උදයකාන්ත සහ ඔහුගේ සිනමාවේ ගීත භාවිතය

උදයකාන්ත වර්ණසුරිය යනු මෙරට සිටින විවිධ තේමාවන් ස්පර්ෂ කරමින් සුවහසක් ලාංකේය ප්‍රේක්ෂකයන් වෙතට සිනමා නිර්මාණයන් තිලිණ කරන ලද දක්ෂ සහ සම්මානනීය අධ්‍යක්ෂකවරයෙක් ලෙස හැඳින්වීම සුදුසු වෙයි. මෙරට සිනමාව වෙනුවෙන් ඔහු විසින් නිර්මාණය කරන ලද සිනමාපට ප්‍රමාණය 25ක් වන අතර ඔහුගේ 26 වන නිර්මාණය වන "රිදී සීනු" මෙම වසරේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත. සිනමාව හරහා නවක තරු බිහි කරමින් සිනමා කෙතට නව පුරුක් එක් කරන්නට ඔහු සමත්කම් කියූ  අධ්‍යක්ෂකවරයෙක් සේම ඒ බිහි කළ තරු අද වන විට ක්ෂත්‍රයේ ස්ථාවරත්වයක් ලබා ගනිමින් ජනප්‍රියත්වයේ සිටින්නන් වෙති. 

සිනමාපට වලට ගීත ඕනෑමද? 

ගීතය සහ ලාංකේය සිනමාව අතර පවතින්නේ විශාල බැඳීමකි. නමුත් සිනමාවට ගීතය අවශ්‍යම නොවෙයි. නමුත් සිනමාපටයේ ජනප්‍රියත්වය සඳහා ගීත යොදා ගැනීම මෙරට සිනමාවේ මූල ආරම්භයත් සමඟ පැවති එන්නකි. නමුත් සිනමාපටයක් තුළට බලෙන් ගීත එබ්බවීම සුදුසු දෙයක් නොවෙයි. උදයකාන්ත විසින් අධ්‍යක්ෂණය කරන ලද බොහොමයක් සිනමාපට වල දී ඔහු අනෙකුත් අධ්‍යක්ෂකවරුන් සේම තම සිනමාපටය සඳහා ගීත යොදාගත්ත ද ඔහුගේ සිනමා නිර්මාණයන් නරඹන විට දී එම තෝරාගත්  ගීත තුළින් සිනමාපටයට වින්දනීය නැවුම් මෙන්ම සිනමාපටයට උචිත ලෙසින්  ඒවා යොදා ගැනීම කැපී පෙනෙන්නෙකි. බොහොමයක් මෙරට අධ්‍යක්ෂකවරුන් තවමත් ජෝතිපාල ඇන්ජලීන් ලතා වැනි ජේෂ්ඨ ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ පැරණි ගීත සිනමාපට වලට ඔබ්බවන්නට උත්සහ කරද්දී උදයකාන්තගේ සිනමාපට වල දී නැවුම් වූ ගීත සැමවිටම ප්‍රේක්ෂකයන්ට විඳින්නට සැලැස්වීය . ඒවා අතර බොහොමයක් ගීත අදටත් ජනප්‍රිය ගීත වෙයි. 

අනුර හෙරෝසිස් ගේ ජනප්‍රිය නවකතාවක් වූ  "ගිනි අවි සහ ගිනි කෙළි" රිදී තිරයට රැගෙන ඒමට සමත්කම් කිවේ උදයකාන්තය. ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද විශිෂ්ඨ සිනමාපට අතර ඉදිරියෙන්ම රැඳෙන්නට සහ තවමත් ප්‍රේක්ෂකයන් අතර කතා බහට ලක් වන දේශපාලනයේ අඳුරු පැතිකඩ පෙන්වීමට සමත්කම් කී "ගිනි අවි සහ ගිනි කෙළි" හි තේමා ගීතය වශයෙන් සංකීර්ණ අරුතක් ඇති ලුෂන් බුලත්සිංහලයන්ගේ පද රචනයෙන් බිහි වූ සහ කේමදාස ශුරීන්ගේ සංගීතයෙන් ගිනියම් වූ "නොසැලෙයි දිවි මකුළු ඇස නොසැලෙයි" මෑත කාලීනව පැමිණි  අතිශය සුවිශේෂී සිනමා තේමා ගීතයක් ලෙස හැඳින්වීම සුදුසු වෙයි. 

"නොසැලෙයි දිවි මකුළු ඇස නොසැලෙයි - නලියයි  හඳුන් දිවි නිය පහුර නලියයි

උකුසු ඇසට නොපෙනී - මහා කලු මෘගයා - ගොදුර ඉව අල්ලයි

මොන නීතියද මේ මිනිස් වනාන්තරේ


සඳ එළියේ දිව්‍ය ලෝකෙන් පාවී

කුණු කසළ වැටි වැටී

නිවි නිවී යයි ගිණිදැල් අපායේ

කුවේරයා නිස්සා ගිණි පාතාලේ


විනිසුරු අසුනේ සත් පුරුෂ ප්‍රාණි -කලු රෙද්දෙන් ඹතලා

අපරාදය හෝ ඝාතකයා හෝ

විනිවිද නොපෙනේ - නීති පොතේ ඉන්ද්‍රජාලේ


ඝාතකයා මිනී මරන්නේ තිරිසනා

විනිසුරුවා නඩු අසන්නේ මිනිසා

මුනිවරයා සමාව දෙන්නේ දෙවියෝ


නොසැලෙයි  දිවි මකුළු ඇස නොසැලෙයි…"


තේමා ගීතය හරහා මෙරට අඳුරු දේශපාලනය සහ පාතාලය ගැනද, ඔවුන්ට නිතිය ක්‍රියාවට නැංවීම සහ දඬුවම් කෙසේ වේද යන්න මෙහි සංශිප්ත වූ අර්ථයයි. සම්මානනීය ගායකයෙකු වන අමරසිරි පිරිස් සහ සමන් පෙරේරා ඇතුළු කණ්ඩායම ගයන ඉහත ගීතය සිනමාපටයේ අන්තර්ගත කතාව ගැන ගායනයෙන් ගෙනෙන්නාවූ ශක්තිමත් ගොඩනැගිමකි. ඒ ගීතය සමඟ "ගිනි අවි සහ ගිනි කෙළි" හි පද්මේ, මහවත්තේ ලෝකයා, විලී , රම්බෝ, ඔස්කා, ගුණේ වැනි චරිත ජීවත් වූ අතර හොඳම ගී පද රචනය ලෙසින් ජනාධිපති සම්මානයෙන් පිදුම් ලබමින්  "නොසැලෙයි  දිවි මකුළු ඇස නොසැලෙයි…" සම්මානිත විය.

