එච්.ඩී. ප්‍රේමරත්න සහ ඔහුගේ සිනමාවේ ගීත භාවිතය.

විනෝදාත්මක  සහ සම්භාව්‍ය ලෙසින් සිනමාව අන්ත දෙකකට බෙදා වෙන් කොට ගෙන මෙරට අධ්‍යක්ෂකවරුන් ඔවුන්ගේ සිනමාපට අධ්‍යක්ෂණය කරද්දී  මේ දෙආකාරම (විනෝදාත්මක සහ සම්භාව්‍ය) එක්ව ගෙන සිනමාපට අධ්‍යක්ෂණය කරන ලද එකම අධ්‍යක්ෂකවරයා ලෙසින්  එච්.ඩී ප්‍රේමරත්නයන්හට ලැබෙන්නේ සුවිශේෂී  ස්ථානයකි. ඒ නිසාම ඔහුට "මැද මාවතේ සොඳුරු සිනමාකරු" ලෙසින් විචාරකයන් ගෞරවනීය නාමයක් පටබැඳීය. ඔහු සම්මානනීය අධ්‍යක්ෂකවරයෙක්, තිර රචකයෙක් මෙන්ම නිෂ්පාදකවරයෙක් වශයෙන් ලාංකේය සිනමාව වෙනුවෙන් විශාල දායකත්වයක් සැපයු අයෙකි. මෙරට සිනමාවට ප්‍රිය කරන බොහෝ ප්‍රේක්ෂකයන් ප්‍රවීණ අධ්‍යක්ෂක එච්.ඩී ප්‍රේමරත්නයන් ගේ සිනමාවට ආදරය කරන්නේද ඔහු විසින් ඉදිරිපත් කළා වූ ස්වතන්ත්‍ර නිර්මාණයන්ගේ තිබු එකිනෙකට වෙනස්, ශක්තිමත් සහ නැවුම් කතා තේමාවන් නිසාවෙනි. එමෙන්ම කලාත්මක සිනමා හැඩතල ඔස්සේ සිනමාපටය නිර්මාණයට ඔහු අතිදක්ෂ සේම ගීතය සහ සංගීතය ඔහුගේ සිනමාපට වල ප්‍රමුඛ තැනක් විය. ඔහු ගේ සිනමාපට වල ස්වතන්ත්‍ර මධුර ගී මොනවට සම්බන්ධ කරගත්තාය. ඔහු තම සිනමාපට වලට ගීත භාවිතා කලේ සිනමාපටයේ හිස්තැන් පිරවීමට නොව එහි චරිතයක හැඩතල ප්‍රකාශනයටත් සිදුවිමක ඇතුළාන්තය ප්‍රේක්ෂකයන්ට මනාව දැනෙන්නට සලස්විමටත්ය. Art Street කලා වීදිය හරහා අද එම මැද මාවතේ සොඳුරු  සිනමාකරු , සහ ප්‍රවීණ, සම්මානනීය අධ්‍යක්ෂක එච්.ඩී. ප්‍රේමරත්නයන්ගේ සිනමාවේ නොමැකෙන ජනප්‍රිය ගීත මතකාවර්ජනය වෙනුවෙන් ඉඩක් වෙන් කරන්නෙමු. 

තරුණ එච්.ඩී ප්‍රේමරත්නයන් සිනමාවට පැමිණෙන්නේ ලාංකේය සිනමාවේ ස්වර්ණමය යුගයේදීය. 1975 වසර යනු ලෙනින් මොරායස්, නිල් රූපසිංහ, ජෝ දේව් ආනන්ද්, එම්.එස්.ආනන්දන්, තිමති වීරරත්න වැනි ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගේ වගේම  නවක අධ්‍යක්ෂකවරුන් රැසකගේ සිනමාපට මෙරට ප්‍රදර්ශනය වූ කාලයකි. එච්.ඩී විසින් කුලුඳුලේ අධ්‍යක්ෂණය කරන ලද සිනමාපටය සඳහා ඔහු තෝරා ගන්නේ පුළුල් තිර ප්‍රදර්ශනයයි. එය මෙරට බිහිවූ දෙවන සිනමාස්කෝප් සිනමාපටය ලෙසට ඉතිහාස ගත වෙයි. එමෙන්ම ඔහු තම කුළුඳුල් සිනමාපටයේ ප්‍රධාන චරිතය සඳහා තෝරාගන්නේ ද නවකයෙකු වූ බන්දුල ගලගෙදර යන කුරු රංගන ශිල්පියායි. ඔහු සමඟ අනෙක් ප්‍රධාන චරිතය සඳහා සුවිනීතා වීරකෝන් සම්බන්ධ කරගන්නේ සිනමාපටයේ කතාවට අවශ්‍ය පරිද්දෙනි. කාල ගොලට දික්තලා ආදරේ කලාද? එවැනි සිදුවීමක් අළලා නව අර්ථකථනයක් ඔස්සේ නිර්මාණය වූ "සිකුරුලියා" නවක අධ්‍යක්ෂකවරයෙක් වූ එච්.ඩී ප්‍රේමරත්නයන් හට විශාල අභියෝගයක් වුවාට සැකයක් නැත. ඒ හේතුව නිසාම එකළ ජනප්‍රියත්වයේ සිටි විජය කුමාරතුංග, ජෝ අබේවික්‍රම, රොබින් ප්‍රනාන්දු, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු මෙන්ම පියදාස ගුණසේකර, ශාන්ති ලේඛා, විමල් කුමාර ද කොස්තා, දෙනවක හාමිනේ, තලතා ගුණසේකර වැන්නවුන් ඔහුගේ සිනමාපට තුළ භාවිතා කළා විය හැක. එමෙන්ම සිනමාපටය සඳහා ඔහු තෝරාගත් ගීතද සුවිශේෂී ගීත වීමත් වර්තමානයේදීත් එම ගීත වලට ඉහළම ප්‍රසාදයක් ලැබෙයි. එමෙන්ම ක්ලැරන්ස් විජේවර්ධනයන් සිනමාපටයක් සඳහා සංගීත අධ්‍යක්ෂණයෙන් පළමුවෙන්ම සම්බන්ධ වන්නේද "සිකුරුලියා" හරහායි. එම ගෞරවය එච්.ඩී හට ලැබිය යුතුමය. 

"වසන්තයේ මල් කැකුළයි

දසන්තයේ නළ රැල්ලයි

මගේ ගෙලේ හර සොල්ලයි

ඔබේ නෙත් කැළුම් ඉල්ලයි

අදත් මගෙ අතින් අල්ලයි


ගලින් ගලට පැන දිදුළන පෙණ කැටි මත්තේ

මලින් මලට ඉගිලෙන සමනළ තටු මත්තේ

ලියා එවන්නද කරුණක් මා ඔය පැත්තේ

බලා සිටින්නෙමි තවමත් ඇයි ඔබ නැත්තේ..."

ආදරය නිදහස විඳි ගැමි යුවතිය නිමාලී සුන්දරය. ඇගේ සුන්දරත්වය සිනමාපටයට රැගෙන එන්නට එච්.ඩි . යොදා ගත්තේ ඉන්ද්‍රාණි පෙරේරා ගේ මියුරු හඬයි. ඇයටම ආවේනික වූ හඬ සමඟ නිමාලිට එය හොඳින් ගැලපුණාය. ඒ කාලයේ දී මෙරට සිනමා ගීත බොහොමයක් ඉන්දියානු තනු ආශ්‍රයෙන් නිර්මාණය වූ අතර පසුබිම් ගායනයන හරහා නිතරම ඇන්ජලීන් ගුණතිලක, ලතා වල්පොළ වැනි ගායිකාවන් යොදාගැනීම සුලභ දෙයක් විය. නමුත් එච්.ඩී ඔහුගේ ප්‍රථම සිනමාපටයට තෝරාගත්තේ ඉන්ද්‍රාණිවය. මෙය සිංහල ගීත වංශයේ සන්ධිස්ථානයක් බඳු වූ ගීයකි. එමෙන්ම එහි පදරචනය සිරිල් ඒ සීලවිමල  සහ තනුව ක්ලැරන්ස් විජේවර්ධනයන් විසින් සිදුකර ඇත. නිමාලී ගී ගයා තම හදේ "පාල" ගැන තිබු ආදරයත් මෙලෙස කියා සිටියාය. මේ සියල්ලම හොර රහසේ බලා සිටියේ වලව්වේ කුරු කළු කොට ජිමි පුංචි හාමුය. 

පාල සහ නිමාලිටද ප්‍රේම කරන්නට එච්.ඩී ප්‍රේමරත්නයන් තවත් අපුරු ගීතයක් යොදාගත්තේ ඉන්ද්‍රාණි පෙරේරා සහ එච්.ආර්.ජෝතිපාලයන් ගේ සුමියුරු හඬින් ප්‍රේමනීය හැඟීම් ඉස්මතුවන අයුරෙනුයි. එහි පදරචනය ජෝර්ජ් ලෙස්ලිගෙන් වූ අතර සංගීතය ක්ලැරන්ස් විජේවර්ධනගෙනි.

"මල්සර හදකට තුරුළු වෙලා 

තව එක හදකට මුකුළු කළා

පොපියන දෙහදක ඒ මිහිර බලා 

ආදර දහනක් ජනිත කළා ..."

"පාල" සහ "නිමාලී" ආදරණිය පෙම්වතුන් ලෙස සිටියද එම පෙමට කණ කොකා හඬලන්නේ වලව්වෙන් "නිමාලී" ගේ පියා රැගෙන එන විවාහ යෝජනාව සමඟයි. සල්ලි යහමින් තිබු වළව් පැලැන්තියට පෑහෙන්නට ලැබීම කොතරම් භාගයක් වුවත් නිමාලි හට විවාහපත් වන්නට සිදුවුයේ ජිමී පුංචි හාමු සමඟයි. කොතරම් සැප සම්පත් තිබුණත් නිමාලි ගේ ජිවිතයේ සතුටක් තිබුණේ නැත. ඒ හේතුවෙන්ම නිවසේ තිබු වාහනය පැද යාමට සිටි බර්ටි සමඟ අනියම් ඇසුරකට ඈ මුල පිරුවාය. මැදිවියේ පසුවූ ඔහු නිමාලී හට පුංචි හාමුගෙන් නොලැබෙන දේවල් යහමින් ලබා දුන්නාය. මෙහි අවසන් ප්‍රතිඵලය වුයේ නිමාලී බර්ටි සමඟ පැන යාමයි. බර්ටි නවාතැන් ගත් මහල් නිවාසයේ කාමරයට නිමාලි කැටුව ආ පසුව  ඔවුන් පිළිගැනීමට යහළුවන් එදා විසිතුරු ගීයාක් ගැයුවෝය.

"දිළි දිළි දිළිසෙන එළියක්

එළියෙන් දෙන කළඑළියක්

කළුගල් අතරට මැණිකක්

පහල වෙලා ඇත්තේ

කළුගල් අතරට මැණිකක්

පහල වෙලා ඇත්තේ //


නැකතට පෝරුවේ

තැලි පිළි නැතිවට

දෑවැදි රන් පොදි

පැතුවේ නැතිවට

ලොකුවට මඟුලක්

ගත්තේ නැතිවට

ලොක්කා ගෙනා මනමාළිය

හරි පිං පාටයි

හරි පෙම් පාටයි" 

එම්.එස්. ප්‍රනාන්දු විසින් ගායනා කරන මේ ගීතයේ පද රචනය සිරිල් ඒ. සීලවිමල විසිනි. එමෙන්ම මෙහි සංගීතය ක්ලැරන්ස් විජේවර්ධන විසින් සිදුකර තිබෙයි. එවකට පොප් ගායකයෙකු ලෙස ක්ලැරන්ස් විජේවර්ධන බෙහෙවින් ජනප්‍රිය යුගයේදී එච්. ඩි ඔහුව තෝරාගනු ලද්දේද ඔහුගේ සිනමා නිර්මාණයට වෙනස්ම ආලෝකයක් රසයක් ලබා දීමට විය යුතුය. එය සියයට සියයක් නිවැරදිම තෝරාගැනීමක් ලෙස පිළිගත හැක. 

