ශනුද්‍රි සහ කවිදු සමඟ
Art Street - කලා වීදිය
අපි
Question
ඉතින් ශනුද්‍රි මේ දවස්වල හරිහරියට Dancing rehearsals නේද? ඒ ගැන මතක් කරමින් මේ දවස් වල ඔයාගේ ජීවිතේ ගැන කොහොමද කියලත් කිව්වොත්?
ඔව්... මේ දිනවල නම් වැඩි කාලයක් ගත කරන්නේ Dancing rehearsals වල. ඊට අමතරව හිරු නාළිකාවේ විකාශය වන දිවිතුරා සහ ITN නාලිකාවේ විකාශය වන කොළඹ ඉතාලිය කියන ටෙලිනාට්‍ය දෙකේම රූගත කිරීම් වලට එකතු වෙලා ඉන්නවා. නමුත් ඒ ටෙලිනාට්‍ය දෙක වෙනුවෙන් යොදවන කාලය ටිකක් අඩු කරලා, ලොකු කාලයක් Hiru Mega Stars 3 හී නර්තනයන් වෙනුවෙන් කැපවෙලා ඉන්නවා. ඒ වගේම මමත් කවිඳුත් තරඟාවලියේ අවසාන තරඟකරුවන් හතර දෙනා අතරට තේරී පත් උනා. ඉතින් අවසන් මහා තරඟාවලියේ අපි තරඟ කරන්න ලොකු කාලයක් අපේ පුහුණුවීම් වෙනුවෙන් වෙන්කරගෙන තියෙනවා.
Question
හිරු මෙගා ස්ටාර් එන්න කලින් මොකද කලේ?
Shanudrie's answer
හිරු මෙගා ස්ටාර් එන්න කලින් ටෙලිනාට්‍ය හතරකට එකතු වෙලා ඒවායේ රුගත කිරීම් වලට සහභාගී උනා. නමුත් Hiru Mega Stars පටන් ගන්න කාලයේදීම එයින් ටෙලිනාට්‍ය දෙකකම වැඩ ඉවර කරගන්න පුළුවන් උනා. ඉතින් සුපුරුදු විදියට ගොඩක් කාලය ගත කලේ රූගත කිරීම් වලට වගේම මගේ පවුලේ අය එක්ක කාලය ගත කරන්න.
Question
කවිදු ඔයාගෙ වැඩකටයුතු කොහොමද මේ දවස් වල?
Kavindu's answer
මේ දවස් වලනම් ගොඩක්ම මහන්සි වෙන්නේ Hiru Mega Stars 3 අවසන් මහා තරඟය වෙනුවෙන් නර්තන පුහුණුවීම් වලට. ඒ වගේම මම රංගනයෙන් දායක වන සිහින ගෙනෙන කුමරියේ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් වලටත් සහභාගී වෙනවා. තව මම Social Media වල influencer කෙනෙක්. ඉතින් ඒ වැඩ වලත් මම නිරත වෙනවා.
Question
ශනූ එක්ක Dancing practice කරද්දි සිදුඋන අමතක නොවනම සිද්දියක් මතක් කලොත් ?
Kavindu's answer
ශනු එක්ක Dancing practice කරනකොට එහෙම අමතක නොවන සිද්ධි කියලා විශේෂයක් නෑ. හැමදාම අපිට ඒ දවස විශේෂයි. එත් දැන් මතක් උන වෙලේ පොඩි දෙයක් කියන්නම්... rehearsal කරනකොට "අනේ මට කන්න බෑ,.. මම ඩයටින්ග්" කියලා ශනු කියනවා. ඒ උනාට අපි හැමෝටම වඩා ඒ වෙලාවට කෑම ටික කාලා තියෙන්නේ ශනු..... ඔය වගේ දේවලුත් ඉතින් වෙනවා. මොනවා උනත් අපි Dancing practice කරන්නේ හරිම සැහැල්ලුවෙන් සහ සතුටෙන්.