වැඩිහිටියන්ට පමණක් වූ "රාජ්‍ය සේවය පිණිසයි" 2000 වසරේ දී උදයකාන්ත රැගෙන එන්නේ තවත් දේශපාලන රාමුවක් තුළ හිරවන ගැහැණිය අසම්මත පෙම හමුවේ මුහුණ දෙන්නා වූ  සානුකම්පිත හැඟීමක් දනවන සිනමාපටයක් ලෙසයි. මෙහි මහේෂා ලෙස ප්‍රභල රංගනයක ගීතා කුමාරසිංහයන් දායක වූ අතර ඈ එහි විවාහපත් වූ කාන්තාව සහ ගායිකාව යන භූමිකාව නිරුපනය කරයි. සිනමාපටයේ එන ගීත ගායනාවන් සඳහා නිරෝෂා විරාජිනී එක්ව තිබෙන අතර එහි "සඳ තනියම" සහ "මේ මුළු අහස මා සතුයි" යන ගී දිත්වය මියුරු සිනමාත්මක ගීතයන් ලෙසට එක් වෙයි. මෙයින් "සඳ තනියම" ඉතාමත් ජනප්‍රිය සේම සම්මානයන්ට පාත්‍ර වූ ගීතයකි. හොඳම ගී තනු නිර්මාණය උදෙසා දිලුප් ගබඩාමුදලිගේ මෙන්ම හොඳම ගායිකාව ලෙස නිරෝෂා විරාජිනී ද සම්මානිත වී තිබෙයි. 

"සඳ තනියම

රෑ තුන්යම

ඔබ හා මම

හැම භවයෙම…


ගිම්හානය මා මඟ හැර

යළි නො එනා ලෙස ගියේද

වසන්තයේ මල් පියවිලි

යන එන මඟ තොට තියේ ද…"


පළමු විවාහයේ ස්වාමි පුරෂයාගේ වියෝවෙන් අනතුරුව දෙවැනි විවාහයක් කරගන්නා "මහේෂා" එක් දරු මවකි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන "ජනක" මහේෂා ගේ මස්සිනාය. ඔහු මහේෂා හට ඇයගේ ගායනා දක්ෂතාවයන් හේතුකොට ගෙන  ගීත කැසට් පටයක් වෙනුවෙන් උදව් උපකාර කරමින් ඈ හට ලං වන්නේ මහේෂා ගැන ඔහුගේ සිතේ ඇතිවන්නා වූ ආශාවන් සංසිඳවා ගැනීමේ අරමුණෙනුයි. අසම්මත ප්‍රේමයක පැටලෙන මහේෂා මේ ගීතය ගයන්නේ නැවත ජිවිතයක් ලබා දුන්නා යයි සිතෙන ජනකට ද? නැතිනම් ඔහුගේ දෙවැනි විවාහයේ සැමියා වූ සුමනසේකර වෙනුවෙන්ද? ගීතය සිනමාපටයට අනුව දෙආකාරයකින්ම රසවිඳිය හැකි මෙන්ම අදටත් මේ ගීතය සංයමයෙන් ගීතවත් වූ අර්ථවත් වූ ගායනාවෙන් මුසුවූ අසන්නාගේ සවන්, හදවත් පුරවන්නා වූ එකකි. මෙහි පදරචනය බණ්ඩාර ඇහැලියගොඩ ගෙනි. 

උදයකාන්ත යනු වසරෙන් වසර විවිධ වූ තේමාවන් ගෙන් සිනමාපට අධ්‍යක්ෂණය සඳහා නොබියව අත තබන අධ්‍යක්ෂකවරයෙකි. ඉන්දියානු නව සිනමාව සහ ඉන්දියානු නවක නළු නිළියන් මෙරට ආක්‍රමණය කර තිබෙන අවධියේ සිනමාපට වල වර්ණ භාවිතාව ගීත මෙරට ප්‍රේක්ෂකයින් මහත් සේ ඇඳබැඳ තබා ගැනීමට සමත්කම් කීය . උදයකාන්තද 2001 වසරේ දී "රෝස වසන්තේ" නිර්මාණය කරනුයේ බොලිවුඩයේ පාට පාට වර්ණ වලින් සැදුණු ප්‍රේමය ගැන කියවෙන වාණිජමය සිනමාපටයක් ලෙසයි.  2002 වසරේ පැවැත්වූ සරසවි සම්මාන උළෙලේ ජනප්‍රියම සිනමාපටය ලෙසින් සම්මානිත වීමට "රෝස වසන්තේ"  හට හැකි වුයේ ඉමහත් ප්‍රේක්ෂක ප්‍රතිචාර සහ වැඩිම පිරිසක් නැරඹු සිනමාපටයක් වීම හේතුවෙනි. වෙනදාට සිනමා තිරයේ දුටු රන්ජන් රාමනායක වෙනස්ම මුහුණුවරකින් සිනමාපටය තුළට අධ්‍යක්ෂකවරයා රැගෙන එයි. එමෙන්ම කාංචනා මෙන්ඩිස් මෙහි ප්‍රධාන චරිතය සඳහා එක්වූ අතර  නවක නිළියක්  වූ නිසංසලා ජයතුංග මෙන්ම බුද්ධික ජයරත්නත් සිනමාවට හඳුන්වා දෙනු ලද්දේ ද "රෝස වසන්තේ"   හරහායි.  "පරසතු උයන" යන චිත්‍ර කතාව අනුසාරයෙන් "රෝස වසන්තේ" සිනමාපටය නිර්මාණය වී ඇත. එමෙන්ම සිනමාපටය  සඳහා තෝරා ගෙන තිබු ගීත ත්‍රිත්වයම ජනප්‍රියතම තලයේ තිබෙන සිනමා ගීත ලෙසින් හැඳින්විය හැක.

ගමක ජිවත් වන හංසමාලි සහ නගරයේ ජිවත් වන ඇයගේ යෙහෙළිය වූ රැජිනි හඳුන්වා දෙන්නෙම ගීතයකිනි. වෙල් ඉපනැල්ලේ තුහින වැහි බින්දු පොළොව  සිප ගනිද්දී හංසමාලි කුඩා දරුවන් පිරිසක් සමඟ තිරයට පිවිසෙන්නේ ග්‍රාමීය සුන්දරත්වය සමඟයි.

“ළා හිරු සෙවනේ මලකින් මල් පෙති විසිරේදෝ

සීතල සෙවණේ පිණි අතු පතරේ ඉසිරේදෝ

රෑ අහසේ තරු කැට නිවි නිවි දිලිසේදෝ"  එලෙස හංසමාලී ගයද්දී....

