Musasi ඉන්දියානු සිනමාපටය වෙනුවෙන් ලොව ප්‍රකට නර්තනාචාර්ය ප්‍රභූදේව සමග ලාංකීය නර්තනාචාර්ය අසංග ද එකතු වේ.


අසංග ද සිල්වා සමග Art Street - කලා වීදිය




පසුගිය දින කිහිපයේ "Musasi" ඉන්දියානු සිනමාපටය වෙනුවෙන් එහි ඇතුළත් වන ගීතයක් රූපගත කිරීමට මෙරටට ජනප්‍රිය සිනමාපට නළු සහ නර්තනවේදී  ප්‍රභුදේව ඇතුළු කණ්ඩායම පැමිණියා. මේ පැමිණීමත් සමඟ ලාංකේය නර්තන කලාවේ සිටින ඔහුගේ රසිකයින් ඉමහත් සතුටට පත්වුනා වගේම අපේ ලංකාවේ දක්ෂ නර්තන ශිල්පීන් මේ හා සම්බන්ධ වීමටත් වාසනාව උදා වුණා. ඒ අතර අසංග ද සිල්වා ප්‍රධානයි. "Musasi" සිනමාපටයේ ගීතය සඳහා මෙරට දක්ෂ නර්තන ශිල්පින් එකතු කරමින් එය මෙහෙයවීම සිදුකලේ අසංග විසිනුයි. ඉතින් මෙවැනි දුර්ලභ අවස්ථාවකට එකතු වෙන්න ලැබුණු අසංග ද  සිල්වා ගෙන් ඒ ගැන  Art Street කලා විදියේ අපි පොඩි කතා බහකට එකතු වුනා.


Question

අසංග, කොහොමද ඉතින් ජිවිතේ ?

Answer

හොඳින් වගේම සතුටෙන් ඉන්නවා. එත් හැමදාම වගේ කාර්යබහුල ජීවිතයට හුරුපුරුදු වෙලා.


Question

ආරංචි ඉන්දියාවේ ලොකු වැඩකට දායක වුණා කියලා ?

Answer

ඔව්, ඒක දුර්ලභ අවස්තාවක් කිව්වොත් මම නිවැරදියි. මෙරට දී රුගත කෙරුණ ඉන්දියානු සිනමාපටයක ගීතයක් වෙනුවෙන් අතිශය දක්ෂ රංගන ශිල්පී වගේම නර්තන ආචාර්‍ය ප්‍රභුදේව මාස්ටර් ඇතුළු කණ්ඩායම ලංකාවට පැමිණියා. ඉතින් ඒ වෙනුවෙන් ලංකාවේ ඉන්න දක්ෂ නර්තන ශිල්පින් මේ හා එකතු කරගෙන, ඒ නිර්මාණය වෙනුවෙන් සම්බන්ධීකරණය කිරීම මට පැවරුණා. ඉතින් මම හිතන විදියට ඒක මගේ වාසනාව සහ කැපවීමේ ප්‍රතිඵලයක් නිසා ලැබුන දෙයක් වෙන්න ඕන. 


Question

මයිකල් ජැක්සන් ගෙන් පසුව නර්තනයේ වඩාත් සුප්‍රසිද්ධ ප්‍රභූදේව මාස්ටර් හමුවෙන්න ඔබට අවස්ථාව ලැබුනා. කොහොමද දැනුනේ ?

Answer

ඇත්තටම ඔහුව හමුවීම ගැන කිව්වොත් ඒක මගේ පෙර පිනක් කියලයි මට හිතෙන්නේ. ඒක මට වචනවලින් විස්තර කරන්න අමාරුයි. ඒ තරම් සතුටක් කියන්න වචන නැහැ. ඉන්දියාවේ දමිළ සිනමාවේ ප්‍රභුදේව කියන්නේ දැවැන්තයෙක්. ඉතින් නර්තනයේ ප්‍රභුදේව කියන්නේ නර්තනයට දේවත්වයෙන් සළකන කෙනෙක්. මට ඔහු සමඟ ළඟින්ම වැඩකරන්න අවස්ථාව ලැබුණා.  ඉතින් ඒ ගැන ගොඩක් සතුටුයි වගේම නිහතමානි ආඩම්බරයකුත් හිතේ තියෙනවා. 


