ගායනයත්, නිවේදනයත් ජීවිතය කරගත් තාරුණ්‍යයේ කඩවසම් වැඩසටහන් නිශ්පාදක "ගීත් මධුසංඛ" සමඟ Art Street අපි - (Q&A)


ගීත් සමඟ


Art Street - කලා වීදිය

අපි






Question
ආයුබෝවන් ගීත්! මුලින්ම ඔබ ගැන සහ ඔබේ පවුල ගැන කෙටියෙන් කිව්වොත් ?

Answer
ආයුබෝවන්..! මම ගීත් මධුසංඛ තල්ගහගොඩ. මම වෘත්තියෙන් වැඩසටහන් නිශ්පාදකවරයෙක්, නිවේදකයෙක් සහ ගායකයෙක්. මගේ ගම මහනුවර. පිලවල මහා විද්‍යාලය, ශාන්ත අන්තෝනි විද්‍යාලය, ධර්මරාජ විද්‍යාලය කියන පාසැල් 3න්ම මම අධ්‍යාපනය හැදෑරුවා. මගේ පවුලේ මමයි, අම්මයි, තාත්තයි, නංගිලා දෙන්නයි. තාත්තා විශ්‍රාමික ගුවන් හමුදා නිළධාරියෙක්. අම්මා ගෘහනියක්.




Question
පාසැල් කාලයේදී කොහොමද ගීත් කලාව වෙනුවෙන් තිබුණු දායකත්වය?

Answer
මම පාසැල් කාලයේ කලාවට වගේම ඉගෙන ගන්නත් ගොඩක් දක්ශ ශිෂ්‍යයෙක්. පාසැලේදිත් කලාව පැත්තෙන් බාහිර ක්‍රියාකාරකම් ගොඩකට මං සම්බන්ධ වෙලා හිටියා. ඒ වගේම අධ්‍යාපන කටයුතුත් ඉතාමත් හොඳින් කලා. මම උසස් පෙළ කරන්න තෝර ගත්තෙත් විද්‍යා විශය ධාරාවෙන්. නමුත් මම හිතනවා මම කලාව සහ අධ්‍යාපනය කියන දේ මගේ ජීවිතයේ කඩයිම් කාල සීමාවේදීම පටලව ගත්තා කියලා. මොකද උසස් පෙළ කාලයේ මගක් එද්දි මම රියැලිටි තරඟ වලට සහභාගි වෙන්න උමතුවක් වගේ දෙයකින් පෙළුනා. ඒ නිසා අර මගේ ගාව හිටිය දක්ශ ශිෂ්‍යයා මගෙන් ගිලිහෙන්න ගත්තා. ඒ නිසාම මට උසස් පෙළ සාර්ථකව කරගන්න ලැබුණේ නෑ. අසමත් නෙවෙයි. නමුත් සාර්ථක වුණේ නෑ. කොහොම නමුත් ඊට පස්සේ මම ICBT Campus එකෙන් වැඩිදුර අධ්‍යාපනය හදාරනවා. ඒ අතර තවත් රියැලිටි තරඟවලට සම්බන්ධ වෙනවා. ඒ ආව ගමන තමයි අද යම් ස්ථාවරයක් ගොඩ නගාගෙන ඉන්නේ. හැබැයි අද යම් පසුතැවීමක් තියෙනවා අධ්‍යාපනයත් කලාවත් සමබරව කරගන්න බැරිවීම සම්බන්ධව.




Question
ගීත් මාධ්‍ය ක්ශේත්‍රයට සම්බන්ධ වෙන්නේ කොහොමද?