ටික කාලයක් යන විට නිමාලී හට තමා කරගත් මෝඩ කම යහමින් තේරුම් ගන්නට හැකි වන්නේ බර්ටි යනු කවුරුන්ද යන්න හොඳ හැටි දැනගත් පසුවයි. මුලින් දුටු අහිංසක බර්ටි සැබවින්ම මැරයෙකි , මිනීමරුවෙකි. සැපසම්පත් වලින් පිරි වලව්වකින් පිටව පැමිණ කාමරයක් තුළට සිරවී සිටීමට නිමාලිට සිදුවිය. ඇය කබලෙන් ලිපට වැටි සිටියාය. දිනක් අහම්බයෙන් මෙන් පාල නිමාලිගේ කාමරයට පැමිණෙයි. ඔහුව එදා  රැගෙන එන්නේද බර්ටි විසිනි. බීමතින් සිටින පාල බලා ගැනීම නිමාලිට භාර දෙන්නේද බර්ටි ය. නොසිතු පරිදි නිමාලී ගේ සහ පාල ගේ හමුවීම සමඟ ඈ මුහුණ දී ඇති ඛේදවාචකය ඔහු හරි හැටි අවබෝධ කරගත්තාය. එමෙන්ම ඒ අතර බර්ටි හට නිමාලි සහ පාල අතර සම්බන්ධය ගැන ඉව වැටෙයි. තම කසාද බිරිඳ වූ නිමාලි සහ බර්ටි ගැන හිතේ තිබු තරහව නිසා පළිගැනීමට ජිමි ද එන්නේ ඔය අතර තුරේදීය. නිමාලී නැති අඩුව ජිමි තුළින් රැගෙන එන්නට එච්.ඩි තවත් හැඟුම්බර ගීයක් සිනමාපටයට එක් කළාය.

"කොමළ ලියා බොළඳ ලියා

මාව දමා යන්න ගියා

සියුමැලියා සිකුරුලියා

සියුමැලියා සිකුරුලියා


ගත සීතල පහස ලබා

ළැම රන්වන් සුවඳ සොබා

නිමවෙයි රොන් ලැබුව මෙමා

සිකුරුලියා

මාව දමා යන්න ගියා සිකුරුලියා


කොමළ ලියා බොළඳ ලියා

මාව දමා යන්න ගියා

සියුමැලියා සිකුරුලියා

සියුමැලියා සිකුරුලියා


නෙත ඇඳි රුව ඔබෙනේ සුදූ

අද ඒ නෙත කඳුළු බිඳූ

ආදරයෙන් ඔබද හැදූ

සිකුරුලියා

මාව දමා යන්න ගියා

සිකුරුලියා"

ජේ.ඒ. මිල්ටන් පෙරේරා ගේ හඬ වේදනාත්මක ස්වරයකට හරවමින් " කොමළ ලියා බොළඳ ලියා " ලෙසින් ජිමී ගේ වේදනාව සිනමා තිරය තුළින් ඉස්මතු කරන්නට එච්.ඩී හට හැකි විය. එහි පද රචනය ධර්මසිරි ගමගේ විසින් සිදුකර තිබෙන අතර සංගීතය ක්ලැරන්ස් විජේවර්ධන විසිනි. එකිනෙකට වෙනස් වූ රිද්මයන් ගෙන් "සිකුරුලියා" හි ගීත පහක් එකතු විය. බේබි ශිරෝමි (ශිරෝමි ෆර්නැන්ඩෝ) සමඟ ලිලන්ති කරුණානායක ගයන "හිමකන්දේ මනමාලි"  "සිකුරුලියා සිනමාපටයට එකතු වූ වැඩිය නෑසෙන ගීතයක් වෙයි. වාණිජමය වශයෙන් ඔහුගේ ප්‍රථම සිනමාපටය සාර්ථක වීම තුළ එච්.ඩී ප්‍රේමරත්න සිනමාවේ ස්ථාවරත්වයක් ගොඩනඟා ගැනීමේ ලකුණු පෙන්විය. 

අමරසිරි කලංසුරිය යනු මෙරට සිටි දක්ෂ රංගන ශිල්පියෙකි. ප්‍රථම වරට ඔහු ප්‍රේමවන්තයෙක් ලෙසින් මාලනී ෆොන්සේකා සමඟ සිනමාපටයකට එකතු වන්නේ  එච්.ඩී. ප්‍රේමරත්නයන්ගේ "අපේක්ෂා" සිනමාපටය හරහායි. එච්.ඩී ගේ දෙවන සිනමාපටය වන අපේක්ෂා දින හැත්තෑපහක් ප්‍රදර්ශනය වූ අතර වානිජමය වශයෙන් සාර්ථකත්වයක් ලබා ගැනීමට හැකි විය. එමෙන්ම "අපේක්ෂා" සිනමාපටයෙහි ඇතුළත් වූ සියලුම ගීත එදා මෙන්ම අදටත් ජනප්‍රියම ගීත වේ. නමුත් එවර එච්.ඩි . විසින් තෝරා ගනු ලබන්නේ සුරංගනා කතාවක් බඳු තේමාවකි. එහි ගීතා කුමාරසිංහ, රොබින් ෆර්නැන්ඩෝ, දොන් සිරිසේන ඇතුළු බොහෝ රංගන ශිල්පින් ශිල්පිනියන් එක් ව තිබු අතර රංජන් මෙන්ඩිස් සහ නිමල් ජයවර්ධන සිනමාවට පැමිණෙන්නේ "අපේක්ෂා" හරහාය.එමෙන්ම සිනමාපටයේ සංගීතය සඳහා මෙවරද ඔහු තෝරාගන්නේ ක්ලැරන්ස් විජේවර්ධනය.

උගත් තරුණයෙක් වූ නිමල් රැකියාවේ නිරතව සිටින්නේ ඉන්ධන පිරවුම්හළකය. ඔහුගේ විශ්ව විද්‍යාල මිතුරියන් වූ නෙරංජලා සහ මේනකා ගමන් ගන්නා රථයට ඉන්ධන පුරවනුයේ නිමල් රැකියාව කරන පිරවුම්හළෙනි. නෙරංජලා නිමල් පිලිබඳ විශේෂ කැමැත්තක් සිතේ මෝදුවෙමින් තිබෙයි. දිනක් විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන සැණකෙළියක් බැලීමට නිමල් හා ඔහුගේ මිතුරු ප්‍රදීප් එයට එක් වෙති. එයට පැමිණෙන්නට ආරාධනා කරන්නේ නෙරංජලාය. සිනමාපටය තුළ සැණකෙළිය තව තවත් සැණකෙළියක් බවට පත් කරන්නට එච්.ඩි .සමත් වෙයි. එහි දී ගීතයක් එක් කිරීම පමණක්ම නොව ගීතයේ ගායකයා, ගීතයේ පද නිර්මාණය සහ සංගීතය සැපයු ක්ලැරන්ස් විජේවර්ධනත් සිනමා තිරයට රැගෙන එන්නට ඔහු හොඳ තීරණයක් ගෙන තිබීය. 

"සැණකෙළියේ, සඳ එළියේ, දිමුතු ලතාවයි

සිළි සිළියේ, සියුමැලියේ, ඔමරි හිනාවයි

ඔමරි හිනාවයි, ඔමරි හිනාවයි

සැණකෙළියේ, සඳ එළියේ, දිමුතු ලතාවයි


නෑ කිසි දුකක් සිතේ, සීතල පවන් වැදේ

හිරිමල් යොවුන් විලාසේ

දෑසින් හොරෙන් වගේ, ආදර හැඟුම් මැවේ

සමනළ ගමන් ලතාවේ" 

සැණකෙළියේ ගැටුමක් ඇතිවන්නේ නෙරංජලා ගැන ඇල්මක් තිබු ඩග්ලස්ගේ නොනිසි හැසිරීම හේතුවෙනුයි. නිමල් සහ ප්‍රදීප් එක්ව ඔහු ඇතුළු මිතුරන්ට පහර දෙන අතර එහි පළිගැනීමක් ලෙසින් නිමල් සේවය කරන ස්ථානයට ඩග්ලස් ඇතුළු පිරිස පැමිණ ඔහුට පහර දෙමින් ආයතනයට අලාභහානී සිදුකරනු ලබයි. එයින් තුවාල ලබන නිමල් රෝහලකට ඇතුළත් කරන අතර නෙරංජලා ඔහු බැලීමට පැමිණෙයි. ඔවුන් අතර ප්‍රේමයක් ගොඩනැඟෙන්නේ ඒ අතරේ දීය. 

"කලක් අවෑමෙන් පෙරුම් පුරා 

සැසඳෙන පිවිතුරු සිතක් සොයා

සසර ගෙවා ආ පැතුම් පුරා ගෙන 

ඔබ හමුවී නව කෙනෙක් උනා..


කලක් අවෑමෙන් පෙරුම් පුරා 

මා සිටියා මග දෙනෙත් අයා 

සිහින විමානෙන් ඔබ ඇවිදින් අද 

මා හදවත මල් ලොවක් කළා.."


මිල්ටන් මල්ලවාරච්චි සමඟ ඇන්ජලීන් ගුණතිලකයන් ගේ හඬින් ගැයුණු මේ ප්‍රේම ගීතය ඉමහත් ජනප්‍රියත්වයට පත් වූ අතරම නිමල්ටත් නෙරංජලා ටත් ආදර හැඟුමෙන් සිනමාපටය විචිත්‍රවත් කිරීමට මඟක් පාදා දුනි. මෙහි පද රචනය ධර්මසිරි ගමගේ විසිනි. 

නෙරංජලා සහ නිමල්ගේ ප්‍රේමය දළුලා යද්දී නිමල්ගේ මිතුරා වූ ප්‍රදීප් සහ නෙරන්ජලාගේ මිතුරිය වූ මේනකා අතර ප්‍රේමසම්බන්ධයක් ගොඩනැඟෙන අතර ඔවුන් දෙදෙනා වෙනුවෙන්ද එච්.ඩි . ප්‍රේමරත්නයන් ගීයක් එක් කළාය .

"සොඳුරු ලොවට මල් වැහැලා

තව්තිසාවෙ හද මැවිලා

හැඟුම් පහන් තාරකා

පෙමට පායලා..//


රෝස මලට හිත වැටිලා

බඹරෙකු සේ මා සොයලා

ඈත සිටන් ආ

ඈත හිටන් ආවදෝ ඔබ පියඹාලා

මා ආදරේ පායන් හදේ

මා ආදරේ පායන් හදේ.." 

වර්ථමානයේත් ජනප්‍රියත්වයට පාත්‍ර වූ මෙම යුග ගීතය ගායනය සඳහා එච්.ආර්. ජෝතිපාලයන් සමඟ සුජාතා අත්තනායකයන් එක් විය. එහි පදරචනය ජෝර්ජ් ලෙස්ලි විසිනි. එච්.ඩී මෙම ගීත කිසිම විටෙක බලෙන් රිංගපු ගීත නොවූ අතර සිනමාපටයේ කතාවට උචිත අයුරෙන් සිනමාපටයේ චරිත ඉස්මතු කරලීම උදෙසා ගත්තාවූ ප්‍රයත්නයකි.

නෙරංජලා තමාගේ නිවසට නැවත යාම හේතුවෙන් නිමල් තනි වේ. ඇයගේ පියා සමරකෝන් වතුහිමියෙකි. ඔහුගේ මිතුරෙකු වූ විල්ෆ්‍රඩ් ජීවත් වුයේ එංගලන්තයෙයි. ඔහුගේ පුත්‍රයා වූ සැම්සන් ලංකාවට එවනු ලබන්නේ සමරකෝන් ගෙන් වතු පාළනය ගැන පුහුණුවක් ලැබීමටය. ලංකාවට පැමිණෙන සැම්සන් හට අහම්බෙන් එංගලන්තයේ ඔහු හා එකට ජිවත් වූ එරීන් නම් නළඟන ගැන දැනගන්නට ලැබීමෙන් ඔහු ඈ හමුවට සමාජශාලාව වෙත යයි. එරින් සහ සැම්සන් නැවත එක් කිරීමටත් එච්.ඩී සුමියුරු ගීයක් එකතු කළාය.

"ඔකඳ වෙලා සිත ඔකඳ වෙලා 

තුරුණු වියේ සිත ඔකඳ වෙලා 

ඔකඳ වෙලා සිත ඔකඳ වෙලා 

තුරුණු වියේ සිත ඔකඳ වෙලා 


අවන්හලේ..... නෑසී යන අඩ අඳුරේ 

සිහින ලොවේ..... ඔබ හා හිනැහෙන මොහොතේ 

ළඟින් ඉඳන් රස කතා කියා 

සනසන්නම් ඔබ මගේ සුදා..."

එරීන් එලෙස ගී ගයද්දී සැම්සන් මෙන්ම ප්‍රේක්ෂකයාද වශීකෘත වුවාට නම් සැකයක් නැත. ඇන්ජලීන් ගුණතිලකයන්ට ආවේනික වූ ලගන්නා සුළු හඬ භාවිතාවෙන් මෙම ගීතයේ රස තව තවත් වැඩි විය. මෙහි ගීත රචනය ජෝර්ජ් ලෙස්ලි රණසිංහයන් ගෙන් වන අතර සුමිහිරි සංගීතය ක්ලැරන්ස් විජේවර්ධනයන් ගෙනි. 