Question

මේ අනර්ඝ අවස්ථාව උදාවුණේ කොහොමද?

Answer

මම මේ ක්ෂේත්‍රයට පැමිණිලා දැන් වසර විසි පහකට කිට්ටුයි. මේ දේවල් එක්ක ක්ෂේත්‍රයේ මට මුණගැසුන සහ මම සමඟ වැඩ කරපු  පිරිස බොහොමයි. ඉතින් මගේ පරණම හිතවතෙක් වන  " Ziya " . මම හිතවත් කමට එහෙම තමයි කතා කරන්නේ.  ඔහු ශක්ති රූපවාහිනී නාළිකාවේ සේවය කරද්දී තමයි හඳුනාගත්තේ. දැන් ඔහු "Iyangaran Media Solution" කියන පුද්ගලික ආයතනයේ රාජකාරී කරන්නේ. ඒ හරහා " Ziya " මා ගැන තිබු විශ්වාසයත් සමඟ මට මේ සඳහා එක් වෙන ලෙසට ආරාධනා කළා. මම මේ අවස්ථාවට සම්බන්ධ වූ පසුව මට මුණගැසුනා මගේ තවත් පැරණි හිතවතෙක් වන කාර්තික්. එයා මගේ බිරිඳගේත් හොඳ මිත්‍රයෙක්. ඉතින් ඔවුන් දෙපළ තමයි මට මේ සුවිශේෂී අවස්ථාව සළසලා දෙන්නේ.


Question

ප්‍රභුදේව මාස්ටර් එක්ක වැඩ කරන එක පහසුද?

Answer

ඔහු සමඟ වැඩ කරන එක පහසු නැහැ. මොකද ආධුනිකයෙකුට හරි අමාරුයි එහෙම ලෙජන්ඩ් කෙනෙක් එක්ක වැඩ කරන එක. මොකද මටත් වසර විස්සක්  විසි පහක පමණ කාලයක් නර්තනයේ පළපුරුද්ද නිසාම තමයි මෙවැනි අවස්තාවක් ලැබුණේ. අපේ රටේ නර්තන ක්ෂේත්‍රයේ නර්තනය ගැන තියෙන දැනුම, කොහොමද සහය නර්තන ශිල්පීන් සමඟ වැඩ කළ යුතු ආකාර වගේ දේවල් ගැන දැනුමක් නැති වුනොත් ඒ වගේ නර්තනයේ විශාරදයෙක් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන එක ලේසී  නැහැ. නමුත් ප්‍රභුදේව කියන්නේ හරිම සරල වගේම ආදරණිය මනුස්සයෙක්. නමුත් ඒ වගේ නර්තනයේ අති දැවැන්තයෙක් එක්ක වැඩ කරන එක නම් ලෙහෙසි පහසු නැහැ. 


Question

අපේ නර්තනවේදීන් ගැන ප්‍රභුදේව මාස්ටර් ගෙන් ලැබුණේ මොන වගේ ප්‍රතිචාරයක්ද? 

Answer

ප්‍රභුදේව මාස්ටර් පළමුවතාව විය යුතුයි සිනමාපටයක් වෙනුවෙන් ලංකාවේ රූගත කිරීමක් සඳහා පැමිණියේ.  ඉතින් අපේ නර්තන ශිල්පීන් ගැන ඔහු හරි සිනහා මුසු මුහුණෙන් වගේම මං ඇතුළු මේ වියාපෘතියට සම්බන්ධ වුනු හැමෝම හරිම සුහදත්වයෙන් පිළිගත්තා. ඔහු අපේ නර්තන ශිල්පීන් සමඟ ළෙන්ගතු කමින් සහයෝගයෙන් සාර්ථකව කටයුතු කළා.

prabhu deva visit Sri lanka


Question

ලංකාවේ නර්තන ශිල්පීන් ශිල්පිණියන්ගේ ඒ වෙනුවෙන් ලබා දුන් සහයෝගය මොනවගේද?

