Super Star රැජිනිකාන්ත් නැවතත් Box Office දඩයමේ.

 

"මුතුවේල්" යනු විශ්‍රාමික පොලිස්වරයෙක් වන අතර ඔහු විශ්‍රාම සුවයෙන් තම පවුල සමඟ සතුටෙන් කාලය ගත කරන අයෙකි. ඔහුගේ බිරිඳ "විජී" නම් වෙයි. ඔවුන් දෙදෙනාට "අර්ජුන්" නමින් පුතෙක් සිටින අතර ඔහු සහකාර පොලිස් කොමසාරිස් කෙනෙක් ලෙස ඉන්දියානු පොලිසියේ සේවය කරයි. අර්ජුන් විවාහපත් අයෙක් වූ අතර ඔහුගේ බිරිඳ "ස්වෙතා"යි. ඔවුන්ට දරුවෙක් වන අතර ඔහුගේ නම "රිත්වික්" නම් වෙයි. 

"වර්මන්" යනු වටිනාකමින් යුත් පිළිම විකුණන ජාවාරමක කල්ලි නායකයායි. ඔහු ඉතාම වටිනාකමින් යුතු දේව පිළිම හොර රහසේම විදේශිකයන්ට විකුණන අයෙකි. ඔහු සහ ඔහුගේ මැර කල්ලිය සම්බන්ධව විමර්ශනය කිරීමට "අර්ජුන් පාන්ඩියන්" හට සිදුවෙයි. එම විමර්ශනයේදී "වර්මන්" ගේ ගෝලයෙක් වන "සීනු" නැමැත්තා ව අර්ජුනට හමුවෙයි. එහිදී බියවද්දමින් තර්ජනය කරමින් වර්මන් ගැන විමසුම් කරමින් වර්මන් අල්ලා ගැනීමට  ලුහුබැඳ යද්දී  අර්ජුන් මියගිය පුවත පොලිසිය විසින් ප්‍රකාශ කරනු ලබයි. 

තම පුතාගේ වියෝවීම සමඟ විශ්‍රාම සුවයෙන් සිටි මුතුවේල් පාන්ඩියන් තම පුතා වූ අර්ජුන් ගේ මරණයට හේතු සොයමින් ඒ හා එකතු වූ සියල්ලන්ගෙන්ම පළිගැනීමට කටයුතු කරයි. එහිදී ඔහු වර්මන් ගේ ගෝලයෙකු වූ සීනුව අල්ලා මරා දමන අතර ඔහුගේ මරණයට හේතුවක් වූ මුතුවේල් පාණ්ඩියන් ගැන වර්මන් දැනගැනී. එයින් පසුව මුතුවේල් ගේ පවුලට වර්මන් සහ ඔහුගේ සහචරයින්ගෙන් තර්ජනයක් එල්ල වෙයි. මෙයින් කෝපයට පත් වන මුතුවේල් වර්මන් හා ඔහුගේ සහචරයින් සමඟ සටනට සැරසෙයි. 

සුව නින්දක සිටි කොටියෙක් නැවත නැඟිට්ටවා ගැනීමක් මෙන් මුතුවේල් පාන්ඩියන් වර්මන් වෙනුවෙන් නැඟිටියි. මුතුවේල් පාන්ඩියන් රැකියාව සිදුකර ඇත්තේ තිහාර් බන්ධනාගාරයෙදියි. ඔහුගේ අතීත රැකියා කාල පරිච්චේදයේ මුතුවේල් සැර පරුෂ අයෙකි. ඔහුට බන්ධනාගාරයේ සිරකරුවන් අතිශය බය විය. එපමණක් නොව කොයි තරම් භයානක සිරකරුවෙක් උවද ඔහුට යටත්ව සිටින්නට තරම් මුතුවේල් බන්ධනාගාරයේම ඔහුගේ ආධිපත්‍ය පතුරුවාගෙන සිටි අයෙකි. එමෙන්ම මුතුවේල් බන්ධනාගාර සිරකරුවන් ගෙන් බොහෝදෙනෙක් යහමඟට ගැනීමට උදව් කරමින් කටයුතු කළ අයෙකි. මෑත කාලීනව මුතුවේල් හා ඔහුගේ පවුලට සිදුව ඇති තර්ජනය හමුවේ මුතුවේල් ට ශක්තියක් වන්නට ඔහු පසුපසින් සිට ගන්නේද යහමඟට ගත් ඔහු දන්නා හඳුනන සිරකරුවන්මය. 