දඟකාර බටහිර පන්නෙට සැරසුණු රැජිනි ප්‍රේක්ෂකයන් වෙතට පැමිණෙන්නේ 

"හිරු සඳු නොනිදා දෙපසේ පායා ආවාදෝ

සමනළ සිහිනේ මල් මංගල්ලය ලං වේදෝ

වත මඩලේ සිනහා ඡායා මැවුණාදෝ"

 කියායි. මේ ගීතයන් වෙනුවෙන් සමිතා මුදුන්කොටුව සමඟ නිරෝෂා විරාජිණි ගායනාවෙන් සම්බන්ධ විය. ඔවුන්ගේ මියුරු හඬට සංගීත මුසු කලේ  රෝහණ විරන්සිංහයන්ය. පද බැඳුම බණ්ඩාර ඇහැළියගොඩ ගෙනි. පුළුල් තිරය මත සිනමාපටයේ රූප රාමු මෙන්ම ගීතයද ආකර්ශනියව උදයකාන්ත රැගෙන ආවාය. 


හංසමාලි ගමෙන් නගරයටවිත් රැකියාවට යාමට නවාතැන් ගන්නේ රැජිනි ගේ නිවසේය. රැජිනි රගර් ක්‍රීඩකයෙකු වූ  අකිල ගැන උනන්දු වෙන්නේ ඈ ඔහුට තදින් ප්‍රේමය කරන නිසාය. හංසමාලිහට අවශ්‍ය තම ගමේ ජිවත් වන පවුල රැකගැනීම උදෙසා රැකියාව කරගෙන පාඩුවේ සිටීමටය. යොවුන් ආදරය චමත්කාරයන් ගෙන් පිරුණු ෆැන්ටසියකි. රැජිනි සහ අකිල ප්‍රේමයෙන් එකතු කිරීමටත් උදයකාන්ත තවත් ගීයක් සිනමාපටයට රැගෙන එයි. ග්‍රේෂන් ආනන්දයන් සමඟ නිරෝෂා විරාජිනීගේ හඬින් ගැයෙන්නා වූ එය "නිල් නුවන් සඳැල්ලේ" නම් වෙයි. රෝහණ වීරසිංහයන් සංගීතවත් කල එය බණ්ඩාර ඇහැළියගොඩ ගේ පද බැඳුමකි.

"නිල් නුවන් සැදැල්ලේ-

මල් උයන් තුරුල්ලේ

සෙනෙහස බලා- ලොව සරසලා

සිහිනයක මල් පිපිලා..


සැලෙන දෙතොලඟ

නොසැලෙන දැහැනේ

මල් වරයි මල් බර සිහිනේ

දිලෙන නෙතු අඟ නොදිලෙන සහනේ

දඟ කරයි මල්සර යහනේ..."

ශාන් පෙරේරා විසින් ලාංකේය සිනමාවේ සිනමා නර්තන අංගයන් වලට වෙනසක් කරමින් ඉන්දියාවට පමණක් නොව අපටද මේවා කිරීමට හැකිය යන්න ඔප්පු කිරීමට "නිල් නුවන් සඳැල්ලේ" හරහා පුළුවන් විය. වෙනදාට ගස් වටේ කරකැවෙමින් සිටි පෙම්වතුන් යුවළක්  වෙනුවට නව පන්නයේ ඇඳුම් ආයිත්තම් සමඟ අකිල සහ  රැජිනි නව යොවුන්වියේ දඟකාර විසේකාර පෙම්වතුන් ලෙසින් ශාන් පෙරේරා සිනමාපටයට උචිතම අයුරෙන් නර්තන වින්‍යාසයන් ගොඩනංවා තිබිණ. 

රැජිනි කොතරම් අකිල වෙනුවෙන් ආදරය කළද ඔහුගේ සිත නැවතුනේ තැම්පත් පෙනුමෙන් සිටි අහිංසකාවියක් වැනි හංසමාලි ළඟය. පවුල් වල කැමැත්ත ඇතිව ඔවුන් විවාහපත් දිවියට ඇතුළු කරවන්නටද උදයකාන්ත තවත් රසබර අර්ථවාන්විත ගීයක් එක් කරන්නට අමතක නොකළාය.

"තිසර විලේ පියුම නෙළු සිනාවේ

එළිය මගේ අරණ දොවා ගලා ඒ

ඒ සිනාවේ සැඟවුනාවේ

පෙර ඔබත් මමත් හෙළු කදුළු දුමාරේ"

ග්‍රේෂන් ආනන්දයන් ගේ සහ සමිතා මුදුන්කොටුවගේ හඬින් ගැයෙන්නා වූ මෙහි සංගීත අධ්‍යක්ෂණය රෝහණ වීරසිංහගෙනි. පද රචනය බණ්ඩාර ඇහැළියගොඩ විසින් සිදුකර තිබෙයි. "රෝස වසන්තේ" සිනමාපටයේ තිබු එකඳු ගීයක් වත් බලෙන් ඔබ්බවා හෝ සිනමාපටයට අල්ප මාත්‍රාවකින් හෝ අවැඩක් සිදු නොවුනි. අදටත් නව සිනමාපට අතර  වානිජමය අතින් සාර්ථක වූ සිනමාපටයක් සේම මෙහි ඇතුලත් වූ  ගීත එක සේ ජනප්‍රිය ඒවා වෙයි. "රෝස වසන්තේ" මෙරට පෙම්වතුන් වෙනුවෙන් ගෙන ආ නොම්බර එකේ වැඩකි. 


උදයකාන්ත ඉන් පසුව යොමුවන්නේ කොමඩි නැතහොත් හාස්‍ය මුසු සිනමාපටයක් වෙනුවෙන්ය. ඒ මිනිසුන් අතරට පැමිණෙන යක්කුන් සහ දෙවියන් ද එකතු කරගෙනය. "බහුභුතයෝ" යනු උදයකාන්තගේ සිනමාවේ එතෙක් කල් සිටි අධ්‍යක්ෂකවරයා ගේ තවත් බොක්ස් ඔෆිස් නිර්මාණයකි. සිනමාපටය දින 100 ඉක්මවා ප්‍රදර්ශනය වීම සුවිශේෂී වෙයි. ටිකිරි නම් යක්ෂණිය නගරයට පැමිණෙන්නේ බන්ටි සහ ලැන්ටි විසින් සිදුකරන විහිළුවක් නිසාවෙනි. නගරයට පැමිණෙන ටිකිරි සහ ඇයගෙන් බේරීමට ඔවුන් සැළසුම් කිරීම ආශ්‍රය කරගෙන සිනමාපටය ගොඩනැඟෙන අතර සිනමාපටයේ ජනප්‍රියත්වය නිසාම ගින්දරි 2, ගින්දරි 3 ලෙසින් උදයකාන්ත සිනමාපට නිර්මාණය කිරීමට උත්සුක වුවද ඔහුගේ හාස්‍ය සිනමාපට අතර හොඳම මාස්ටර්පිස් එක "බහුබුතයෝ" වෙයි. සිනමාපටයේ පබෝධා සංදීපනී, මහේන්ද්‍ර පෙරේරා සහ රෝඩ්නි වර්ණකුල ප්‍රධාන චරිතයන් තුළින් ප්‍රේක්ෂකයන් වෙතට පැමිණියේය.