දිනක් මුහුදු වෙරළේදී සැම්සන් හමුවන එරීන් ඔහු අත තිබී හමුවූ සමරකෝන් ගේ නිවසේ ලිපිනය ඇති ලිපිය විසි කරනු ලබන  අතර එය ඇහිඳ ගැනීමට නිමල් ට හැකි විය. කිසිදිනෙක නොදුටු සැම්සන් ලෙසින් නිමල් සමරකෝන් ගේ නිවසට ගිය අතර නිරංජලා හට කිට්ටුවීමට මඟක් පාදා ගනී. නමුත් ඔහුට ජිවත් වන්නට සිදුවන්නේ බියෙන් සහ සැකයෙනි. දිනෙක සැබෑ සැම්සන් මේ නිවසට ඒවි යන්න ඔහු තුළ ඇති වූ බියයි. නමුත් ඒ රහස සැබෑවක් කරමින් සමරකෝන් හට සත්‍ය දැනගන්නට ලැබෙන්නේ සැබෑම සැම්සන් සහ ඔහුගේ පියා නිවසට පැමිණීමෙන් පසුවයි.  ඒ මොහොතේම සමරකෝන් විසින් නිමල්ව නිවසින් පන්නා දමනු ලබයි. ඉන් අනතුරුව නැවතත් නිරංජලා ගේ ලොවට තනිකම පාළුව දැනෙන්නට පටන් ගනී. නිමල්ටද ඒ තනිකම හොඳින් දැනෙන එකක් විය.  ඒ ශෝකිය ජවනිකාව වෙනුවෙන්ද එච්.ඩී ගීතයක් එක් කරන්නේ ඇන්ජලීන් ගුණතිලකයන්ගේ සහ මිල්ටන් මල්ලවාරච්චිගේ හඬ  එකතු කරගනිමිනි. 

"සඳ තනිවෙලා අහසේ

හිරු තනිවෙලා

උතුරා ගැලූ ගඟුලක්

අද වියළිලා


පියමන් කළා දෙදෙනෙක්

සෙවනක් බලා

පැතුමන් බිඳී නිවසක්

ඇත සුන් වෙලා...."

එච්.ඩී ඔහුගේ "අපේක්ෂා" සිනමාපටය හරහා ගෙන ආ ගීත නිසාම තව තවත් ප්‍රේක්ෂකයන් සිනමාපටය වෙත ආකර්ෂණය විය. සියලුම ගීත ස්වතන්ත්‍ර ගී වූ අතර හින්දි තනු අනුකරණය කරමින් සිටි සිනමා අධ්‍යක්ෂකවරුන්ට ද ඔහු යහමින් තමා කවුද යන්න දෙවැනි සිනමාපටයෙන්ම පෙන්වන්නට සැලැස්විය. 

නෙරංජලා දකින සැම්සන් හට ඈ ගැනද සිතක් පහළ වෙයි. ඒ අතර නිමල් හට පාඩමක් උගැන්වීම පිණිස ඔහු උපායක් යොදවයි. නෙරංජලා ගේ නිවසින් පිටව යන නිමල්, නවාතැන් ගැන්මට වත්තේ වැඩ කළ පෙරේරා ගේ නිවසට යයි. ඒ අතර සැම්සන් නිමල් සිටි නිවසේ පෙට්ටියකට රත්‍රන් ආභරණ දමා ඔහුව පොලිසියට අල්ලා දෙන්නේ සොරකම් කිරීමේ වැරැද්ද මතයි. ඔහුව ඇප මත නිදහස් කරගන්නේ ප්‍රදීප් සහ මේනකා විසිනි. මේ සියල්ල මෙලෙස වෙද්දී සමරකෝන් නෙරංජලා ව තම මිත්‍රයාගේ පුත් සැම්සන් හට විවාහ කර දීමට සැරසෙයි. නමුත් සැම්සන් හා එරින් අතර පවතින සම්බන්ධය ගැන දැන ගන්නට ප්‍රදීප් හට හැකි වෙයි. ප්‍රදීප් එරීන් සිටින සමාජශාලාව වෙතට යන අතරටත් එච් .ඩී ඒ වෙනුවෙන් ද ගීතයක් එක් කරනු ලබයි. 

"රෑ සීතලයි 

ආශා ගලයි...//

රඟන රඟදෙන රඟහල ජීවිතයයි..." 

අතිශය ජනප්‍රිය ගීතයක් නොවුනත් මෙය සිනමාපටය සඳහා උචිතම අයුරෙන් යොදාගෙන ඇත්තේ ප්‍රදීප්ව සහ එරීන් ව මුණගැස්වීමේ අරමුණෙනුයි. ඒ අතර ප්‍රදීප් සැම්සන්ගේ සියලු ඇත්ත සොයා ගනු ලබයි. සමරකෝන් බලෙන්ම නිරංජලා ව සැම්සන් හට විවාහකර දෙයි. ඔවුන් මංගල දිනයේ පිටත් කර හැරීමට  යන අතරේදී  නිරංජලා මංගල ඇඳුමෙන්ම  ඈ එන මඟ බලා සිටින නිමල් දෙසට දිව යයි. ඒ අතර අවසන් සටන් ජවනිකාවට එච්.ඩී මුල පුරයි. නමුත් සියල්ල හමාර වන්නේ ප්‍රදීප් සමඟ මේනකා එතනට පැමිණ සැම්සන්ගේ වංචාව හෙළි කිරීමත් සමඟයි. 


එච්.ඩී ඉන්පසුව ඔහුගේ මීළඟ කතා වස්තුව විදියට තෝරා ගත්තේ "දෑවැද්දයි". ගැහැණියක් විවාහයට පත්වෙද්දී දෑවැද්ද දීමේ සිරිත ආදී කාලයේ සිට වර්ථමානය දක්වා පැවත එන්නකි. මේ හේතුව නිසාම සහෝදර බැඳීම හරහා ප්‍රේමරත්න දෑවැද්දක් ගැන කතා කරන්නට "පරිත්‍යාගය" සිනමාපටය තැනුවාය. තම පවුලේ ඇති දරිද්‍රතාවය හේතුවෙන් තම සහෝදරියගේ විවාහයට දෑවැද්දක් සෙවීම සඳහා වෙළඳසැලක් කොල්ලකෑමට වෙර දරන තරුණයෙක් ඔහු තිරයට ගෙනාවාය. ටෝනි රණසිංහ, ශ්‍රියානි අමරසිංහ, අමරසිරි කලංසුරිය, වින්සන්ට් වාස් ඇතුළු ජනප්‍රිය නළු නිළියන් "පරිත්‍යාගය" සඳහා එක් කරගත්තාය. ඔහුගේ පෙර සිනමාපට මෙන් නොව "පරිත්‍යාගය" තුළ එක ගීතයක් පමණක්  භාවිතා කිරීමට එච්.ඩී සිත හසුරුවාගෙන ඇත. එම ගීතයද ඉතා සෞම්‍ය ගීතයකි.

" ළා හිරු පායලා

පිපී මල් යායක් නෑවිලා

පිපී මල් යායක් නෑවිලා


සෝ තැවුල් නිවනා හදවතේ

ආදරේ උතුරා

උදා වෙලා උදා ඉරේ රිදී සිනා

නෙතකින් නෙතකට වෑහිලා "

ටී .එම් ජයරත්න සමඟ මාලනී බුලත්සිංහලයන් විසින් ගායනා කරන ලද මෙම ගීතයේ සංගීතය ප්‍රේමසිරි කේමදාසයශුරීන් ගෙනි. පද රචනය කුලරත්න ආරියවංශ ගේය. මෙම ගීතය පරිත්‍යාගය සිනමාපටයේ එච් .ඩී නාමාවලිය වෙනුවෙන් භාවිතා කළාය. එහි රූපරාමු හි බයිසිකලයක් පදිමින් යන ධනප්‍රේම තිරයට රැගෙන ආවාය. එම චරිතය  රඟදැක්වුයේ අමරසිරි කලංසූරිය විසිනි. එමෙන්ම එච්.ඩී පරිත්‍යාගය හරහා සම්මාන කිහිපයකටම පාත්‍ර වීමද සිදුවූ විශේෂයකි.

ආපසු එච්.ඩී  ප්‍රේමරත්නයන් විවාහයේ තවත් පැතිකඩක් ඔස්සේ යමින් , ප්‍රථම ප්‍රේමය අවසානයේ විවාහපත් වන අඹුසැමියන්, ඔවුන්ගේ පළමු රාත්‍රිය සහ තම බිරිඳගේ, ලේලියගේ කන්‍යා භාවය නොමැති කම ගැන වද වෙන මහා  ලොකුවට සිතන පවුලක් සහ ඒ සිදුවීම හරහා පිඩාවට පත්වූ ගැහැණිය සිනමාවට රැගෙන ආවාය. ඒ 1984 වසරේ ප්‍රදර්ශනය වූ 'දෙවෙනි ගමන' හරහායි. 'සිකුරුලියා', 'අපේක්ෂා'  'පරිත්‍යාග' වැනි චිත්‍රපට නිර්මාණය කළ එච්.ඩී. ප්‍රේමරත්න 'දෙවැනි ගමන' චිත්‍රපටය මඟින් ලාංකේය ජන සමාජය තුළ, කාලෙන් කාලෙට යාවත්කාලීන වන 'විවාහය හා කන්‍යභාවය' ගැන අපුරුවට කතාවක් ගොඩනැඟිය. එමෙන්ම සිනමාපටය සඳහා දෙවැනි ගමනට මධුසමයෙන් පසුව නිවසට එන අළුත බැඳී ජෝඩුව වෙනුවෙන් ගීතයක් එක් කරන්නට අමතක  නොකලාය. ගීතය මිහිරිය ආදරණීය එකක් වුවාට මංගල රථය පිටුපස සිටි සුජාතා ගේ මුහුණ මැලවී ඇත. එමෙන්ම සමන්ගේ මුහුණද  එලෙසය. එයට ඇත්තේ එකම හේතුවකි. තම බිරිඳ කනයාභාවයේ ප්‍රශ්නයකි.


“චාමර සැලුණාවේ

සේසත් සැලුණාවේ

සුරංගනා සුළං දැලේ

චාමර සැලුණාවේ


පවන් සළා පවන් සළා 

විඩා නිවා විඩා නිවා 

වළාකුලේ විමානයේ 

සිනා සිසී පියඹලා 

චාමර සැලුණාවේ..."

ප්‍රේමසිරි කේමදාස ශුරීන් සංගීතවත් කළ මෙම ගීතය ගායන සඳහා නීලා වික්‍රමසිංහ සමඟ ටී .එම් ජයරත්නයන් එක් වීය. 1985 වසරේ පැවති  සරසවිය සම්මාන උලෙළේදී එච්.ඩී. ප්‍රේමරත්න හොඳම තිර නාටකයටත්, සබීතා පෙරේරා හොඳම නිළියටත්, ජයතිස්ස දිල්ලමුණි හොඳම සංස්කරණයටත් සම්මාන ලබාගත් අතර, එම වසරේම ජනාධිපති සම්මාන උලෙළේ දී, ගාමිණි විජේසුරිය, සුජාතාගේ පියා ලෙස රඟපෑම වෙනුවෙන් විශේෂ සම්මානයක් ලබාගතී. එම වසරේ සරසවිය හතර වැනි ජනප්‍රිය සිනමාපටය ලෙසින් "දෙවැනි ගමන"  සම්මානයට පාත්‍ර විය. 

විවාහය හා සම්බැදිව එච්.ඩි ප්‍රේමරත්නයන් විසින් අධ්‍යක්ෂණය කරන ලද තවත් සිනමා සිත්තමක් ලෙස "ආදර හසුන" හඳුන්වා දීමට හැක. විවාහය, පවුල කියන වටා ඔහු ප්‍රේක්ෂකයන්ට විවිධ අයුරෙන් ඇතිවෙන්නාවූ හැලහැප්පීම් නිර්මාණශිලිව සිනමාවට නගන්නට හැකිවිය. මේ හැම උත්සහයකම ගැහැණිය ගැන සානුකම්පිත හැඟීමක් ගෙන ඒමට ඔහු ප්‍රේක්ෂකයන්ට ඉඩ සැලැස්වූ බව ඔහුගේ නිර්මාණයන් බලනකල්හි දැනී යන්නෙකි. 