වර්මන් ගේ කල්ලියේ කිහිපදෙනෙක් ම මුතුවේල් අතින් මිය යද්දී කෙසේ හෝ වර්මන් කොටුකර ගැනීමට මුතුවේල් හට හැකියාව ලැබෙයි. එහිදී මුතුවේල් ගේ පුතා වූ අර්ජුන් ජීවත්ව සිටින බව වර්මන් හරහා සොයා ගන්නා අතර අර්ජුන් ව මරා දමන බවට මුතුවේල් හට වරමන් තර්ජනය කරනු ලබයි. පසුව ඔවුන් සම්මුතියකට එළබෙන අතර අර්ජුන් ව නිදහස් කිරීමට නම් ආන්ද්‍ ප්‍රදේශයේ ඇති ප්‍රසිද්ධ කෝවිලක් සතු වූ මිලකළ නොහැකි තරම් වටිනාකමකින් යුතු පෞරානික ඔටුන්නක් සොරා ගෙන තමා වෙත ගෙන එන ලෙස වරමන් විසින් මුතුවේල් හට පවසනු ලබයි. තම පුත්‍රයා බේරා ගැනීමට නම් ඔටුන්න සොරා ගත යුතුම බැව් මුතුවේල් හට  වැටහෙයි. එය කෙසේ හෝ කල යුතු වෙයි.

බන්ධනාගාරයේදී වැරදි කළ සිරකරුවන් යහමඟට ගත් මුතුවේල් හට තම පුත්‍රයා ගේ ජීවිතය වෙනුවෙන් තම ආදරණිය පවුල වෙනුවෙන් මහ පරිමාණ සොරකමක් කල හැකි වෙයිද? වර්මන් හට අවසානයේ කුමක් සිදුවෙයිද?  යන්න ඔබට දැනගන්නට ලැබෙන්නේ, දමිළ සිනමාවේ සුපිරී නළු රැජිනිකාන්ත් රංගනයෙන් යෙදෙන "Jailer" සිනමාපටය හරහායි. 2023 වසරේ අගෝස්තු 10වන දින සිට ලොව පුරා ප්‍රදර්ශනයට සමගාමිව මෙරට සිනමාශාලා හිදී ද අතිමහත් ජනතාවකගේ පැමිණීමත් සමඟ "Jailer" සිනමාපටය ප්‍රදර්ශනය ආරම්භ විය. සිනමාපටය අධ්‍යක්ෂණය Nelson Dilipkumar විසින් සිදුකර තිබෙන අතර ඔහු ඉන් පෙර නිර්මාණය කරන ලද සිනමාපට ලෙසට Kolamaavu Kokila, Doctor, Beast වෙයි. මේ සිනමාපට ත්‍රිත්වයම දමිළ සිනමාවට ආකර්ෂණය වූ ප්‍රේක්ෂකයන්ගේ නොමසුළු ආදරයට පාත්‍ර වූ ඒවා වෙයි. 