නගරයට එන ටිකිරි රුවින් බෙහෙවින් සිත් ඇදගන්නා සුළු එක වරක් බැලු විට දෙපාරක් බලන්නට සිතෙන තරම් යෞවුන්වියේ සිටින හැඩකාර තරුණියකි. නමුත් ඈ ඇතුළතින් යකින්නියකි. හාස්‍ය මුසු සිනමාපටයක ටිකිරි ගේ ආගමනය උදයකාන්ත පෙන්වන්නට තෝරාගත්තේ මෙරට සිටින අග්‍රගන්‍ය ගායිකාවක වන සම්මානනීය විශාරද නන්දා මාලනියන්ගේ හඬයි. හාස්‍ය සිනමාපටයකට මෙවැනි ගීතයක් ඇතුළත් වේවි යන්න සිතා ගත නොහැක්කකි. නන්දා මාලනියන්ගේ හඬින් මුසුවූ "කොන්ක්‍රීට් වනන්තරේ" ටිකිරි නගරයම වසඟයට පත් කරගන්නා ආකාරය කියා පායි.  

"කොන්ක්‍රීට් වනන්තරේ මිරිඟු සර්පයා 

තහනම් ගෙඩියකට රැවටිලා... 

කාන්දමට ඉබේ ඇදෙන බඹර වර්ගයා 

මලක් නොදුටු උන් වාගේ දැලේ පැටලුණා..."

නිර්මාණශීලි පද බැඳුමක් සහිත මෙය "කැලුම් ශ්‍රීමාල්" ගේ පද රචනාවකි. සංගීතය "ආනන්ද පෙරේරා" විසින් සිදුකර තිබෙයි. තවද "බහුබෝතයෝ" සිනමාපටයට "සුනිල් පෙරේරා" ඇතුළු කණ්ඩායම ගයනා කරන "ඔක්කොම බහුබුතයෝ" සහ "ශානිකා වනිගසේකර" ගයනා කරන "ඇස්වහ කටවහා" යන ගීත ද ඇතුලත් වූ අතර සිනමාපටයේ ජනප්‍රියත්වයට පත් වූ ගීතය "නන්දා මාලනි"යන් විසින් ගයනු ලැබු "කොන්ක්‍රීට් වනන්තරේ" ගීතයයි.

"ලේ කිරි කඳුළු" යන්න උදයකාන්තගේ සිනමා අධ්‍යක්ෂණයේ වෙනස්ම වූ සත්‍ය කතා පුවතක් සමාජයට ගෙන ඒමට සමත් කම් කී සිනමාපටයකි. තම නුපන් දරුවා කුස තුළ පරව යද්දී එම අපරාධය වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට සටන් වදින ගැහැණිය ගේ වේදනාව "ලේ කිරි කඳුළු"  තුළින් ගෙන ආවාය. උපේන්ද්‍ර සහ විණා නව විවාහපත් යුවලකි. ඔවුන්ගේ ප්‍රේමය සිනමාපටය හරහා ගෙන එන්නට උදයකාන්ත තවත් සුමියුරු ගීයක් යොදාගෙන තිබෙයි. 

හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින් 

හිත පුරා මල් හලන වසන්තය ඇවිදින්

රන් ඔන්චිල්ලවක පාවේ...

රන් ඔන්චිල්ලවක පාවේ...

චමත්කාර යෞවනයේ

හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින් 

හිත පුරා මල් හලන වසන්තය ඇවිදින්


පිපිරෙන ගිනි කඳු වළකනු බෑ 

ලොව දම් රිද්මය අරුමැයි 

කාලයමයි නිසි විසඳුම් දෙන්නේ 

පෙර සසරේ පතුසේ පිං පිරූ හැදින් 

සුසුම දැනේ රන් ලේ කිරි කඳුලේ...." 


"සුනිල් විමලවීරය"න් ගේ පද රචනයක් වන මෙහි සංගීතය "සංගීත් වික්‍රමසිංහ" ගෙනි. ගීත ගයනාව සඳහා අමරසිරි පිරිස් එක්ව තිබෙන අතර මෙම ගීතයද ජනප්‍රිය සිනමා ගී අතරට ඇතුළත් වේ. මෑත කාලයේ "හිත පුරා" ගීතය සනුක වික්‍රමසිංහ ගේ හඩින් ද අසන්නට ලැබුන අතර එම ගීතයට වෙනම ආලෝකයක් ඔහු ලබා දෙයි.

උදයකාන්ත නැවත වරක් හිරිමල් යෞවනය ඉල්ලක්ක කරගනිමින් "හිරිපොද වැස්ස" නිර්මාණය කරනු ලබයි. එවර තරුණ නවකයන් පිරිවරක්ම උදයකාන්ත විසින් සිනමාවට හඳුන්වාදෙයි. රොෂාන් රණවන, පුබුදු චතුරංග, ජයන්ත අතපත්තු, අකිල සඳකැලුම්, ජනිත් වික්‍රමගේ, අනර්කලී ආකර්ෂා, චතුරිකා පීරිස් වැනි තරුණ රංගන ශිල්පින් ශිල්පිනියන් "හිරිපොද වැස්ස" වර්ණවත් කාලය. එමෙන්ම මෙහි උදයකාන්ත තෝරාගෙන තිබු ගීත විටෙක යෞවනයේ දඟකාර සැහැල්ලු බව විදහාපාන අතර විටෙක යෞවන ආදරයේ චමත්කාරය රිදී තිරයට ගෙන එන්නට සමත්කම් කිවේය. "සීමාමායිම් ණෑ අපි දන්නේ..", "ආනන්දේ වැහි වළාව" , "හිරිපොද වැස්ස වගේයා.." වැනි ගීත එකල ඉමහත් ජනපිරියත්වයක් ගත් අතර අදටත් හිරිපොද වැස්ස සිනමාපටයේ ඇතුලත් වූ "මීදුමෙන් වැසි"  ගී අසන්නන් අතර ජනප්‍රියයි. 

"මීදුමෙන් වැසි කඳු යාය සලිත වී..

ඔය වාගේ සීතලෙන් නලියාවී කිති කැවී...

නිල නිම්නයේ රතු රෝස මල් පිපී 

අපි වගේ ආදරෙන් නැලවේවි ලං වේවි.."


ලා හිරුගේ සෙවණේ විඩා නිවා..

ඒ සුවයේ නැළවෙන්න නෙත් පියා.."