"රන් දෙවොලින් බැස එන් දෙයියෝ

අපේ හිතට වැඩපන් දෙයියෝ

වලාකුලේ ගැවසෙන දෙයියෝ

සත් පියුමන් පිට යන දෙයියෝ...//


හෑල්ලු ඔරු කඳ දිය මත පාවේ

නැත සිඳු පතුලේ කිමිදෙන්නේ

ජීවන ගමනේ බර කඳ නොදැනේ

සොම්නස් සයුරේ පාවෙන්නේ..."

දෙවියන් වෙනුවෙන් බැතියෙන් ගැයෙන්නාවු මෙම ගීතය අපට අසන්නට ලැබෙන්නේ ආදර හසුන සිනමාපටය හරහායි. අරිසෙන් අහුබුදු ශුරින් විසින් රචිත පද වැල තුළ දේව භක්තිය මෙන්ම ජිවිතයේ දුක වෙනුවෙන් කරන්නාවූ සාමුහික ආයාචනයක් ඒ තුළ ගැබ්ව ඇත. ආචාර්‍ය රෝහණ විරසිංහයන්ගේ සංගීතයෙන් මුසුවූ මෙහි ගායනය සඳහා සුනිල් එදිරිසිංහ, අයිවෝ ඩෙනිස් සමඟ ගායිකා දමයන්ති ජයසුරිය එක්විය.


තරුණ යුවතියක් සමඟ විවාහ වූ විශ්‍රාමික හමුදා කර්නල්වරයෙක් ගේ ජිවිතය ගැන  සිනමාකරු මෙවර "ආදර හසුන" හරහා ගෙන එයි. ඔවුන්ගේ ජිවිතයට නොසිතූ පරිදි ප්‍රශ්නයකට මුහුණපෑමට සිදුවන්නේ නාදුනන පුද්ගලයෙකු ඔවුන්ගේ නිවසට රැගෙන එන ලිපියක් හේතුවෙනි. එය සාමාන්‍ය ලියමනක් නොව ආදර හසුනකි. තමා විවාපත්ව සිටින තරුණිය ඔහු සොයා ගනු ලද්දේ යුධ සමයේ LTTE ප්‍රහාරයකට මුහුණ දුන් ගම්මානයක් බේරා ගැනීමේ මෙහෙයුමක දීය. අනාත තරුණියක් වූ ඈ හට සෙවණක් ලබා දීම උදෙසා ඔහු ඇයව සරණපාවා ගත්තාය. නමුත් ලිපියේ සඳහන් වන්නේ මෙය නිවසේ වෙසෙන ලස්සන තරුණියට භාර දෙන ලෙසත් ඇයගේ විවාහපත් සැමියා සල්ලාලයෙකු ලෙසත්ය. එයින් කිපෙන විශ්‍රාමික හමුදා නිළදාරියා තම තරුණ බිරිඳ ගැන සැකයක් ඇති කරගනිමින් ප්‍රශ්න කරමින් දැඩි ලෙස හිරිහැර කරමින් ඔවුන්ගේ විවාහය දෙදරා යන තැනටම පත්කරගන්නේ තමන් නිර්දෝෂ බව කොතෙකුත් තම බිරිඳ කිවත් එය විශ්වාස නොකරමිනුයි. මෙවැනි කතා පුවතක් සමඟ එච්.ඩී නිර්දෝෂී ගැහැණිය ප්‍රේක්ෂකාගාරය වෙතට ගෙන එයි. 

තම ජිවිතයට සිදුවූ ඛේදවාචකය දරා ගත නොහැකි වූ තරුණිය සියදිවි නසා ගැනීමත් සමඟ ඇයව බේරා ගන්නේ ගමේ විසු අන්දිරිස් නම් අය විසිනි. මාළුන් ඇල්ලීම ජීවිකාව කරගෙන ගිය ග්‍රාමයක විසු අන්දිරිස් ඈ කැටුව නිවසට පැමිණෙයි. එම ග්‍රාමයේ විසු ගුණපාල තරුණ කාන්තාව කෙරේ ඇල්මක් දැක්වූ අතර තරුණිය ද ඔහු ගේ ගති පැවැතුමට කැමතිව ඔහු හා විවාහපත් වේ. 

"සුදු මුතු රළ පෙළ කිඳුරු කොදෙව්වේ

පාවඩ පලස එලා..

සිඳුලඳ ගෙනදුන් මුතු කැකුලක් සේ

ඔබ මට තිලිණ වෙලා..


යුගදිවි වැල්ලේ අඳුරු ඉස්සව්වේ

මුකුලිත සිතැඟි සලා

අරුණැල්ලක්සේ....

අරුණැල්ලක්සේ නුඹ මිණ පායා

සනහස ජනිත කළා..."

මෙම ගීතය තුල තමන් ජිවත් වූ කොදෙව්ව නොහොත් ඉසව්ව තුළ  ආදරය සෙනෙහස වඩවමින් තමාට හමුවූ ස්ත්‍රිය විවාහය දක්වා පැමිණීමේදී එයට ඔහු ඈ කෙරේ තිබු අසීමිත ආදරය ප්‍රකාශ කිරීමත් තමාට සිදුවූ ඛේදනීය ඉරණම ඔහු වෙනස් කරමින් ජිවිතයට ස්නේහය පුරුණු සෙනෙහසක් රැගෙන ආවාට තුති පුදමින් තරුණිය තම සැමියාව ආමන්ත්‍රණය කරන අයුරු අපුරුවට හැඟවෙයි. නමුත් තමා මුහුණ දීමට සිදු වූ සියල්ල පසු පස සිටිනුයේ ගුණපාල බැව් තරුණියට කාලයකට පසුව වැටහිනි. පසුව ඔහුගෙන් වෙන්වී යන ඈ හට දැනගන්නට ලැබෙන්නේ ඇය ඇතුළු පවුල LTTE ග්‍රහණයෙන් පලා යද්දී ගුණපාල යනු ඔවුන්ට උදව් කල හමුදා සෙබලෙක් බවත් තරුණිය දුටු දින සිට දැඩි ආදරයක් තම හිතේ පවත්වාගෙන ගිය බවත්ය. නමුත් ඊට ප්‍රථමව කර්නල්වරයා ඉස්සර වීම හේතුවෙන් තරුණිය ලබා ගැනීමට මේ සියල්ලම සිදුවූ බව ගුණපාල සිදුකර ඇති රහසිගත සැළසුමකි. අවසානයේ සත්‍ය ආදරයට ඉඩක් දෙමින් තරුණියව සහ ගුණපාලව එකතු කිරීමට එච්.ඩී වගබලා ගෙන තිබුණි. සිනමාපටයට ඇතුලත් වූ ගීත දිත්වයම අදටත් සිනමාවට ආදරය කරන ප්‍රේක්ෂකයන් සේම ගීත රසවිඳින්නන් අතර ජනප්‍රියතාවය නිතැතින්ම ඇති යුගලයකි. "සුදු මුතු රළ පෙළ කිඳුරු කොදෙව්වේ" ගීතය ගයනාව නීලා වික්‍රමසිංහ සමඟ ටී.එම් ජයරත්නයන් ගෙන් වන අතර මෙහි සංගීතය රෝහණ වීරසිංහයන් ගෙනි. සම්මාන කිහිපයකට පාත්‍ර වූ "ආදර හසුන" හි රංගනයෙන් වසන්ති චතුරාණි, ජෝ අබේවික්‍රම, රවින්ද්‍ර රන්දෙණිය ඇතුළු පිරිස එක් විය.

"මංගල තෑග්ග" තවත් එච්. ඩි ප්‍රේමරත්නයන් සිනමාවට රැගෙන ආ කෘතුහලය පිරි සිනමාපටයකි. හොඳම මිතුරන් හතර දෙනෙකුගෙන් එක් මිතුරෙකුගේ විවාහය වෙනුවෙන් ලබා දෙන තෑග්ගක් වෙතට එච්.ඩී සිත යොමුකර තිබුණාය. ඔවුන් පිරිස මංගල තෑග්ග ලෙසින් තෝරාගෙන තිබුණේ ද කාන්තාවකි. පිරිමින්ට ඇයගේ පහස ලබා දෙමින් ඔවුන්ව සතුටු කරන රුපශ්‍රියාවෙන් ලස්සන ගැහැනියක් ඔවුන් තෝරාගෙන තිබුණි. මදුවිත තොලගා සිටි මිතුරන් සතර දෙනා ඇයද කැටුව හෝටල් කාරමරයකට ගොස් රිසි සේ ඇයගෙන් සතුට විඳිද්දී තරුණියට පපුවේ ආබාදයක් පැමිණ මිය යාම සමඟ සිදුවන කෘතුහලය පිරුණු කතාවක් එච්.ඩි  මේ හරහා රැගෙන ආවාය. එමෙන්ම මිතුරන් සතර දෙනාගේ මිත්‍රත්වය කෙබඳු ද යන්න පෙන්වා ලීමට ප්‍රේම කිර්ති ද අල්විස් ලවා ගීයක් ලියා  සංගීතය එච්.එම්.ජයරත්නයන් ලවා කරවා සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, බන්දුල විජේවීර යන්ගේ හඬින් මනබන්දවා අපුරු රුපණයක් සිනමාතිරය තුළින් ප්‍රේක්ෂකයන් වෙතට ගෙන ආවාය. 

"එක යායේ කකා වැටී

එකා වගේ එකට හිටී

එක පවුලේ උපන් ලෙසේ කල ආරස්සා

නාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු

අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා


ගෙට ආ කල ටිකිරි ලියා

නුඹ වේවිලු කබර ගොයා

ළිඳට ගියත් අවසරයක් ගන්නට වේවී

දළ ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා

පනවාලා දරුණු දණ්ඩ බන්ධන නීතී


එක යායේ කකා වැටී

එකා වගේ එකට හිටී

එක පවුලේ උපන් ලෙසේ කල ආරස්සා

නාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු

අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා"

විශාරද සනත් නන්දසිරි විසින් සනත් ගුණතිලක  සහ වසන්ති චතුරාණි විවාහවන දිනයේදී ගීයක් ගැයුවේ "වාසනා වේවා !" කියාය. එච්. ඩී මෙරට සිටි ශ්‍රාවකයින් අසන්නට කැමති විදියේ ගීත හැම විටම ඔහුගේ සිනමාපට උදෙසා තෝරාගත් බව පැහැදිලිය. සනත් නන්දසිරි ගැයු මේ ගීතයේ පද රචනය  කැමිලස් පෙරේරා ගෙන් වූ අතර සංගීතය සඳහා එච්.එම්. පෙරේරා සම්බන්ධ වී තිබෙයි. "වාසනා වේවා" ගීතය ගයනාව වෙනුවෙන් සරසවි සම්මානයෙන් සම්මානිත වීමට විශාරද සනත් නන්දසිරි හැකියාව ලැබීය.

"වාසනා වේවා... 

වාසනා වේවා...


පින්බර යුවතිය කුල කුමරිය වී 

මංගල මල් නැකතේ

පෙම්බර කුමරෙකු අතිනත ගෙන ඈ 

දීගෙක යන ගමනේ....


වාසනා වේවා... 

වාසනා වේවා..."

සනත් ගුණතිලක, ජයලත් මනෝරත්න, රවින්ද්‍ර රන්දෙනිය සමඟ ශ්‍රියන්ත මෙන්ඩිස් මෙහි ප්‍රධාන චරිත නිරුපනය කළ අතර ප්‍රධාන චරිතයක් තුලින් සනෝජා බිබිලේ සුවිසේශි රංගනයකින් "මංගල තෑග්ග" සිනමාපටයට එක් විය. මෙහි කතා තේමාවට සමීපව යමින් 1998 වසරේදී Very Bad Things නමින් හොලිවුඩ් නිර්මාණයක් බිහිවූ අතර 2002 වසරේ කමල හසන් රංගනයෙන් දායක වූ  Panchathanthiram නමින් ද්‍රවිඩ සිනමාපටයක්ද පැමිණ තිබෙයි. කෘතුහලය උපරිමව රඳවා ගත් "මංගල තෑග්ග" සිනමාපටයේ එන "එක යායේ කකා වැටී" ගීතය අදටත් ජනප්‍රිය රියැලටි වේදිකා වලත් විවහා උත්සව වලත් කියවෙන ඇසෙන ගීතයකි. "මංගල තෑග්ග" සිනමාපටය ද සිනමා සම්මානයන්ට පාත්‍ර විය. එච්.ඩී යනු මැද මාවතේ අධ්‍යක්ෂකවරයෙකු ලෙසින් ප්‍රේක්ෂකයන් වෙතට පැමිණි ඔහුටම ආවේනික හැඩ තල ඔස්සේ සිනමාපට බිහි කල ඔහුටම වෙනුවූ ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය කරන ලද අයෙකි.