Answer
මම මුලින්ම ස්වර්ණවාහිණියේ විකාශය වුණු හපන් පැදුර වැඩසටහනින් තමයි මාධ්‍යයට පිවිසෙන්නේ. ඒ තමයි මම ගායකයෙක් විදියට කැමරාවක් ඉස්සරහ ගායනා කරන පළමු අවස්ථාව. මතක් කරන්න ඕනේ ජැක්සන් මාමා, අසේළ මාමා, තුසිත සර්. ඒ හැම කෙනෙක්ගේම මග පෙන්වීම මත තමයි මට මාධ්‍ය තුළ අත්පොත් තබන්න අවස්ථාව ලැබෙන්නේ. ඊට පස්සේ දෙරණ ඩ්‍රම් ස්ටාර් තරඟාවලිය, හිරු ස්ටාර්, සියත වොයිස් ඔෆ් ඒශියා, සිරස ද වොයිස් ශ්‍රී ලංකා කියන රියැලිටිවල මම තරඟ කරනවා. ඒ හරහා මට ලංකාවේ අති දැවැන්ත කලාකරුවන්, අධ්‍යක්ෂකවරුන්, නිශ්පාදකවරු රාශියක් අඳුන ගන්න ලැබෙනවා. ඒ ඇඳුනුම්කම තමයි මට චැනල් සී නාලිකාවේ නිවේදකයෙක් වෙන්න අවස්ථාව හිමි කරලා දෙන්නෙත්. හැබයි මේ ගමන දිනකින් දෙකකින් වසරකින් දෙකකින් ආව ගමනක් හෝ ලේසියෙන් පහසුවෙන් ආව ගමනක් නෙවෙයි. ලොකු කට්ටක් දුකක් වගේම හිත් රිදීම්, පසුතැවිම් රාශියක් එක්ක ආව ගමනක්. තව යන්නත් ගොඩක් දුර තියෙනවා. ඒ ගමනත් මම මේ විදියටම ඉවසීමෙන් කැපවීමෙන් යනවා.





Question
සමහරු කියනවා ගීත් තරමක් අහංකාර, හරිම වචනයෙන් කිව්වොත් ලොකු Seen එකේ ඉන්න කෙනෙක් කියලා ඒක ඇත්තද?

Answer
මෙහෙමයි. ගොඩක් අය කියන කතාවක් ඕක. හැබැයි ඒක මාව දන්න, මාව ආශ්‍රය කරන අය කියන කතාවක් නම් නෙවෙයි. ගොඩ අය කියන්නේ මගේ පෙනුම නිසා එහෙම හිතුණා, හිතෙනවා කියන එක. හැබැයි මම එහෙම ලොකු Seen මනුස්සයෙක් නෙවෙයි. ගොඩක් වෙලාවට ඔය කතාව කියන අයම පස්සේ කාලෙකදි, අපි එහෙම හිතුවට ඔයා හරිම නිහතමානියි කියලත් කියනවා. ඇත්තටම මම පොළවේ පය ගහලා ඉන්න කෙනෙක්. නමුත් අවස්ථානුකූලව ඒ ඒ කෙනාට අනුව අපිට වෙනස් විදියට හැසිරෙන්න, හිතන්න පතන්න සිද්ධ වෙනවා. ඒක සාමාන්‍යයිනේ. ඉතිං මට කියන්න තියෙන්නේ කෙනෙක්ගේ පෙනුමෙන් ඒ කෙනාව මනින්න එපා කියලා තමයි.




Question
ගීත්ට ආදරය කරන රසික රසිකාවියෝ අතර ගීත්ගේ ආදරය ඉල්ලගෙන එන තරුණියන් එහෙමත් ඇති නේද? ළඟදී විවාහ වෙන්න අදහසක් නැද්ද?

Answer
ආදර යෝජනා නම් තියෙනවා. නමුත් මම තාම පෙම්වතෙක් නෙවෙයි. ආදර සම්බන්දතා කිහිපයක්ම තිබුණා. නමුත් යම් යම් නොගැළපීම් නිසා සාර්ථක වුණේ නෑ වැඩේ. හැබැයි ඒ කිසිම කෙනෙක් රසිකාවියෝ විදියට මගේ ජීවිතයට ආව අය නෙවෙයි. සමීපව ඇසුරු කිරීමෙන් ඇති වුණු ආදර සම්බන්ධතා. අම්මා තමයි මේ දවස්වල නම් ඔය විවාහය කියන කාරණාවට බැහැලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මාත් එක්ක ජීවත් වෙන්න ගොඩක් ඉවසීමක් තියෙන්න ඕනේ කියලා මම හිතනවා. මොකද මං ඉක්මනින් කලබල වෙන, ඉක්මනින් තරහ යන කෙනෙක්. ඉතිං මට හරියනම කෙනා හම්බ වුණොත් මම තවත් විවාහය කල් දාන එකක් නෑ. දැනට නම් එහෙම කෙනෙක් නෑ.




Question
"මාත්‍රා" වැඩසටහනේදී ගීතා කුමාරසිංහ මහත්මිය තෝරපු ගීත කිහිපයක්ම ඔබ ගායනා කලා. ඒවා සමාජ මාධ්‍යයේ Viral වුණා. කොහොමද ඒ අත්දැකීම?

