් භාවිතා වීම ගැන ඔහු වරදකාරී හැඟීමකින් පීඩාවට පත්වෙලා ඉන්නේ. ඇය එක්ක මානසික සමබන්ධතාවයක් නැතත් සුමාධ්‍යාව තමන්ගේ බිරිඳ කරගන්න තරම් ඔහුව මෙහෙයවන්නේ ඒ වරදකාරී හැඟීමකියලයි මට හිතෙන්නේ.
ඩන්කන්ගේ චරිතය ඉතාම විචිත්‍රයි. කළු සුදු අළු දුඹුරු ඔක්කොම පාට ඇතිව ගොඩ නැගුනු චරිතයක්. තමන්ගේමේ ක්‍රමයට බිරිඳට ආදරය පෙන්වන තමන්ගේම ක්‍රමයට බිරිඳව ආරක්ෂාකරගන්න හදන, දිරිගන්වන මිනිහෙක්. ඒ වගේම ඉතාම අවලස්සනට තමන්ගේ ආධිපත්‍ය තමන්ගේ බිරිඳ මත පටවන්න පැකිලෙන්නේ නැති මිනිහෙක්. පිළිගන්නත් බැරි අහකදාන්නත් බැරි චරිතයක්.
ඉහත චරිත තුනටම පණ පොවන නළු නිළියන් තමන්ගේ චරිතයට සාධාරණයක් කරන්න සමත් වෙලා තියෙනවා කියන එක සඳහන් නොකළොත් ඒක ඔවුන්ගේ රඟපෑම්වලට කරන අගෞරවයක් . මේ නළු නිලියන් තුන්දෙනාම දක්ෂයෝ. මීට කලින් මේ අය රංගන දායකත්වය ලබාදීපු මා නරඹා ඇති නිර්මාණවල ඔවුන්ගේ රඟපෑම් හොඳ තලයක තිබුණා. මේ චිත්‍රපටිය ඇතුළේ දක්ෂම රංගන දායකත්වය ලබාදෙන්නේ බුද්ධික. ඒකයි රාජිනි සම්මානය ඩන්කන්ගේ අතට නොදුන්නම ප්‍රේක්ෂකයාටත් ඔහු ගැන දුක හිතෙන්නේ. බුද්ධික ඉතාම හොඳ හැදෑරීමක් සහ සූදානමකින් 60 දශකයේ චිත්‍රපටිවල චරිත හැසිරෙන ආකාරය අධ්‍යයනය කරලා තියෙනවා. ප්‍රධාන චරිත අභිභවා රංගනයක් මතුවෙන්නේ ප්‍රතිභාවට අමතරව ඔහු හෝ ඇය තුළ ඇති සූදානම හැදෑරීම සහ කැපවීම මත කියන්න පුළුවන්. ඊට පස්සේ හොඳම රංගන ප්‍රතිභාවක් පෙන්වන්නේ උදාරි . උදාරිට පස්සේ තමයි උද්දිකව පේන්නේ . ඊට අමතරව ශ්‍රියන්ත, නිල්වලා , වේශ නිරූපන ශිල්පියා සහ මෙහෙකාරිය ප්‍රශස්ත රංගන දායකත්වයක් සපයනවා.
සුමාධ්‍යාගේ චරිතයත් මේ චිත්‍රපටියට අවශ්‍ය චරිතයක්. උප ප්‍රධාන චරිතයක් වුණත් චරිතය ඩන්කන්ගේ චරිතය හා සමානවම කැපිලා පේන්න තිබුණා රංගන දායකත්වය මීට වඩා ප්‍රබල වුණානම් කියලා මට පෞද්ගලිකව හිතෙනවා. රඟපෑම කියන්නේ අනුකරණය හෝ දෙබස්කන්ඩ කීමක් නොවෙන බව චිත්‍රපටියේම එක තැනක කියනවා. මේ චරිතයට කෘතිමත්වයකින් තොර ප්‍රබල රංගන දායකත්වයක් ලැබුණා නම් අපිට ඒ චරිතය ගැන වුණත් හදපතුලෙන් කරුණාවක් ජනනය වෙන්න ඉඩ තිබුණා . චරිතය ඉල්ලා සිටින අධිෂ්ටානශීලි දඟකාර කෙළිලොල් තරුණියකගේ අන්ධ භක්තිය ප්‍රමාණවත්ව නිරූපනය වෙලා තිබුණේ නැහැ .