"වළාකුලක් ගෙන මුවා කරමු හිරු

ගිනිගෙන වියරුව නලියන වැලිකතරේ

රත්වුණු වැලිකැට පුපුරන

මැදපෙරදිග මරු කතරේ


වළාකුලක් ගෙන මුවා කරමු හිරු

ගිනිගෙන වියරුව නලියන වැලිකතරේ

රත්වුණු වැලිකැට පුපුරන

මැදපෙරදිග මරු කතරේ


වතුර මලෙන් නා දොළ අමතක කර

දූලි සුළං විඳ වෙළ අමතක කර

විදුලි පහන් මැද සඳ අමතක කර

දෙපා අබියසට ගමු අපි සුරපුර

වළාකුලක් ගෙන මුවා කරමු හිරු

ගිනිගෙන වියරුව නලියන වැලිකතරේ

රත්වුණු වැලිකැට පුපුරන

මැදපෙරදිග මරු කතරේ...."

වරෙක සුනිල් එදිරිසිංහ ගයන්නාවූ මේ ගීතය තවත් විටෙක විජය කුමාරතුංගයන් ගේ හඩින් "සහරාවේ සිහිනය" සිනමාපටය තුළදී ප්‍රේක්ෂකයන්ට අහන්නට දකින්නට ලැබෙයි. නමුත් එයින් විජය කුමාරතුංග ගායනය කරන ලද ගීතය ඔහුට තිබු ප්‍රේක්ෂක ආදරය නිසාම ඉමහත් ජනප්‍රියත්වයට පාත්‍ර වුවා සේම ඔහු හොඳම ගායකා ලෙසින් සම්මානීය වීමට වරම් ලැබිය. මෙහි සංගීතය ආචාර්ය රෝහණ විරසින්හයන්ගෙන් වන අතර පද රචනය ප්‍රේම කිර්ති ද අල්විස් විසිනි. මැද පෙරදිග රැකියාවට යන්නවුන් ගැන එච්.ඩී එවර සිනමාපටයක් නිර්මාණය කළාය. සිනමාපටයේ රංගනයෙන් ජීවන් කුමාරතුංග, වසන්ති චතුරාණි, රවින්ද්‍ර රන්දෙනිය. සනෝජා බිබිලේ, ශ්‍රියන්ත මෙන්ඩිස් ඇතුළු පිරිස රංගනයෙන් දායක විය. 

"මල් හසරැල් සැලෙන ලොවක්

දුල් රසුදැල් අසිරි සලා සොඳුරු ඉසව්වක්

හිත් කතරක නෙත් දනවන සොඳුරු දනව්වක්


කතරක් මැද කොතැනක හෝ

කෙම් බිම් යලි හමුවෙනවා..

දුක් අරගෙන යන ගමනේ

හසරැල්ලක් මුසු වෙනවා

කඳුලින් සරුවූ උයනේ

මිනිසත්කම් දළු ලනවා..."

ප්‍රේමයෙන් මනරම් වූ ගැයුමක් වූ මෙහි වසන්ති චතුරාණි, රවින්ද්‍ර රන්දෙනිය සමඟ ජීවන් කුමාරතුංග රංගනය කෙරිය. පසුබිම් ගයනාව සඳහා විජය කුමාරතුංග, කීර්ති පැස්කුවල් සමඟ චන්ද්‍රලේඛා එක් වීය. පද රචනය කුලරත්න ආරියවංශගෙනි. 1991 වසරේදී "සහරාවේ සිහින" සිනමාපටය සඳහා කළා වූ සංගීතය වෙනුවෙන් හොඳම සංගීත අධ්‍යක්ෂණය උදෙසා සරසවි සහ සව්ර්ණසංඛ සම්මානයෙන් ආචාර්ය රෝහණ වීරසිංහයන් සම්මානිත විය. එමෙන්ම ප්‍රේම කිර්ති ද අල්විස් සහ සුනිල් එදිරිසිංහයන් ස්වර්ණ සම්මානයෙන් පිදුම් ලබන්නේ හොඳම පද රචනය සහ ගයනාව වෙනුවෙනි.


90 දශකයේ පැමිණි ප්‍රේමණිය සිනමාපටයක් වූ "සප්තකන්‍යා" ප්‍රේක්ෂකයන් වැළඳ ගත්තේ මහත්වූ ආදරයෙනි. කමල් අද්දරආරච්චි එවකට ජනප්‍රිය තරුවක් වූ අතරම නවක නිළියක් ලෙසින් සංගීතා වීරරත්න පාසල් අවදියේදීම සිනමාවේ දොරටු විවරකරමින් ස්ථාවරත්වයක් තුළ ගමනක් යන්නට තරුවක් කල සිනමාපටය "සප්තකන්‍යා"  ලෙස අවිවාදයෙන්ම පිළිගත හැක්කකි. එච් ඩී මෙම සිනමාපටය සඳහා තෝරාගෙන ඇත්තේ වජිර ජයසිංහගේ කථාවකට, තලංගම ජයසිංහ විසින් චිත්‍රකථාවකට නැංවු 'වියරු මුහුද'  නම් සතුට පුවත් පතේ පළවූ කතාවකි. එපමණක් නොව සප්තකන්‍යා  සිනමාපටය සඳහා තම නිවසත් ඔහු උකසට තබා තිබෙන බවද වරෙක එතුමා පවසා තිබෙයි. 

"උන්මාද වූ ප්‍රේමාදරේ

සමනල වසන්ත යෞවනයේ

සංසාරයේ සුබ ප්‍රාර්ථනා

ඉඳුනිල් දෙනයන සටහන් වේ"

 

 කිඳුරු කොදෙව්වේ- කසුන් කුමාරිකාවි

 සයුරි තෙරෙන් සැඟවී ආවාදෝ

 චණ්ඩ මාරුතේ-ඉන්ද්‍ර ඛීලයක් වගේ

 නොසැලී ඉන්නට වරම් ලැබේදෝ"

අනිල් සහ  දීප්ති සිනමාපටයේ ප්‍රේමවන්තයින් කරන්නේ මේ ගීතයෙනි. ඔවුන්ගේ ප්‍රේමය රුප රාමු තුලට රැගෙන ආවේ ගීතය මුවඟින් කියාපාන රංගනයකින් නොවෙයි. සිනමාපටයේ දසුන් දෑස් පියා වුවද නැරඹු අයෙක්ට සිතින් මෙනෙහි වනවාට සැකයක් නැත. එතරම් ඒ ගීතය මෙන්ම රූපරාමු තුලද ප්‍රේමය දළුලා ගියාය. නමුත් දීප්තිගේ ජීවිතය අනිල් සිතාගෙන සිටියාට වඩා වෙනස්ම වූ එකකි. ඒ නිසාම අනිල්ට දිනක් නන්දුනන්නන්ගේ පහරාකෑමකට පවා ලක් වන්නට සිදුවෙයි. ජයාරූප ශිල්පියෙක් වූ හෙතම ඔහුගේ කැමරාව ද එයින් කැඩී බිඳී ගියේය. ඉන් දින කිහිපයකට අනතුරුව තම කාමරයේ මිතුරාව අතුරුදහන් වීමත් ඔහුගේ මියයාමත් අතර සම්බන්ධය ගැන අනිල් මහත් සේ කම්පාවට පත්විය.

අනිල්ට හට නව ජායාරූ ගන්නා ස්ථානයක් ආරම්භ කිරීමට දිප්ති මුදල් දීය. ඒ මුදල් කෙසේ හමුවීද යන්න ඔහු දන්නේද නැත. පෙර දවසක තමාට පරහදුන්නා යැයි කියන මැර කණ්ඩායමක් ගැන හඳුනාගැනීම සඳහා අනිල් හට පොලිසියට යාමට සිදුවීමත් ඔවුන් ලබා දුන් ජයාරූ දුටුවිට ඒ අතර දීප්තිගේ ද ජයාරුවක් තිබීම සමඟ ඔහු දැඩි කම්පනයට පත්විය. එහිදී ඈ සොරකම් කිරීම, පික් පොකට් ගැසීම හා ගණිකා සේවනයට සම්බන්ධ වග ඔහුට දැනගැන්මට හැකි වෙයි. එයින් අනතුරුව දීප්ති පොලිසියේ හිර භාරයට රැගෙන යයි. ඒ අතරේ එච්.ඩි සිතට වදින වේදනාවක් කැටිවූ ගීයක් එක් කරන්නට සමත්විය. ඒ තුලින් දීප්තිගේ දුක කියා පැවත් ඈ සැළෙන්නේ නැති ගැහැනියක් වග කියන තරම් වූ ගීතයේ රිද්මය වේගය ඒ තුළ කාවැදී තිබිණි. නමුත් දීප්තිගේ චරිතය මේ ගීතය තුළින් විදහාමාන වන ලෙසින් නිර්මාණය වී ඇත. 

"දූවිල්ලෙන් වත්සුණු තවරා

කුමර කුමරියන් වී ළෙන්ගතු ඇසුරේ

වහස් බැලුම් දෙන හැන්දෑවේ

නන්නාඳුනනා

කය මිස සිත නැති පුරවරයේ

කවුරුන් හෝ තුරුලේ

නිමේෂයක්

කොඳුරාවී රහසින්

ආ ගිය උන්හිටි තැන් සඟවා


ගිනිකඳු සිරසේ

මලපුඩු අතරේ

කැදලි සදාවී

මොණර කිරිල්ලී


රැයකින් රැයකට කුස පිරෙනා

සඳ සෙවණැල්ලේ

සිත ඇති

කය නැති

මිටියාවත ඉවුරේ

වහස් බැලුම් සඟවා

උකුසු ඇසක් ගෙන ගුරුළු වෙසක් ගෙන

පියඹා යාවී

මොණර කිරිල්ලී...."

මෙය ධම්මිකා වල්පොලගේ හඬින් සහ මොරිස් විජේසිංහ ගේ හඬින් ගායනා විය. මෙහි පද රචනය වසන්ත කුමාර කොබවක ගෙනි. සංගීතය ආචාර්‍ය රෝහණ වීරසිංහ ගෙනි. වසර දෙකක සිර දඬුවම් විඳිමින් දීප්ති සිරගෙදර තනි විය. මේ අතර අනිල් හට දීප්ති අමතක නොකළ හැකි විය. ඈ විසින් මුදල් දී තමා ආරම්භ කලා වූ ව්‍යාපාරය යහමින් දියුණුවෙමින් තිබුණි. වසර දෙකකට පසුව ඈ නැවත පැමිණීමෙන් අනතුරුව අනිල් දැන් සිටින තැන ගැන දීප්ති සතුටු විය. එහෙත් අනිල් ඇයට පැවසුවේ තමා හා විවාහපත් ව නව ජිවිතයක් ආරම්භ කරමු කියාය. දීප්ති ඒ ගැන කැමැත්තක් නොදැක්වුවත් අවසානයේදී දීප්ති හට එයට කැමැත්ත දෙන්නට විය. පසුව ඔවුන් ඉතාමත් ආදරයෙන් ජිවිතේ විඳිමින් ජීවත් වුනාය. ඒ මිහිරි ජීවිතය ගැන එච් .ඩී රැගෙන එන්නේ තවත් ඉමිහිරිම ගීයකි. රූකාන්ත ගුණතිලකයන් සරසවි සම්මානයෙන් ද සම්මානිත කිරීමට ඒ ගීතයට හැකි විය. රෝහණ වීරසිංහගේ තනු නිර්මාණයෙන් සහ පද රචනය අජන්තා රණසිංහ එක්වූ අතර අජන්තා රණසිංහ  හොඳම පද රචනය වෙනුවෙන් සරසවි සම්මානයෙන් එවර පිදුම් ලැබිය.

"සුවඳ දැනී දැනී දැනෙනවා

උදා හිරු එළියේ

අලුත් ඉරක් දෝ මේ

හිතට ගලනවා හීත බිඳු බිඳු

හීන් පිනි හුළඟේ හිනස්සා හිත හැඟුම්

සුවඳ දැනී දැනී දැනෙනවා


ඊයේ නුදුටුව ලස්සන ලෝකය

අද කොයින් හෝ

හෙමිහිට ඇවිදින් මිදුල දිගේ

මට තුරුලු වෙනවා

ජීවිතේ සුන්දර ද මෙතරම්

සුවඳ දැනී දැනී දැනෙනවා


රෑන් රෑන් එන පාට පාට සමනලයෝ

පේන පේන මල සිපගන්නෝ

ආදරේ.........

ඔච්චම් කර කර හංකිති කවනා ආදරේ

බලාපොරොත්තුව දෝත දරා

මඟ බලා හිඳියි ඔබ එන තුරා

ආයේ හෙට දවසක් තියේවී අද වාගේ

ජීවිතේ සුන්දර ද මෙතරම්..."