"හිරිපොද වැස්ස" සඳහා සංගීතය වෙනුවෙන් උදයකාන්ත තෝරාගනු ලබන්නේ එම කාල වකවානුවේ ජනප්‍රිය යුගලයක් වන භාතිය සහ සන්තුෂ්‍ ය. සිනමාපටයේ පසුබිම් සංගීතය මෙන්ම එහි ඇතුළත්ව තිබු ගීත සියල්ලෙහිම තනු නිර්මාණය සිදුවුයේ ඔවුන් අතිනි. ජනප්‍රියත්වයට පාත්‍ර වූ "මීදුමෙන් වැසි"  සන්තුෂ් වීරමන් සමඟ නිරෝෂා විරාජිණි ගායනාවෙන් අලංකෘත විය. එමෙන්ම ගීතය සඳහා රංගනයෙන් අනර්කලී සමඟ රොෂාන් එක් වූ අතර එහි ඇතුළත් වූ රූප රාමු ඉතාමත් චමත්කාරජනක සහ ආදරණීය හැඟීමක් උද්දීපනය කරන්නට සමත් වෙයි. 

පුජා උමාශංකර් "අංජලිකා" සමඟ මෙරට රිදී තිරයට පායද්දි  උදයකාන්ත ඈ එක් කොට ගෙන "ආසයි මං පියාඹන්න" අධ්‍යක්ෂණය කලේ ඉන්දියානු සිනමාපටයක් වූ "තාල්" සිනමාපටයේ කතාව අනුකරණය කරගනිමිනුයි. සුරූපී අශ්වර්යා රායි "තාල්" සිනමාපටයේ දී "තාලසේ තාල මිලා" කියමින් වැස්සේ රැඟුමන් පාද්දී... උදයකාන්ත "ආසයි මං පියාඹන්න" තුළින් පුජා උමාශංකර්, උපේක්ෂා සුවර්ණමාලනි සමඟ උමාලී තිලකරත්න තුන් කට්ටුව යොදා ගනිමින් අනගි නර්ථනයක් බොලිවුඩයට තරඟ කරන්නට දමා තිබුණි.

"සමනල් හැඟුමන් අතරේ...

නොයිඳුල් පැතුමන් ඉහිරේ.. 

නළමුදු සුවඳේ - රොන් සුනු පැතිරේ 

ලොවට හොරා.. මහද පුරා 

නව හැඟුමන් පිබිදේ ..."

ස්වභාව සෞන්දර්යෙන් පිරුණු කඳු පන්තියෙන් වට වුනු සුන්දර ග්‍රාමයක ජිවත් වන රන්මලී රිදී තිරයට පැමිණෙන්නේ මෙලෙසිනි. දඟකාර සහ තරුණ වියේ ඇතිවන හැඟුම් මේ ගීතය තුළින් ඉස්මතු වෙද්දී ගීතයට උචිත ජවසම්පන්න ගායනාවක් ලබා දෙන්නේ උරේෂා රවිහාරී විසිනි. ගීතයට හානියක් නොකරමින් මුහුණෙන් ඉංගීත සහ නර්තන විලාශය තුලින්  "පුජා උමාශංකර්" විශාල දායකත්වයක් ලබා දීය. මෙම ගීතයේ පද රචනය සුනිල් විමලවීරයන්ගෙන් වන අතර සංගීතය රෝහණ වීරසිංහයන් ගෙනි. 


නුවර පිහිටි හෝටලයක නර්තනයේ යෙදෙන රන්මලී හට කොළඹ නගරයෙන් පැමිණෙන ප්‍රවීන් නම් තරුණයා හමුවීමත් සමඟ ආදර කතාවකට මුලපුරණු ලබයි. ඒ ආදරේ සුන්දරත්වය, මිහිරියාව රැගෙන ඒමට මියුරු හඬින් ගීතවත් කිරීමට භාතිය ජයකොඩි එක්වූ අතර හා හා පුරා කියමින් රිදී තිරයේ පසුබිම් ගායිකාවක ලෙසින් උමාරියා සිංහවංශ "පැතු පෙම් පැතුම්" ගීතය ගායනා කළේය. එහි පදරචනය නිලාර් එන් කාසිම් විසින් සිදුකර තිබෙයි.

"වළාකුල් වියන් තනාලා ඉරේ රැස් නිවා දමා....

වසන්තේ අරං ඇවිල්ලා සිසිල් සිසිල් සේලයෙන් වෙලා //

අනේ මං බලාන උන්නා යළිත් ඔබ එතැයි සිතා

සිනා රන් කැලුම් සලලා මගේ සඳ උදා වෙලා //


පැතු පෙම් පැතුම් මල් ඉහිරීලා 

ගැලු පෙම් ගඟුල් දැන් ඉතිරිලා

අනන්තේ සිසාරා රහසේමා

පියාඹන්න ආසයි ඔබ හා මා...//"

උදකාන්තගේ සිනමාවට අපුරු ගීත පෙළක් රැගෙන එයි. ඒ හරහා සිනමාපටයේ ජනප්‍රියත්වය සහ ගුණය තව තවත් ඉහළ රඳවා තැබීමට ඔහු සමත් වෙයි. එය මනාව "ආසයි මං පියාඹන්න" හරහා ඔහු ගෙන හැර දක්වයි. එකිනෙකට වෙනස්ම වූ ගීත කිහිපයක්ම එහි ඇතුලත් වුයේ ද ඒ නිසාවෙනි. 

භාතිය සන්තුෂ් සේම එම කාලයේ සෙන්ට්‍රිග්රේට් සංගීත කණ්ඩායමත් ලාංකේය තරුණ පරපුර අතර ඉමහත් ජනප්‍රියත්වයක් ඉසිලු පිරිසකි. ඉහළ පැලැන්තියේ ප්‍රවීන් ගේ පවුල් පසුබිමත් තමා ගේ පවුල් පසුබිමත් අතර නොගැළපීම් හමුවේ රන්මලී සහ ප්‍රවීන්ගේ ආදරයට කණකොකා හඬලයි. නමුත් ප්‍රවීන් ගේ සිතේ රන්මලී පිළිබඳව නොසිදෙන්නා වූ මතක ගොන්නක් සමඟ ආදරය සිත් පුරවාගෙන ජිවත් වෙයි. මෙලෙස ආදරයේ වේදනාව සාංකාව විඳින ප්‍රවීන් ගේ දුක ප්‍රේක්ෂකයා වෙතට ගෙන එන්නට "පැහැසර ඔබේ ආදරේ" ලෙසින් ගීයක් උදයකාන්ත සිනමාපටයට ඇතුළත් කරන ලදී. එම ගීතය සමඟ බද්ධ වූ රූප රාමු පෙළ ආදරයේ විරහව ප්‍රේක්ෂකයන්ට දැනෙන්නට ඔහු සැලැස්විය.