Question
ශනුද්‍රි ඔයාව කලාකරුවකු ලෙස ලාංකීය ජනතාව හඳුනාගන්නවා. ඔයාගේ නර්තන ජීවිතය ආරම්භ වන්නෙ කොහොමද කියලා අපි ඔයාගේ රසික රසිකාවියන්ට ටිකක් මතක් කලොත් ?
Shanudrie's answer
ගොඩක් අය මාව හඳුනන්නේ රංඟන ශිල්පිනියක් විදියට. මම නර්තනය කියන දේ පාසල් යන කාලේ ඉඳලා හදාරලා තියනවා. පුංචි කාලේ ඉඳලා මාව නර්තනය එක්ක පාසලේ ගොඩක් ජනප්‍රිය උන කෙනෙක්. ඉතින් ඒ කාලේ නර්තන තරඟ, පාසලේ විවිධප්රසංග වලට ගොඩාක් සහභාගී වෙලා තියනවා. ඒ වගේම තරඟ වලින් මම ජයග්‍රහණත් අරගෙන තියනවා. ඊට පස්සේ ඉතින් ගොඩක් ටෙලිනාට්‍ය වලට සම්බන්ධ උනාම නර්තනය කියන දේ මඟ හැරුණා. එත් හිරු නාළිකාවේම ප්‍රදර්ශනය වුන කිඳුරංඟණී කියන ටෙලිනාට්‍ය හරහා නර්තනයට පෙම් බඳින කෙනෙකුගේ චරිතයක් මට කරන්න පුළුවන් උනා. ඒ වගේම මින් පෙර මමයි මගේ අක්කා දිනක්ෂි එක්ක තවත් රූපවාහිනී නාළිකාවක නර්තන තරඟයක් සඳහා සම්බන්ධ වෙන්න ලැබුණා. එකෙනුත් අපි ජයග්‍රහණය කළා. දැන් ඉතින් Hiru Mega Stars 3 එක්ක නර්තනය කියන දේ මගේ ජිවිතේ කොටසක් වෙලා කිව්වොත් හරි.
Question
කවිදු, Hiru Mega Star 3 සමඟ මේ ආපු ගමන ගැන කියන්න දේවල් ඇති නේද?
Kavindu's answer
ඔව් ගොඩක් දේවල් කියන්න තියනවා. එත් කෙටියෙන් කියන්නම්කො.... Hiru Mega Stars එකට සම්බන්ධ වෙන්නේ ශනුද්‍රි මමයි දෙන්නම කතා වෙලා. මේ විදියට එකතු වෙලා අපි ආව ගමනේ කවදාවත් හිතුවේ නැහැ Finals දක්වාම අපිට යන්න ලැබෙයි කියලා. නමුත් නිහතමානී ආඩම්බරයක් තියනවා අපි දෙන්නටම... මොකද අපි Hiru Mega Stars වේදිකාවේ හැම Style එකකින්ම වාගේ නර්තනය ඉදිරිපත් කළා. දේශීය සම්ප්‍රදායික, ඉන්දියානු, බටහිර වගේම නව නිර්මාණ රැසක් අපිට වේදිකාව තුළ ඉදිරිපත් කරමින් ප්‍රේක්ෂකයන් අතරට යන්න හැකි උනා. ඉතින් අපිට අවසාන තරඟයේ ජයග්‍රහණය ලැබේවිද නොලබෙවිද කියන්න තාම දන්නේ නැහැ. එත් අපි දෙන්නා නිහතමානීව ආඩම්බර වෙනවා අපේ ආදරණිය ප්රේක්ෂකයන්ගෙන් අපට ලැබෙන ප්‍රතිචාර ඒ වගේම