අත්භූත සහ හොල්මන් සිනමාපට නැරඹීමට ප්‍රිය කරන සිනමාලෝලීන්ට නම් “The Conjuring" සිනමාපට සහ ඒ හා සබැඳී අනෙකුත් සිනමාපට ගැන අවබෝධයක් ඇතුවාට සැකයක් නැත. ජනප්‍රිය අධ්‍යක්ෂකවරයෙක් වන James Wan විසින් නිර්මාණය කරන ලද Conjuring විශ්වය පසු කාලීනව විවිධ අධ්‍යක්ෂකවරුන් යටතේ සිනමාපට ඒ හා සම්බන්ධ කරමින් නිර්මාණය විය. The Conjuring සිනමා විශ්වයේ නවතම සිනමාපටය ලෙසින් The Nun II ලෙසින් මේ දිනවල ලොවපුරා ප්‍රදර්ශනය වෙමින් තිබෙයි. එයට සමගාමිව මෙරට සිනමාශාලා හිදී ද ඔබට සිනමාපටය නැරඹීමට අවස්ථාව ලැබෙයි.
Valak යනු කන්‍යා සොහොයුරියකගේ ස්වරුපයෙන් පැමිණෙන යක්ෂයෙකි. කිතුනු දහමට පටහැනිව යමින් මිනිසුන්ට සහ ආගමට එරෙහිව කටයුතු කරන කෙනෙක් ලෙස සිනමාපට නැරඹු ඔබ දන්නා කරුණකි. අපට පළමුවර ඇයව දක්නට ලැබෙන්නේ “The Conjuring" සිනමාපට පෙළේ දෙවැන්නේ දීය. The Nun සිනමාපටයෙහි පළමු වැන්න ප්‍රදර්ශනය වුයේ 2018 වසරේදීය. එහි අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කරන ලද්දේ Corin Hardy විසිනි. පසුව මෙහි නවතම සිනමාපටය වන The Nun II හි අධ්‍යක්ෂණය Michael Chaves විසිනි. ඉන් ප්‍රථම ඔහු The Conjuring සිනමා විශ්වයේ පැමිණි The Curse of La Llorona (2019) සහ The Conjuring: The Devil Made Me Do It (2021) සිනමාපට දිත්වයේ ම අධ්‍යක්ෂකවරයා විය. Warner Bros. Pictures සමාගම විසින් සිනමාපටයේ බෙදාහැරීම් සිදුකරන අතර සතියකට ආසන්න කාලයක ප්‍රදර්ශනය සමඟ ඇමරිකානු ඩොලර් මිලියන 93ක ආදායමක් ලබා ගැනීමට සිනමාපටය සමත්ව තිබෙයි. සිනමාපටයේ නිෂ්පාදකවරුන් ලෙසින් Peter Safran සහ James Wan එක්ව තිබෙයි.
The Nun II සිනමාපටයේ රංගනයෙන් Taissa Farmiga, Jonas Bloquet සහ Bonnie Aarons එක්ව ඇති අතර ඔවුන් ඉන් ප්‍රථම The Nun ප්‍රථම සිනමාපටයේදී රංගනයෙන් දායක වුවෝ වෙති. එයට අමතරව Storm Reid සමඟ Anna Popplewell සෙසු උප ප්‍රධාන චරිතයන් ගෙන් එක්ව තිබෙයි. සිනමාපටයේ සංගීතය ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂකවරයෙක් වන Marco Beltrami විසින් සිදුකර තිබෙයි. සිනමාපටයේ සංස්කරණය Gregory Plotkin විසින් සිදුකර තිබෙයි.
The Nun II සිනමාපටයේ කතා සාරාංශය
1956 වසරේ දී සිදුවීමකි...