Answer

මේ වැඩේට සම්පුර්ණ මුලිකත්වය අරගෙන සම්බන්ධවෙන්න ලැබුණම මම කල්පනා කළේ කාවද මේකට සම්බන්ධ කරගන්නේ කියලා.  ඉතින් ලංකාවේ ඉන්න දක්ෂ නර්තන කණ්ඩායම් කිහිපයකටම මේ සඳහා ආරාධනා කළා. නමුත් ආරාධනා කර පිරිසෙන් සමහර කණ්ඩායම් වලට ඔවුන්ගේ කාර්යබහුලත්වය නිසා සම්බන්ධ වෙන්න ලැබුණේ නැහැ. ඉතින් මේ වෙනුවෙන් සම්බන්ධ වුනු නර්තන ශිල්පීන් බොහොම වාසනාවන්තයි. අපේ ලංකාවේ නර්තන ශිල්පීන් ශිල්පිණියන් හැටක් හැත්තෑවක් වගේ ප්‍රමාණයක් මේ වැඩේට එකතු වුණා. 

සම්බන්ධ කරගත්ත හැම නර්තන ශිල්පියෙක්ම ශිල්පිණියක්ම ඔවුන්ගේ නර්තන හැකියාව පරික්ෂා කිරීමෙන් අනතුරුවයි තෝරා ගැනීම් සිදුකලේ. කිසිම අවස්ථාවක මැදිහත් වුනේ නැහැ පුද්ගලික හැඳුනුම්කම් උඩ මේ අවස්ථාවට සම්බන්ධ කරගන්න. අඩුම ගානේ මගේ නර්තන කණ්ඩායමේ කිසිම අයෙක් මේ වෙනුවෙන් තෝරන්න මම මැදිහත් වුනේ නැහැ. හැම කෙනෙක්ම තෝරා ගත්තේ ඉන්දියාවෙන් පැමිණි සහය අධ්‍යක්ෂකවරුන්. මට පැවරුනේ නර්තන කණ්ඩායම ඔවුන් වෙත ගෙන ගොස්  සම්බධකරලා මගේ රාජකාරිය අකුරට කරන එක පමණයි.  ඉතින් අපේ නර්තන ශිල්පීන් ඉතාමත් දක්ෂයි. ඔවුන් හොඳින් සහ මහන්සියෙන් පුරුදු පුහුණුවීම් කරලා, ඒ වැඩේ සාර්ථක කරගන්න ඔවුන්ගේ උපරිමයම ලබා දුන්නා කිව්වොත් හරි.


Question

ඒ වෙනුවෙන් සම්බන්ධ වූ නර්තන ශිල්පීන් ශිල්පිණියන්වත් මතක් කරමු නේද?

Answer

මේ වැඩේට සම්බන්ධ වුන නර්තන ශිල්පීන් අනිවාර්යෙන්ම මතක් කරන්න ඕනේ. Asanga Dance Studio හී මගේ නර්තන කණ්ඩායමේ ශිල්පීන් වගේම මගේ පළමු නර්තන ගුරුවරයා වන ලසන්ත ප්‍රමුදිත සිල්වා ගේ  Torrential නර්තන කණ්ඩාම , Cool Steps රමෝද් මාලක, භාතිය මදුවන්ත ඇතුළු ඔහුගේ කණ්ඩායම සහ තිමිර තිනේක්ෂ්ගේ කණ්ඩායමේත් තෝරාගත් සාමාජිකයින් පිරිසක් මේ සමඟ එකතු වුණා. සම්බන්ධ වුණු හැමෝම නම් වලින් සඳහන් නොකලත් ඒ හැමෝම ගොඩක් දක්ෂ නර්තන ශිල්පීන්. ඒ වගේම කළින් කිව්වා වගේම ඒ හැමෝම හරිම වාසනාවන්තයි. මේ වැඩේ සාර්ථක වෙන්න ඔවුන් ලොකු දායකත්වයක් සැපයුවා.


