සචින්, රෂී, නිමේෂ් සමඟ දිනක්ෂි එක්ව ආදරේ පුරෝගෙන රිදී තිරයට එන "විසල් ආදරේ"

 

මෑත කාලයේ නවක පරපුර මෙරට සිනමාව හා එක් වීමත් සමඟ ලාංකේය සිනමාවේ නව පුනරුදයක් ඇති වූ බව සහ ඔවුන්ගේ  සිනමා ප්‍රචාරණයේ තිබු  විධිමත්භාවය හේතුවෙන් සිනමාශාලා වලින් ඈත්ව සිටි ප්‍රේක්ෂකයන් නැවත වරක් සිනමා ශාලා වලට ගෙන්වා ගනිමින්  වැඩිම ආදායම් ලැබීමට එම සිනමාපට වලට හැකිවීම සතුටට පත්විය හැකි කරුණකි. මෙරට ප්‍රවීණ අධ්‍යක්ෂකවරුන් සමඟ කරට කර යමින් නව තාක්ෂණයත් සමඟ දක්ෂතා ඉස්මතු කරමින් ඔවුන්ටම අනන්‍ය වූ සිනමා රීතීන් යටතේ ආකර්ශනීය සිනමාවක් ගොඩඟන්නට දරන උත්සාහය අගය කල යුතු සේම ඔවුන් නිර්මාණය කරන ලද කුළුඳුල් සිනමාපට ප්‍රේක්ෂකයන් අතර මෙතරම් ජනප්‍රියත්වයට පාත්‍ර වීමම ඔවුන් ලද සැබෑම ජයග්‍රහණයකි. 

පසුගිය වසරේ දී ප්‍රදර්ශනය වූ සිනමාපට අතර  "ආදරණිය ප්‍රාර්ථනා" කැපී පෙනෙන සහ වාණිජමය වශයෙන් ඉතාමත් සාර්ථකව ප්‍රදර්ශනය වූ ප්‍රේමණිය සහ සංගීතවත් සිනමාපටයකි. තරුණ අධ්‍යක්ෂකවයෙකු වන වාසව බදුගේ විසින් අධ්‍යක්ෂණය කරන ලද ඔහුගේ කුළුඳුල් සිනමා සිත්තම මෙයයි. එමෙන්ම තරුණ ජනප්‍රිය සංගීතවේදී යසස් මැදගෙදරගේ සංගීතයෙන් "ආදරණිය ප්‍රාර්ථනා" සංගීතවත් විය. "ආදරණිය ප්‍රාර්ථනා"  සිනමාපටයෙන් ලද ජනප්‍රියත්වය සමඟ එම වසරේ දී MPI මණ්ඩලයේ වැඩිම රසික ආකර්ෂණය මත රුපියල් කොටි 6කට වැඩි ආදායමක් ලැබීමට හැකිවීම ද සුවිශේෂී වෙයි. 


මෙවර වාසව සහ යසස් එක්ව ඔවුන්ගේ දෙවැනි සිනමා නිර්මාණයේ වැඩ කටයුතු ආරම්භ කර ඇති අතර එය නම් කර ඇත්තේ "විසල් ආදරේ" නමිනි. ආදරය පිලිබඳ මනඃකල්පිත ලෝකයක් නිර්මාණය කරමින් පාඨක ආදරය සහ පැසසුම් ලබා ගත්  "බීර සුවඳැති හාදු" නවකතාවේ රචිකාවිය වන දිල්ෂි තත්සරණි "විසල් ආදරේ" තිරරචනය සඳහා එක්ව තිබෙයි. 

පුංචි තිරයේ ටෙලිනාට්‍ය හරහා ආදරණීය සහ දඟකාර ප්‍රේමවන්තයෙකු ලෙසින් තරුණියන් අතර මේ දිනවල ඉතාමත් ජනප්‍රිය නවපරපුරේ කඩවසම් රංගන ශිල්පී සචින් ලියනගේ සිනමාවට අවතීර්ණ වන්නේ "විසල් ආදරේ" හරහායි. ඔහු එම සිනමාපටයේ "අනුධ්" ලෙසින් රංගනයට එක් වෙති. එමෙන්ම සිනමාව සහ පුංචිතිරය තුළ රංගන කෞෂල්‍යයෙන් ප්‍රේක්ෂක ආදරය නොමඳව ලබා ගත් දිනක්ෂි ප්‍රියසාද් "සාරා" චරිතය හරහා එක්වන අතර "නිමි" සිනමාපටය තුළින් රිදී තිරයට පෑයූ රශිප්‍රභා සංදීපනී "විසල් ආදරේ" හි "තාදී" ලෙසින් චරිතවත් වෙයි. වෙනස්ම වූ හඬ පෞර්ශවයක් හිමි සහ ආදරණිය ප්‍රාර්ථනා සිනමාපටය හරහා කැපී පෙනෙන රංගනයකින් සිනමාවට පිවිසෙමින්, ප්‍රේක්ෂකයන් ගේ ආකර්ෂණයට සහ කතා බහට ලක් වූ නිමේෂ් වෙරංග  "ශවීන්" ලෙසින් ප්‍රේක්ෂකයන් අතරට පැමිණෙයි. 