සුමාධ්‍යාගේ පළමු ප්‍රේමවන්තයාට රඟපාන නළුවාගේ චරිතයේ ඇති සියුම් තැන් විචිත්‍රත්ව චරිත් අබේසිංහ , ජගත් මනුවර්ණ, දසුන් පතිරණ වගේ නළුවෙක්ට අපූරුවට මතුකරගන්න තිබුණා කියලත් හිතුණා . ඔහුගේ චරිතය අපිට මුණගැහෙන්නේ අවස්ථා දෙකකදී විතරක් වුණත් ප්‍රේක්ෂකයාව අඬවන්න කම්පා කරන්න පුළුවන් චරිතයක් නිකන්ම ජෝක් එකක් වගේ පෙනුණු එක අපරාදේ කියලයි මට හිතෙන්නේ.
අතිශය සුළු චරිතයකට පවා අති දක්ෂ රංගන දායකත්වයක් ලැබුණොත් විතරයි නිර්මාණයක් අති විශිෂ්ට වෙන්නේ.
චිත්‍රපටියේ තිරපිටපත හොඳ ගලායෑමක් , විශ්වසනීයත්වයෙන් යුතු සිද්දි නිරූපණයන් සහ චරිත ගොඩනැගීම් අන්තර්ගත හොඳ එකක් කියන්න පුළුවන්. තව සුළුවෙන් හෝ දෙබස් සංස්කරණය වුණා නම් හොඳයි කියලා හිතුණු තැන් තිබුණා . උදාහරණයක් විදිහට සුමධ්‍යා පෙම්වතාගෙන් වෙන් වෙන තැන මුහුද පෙන්නලා මේ මොකක්ද කියලා ඇහුවම 2020දී මුහුද කියලා උත්තරයක් දෙනවා මිසක් සාගරය කියලා කතා බහේදී කියන්නේ නැහැ. මේ එක අඩුපාඩුවක් පෙන්නුවට පිටපත සමස්තයක් වශයෙන් ඉතාම හොඳ එකක් කියලා නොකිව්වොත් ඒ වගේ හොඳ ලස්සන පිටපතකට කරන අසාධාරණයක්.
ජයන්ත චන්ද්‍රසිරි දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්. දක්ෂයන්ගේ දක්ෂතාවය උපරිමයටම මතු කරගන්න ඔහු සමත් වෙලා තිබුණා . ඔවුන්ගේ භාවයන් ඉතාම උචිත ලෙස මතු කරගන්න ඔහුට බොහෝ අවස්ථාවන්වලදී හැකිවෙලා තියෙනවා. චිත්‍රපටියේ සාර්ථකත්වයට ඔහුගේ දායකත්වය නොමසුරුව ලැබිලා තියෙනවා.
ඒ වගේම තමයි කැමරාකරණය. සමහර කැමරාෂොට්ස් චිත්‍රපටියට අරුතක් වගේම වෙනම හැඩයක් වර්ණයක් එකතු කරලා තියෙනවා. සංස්කරණය ගැනත් කියන්න ඕනේ. . චිත්‍රපටයේ ගලා යෑම ඉතාම මැනවින් තිබුණා . අනවශ්‍ය රූප රාමු වෙනුවට අවශ්‍ය රූප රාමු සැලකිල්ලෙන් චිත්‍රපටියේ ඉතුරුකරන්න ඔහු සමත් වෙලා තියෙනවා. ඉන්ටර්වල් එකේදී නැගිටලා යන්න හිතෙන්නේ නැතිව ඉන්ටර්වල් එකෙන් රසයට බාධා වුණා කියලා හිතෙන්න තරම් කුතුහලය ඇති කරන තැනකින් ඉන්ටර්වල් එකට යන්න පුළුවන් චිත්‍රපටියක් කාලෙකට පස්සේ දැක්කා. ගොඩක් වෙලාවට ගොඩක් චිත්‍රපටිවල ඉන්ටර්වල් එකෙන් පස්සේ බලන්න දෙයක් නැහැ. මිදුණු විශ්වය ඉන්ටර්වල් එකට පස්සේ ඉක්මනට ඉවර වුණා කියලා ප්‍රේක්ෂකයාට හිතෙන්නේ නැහැ. . ඒ වගේම තමයි 1964යි 2020යි එකිනෙකට සම්බන්ධ කරන විදිහ. ඒක අපූරු සම්බන්ධකිරීමක්.