Votes එක්ක. මේ දේවල් අපිට ලැබෙනවා කියන්නේ අපි දිනුවා හා සමානයි කියලා අපිට ලොකු සතුටක් දැනෙනවා. මොකද ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලැබෙනවා කියන්නේ සම්මානයකට වඩා එහාට ගිය දෙයක් කියලා මම හිතනවා.... ඒ වගේම අපි ඉදිරිපත් කළා වූ විවිධ Dancing Styles එක්ක ශනුද්‍රි ට ලොකු අවස්ථාවක් ලැබුනා එයාගේ නර්තන හැකියාවන් තව තවත් දියුණු කරගන්න ඔපමට්ටම් කරගන්න. ඒ වගේම සාම්ප්‍රදායික නර්තනයක් වගේ කරනකොට අපිට කැපකිරීම් භාරහාර කරන්න සිදුවෙනවා. ඉතින් ඒ සාම්ප්‍රදායික පිළිවෙත් ශනුද්‍රි හරිම ආසාවෙන් ඉෂ්ඨ කළා. ඉතින් මේ හැමදේම එක්ක තරඟාවලිය පුරාම නිවැරදි අයුරෙන් නර්තනය ඉදිරිපත් කරන්න ශනුද්‍රි ගොඩක් කැප කිරීම් සිදුකළා වගේම පුහුණු උනා. ඒ වගේම කියන්න ඕනේ Hiru Mega Stars අපි දෙන්නගෙම අනාගතේට ලොකු අඩිතාලමක් උනා කියලා. මම හිරු නාලිකාවේ දමිත් අයියව මතක් කරන්න ඕනේ. මොකද අපි දෙන්නට Hiru Mega Stars 3 එකට සහභාගී වෙන්න ආරාධනා කලේ දමිත් අයියා.
Question
ශනූ ඒ ප්‍රශ්නයම මම ඔයාගෙනුත් ඇහුවොත්? සහ මේ ගමනේ ඔයාට එල්ල වූ අභියෝග වගෙම ඒවට ඔයා මුහුණ දුන් ආකාරය ගැනත් කතා කරොත්?
Shanudrie's answer
ඔව්.. Hiru Mega Stars පටන් අරගෙන දැනට මාස හයක් විතර වෙනවා. ඒ කියන්නේ පෙබරවාරි අන්තිම මාර්තු මුල වගේ තමයි පළවෙනි තරඟ වටය ආරම්භ කලේ. ඒ කාලේ ඉඳලා මේ වෙනකොට අපි විවිධ වූ නර්තනයන් 13ක් වේදිකාව මත ඉදිරිපත් කරලා තියනවා. ඉතින් මමයි කවිඳුයි Team එකක් විදියට හැමදාම හැම නර්තනයකටම අපේ උපරිමය වේදිකාව මත ප්‍රදර්ශනය කරන්න වෙහෙසක් දැරුවා. ඉතින් ගොඩක් සතුටුයි මේ ආව ගමන ගැන... අපි නර්තනයේ යෙදුන හැම අංගයක්ම ප්‍රේක්ෂකයන් අතරට ගියා වගේම YouTube එක හරහා ඒ නර්තන වීඩියෝ බොහොමයක් Trending බවට පත් උනා. ඉතින් එහෙම වෙනකොට අපිට දැනෙනවා අපිට ප්‍රේක්ෂකයන් කොච්චර නම් ආදරේද කොච්චර නම් කැමතිද කියලා වගේම අපෙ නර්තනයන් කොච්චර අගය කරනවාද කියලා.