"මන්දාරම් වැහිපොද හිරිකඩ මගෙ සියොලඟ රන්දාලා

උන් අප ආගිය මග වගතොට මතක අගුලු හැරදාලා

වාවන්නට බැරිතැන දුක්කඳ දෙනෙත් පියන් කවුළු කඩා

දෝරෙගලා ගියඋනු කඳුලැලි වියලි දෙතෙල් මත වැටුනා


පැහැසර ඔබේ ආ... දරේ... මන්දාරම් අඳුරේ වෙලී

සැඟවී ගිය ඔබෙ සෙනහේ... හද රිද්දනවා රහසේ"

සජිත් දිල්පහන් ගේ පද රචනයෙන්, ප්‍රවීන් ගේ හදවතේ ඇති වේදනාව අකුරු වෙද්දී සෙන්ට්‍රිග්රේට් කණ්ඩායම ඒ වේදනාව ගායනාවක් ලෙසින් ගැයුවෝය. ගීතයේ සංගීතය තුසිත නිරෝෂණ විසින් සිදුකර තිබෙයි. අදටත් සෙන්ට්‍රිග්රේට් කණ්ඩායමේ ගීත අතර ඔවුන්ගේ හොඳම ආදර ගීත 10 අතර පැහැසර ඔබේ ආදරේ ඇතුවාට සැකයක් නැත. 


තමාගේ ජිවිතයේ ඉල්ලක්ක කරා යාමට අදිටනින් කොළඹ බලා එන රන්මලී හට සපුමල් උදව් කරයි. ඔහු වෘත්තීය නර්තන ආචාර්යවරයෙක් වන අතර රන්මලී ගේ දක්ෂතාවයන් හේතුවෙන් ඔහුගේ නර්තන කණ්ඩායමට ඇතුලත් කරගනියි. ආදරයට අමතරව නර්තනය ගැන කතා කරන්නා වූ  "ආසයි මං පියාඹන්න" සිනමාපටයට  "කස්තුරි සුවඳ" ගීතය ඇතුලත් වන්නේ නැවුම් සහ ජවසම්පන්න නර්තනයක් සහ ගායනාවක් සමඟයි. උමාරියා සිංහවංශ මෙන්ම උමාරා සිංහවංශ හට රිදීතිරයේ ගී ගැයීමට වරම් ලැබෙන්නේ "ආසයි මං පියාඹන්න"  හරහායි. උමාරියා සහ උමාරා  ද ජනතාව අතර තව තවත් ප්‍රසිද්ධ වීමට "ආසයි මං පියාඹන්න" සිනමාපටය රුකලක් වූ බවට සැකයක් නැත.

"කස්තුරි සුවඳකි සත්තකින්ම ඔබ 

සුළඟ ලෙසින් ගෙන හැළලු..

ඉස්සර සුසුමක සුවඳ මතක් කර 

මා හද මැදටම හෙලපු 

සපුමල් සරසන රම්‍ය වසන්තය 

නිම නොවනා ලෙස තනපු 

ලස්සන සිහිනෙක සත්තකින්ම ඔබ 

කවුරුද ඔබ මා නොදුටු..."

බටහිර පන්නයට සැරසුණු රන්මලී , නර්තනයම ජිවිතයේ කොටසක් ලෙසින් ගෙන දක්ෂ නර්තන ශිල්පිනියක් සේ නර්තනයේ යෙදෙද්දී ඈ පසු පස ප්‍රවීන් පැමිණ බලා සිටින්නේ ප්‍රත්ක්ෂේප වූ පෙම්වතා ලෙසිනි. ඒ අතර සපුමල් විසින් රන්මලී හට යෝජනා කරනුයේ තමන් හා විවාහපත් වන ලෙසයි. මැදිවියේ සිටි සපුමල් බණ්ඩාරව විවාහ වීමට රන්මලී කැමැත්ත දෙයි.  විවහය ගැන සැළ වූ පසු ප්‍රවීන් බෙහෙවින් ශෝකයට පත්වන අතර රන්මලිගේ සහ සපුමල් ගේ විවාහයට ඔහු සහභාගී වෙයි. 

"හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ

නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ

ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්

රිදුම් දෙයි ආදරේ


නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා

නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා"

තමාගේ දුක මංගල්‍යට පැමිණ සිටින්නන් අතර ප්‍රවීන් බෙදා ගන්නේ මෙලෙස ගී ගයාය. මේ ගීතය වෙනුවෙන් හඬ මුසු කරන්නේ වෙනස්ම වූ ගැඹුරු හඬක් හිමි සිරස සුපර්ස්ටාර් තුළින් ජනතාව අතරට පැමිණි "අමිල පෙරේරා" යි. ඔහුගේ හඬ සමඟ එම ගීතයට අවශ්‍ය වූ ශෝකය මනාව මුසුවී තිබුනේය.

මෙකල ඉතාමත් ජනප්‍රිය සහ දක්ෂ  නිළියක් ලෙසින් තරු ගොන්නේ පායා සිටින උදාරී වර්ණකුලසූරිය සිනමාවට කැන්දාගෙන ඒමේ ගෞරවය හිමිවන්නේ  උදයකාන්තටය. ඒ 2009 වසරේ ප්‍රදර්ශනය කල "පායා එන්න හිරු සේ" සිනමාපටය හරහායි. එහි ඇයට ප්‍රධාන චරිතය හා එක්වීමට හැකියාව ලැබුන අතර රන්ජන් රාමනායක මෙහි අනෙක් ප්‍රධාන චරිතය වෙනුවෙන් රංගනයෙන් දායකත්වය ලබා දීය. කුඩා අවදියේම මවගේ වියෝවෙන් දුකෙන් සහ සාංකාවෙන් පෙළෙන දියණියකට මවක් ලෙසින් සෙනෙහස දක්වන දයාබර ගුරුවරියක් වටා ගෙතෙන මෙම සිනමාපටයට උදයකාන්ත ගීත තුනක් ඇතුළත් කරගෙන තිබුනත් ඉන් ගීත දෙකක් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වයට පත් විය. උදයකාන්ත නැවත වරක් සිනමාපටයේ පසුබිම් ගායනාවට අමිල පෙරේරා තෝරාගෙන තිබෙන අතර නව ගායිකාවක වු ඉරෝෂා ඔටම් ද සමඟ ඔහු "හැඟුම්බරි" නම් වූ ගීතය වෙනස් මාදිලියේ තනුවක් සමඟ ගයුවෝය. එම නිසාම තරුණයන් අතර  "හැඟුම්බරි" ගීතය එකළ ජනප්‍රිය විය.

"සීතල වතුරෙන් සේල ඇඳන්..

සිතුවිලි රැලි පාළමේ ඉඳන් ..

හීගතු සුළගෙන් තාල අහන්..

හැඟුම්බරි මනමාල රැඟුම්..