"Jailer" සිනමාපටයේ ප්‍රථම දින ප්‍රදර්ශනය සමඟ ඉන්දියානු කොටි 49කට ආසාන්න ආදායමක් ලබා ඇති බවට වාර්ථා වෙයි. එය ලොව පුරා ප්‍රදර්ශනය සමඟ ලබා ගත ආධායම එක් වූ විට එහි මුදල තව තවත් ඉහළ යනු ඇත. සිනමාපටය සඳහා තෝරාපත්ව ඇති අනෙක් සිනමා තරු අතර "ජැකී ෂරෝෆ්", "මොහන් ලාල්" සමඟ "ශිව රාජ්කුමාර්" විශේෂ ආරාධිතයන් ලෙස කැමියො දර්ශන සඳහා එක්ව තිබෙයි. සිනමාපටයේ රැජිනිකාන්ත් ගේ බිරිඳ ලෙසින් ජනප්‍රිය ජේෂ්ඨ නිළි "රම්‍යා  ක්‍රිෂ්ණන්" එක්ව තිබෙයි. අර්ජුන් ලෙසින් "වසන්ත් රවී" එක්ව ඇති අතර ඉන් ප්‍රථම ඔහු "Taramani (2017)", "Rocky (2021)" සහ "Asvins (2021)" සඳහා  රංගනයෙන් දායක වී ඇත. අර්ජුන් ගේ බිරිඳගේ චරිතය සඳහා "මිර්නා මෙනන්" එක්ව තිබෙයි. එමෙන්ම ප්‍රධාන ප්‍රති විරුද්ධ චරිතය වූ වර්මන් ලෙසින් "විනායකන්" එක් වෙයි. රැජිනිකාන්ත් ඔහුගේ චරිතය සුපුරුදු විශිෂ්ට රංගනයේ යෙදෙද්දී ප්‍රභලව ඉස්මතුව පෙනෙන හොඳම රංගනය සිනමාපටයේ දැකගැන්මට ලැබෙන්නේ විනායකන්  ගේ චරිතයෙනි. සෙසු චරිතයන් සඳහා "සුනිල් වර්මා", "යෝගී බාබු", "කිෂෝර් කුමාර්" ඇතුළු තවත් රංගන ශිල්පින් ශිල්පිණියන් "Jailer" සඳහා රංගනයෙන්  දායක වෙයි . තවද ජනප්‍රිය නිළි "තමන්නා භාටියා" සිනමාපටයේ "කාවාලා" ගීතය සඳහා නර්ථනයෙන් එක්ව තිබෙයි. 


රැජිනිකාන්ත් ගේ 169 වන සිනමාපටය ලෙසින්  "Jailer" එකතු වෙයි. සිනමාපටයේ සංගීතය අධ්‍යක්ෂණය ඇනිරුධ් රවිචන්දර් විසින් සිදුකර තිබෙයි. මින් ප්‍රථම ඔහු Petta (2019), Darbar (2020),  Kolamaavu Kokila (2018), Doctor (2021), Beast (2022) වෙනුවෙන් දන්ගිතය අධ්‍යක්ෂණය කර ඇත. "Jailer" සිනමාපටය සඳහා ගීත 05කින් සමන්විතව ඇත. සිනමාපටයේ පසුබිම් සංගීතය මෙන්ම කැමරාකරණයද ඉතාමත් හොඳින් හසුරුවා තිබීම වගේම සටන් ජවනිකා ක්‍රියාදාම ගැනද හොඳ අවදානයක් අධ්‍යක්ෂකවරයා ලබා දී තිබීම සිනමාපටය නරඹන විට දැකගැනීමට හැකි හොඳ ගුණාංගයකි. 


විනාඩි 168ක් පුරා දිවෙන සිනමාපටය කිසිම කම්මැලිකමකින් තොරව නැරඹිය හැකි Entertainment සිනමාපටයක් විදියට  "Jailer" එක් වෙයි. මේ වසරේ ඉන්දියානු සිනමාවේ Box Office තරඟ වැදීමට නුදුරේදීම ශාරුක් රංගනයෙන් නියැලෙන "Jawan " සහ විජේ රංගනයෙන් දායක වන "Leo: Bloody Sweet" සිනමාපටයද  එකතු වීමට නියමිතව තිබෙයි. 

"Jailer"  සිනමාපටය ඉකුත් අගෝස්තු 10 වන දින සිට මෙරට සිනමාශාලා හි දී ප්‍රදර්ශනය ආරම්භ කල අතර දකුණු ඉන්දියානු සිනමාවට ආදරය කරන ඔබට Art Street කළා විදියේ ඇරයුම තවත් ඉන්දියානු "Box Office" සිනමාපටයක රස විඳගන්නයි.

සටහන ගිහාන් තිලකරත්න
Art  Street  කළා විදිය වෙනුවෙන්, 




Post a Comment

0 Comments