Answer
මුලින්ම මං ස්තූතිවන්ත වෙන්න ඕනේ උදාර සමරවීර අයියට, හර්ශි සේනාධීර අක්කිට මට මාත්‍රා වාඩසටහනේ ගී ගයන්න දුන්නු අවස්ථාව වෙනුවෙන්. සහ ස්වර්ණවාහිණි නාලිකාවට. ඇත්තටම ගීතා කුමාරසිංහ මහත්මිය පැමිණි මාත්‍රා වැඩසටහනට කලින් මම මහින්ද අමරවීර පරිසර අමාත්‍යතුමා වෙනුවෙන් වුණු මාත්‍රා වැඩසටහනෙත් ගීත ගායනා කලා. ගීතා කුමාරසිංහ මහත්මිය කියන්නේ මම ගොඩක් ආස කරන චරිතයක්. විශේෂයෙන්ම ඇගේ කතා විලාසයට සහ රංගනයට. ඇය මැදිරියට එනතුරුම මම හිතන් හිටියේ මම අද ගායනා කරන්නේ ගීතා කාන්ති ජයකොඩි මහත්මිය තෝරපු ගීත කියලා. මොකද මට උදාර අයියා මට එව්ව ගීත ලැයිස්තුවේ තිබ්බේ ගීතා කාන්ති කියන නම. ගීතා කුමාරසිංහ මහත්මිය මැදිරියට ආවම මට පුදුම සතුටක්. ඒ තරම් ඇය ලස්සනයි. ඒ වගේම හරිම විනෝදකාමියි. ඒ වගේම මාව දැක්කට පස්සේ ඇය කිව්වා "ආහ් මෙයාව නම් මම දන්නවනේ. මෙයාගේ ගීත මම ගොඩක් අහලා දැකලා තියෙනවා කියලා "ඉතිං මට නිහතමානි ආඩම්බරයක් දැනුනා, මං වගේ පුංචි කලාකරුවෙක්ව ඇය ඇගයිමට ලක් කිරීම සම්බන්ධව.




Question
කඩවසම් පෙනුමක් තියෙන ඔබ රංගනයට එකතුවෙන්න අදහසක් නැද්ද?

Answer
ඇත්තටම කෙටි චිත්‍රපට කිහිපයකට නම් ආරාධනා ලැබුණා. නමුත් මේ කොවිඩ් තත්ත්වයත් එක්ක ඒ හැම වැඩක්ම තාම අවිනිශ්චිත තත්ත්වයකනේ තියෙන්නේ. ඒ නිසා මං දන්නේ නෑ කොහොම වෙයිද කියලා නම්. කොහොම නමුත් මං ලොකු ආසාවකින් ඉන්නවා නපුරු චරිතයකින් ප්‍රේක්ශකයා අතරට යන්න. ගොඩක් අය ආසයි රිදී තිරයේ හෝ සිනමාවේ Hero වෙන්න. පෙම්වතා වෙන්න. සිහින කුමාරයා වෙන්න.ඒත් මං ආසයි දුශ්ඨයා වෙන්න. සාම්ප්‍රදායිකව ගුටිකාලා මැරිලා යන දුශ්ටයා නෙවෙයි. අන්තිමට පැරදුනත් Master Minded දුශ්ඨයෙක් වෙන්න. තාම එහෙම අවස්ථාවක් නම් ලැබිලා නෑ. බලාපොරොත්තුවක් තියෙනවා. බලමු.




Question
අපේ රටේ, ලංකාවේ සමාජ මාධ්‍ය භාවිතාකරන විදිය ගැන ගීත් මොකද හිතන්නේ?

Answer
භාවිතාවකට වඩා අවභාවිතාවක් කිව්වොත් නිවැරදියි. සමාජ මාධ්‍යකට පුළුවන් ආණ්ඩුවක් වුණත් පෙරලන්න. ඒක තමයි සමාජ මාධ්‍යයේ තියෙන ප්‍රභලත්වය ගැන කියන්න මෑත කාලයේ අපේ රටේ සිද්ධ වුණු දරුණුතම සිදුවීම. හැබැයි ගොඩක් දෙනෙක් මේ සමාජ මාධ්‍ය ගොඩක් වෙලාවට Use කරන්නේ Joke කරන්න. නැත්නම් මඩ ගහන්න. Sex Arries Cover කරන්න. විවේචනය කරන්න. නමුත් ඊට වඩා වගකිව යුතු දේවල් රාශියක් තියෙනවා සමාජ මාධ්‍යයෙන් අපිට කරන්න පුළුවන්. අපේ රටේ සමහර වගකිවයුතු Channels වල Thumbnails, Titles බලන්න. ඒකෙන්ම තේරෙනවා අපේ රටේ සමාජ මාධ්‍ය අවභාවිතාව කොච්චරක්ද කියලා.