අභියෝග ගැන කිව්වොත් මේ හැමදෙයක්ම අපිට අභියෝගයක්. සමහර තැන් වලදී අපි වැටුණා... එත් සමහර ගොඩක් තැන් වලදී අභියෝග හමුවේ මම තමයි වැටෙන්නේ. මේ හැමදේකටම කවිඳු තමයි මට උදව් කරනේ. කවිඳු කියන්නේ එයාගේ වැඩේ professional විදියටම කරන කෙනෙක්. ඉතින් ඒක නිසා හරි ලේසියි මගේ අනෙකුත් කාර්යබහුල වැඩත් එක්ක කවිඳු එක්ක කාල වේලාවන් බෙදාගෙන නර්තනයන් පුරුදු පුහුණු වීම් කරන්න. පුහුණුවීම් වලදී ලොකුවට හැමදේම ඔලුවට බරක් කරගන්නේ නැතුව හරිම Relax එකේ තමයි ඒ දේවල් කරන්නේ. ඉතින් මුලින් මම කිව්වා වගේම හැම වටයක්ම අපිට අභියෝගයක්. මොකද අපිටම තමයි නර්තනය කරන්න තියන අංගය එහෙමත් නැත්නම් Theme එක හදාගන්න වෙන්නේ. ඉතින් ඊළඟට අපි වේදිකාවට රැගෙන යන Theme එක මොන වගේ වෙන්න ඕනෙද, අනෙක් තරඟකරුවන්ට වඩා වෙනස් විදියට ඔවුන්ටත් අභියෝගයක් වෙන විදියටත් ප්‍රේක්ෂකයන් අතරට නැවුම් විදියට ඉදිරිපත් කිරීමක් කරන්නේ කොහොමද කියලා සැලසුම් කරන එකම අපිට අභියෝගයක් උනා. ඉතින් මම හිතනවා අවසන් හතර දෙනා අතරට අපිට එන්න, ඒ හැම අභියෝගයක්ම අපි දෙන්නා ජයගන්න ඇති කියලා.
Question
Hiru Mega Stars 3 ඉදිරි ගමන ගැන ඔයාට, ඔයාගෙ රසික රසිකාවියන්ට මොනවද කියන්න තියෙන්නෙ?
Shanudrie's answer
Hiru Mega Stars ගැන කතා කලොත් අපිට ආදරය කරපු අපිට Votes කරපු හැම රසික රසිකාවියක්ටම බොහොම ස්තුතී කියලා මුලින්ම කියන්න ඕනේ. ඒ වගේම අපිත් ගොඩක් ආදරෙයි ඒ ආදරේට.... මොකද Facebook එකට ගියත් Instagram එකට ගියත් අපේ Inbox message වලින් පිරිලා තියෙන්නේ අපේ නර්තනය බලලා ඒ ගැන අගය කිරීම් කරලා. ඒවත් එක්කම අපි වෙනුවෙන් එක මනාපයක් හරි website වලින් SMS වලින් යවපු හැමකෙනෙකුටම නැවත වාරයක් ස්තුතී කියන්න ඕනේ. ඉතින් Hiru Mega Stars අපේ ඉදිරි ගමනත් තීරණය වෙන්නේ ඔයාලාගේ ආදරය මත. අපේ ආදරණිය රසික රසිකාවියන්ම තමයි මෙතනින් එහාට වෙනදා වගේම මොනවගේ තීරණයක් ගන්න ඕනෙද කියලා හිතන්න ඕනේ. මොකද අපිට Finals වලදී පළවෙනි වටය සහ දෙවන වටය විදියට අපේ නර්තනයන් දෙකක් ඉදිරිපත් කරන්න තියෙනවා. ඉතින් අවසාන වටයේ නර්තනය කරන යුගල හතරම පළවෙනි වටයේ නර්තනය ඉදිරිපත් කරලා ඔයාලාගේ Vote වලින් තමයි වැඩිම Votes ලබා ගන්නා තරඟ කරුවන් යුගල දෙක අවසාන තරඟය සඳහා තෝරාගන්නේ. අවසන් තරඟය සඳහා තෝරාගන්නා යුගළ දෙකත් නර්තනය අවසානයේදී ලබා ගන්නා Votes අනුව තමයි ජයග්‍රහණය සිදුවෙන්නේ. ඉතින් කොහොම වෙයිද දන්නේ නැහැ. කොහොම උනත් අපි හොඳ තරඟයක් අභියෝගයක් අනෙක් තරඟකරුවන්ට දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඒ හා සමානව ඔයාලාගෙනුත් අපිව බලාගෙන ඉන්න අයගෙනුත් support එක ඉල්ලනවා. මොකද ඔයාලා නිසා තමයි අපි මෙතෙක් දුර Hiru Mega Stars 3 වේදිකාව තරණය කලේ. ඉතින් මෙතනින් එහාට ජයග්‍රහණය වෙනුවෙන් යන්නත් ඔයාලගේ support එක අපි දෙන්නම බලාපොරොත්තු වෙනවා.