ශාන්ත කර්තා ආරාමයේ සිදුවූ සිදුවීමත් සමඟ (The Nun 2018) "අයිරින්" කන්‍යා සොහොයුරිය ඉතාලියේ පිහිටි කන්‍යාරාමයක සේවය කරනු ලබන අතර "මොරිස්" ප්‍රංශයේ පිහිටි නේවාසිකාගාරයක සේවය කරනු ලබයි. එක්තරා දිනයකදී ප්‍රංශයේ Tarasco හී පිහිටි දේවස්ථානයක සිටි නොයිරේට් පියතුමා සහ ළමා පුජකවරයෙක් වූ ජේකස් සුපුරුදු පරිදි ඔවුන්ගේ පුජනිය දේවස්ථානය තුල දෛනික කටයුතු සිදු කරන අතරෙදි ඔවුන්ට යම්කිසි බාධාවක් පැමිණි අතර ඒ ගැන පරික්ෂා කරන කල ජේකස් ඉදිරි පිටදී අහසට පාවී ගිය නොයිරේට් පියතුමා ක්ෂණයකින් ගින්නට හසුවී දැවී යනු දැක්මත් සමඟ ජේකස් එතනින් භීතියට පත්ව පලා යනු ලබයි.
මොරිස් සේවය කළ බෝඩිම් ස්ථානයේ ජිවත් වූ සොපී නම් තරුණිය සහ ඇයගේ මව වූ කේට් සමඟ මිත්‍රතාවයක් ගොඩනඟා ගෙන තිබුණි. කාන්තාවන් පමණක් ජිවත් වූ එම නේවාසිකාගාරය තුළ විවිධ වූ වයස් වල දැරියන් ජිවත් විය. නොයිරේට් පියතුමාට සිදුවූ ඛේදනිය ඉරණම සමඟ ප්‍රංශය පුරා භීතිය නැවත පැතිරෙන්නට විය. යුරෝපය පුරා සිදුවූ සහ සිදුවෙමින් පවතින මරණ මාලාවට හේතු විමර්ශනය කිරීමට කාදිනල්වරයා විසින් අයිරින් කන්‍යා සොහොයුරියට පවරනු ලබයි. ඔහු ඈ සතුව තිබෙන්නාවූ විශේෂිත දැක්ම ගැන හොඳින් දැන උන්නාය. ගමනට පෙර දිනයේදී අයිරින්ගේ විශේෂිත දැක්ම හරහා සිහිනයෙන් මොරිස් ඇයගෙන් උදව් ඉල්ලා සිටියාය. ඔහුගේ පෙනුම මෙන්ම දත් යක්ෂයෙක් ගේ විලසින් විය. ඈ තැති ගනිමින් නින්දෙන් අවදි විය. පසුදින Tarasco ගමනට අයිරින් තනිව යන්නට සැරසුනද තරුණ නවක සහෝදරියක වන දේබ්‍රා අනවසරයෙන්ම ගමනට එකතු වෙයි. ඇයට ඇදහීම් ගැන තිබු ප්‍රශ්න වලට අයරින් උදව් කළ අතර ඔවුන් ඉක්මනින්ම මිතුරියන් බවට පත් වුවන් වෙයි.
Tarasco ගමනත් සමඟ අයිරින් හට වැටහී යන්නේ නැවතත් ආගමික භිෂණයක් ආරම්භ වී ඇති බවයි. මේ සියල්ල පසුපස සිටින්නේ කවුරුන්ද යන්න ඇයගේ විශේෂිත වූ දෘෂ්ඨිය මඟින් දැනගන්මෙන් අනතුරුව මේ ව්‍යවසනය අවසන් කිරීමට අයරින් සමඟ දේබ්‍රා උත්සහ දැරීම The Nun දෙවැන්න හරහා ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් රැගෙන පැමිණ ඇත. එමෙන්ම සිනමාපටය අවසන්වන තුරුම නරඹන්න. එයට හේතුව ඔබ ආදරය කරන Ed සහ Lorraine Warren සිනමාපටයේ අවසන් නාමාවලියේදී ඔබට හමුවන නිසයි.
භීතිය සහ කෘතුහලය සමඟ Horror සිනමා රසිකයින් අතර ජනප්‍රියත්වයට පාත්‍ර වූ The Conjuring සිනමාපට පෙළෙහි නව සිනමාපටය වන The Nun 02 ඔබටත් මෙරට සිනමාශාලා හිදී නැරඹීමේ හැකියාව දැන් ඇත. ඉක්මනින්ම ප්‍රදර්ශනය වන සිනමාශාලා වෙතට ගොස් තවත් Horror සිනමාත්මක වින්දනයක් ලබා ගැන්මට Art Street කලා වීදියේ අපෙන් ආරාධනා.
සටහන - ගිහාන් තිලකරත්න (Giza Bee)
Art Street කලා වීදිය වෙනුවෙනි.
0 Comments