Question
ප්‍රවීණයින් අලුතෙන් කලාවට එන අයව, එහෙමත් නැත්නම් නවකයින්ව පාගන්න හදනවද? කැපිලි කෙටිලි තියෙනවද?

Answer
මට හමුවුණු මට ආස්‍රය කරන්න ලැබුනු ප්‍රවීණයින්ගෙන් නම් මම එහෙම කැපිලි කෙටිලි වලට ලක් වෙලා නෑ. ඔවුන් මාව පාගන්න බලලත් නෑ. සහ විශේශයෙන් එහෙම ලොකු තල්ලුවක් ලැබිලත් නෑ. නමුත් මට හමුවුණු හැම ප්‍රවීණයෙක්ම ඔවුන්ගේ අවවාද වලින්, උපදෙස් වලින් මාව පෝශනය කරලා තියෙනවා. නමුත් කියන්න ඕනේ කැපිලි කෙටිලි කියන්නේ කලාවේදි හරිම සාමාන්‍ය දෙයක්. ප්‍රවීණයින්ට අපෙන් දිනා ගන්න දෙයක් නෑ. නමුත් සමකාලීනයින්ගෙන් අපි ප්‍රවේසම් වෙන්න ඕනේ. හැමෝම නෙවෙයි. සීමිත පිරිසක් ඉන්නවා තමන්ට නොලැබුණ දෙයක් තව කෙනෙක්ට ලැබෙනවට ඉරිසියයි, තරහයි. තව සමහරු ඉන්නවා, හැමතිස්සෙම තව කෙනෙක්ව පහතට දාලා කතා කරන්න බලාගෙන. සමහරු ඉන්නවා මම තමයි හැමදේම දන්නේ. මම තමයි කෙරුමා කියලා හිතාගෙන. ඕවා හරිම සාමාන්‍ය දේවල්. මුල් කාලේ නම් මම ඒ දේවල් ගැන හිතලා දුක් වුණා. දැන් නම් මම ඒ වගේ අයව 100% Don't Care.




Question
Music Video එකකුත් ළඟදීම එනවා කියලා ආරංචියක් ආවා. ඒක ඇත්තක්ද?

Answer
සහතික ඇත්ත. මං ගොඩක් බලාපොරොත්තු තියන් ඉන්න නිර්මාණයක් ළඟදීම ඔයාලටත් බලාගන්න පුළුවන්. Video එක නම් Curfew නිසා තාම Shoot කරගන්න ලැබුනේ නෑ. Audio එකේ නම් වැඩ ඉවරයි. ගීතයේ Melody එක කලේ මගේ සහෝදරයා ශෙහාන් කෞශල්‍ය අයියා. ඇත්තටම ඔහු නැත්නම් මේ වගේ ලස්සන වැඩක් මට කරගන්න ලැබෙන්නේ නෑ. මේ නිර්මාණයේ ලොකුම Credit එක ශෙහාන් අයියට හිමි වෙන්නම ඕනේ. සහ මිචී අක්කිට. Lyrics කලේ Thilini අක්කා. Composing, Mix Mastering කලේ අපේ වැඩ්ඩා ළහිරු ඩි.කොස්තා. වීඩියෝ එක ගැන මම නොකියා ඉන්නම් පොඩි කෘතුහලයකටත් එක්ක. කොහොම නමුත් ලස්සන Fresh වැඩක් ඉක්මනින්ම එළියට දානවා.



Question
දැනට මේ පවතින Covid 19 හේතුවෙන් බොහොමයක් පිරිසක් නිවෙස් වලට කොටු වෙලා ඉන්නවා. ඉතින් මේ කාලය ඔබ වැය කරන්නේ කොයි විදියටද?