සවුදිය පුරනා ඔමරි බැලුම්..

හෝ ගගා හෝ ගගා දොරේ ගිහින්..

ඈ .. ඈ .. ඇස් අස්සෙන් ලැසි ගමන් ගිහින්..


හැඟුම්බරි කෝල රැඟුම්..

හැඟුම්බරි මනමාල රැඟුම්.." 

එම ගීතය කණ්ඩායම් නර්තනයක් සහිතව ඉදිරිපත් කරන අතර මෙහි සංගීත අධ්‍යක්ෂණය මහේෂ් දෙනිපිටියගෙනි. පද රචනාවෙන් කැලුම් ශ්‍රීමාල් විසින් සිදුකර තිබෙයි. උදයකාන්ත නැවත වරක් ප්‍රේමනීය ගීතයකට සිනමාපටයේ ඉඩහසර සකසනු ලබයි. ඒ රෝහණ වීරසිංහයන් ගේ සංගීතය සමඟයි. පද්මකුමාර මෙත්තෙසෙන විසින් පද රචනාව රැගත් මෙය අමිල පෙරේරා සමඟ සිරස සුපර් ස්ටාර් තරඟය තුළින් පැමිණි අමිලා නදීශානි "පායා එන්න හිරුසේ" ගීතය ගැයීමට එක්වූවාය. 


"පායා එන්න හිරුසේ..

එළිය දී මගේ හදේ..

අතුරා කිරණ ඔබගේ ..

පා නගනු ලොව ඉමේ.. //


මේ භවේ - මඟ අසා 

ආවාදෝ මා සොයා..


අමතන වදන් ඔබේ 

අමරස වගේ දැනේ...

පවතින තුරා හිතේ

හසරැලි මගේම වේ..."

මෙලස ගීතයෙන්ම රන්ජන් රාමනායක හා උදාරි වර්ණකුලසුරිය විවාහ දිවියට එක් කරන්නට උදයකාන්තට පුළුවන් විය. අදට උවද එම ගීතය අසන විටදී සිතට දැනෙනුයේ සෞම්‍ය හැඟීමකි. නදීෂානි සහ අමිල එම ගීතයට හොඳ සාධාරණත්වයක් ඉටුකර ඇති සේම සිනමාපටය තරමක් හෝ ජනප්‍රියත්වයට පත් වීමට මෙම ගීතයද ඉවහල් විය. 

හිරිපොද වැස්ස සිනමාපටයෙන් අනතුරුව නැවත වරක් තාරුණ්‍ය ආමන්ත්‍රණය කරමින් සිනමාපටයක් නිර්මාණය කරන්නේ " චැලෙන්ජර්ස් "  නමිනි. එකම තරුණියකට ප්‍රේම කරන තරුණයින් දෙදෙනෙක් වටා ගෙතුණු මේ සිනමාපටයේ පුබුදු චතුරංග, රොෂාන් රණවන, ශේෂාද්‍රි ප්‍රියසාද් ප්‍රධාන චරිතයන්ගෙන් එක වූ අතර ශේෂාද්‍රි ප්‍රියසාද් ප්‍රධාන චරිතයකින් සිනමාවට පැමිණියේ " චැලෙන්ජර්ස් "  හරහායි. මෙය තෙලිඟු සිනමාපටයක් වූ Bommarillu සිනමාපටයේ කතාව ආශ්‍රය කරගනිමින් නිර්මාණය වුවකි. 

උදයකාන්ත සිනමාපටය සඳහා ගීත 7ක් ඇතුලත් කළ අතර ඔහුගේ සිනමාපටයක වැඩිම ගීත ප්‍රමාණයක් ඇති සිනමාපටයද " චැලෙන්ජර්ස් " වෙයි. එයින් බාචි සුසාන් ගයන "ලස්සන දවසක" සහ "අපි වෙමු රෝමියෝ" , චිලිත වීරක්කොඩි ගයන " අතැඟිලි අල්ලා ", නලීන් පෙරේරා ගයන "නපුරු කමට" , අභිෂේකා විමලවීර, සුරේන්ද්‍ර පෙරේරා, නදී කහටපිටිය, ඩිලෝන් ලැම්බ්  සමඟ ගයන "ප්‍රාර්ථනා බිඳී" ගීත වලට අමතරව කුෂානි සඳරේඛා සමඟ තිලිණ රාහුගේ ගයන "මදහස පාලම" එහි ඇතුලත් වූ ගීයකි.


 "මදහස් පාලම නැගලා එන්නට නොකියා මට කීවා

හිතුවක්කාරෙට සිත නම් ඈතට කොහෙදෝ පිය මැන්නා

දෙනුවන් චාමර සැලෙනා තාලෙට රහසක් එහි රන්දා

මෙතුවක් ඈතට මා ගෙන ආවට දැනුණේ නෑ සීමා


සඳ ගත් රැයකදි තාරුකා සරදම් ඉවසා

හිරිකඩ සීතල ගෑවිලා ආදරේ දැනුණා


දැනුණා

ජීවිතේ පිරුණා


නවතින්න නො අසා ළමැදේ ඉඩ දුන්නේ කවුරුන් දෝ

සිත දුන්නෙ නෑ ඉන්නත් පිටුපා

මට මේ තරම් බර සුසුමක්

බොරුවක් කියන්නට ඇති දෝ

නිස්කාරණේ

සිමා බඳීවී අලුතෙන් ..."

ප්‍රේමනීය යෞවන හැඟීම් ඉස්මතු කරන්නට මේ ගීතයට හැකි වූ බව අදටත් මෙහි රූපරාමු දකින විට හැඟෙයි. මෙය තිලිණ රාහුගේ විසින් සංගීතය මුසුකර ඇති මෙම ගීතයේ පද රචනාව විමලක මුහන්දිරම් විසින් සිදුකර තිබෙයි. ඉන් අමතරව " චැලෙන්ජර්ස් " සඳහා තෝරාගත් ගීතය " එක ෆැන්ටසි හීනෙක මං " ඉතාමත් ජනප්‍රිය විය. මෙහි තනුව ඉන්දියානු තැනුවකි. නමුත් මෙරට තෙලිඟු ගීතය මෙන්ම සිංහල ගීතයද ජනප්‍රිය විය.