Kavindu's answer
ඔව් අපි දැන් අවසන් වටයට තේරිලා ඉන්නේ. ඉතින් මේ වෙනකොට අපි Dancing acts 13ක් කරලා තියනවා. ඒ අතරින් කළු කුමාර, සප්ත භාර්යාවෝ, Mirror Mirror Act එක, සුදු ඇත් ගොවුවෙක් කියන ගීතයට කරපු නර්තනය, Fire Frock act එක වගේ දේවල් ගොඩක් පිරිසක් අගය කළා වගේම ලංකාවේ වගේම වෙනත් රටවල ඉන්න අය අතරත් අපේ දක්ෂතා දැකගන් අවස්තාව ලැබුනා. අවසාන තරඟයේදීත් වෙනස්ම අලුත් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මම දැන්ම ඒ ගැන ඉඟියක් දෙන්නේ නැහැ. එහෙම උනොත් එක හැමෝටම Surprise එකක් වෙන්නේ නැහැනේ. ඒ නිසා අනිවාර්යෙන්ම අවසාන නර්තනයන් දෙකම වෙනස්ම එකක් වේවී. ඉතින් අපිත් එක්ක කරට කර තරඟ වදින අනිත් තරඟ කරුවනුත් දක්ෂයි. අපි අපේ උපරිම දක්ෂතාවයත් එක්ක වෙනස්ම විදියකට එයාලට අභියෝගයක් වෙන්න අපි සූදානම්වනවා. ඒ වගේම අපි මේ තරම් දුරක් ආවේ කිසිම Golden Buzzer එකක්වත් නැතිව ඔයාලාගේ Votes එක්ක. ඇත්තටම ගොඩක් සතුටුයි ඒ ගැන. අවසාන තරඟය වෙනුවෙනුත් ඒ ආදරය අපි ඔයාලා හැමෝගෙන්ම බලාපොරොත්තු වෙනවා.
Question
ඔයාලා දෙන්නා ගජ මිතුරන් බව නොරහසක් නේ. කොහොමද දෙන්නා අඳුනගත්තේ? ඒ ගැන අපිට මතක් කරොත්?
Kavindu's answer
මම හිතන්නේ අපි දෙන්නා අඳුන ගත්තේ 2015 හෝ 2016 වගේ. අපි දෙන්නම එකම වයසේ. අපි දෙන්නා මුලින්ම හම්බ වෙන්නේ නාළිකාව කරපු රියලැටි තරඟයකදී. ශනුද්‍රි එක්ක දිනක්ෂි අක්කා තමයි එකේ තරඟයට ඉදිරිපත් වෙලා හිටියේ. මුලින්ම නම් දිනක්ෂි අක්කා තමයි මගේ එක්ක යාළු උනේ. මම එතකොට ගයාන් ශ්‍රීමාල් අයියාගේ Dancing Team එකේ තමයි හිටියේ. ඉතින් ඔහොම ඉන්න අතරේ මම දිනක්ෂි අක්කගේ ගෙදර යනවා. එතකොට තමා මමයි ශනුද්‍රියි ගොඩක් යාළුවො වෙන්නේ. ඊට පස්සේ ඉතින් Tiktok කළා. Dance covers වගේ ඒවා අපි දෙන්නා එකතු වෙලා කළා. ඒ කාලේ ඉඳලම අපි ඉතින් හරිම විනෝදෙන් ඉන්න හොඳ යාළුවො. ඒ යාළුකම තමයි අදටත් මේ විදියට තියෙන්නේ. ඒ වගේම Hiru Mega Stars 3 හරහා අපේ යාළුකම තව තවත් වැඩි උනා කිව්වොත් හරි....