ඒ ප්‍රේමය ඔවුන්ගේ කැදැල්ල තුළ වැඩි කාලයක් තබා ගන්නට ඉඩක් දෙන්නේ නැත. ඔවුන්ව සොයා දාබරේ නම් පුද්ගලයකු පැමිණෙන්නේ ඔය අතරතුරේදීය . ඒ දීප්ති සොයය. ඒ දීප්තිගේ සැමියාය. මේ සියල්ල විවාහ වන්නට පෙරම අනිල් දැන සිටියාය. නමුත් දැන් මුහුණ දීමට වෙලා ඇත්තේ සමාජයේ ගැරහිල්ලෙන් සහ ලජ්ජාවෙන් බේරිමටය. ඔවුන්ගෙන් දාබරේ විශාල මුදලක් ඉල්ලන්නේ ඔවුන්ට සමාජය ඉදිරියේ ලජ්ජා කරන බව කියයි. ඔය අතර අනිල් නොමැති දිනෙක දාබරේ ගේ ගෝලයෙක් පැමිණ දීප්ති හට අඩත්තේට්ටම් කරන්නට සැරසෙයි. ඒ වෙද්දී දීප්ති ගැබිණියකි. ඈ අතින් ඒ පුද්ගලයාට අනිනු ලබන පිහි පාරකින් ජිවිතක්ෂයට පත් වෙයි. පසුව තම බිරිය මේ ප්‍රශ්නයෙන් මුදා ගැනීමට අනිල් දීප්ති කැටුව ගම් පළාතකට ගොස් වෙස් වලාගෙන ජිවත් වෙයි. සත්‍ය වසන්කිරීමට නොහැකි සේම පොලිසිය දීප්ති සොයා ගමට පැමිණෙයි. එහිදී අනිල් සහ දීප්ති පැන යාමේ දී දරු ප්‍රසුතිය හේතුවෙන් දරුවා ලැබුනද දීප්ති මිය යයි. ප්‍රේමය තුල ශෝඛය කැටුව ආ "සප්තකන්‍යා" එච්.ඩී ප්‍රේමරත්නයන්ගේ අනර්ඝ නිර්මාණයකි. එම වසරේදී සම්මාන උළෙලවල් බොහොමයකදී සම්මාන ලැබීමට සිනමාපටයට හැකිවිය. එමෙන්ම ගායකයෙක් ලෙසින් කමල් අද්දරආරච්චි ප්‍රථම වරට හොඳම ගායකයා යන සම්මානය  ජනාධිපති සම්මාන උළෙලේදී ලබා ගත් අතරම සිනමාපටයේ ගීත සියල්ලම එක හා ජනප්‍රිය වීමත් සිනමාපටයට මේ ගීත ඇතුළත් වීමෙන් තව තවත් සිනමාපටය කරා ප්‍රේක්ෂකයන් අද්දා ගැනීමට හැකියාව ලැබුණි. එමෙන්ම එම වසරේ නැගී එන නිළිය ලෙසින් සංගීතා සම්මානිත වීමද  සුවිශේෂී වෙයි. 


"මේ කොයි යාන්නේ

රායි ගම් යාන්නේ

කවදද ඒන්නේ

නැත අප දාන්නේ


උඩින් ගියොත් සිරස බිදෙයි

බිමින් ගියොත් ටිබෝල් ඇණෙයි

උඩින් ගියොත් සිරස බිදෙයි

බිමින් ගියොත් ටිබෝල් ඇණෙයි

මේ කොයි යාන්නේ

රායි ගම් යාන්නේ


කුරිරු හොර සතුන් ගහනයි

වනන්තරේ

වල් මත් නොවී යන ගමනා

හෙමින් සැරේ

සතුන් පනී දෙබරු අනි

සොර මුළු සේසත පැහැර ගනී

සතුන් පනී දෙබරු අනි

සොර මුළු සේසත පැහැර ගනී

මේ කොයි යාන්නේ

රායි ගම් යාන්නේ..."

ච්.ඩී සිනමා තිරයට ග්‍රාමීයව ජිවත් වූ ජනයා තුළ ඇති ඛේදනීය බව මෙන්ම දුෂ්කරත්වය කියා පාමින් රැගෙන ආ "සෙයිලම" සිනමාපටයේ අන්තර්ගත වූ ජනගී ආරට නිර්මාණය වූ ගීයකි "මේ කොයි යාන්නේ" යන්න. සෙයිලම යනු නගරයයි. සිනමාපටයේ දී නාගරික සමාජය නිසා ග‍්‍රාමීය සමාජයේ පැවති ස්ත‍්‍රී-පුරුෂ සම්බන්ධතාව,සහයෝගය බිදී යන අයුරු අධ්‍යක්ෂකවරයා තිරයට රැගෙන එයි. සිනමාපටයේ චරිත සඳහා අතිදක්ෂ සම්මානනීය සිනමා තරු මේ සඳහා එච්.ඩී යොදාගෙන තිබෙයි. රවින්ද්‍ර රන්දෙණිය, සිරිල් වික්‍රමගේ, අනෝජා වීරසිංහ ඉන් කිහිපදෙනෙකු පමණයි. 

බණ්ඩේ සහ සිරියා දුෂ්කර ගමක ජිවත් වන යුවළකි. ඔව්න් සාමාන්‍ය දිවි පෙවතක් ගෙවූ අතර නගරයෙන් පැමිණෙන රතු මහත්තයා හමුවීමත් සමඟ බණ්ඩේ ඔහු සමඟ මිතුරු වෙයි. රතු මහත්තයා සුරාවට හපනෙකි. ඔහු විසින් බණ්ඩේ හට නගරයේ සුරාව කටේ තියන්නට හුරු කිරීය. ඔහු ගැන පැහැදුණු බණ්ඩේ  තම නිවසේ කඩයක් කිරීමට රතු මහත්තයාට කතා කරනු ලබයි. නමුත් සිරියාට ඒ ගැන කැමැත්තක් නතුවාය. නාගරීකරණය රතු මහත්තයා සමඟම තම නිවහනට කඩා පත්වීමත් බලපෑමත්  හේතුවෙන්  බණ්ඩේ සහ සිරියා ගේ ජිවිත විනාශයට පත් වෙමින් තිබෙයි. මෙහි සියල්ලෙහි අවසානය බණ්ඩේ විසින් සියදිවි හානී කරගැනීමයි. එයින් අනතුරුව තනි වන සිරියා සහ දරුවා භාරගනුයේ රතු මහත්තයා විසිනි. 

ගමෙන් නගරයට පැමිණෙන සිරියා, රතු මහත්තයා රැගෙන විත් දමන්නේ තවත් අපායක් වැනි මුඩුක්කු පරිසරයකටය. එහිදී ඔහු ජම්බෝ නම් යුවතියක් හා සම්බන්ධයක් පවත්වාගෙන යයි. පීඩයන, අසාධාරණය, දුෂිත බව මෙන්ම  විරැකියාව,නිවාස ප‍්‍රශ්න,ණය බර,ආර්ථික ප‍්‍රශ්න මේ සියල්ලක්ම නගරයේ විසු මුඩුක්කු වැසියන්ට තිබෙන ප්‍රශ්නයන්ය. එක පැත්තකින් සිරියාගේ ජීවිතය හරහා දර්ද්‍රතාවය සමඟ පුරුෂයාගේ ආධිපත්‍ය තුල යටවන ගැහැණිය එච්.ඩී ඔහුගේ කතාන්දරය ඉදිරිපත් කල අතර මුඩුක්කුව ආශ්‍රය කරගනිමින් ඔවුන්ට සමාජයේ පවතින ප්‍රශ්න ගැන කතා කරන්නට තේමාවක් ගොඩනංවා ගත්තාය. 

"මේ කොයි යාන්නේ" ගීතය හරහා ග්‍රාමයේ සිට නගරයට පැමිණෙන සිරියාගේ ජිවිත අන්දරය ජනකවි ආරෙන් තැනු ආචාර්ය රෝහණ වීරසිංහ ගේ සංගීතයෙන් අපුරූ සිනමා ගීතයක් බිහි විය. ඒ තුළ ගම්‍යවන අර්ථය සංකීර්ණය. නමුත් හොඳින් සවන් දෙමින් පද රචනය සමඟ සිනමාපටයේ සිදුවීම් ආවර්ජනය කිරීමේදී මෙම ගීතය සිනමාපටය හා කොතෙක් බද්ධ වුවක්ද යන්න හැඟෙයි. එහි පද රචනාව මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ගෙනි. ගීත ගයනාව විශාරද එඩ්වර්ඩ් ජයකොඩි සමඟ විශාරද ශ්‍රියා කාරියවසම් විසිනි. "සෙයිලම" සිනමා සම්මාන රාශියකට පාත්‍ර වූ අතර එහිදී සංගීතය වගේම සිනමා ගීතය වෙනුවෙන්ද සම්මානිත වී ඇත.

"ගුමු ගුමුව වදුලේ

සිලිසිලිය සුලඟේ

මුනු මුනුව නදියේ

කසු කුසුව ගඟුලේ

අදයි මට ඇසුනේ (අදයි මට ඇසුනේ) ....//


විහඟ මිහිරාවී

මුදුහඬින රාගී

විහඟ මිහිරාවී

මුදුහඬින රාගී

කොතැන තිබුනිද තී

අද ගයන මේ ගී.."

සමිතා මුදුන්කොටුව විසින් ගායනා කරන්නාවූ මෙම මියුරු ජනප්‍රිය ගීතය ගයනා කරනුයේ "වීසි දැල" සිනමාපටයේ එන "සිරිමා" වෙනුවෙනි. උදැසන අවදිවන සිරිමා තම නිවසෙන් පිටතට යන්නේ නැවුම් වූ මලක් ලෙසින්ය. ගමේ සිටින පිරිමින් හට ඈ සුරංගනාවියක් මෙනි. එතරම් ඈ රුවින් ලස්සනය. ඇයගේ ලස්සන ප්‍රේක්ෂකයාගේ නෙතට තව තවත් සමීප කරන්නටත් ඈ හොර රහසේ පෙම් බඳින ප්‍රේමවන්තයා වූ ගාමිණී ගැන සිතමින් පරිසරය වෙනදාටත් වඩා ඈ හට සුන්දරව පෙනෙන අයුරුත් තම ආදරය ගැන පරිසරය තුල ඇතිවන කසුකුසු ගැනත් ගීතය හරහා එච්.ඩී .ප්‍රේමරත්නයන් රැගෙන පැමිණියාය. 

සිරිමා ගේ මහළු පියා සහ සොහොයුරා සමඟ ජිවත් වන අතර ඔහුගේ සොහොයුරා වූ නිමල් රැකියාවක් සොයමින් ජිවිත අරගලයක නිරත විය. මේ හේතුවෙන්ම තම සහෝදරියට ආරක්ෂාවක් සැපයීම ඔහුගෙන් ගිලිහී ගියාය. මේ පවුල දෙස ඇස ගසා ගෙන සිටි  ඥාතික් වෙයි. ඔහු නමින් ගුණපාල ය. සිරිමාට ඔහු "ගුණපාල මාමා" ය. ඔහු ගඟේ මත්ස්‍යන් අල්ලා ජිවත් විය. වයසින් මුහුකුරා ගිය ඔහු සිරිමා කෙරේ ඇල්මක් ඇතිකරගෙන තිබෙන අතර ඇයව තම ග්‍රහණයට ගැනීමට ඔහු සැරසෙයි. ඒ ඔහු සිරිමා ගැන තිබු අසීමිත රාගයයි. 

"බිඳුනා දැහැන් බිඳුනා 

මිදුණා සිරගත ආශා 


කැළඹෙයි දළ රළ 

කැළඹෙයි විසිරෙන වීසි දැල

විසිරෙයි වියරු හදවත 

වියරුයි පිබිදෙයි හිඟුරල 

පිබිදෙයි 


ගොදුරු යොදුන් ලං වෙමි

ලං වී වැළඳ ගනනි

දිය පිට තරඟ ගගනි 

දිය තුල කිමිද දියනි" 

ගැඹුරු වදන් වලින් ගුණපාලගේ රාගී සිත, ඔහු කුඩා කල සිට බලා ගත් සිරිමා කෙරේ ඇති වන්නාවූ හැඟීම් විස්තර කිරීමට මනාව පද රචිකයාද සමත්වී තිබෙයි. ඒ පදරචකයා වෙනින් කවුරුවත් නොව එච්. ඩී ප්‍රේමරත්නයන්මය. සිනමාපටයට ගැළපෙනම අයුරෙන් ඔහු මේ ගීතය ලියා තිබෙන බව ගීතය කියවන විටදීද ඔබට හැඟෙයි. කෙසේ හෝ දිනක් කොටියා මුවැත්තිය ගොදුරක් කරගත්තාය. වතාවක් නොව කිහිප විටකදීම. ඒ ලිංගික අඩත්තේට්ටම් වලට සිරිමා අවසානයේ දී හුරුපුරුදු විය. 