Question

බොහොමයක් දක්ෂ නර්තන ශිල්පීන් ඉඳලත් ඇයි අපිට බැරි හොඳ Dancing Film එකකට අත ගහන්න ?

Answer

ඔව්. ලංකාවේ මේ වන විට ගොඩක් හොඳ දක්ෂ නර්තන ශිල්පීන් ඉන්නවා. එත් මම හිතන්නේ ලංකාවේ තියෙන ආර්ථික ප්‍රශ්න මුල් කරගෙන තමයි මෙවැනි දෙයක් වෙනුවෙන් කවුරුන් හෝ ඉදිරිපත් නොවෙන්නේ. ලංකාව වගේ රටක මුදල් යට කරලා සිනමාපටයක් කළත්, ඒක ප්‍රේක්ෂකයන් නරඹන්න පැමිණුනේ නැත්නම් කියන බිය තියෙනවා.  එහෙම වුණොත් සිනමාපටය සාර්ථක වෙන්නේ නැහැ. අනික නර්තන කලාවට ආදරය කරන කෙනෙක්ටම තමයි මෙවැන්නක් බිහි කළ හැකි වෙන්නෙත්. ලංකාවේ දක්ෂයෝ ඇත්තටම ඉන්නවා. ඔවුන්ගෙන් ප්‍රයෝජනය ගන්න නම් මේ රටේ නිර්මාණ බිහි වෙන්නම ඕනේ. එත් හැමදෙයක්ම එකම තැන කරකැවෙනවා කියලයි හිතෙන්නේ. අපිට නැතත් මතු පරපුරටවත් ඉදිරි අනාගතයක් සිනමාව තුළින් ලැබේවිදෝ කියලා මගේ හිතේ සැකයක් තියෙනවා. 

prabhu deva visit Sri lanka


Question

ලංකාවේ නර්තන රියැලටි ගැන ඔබේ අදහස කුමක්ද?

Answer

ලංකාවේ රියැලටි තරඟ තියෙන්න ඕනේ. රියැලටි තිබීම හොඳයි. ඒ දේවල් නිසා තමයි හැංගිලා ඉන්න දක්ෂයන්ට, ඔවුන්ගේ දක්ෂතා එළිදක්වමින්  ජනතාව  අතරට එන්න ලැබෙන්නේ සහ දක්ෂයන්ට තව තැනක් ලැබෙන්නේ. මම  හොඳටම දන්නා කාරණයක් කියන්නම්. මට ලැබෙන අවස්ථා වලින් මම නිසි ප්‍රයෝජනයක් නොගත්තොත් මගේ පසු පස සිටින දක්ෂයන් මාව පසු කරගෙන යන බව දැනගෙන තමයි මම වැඩකරන්නේ. මම ආවෙත් රියැලටි තරඟයක් හරහා. ඒ සිරස ඩාන්සින් ස්ටාර් තරඟාවලියේ, නෙහාරා පීරිස් ගේ නර්තන සහයකයා විදියට. ඒ කාලේ අද තරම් රියලටි නර්තන තරඟ තිබුණේ නැහැ. අපි ඒ තරඟ වලට සහභාගී වෙලා අද නර්තන නිර්මාණකරුවෙක් විදියට දායකවෙන්න අවස්තාව ලැබුනෙත් ලංකාවේ රියැලටි වේදිකාව නිසා කියන එක පිළිගන්න වෙනවා.


Question

ඔබ මේ වන විට නර්තන ආචාර්යවරයෙක්, අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කරනවා.. ඒ ගැනත් සඳහන් කලොත්?