චිත්‍රපටිය පුරා දිවෙන සංගීතයත් චිත්‍රපටියේ සාර්ථකත්වයට තමන්ගේ දායකත්වය මැනවින් ලබාදෙනවා. 'මගේ නොවෙන මගේම ආදරයක් තිබුණා' වගේ සිංදුවක් මේ චිත්‍රපටියට ආවානම් සිංදුව නිසා චිත්‍රපටියට තවත් ආලෝකයක් ගන්න තිබුණා..වෙනස් සංකල්පයක් එක්ක ගොඩනැගුනු මිදුණු විශ්වය වගේ හොඳ චිත්‍රපටියක් බලන්න සෙනග ගෙන්වන්න එහෙනම් සිංදුව හරි පාවිච්චි කරන්න තිබුණා කියලා මට හිතුණේ සිනමා ශාලාවේ පනහක්වත් සෙනග හිටියේ නැති නිසා.
මිදුණු විශ්වයට වෙලා තියෙන අනිත් අසාධාරණය තමයි චිත්‍රපටිය පෙන්වන වෙලාවල් කියලා මට හිතෙනවා. දවසට එක ෂෝ ටයිම් එකයි වගේ වුණාමත් චිත්‍රපටිය මිනිස්සුන්ට මග ඇරෙන්න තියෙන ඉඩ වැඩියි. කොහොම වුණත් හෝල්වලින් ගැලවිලා යන්න කලින් ෆිල්ම්හෝල් එහෙකින්ම බලන්න ඕනේ ඉතාම හොඳ චිත්‍රපටියක් කියලා ලෝබ නැතිව කියන්න පුළුවන් සිනමා නිර්මාණයක් තමයි මිදුණු විශ්වය.
මේ චිත්‍රපටිය මං කියවා ගත්තු විදිහට වඩා රොමෑන්තිකව කියවගන්නත් පුළුවන්.. එහෙම බලනකොට මිදුණු විශ්වය මම කිව්වට වඩා ලස්සනට, හැඟීම්බරව බලන්න , දකින්න . විඳින්න පුළුවන් වෙනස්ම අර්ථකතනයක් දෙන්න පුළුවන් ලස්සන ආදර කතාවක් .
චිත්‍රපටියක් මොන තරම් නිර්මාණාත්මකව සාර්ථක වුණත් වාණිජමය ලෙස සාර්ථක කරගන්නත් අවශ්‍යයි. ඒක නිසා චිත්‍රපටිය මීට වඩා මිනිස්සු අතරට යවන්න වෙළඳ උපක්‍රම භාවිතා කරන්න තිබුණා කියලා පෞද්ගලිකව හිතෙනවා. චිත්‍රපටියට සෙනග අද්දන්න ඒක ජයන්ත චන්ද්‍රසිරි නිර්මාණයක් පමණක් වීම ප්‍රමාණවත් නැහැ.
ජයන්ත චන්ද්‍රසිරි කිව්වම ගොඩක් දෙනෙක්ට මතක් වෙන්නේ දඬුබස්නාමානය. කතා දෙකක් නැහැ දඬුබස්නාමානය හොඳ ටෙලි නිර්මාණයක්. හොඳ වුණු පලියට හොඳ හැමදේටම අපිට කැමති වෙන්න බැහැ . ඒක තමයි මිනිස් ස්වභාවය. ජයන්ත චන්ද්‍රසිරි කිව්වම මට මතක් වෙන්නේ අකාල සන්ධ්‍යා. ඒ ටෙලිනාට්‍ය අවුරුදු 11ක ළමයෙක් වුණු මාව මෝහනය කළා . වැරදීමකින් වේලාසනින් නින්ද ගිය එක දවසක් ඇරෙන්න මම ඒ ටෙලි නාට්‍ය පටන්ගත්තු දවසේ ඉඳන් අන්තිම කොටස වෙනකල් පුදුමාකාර භක්තියකින් බැලුවා. ඒ ටෙලි නාට්‍ය කාල තරණය සංකල්පය අපූරුවට ඉදිරිපත් කළා . ඊට පස්සේ කුන්ඩලිනි. ඒක වෙනම කතා කරන්න ඕනේ මාතෘකාවක්.