තම පෙම්වතා වූ ගාමිණි හට ආදරයට වඩා ලොකු වුයේ ඔවුන්ගේ සංවිධානයයි. එයින් රජය සමඟ සටන් කොට ඔවුන්ට අවශ්‍ය නිදහස ලබා ගැනීම ඒකායන බලාපොරොත්තුවයි. නමුත් එක්තරා දිනයකදී ඔහුද අතුරුදහන්ව යන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. ඒ පිටුපස සිටින්නේද ගුණපාල මාමා සහ ඔහුගේ මිතුරෙකි. එයට හේතුව වන්නේ ද සිරියාට ලං වන පිරිස ඇයගෙන් ඉවත් කිරීමට ගුණපාල ගත්තා වූ රහසිගත වැඩපිළිවෙලයි. ඒ අතර සිරිමාගේ සහෝදරයා වූ නිමල් හට පොලිසියේ රැකියාව ලැබෙයි. ගුණපාලගේ බිරිඳ නිවසෙන් එලවා දැමීමත් සමඟ ගුණපාල සහ සිරියා ගැන කෝපයක් එමලී  සිතේ ඇති විය. සිරියාට එමලිගේ පැත්ත ගත නොහැක. ඈ එතරම් අසරණව ඇත. 

කෝපය සමඟ නිමල් වෙත යන එමලි සියල්ල වමාරන අතර පළමුව තම පියා මරා දැමීමට යැයි සිතා නිමල් ඔහුට ලැබුණු තුවක්කුවද සමඟ ගමට පැමිණෙයි. එහිදී තම සහෝදරියට කළ අපරාධය හේතුවෙන් ගුණපාල මාමා මෙන්ම ඔහුගේ මිතුරා වූ කිරා ද මරා දැමීමට හැකියාව ඇතිවෙන අතර නිමල්ගේ පියා ඔහුට බයේ සැඟවී සිටීම නිසා එම බලාපොරොත්තුව සුන්ව යයි. නමුත් පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාව සමඟ නිමල් සිරගෙට නියමවෙයි. නැවත වරක් සිරිමා තනිවෙයි. මෙවැනි කතාවක් එච්.ඩී සිනමාවට නඟද්දී එහි ඇතුලත් වූ විශාරද ගුණදාස කපුගේ විසින්  ගයන්නාවූ "බිඳුනා දැහැන් බිඳුනා " ගීතය සම්මානනීය ගීයකි. එහි ඇතුලත් වූ අන්තර්ගත සිද්ධි ධාමය ගීතය හරහා මෙන්ම කපුගේ සතු වූ විශිෂ්ඨ හඬ පරාසය සමඟ එකට මුසුවෙමින් රාගික හැඟීමක් ඇති කරවන්නට සමත් වූ අතර තවත් විටෙක සිරිමා ගැන බියක් ප්‍රේක්ෂකයන් තුළ ජනිත කරවීමට හැකියාව ඇති විය. එහෙත් "බිඳුනා දැහැන් බිඳුනා" ගීතයට වඩා බෙහෙවින්ම ජනප්‍රියත්වයට පාත්‍ර වුයේ සමිතා මුදුන්කොටුව ගැයූ "ගුමු ගුමුව" ගීතයයි. එය අදටත් ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය ගීතයකි. 

එච්.ඩි. ප්‍රේමරත්නයන්ගේ අවසන් සිනමාපට අධ්‍යක්ෂණය වුයේ "කිණිහිරියා මල්" සිනමාපටයයි. සප්ත කන්‍යා සිනමාපටයෙන් අනතුරුව ඔහු නැවත වරක් කමල් සහ සංගීතා පෙම්වතුන් ලෙසින් රැගෙන ආවාය. කලින් කල මෙරට සිනමා තරු යුගළ හරහා යුගයන් බිහි වුනා සේම කමල් සංගීතා ද එවැනි යුගයක් තනන්නට 90 දශකයේ බිහි වූ යුගළයකි . නමුත් එකළ තිබු කාමරැල්ල, විකට රැල්ලේ සිනමාපට ආගමනය සමඟ අධ්‍යක්ෂකවරුන් බොහොමයක් ඒ පසුපස රැල්ලට දුවද්දී සමහර අධ්‍යක්ෂකවරුන් සංගීතා, කමල් වැනි තරු වල දායකත්වයෙන් අනර්ඝ නිර්මාණ ඉදිරිපත් කළාය. 2001 වසර වන විට එච්.ඩී . අධ්‍යක්ෂණය කරන ලද සිනමාපට ප්‍රමාණය 16ක් වූ අතර "කිණිහිරියා මල්" ඔහුගේ 17 වන සිනමා නිර්මාණය වේ. අධ්‍යක්ෂකවරයා මෙවර කතාව සඳහා තෝරාගනු ලබන්නේ ලිංගික වෙළඳාම පිළිබඳවයි. 

රේණුකා සහ සඳුනි එකම ගමේ හැදී වැඩුණු දෙදෙනෙකි. ඔවුන් ජිවත් වූ ගම සුවපහසු එකක් නොවිය. රේණුකාගේ පවුල සඳුනිගේ පවුකට වඩා ගමේ තරමක් ඉහළින් සිටි පවුලකි. සඳුනි ගේ ජීවිතය ගෙවුනේ කටුමැටි ගෑ බිත්තියෙන් තැනු දුප්පත් නිවසේයි. රේණුකා ඒ වන විටත් ඇඟලුම් ශාලාවක මහන රැකියාවක් කළාය. රේණුකා හට  සඳුනිගේ සහෝදරයා වූ විජිත සමඟ ප්‍රේමසම්බන්ධයක් තිබෙයි. තම නිවසේ තිබු දරිද්‍රතාවය නිසාම රේණුකා අක්කා සමඟ සඳුනි කොළඹට පැමිණෙයි. කොළඹට පැමිණීමෙන් අනතුරුව රේණුකා ගේ නවාතැනේම සඳුනි ආරක්ෂිතව නවාතැන් ගත්තාය. විජිත සහ රේණුකා අතර ඇඳී බැඳියාව සහ ඈ විස්‌කුරුත්තන් නගරයට වඩා තමාගේ දුප්පත් ගමට ආදරය කළාය යන්න ප්‍රේක්ෂකයන් වෙතට සමීප කරන්නට එච්.ඩී සෞම්‍ය , සිතට සැනසිල්ලක් ඇති කරන්නාවූ කවි එක් කළාය. බොහෝ ජනප්‍රිය නොවුනත් සිනමාපටය නරඹන විටදී එම කවි ගායනා කොතරම් විචිත්‍රවත් අයුරෙන් සිනමාව තුළ ගොඩ නංවා ඇතිද යන්න පැහැදිලි වෙයි. නෙලූ අධිකාරී විසින් එම කවි ගායනා කර ඇති අතර සිනමාපටයට ඇතුළත් වූ කවි ගායනාවන් ගෙන් මෙම කවිය මනරම්ය.

"මට වැවක් වෙන්න ඇත් නම් සුදු නෙළුම් මලක් යට

ගිමන් නිවා සිහිල සදා මගේ ගම්මානෙට 

නිකින් ලියේ ගින්දර දළු ගම වට කරගෙන 

දුප්පත්කම ගම දොරකොඩ වැරහැලි ඇඳ ගෙන...."

රත්න ශ්‍රි විජේසිංහ විසින් රචිත මෙම කවිය තුළ රේණුකාගේ ගම සහ පරිසරය ඔවුන්ගේ ජීවිතය ගැන ප්‍රේක්ෂකයන්ට විස්තරයක් ගෙන එන්නට හැකි විය. එයිට අමතරව පල්ලේගම හේමරතන හිමි විසින් රචිත "අඳුරේ රිදී රේඛාවක්" සහ ප්‍රීති රන්දෙනිය විසින් රචනා කරන ලද "සිතුවිලි වළාකුලේ" කවි පන්ති සිනමාපටය සඳහා එච්.ඩී තෝරාගෙන තිබිණ. ඒ හැම කවියකම සිනමාපටයට සහ කතාවට බද්ධව යමින් එයින් ප්‍රේක්ෂකයන්ට තවත් එහි රසය සිත් තුළට ජනිත කරවන්නට ඔහුට හැකි විය.

රේණුකා සහ සඳුනි නවාතැන් ගත් කුලී කාමරය අසල විශාල නිවසක් විය. එය සඳුනිට මාළිගාවක් බඳු විය. දිනක් එම නිවසේ වෙසෙන ප්‍රින්සි නම් තරුණිය හමුවීමත් සමඟ සඳුනිගේ ජීවිතය උඩුයටි කුරු වෙයි. ඈ තරුණියන්ව මෝඩයා කරගෙන ලිංගික වෙළඳාම් කරන තැරැව්කාරයන්ට බිලි දෙන ගැහැනියකි. සඳුනි ඇගේ වහසි බස් වලට හසුවෙන්නීය. දිනක් රේණුකා නොමැති දිනයකදී ප්‍රින්සි සඳුනි කැටුව සමාජ ශාලාවකට පිවිසෙයි. එහිදී මතින් මත් වන සඳුනි බිල ගෙවා ගැනීමටවත් නොහැකිව අන්ත අසරණ වෙයි. ඒ සියල්ලම ප්‍රින්සිගේ අරමුණෙන්ම සිදුවූ ඒවා වෙයි. එම මුදල් ගෙවා සඳුනිව බේරා ගනු ලබන්නේ ගඩ්ඩා විසින්ය. ඔහුද මේ ලිංගික වෙළඳාම් ජාවාරමේ තැරව්කරුවෙකි. එච්.ඩී විසින් සමාජ ශාලාව ඔහේ නොතියා ඒ තුළට ජව සම්පන්න ගීයක් එක් කළේ කොරින් අල්මේදා ද තිරයට එකතු කරගනිමිනි. ඔහු විටෙක "සැණකෙලියයි සඳ එළියයි" හරහා ක්ලැරන්ස් ගේ රුව තිරයට රැගෙන ආවා සේම කොරින් අල්මේදා ගේ රුවද සමාජ ශාලාවේ ගැයූ ගිය හරහා රැගෙන ආවාය. කොරින් ඒ ගීතය ගැයුවා පමණක් නොව හොඳින් රංගනය ඉදිරිපත් කෙරීය.

"නිදිමත මෙහෙ නෑ එන්නේ 

තනිකම නිදියන්නේ //

නිල් කළුවර වට රවුමේ 

අපි අපිමයි 

අපි අපිමයි 

අපි අපිමයි ඉන්නේ 


කඩවසම් අතින් අත අල්ලා 

නියෝන් එළි වැස්සේ 

වීදුරු පඩිපෙළ බැස යන්නේ 

කාගෙන්දෝ කාගෙන්දෝ 

ඒ ගැන තහනම් 

අපි අපිමයි 

අපි අපිමයි 

අපි අපිමයි ඉන්නේ"

දිලීප අබේසේකර විසින් රචිත මෙහි පද ගයනාව කොරින් අල්මේදා සමඟ රොනී ලීච් විසිනි. සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහයන් ගෙනි. මෙම ගීතය තුළද සමාජ ශාලාවට පැමිණෙන අය ගැනත් රහසිගත සම්බන්ධ දා ගොඩ නැඟෙන හැටිත් මේ සියල්ලම දන්නේ සමාජ ශාලාව තුල සිටින අපි අපිම තමයි යන්න ගීතය හරහා රැගෙන එයි. කිණිහිරියා මල් සිනමාපටයේ මෙම ගීතයත් ඉඳ හිට ගුවන් විදුලියෙන් අදටත් ප්‍රචාරය වන ගීයකි. 