Answer
ඇත්තටම මාත් මේ දවස් ටික නිවසටම වෙලා ඉන්නෙ, හේතුව ඒක මට විතරක් නෙවෙයි රටටම කරන සේවයක්. අපි රැකුනොත් අපි විතරක් නෙවෙයි මුළු රටම රැකෙනවා. නැත්නම් අපිට හැමදාම මේ කොවිඩ් රැළිවලට මාස ගණන් ගේ ඇතුළට වෙලා තමයි ඉන්න වෙන්නේ. අපේ රටේ දරුවෝ පාසැල් යන්න නැතුව වල් වැදෙනවා. සමහර ගම් වල අපි නොදන්නවා වුණාට උසස් පෙළ කර කර හිටිය කෙල්ලෝ කොල්ලො ඉන්නවා පාසැල අමතක කරලා පවුල් පංසල් වුණු. ඉතින් මේ තත්ත්වයෙන් ගොඩ එන්න නම් අපි අපටම සංචරණ සීමා පනවා ගන්න ඕනේ. ඉතිං ගේ ඇතුලටම වෙලා කකා බිබී ඉන්නවා මමත්. Boring වුණාම සිංදුවක් කියලා Fb Upload කරනවා. Tik tok එකක් කරනවා. ඕවා තමයි. චූටි නංගි එක්ක රණ්ඩු වෙවී යාළු වෙවී ඉන්නවා.




Question
දැනට මේ තියෙන රජය ගැන සතුටින්ද? කලකිරීමෙන්ද?

Answer
මම සාමාන්‍යයෙන් දේශපාලනය ගැන දරන මතය ප්‍රසිද්ධියේ කතා කරන්නේ නෑ. මොකද ඒක අවස්ථානුකූලව බුද්ධියෙන් විමසලා තීරණය කරන්න ඕනේ දෙයක්. මොන ආණ්ඩුවක් ආවත් මොන පක්ෂය ජයග්‍රහණය කලත් අපි හම්බ කළොත්නේ අපි කන්නේ. ඒ නිසා විශේෂ සතුටක් හො දුකක් මට මේ රජය ගැනත් නෑ. නමුත් මේ රජයට අනිත් කාල වලදී නැති අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වුණා, කොවිඩ් වසංගතය. ඒක අපි අවිවාදයෙන් පිළිගන්න ඕනේ. ඒ වෙනුවෙන් රජය ගත් ඇතැම් ක්‍රියාමාර්ග තියෙනවා ප්‍රශංසනීයයි. විශේෂයෙන්ම එන්නත්කරණ වැඩ පිළිවෙල වගේ දේවල්. කොහොමත් ඇතැම් මිනිස්සුන්ගේ ස්වයං විනය රජයකට කියලත් හදන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. රජයට විතරක් රටක් හදන්න බෑ. අපිත් සහයෝගය දෙන්න ඕනේ.




Question
ඔබේ ආදරණිය රසික රසිකාවියන්ට අවසාන වශයෙන් ඔබට කියන්න දෙයක් ඇති. ස්තූති කරන්න අය ඇති. ඒ දේ වෙනුවෙන් තමයි දැන් ඔබට අවස්ථාව?

Answer
මම මේ වෙලාවේ මතක් කරනවා මගේ අම්මා තාත්තා නංගිලා දෙන්නා, තරංග අප්පච්චි, මගේ නෑදෑයො හැම කෙනෙක්වම, වචනයකින් හරි මට හයියක් වුණු හැම කෙනෙක්ටම, මගේ යාලුවෝ හැම කෙනෙක්වම, මට මේ වෙනකන් මගේ ගමනේදි හමුවුණු හැම ප්‍රවීණයෙක්වම ස්තූතියි! මට යන්න පාර කියලා දුන්නට. මට දුන්නු අත්දැකීම් වලට. ඒ වගේම මට ආදරය කරන මගේ රසික රසිකාවියන්ට මමත් ගොඩක් ආදරෙයි. හැමදාමත් මාත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඒ වගේම Art Street ඔබටත් බොහොම ස්තූතියි. මගේ හිතේ තියෙන දේවල් කියන්න මාව මේ කතාබහට එකතු කරගත්තට.

Q & A සමඟ අපිත් එක්ක මේ විදියට එකතු වුන ගීත් මධුසංඛ ඔබට, ස්තූතී කරන ගමන්ම ඔබගේ ඉදිරි කලා ගමනට "Art street - කලා වීදිය" අපි සුභ පතනවා.


_Giza Bee_



Geeth Madhusanka Mashup Cover Song

පෙර වදනක් වී | Thum Hi Ho | නොදැක ඉන්න බෑ








ඡායාරූප Facebook ගිණුමෙන්








Post a Comment

4 Comments

  1. Thank You So Much Art Street ❤️

    ReplyDelete
  2. සහෝදරයා❤️✌️✌️

    ReplyDelete
  3. You are perfect,and iconic minded now,malli oyage progress eka digin digatama thiya ganna.bala dewal katha karanna hithannawath epa,oyage gamana gihin wada pennana,🤗👍👍👍💖💖

    ReplyDelete