කාලය සම්බන්ධ නිර්මාණවලින් මම මුලින්ම බැලුවේ Time Trax කියලා ටෙලි සීරිස් එකක්. ඒ MTV එකේ. 1993 හරි 1994 හරි තමයි ඒක ගියේ. ඒකෙ ලැම්බට් කියලා හොඳ ලස්සන කඩවසම් පිරිමියෙක් හිටියා.එයාගේ සහයිකාව සෙල්මා. සෙල්මා එන්නේ ක්‍රෙඩිට් කාඩ් එහෙකින් .ලැම්බට්ට හෙට දවසේ පත්තරේ අද උදේම ලැබෙනවා. Time Trax කතාව ගැන මතකය නිශ්චිත නැත්තේ ඒක බලද්දී වයස අවුරුදු 10කට අඩු නිසා වෙන්න ඕනේ. ඒත් ඒ සංකල්පය මාව විශ්මයට පත් කරපු සංකල්පයක්. කාලය කියන්නෙම කොහොමත් හරිම අපූරු සංකල්පයක් තමයි. කාලය ගත වුණා .
2010දී හරි 2011දී හරි මම විද්‍යා ප්‍රබන්ධ කෙටිකතාවක් ලිව්වා.ඒක විදුසර පත්තරේ පළවුනා . මම ඒ කෙටි කතාවට දීපු නම ප්‍රගාමි නොවෙයි. වෙන මොකක් හරි එකක්. ඒක මට මතක නැහැ. සිහිනය කියන වචනය තිබ්බා කියලා විතරයි මතක. ප්‍රගාමි කියන නම කතාවට දාලා තිබුණේ පත්තරෙන්. ඒ කතාවේ ඉන්න කයිලා ජීවත් වෙන්නේ 2090. 2090 කියන්නේ මිනිස්සු ස්වභාවික උපත් දිහා අස්වාභාවික දෙයක් කියලා හිතන කාලයක්. අවදානමක් කියලා හිතන කාලයක්. කයිලාට අවශ්‍ය වෙනවා ස්වභාවික දරුවෙක් හදන්න.කයිලාට තියෙන්නේ ඒ ගැන දැඩි ආශාවක් උවමනාවක්. විද්‍යාඥයෙක් වුණු ඇගේ සැමියා ඒකට කැමති නැහැ. දවසක් නින්දට යන ඇයට හීනයක් පේනවා. එහිදී ඇයට තරුණයෙක් මුණගැහෙනවා. ඒ හීනය සජීවී එකක් . ඊළඟ දවසේදීත් ඇය ඒ හීනයම දකිනවා. ඒ කලින් දවසේ නතර කරපු තැන ඉඳලා. ඒ හීනයට ඇය ආශක්ත වෙනවා. සැමියාගේ අවධානය නොලබන ඇයට දින ගණන් එක දිගට නිදාගන්න පුළුවන්. ඈ ජීවත් වෙන්නේ හීනයේ. හීනය තුළ ඇය තරුණයා එක්ක සම්බන්ධයක් ගොඩනගාගන්නවා.තමන් මේ දකින්නේ හීනයක් නොවෙන වග ඇය දැනගන්නේ අවදියෙන් සිටින මොහොතක ඇය ගැබිනියක් බව සොයාගන්න නිසා . ඇය 2160 පිළිබඳ සත්‍ය දැනගන්නවා. ඒ එක්කම තව වැඩි කාලයක් ඇයට නින්ද හරහා කාල තරණය කරන්නට බැරිවෙන බවත් වර්තමානය තුළ හෝ අනාගතය තුළ ඇගේ මරණය සිදුවීම ඇය තෝරා ගත යුතු බව ඇය දැනගන්නවා. ඇය තෝරාගන්නේ 2090ද 2160ද?
. 2013දී ප්‍රකාශයට පත්කරපු ප්‍රගාමි කියන විද්‍යා ප්‍රබන්ධ කෙටිකතා සංග්‍රහයේ මේ කෙටිකතාවත් තියෙනවා. (පොත දැන් ප්‍රින්ට් එකේ නැහැ. රී ප්‍රින්ට් එකක් එන්නෙත් නැහැ. )
-කාංචනා ප්‍රියකාන්ත -
0 Comments