එදා උදව්වට ආ ගඩ්ඩා අතින් සඳුනි විනාශ වෙයි. එක රැයකින් ඇගේ ජීවිතය සහමුළින්ම වෙනස් කිරීමට ගඩ්ඩා හට හැකි වෙයි. එයින් අනතුරුව සිල්වියා විසින් කරගෙන යන සම්බාහන වෙළඳාම සහ ලිංගික වෙළඳාම සඳහා බලෙන්ම ගඩ්ඩා සඳුනිව යොදවයි. පසුව ඈ තම අතට ලැබෙන සල්ලී හේතුවෙන් තම පවුල ට උදව් කිරීම සිතාම  සඳුනි එය තමන්ගේ වෘත්තීය කරගනීයි. මැෂිම පාගා අවංක සිතෙන් ගන්න තුට්ටු දෙකට වඩා ඈ හට මේ විෂ පිරුණු ලෝකයේ රස දැනෙන්නට ගන්නේ අනේක සල්ලිකාර පුරුෂයන් ගේ බැල්ම ඈ කෙරේ පැමිණීමත් සමඟය. දුප්පත්කම අමතකව ගිය සඳුනි විස්කුරුත්තන් ඇඳුමට ආශා විය. ගමන බිමන වාහන වලින්මය. ඈ සිල්වියාගේ සෙවනේ ජීන් ලෙසින් වෙස්ගත්තාය. නමුත් ඈ තම ජීවිතය ටිකෙන් ටික විනාශ මුඛයට රැගෙන යන බව එච්.ඩී ප්‍රේමරත්නයන් ප්‍රේක්ෂකයන්ට කළින්ම ගීතයක් හරහා කියන්නට සිතුවාය. එයත් ඔහුගේ සප්තකන්‍යා හි "දුහුවිල්ලෙන්" තුළින් ගෙනා දීප්තිගේ ජීවිතය වන්නකි. නමුත් වේග රිද්මයට නොව එය නිරෝෂා විරාජිනිගේ මාධුර්‍යය හඬ උපයෝගී කරගෙන රෝහණ විරසිංහයන්ගේ සංගීතය හරහා රැගෙන එන්නට සමත් විය. ගීතයේ පද රචනය වසන්ත කුමාර කොබවක විසින් සිදුකර තිබෙයි.

"සඳ මිරිඟු ගඟේ වැටිලා

ගං දිය බොර පාටයි.

විනිවිද නොපෙනෙන වතුරේ

රූ සැඟවෙයි දිය රකුසන් ගේ.

සඳ මිරිඟු ගඟේ වැටිලා ...


බොඳවෙන දිලිසුණු මායාවේ

සඳ ගිණි මල් සැණකෙළියේ

ඉගිලී සරනා බමනා දෙබරුන්ගේ

නාඳුනනා සුවඳයි....!


සඳ මිරිඟු ගඟේ වැටිලා

ගංදිය බොරපාටයි

විනිවිද නොපෙනෙන වතුරේ

රූ සැඟවෙයි දිය රකුසන් ගේ

සඳ මිරිඟු ගඟේ වැටිලා..


අහසට ඇස් නැති හෝරාවේ

ලොව ඇහැරී අකුණු සැරින්

එබිකම් කර විය සිදුරින්

මල් යහනාව දවයි

ගිණි ගත් සඳ මැලවෙයි

මල් යහනාව දවයි

ගිණි ගත් සඳ මැලවෙයි.." 

සඳුනි හට එඩ්වින් නම් වූ ඉහළ පැලැන්තියේ ධනවත් වයස්ගත පුද්ගලයෙකු හමුවන්නේ ඔය අතරේදීය . ඔහු සඳුනී ගේ වියපැහැදම් බලන අතර එඩ්වින් ගෙන් ලැබෙන සල්ලි වලින් පවුල නඩත්තු කාලය. ගමට යන සඳුනි ගමේ අයට වෙනස්ම අයෙකි. ග්‍රාමීයව සිටි තරුණිය වෙනුවෙට සිටියේ නාගරීකරණය වූ මිල මුදල් අග හිඟයක් නැති තරුණියකි. නමුත් රේණුකා එසේමය. ගමින් නගරයට ගියද ඈ තම චරිතයට, පවුලට කැළලක් නොවුණු අයුරෙන් ජිවත් විය. දිනක් විදෙස් ගතව සිට පැමිණෙන එඩ්වින් ගේ පුත්‍රයා වූ සංඛ හමුවීමත් සමඟ නොදැනුවත්ව ආදරයකට සඳුනි සහ ඔහු මුල පුරයි. නමුත් සංඛ ඈ සැබවින්ම කවුරුන්ද යන්න දැන  සිටියේ නැත. ඒ ගැන එඩ්වින් හට ඔහු සමඟ කියන්නට ද නොහැකිය.

දිනක් සඳුනිගේ ගමෙන් නගරයට එන පුද්ගලයෙක් හට ඇයව මුණ ගැසෙන්නේ සිල්වියා ගේ සම්බාහන මධ්‍යස්ථානයේදී ය. එතනින් මුළු ගමක්ම ගිනි තියන්නට ඔහුට හැකි විය. මේ හේතුවෙන්ම ගම්මු සඳුනිගේ නිවස වට කරමින් ගල් මුල් වලින් පහර දෙන්නේ ඔවුන්ට තවත් ලජ්ජා කරමිනි. මේ සියල්ල සමඟ සඳුනි ගේ පියා අකාලයේම මිය යයි. සඳුනි වැනි ලිංගික භාණ්ඩයක් තම පුතා වූ සංඛ හට විවාහ කර දෙන්නේ කෙසේද යන පැනය තුළ  එඩ්වින් හට පිළිතුරක් විය. ඒ ඈ මරා දමා හෝ තම පුත්‍රයාගෙන් වෙන් කිරීමට ඔහුට අවශ්‍ය විය. අවසානයේදී ඒ රාජකාරිය භාර වන්නේද ගඩ්ඩාටය. දෝතට ගත් විට කඩා හැලෙන කිණිහිරියා මලක පෙති සේම සඳුනි මරණයට පත් වන්නේද තට්ටු කිහිපයක් උඩ සිට වැටීමෙනි. ඒ පසුපස ගඩ්ඩා විය. තම පෙම්වතිය සාප්පු සංකීර්ණයේ උඩු මහලෙන් පහළට වැටුනේ කෙසේද යන්න ජීවත්ව සිටින සංඛ තවමත් සිතනවාට සැකයක් නැත. ඒ සියල්ලම සල්ලි නිසා සිදුවූ රහස් කුමන්ත්‍රණමය. 

"අහසට ඇස් නැති හෝරාවේ

ලොව ඇහැරී අකුණු සැරින්

එබිකම් කර විය සිදුරින්

මල් යහනාව දවයි

ගිණි ගත් සඳ මැලවෙයි

මල් යහනාව දවයි

ගිණි ගත් සඳ මැලවෙයි.." 

එච්.ඩි  මේ ගීතය හරහා කළින්ම ප්‍රේක්ෂක මනසට කාවද්දන්න හැදුවේ සිනමාපටයේ සඳුනිගේ ඉරණමයි. තම සිනමාපට සඳහා ඔහු සංගීතය සේම ගීත තෝරාගැනීම ගැන වැඩි සැළකිල්ලක් දක්වන ලද බව අප සැමට පිළිගත හැකි එකකි. එමෙන්ම ඔහු විසින් නිර්මාණය කරන ලද සිනමාපට වල යොදාගත් ගීත අතිශය ජනප්‍රියත්වයට පාත්‍ර වීමද ඔහුගේ තෝරාගැනීම් වල තිබුනා වූ විශ්ෂ්ඨ බව කියා කිව හැක. සිනමාපටයෙන් පටයට විවිධ වූ චරිත ප්‍රේක්ෂකයන් වෙතට රැගෙන පැමිණියා සේම ඔහු මෙරට සිනමාවේ ගීත අතරට ජනප්‍රිය  ගීත රැසක් බිහි කළාය. මේ හැම පසුපසම සිටි ගීත පද රචිකයින්, සංගීත අධ්‍යක්ෂකවරුන් මෙන්ම ගායක ගායිකාවන්ද ප්‍රධාන වශයෙන් හැම ගීතයක්ම සාර්ථක වන්නට හේතුවක් විය. ඒ ගෞරවය ඔවුන් සැමටම ලැබිය යුතුමය.

එච්. ඩී ප්‍රේමරත්නයන් ගේ සිනමාපට වල සැමවිටම යොදාගත්තේ දක්ෂ සහ ජනප්‍රිය රංගන ශිල්පින් ශිල්පිණියන් වීම විශේෂයකි. කුඩා චරිතයක් තුළ වුවද ඔහු එම භූමිකාවට යොදාගත්තේ දක්ෂ ශිල්පින්මය. එයට කදිම නිදසුනකි සිල්වියා ලෙසින් තිරයට පැමිණි මෙරට ජේෂ්ඨ රංගන ශිල්පිණිය අයිරාංගනී සේරසිංහ. එමෙන්ම ජෝ අබේවික‍්‍රම, විජය කුමාරණතුංග , රවින්ද්‍ර රණ්දෙනිය , ටෝනී රණසිංහ, රොබින් ප‍්‍රනාන්දු , අමරසිරි කලංසූරිය , ඇලෙක්සැන්ඩර් ප‍්‍රනාන්දු, කමල් අද්දරආරච්වි, මාලනී ෆොන්සේකා, ගීතා කුමාරසිංහ, සුවිනීතා වීරසිංහ, ශ‍්‍රියාණි අමරසේන, වසන්ති චතුරාණි , සබීතා පෙරේරා, අනෝජා වීරසිංහ, සංගීතා වීරරත්න වැනි දක්ෂයින් එච්.ඩී විසින් අධ්‍යක්ෂණය කළාය. ඔහුට මඟ හැරුණා නම් ඒ  ගාමිණි ෆොන්සේකා සහ ස්වර්ණා මල්ලවාරච්චි යන දක්ෂයින් දෙදෙනායි. එතුමා මෙරට සිටින ජේෂ්ඨ රංගන ශිල්පින් ශිල්පිණියන් බොහොමයක් ඔහුගේ සිනමාපට සඳහා දායක කරගෙන තිබෙයි.

'සිකුරු ලියා‘, ‘අපේක්ෂා‘, ‘දෙවනි ගමන‘, ‘පරිත්‍යාග‘ ‘සසරක පැතුම‘, ‘ හස්ති වියරුව‘, ‘ආදර හසුන‘, ‘ මංගල තෑග්ග‘, ‘සහරාවේ සිහිනය‘, ‘පාලම යට‘ , ‘කුල ගෙය‘, ‘ උඩු සුළඟ‘, ‘සප්ත කන්‍යා‘, ‘සෙයිලම‘, ‘වීසි දැල‘, ‘මන්දාකිණි‘ හා ‘කිණිහිරියා මල්‘ එච්.ඩී ප්‍රේමරත්නයන් විසින් අධ්‍යක්ෂණය කරන ලද සිනමාපට වෙයි. එයින් "උඩු සුළඟ" රිදී තිරයට නොපැමිණියත් රුපවාහිනී නාළිකාවක විකාශනය විය. ඔහු නිර්මාණය කරන ලද සිනමාපට වලින් ත්‍රිත්වයක් හැරෙන්නට අනෙක් සියලුම සිනමාපට ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වයට පාත්‍ර වූ සේම ඉන් සමහරක් සම්මානිත සිනමාපට විය. අදට වුවද ඒ සිනමාපට නැරඹීමට හැකියාව ඇත්තේ ඔහු සැබවින්ම මැද මාවතේ යමින් නිර්මාණකරණය වූ සිනමාවක් බිහි කල නිසාමය. 

සිනමාපට තුළ ගීත භාවිතාව ගැන කදිම උදාහරණ සපයන දක්ෂ එච්.ඩී ප්‍රේමරත්නයන් වැනි ජේෂ්ඨයින් මෙරට සිටින නව පරපුර අධ්‍යනය කළ යුතුම වෙයි. පාඨක ඔබ වෙතට සිනමා ගීතය පමණක් නොව එහි කතාව සාරාංශගත කරමින් රැගෙන ආවේ ද සිනමාපටය වෙනුවෙන් එම ගීත කොතරම් සාධාරණයක් කලාද යන්න පෙන්වීමටය. රැගෙන පැමිණි එච්.ඩී ප්‍රේමරත්නයන් ගේ සිනමාවේ ජනප්‍රිය ගීත මතකාවර්ජනාව කියවන ඔබට එම ගීත මේ හරහා ශ්‍රවනය කරන්නට නොහැකි වුවත් ඔබේ හදවතින් මනසින් එම ගීත තාලයට ගැයුවාට නම් සැකයක් නැත.. ඉතින් තවත් ජනප්‍රිය අධ්‍යක්ෂකවරයෙක් ගේ සිනමාව සහ ගීත හාවිතාව ගැන හරවත් ලිපියකින් නැවත හමුවෙමු. 

මෙම ලිපිය එච්.ඩී ප්‍රේමරත්නයන්ට උපහාරයක්ම වේවා!

සටහන: ගිහාන් තිලකරත්න (Giza Bee)

Art Street කලා වීදිය වෙනුවෙනි 

ජයාරූ අන්තර්ජාලයෙන් ලබා ගත් ඒවා බව සලකන්න. 

























 

















 







Post a Comment

0 Comments