" එක ෆැන්ටසි හීනෙක මං සැරිසැරුවා පාවෙමින් 

මං ලංවී උන්නම ඇයි සිත ගස්සුනේ මේ තරම් 


SMS රන් අකුරින් කවි ලිව්වත් රෑ ගණන් 

digital පෙම් ගී දහසක් මං ඇහුවත් මේ තරම්

ඒ කොයි කවදාවත් ආදරයක් නම් නෑ හිතේ දැල්වුනේ 


එක ෆැන්ටසි හීනෙක මං සැරිසැරුවා පාවෙමින් 

මං ලංවී උන්නම ඇයි සිත ගස්සුනේ මේ තරම් "

උරේෂා රවිහාරි සමඟ ගායක ලෙස්ලි තෝමස් විසින් මෙම ගීතය රසවත්ව ගායනා කර ඇති අතර ගීතය තුලින් දඟකාර බව මෙන්ම තරුණ පරපුර සීග්‍රයෙන් නව දේවල් පසුපස යමින් සිටින බව කියවෙයි. නිලාර් එන් කාසිම් මෙහි පදරචකයා වෙයි. 

හාස්‍ය සිනමාවට නැවත උදයකාන්ත පැමිණෙන්නේ "කොස්තාපල් පුඤ්ඤසෝම" සමඟයි. මහේන්ද්‍ර පෙරේරා "පුඤ්ඤසෝම" නම් වූ කොස්තාපල්වරයාගේ චරිතයට පණ පොවයි. ඊට අමතරව මෙහි ශ්‍රියන්ත මෙන්ඩිස්, දුලීකා මාරපන, ගාමිණි හෙට්ටිආරච්චි, රොනී ලීච්, මැණික් විජේවර්ධන, විරාජ් ජයසිරි එක් වෙයි. බහුබුතයෝ හී මෙන්ම උදයකාන්ත හාස්‍ය පිරුණු "කොස්තාපල් පුඤ්ඤසෝම" තුළට ගීත දෙකක් ඇතුලත් කරයි. ඉන් එකක් හාස්‍ය ජනිත කරනවන සුළු රංගනයෙන් ඉදිරිපත් වූ "ඉඳලා හිටලා දුන්නත්" ගීතය ගායනය නලීන් පෙරේරා සමඟ ලන්ත්‍රා පෙරේරා ගෙනි. නමුත් මෙහි ජනප්‍රියත්වයට පත්වූ ගීතය වුයේ "ඔබ එන්න ආයේ ..." ගීතයයි. නමුත් මෙම ගීතයේ හාස්‍ය රසයක් නොතිබුන අතර ප්‍රේමනීය හැඟීම් ඉස්මතුවන මෙවැනි සිනමාපටයක් තුළට දක්නට නොලැබෙන අයුරෙන් ගීතය ඇතුල් කර තිබෙයි. 


"සීත හිමිදිරියේ

පාට විසිරෙයි අහසේ

ලෝකෙටම රහසේ

ඉගිලෙන්න පෙම් හීන යායේ

ඔබ එන්න ආයේ

ඔබ එන්න ආයේ

ඔබ එන්න ආයේ

ඔබ එන්න ආයේ....


මල් පෙති ඇහැරෙන යාමේ

කාටද ලා හිරු ඉඟි කෙරුවේ

සීතල පිනි පොද අතරේ

මගේ හිත දැන් උණුහුම් වේ

උතුරා ගලනවා හැඟුම් දෑලේ

වළා සේලෙක පැතුම් පැටලේ

සිහිල් පින්න මැදින් එන්න ආයේ...."

සීතල කඳුකරයේ තනිව පෙමින් වෙලෙන ප්‍රේමවන්තයින් වන ප්‍රශාන් සහ ශානිකා වෙනුවෙන් "ඔබ එන්න ආයේ" යොදා තිබුණි. සිනමාපටයේ මෙම ගීතය භාතිය ජයකොඩි සමඟ මීනා ප්‍රශාදිනී ගායනා කරනු ලැබිය. ගීතයේ පාද රචනය නිලාර් එන්. කාසිම් ගෙනි. 

"මහමෙර උසට" සිනමාපටයෙන් ලාංකේය සිනමාවේ අධ්‍යක්ෂකවරයෙක් ලෙස ඇරඹි සිනමා ගමන්මගේ උදයකාන්ත වර්ණකුලසුරියගේ සිනමා නිර්මාණයන් තුල විවිදත්වය සහ  ඒකාකාරී සිනමාවෙන් ඔබ්බට  යන්නට වෙර දරන්න අධ්‍යක්ෂකවරයෙක් අපට මුණගැසිණ. විවිධ වූ විචාරකයන්, ඔහුගේ සිනමාපට ගැන විවිධ වූ ආකල්පයන් මතවාද ගොඩනැඟුවද ඔහු විසින් නිර්මාණය කරන ලද බොහෝ සිනමාපට තවමත් ලාංකේය සිංහල සිනමාපට නරඹන්නන් අතර ප්‍රචලිතය සහ ඒවා ආදරයෙන් වැළඳගත් බවට හොඳම උදාහරණය 2023 වසරේ පැවති දෙරණ සිනමා උළෙලයි. එමෙන්ම උදයකාන්ත තම සිනමාපට වලට වෙනස්ම වූ රසයක් හැඩයක් ගෙනෙන්නට යහමින් ගීතය උපයෝගී කර ගත්තාවූ අධ්‍යක්ෂකවරයෙක් ලෙස හැඳින්විය හැක. ප්‍රවීණ මෙන්ම ආධුනික ශිල්පින්ව ද ඔහු මෙවැනි දෑ සඳහා සම්බන්ධ කරගනිමින් සිනමාවට නවකයින්ට එන්නට දොරටු විවර කරදීමට සැදී පැහැදී  ඉදිරියෙන් සිටින අධ්‍යක්ෂකවරයෙක් ලෙස උදයකාන්ත දැකිය හැක.

උදයකාන්ත වර්ණසුරිය විසින් නිර්මාණය කරන ලද සිනමාපට 25 අතුරෙන් ජනප්‍රිය ගීත ඇතුලත් වූ සිනමාපට හා ඒවායේ ගීත ඔබ වෙත රැගෙන ආවේ නැවතත් ඒ ගීතයන් වල මිහිරියාව ඔබට මතක් කරදීමේ මතකාවර්ජනාවකටයි. ලිපියකින් කිසිවිටෙක ගීතයේ ආශ්වාදය ලබාගන්නට නොහැකි නමුත් ඔබ ගීතය කියවන විට ඒවා තාලයට හිතෙන් හෝ මනසින් කියවුනාට සැකයක් නැත. ඉතින් උදයකාන්ත වර්ණසුරිය ගේ සිනමා ගමන් මගේ හොඳම ගීත මෙලෙස රැගෙන ආ අතර නුදුරේදීම තවත් ජනප්‍රිය අධ්‍යක්ෂකවරයෙක් සහ ඔහුගේ සිනමාවේ ගීත භාවිතාව ගැන සටහනක් රැගෙන එන්නමු. 

සටහන : ගිහාන් තිලකරත්න 

Art Street කලා වීදිය වෙනුවෙන් 

ජායාරූ අන්තර්ජාලයෙන් ලබා ගත් ඒවා බව සළකන්න

Post a Comment

0 Comments