Question
පවතින Covid 19 වෛරසය සමග වර්තමාන තත්වය තුල ලාංකික ජනතාවට කියන්න මොනවහරි ඇති?
Shanudrie's answer
Covid 19 කියන වෛරසය අපි හිතුවටත් වඩා වේගයෙන් රට පුරාම පැතිරීගෙන යනවා. ඉතින් මම දකින විදියට වෙනත් රටවල මේ Covid තත්වයෙන් ගැළවිලා සාමාන්‍ය විදියට ජීවිතයක් ආයේ ගත කරනවා. ඉතින් ඒ වගේ ලොකු රටවල් වලට පුළුවන් නම් අපිටත් පුළුවන් Covid 19 පරදවන්න. මොකද අපි පුංචි රටක් වගේම අපේ මිනිස්සු එකමුතුයි. ඉතින් අපි හැමෝටම එකතු වෙලා වෛරසය පරදවන්න පුළුවන්. අපි දැනගන්න ඕනේ අපි යන එන තැන් ගමන් බිමන් අඩු කරන්න. මිනිස්සු එක්ක ගැවසෙනකොට ආරක්ෂාකාරී වන්න. මේ දවස්වල හැමෝටම Covid 19 වෙනුවෙන් ලබා දෙන එන්නත් ලබා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් එන්නත ලබා ගන්න. කොයිම මොහොතමවත් සංසඳනය කරන්න එපා හොඳ එන්නත මොකක්ද නරක එන්නත මොකක්ද කියලා. දොස්තරවරුන් හරහා එහෙමත් නැතිනම් රූපවාහිනිය හරහා අපට උපදෙස් ලැබෙනවා හැමවෙලේම එන්නත් කරගන්න කියලා. ඉතින් ඒවා බලලා හැකි ඉක්මණින්ම එන්නත ලබා ගන්න කියලා අපිට ආදරය කරන හැමෝගෙන්ම මම ආදරෙන් මේ මේ අවස්ථාවේ ඉල්ලනවා. මොකද අපි තව අඩියක් ඉස්සරහට යන්න පුළුවන් මේ වෛරසය පරදවන්න. තව දෙයක් තමයි අපි හැමෝම තරඟයකට වඩා ඔයාලව පිනවන්න තමයි මේ විදියට නර්තන වැඩසටහන් උනත් කරන්නේ. මොකද ගොඩක් අය කියනවා අපි ගෙවල් වලට හිර වෙලා ඉන්නේ කියලා. ඉරිදා වෙනකම් ඉන්න බෑ අපේ නැටුම් බලන්න. එහෙමත් නැතිනම් අපි රංගනයේ නිරත වන ටෙලිනාට්‍ය බලන්න. ඉතින් ඒවත් එක්ක හරිම සතුටුයි අපිට ප්‍රේක්ෂක ඔයාලගෙන් ඒ විදියට ලැබෙන ප්‍රතිචාර වලට. ඔයාලව පිනවන්න සතුටුකරන්න අපිත් හරිම පරිස්සමට තමයි අපේ කටයුතු කරගෙන යන්නේ. ඉතින් ඔයාලටත් කියන්නේ පරිස්සමට අත්‍යවශ්‍ය දේවල් විතරක් කරලා මේ දවස් ටික හෙමින් පරිස්සමට ගතකරන්න කියලා.
Question
ඉදිරියට ඔයාලාව අපිට දකින්න ලැබෙන නිර්මාණ ගැන කතා කළොත්?