Answer

මම මේ වෙනකොට නර්තන ආචාර්යවරයෙක්, නර්තන නිර්මාණකරුවෙක්, නර්තන අධ්‍යක්ෂකවරයෙක් සහ නර්තන ශිල්පියෙක් ලෙසින් කටයුතු කරනවා. ඒ වගේම "Asanga Dance Studio" නමින් මගේම  නර්තන කණ්ඩායමක් පවත්වාගෙන යනවා. මේ හරහා මෙරට බොහෝ රියැලටි තරඟ වෙනුවෙන් මා අතින් නර්තන නිර්මාණයන් වෙලා තියෙනවා. ඒ වගේම රියැලටි නර්තන වේදිකාවේ විධායකයෙක් ලෙසත් මට කටයුතු කරන්න අවස්ථාව ලැබිලා තියනවා වගේම මෑත කාලයේ  පැවැත්වූ බොහොමයක් ජනප්‍රිය රියැලටි වැඩසටහන්  Voice , The Voice Teens, Voice ශ්‍රී ලංකා 2, හිරු ස්ටාර්, හිරු ස්ටාර් 2  හී  අර්ධ පුර්ව සහ අවසන් මහා තරඟ වලද මගේ අතින් නර්තන අධ්‍යක්ෂණයන් සිදුවුනා. මම නිහඬ චරිතයක් වගේම නිහඬව බොහෝ දේවල් මගේ නර්තන ක්ෂේත්‍රය තුළ කරලා තියනවා. ඒ වගේම ළඟදීම ප්‍රදර්ශනය වීමට තිබෙන සිනමාපටයක් වෙනුවෙන් නර්තන අධ්‍යක්ෂණයට සහ නිර්මාණයට මට එකතු වෙන්න ලැබුණා. 


Question

ඔබේ Dancing Academy එකට එකතු වෙන්න කැමති අයෙක්ට ඒ  සඳහා සම්බන්ධ විය හැකි ආකාරය කොහොමද? 

Answer

"Asanga Dance Studio" කියන නමින් තමයි මගේ නර්තන ඇකඩමිය පවත්වාගෙන යන්නේ. හැබැයි දැන් අවුරුදු එකහමාරකින් පන්ති පැවැත්වීමට නොහැකි වුණා. ඒ මගේ තිබුණ කාර්යබහුලත්වය එක්ක. හැබැයි මම බලාපොරත්තු වෙනවා මේ වසරේ ඔක්තෝම්බර් හෝ නොවැම්බර් යන මාස  දෙක ඇතුළත නව නර්තන පන්තියක් ආරම්භ කිරීමට. ඒ සඳහා ඕනෑම කෙනෙකුට පුළුවන් එකතු වෙන්න. ඒ ගැන ඉක්මනින්ම මම දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. 0774405055 කියන දුරකථන අංකය හරහා මට කතා කරලා විස්තර දැනගන්න පුළුවන්. ඕනෑම Event එකක් වෙනුවෙන් නර්තන අංගයන් අවශ්‍යනම් මේ දුරකථන අංකයෙන් මාව සම්බන්ධ කරගන්නත් ඕනෑම කෙනෙක්ට  පුළුවන්. ඒ වගේම නර්තනය ගැන මොනයම් හෝ දෙයක් දැනගන්න තියෙනවා නම් මගේ දැනුම හැටියට මට පිළිතුරු ලබා දෙන්නත්  පුළුවන්.


Q & A සමඟ අපිත් එක්ක මේ විදියට එකතු වුන අසංග ද  සිල්වා  ඔබට, ස්තූතී කරන ගමන්ම ඔබගේ ඉදිරි කලා ගමනට "Art street - කලා වීදිය" අපි සුභ පතනවා.



Q&A - ගිහාන් තිලකරත්න (Giza Bee)
සම්බන්ධීකරණය සහ සැකසුම - ලක්ෂාන් පෙරේරා
Art Street කලා වීදිය වෙනුවෙනි.


prabhu deva

prabhu deva
Film Director

prabhu deva
Iyngaran media solution pvt ltd Director

Asanga de silva




ඡායාරූප සහ වීඩියෝ දර්ශන අසංග ද සිල්වා Facebook ගිණුමෙන්

Post a Comment

0 Comments