1991 වසරේ ජනප්‍රිය ටෙලිනාට්‍යක් වූ "රතු රෝස" හි "චාපා" චරිතයෙන් රංගනයට එක් වූ වන්දනා ලියනාරච්චි වසර ගණනාවකට පසුව රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර ඇයගේ රසිකයින්ට මෙය ඉතාමත් සතුටුවිය හැකි කාරනාවක්වනු නොඅනුමානය. එමෙන්ම ජනප්‍රිය රුපනශිල්පියෙක් සහ ව්‍යවසායකයෙකු  වන තනුජ් ගුණවර්ධන "විසල් ආදරේ" සිනමාපටය හා එක්ව ඇති අතර වන්දනා මෙන්ම තනුජ් ගේ ප්‍රථම සිනමාතරණය මෙයයි. ඊට අමතරව තවත් ජනප්‍රිය සහ නවක ශිල්පීන් මේ සඳහා රංගනයෙන් දායකත්වය ලබා දෙයි.


තුන්කොන් ප්‍රේම කතාවක් රිදී තිරයට රැගෙන ආ වාසව බදුගේ විසින් මෙකල ජනප්‍රිය තරුණ රංගන ශිල්පින් ශිල්පිනියන් සිව් දෙනෙක් එකතු කොට ගෙන ප්‍රේමය ගැන වෙනස්ම වූ කතාවක් ප්‍රේක්ෂකයන් වෙතට රැගෙන ඒමට නියමිතව ඇති අතර තවමත් එහි ඇතුලත් කතාව රහසක්ව පවත්වා ගැනීමට "විසල් ආදරේ" කණ්ඩායම කටයුතු කරයි. නමුත් සිනමාපටයෙහි  ගොඩනැඟුණු මිත්‍රත්වය තුල ඇතිවන්නාවූ සතුට, දුක, ආදරය, වෙන්වීම්, කම්පාව මුල්කොට ගෙන කතාව නිර්මාණය වී තිබෙයි. 

"මගේ අත හැර යන දා - නුඹ පසු පස හිඳිමි
හද රැඳී හැම සිහිනේ සාදා - වෙනතක දළුලා වී..."

"විසල් ආදරේ" සිනමාපටය ගීතවත් මෙන්ම වර්ණවත්, ඇස් සිත් පිරෙන නැවුම් වූ සිනමාත්මක වින්දනයක් ප්‍රේක්ෂකයන් වෙතට අධ්‍යක්ෂකවරක් ලෙසින් වාසව බදුගේ රැගෙන ඒවි යන්න,  විශ්වාසයක් තබා ගත හැකි ලෙසින් බොලිවුඩ් නිර්මාණයක් තරම් ආකර්ශනීය ලෙසින් "ආදරණිය ප්‍රාර්ථනා" නිර්මාණය කර තිබිණ. එම විශ්වාසය සමඟ දක්ෂ රචිකයෙක් ගේ අතින් ලියැවෙන තිර රචනය තුළ ප්‍රේක්ෂකයන්ට හොඳ සිනමා කතාන්දරයක් රසවිඳීමේ හැකියාව ලැබේවි යන්න තවත් බලාපොරොත්තුවක් තැබිය හැක.

එළඹෙන නොවැම්බරයේ දී තිරගත කිරීම් වලට සුදානම් වෙමින් පවතින "විසල් ආදරේ" වෙනුවෙන් මේ වන විටත් සයිබර් අවකාශය හරහා ප්‍රචාරණය ආරම්භ කර ඇති අතර ඔවුන්ගේ https://visaladare.com/ වෙබ් අඩවියටත් ආදරණිය ඔබට එකතු විය හැක. එමෙන්ම සිනමාපටය ප්‍රදර්ශනය සමඟ මෙරට පමණක් නොව ඔස්ට්‍රේලියාව, කැනඩාව, ඇමරිකාව සහ නවසීලන්තය වැනි රටවල් හී ද "විසල් ආදරේ" සිනමාපටය ප්‍රදර්ශනය කිරීමට සුදානමක් තිබෙයි. 

"විසල් ආදරේ" සාර්ථකත්වය සඳහා  දායක වන්නනෝ  

අධ්‍යක්ෂණය - වාසව බදුගේ

තිර රචනය - දිල්ෂි තත්සරණි

සංගීත අධ්‍යක්ෂණය - යසස් මැදගෙදර 

ගී පද රචනය  - ශෙහාන් ගලහිටියාව, සජිත් අක්මීමන 

කැමරා අධ්‍යක්ෂණය - වාසව බදුගේ

සංස්කරණය - වාසව බදුගේ සමඟ සඳරුවන් පෙරේරා  

සහාය අධ්‍යක්ෂණය - ධනුෂ්ක පෙරේරා

නිෂ්පාදන සැලසුම්කරණය - යෂී සිල්වා 

නිෂ්පාදන කළමනාකරණය - නිරෝෂන් වෙලගෙදර 

ශබ්ද පරිපාලනය - රසිත කාවින්ද

වේෂ නිරූපණය - හර්ෂ මාධව

නිශ්චල ජයාරූ - විරාජ් ෆර්නෑන්ඩු

සිනමාපටයේ නිෂ්පාදනය - Bluesky Productions සහ Midhouse Studios 

සිනමාපටයේ මෙරට බෙදාහැරිම - MPI මණ්ඩලය 


"විසල් ආදරේ"  සිනමාපටය ගැන තවත් තොරතුරු නුදුරේදී Art Street කලා විදිය හරහා බලාපොරොත්තුවන්න. 

සටහන - 
ගිහාන් තිලකරත්න (Giza Bee)
Art Street කලා වීදිය වෙනුවෙනි

ජයාරූ අන්තර්ජාලයෙන් බව සලකන්න















Post a Comment

0 Comments