Shanudrie's answer
මේ දවස්වල ඉතින් දිවිතුරා ටෙලිනාට්‍යයේ රංගනයෙ නිරතවනවා. ඒ වගේම කොළඹ ඉතාලිය කියන ටෙලි නාට්‍යයේත් මාව දැකගන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනේ Hiru Mega Stars අවසන් වන තුරු මම කිසිම වැඩක් භාරගෙන නැහැ. මොකද මේ වෙනුවෙන් තමයි ගොඩක් මහන්සි වෙලා කැපකිරීම් එක්ක නර්තන පුහුණුවීම් සිදුකරන්නේ. තවත් දෙයක් කියන්න ඕනේ, නුදුරේදී ම ප්‍රදර්ශනයට මම රංඟනයෙන් දායක වුනු ආදරණිය ප්‍රාර්ථනා සිනමාපටය දැකගන්න අවස්තාව ලැබෙනවා. නමුත් මේ Covid 19 හේතුවෙන්ම ටිකක් විතර ප්‍රදර්ශනයට බාධා එල්ල වෙලා තියනවා. නමුත් අපි සිනමාපටයේ ඇතුළත් වන අපුරු ගීත 7ක් පමණ විටෙන් විට අන්තර්ජාලයට මුදාහරිනවා. මේ වෙනකොටත් ගීත කිහිපයක්ම ඔයාලට YouTube එකෙන් නරඹන්න පුළුවන්. ආදරණිය ප්‍රාර්ථනා අධ්‍යක්ෂණය කලේ වාසව බදුගේ විසින්. මෙහි මා සමඟ රාහුල්, නෙත්මි රොෂෙල් රංඟනයෙන් එකතු වෙලා තියෙනවා. තවත් දෙයක්... ආදරණිය ප්‍රාර්ථනා සිනමාපටය ලාංකීය ප්‍රේක්ෂකයන්ට කළින් පිටරට සිටින ශ්‍රීලාංකික ප්‍රේක්ෂකයන්ට නරඹන්න අවස්ථාවක් ලැබේවී. ඒ වෙනුවෙන් මේ දිනවල කටයුතු සුදානම් කරනවා. ඒ ගැනත් මම ඉක්මනටම කියන්නම්.
Kavindu's answer
මේ දවස් වල Hiru Mega Stars වෙනුවෙන් තමයි දවස වෙන් වෙන්නේ සහ සිහින ගෙනෙන කුමරියේ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් වලට තමයි සහභාගී වෙන්නේ. මගෙත් තව ඉස්සරහට නිර්මාණ කිහිපයකම වැඩ කරන්න තියෙනවා.
Question
ශනූ අවසාන වශයෙන් ලාංකීය කලාව තුල ඔයාගේ අනාගත බලාපොරොත්තුවක් මතක් කරොත්?
Shanudrie's answer
මම.... මෙහෙමයි.. මම අවුරුදු 5කින් මෙහෙම කරනවා 10කින් මෙහෙම කරනවා කියලා හිතන කෙනෙක් නෙමෙයි. මට තියෙන්නේ පොඩි පොඩි Plans. මගේ එක Plan එකක් තමයි Hiru Mega Stars 3 සාර්ථකව නිමා කරන එක. අන්න ඒ වගේ පොඩි පොඩි plans එක්ක ජිවත්වන කෙනෙක් මම. ඉතින් ඒ වගේ ගොඩක් පොඩි පොඩි plans මගේ හිතේ තියෙනවා. කොහොම හරි කලාව තුල හැමෝටම මතක හිටින කෙනෙක් විදියට ඉන්න ලැබුනොත් මං හිතන්නේ මට ඒක ප්‍රමාණවත්. මට අදටත් ආදරය කරන පිරිසක් ඉන්නවා. මං කරන දේ හරියට අගය කරන ගොඩක් අය ඉන්නවා. ඉතින් මට ඕනේ ඒ ආදරේ එක්කම හැමදාටම මගේ නම මිනිස්සුන්ගේ හිත් වල තැම්පත් වෙලා පවතින චරිතයක්, කලාකාරණියක් වෙන්න. ඒ වගේම ලැබෙන හැම චරිතයක් වෙනුවෙන් මගේ උපරිමය ලබා දෙන්නත් කාටවත් කරදරයක් නැතුව හිතක් වත් රිද්දන්නේ නැතුව මේ ක්ෂේත්රයේ දිගු ගමනක් යන්න තමයි මගේ එකම බලාපොරොත්තුව.
Question
අවසන් වශයෙන් Hiru Mega Stars 3 හී කිරුළ අභියසටම ඔයාලා දෙන්නම ඇවිල්ලා. ඉතින් ඔයාලගෙ ආදරණීය රසික රසිකාවියන්ට කියන්න මොනවාහරි ඇති නේද?
Kavindu's answer
මේ දවස්වල පැතිරෙන Covid 19 නිසා ඔයාලා හැමෝම ගෙදරට වෙලා පරිසමට ඉන්නේ. ඉතින් ඔයාලාගේ Tress එක නැති කරන්න ගොඩක් වෙලාවට ඔයාලා කරන්නේ රුපවාහිනිය නරඹන එක. ඉතින් අපි කලාකරුවන් විදියට ඔයාලාව පිනවන්නේ ඔයාලට සතුටක් රැගෙන එන්න වගේම පොඩි හරි ඔයාලගේ මනසට සැහැල්ලුවක් රැගෙන එන්න. ඔයාලාගේ සතුට තමයි අපෙත් සතුට. ඒ වගේම ඔයාලාගේ ප්‍රේක්ෂක ආදරය නැත්නම් අපි වගේ අයව බිහි වෙන්නේ නැහැ. ඔයාලට ගොඩක් ස්තුතී අපිව Hiru Mega Stars 3 හරහා අවසාන මහා තරඟය වෙනකම් රැගෙන ආවාට. ඉතින් ඔක්තෝම්බර් 02 දා තමයි අවසන් තරඟය පැවැත්වෙන්නේ. ඒ දිනයේදීත් අපි දෙන්නට Vote කරලා ජයග්‍රහණය කරන්න ඔයාලාගේ ආදරය ලබා දෙන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ගොඩක් ස්තුති අපිට ආදරය කරන හැමෝටම වගේම අපිත් ගොඩාක් ආදරෙයි, වගේම මේ අවස්ථාවේ නැවතත් ස්තුතිය ඔයාලා වෙනුවෙන් පුදකරන්න කැමතියි. තව එක වටයි අපිට තරඟ කරන්න තියෙන්නේ. ඉතින් වෙනදා වගේම අපිත් එක්ක අපිට ශක්තියක් වෙලා Hiru Mega Stars 3 කිරුළ දක්වා යන්න ඔබේ ආදරය, Vote එක අපිට ලබා දෙන්න. අපිට ආදරය කරන හැමෝටම ගොඩක් ගොඩක් ස්තුතී. හැමදාමත් අපි එක්ක ඉන්නවාට ගොඩක් ආදරෙයි.
කාර්යබහුල වෙලාවකදී උනත් අපිත් එක්ක මේ විදියට එකතු වුන ඔයාලා දෙන්නටම ස්තූතී කරන ගමන්ම Hiru Mega Stars වේදිකාව තුළත් තව තවත් අපූරූ නර්තන නිර්මාණයන්ගෙන් වේදිකාව ආලෝකමත් කරන්නට වගේම එහි ජයග්‍රහණය ලබන්නටත් Art street - කලා වීදිය අපි ඔයාලා ගේ ඉදිරි අනාගත කටයුතු වලට සුභ පතනවා.
_Giza Bee_
1 Comments
😋😋😍
ReplyDelete